ත්‍රිපුර සුන්දරී දේවිය

ආදි පරාශක්තියේ උත්තරීතර ස්වරූපය
(කාමාක්ෂී වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ත්‍රිපුර සුන්දරී (සංස්කෘත: त्रिपुरा सुंदरी, IAST: Tripura Sundarī) දේවිය යනු විශ්වයේ සර්වබලධාරි දෙවඟන වන ආදි පරාශක්ති දේවියගේ උසස්ම ස්වරූපයක් සේම දශ මහාවිද්‍යාවන්ට අයත් එක් විද්‍යාවකි.[1] එතුමිය වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ ශ්‍රී ලලිතා සහස්‍රනාම ස්තෝත්‍රයේ වර්ණනාවන්ට ලක්වූ දේවිය සහ හින්දු ධර්මයේ පුරාණ සාහිත්‍යයේ ලලිතා මාහාත්ම්‍ය සඳහා වස්තු විශය ලෙසයි. ශ්‍රී විද්‍යාව තුළ මුඛ්‍ය ස්ථානය අත්පත් කරගන්නේද එතුමියයි.

ත්‍රිපුර සුන්දරී දේවිය
සර්වබලධාරි දෙවඟන
විශ්වයේ උත්තරීතර දෙවඟන, මාතෘ දෙවඟන, පර බ්‍රහ්මන්, මහාදේවියගේ අග්‍රගණ්‍ය ස්වරූපය
ත්‍රිපුර සුන්දරී දේවිය සිංහාසනයක විරාජමානව සිටිමින් තම දකුණු පාදය ශ්‍රී යන්ත්‍රය මත තබා සිටින ආකාරය.
වෙනත් නම්ලලිතා, රාජ රාජේශ්වරී, ලලිතාම්බිකා, ලීලාවතී, කාමාක්ෂී, ෂෝඩශී, ශ්‍රී මාතා, සර්වේශ්වරී
දේවනාගරීत्रिपुरसुन्दरी
සංස්කෘත පරිවර්තනයTripurasundarī
අනුබැඳිය
වාසභවනයමණිද්වීපය
මන්ත්‍රය
  • ඕම් ශ්‍රී මාත්‍රේ නමහ
  • අයිම් සෞ ක්ලීම්
  • අරුණාං කරුණාතරංගිතාක්‍ෂීං ධෘතපාශාංකුශපුෂ්පබාණචාපාම් I අණිමාදිභිරාවෘතාං මයුඛෛඃ අහමිත්‍යේව විභාවයේ භවානීම් II
ආයුධයපාශ, අංකුශ, දුන්න / උක් ගස සහ හී
සංකේත
පෞද්ගලික තොරතුරු
වල්ලභයාකාමේශ්වරී ස්වරූපයේදී කාමේශ්වර
දරුවන්
වාහනයසිංහයා
පාඨ ග්‍රන්ථ
උත්සව

ශක්ති ධර්මයේ ශ්‍රී කුල සම්ප්‍රදාය අනුව ත්‍රිපුර සුන්දරී දේවිය මහාවිද්‍යා ස්වරූපයන්ගෙන් මුඛ්‍ය වන අතර විශ්වයේ සර්වබලධාරි දේව මාතාව වන මහාදේවියගේ අග්‍රගන්‍ය ස්වරූපය යි. ත්‍රිපුර සුන්දරි දේවිය විශ්වයේ පරම ශක්තිය ලෙස සළකනු ලබන අතර[2] ඇය බ්‍රහ්මා, විෂ්ණු සහ ශිව යන ත්‍රිමූර්තියට ඉහළින් පාලනය හොබවන උත්තරීතර විඥානය හෙවත් පරබ්‍රහ්මන් ලෙසින්ද විස්තර කෙරේ.[3]

නිරුක්තිය

ත්‍රිපුර යන සංස්කෘත වචනය සංස්කෘත වචන දෙකක එකතුවකි; ත්‍රි යනු ත්‍රිත්වයයි[4]; පුර යනු පුරයයි. ත්‍රිපුර යන්නෙහි තවත් අර්ථයක් වන්නේ විඤ්ඤාණයේ අවස්ථා තුනයි. ඇය යෝනිය සංකේතවත් කරන සහ ඇගේ චක්‍රය සාදන ත්‍රිකෝණය (ත්‍රිකෝණ) හා සමාන බැවින් ඇය ත්‍රිපුර ලෙස හැඳින්වේ. ඇයගේ මන්ත්‍රයට අක්ෂර පොකුරු තුනක් ඇති බැවින් ඇය ත්‍රිපුර ලෙසද හැඳින්වේ. විශ්වයේ නිර්මාතෘ, සංරක්ෂණය කරන්නා සහ විනාශ කරන්නා ලෙස බ්‍රහ්මා, විෂ්ණු සහ ශිව තුළ ඇය ප්‍රකාශ වන හෙයින් ඇය ත්‍රිපුර ලෙසින් හැඳින්වේ. සුන්දරී යනු "අලංකාර කාන්තාව" යන්නයි. ඇය සත්ත්ව, රජස් සහ තමස් යන තුන් ගුණයෙන් අභිබවා සිටින බැවින් ත්‍රිපුරය.

ත්‍රිපුර සුන්දරී දේවිය ෂෝඩශී, ලලිතා, කාමේශ්වරී, ශ්‍රී විද්‍යා සහ රාජ රාජේශ්වරී යන නම්වලින් ද හැඳින්වේ. එතුමිය බ්‍රහ්මා, විෂ්ණු සහ ශිව යන දෙවිවරුන් තිදෙනාගේ ඒකාබද්ධ සංයෝජනය වන හෙයින් ත්‍රායි ලෙසද හැඳින්වේ.

ප්‍රතිමාශිල්පය

ඇය බ්‍රහ්මා, විෂ්ණු, ශිව සහ ඊශ්වර පාද සතර වන්නා වූ කොට්ටය සදා ශිව වූ ශිවාකර ආසනයක පාසයක්, අංකුසයක්, පුෂ්පයන්ගෙන් යුත් හී පහක් සහ උක් දණ්ඩක් දරමින් වැඩ සිටි. සෞන්දර්ය ලහරී සහ තන්ත්‍රසාර තුළ ඇයගේ හිසේ සිට පාද දක්වා විස්තරාත්මකව විස්තර කරයි. තන්ත්‍රසාරයේ එන ධ්‍යාන මන්ත්‍රයෙන් කියැවෙන්නේ බ්‍රහ්මා හා විෂ්ණු දෙවියන් ඇයට වැඳ වැටි නමස්කාර කරන විට ඔවුන්ගේ කිරීටයන්ගෙන් වැටුණු මාණික්‍යන්ගෙන් එතුමිය ආලෝකමත් වන බවයි. වාමකේශ්වර තන්ත්‍රය පවසන්නේ ත්‍රිපුර සුන්දරී දේවිය හිමාලය කඳු මුදුන්වල වාසය කරන බවයි.

උපාඛ්‍යාන

බ්‍රහ්මාණ්ඩ පුරාණයේ ලලිතෝපාඛ්‍යානය තුළ ත්‍රිපුර සුන්දරී සහ භණ්ඩාසුර සමඟ සිදු වූ සංග්‍රාමය සඳහන් වේ.[5] ත්‍රිමූර්තියෙහි එක් ස්වරූපයක් වන ශිව දෙවියන්, දක්ෂ රජුගේ දියණිය වන සතී විවාහ කරගනු ලැබීය. දක්ෂ සහ ශිව අතර එකිනෙකා නොරිස්සු හෙයින් මහා යාගයක් සඳහා සතීගේ පියා ශිවට ඇරයුම් නොකළේය. කෙසේ වෙතත් සතී, ශිවගේ විරෝධය නොතකා එම උත්සවයට සහභාගි වීමට ගියාය. දක්ෂ සති ඉදිරියේ ශිව දෙවියන්ට අපහාස කළ හෙයින් සති සිය නින්දාව අවසන් කිරීම උදෙසා අග්නියට පැන සියදිවි නසා ගත්තාය. එහි ප්‍රතිඵලයක් ලෙස, ශිව දක්‍ෂගේ හිස ගසා දැමු නමුත්, ශිවගේ කෝපය අඩු වූ පසු, එළුවෙකුගේ හිසකින් දක්ෂට නැවත ප්‍රාණය ලබා දුන්නේය. ආදි පරාශක්තියේ දහිමවත රජුට දුන් වරයක ප්‍රතිඵලයක් හේතුකොට සති පාර්වති ලෙසින් නැවත ජන්මය ලැබූ අතර සුරයන්ගේ සතුරෙකු වන තාරකාසුර තමාගේ මරණය ශිව සහ ශක්තිගේ පුත්‍රයකුට පමණක් සිදු කළ හැකි ලෙස වරයක් ලැබුවේය. මේ හේතුවෙන් ශිව සහ පාර්වති විවාහ කිරීමට දේවතාවුන් කාම දෙවියන්ගේ සහය පැතූහ. මන්මතා තම පුෂ්ප ඊතල ශිව සහ පාර්වතී වෙත එල්ල කළේ ඔවුන් තුළ ප්‍රේම හැඟීම් ඇති කිරීමටයි. එයින් කෝපයට පත් ශිව දෙවියන් කාම දෙවියන්ව තම තෙවන ඇසෙන් භස්ම බවට පත් කළේය. ඉන් කළකට පසුව ශිව පාර්වති පුත්‍රයකු වන ගණේෂ ගේ ඉල්ලිමකට අනුව ශිව දෙවියන් කාමගේ භස්ම වලින් සකල ලෝකයා බෙලහීන කොට ශෝණීත පුර නම් නුවර සිට රජකම් කළ භණ්ඩාසුර නම් අසුරයකුට ජන්මය ලබා දුන්නේය. දේවතාවුන් තමන්ට සිදු වූ පීඩාවන් දරාගත නොහැකි වූ කල ත්‍රිමූර්තියේ උපදෙස් පරිදි සර්වබලධාරි නිර්ගුණ බ්‍රහ්මන්ගෙන් උපකාර බලාපොරොත්තු විය. විශ්වයේ යහපත උදෙසා මහා යාගයක් සුදානම් කළ අතර එහි බලිය ලෙස සමස්ථ විශ්වයම පූජා කළහ. ඉක්බිති අග්නියෙන් බ්‍රහ්මන් මහා ත්‍රිපුර සුන්දරී දේවියගේ ස්වරූපයෙන් ප්‍රකට වී කාමේශ්වර සහ කාමේශ්වරි ලෙසින් තම ස්වරූපය වෙන් කොට විශ්වය නැවත නිර්මාණය කළාය. පසුව ත්‍රිපුර සුන්දරී දේවිය තම සෙනාවන් නිර්මාණය කොට භණ්ඩාසුර සංහාරය කර යළි මණිද්වීපය වෙත පිටව ගියාය.

හින්දු සාහිත්‍ය මූලාශ්‍ර

ත්‍රිපුර සුන්දරී දේවිය පිළිබඳව මූලික වශයෙන් බ්‍රහ්මාණ්ඩ පුරාණයේ ලලිතොපඛ්‍යානයේ සඳහන් වේ.

  • බ්‍රහ්මාණ්ඩ පුරාණය - ලලිතා මහාත්ම්‍යම්, 38 වන පරිච්ඡේදය, 75 වන ශ්ලෝකය.

ඇය පමණක් උත්තරීතර ආත්මයයි. උත්කෘෂ්ට ගමනාන්තය ඇය පමණි. ඇය පමණක් ශ්‍රේෂ්ඨතම වන්දනා ස්ථානයයි. කර්මය සහ ඵලය ඇයම පමණි.

— බ්‍රහ්මාණ්ඩ පුරාණය, ලලිතා මාහාත්ම්‍ය, පරිච්ඡේදය 38, ශ්ලෝක 75

පද්ම පුරාණයේ පාතාල ඛණ්ඩයට අනුව, කෘෂ්ණ දෙවියන් යනු ලලිතා දේවියගේ පුරුෂ ස්වරූපයයි.[6]

  • පද්ම පුරාණ පාතාල ඛණ්ඩ ශ්ලෝක 46:47

රාධා දේවිය ගායනයන්ගෙන් වර්ණනා කරන්නා වූ ලලිතා දේවිය මා වෙමි. සැමදා ප්‍රේම කලාවේ ස්වභාවය සහිත මා වාසුදේව නම් වේ. මා හට සැබැවින් ම ස්ත්‍රී ස්වරූපයක් ඇත්තෙමි, මා පුරාණ ස්ත්‍රිය වෙමි, මා ලලිතා දේවිය වෙමි, පුරුෂ ස්වරූපයෙන් කෘෂ්ණගේ ශරීරය මා හට ඇත්තෙමි.

— පද්ම පුරාණ ඛණ්ඩ ශ්ලෝක 46:47
  • ශක්ත ලියවිල්ලක් වන ත්‍රිපුරා රහස්‍යම් තුළ ත්‍රිපුර සුන්දරීට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ත්‍රිපුරා නම් වූ ශක්තිය පිරිසිදු විඥානය යි. එය කථනය, ඉන්ද්‍රිය සහ මනස ඉක්මවා යයි. ඇය, සෑම දෙයකම ආත්මය ලෙස පවතින පරමේශ්වරිය යි. ඇය පැවැත්මේ නියමයන් ඉක්මවා පවති, පැවැත්මෙන් සහ පාලකයාගෙන් (විෂ්ණු) මුක්තව සිටි. ඇය කථනයට සහ ඉන් ඔබ්බට සියල්ලට සහය දක්වන පිරිසිදු විඥානයක් පමණි. ඇය ආත්මය සහ විඥානයම පමණි. ඇයගේ නිදහස් බව හේතුවෙන් ඇය මායා ලෙස හැඳින්වේ. සියල්ල ආවරණය වන ඇගේ මහිමය තර්කයෙන් හා ප්‍රශ්න කිරීමෙන් ඔබ්බට ය. නිර්මල ආත්මය වූ ඇය හේතුවෙන් සත්වයා නොයෙකුත් ආකාරයෙන් මුළාවේ. මෙම නිර්මාණය දේවියගේ ක්‍රීඩාව බව පැවසේ.

— ශ්‍රී ත්‍රිපුරා රහස්‍ය (මාහාත්ම්‍යා ඛණ්ඩ), පරිච්ඡේදය 58, ශ්ලෝක12:14

විශ්ව නිර්මාණය

සෘග් වේදයේ භාව්‍රිච උපනිෂද් තුළ ත්‍රිපුර සුන්දරී දේවිය පරමාත්මය ලෙසත් විශ්වය නිර්මාණයට පෙර ඇය පමණක් පැවති බව සඳහන් කරයි.[7][8]

  • භාව්‍රිච උපනිෂද්, 01 වන ශ්ලෝකය.

ඕම්! සියල්ල විද්‍යාමන වීමට පූර්වව පැවතියේ දෙවඟනම පමණි. ඇය ස්වාධීනව විශ්ව අණ්ඩය නිර්මාණය කළාය. ඇය තුන්කාර්‍යම (නිර්මාණය, පැවැත්ම, විනාශය) ස්වාධීනව නියෝජනය කරන්නීය.

— භාව්‍රිච උපනිෂද්, 01 වන ශ්ලෝකය
  • භාව්‍රිච උපනිෂද්, 02 වන ශ්ලෝකය.

ඇයගෙන් බ්‍රහ්ම, විෂ්ණු, ශිව ජන්මය ලැබීය, සියලු වායුන් ජන්මය ලැබූහ, ගන්ධර්වයන්, කින්නරයන්, අර්ධ මනුෂ්‍යන් ජන්මය ලැබූහ. වින්දනය කරන්නා වූ සියල්ල ජන්මය ලැබූහ. සියලු ශක්තින් ජන්මය ලැබූහ. අණ්ඩජ (බිත්තරයෙන් උපත ලැබීම), සංසේදජ (තෙතමනයෙන් උපත ලැබීම), ඕපපාතික සහ ජලාබුජ (මව්කුසකින් උපත ලැබීම), මෙහි ආශ්වාස ප්‍රශ්වාස කරන්නා වූ සියල්ල නිශ්චල සහ අවිචල සියල්ල ජන්මය ලැබීය.

— භාව්‍රිච උපනිෂද්, 02 වන ශ්ලෝකය
  • ත්‍රිපුරා රහස්‍යට අනුව විශ්වයේ ආරම්භයට පෙර සිටියේ දේවිය පමණි. ඇය ත්‍රිමූර්ති නිර්මාණය කොට විශ්වය නිර්මාණය කිරීම ආරම්භ කළාය.

    පූර්ව කාලයේ, නිර්මාණ අවධියේදී, ත්‍රිපුරා නම් විශ්ව විඥානය පමණක් පැවතියහ. ඇය හැර අන් කිසිවක් නොවීය. ස්වයං ස්වාධීන ශක්තියේ ප්‍රතිමූර්තිය වන ඇයට නිර්මාණය කිරීමට අවශ්‍ය විය; එවිට ඉච්චාව වර්ධනය විය. තෘෂ්ණාවෙන් ඥානය ඉපදී ක්‍රියාව ඇති විය. ඇයගේ ක්ෂණික බැල්මෙන් ත්‍රිත්වය ජන්මය ලැබීය. පශුපති ඉච්චාව නියෝජනය කරන අතර හරි ඥානය සහ බ්‍රහ්මා ක්‍රියාව නියෝජනය කරයි. ශංකරිය ඔවුන් දෙස බැලූ අතර ඔවුන් ස්වාභාවිකම ශක්තිමත් සහ සත්‍යවාදි විය.

    — ශ්‍රී ත්‍රිපුරා රහස්‍ය (මාහාත්ම්‍යා ඛණ්ඩ), පරිච්ඡේදය 10, ශ්ලෝක18:22

ලලිතා සහස්‍රනාම

ලලිතා සහස්‍රනාම තුළ ත්‍රිපුර සුන්දරී දේවියගේ නම් දහසක් අඩංගු වේ.[9] එක නමක්වත් නැවත අඩංගු නොවන එකම සහස්‍රනාමය එයයි. තවද, මානය පවත්වා ගැනීම සඳහා, අනේකුත් සහස්‍රනාමයන් විසින් තු, අපි, කා, හි වැනි වචන එකතු කොට ඇති අතර ඒවා ගායනා කිරිමේ අවස්ථාවන්හිදී හැර නමේ අර්ථයට අනිවාර්යයෙන් එකතු නොවන නිපාත වේ. නමුත් ලලිතා සහස්‍රනාමයේ එවැනි සහායක නිපාත භාවිතා නොකරයි.

සංයුතිය

ලලිතා සහස්‍රනාම ස්තෝත්‍රය ලලිතා දේවියගේ අණ පරිදි වාග් දේවීන් අට දෙනෙකු විසින් සම්පාදනය කරන ලද බව පැවසේ. එම වාග් දේවීන් වන්නේ වසිනි, කාමේශ්වරී, අරුණා, කෞලිනි, ජයිනි, මොදිනි, විමලා, සර්වේශ්වරී යන අට දෙනායි. සහස්‍රනාමයේ සඳහන් වන්නේ “ලලිතා දේවියට නමස්කාර කළ හැක්කේ ඇය කැමති නම් පමණක්” බවයි. එනම් එතුමියගේ බැතිමතුන් ඇති වන්නේ එතුමියගේ කැමැත්ත අනුවයි.

මෙම සහස්‍රනාමය දිව්‍යමය මාතාව ලලිතා දේවිය වන්දනා කිරීම සඳහා පූජනීය පාඨයක් ලෙස සළකන අතර, දුර්ගා, පාර්වතී, කාලි ඇතුළු දේවියගේ වෙනත් ස්වරූප වන්දනාවේදී ද භාවිතා වේ. ශක්ති වන්දනාකරුවන්ගේ ප්‍රධාන පාඨයක්, වන මෙම සහස්‍රනාමය තුළ එතුමියගේ විවිධ ගුණාංග විස්තර කරයි, මෙම නාමයන් ගීතිකාවක ස්වරූපයෙන් සංවිධානය කර ඇත.

මෙම ස්තෝත්‍රය (ප්‍රශංසා ගීතය) බ්‍රහ්මාණ්ඩ පුරාණයෙහි හයග්‍රීව සහ අගස්ත්‍ය මුනිවරයා අතර සාකච්ඡාවක් තුළ දක්නට ලැබේ. හයග්‍රීව යනු ඥානයේ ප්‍රතිරූපයක් ලෙස සැළැකෙන අශ්ව හිසක් සහිත විෂ්ණු ස්වරූපයකි. අගස්ත්‍ය යනු සප්තසෘෂිවරුන්ගෙන් අයෙකි. අගස්ත්‍යගේ ඉල්ලීම පරිදි හයග්‍රීව ලලිතා දේවියගේ ශුද්ධ වූ නාමයක් දහසක් ඔහුට ඉගැන්වූ බව පැවසේ. පසුව මෙය වේද ව්‍යාස විසින් අපට වදාරනු ලැබීය. ලලිතා සහස්‍රනාමය ලලිතා දේවියගේ අධීක්ෂණය යටතේ වාග් දේවීන් විසින් තනන ලද එකම සහස්‍රනාමය වේ. ශිව සහස්‍රනාමය හැර අන් සියලුම සහස්‍රනාම ව්‍යාස සෘෂිවරයා විසින් නිර්මාණය කරන ලද ඒවාය.

ව්‍යුහය

මෙහි දේවියගේ හිසේ සිට පාදය දක්වා විස්තර කෙරෙන ආකාරයට ස්ලෝක සංවිධානය කර ඇත. සහස්‍රනාමය ආරම්භ වන්නේ දේවියට ශ්‍රී මාතා (උත්කෘෂ්ට මාතාව), ශ්‍රී මාහාරාඥි (මහා රාජිනිය) සහ ශ්‍රීමත් සිංහාසනේශ්වරී (සිංහාසනය මත විරාජමානව සිටින රැජින) යනුවෙන් ආමන්ත්‍රණය කරමිනි. නිර්මාණය (සෘෂ්ටී), සංරක්ෂණය (ස්ථිති), විනාශය (සංහාරම්), මායාව (තිරුධනම්) සහ ආශිර්වාදය (අනුග්‍රහම්) යනුවෙන් කාර්‍යන් පහකි. සහස්‍රනාමය තුළ දේවිය පංච කෘත්‍ය පරායණා ලෙසින් විස්තර කර ඇත. එනම් ඇය කාර්‍යන් පහ ඉක්මවන්නිය ලෙසයි. එමෙන්ම නිර්මාණය අවස්ථාවේදි එතුමිය බ්‍රහ්මා බවත්, සංරක්ෂණ අවස්ථාවේදි විෂ්ණුත්, සංහාර අවස්ථාවේදී රුද්‍ර ලෙස පවතින බවත්, මුක්ති අවස්ථාවේදි සදා ශිව ලෙස පවතින බවත් සඳහන් වේ. සහස්‍රනාමයේ ලලිතා දේවියට ශිව ශක්තෛක්‍ය රූපිණි ලෙසින් ආමන්ත්‍රණය කරන්නේ ඇය ශිව සහ ශක්තියෙ එකතුව බැවිනි. විශ්ව නිර්මාණයට හේතුව වන ශිව සහ ශක්තිය නිර්මාණය වන්නේ එතුමිය තුළිනි.

අනෙකුත්

ආදි ශංකර විසින් ලලිතා පංචරත්නම්, ත්‍රිපුර සුන්දරී අෂ්ටකම්, කාමක්ෂී ස්තෝත්‍රය ආදි ස්තෝත්‍ර රචනා කොට ඇත. ආදි ශංකර විසින් සංස්කෘත භාෂාවෙන් රචිත සෞන්දර්ය ලහරී තුළ ත්‍රිපුර සුන්දරී දේවියගේ අලංකාරය, කරුණාව සහ විශිෂ්ටත්වය වර්ණනා කරයි.

ශ්‍රී චක්‍රය

 
ශ්‍රී චක්‍රය

ශ්‍රී චක්‍රය යනු මධ්‍යම (බින්දු) ලක්ෂ්‍යයෙන් වටවී පිටතට විහිදෙන අන්තර් සම්බන්ධිත ත්‍රිකෝණ නවයකින් සාදන ලද මණ්ඩලයකි. එයින් ලලිතා ත්‍රිපුර සුන්දරී දේවිය නියෝජනය කරයි. ශ්‍රී චක්‍ර වන්දනාව හින්දු නමස්කාරයේ ශ්‍රී විද්‍යා ක්‍රමයේ වටා කේන්ද්‍ර ගත වේ. ඉහළට ඇති සමද්වීපාද ත්‍රිකෝණ හතරෙන් පුරුෂත්වය හෙවත් ශිව නියෝජනය වන අතර පහළට ඇති ත්‍රිකෝණ පහෙන් ශක්තිය සංකේතවත් කෙරේ. මේ අනුව ශ්‍රී යන්ත්‍රය පුරුෂ හා දිව්‍යමය ස්ත්‍රීත්වයේ සංයෝජනය ද නියෝජනය කරයි. එය ත්‍රිකෝණ නවයකින් සමන්විත වන බැවින් එය නවයෝනි චක්‍රය ලෙසද හැඳින්වේ.[10] මෙම ත්‍රිකෝණ නවය විවිධ ප්‍රමාණවලින් යුක්ත වන අතර ඒවා එකිනෙක ඡේදනය වේ. මධ්‍යයේ ඇත්තේ ශුන්‍යාතව මෙන්ම සියල්ලෙහි මූලය සංකේතවත් කරන බින්දු ලක්ෂ්‍යය යි. ත්‍රිපුර සුන්දරි දේවිය සියල්ලෙහි මූලය වන සර්වබලධාරි ශක්තිය වන බැවින් ඇය වාසය කරන්නේ මෙම ස්ථානයේය. මෙම ත්‍රිකුණ වටා 8 සහ 16 බැගින් පද්ම පෙති පේළි දෙකකින් වට වී ඇති අතර ඒවායින් ප්‍රජනන ශක්තිය නිරූපණය කරයි.

මෙම ත්‍රිකෝණ නවය එකට බැඳී ඇත්තේ සමස්ත විශ්වයම සංකේතවත් වන කුඩා ත්‍රිකෝණ 43ක ජාලයක් නිර්මාණය කරමිනි. ඒවා ඒකියත්වය හෙවත් අද්වෛතය ප්‍රකාශ කරයි. මේව පෙති අටකින් යුත් පද්මයකින්ද, පෙති දහසයකින් යුත් පද්මයකින්ද, ද්වාරයන් හතරකින් යුත් විහාරයකට සමාන පෘථිවි චතුරස්‍රයකින්ද වටවී ඇත. ශ්‍රී යන්ත්‍රයේ ස්ථර නවයේ වැඩ සිටින විවිධ දෙවිවරුන් පිළිබඳව දේවි ඛඩ්ගමාලා ස්තෝත්‍රයෙහි විස්තර කර ඇත.[11]

ශ්‍රී චක්‍රය නව චක්‍රය ලෙසද හඳුන්වනු ලබන්නේ එය ස්ථර නවයකින් යුක්ත බැවිනි. සෑම මට්ටමක්ම මුද්‍රාවකට, යෝගිනියකට සහ ත්‍රිපුර සුන්දරී දේවියගේ මන්ත්‍රයක් සමඟ නිශ්චිත ස්වරූපයකට අනුරූප වේ. මෙම ස්ථර පිටත හෝ පහළ ස්ථරයෙන් ආරම්භ වේ:[10]

  1. ත්‍රෛලෝක්‍ය හෝ භූපර ලෙස හඳුන්වන්නේ ද්වාර සතරකින් යුක්ත රේඛා ත්‍රිත්වයක් සහිත චතුරශ්‍රය යි.
  2. සර්ව ආශා පරිපූරක යනු පෙති දහසයකින් යුතු පද්මය යි.
  3. සර්ව සංශෝභන යනු පෙති අටකින් යුතු පද්මය යි.
  4. සර්ව සෞභාග්‍යයදායක යනු කුඩා ත්‍රිකෝණ දහහතර යි.
  5. සර්ව අර්ථසාදක යනු කුඩා ත්‍රිකෝණ දහය යි.
  6. සර්ව රක්ෂාකර යනු ඊලඟට ඇති කුඩා ත්‍රිකෝණ දහය යි.
  7. සර්ව රෝගහර යනු කුඩා ත්‍රිකෝණ අට යි.
  8. සර්ව සිද්ධිප්‍රදා යනු කුඩාම ත්‍රිකෝණය යි.
  9. සර්ව ආනන්දමය යනු බිංදු හෙවත් මධ්‍ය ලක්ෂ්‍ය යි.

උත්සව

 
ත්‍රිපුර සුන්දරී පුජාවක්

ලලිතා ජයන්ති

ලලිතා ජයන්ති උත්සවය පවත්වනු ලබන්නේ මඝ මාසයේ (ජනවාරි-පෙබරවාරි) පූර්ණීමා ( පුර පසළොස්වක) දිනයේදීය. උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල මෙම දිනය ඉතා වැදගත් වේ. එදිනට විශේෂ පුද පූජා සහ වෘතයන් පවත්වනු ලැබේ. මෙම දිනයේ බැතිමතුන් පූර්ණ භක්තියෙන් හා කැපවීමෙන් ලලිතා දේවියට නමස්කාර කරන්නේ නම් ආශීර්වාද කරන බව විශ්වාස කෙරේ. ඇය භක්තිකයන් හට ජීවිතය පුරා සතුට හා තෘප්තිය ලබා දෙයි. එදිනට දේවියගේ දේවස්ථාන ඉතා විශාල බැතිමතුන් ප්‍රමාණයක් දැකිය හැකිය.

ලලිතා පංචමී

ලලිතා පංචමී වෘතය නොහොත් ලලිතා පංචමී යනු නවරාත්‍රී උත්සවයේ ඉතා සුබ දිනයකි. එය නවරාත්‍රී උත්සවයේ පස්වැනි දිනයේ සමරනු ලබයි. ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල මෙම දිනය ඉතා වැදගත් වේ. ජනප්‍රවාදවලට අනුව කාමදේවගේ භෂ්මාවශේෂයෙන් මවන ලද අසුරයකු වූ ‘භණ්ඩාසුර’ පරාජය කිරීමට ලලිතා දේවිය මෙම ශුභ දිනයේ දී ප්‍රකට වූ බව විශ්වාස කෙරේ. මෙදින ඇතැම් බැතිමතුන් ලලිතා පංචමී වෘතය නමින් හඳුන්වන උපවාසයක් ද පවත්වති. එය ධනය, සතුට සහ ප්‍රඥාව ගෙන දෙන බව විශ්වාස කෙරේ. මෙම දිනයේ ලලිතා දේවියට කැප කරන ලද වේද මන්ත්‍ර ජප කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ. එසේ කිරීමෙන් ජීවිතයේ පුද්ගලික මෙන්ම ව්‍යාපාර සම්බන්ධ සියලු ගැටලු වහා විසඳෙන බව ජනප්‍රිය විශ්වාසයකි.

වන්දනා කිරීම සඳහා කැප වූ දේවස්ථාන

 
කන්චි කාමාක්ෂී කෝවිල

ඉන්දියාව

දක්ෂිණ භාරතය තුළ ත්‍රිපුර සුන්දරී දේවිය බහුලව වන්දනා කෙරේ. එතුමියගේ වඩාත්ම වැදගත් දේවස්ථානය වන්නේ තමිල්නාඩුවේ කාංචිපුරම් හී පිහිටි කන්චි කාමාක්ෂී කෝවිල යි. කාංචිපුරම්හී දුර්වාස මුනිවරයා සිදු කළ තපස් කෙරෙහි ප්‍රසන්න වූ ලලිතා දේවිය බැතිමතුන්ගේ අභිවෘද්ධිය සඳහා එහි වාසය කිරීමට එකඟ වුවාය. ආදි ශංකර මෙහි ශ්‍රී චක්‍රයක් ස්ථාපනය කරන ලදි.

රාධකිශොරෙපුර් ග්‍රාමයේ තවත් වැදගත් ත්‍රිපුර සුන්දරී මන්දිරයක් පිහිටා ඇත. එය ශක්ති පීඨ 51න් එක් පීඨයක් ලෙසින් හැඳින්වේ. බටහිර බෙංගාලයේ, ගරියා අසල බොරල් හි ත්‍රිපුර සුන්දරී දේවිගේ දේවස්ථානයක් ඇත. මධ්‍ය ප්‍රදේශයෙහි ජබල්පූර්හි, නගරයේ සිට කිලෝමීටර් 12 ක් පමණ දුරින් තේවාර් ගම්මානයේ භෙඩඝට් මාර්ගයේ ත්‍රිපුර සුන්දරී මන්දිරයක් ඇත. ත්‍රිපුර සුන්දරී දෙවඟනට කැප වූ තවත් මන්දිරයක් රාජස්ථානයේ බනස්වර හි ඇත. රාජ රාජේශ්වරී දේවියගේ බොහෝ දේවස්ථාන උත්තරඛන්ඩ හි ද දක්නට ලැබෙන අතර එහිදී ඇය කුල දේවිය ලෙස සැලකේ. දේවියගේ තවත් දේවස්ථානයක් බෙරිනාග් හී ත්‍රිපුර දේවී ගම්මානයේ පිහිටා තිබේ. කර්නාටක ප්‍රාන්තයේ මයිසූර් දිස්ත්‍රික්කයේ වර්ෂ 850ක් පමණ පැරණි ත්‍රිපුර සුන්දරී අම්මන් (තිබ්බදේවී) සඳහා වූ දේවස්ථානයක් ඇත. චෙන්නායි හි අසල්වැසි ප්‍රදේශයක් වන තිරුසුලම් හි ශ්‍රී තිරුසුලම් ත්‍රිපුර සුන්දරී දේවස්ථානය පිහිටා ඇත. එය 11 වැනි සියවසේ කුලොතුන්ග චෝල විසින් කරණ ලද පුරාණ දේවස්ථානයකි.

රාජ රාජේශ්වරී දේවස්ථානය පිහිටා ඇත්තේ කර්නාටකයේ බැංගලෝර්, රාජරාජේශ්වරී නගර්හි, මයිසුරු මාර්ගයේ වන අතර එය බැංගලෝරයේ ප්‍රධාන ස්ථානයකි. දේවිය සිටින නිසා බොහෝ මිනිසුන් මෙම ස්ථානයට පැමිණේ. ත්‍රිපුර සුන්දරී දේවිය රාජ රාජේශ්වරී ස්වරූපයෙන් වන්දනාමාන කරනු ලබන්නේ කේරළයේ අලුප්පුඩා දිස්ත්‍රික්කයේ චෙර්තලා තාලුකයේ කඩක්කරපල්ලි ගම්මානයේ පිහිටි කන්දමංගලම් ශ්‍රී රාජරාජේශ්වරී දේවස්ථානයේ ය.


ශ්‍රී ලංකාව

යාපනයේ චුන්නාකම් නගරයේ අලවෙඩ්ඩි මාර්ගයේ ශ්‍රී රාජ රාජේශ්වරී අම්බාල් කෝවිල පිහිටා ඇත. පුවඟු දිවයින තුළ ශ්‍රී රාජ රාජේශ්වරී අම්බාල් දේවස්ථානම් නමින් කොවිලක් තිබේ.[12] නැගෙනහිර පළාතේ මයිලම්බවෙලිහි කාමාක්ෂී දේවියට කැපවූ කෝවිලක් පිහිටා තිබේ.

අනෙකුත්

නිව්යෝර්ක්හි රෂ් හි ශ්‍රී විද්‍යා දේවස්ථානය පිහිටා ඇත. කැලිෆෝනියාවේ සැන් ජෝස් හි ශ්‍රී රාජ රාජේශ්වරිය උදෙසා කැපවූ දේවස්ථානයක් ඇත.

ආභාෂය

ශ්‍රී කන්චි කාමකෝටි පීඨය යනු තමිල්නාඩුවේ කන්චිපුරම් හි පිහිටි හින්දු ආයතනයකි. එය ශ්‍රී කාමාක්ෂී දේවියට ​​කැප වූ කෝවිල අසල අද්වෛත වේදාන්ත ගුරු වන ආදි ශංකරගේ සිද්ධස්ථානය සමඟ පිහිටා ඇත. ශංකර විජයේන්ද්‍ර සරස්වතී එහි 70 වන ජගත්ගුරු වේ.

සටහන්

  1. ^ West Bengal (India) (1994). West Bengal District Gazetteers: Nadīa. State editor, West Bengal District Gazetteers.
  2. ^ Mahadevan 1975, පිටු අංක: 235.
  3. ^ Brooks 1990, පිටු අංක: 155–156.
  4. ^ Williams, Monier. "Monier-Williams Sanskrit-English Dictionary". faculty.washington.edu. trí m. tráyas
  5. ^ ":: WELCOME TO THE WORLD OF SREEVIDYA ::". www.sreevidya.co.in. සම්ප්‍රවේශය 29 මැයි 2017.
  6. ^ Deshpande, N.A (1951). The Padma Purana. ISBN 8120838297.
  7. ^ Mahadevan 1975, පිටු අංකය: 237.
  8. ^ Muller 1860, පිටු අංකය: 323.
  9. ^ Dalal, Roshen (2010). The Religions of India: A Concise Guide to Nine Major Faiths. Penguin Books India. p. 207. ISBN 978-0-14-341517-6.
  10. ^ a b Shankaranarayanan, S. (1979). Sri Chakr (3rd ed.). Dipti Publications.
  11. ^ "Archived copy". 28 ජූලි 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2012.{{cite web}}: CS1 maint: archived copy as title (link) [විශ්වසනීය මූලාශ්‍රය?]
  12. ^ ":: Sri Raja Rajeswari Ambal (Kannakai Amman) Temple ::".

ආශ්‍රේයයන්

  • Brooks, Douglas R. (1990), The Secret of the Three Cities: An Introduction to Hindu Sakta Tantrism, Chicago & London: University of Chicago Press 
  • Brooks, Douglas R. (1992), Auspicious Wisdom, Albany: State University of New York Press 
  • Kinsley, David (1997), Tantric Visions of the Divine Feminine: The Ten Mahavidyas, New Delhi: Motilal Banarsidass,  

වැඩිදුර කියවීමට

  • Dikshitar, V.R. Ramachandra (1991). The Lalita Cult. Delhi: Motilal Banarsidass.
  • Kinsley, David (1998). Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions. Berkeley: University of California Press.