ලලිතා මාහාත්ම්‍ය

හින්දු ආගමික ලියවිල්ලක්

ලලිතා මාහාත්ම්‍ය (සංස්කෘත: ललिता माहात्म्य, Lalitā Māhātmya) නොහොත් ලලිතා මාහාත්ම්‍යම් යනු ත්‍රිපුර සුන්දරී දේවිය හෙවත් ආදි පරාශක්තිය විශ්වයේ උත්තරීතර ශක්තිය සහ නිර්මාතෘවරිය ලෙස විස්තර කරන හින්දු දාර්ශනික ග්‍රන්ථයකි.[1] මෙය බ්‍රහ්මාණ්ඩ පුරාණයේ උත්තර ඛණ්ඩයේ කොටසකි.

ලලිතා මාහාත්ම්‍යම්, ලලිතොපාඛ්‍යානය ලෙසින්ද හඳුන්වනු ලබයි. පරිච්ඡේද 32 කින් සමන්විත මෙම පාඨයේ ශ්ලෝක 2743ක් ඇත. එය හයග්‍රීව සහ අගස්ත්‍ය මුනිවරයා අතර සිදුවන සංවාදයක් වන අතර ලලිතා දේවිගේ වෘතාන්තය සවිස්තරාත්මකව විස්තර කරයි.

නිරුක්තිය සංස්කරණය

මාහාත්ම්‍ය (සංස්කෘත: माहात्म्य) යන්නෙහි අරුත වන්නේ මහාත්මභාවය, තේජස යන්නයි. ලලිතා මාහාත්ම්‍ය යන්නෙහි සංක්ෂිප්ත අර්ථය වන්නේ ලලිතා දේවියගේ තේජස යන්නයි. උපාඛ්‍යාන යන්නෙහි වචනාර්ථය වන්නේ වෘතාන්තය හෝ කථා වස්තුව යන්නයි. ලලිතොපාඛ්‍යාන (සංස්කෘත: ललितोपाख्यान) (ලලිතා + උපාඛ්‍යාන) කියන විට එහි තේරුම “ලලිතා දේවියගේ මහා වෘතාන්තය” යන්නයි. එය දෙවඟන පිළිබඳව පමණක් නොව ඇයට නමස්කාර කළ යුතු ආකාරය පිළිබඳවද පැහැදිලි කරන අලංකාර විස්තරයකි.

අන්තර්ගතය සංස්කරණය

අගස්ත්‍ය යනු සුප්‍රසිද්ධ සප්ත ඍෂිවරුන් ලෙස සාමූහිකව නම් කරන ලද ඍෂිවරුන් හත් දෙනාගෙන් කෙනෙකි. ඔහු බ්‍රහ්මාගේ “මානස පුත්‍ර” දස දෙනාගෙන් එක් අයෙකු වන පුලස්ත්‍ය මුනිවරයාගේ පුත්‍රයාය. වින්ධ්‍යාචල මහා පර්වතය (මධ්‍යම ඉන්දියාව) එහි ආත්මාර්ථකාමිත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා අඛණ්ඩව විශාල විය. එහි උඩඟුකම යටපත් කිරීම සඳහා අගස්ත්‍ය ඍෂිවරයා උත්තර ප්‍රදේශයෙහි සිය වාසස්ථානයේ සිට වින්ධ්‍යාචල හරහා දකුණු ඉන්දියාවට ගමන් කළේය. ගෞරවනීය ඍෂිවරයා දුටු විට පර්වතය ගෞරවයෙන් හා නිහතමානීව හිස නමා ආචාර කරයි. මෙය දුටු සෘෂිවරයා තම ගමන නිමවා ආපසු එනතුරු පර්වතයට එලෙසම ආචාර කරමින් සිටිය හැකිදැයි විමසූහ. ඍෂිවරයාගේ වදන්වලට ගරු කරමින් පර්වතය නැමුණු අතර තවදුරටත් නොවැඩුණේ ඍෂිවරයා ආපසු නොපැමිණි නිසා වින්ධ්‍යාචලයේ උඩඟුකම සහ මමත්වය මැඩපැවැත්වූ හෙයිනි.

ඍෂිවරයාගේ පැමිණීම නිසා මුළු දකුණු ඉන්දියාවම සමෘද්ධිමත් හා ධාර්මික විය. නමුත් කලියුගය ආරම්භයේදී, ඍෂිවරයාගේ උත්සාහය නොතකා, අශුද්ධ හා අධාර්මික ක්‍රියාවන්ගෙන් ලෝකය පිරී යාමට පටන් ගෙන එය ඉතා අශෝභන පරිසරයක් බවට පත් කළේය. ඔහුට පෙනුනේ අවට හැමතැනම පවතින අධර්මය සහ ආත්මාර්ථකාමීත්වය පමණි. ශෝකය දරාගත නොහැකි වූ ඔහු කන්චි නුවරට පැමිණ මහා විෂ්ණු දෙවියන්ගේ නාමයෙන් වෘතයක් සමාදන් විය. ඍෂිවරයාගේ අභිප්‍රාය අවබෝධ කර ගනිමින්, දෙවිඳුන් ඥානයේ ගබඩාව වන හයග්‍රීව (අශ්වයෙකුගේ හිසක් සහ මිනිස් සිරුරක් ඇති තැනැත්තා) ස්වරූපයෙන් අගස්ත්‍ය ඉදිරියේ පෙනී සිටියේය.

පසුව ඍෂිවරයා අඥාන පුද්ගලයන්ගේ විමුක්තිය සඳහා පවතින මාර්ගය කුමක්දැයි විමසා සිටියේ ය. එවිට හයග්‍රීව අගස්ත්‍ය හට මෙම දිව්‍ය රහස සියලු මනුෂ්‍ය වර්ගයා වෙත ප්‍රචාරය කළ යුතු යැයි උපදෙස් දුන් අතර උන්වහන්සේ ආදි පරාශක්ති දේවියගේ වෘතාන්තය සහ ශ්‍රී ලලිතා සහස්‍රනාම ස්තෝත්‍රය ඍෂිවරයාට විස්තර කළේය. [2]

ආඛ්‍යානය ආරම්භ වන්නේ දෙවඟන ​​සතී ලෙස ප්‍රකට වී තම ස්වරූපය ත්‍යාග කිරීමෙන් පසුව දෙවඟනගේ තවත් පුනරුත්පත්තියක් වන පාර්වතී දේවියගේ උත්පත්තියෙන් අනතුරුවය. ශිව සහ පාර්වතී විවාහ කිරීමට දේවතාවුන් කාම දෙවියන්ගේ සහය පැතූහ. මන්මතා තම පුෂ්ප ඊතල ශිව සහ පාර්වතී වෙත එල්ල කළේ ඔවුන් තුළ ප්‍රේම හැඟීම් ඇති කිරීමටයි. එයින් කෝපයට පත් ශිව දෙවියන් කාම දෙවියන්ව තම තෙවන ඇසෙන් භස්ම බවට පත් කළේය. ඉන් කළකට පසුව ශිව පාර්වති පුත්‍රයකු වන ගණේෂ ගේ ඉල්ලිමකට අනුව ශිව දෙවියන් කාමගේ භස්ම වලින් සකල ලෝකයා බෙලහීන කොට ශෝණීත පුර නම් නුවර සිට රජකම් කළ භණ්ඩාසුර නම් අසුරයකුට ජන්මය ලබා දුන්නේය. දේවතාවුන් තමන්ට සිදු වූ පීඩාවන් දරාගත නොහැකි වූ කල ත්‍රිමූර්තියේ උපදෙස් පරිදි සර්වබලධාරි නිර්ගුණ බ්‍රහ්මන්ගෙන් උපකාර බලාපොරොත්තු විය. විශ්වයේ යහපත උදෙසා මහා යාගයක් සුදානම් කළ අතර එහි බලිය ලෙස සමස්ථ විශ්වයම පූජා කළහ. ඉක්බිති අග්නියෙන් බ්‍රහ්මන් මහා ත්‍රිපුර සුන්දරී දේවියගේ ස්වරූපයෙන් ප්‍රකට වී කාමේශ්වර සහ කාමේශ්වරි ලෙසින් තම ස්වරූපය වෙන් කොට විශ්වය නැවත නිර්මාණය කළහ. පසුව ත්‍රිපුර සුන්දරී දේවිය තම සෙනාවන් නිර්මාණය කොට භණ්ඩාසුර සංහාරය කර යළි මණිද්වීපය වෙත පිටව ගියාය.

ලලිතා සහස්‍රනාම සංස්කරණය

ප්‍රධාන ලිපිය: ලලිතා සහස්‍රනාම

ලලිතා සහස්‍රනාමය ශක්ති සංස්කෘතිය තුළ ඉතා වැදගත් සහ සක්‍රීය ස්ථානයක් ගනී. එය ස්තෝත්‍ර සාහිත්‍ය ක්ෂේත්‍රයේ සහ මන්ත්‍ර ශාස්ත්‍රයෙහි විෂ්ණු සහස්‍රනාමයට යාබදව පිහිටා ඇත. ශ්‍රී විද්‍යා බැතිමතුන් එය නිතිපතා ගායනා කරති. එය දකුණු ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය වුවද, වර්තමානයේදී උතුරු ප්‍රදේශයේ ද ජනප්‍රිය වෙමින් පවතී. පළමුව, මෙම සහස්‍රනාමය දෙවඟනගේම මඟ පෙන්වීම යටතේ "වාග් දේවතාවියන්" අට දෙනෙකු විසින් රචනා කරන ලද බව කියනු ලැබේ. මනුෂ්‍යයෙකු විසින් රචනා කර නොමැති එකම සහස්‍රනාමය මෙය (අනෙක් සියලුම සහස්‍රනාමයන් ඍෂි ව්‍යාසය හා සම්බන්ධ වේ) වන අතර එකම නමක් හෝ නැවත නොකියන එකම සහස්‍රනාමය යි. කෙනෙකුට ලලිතා දේවිය වන්දනා කළ හැක්කේ ඇය කැමති නම් පමණක් බවද සහස්‍රනාමයේ සඳහන් වේ.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. https://omshivashakti.wordpress.com/om-shiva-shakti/shri-durga-saptashati/lalita-sahasra-namam/lalitopakhyana-the-story-of-the-goddess-lalita
  2. https://nivniks.wordpress.com/2015/10/07/sri-lalitopakhyana-the-story-of-goddess-lalita/
"https://si.wikipedia.org/w/index.php?title=ලලිතා_මාහාත්ම්‍ය&oldid=513125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි