ප්‍රධාන මෙනුව විවෘත කරන්න

විෂ්ණු (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු ආගමේ ප්‍රධානතම දේවතාවන්ගෙන් කෙනෙකි. වෛශ්ණවවාදයට අනුව පරම ආත්මය හෝ පරම සත්‍ය ලෙස හැඳින්වේ. බ්‍රහ්ම, ශිව සහ විෂ්ණු යන හින්දු ත්‍රී මූර්තියෙන් ‘‘ලෝකය ආරක්ෂාකරන්නා“ විෂ්ණු දෙවියන්ය. වෛශ්ණවවාදයට අනුව විෂ්ණු දෙවියන් විශ්වයේ උත්තරීතරම බ්‍රහ්මයා සේ හඳුන්වයි. එතුමා විවිධ යුග වලදී විවිධ අවතාර දරා ලෝකය නපුරෙන් ආරක්ෂා කරන බව විශ්වාසයයි. එතුමාගේ අවතාර අතර වැඩිපුර අවදානයට ලක්ව ඇත්තේ රාමායනයෙහි කියැවෙන රාම සහ මහාභාරතයෙහි සඳහන් ක්‍රිෂ්ණ අවතාරයි. එතුමන්ව නාරායන, ජගන්නාථ, වාසුදේව, විතෝභ සහ හරී යනුවෙන්ද හඳුන්වනු ලබයි. හින්දු ආගමේ පංචායටන පූජාවේදී වන්දනා කරනු ලබන දෙවි වරුන් පස් දෙනාගෙන් එක් අයෙක් වන්නේ විෂ්ණු දෙවියන්ය.

විෂ්ණු
ලෝක ආරක්ෂක දෙවි, යහපත රැකීම, ධර්මය ප්‍රතිෂ්ඨාපනය, මෝක්ෂ[1][2]
Bhagavan Vishnu.jpg
විෂ්ණු
අනුබැඳියපරම බ්‍රහ්ම (වෛෂ්ණව ආගම), ත්‍රීමූර්ති, දේව, ත්‍රිදේව්
වාසභවනයවෛකුන්ත
මන්ත්‍රයॐ नमो नारायणाया (ඕම් නමෝ නාරායනාය) ॐ नमो भगवते वासुदेवाय (ඕම් නමෝ භගවතේ වාසුදේවාය)
ආයුධයචක්‍රය (සුදර්ශන චක්‍රය) සහ යගදාව (කෞමෝදකී ගදා)[3]
සංකේතනෙළුම්, ශේෂ
වල්ලභයන්ලක්ෂ්මී
සොයුරු/සොයුරියන්ශක්ති හෙවත් පාර්වතී
වාහනයගරුඬ[3]
උත්සවහෝලි, රාම් නවාමි, ක්‍රිෂ්ණ ජන්මාෂ්ටමි, නරසිංහ ජයන්ති, දීපවාලි, ඕනම්, විවාහ පංචමි, විජයදශාමි, අනන්ත් චතුර්දාශි, දෙව්ශයනි ඒකදාශි, කාර්තික් පූර්නිමි, තුල්සි විවාහ්[4]

හින්දු ආගමික ප්‍රතිමා නිර්මාණයේදී විෂ්ණු දෙවියන් දීප්තියෙන් අඩු නිල් හෝ තද නිල් වර්ණයෙන් යුක්ත වන අතර අත් හතරකින් යුක්ත වේ.

එතුමාගේ වම් අතේ නෙළුම් මලකුත්, දකුණු අතේ කෞමෝදකී යගදාවත්, පංචාජන්‍ය සංඛය ඉහලින් පිහිටි වම් අතේ සහ සුදර්ශන චක්‍රය ඉහලින් පිහිටි දකුණු අතෙත් ඇති ලෙස දක්වා ඇත.

විෂ්ණු දෙවියන් පිළිබඳව සඳහන් පැරණි විස්තර වලට අනුව එතුමා ශේෂ නාගයාගේ දරණය මත සැතපී සිටින අතර ලක්ෂ්මී දේවියද එතුමා ළඟින් සිටී. එහි ගැබ් වූ අරුත වන්නේ විශ්වය යතාර්ථයක් කිරීමට සිහින දකිනවා යන්නයි.

පටුන

විෂ්ණු අවතාරසංස්කරණය

හින්දු ආගමේ සඳහන් අවතාර සංකල්පය බොහෝ අවස්ථාවලදී ත්‍රී මූර්තිය වන බ්‍රහ්ම, විෂ්ණු, ශිව දෙවිවරුන් අතරින් ලෝක ආරක්ෂක විෂ්ණු දෙවියන් හා බැඳී පවතී. (මෙහිදී අවතාර යනු දෙවියන් මනුලොව පහල වීමයි) විෂ්ණු දෙවියන් අවතාර දරණුයේ ලෝකයේ යහපත ආරක්ෂා කිරීමටත් නපුරට එරෙහිව සටන් කිරීමටත් සහ ධර්මය ස්ථාපිත කිරීමත් උදෙසායි.

දශඅවතාරසංස්කරණය

භගවත පුරාණයේ සඳහන් වන ආකාරයට විෂ්ණු දෙවියන්ගේ අවතාර අප්‍රමාණ වන අතර අවතාර දහයක් (දශඅවතාර) එතුමන්ගේ පූර්ණ රූපයෙන්ම දැක්වේ. එම ප්‍රධාන අවතාර දහය ගැන අග්නි පුරාණය, ගරුඬ පුරාණය සහ භගවත පුරාණය යන ග්‍රන්ථ වල දක්වා ඇත. පංචරාත්‍ර නම් ග්‍රන්ථයේ අවතාර තිස් නවයක් ගැන දක්වා ඇත. මෙම ප්‍රධාන අවතාර දහය දශඅවතාර ලෙස හඳුන්වයි.

විෂ්ණු දෙවියන්ගේ දශඅවතාර
නම විස්තරය රූපය
මත්ස්‍ය අර්ධ මත්ස්‍ය අර්ධ මිනිස් ස්වරූපයකින් යුක්ත වේ. ඔහු මහා ජලගැල්මකින් ලෝකය බේරා ගන්නා ලදි. එහිදී මනු රජු සහ අනෙකුත් සියළු ජීවීන් බේරා ගන්නා ලදි.  
කුර්ම මේ අවතාරය කැස්බෑවෙකි. දෙවියන් සහ අසුරයින් එක්ව අමෘතය සොයා කිරි මුහුද කැළඹවීමේ කාරණයේදී උපකාර කරන ලදි.  
වරහා මෙම අවතාරය ඌරෙකුගේ ස්වරූපයෙන් යුක්ත වන අතර හිරණ්‍යාක්ෂ අසුරයාගෙන් පෘතුවිය බේරා ගන්නා ලදි.  
නරසිම්හ අර්ධ සිංහ අර්ධ මිනිස් ස්වරූපයකින් යුක්ත වන අතර ඔහු ප්‍රහලාද අසුර කුමාරයාව බේරා ගන්නා ලදි.  
වාමන මෙම අවතාරය අඟුටුමිට්ටෙකුගේ ස්වරූපයෙන් යුක්ත වන අතර ඔහු අසුර රාජ බලී ගෙන් විශ්වය බේරා ගන්නා ලදි.  
පරශුරාම පොරවක් අතින් දරා ගත් සෘෂිවරයෙකුගේ ස්වරූපක් දරන අතර ක්ෂත්‍රීයන්ගේ අධර්මිශ්ඨ කම් වලට දඬුවම් කරන ලදි.  
රාම දුනු හී රැගත් පුරුෂයෙකුගේ ස්වරූපයකින් යුක්තයි. රාවණගෙන් සීතාව බේරාගන්නා ලදි.  
ක්‍රිෂ්ණ අසුර රජ කන්සා සහ ඔහුගේ අසුරයින් විනාශ කොට අහිංසක මිනිසුන් ආරක්ෂා කරන ලදි.  
බුද්ධ මෙම අවතාරය යම් තැනෙක ගෞතම බුදුන් බවද තවත් තැනෙක බලරාම බවත් සහ තවත් තැනෙක සෘෂභනාථ ලෙසද දක්වා ඇත.  
කල්කි මේ අවතාරය සුදු අශ්වයෙකු පිට යන මිනිස් ස්වරූපයක් ලෙස දක්වා ඇත. කලි යුගය අවසානයේ පහල වන බව දක්වා ඇත.  


වෛෂ්ණව දර්ශනය සංක්ෂිප්තවසංස්කරණය

 
ශ්‍රී ක්‍රිෂ්ණා අවතාරය

වෛෂ්ණව දර්ශනයේ මූලික හරය වන්නේ හිංසාව, අයුක්තිය,අධර්මය, අවනීතිය,අසාධාරණය,ආත්මාර්ථකාමීත්වය හා අසමානාත්මතාවය යන අධර්මයන් පරාජය කොට, අහිංසාව, යුක්තිය,ධර්මය,නීතිය,සාධාරණත්වය,පරාර්ථකාමීත්වය හා සමානාත්මතාවය යන ප්‍රකාශ කර ඇත.

භගවත් ගීතාව 5;7/8 ශ්‍රී ක්‍රිෂ්ණා මෙසේ පවසයි. "යදා යදා හි ධර්මස්‍ය -ග්ලානිර් භවති භාරත.. අභ්යුත්ථානම'ධර්මස්‍ය -තදා'තමානම් ඍජාමයහම්. පරිත්‍රාණාය සාධූනාම් -විනාශාය ච දුශ්කෘතාම්.. ධර්ම සංස්ථාපනාර්ථාය - සම්භවාමි යුගේ යුගේ...." අර්ජුන, යම් කාලයකදී ධර්මයේ පිරිහීයාමත්, අධර්මයේ නැගිටීමත් සිදුවේද, එකල්හී මම ආත්ම ස්වරූපයෙන් නැඟී සිටිමි.(මාගේ ස්වරූපය දක්වමි.) යහපත් මිනිසුන් ආරක්ෂා කිරීමටත්, අධර්මිෂ්ඨයන් හා එම ක්‍රියාවන් නැසීමටත්, ධර්මය ස්ථාපිත කිරීම සඳහාත්, මම යුගයක් යුගයක් පාසා මනුලොවට පැමිණෙන්නෙමි..

විෂ්ණු දෙවියන්ට භාවිතා වන දහසක් නම්සංස්කරණය

 
විෂ්ණු දෙවියන්

විෂ්ණු දෙවියන්ට විශාල නම් සංඛ්‍යාවක් භාවිතා වන අතර එම නම් විෂ්ණු සහස්‍රනාම (විෂ්ණු දෙවියන්ගේ දහසක් නම්) යන මහාභාර‍තයේ කොටසක් වන පරිච්ඡේදයක සඳහන් වේ. කුරුක්ෂේත්‍ර සටන් භූමියේදී භීම විසින් ක්‍රිෂ්ණා ඉදිරියේ විෂ්ණු දෙවියන්ගේ බල මහිමය වර්ණනා කිරීම සඳහා මෙම නම් පවසනු ලැබේ. වෛශ්ණව වාදය අනුගමනය කරන්නන් මෙම සහස්‍රනාම සියළුම වේද ග්‍රන්ථවල වටිනාම කොටස ලෙස සලකනු ලබන අතර භක්තිමත්ව මෙම නාම ගායන කරන්නෙකුට අධ්‍යාත්මික යහපත් භාවය හා දෙවියන් පිළිබඳ ඉහල හැඟීමක් ඇතිවේ.

 
විෂ්ණු දෙවියන්ගේ නාභියෙන් පැන නගින නෙළුම් මලක් මත මහා බ්‍රහ්මයා වැඩ සිටින අයුරු.

මෙම නාම අනත්ත කල්‍යාණ ගුණ (අනන්ත වු පුජනීය ගුණ) කොටසින් උපුටාගෙන ඇත.

  • අක්සුඨ
  • උපේන්ද්‍ර ( තාරකාමය යුද්ධයේදී ඉන්ද්‍ර දෙවිදුන් හා හුන් ප්‍රබලයා නිසා )
  • අනන්ත (සදාතනික)
  • දාමෝධර (උදරය වටා ලණුවක් (දම) සහිත තැනැත්තා - ක්‍රිෂ්ණ)
  • ගෝවින්ද (ගවයන්, බ්‍රහ්මයන්ගේ ආරක්ෂක, ක්‍රිෂ්ණාට ‍යෙදෙන නමකි)
  • හරි (පාපයෙන් මුක්ත කරන්නා යන්නයි)
  • හයග්‍රීව (ඥානය ලබාදෙන්නා)
  • ජගන්නාථ (විශ්වය/ ලෝකයේ පාලකයා/ අයිතිකරු)
  • ජනාර්ධන (ධනවත් පුද්ගලයන්ගේ වැඳුම් පිඳුම් ලබන්නා)
  • කේශව (කේශී ඝාතකයා, අලංකාර කෙස්වැටියක් සහිත තැනැත්තා අථර්වන්වේදය VII, 6, 23)
  • ක්‍රිෂ්ණ (තුන්වන යුගයේ උපත ලැබු අතර එතුමන්ගේ කාර්යයන් ගවයන් ආරක්ෂාවේ සිට පෘථිවිය පාපයෙන් මුදා ගැනීම තෙක් විහිදේ)
  • මාධව (වසන්තප සමයට සම්බන්ධ)
  • මධුසූධන(මධු නම් රාක්ෂයා විනාස කල තැනැත්තා)
  • නාරායන (සියළු මනුෂ්‍යයන්ගේ පදනම වන උත්තමයා / ජලයේ වැතිර සිටින්නා ලෝකයේ සෙවණ)
  • පද්මනාභ (එතුමන්ගේ නාභියෙන් ඇති වු නෙළුම් මලකින් විශ්වය මැවු බ්‍රහ්මයා ඇති වු බව කියවේ)
  • පෙරුමාල් - (දමිළ භාෂාවේ ව්‍යවහාර වන නම)
  • පුරුෂෝත්තම - (අති උතුම් ‍සදාතනික ජීවය)
  • රාම (දෙවන යුගයේ උපත ලැබු එතුමා මනුෂ්‍යයාගේ ආචාර ධර්ම නැවත ඇති කරන ලදී)
  • ඍෂිකේෂ් - (හදවතේ දෙවියන්)
  • සත්‍යනාරායන - (සත්‍යය හා නාරායන වචන දෙකේ සංයුතියෙන් තැනි ඇති මෙහි අර්ථ සත්‍යයේ ආරක්ෂකයා යන්නයි)
  • ශ්‍රීධර- (ශ්‍රී ලක්ෂ්මි දේවිය (ධනයට අධිපති) ගේ ස්වාමියා )
  • සිද්ධාර්ථ - (බුදුරජාණන්වහන්සේ ද විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සමහර හින්දු භක්තිකයන් සලකති)
  • ශ්‍රීමාන් (ලක්ෂ්මි දේවියගේ අභිමානය) - ශ්‍රීමාන් හා නාරයන නම නාම දෙක සංයුක්ත වීමෙන් ශ්‍රීමාන් නාරයන නාමය භාවිතා වේ.
  • ශ්‍රීනිවාස (තිරුපති දේවාලයේ පවතින ස්වරූපය සඳහා මෙම නාමය විශේෂයෙන් භාවිතා වේ. තිරුපති දේවාලයේ ස්වරූපය වෙන්කටේශ්වර නමිද හැඳින්වේ.)
  • ත්‍රිවික්‍රම - තුන්ලෝකයම අත්කරගත් තැනැත්තා (වාමන අවතාරය ලෙස)
  • විශාල් - (අති උතුම්, නැවැත්විය නොහැකි )
  • වාමන - (ඉතා කුඩා හෝ මිටි ස්වරූපය)
  • වාසුදේව - (සියල්ලටම අධිපති දෙවි)

විෂ්ණු දේවධර්මානුකූල ස්වභාවයසංස්කරණය

alt=|thumb|විෂ්ණු දෙවියන්ගේ විශ්ව රූපය.

 
විෂ්ණු සහ ලක්ෂ්මි, විෂ්ණුගේ වාහනය ගරුඬ මත සිටින අයුරු දැක්වේ.

විෂ්ණු සියලූ ආකාරයේ දේවත්වයක් සාදනු ලබන අතර පුරුෂ පරමාත්මා (උත්තරිතරම ආත්මය) අන්තරයාම් (අධයාත්මිකව නිවසනව) සහ සියලූ ආත්මයන් ඇතුලත් සිෂින් (සාකල්‍යය) ලෙස හදුන්වයි. ඔහු භගවත් හෝ භගවත් වන අතර එහි සංස්කෘතික තේරුම භාග්‍ය අයත් කර ගන්නා බවයි. (දිව්‍යමය තේජය) විෂ්ණු දෙවියන් සතු එවැනි දිව්‍යමය තේජස් හයක් ඇත. ඒවා නම්,

  • සියල්ල දත් සියලූ දේ පිළිබදව සමගාමික දැනගැනිමේ බලය.
  • ඓශ්චර්ය ස්වාධිපත්‍ය සැමවිටම නොනැසි පවතින අභියෝගාත්මක නොවන පාලනය.
  • කල නොහැකි දේවල් කල හැකි දේවල් බවට පත් කිරිමේ ඇති ශක්තිය.
  • ඔහුගේ කැමැත්තට අනුව සහ තෙහෙට්ටුවකින් තොරව සැම දෙයක්ම කිරිමේ හැකියාව.
  • විර්ය ශක්තිමත් බව හෝ නිර්භිත ක‍්‍රම මගින් අතිමහත් අධ්‍යාත්මික ගුණයකින් අද්‍රව්‍ය දේ අල්ලා ගැනිමේ බලය.
  • තේජස් ඉතා දිප්තිමත් හෝ ශෝබාව මගින් ඔහුගේ ස්වයං හැකියා සහ ඔහුගේ ආධ්‍යාත්මක ශක්තිය මගින් සියලූ දේවල් මැඩ පැවැත්විමේ හැකියාව.

උපුටා ගන්නා ලද්දේ ස්වාමි තපස්යාන්නදගේ වේදත්ත භක්ති පාසලේ විෂ්ණුගේ ඉහත සදහන් කල ගති ලක්ෂණය හය ඉතා වැදගත් වන අතර කෙසේ නමුත් නියම මංගල ගති ලක්ෂණ ගණනය කල නොහැක. අනිකුත් විෂ්ණුට වැදගත් වන ගති ගුණ නම් ගම්භාහරිය (තක්සේරු කල නොහැකි ඓශ්ච්‍යය) අයුචාරය (නිර්ලෝභි බව) සහ අනුකම්පාව යන කරුණුයි. රිග් වේදයට අනුව විෂ්ණුට තුන් ආකාරයට ගමන් කිරිම කල හැක. පලමු ආකාරය පොලව මත වේ. දෙවැන්න දෘශ්‍ය ආකාශයේය. තුන්වන ආකාරයට මිනිසුන්ට දැකිය නොහැකි අතර එය දෙව්ලොව වේ.

විෂ්ණු දෙවිඳුන් හා ලංකාවසංස්කරණය

ලංකාව සමග බැඳුනු ජනශ්‍රැතරයේ විශ්ණු දෙවියන් ලෙස උපුල්වන් දෙවියන් ද සඳහන් වේ. නමුත් උපුලවන් දෙවියන් යනු හින්දු ආගමේ සඳහන් වන විෂ්ණු දෙවියන් නොවන බව හින්දු වෛෂ්ණව දර්ශනය මගින් පැහැදිලි වේ. බුදු දහම තුල කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාව ආරක්ෂා කරීමට ශක්‍ර දෙවියන්ට (ඉන්ද්‍ර දෙවියන් ලෙස හින්දු ආගමේ සඳහන් වන්නේ ද ශක්‍ර දෙවියන්මයි.) පැවරූ බවත් ශ්‍රක දෙවියන් විසින් උපුල්වන් දෙවියන්ට එය පැවරූ බවත් ය.

  1. Wendy Doniger (1999). Merriam-Webster's Encyclopedia of World Religions. Merriam-Webster. පි. 1134. ISBN 978-0-87779-044-0. https://books.google.com/books?id=ZP_f9icf2roC&pg=PA1134. 
  2. Editors of Encyclopaedia Britannica (2008). Encyclopedia of World Religions. Encyclopaedia Britannica, Inc.. පිටු 445–448. ISBN 978-1-59339-491-2. https://books.google.com/books?id=dbibAAAAQBAJ&pg=PA445. 
  3. 3.0 3.1 Constance Jones; James D. Ryan (2006). Encyclopedia of Hinduism. Infobase Publishing. පිටු 491-492. ISBN 978-0-8160-7564-5. https://books.google.com/books?id=OgMmceadQ3gC. 
  4. Muriel Marion Underhill (1991). The Hindu Religious Year. Asian Educational Services. පිටු 75–91. ISBN 978-81-206-0523-7. https://books.google.com/books?id=Fb9Zc0yPVUUC. 
"https://si.wikipedia.org/w/index.php?title=විෂ්ණු&oldid=432246" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි