සිංහල භාෂාව

ලංකාවේ වෙසෙන සිංහල ජනතාවගේ භාෂාව මෙන්ම ශ්‍රී ලංකාවේ මව් භාෂාව ද වේ
(සිංහල වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්‍දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්‍දු-ආර්‍ය්‍ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවයි .

සිංහල crimeසිංහල අකුරු සිංහලෙන් ටයිප් කරමු √
කලාපය ශ්‍රී ලංකාව
ස්වදේශික හසුරුවන්නන්
මිලියන 20 (date missing)
සිංහල අබුගිඩා (බ්‍රාහ්මීය අක්‍ෂර අබුගිඩා වලින් පැවත එයි)
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 ශ්‍රී ලංකාව
භාෂා කේත
ISO 639-1si
ISO 639-2sin
ISO 639-3sin

ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්‍දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.

නිරුක්තියසංස්කරණය

සිංහල යනු මධ්‍යම ඉන්‍දු-ආර්‍ය්‍ය (එළු ) "සිහල" යන වචනයට අනුරූප සංස්කෘත පදය වේ. මෙය "සිංහ" යන සංස්කෘත වචනයේ ව්‍යුත්පන්නයක් වේ[1]. "භගවත පුරාණයෙ"හි සිංහලය, දිවයිනේ සංස්කෘත නාමය ලෙස සඳහන් කර ඇත. මෙම නම සමහර අවස්ථාවලදී "සිංහයන්ගේ වාසස්ථානය" ලෙසද හුවා දක්වා ඇත. මෙය අතීතයේ සිංහයන් බහුල වශයෙන් සිටින්නට ඇතැයි යන විශ්වාසය මත යෙදුනක් යැයි කිව හැක[2].

ඉතිහාසයසංස්කරණය

සුනිල් කුමාරසිංහ අතුකෝරල 2011.08.24 දිවයින බදාදා අතිරේකයට සැපයූ ලිපියකි

සිංහල භාෂාවේ සම්භවය හා ප්‍රවර්ධනය

ඓතිහාසික වාග් විද්‍යාඥයන් බහුතරයක ගේ විශ්වාසය ලොව පවත්නා බොහොමයක්‌ භාෂා, මූලයන් පවුල් පහකට අයත් වන බවය. එනම් ඉන්‍දු යුරෝපීය පවුලත්, හැමිටෝ සෙමිටික්‌ පවුලත්, චීන තිබ්බතීය පවුලත්, ඔස්‌ට්‌ක්‌ පවුලත්, ද්‍රවිඩ පවුලත් යන භාෂා පවුල් පහය. අධ්‍යයන තුළින් විද්වතුන් පෙන්වා දෙන්නේ, සිංහලය අයත් භාෂා පවුල වන්නේ, ඉන්‍දු යුරෝපීය භාෂා පවුල බවය.

සිංහල භාෂාවේ සම්භවය විමසන විද්වතුන් අතර මහාචාර්ය විමල් බලගල්ලේ සූරීන්, ඓතිහාසික කරුණු ඇසුරින් පවතින මතිමතාන්තර හා නිරීක්‌ෂණ අනුව සිංහලය ඉන්‍දු ආර්‍ය්‍ය ගණයට අයත් භාෂාවක්‌ යන්නත් අනාර්ය හෙවත් එම ගණයෙන් අන්‍යතර භාෂාවක්‌ ලෙසත් දෙවගකට බෙදිය හැකි බව පෙන්වා දෙයි. මේ පිළිබඳව ගැඹුරින් කරුණු විමසන හෙතෙම පවසන්නේ, 19 වන සියවසේ ද්විතීය භාගයේ ඇතිවූ සංවාදයන්ට අනුව, සිංහලය ඉන්‍දු ආර්‍ය්‍ය ගණයට අයත්ය යන මතය විද්වතුන් විශාල සංඛ්‍යාවක ගේ නිසඟ මතය වූ බවයි. ( බලන්න, සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය)

සිංහල භාෂාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් සිංහල අභිලේඛන පමණක්‌ නොව සංස්‌කෘත ප්‍රාකෘත දමිළ භාෂාවන්ගෙන් ලියෑවුණු යම් යම් අභිලේඛන පිළිබඳව ද ඉන්‍දු නදී මිටියාවතෙහි ලේඛන පිළිබඳව ද උද්යෝගයකින් සිය විමර්ශන මෙහෙය වූ ප්‍රාඥයෙකි. පරණවිතාන සූරීන් සීගිරි ග්‍රැෆිටි නම් ග්‍රන්ථය හැරුණ විට එපිග්‍රෆියා ඉන්ඩිකා එපිෆියා සෙයිලනිකා, සිලෝන් ජර්නල් ඔෆ් සයන්ස්‌, ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික්‌ සොසයිටි ඔෆ් ග්‍රේට්‌ බ්‍රිටන් ඇන්ඩ් අයර්ලන්ඩ්, ජර්නල් ඔෆ් ද රෝයල් ඒෂියටික්‌ සොසයිටි (සිලෝන් බ්‍රාන්ච්) ජර්නල් ඔෆ් ද ඇමරිකන් ඔරියන්ටල් සොසයිටි, යුනිවසිටි ඔෆ් සිලෝන් වියූ යන ප්‍රකාශනයන්හි පළ කරන ලද ලිපි මගින් සිංහල භාෂාව පිළිබඳව නවමු ආලෝකයක්‌ ලොවට විහිදවූ බව ප්‍රකට කරුණකි. සීගිරි කුරුටු ගී පිළිබඳව වරක්‌ එතුමා සඳහන් කළේ,

"සාහිත්‍ය කෘතීන්හි දැක්‌වෙන, සම්මත සිංහල භාෂාවේ ප්‍රභවයට හේතු වූ පැරණි ඉන්‍දීය භාෂා හා සම කළ කල්හි එම සිංහලය පෙන්වන ශබ්ද විද්‍යාත්මක ප්‍රධාන වෙනස්‌කම් සියල්ල ද, නෑකම් ඇති ඉන්‍දු ආර්‍ය්‍ය භාෂාවන්ගෙන් එම සිංහල භාෂාව විශේෂ බවට පත්කරනු ලබන එබඳු අනිත් වෙනස්‌කම් ද මේ සීගිරි ලේඛනයන්ගෙන් ප්‍රකට වෙයි. මේ ඉතා වැදගත් ශබ්ද විද්‍යා ප්‍රවර්තනයන් ගෙන් සමහරක්‌ ඇ' ස්‌වරය පිළිබඳ සිද්ධිය මෙන් මේ ලේඛන සමයට පූර්ව නොවූ කාලයක පැවති භාෂාවේ පළමු වරට සිදුවූ බව පෙනේ" යනුවෙනි. (මහාචාර්ය සෙනරත් පරණවිතාන) (සංස්‌කෘති ප්‍රකාශන)

ඉතිහාසය පිළිබඳව මතු කර ගත් නිහඬ සාක්‌ෂි ඔස්‌සේ ගැඹුරට කරුණු විමසූ පරණවිතාන සූරීන්, අට, නවය සහ දහ වැනි සියවස්‌වල ලියවුණ (මධ්‍ය සිංහල යුගයට අයත්) බවට සැලකෙන සීගිරි කුරුටු ලිපිවලින්, නූතන සිංහල වර්ණ වින්‍යාසයෙහි ඉතිහාසය පිළිබඳ යම් යම් ලක්‌ෂණ විග්‍රහ කර ඇති බව ප්‍රකට ය. එනම්, ය්, යි, ව්, වු යන අක්‌ෂර මාරුකර ලිවිය හැකි බව, කරයි, කරය්, පවුල, පව්ල, අයිය, අය්ය, යන වචන උදාහරණ ලෙස පෙන්වමිනි. (සංස්‌කෘති - සීගිරි ග්‍රැෆිෆිටි ඇසුරිණි) පුරාතන සිංහල යුගය, පිළිබඳ ගයිගර් පඬිවරයා උපුටා දක්‌වමින් කරුණු විමසන, මහාචාර්ය විමල් බලගල්ලේ සූරීන් පවසන්නේ, ක්‍රි. පූ. 2 සියවස අවසානයේ හෝ 3 සියවසේ මුලට අයත් යෑයි විශ්වාසිත හිරියාලේ පෙරිය කඩුව විහාර සෙල්ලිපියෙහි, ප්‍රථම වරට 'අ' 'ඉ' 'ය' යන අක්‌ෂර පරණවිතාන මහතා කියවන ලද බවය.

මධ්‍ය සිංහල යුගයේ අවසානය හා නූතන යුගයේ ආරම්භය විමසන බලගල්ලේ සූරීන් සිදත් සඟරාව සම්පාදනය වූ මෙම කාලයේ ගද්‍යයට එතරම් බලපෑමක්‌ නොවුණ බව පවසයි. එමෙන්ම සද්ධර්මරත්නාවලිය, පූජාවලිය, ස්‌තූපවංශය, සිංහල ජාතක පොත, සිංහල මහාබෝධි වංශය, සද්ධර්මාලංකාරය ආදියෙන් නියෝජනය වන දඹදෙණි, කුරුණෑගල, ගම්පොල යුගයේ ගද්‍ය සමග අමාවතුර, බුත්සරණ ආදියෙන් නියෝජනය වන පොලොන්නරු යුගයේ ගද්‍යයන් ද සමග සසඳන විට වාක්‍ය සන්‍දර්භය හා රචනා රීතිය අතින් සුඵ වෙනසක්‌ සිදු වුවද භාෂා පරිණාමය අතින් යුගයක්‌ පරීක්‌සීමට කරුණු නොවුණ බව ද පෙන්වා දෙයි.

මධ්‍ය සිංහල යුගයෙන් පසු (14 සහ 15 සියවස) මයුර, ගිරා, සැළලිහිණි සන්‍දේශ වගේම කාව්‍යශේඛරය, ගුත්තිල කාව්‍යය, බුදුගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව ආදියේ භාෂා ශෛලියත් සමග සිදත් සඟරාවට පූර්ව මධ්‍ය සිංහල යුගයේ ලියෑවෙන සියබස්‌ලකර, මුවදෙව්දෑවන, සසදෑව යන කෘතීන්හි භාෂාව විමසීමේ දී සම්භාව්‍ය භාෂා ලක්‌ෂණ ඉස්‌මතුවීම මහාචාර්ය ගයිගර් සූරීන් සම්භාව්‍ය යුගයක්‌ එක්‌ කිරීමට හේතු වන්නට ඇතැයි යනුවෙන් ඇතැම් විද්වත්හු කල්පනා කරති.

මෙලෙස පැමිණි දිගු ගමනේ දී තවදුරටත් මුහුණ දෙන මහනුවර හා කෝට්‌ටේ යුගයන් (රාජාවලිය, අලකේශ්වර යුද්ධය, කඩයිම් පොත්) විමසන විද්වත්හු දමිළ හා සකු වදන් මෙන්ම පෘතුගීසි වචන සිංහලට මිශ්‍ර වීමත් පද්‍ය සාහිත්‍යයෙහි පිරිහීමත් මෙකල සිදු වූ බව පෙන්වා දෙති.

ලිඛිත හා කථිත ව්‍යවහාරයන් පිළිබඳව කරුණු දක්‌වන විද්වත්හු එම දෙවර්ගයෙහි වෙනස්‌කම් පැවති බවට අනුමාන කරති. අනුරාධපුර ද්වීතීය භාගයෙහි පටන්ම මේ ද්විරූපතාවය පවතින්නට ඇති බව පවසන මහාචාර්ය බලගල්ලේ සූරීන් දහවන සියවසේ පමණ සිට කථා ව්‍යවහාරය, ලිඛ්ත ගද්‍ය ව්‍යවහාරය, හෙවත් මිශ්‍ර සිංහල හා ලිඛිත පද්‍ය ව්‍යවහාරය හෙවත් එඵව යනුවෙන් භාෂාවෙහි වූ ද්විරූපතාව ත්‍රිරූපතාවක බට පත්‍වූ බව සඳහන් කරයි.

ගස්‌පට්‌ටා, කොළ, පොතු, ශිලා, සත්‍ව කොටස්‌, මැටි මෙවලම්, ආදී සකස්‌ කරගත් නොගත් ස්‌වාභාවික බොහෝ දැ කඩදාසි පැමිණීමට පෙරත් ඇතැම් දේ පසුත් ලොව, ලේඛනයට ඉවහල් කරගත් බව අපි දනිමු. පැරණි ලක්‌දිව පුස්‌කොලපොත් භාවිතය ලේඛන කලාවෙහි ආශ්චර්යක්‌ව පැවති බව ද අතීතය විමසීමේ දී මනාව තහවුරු වනු ඇත.

ලිවීමට සාමාන්‍යයෙන් භාවිත කරන ලද ද්‍රව්‍යය වූයේ, වියලා මටකොට ප්‍රමාණවත් ව තීරුකොට ගන්නා ලද තල්පත් ( තාලපත්‍ර, දෙමළ( ඕලයි) ය. පොත් සඳහා එබඳු පත්ඉරු ගණනාවක්‌ ලිහිල් ව සිටිනසේ මැදින් සිදුරු කොට නූලක්‌ දමා අමුණනු ලැබී ය. ලොකු පොත් සඳහා දෙකෙළවර එබඳු නූල් දෙකක්‌ දමන ලදී. සාමාන්‍යයෙන් පොත ශක්‌තිමත්‍ව තිබීම සඳහා ලාකඩවලින් හා චිත්‍රවලින් අලංකාර කළ ලී පතුරු දෙකක්‌ යොදනු ලැබීය. දැනුත් දකුණු ඉන්‍දියාවේ ප්‍රාදේශික ස්‌ථානවල තල්පත්‍වල ලිවීම කරනු ලැබේ. තල්පත් දුර්ලභ හිමාල ප්‍රදේශයේ ඒ වෙනුවට රුක්‌ පතුරුවල ඇතුළු පැත්ත යොදා ගන්නා ලදී. (බෂාම්) මේ සඳහා තුනී ලී පතුරු මෙන්ම (කපු, සේදවලට අමතරව) බට පතුරු ද, වැදගත් ලේඛන සඳහා තඹපත් ද භාවිත කළ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

හුදු සන්නිවේදනය සඳහා පමණක්‌ නොව සාහිත්‍යමය වශයෙන් ලිඛිත හා කථන බස වශයෙන් භාෂාව පරිහරණය කිරීමට මිනිසා පෙළඹුණ බව සත්‍යය. අනිකුත් සෑම අංශයකින් මෙන්ම භාෂා භාවිතයේ දී ද යාබද රටේ සංස්‌කෘතිය අපට බෙහෙවින්ම බලපා ඇති බව පොදු අවබෝධය වී ඇත. මේ පිළිබඳව අදහස්‌ දක්‌වන විද්වත්හු පෙන්වා දෙන්නේ, ඉන්‍දු යුරෝපීය හෙවත් ඉන්‍දු ආර්‍ය්‍ය පවුල සහ ද්‍රවිඩ පවුල වශයෙන් ගැනෙන භාෂා භාරතයේ සන්නිවේදනය සඳහා භාවිත වන භාෂා සිය ගණනකින් ඉදිරියෙන් සිටින බවයි.

භාෂා ශාසත්‍රඥයෝ ලෝකයේ විද්‍යාමාන ප්‍රධාන භාෂාවන් ආර්‍ය්‍ය, තුරාණ, සිමිටික්‌ යයි කොටස්‌ තුනකට බෙදත්, ඉතා පුරාණ කාලයේදී ශිෂ්ටාචාර සම්පන්න මනුෂ්‍ය වර්ගයක්‌ පර්සියා දේශයේ එක්‌ පෙදෙසක විසූ බවත් ඔවුන් කල්යාමෙන් එක අතකින් යුරෝපය දෙසට හා අනික්‌ අතින් හින්‍දුස්‌ථානය දෙසට විසිර ගොස්‌ ඒ ඒ තැන රාජ්‍යවල් පිහිටුවා ගත් බවත් ඔවුන් විසින් ව්‍යවහාර කළ භාෂාව ක්‍රමයෙන් වෙනස්‌ව නොයෙක්‌ භාෂා ඇතිවූ බවත් දැන් සොයා දැනගෙන තිබේ. ඔවුහු ආර්‍ය්‍ය යන නාමයෙන් දන්නා ලද්දහුය. ඔවුන් කථා කළ භාෂාව දැනට ආර්‍ය්‍ය සංඛ්‍යාවට ගැනෙන භාෂාවන් ගේ මූලයෑයි භාෂා ශාස්‌ත්‍රඥයන් නිශ්චය කොට තිබේ. ඒ භාෂා ගණයට හින්‍දු යුරෝපීය පවුල යෑයි ව්‍යවහාර කරනු ලැබේ. සංස්‌කෘත මුල්කොට ඇති ඉන්‍දීය භාෂා, පර්සි අන්තර්ගත ඉරාණ භාෂා, අරමීනිය භාෂා ආසියාතික වශයෙනුත්, යුරෝපීය කොටසට හෙලනික්‌ හෙවත් ග්‍රීක භාෂාවට අයිති සියලු භාෂා, ඉතාලික, ලතින්, ප්‍රංශ, ස්‌පාඤ්ඤ, පෘතුගීසි ආදය, සැල්ටික්‌ - කෝර්නිෂ්, වැල්ෂ්, බ්‍රිතාන්‍ය අයිරිෂ්, ගැලික්‌ හෙවත් සෙකාච් මැනිස්‌ ආදිය , ස්‌ලැවොනික්‌ - රුසියන්, පොලිෂ් ආදිය, ට්‍යටොනික්‌ - ජර්මන්, ඉංග්‍රීසි, නොර්ස්‌,ලන්‍දේසි ආදිය හා ඉන්‍දීය කොටසට අයිති භාෂා වශයෙන් ව්‍යවහාර සංස්‌කෘත හා මාගධි භාෂා හඳුනාගෙන ඇත. මෙම කොටසට සිංහල, ගුජරාති, මරාඨි, හින්‍දි, බංගාලි, පංජාබි ආදි භාෂා අයත් වෙති. (සිංහල භාෂාව, ගෞරවනීය තියඩෝර් පෙරේරා උන්නාන්සේ විසින් සංගෘහිතයි, පිටු අංක 1, 1945, ගුණසේන සහ සමාගම)

ලාංකිකයන් අතර බල පෑ භාෂා අතර පළමු භාෂාව ලෙස ඉතිහාස ගතව ඇත්තේ, සංස්‌කෘත භාෂාව වන අතර ආගමික පක්‍ෂයෙන් ප්‍රබල තැනක්‌ හිමිකර ගත්තේ, පාලි භාෂාවයි. එහෙත් දේශපාලනය, වෛද්‍ය ශාස්‌ත්‍රය, ජ්‍යෝතිෂ ශාස්‌ත්‍රය, චිත්‍ර ශිල්පය, ගෘහ නිර්මාණ ශිල්පය, සාහිත්‍ය කලා හා කාව්‍යාදී විවිධ විෂයයන් සම්බන්‍ධයෙන් සංස්‌කෘතයෙහි බලපෑම අද්විතීය එකක්‌ වෙයි. මේ තත්ත්‍වය ගැඹුරින් විමසන පණ්‌ඩිත තෙරිපැහැ සෝමානන්‍ද හිමියන් පෙන්වා දෙන්නේ, භාරතය හා ලංකාව අතර සම්බන්‍ධය යම් තරමකට පැරණි ද, සිංහලය හා සිංහලයා කෙරෙහි සංස්‌කෘතිය පෑ බලය ද එතරමට ම පැරණි වන බවය.

රාවණ රජු ගේ නිර්මාණ හැටියට විද්වතුන් හඳුන්වා දෙන කුමාර තන්ත්‍ර හා අර්ථ ප්‍රකාශ යන වෛද්‍ය ග්‍රන්ථ මෙන්ම, චක්‍රපාණි වැනි භාරතීය විද්‍යාඥයන් ගේ රාවණ පිළිබඳ සංස්‌කෘත භාෂාවේත් වෛද්‍ය විද්‍යාවේත් පිළිගැනීම මෙන්ම, රාවණා පුලස්‌ති සෘෂි වරයා ගේ මුණුපුරා වීමද සංස්‌කෘත භාෂාවේ ආලෝකය අපරදිග ව්‍යාප්ත වීමට මහත් පිටු බලයක්‌ විනැයි විද්වත්හු පෙන්වා දෙති. මේ සම්බන්‍ධව අදහස්‌ දක්‌වන සෝමානන්‍ද හිමිපාණන් පෙන්වා දෙන්නේ, පුලස්‌ති මහර්ෂීහු සප්තර්ෂී ගණයට අයත් අපරදිග රාජ්‍ය ගණනාවකම ආදි පාලකයා බවත් සෘෂි කුලයක නායකයෙකු වූ මොහුටත් ඔහු ගේ මුණුපුරා වූ රාවණා රජුටත් සංස්‌කෘත භාෂාව පිළිබඳව විශිෂ්ට විශාරදත්‍වයක්‌ තිබූ බව පිළිගත හැකිය යනුවෙනි.

එහෙත් ලක්‌දිව සංස්‌කෘත පිළිබඳ ඓතිහාසික උදාව ආර්‍ය්‍යයන් ගෙන් ඇරඹෙන අතර ඒ සම්බන්‍ධ ලිඛිත ඉතිහාසය පෙන්වා දෙන, විජය හා එම පිරිස ගේ සම්ප්‍රාප්තියත් පඬුවස්‌ දෙව් හා භද්දකච්චායනාව ආදීන් ගේ භාරතීය සංක්‍රමණයන් අපට නොසලකා හැරිය නොහැක. එමෙන්ම මහාවංශයෙහි සඳහන් වන්නේ, පණ්‌ඩුල බ්‍රාහ්මණෝ නාම භොගවා වෙදපාරගො පණ්‌ඩුල නමැති බ්‍රාහ්මණයන් වේදයෙහි පර තෙර පැමිණියෙකු බවය. ඉතිහාස සටහන් අපට පවසන්නේ, ක්‍රි. පූ. 437 - 367 සමයේ, පණ්‌ඩුල බ්‍රාහ්මණයා පණ්‌ඩුකාභය කුමරුට ශාස්‌ත්‍ර ඉගැන්වූ බවත්, අනුරාධපුර යුගයේ, වාස්‌තු විද්‍යා හා නිමිති ශාස්‌ත්‍ර පැවති බවත් ය. මෙවැනි විද්‍යාවන් ක්‍රි. පූ. 307 - 267 දෙවන පෑතිස්‌ රාජ්‍ය සමයේ ද පැවති බව ඉතිහාසඥයින් පෙන්වා දෙති. මහාවංශය(ක්‍රි. ව.436) ජානකීහරණය( ක්‍රි. ව 515-524), ධර්ම කාව්‍ය කරණ ( ක්‍රි. ව 539-559) වැනි කෘති ලක්‌දිව සංස්‌කෘත භාෂාව ප්‍රකටව පැතිරීමේ සාක්‌ෂි ලෙස අපට සඳහන් කළ හැකිය.

ද්‍රවිඩ භාෂාව වෙනම භාෂාවක්‌ ලෙස වැඩී ශතවර්ෂ ගණනක්‌ තිස්‌සේ දියුණුවෙමින් පැවති බව සඳහන් කරන මහාචාර්ය ඒ.එල්.බෂාම් ඉතා ඈත කාලයේ දී ම සංස්‌කෘත බලපෑමට ද, ලක්‌වූ බව පවසයි.

සමහර උගතුන් ගේ කල්පනාවේ හැටියට ද්‍රවිඩ භාෂා නිsෂ් හා හංගේරියන් යන භාෂා ද අයත් වූ µsනෝ උග්‍රියන් ගණයට දුර නෑ සබඳකම් දක්‌වන බවයි. එසේ නම් ප්‍රාග් ඓතිහාසික යුගයේ මනුෂ්‍ය වර්ගයා ගේ පැතිරයාම පිළිබඳ ව වැදගත් කරුණු ඊට සම්බන්‍ධ ව පැන නගී. එහෙත් එකී මතය තවම ප්‍රතිෂ්ඨාපනය වී නැත. ද්‍රවිඩ වූ කලී ඊට විශේෂ වූ ලක්‌ෂණවලින් යුත් වෙන ම භාෂා ගණයකි. එහි ශබ්ද සමුර්යෙහි මූර්ධන්‍ය ව්‍යඤ්ජන බහුල ය. එයින් ඒ භාෂා කඨොර බවින් යුතු වෙයි. සංස්‌කෘතයේ නැති එ, ඔ, යන දෙකෙන් ද යුත් එහි ස්‌වර සමූහය අ, ආ, යන දෙක බහුලව යෙදෙන උතුරු ඉන්‍දියානු භාෂාවලින් වෙනස්‌. සංස්‌කෘතයෙහි මෙන් ද්‍රවිඩ යෙහිද ව්‍යාකූල සන්‍ධික්‍රම තිබේ. ඉන්‍දු ආර්‍ය්‍ය භාෂාවල ඇති මහාප්‍රාණ ව්‍යඤ්ජන එහි නොමැති ය. දෙමළෙහි ඇති අමුතු ශබ්ද නීති මාර්ගයෙන් සංස්‌කෘත, භූමි ශබ්දය, දෙමළෙහි පූමි වෙයි. යනුවෙන් සඳහන් කරන මහාචාර්ය ඒ .එල්.බෂාම් වැඩි දුරටත් පවසන්නේ, දෙමළ බස සංස්‌කෘතය මෙන් විභක්‌ති යුක්‌ත එකක්‌ ද නොවන බවයි. එහෙත් වචන සම්බන්‍ධය, වචන භේදය, කාල භේදය යන මේවා ප්‍රත්‍ය මාර්ගයෙන් දක්‌වන බවත් එම ප්‍රත්‍ය සීමාරහිත සේ බහුල විය හැකි බවත් ද්‍රdවිඩය ඉතා ඈතදී ම සංස්‌කෘති බලපෑමට ලක්‌ වූ බවත්ය. (අසිරීමත් ඉන්‍දියාව, මහාචාර්ය ඒ.එල්.බෂාම්,(භාෂාව සහ සාහිත්‍යය) පි.497)

සිංහල භාෂාවේ උපත පිළිබඳ අදහස්‌ දක්‌වන මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසන්නේ "සිංහලය, ද්‍රවිඩ භාෂාවෙන් නොව ඉන්‍දු ආර්‍ය්‍ය ප්‍රාකෘතයකින් උද්භෙද වී ය. මුලදී පාලියෙන් ද පසු කලෙක්‌හි සංස්‌කෘතයෙන් හා ද්‍රවිඩය ඇතුළු තවත් භාෂාවන්ගෙන් ද පෝෂණය ලැබූ නමුදු, සිංහලයෙහි උපත ඉන්‍දු ආර්‍ය්‍ය ප්‍රාකෘතයකිනියි යනු අවිවාදයෙන් පිළිගත හැකි මතයකි." යනුවෙන් පවසන අතර හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සිංහලයට මවු බස වූයේ උතුරු ඉන්‍දියාවේ ප්‍රාකෘතයක්‌ ද නො එසේ නම් නැගෙනහිර ඉන්‍දියාවේ ප්‍රාකෘතයක්‌ ද යනු තීරණය කළ හැකි නොවේ යනුවෙනි. (සිංහල සාහිත්‍යයේ නැගීම, මාර්ටින් වික්‍රමසිංහ, 1958, සමන්, පි.අංක. 20 )

මිනිසුන් මෙන් ම භාෂා ද පවුල්වලට අයත් වන බව ඒ පිළිබඳ විශාරදයින් ගේ අදහසයි සිංහලය අයත් වන්නේ, ඉන්‍දු - ආර්‍ය්‍ය ' නැමැති භාෂා පවුලටයි. එය ඉන්‍දු යුරෝපීය භාෂා පවුලට ම අයත් කුඩා ශාඛාවකි. සිංහලයේ මාතෘ භාෂා වශයෙන් වාග් විද්‍යාඥයන් පිළිගන්නේ පාලි හා සංස්‌කෘත භාෂා දෙකයි. සිංහලයේ සහෝදර භාෂා ලෙස පිළිගැනෙන්නේ හින්‍දි, වංග, ගුජරාටි, මරාටි, සින්‍ධි, පන්ජාබ්, උර්දු ආදී උතුරු ඉන්‍දියානු භාෂා යි. (සිංහල අක්‌ෂර විචාරය, මහාචාර්ය, ඡේ. බී. දිසානායක, 2006, පි. 26, සුමිත ප්‍රකාශක)

සිංහල භාෂා ඉතිහාසය පිළිබඳ ගයිගර් ගේ යුග බෙදීම පුරාලිපි සාධකයන්ට අනුව සංශෝධනය වියයුතු බව පෙන්වා දෙන මහාචාර්ය බලගල්ලේ සූරීන් පෙන්වා දෙන්නේ, සිංහල ප්‍රාකෘත යුගය, (ක්‍රි.පූ. 3සිට) (පූර්ව, මධ්‍ය, පශ්චිම ක්‍රි.ව. 7/8 දක්‌වා), මධ්‍ය සිංහල යුගය( පූර්ව, මධ්‍ය, පශ්චිම ක්‍රි.ව. 18 දක්‌වා), නූතන සිංහල යුගය ( පූර්ව, පශ්චිම, නූතන අවධිය දක්‌වා ) වශයෙන් ගයිගර් ගේ යුග බෙදීම අනුව පැවති සිංහල ප්‍රාකෘත යුගයත්, ප්‍රාක්‌ සිංහල යුගයත් යන දෙකම මෙහිදී සිංහල ප්‍රාකෘත යුගයට අයත් වන බව ය.(පි.අංක.62, 63) භාෂා විශාරදයන් පවසන්නේ, සිංහලට පමණක්‌ නොව සංස්‌කෘත භාෂාවට පවා නියම ව්‍යාකරණයක්‌ ක්‍රිස්‌තු පූර්ව හතරවන ශත වර්ෂය වන තෙක්‌ නොපැවති බවය. භාරතීය පුරාණ ව්‍යාකරණ ග්‍රන්ථයක්‌ ලෙස සලකන "පාණිනි' ව්‍යාකරණය පවා ලියවෙන්නේ, විජය රාජ්‍ය සම්භවයෙන් වසර 200ට පමණ පසුව බවත් සිංහල භාෂාවේ පැරණිම ව්‍යාකරණ කෘතිය ක්‍රිස්‌තු වර්ෂ 13 වෙනි ශත වර්ෂයේ පමණ ලියන ලද බවත් සිංහල භාෂාව ක්‍රමයෙන් දියුණු වී එහි ව්‍යාකරණ බොහෝ දුරට මාගධි සහ සංස්‌කෘත භාෂා අනුව සකස්‌ වන්නට ඇති බවය.(ශුද්ධ සිංහල ශබ්ද මගධ බසිනුත් මිශ්‍ර සිංහලයෙහි මුල් භාෂාමය ශබ්ද බොහොමයක්‌ සංස්‌කෘත භාෂාවෙනුත් ) ඇතැම් සිංහල ශබ්ද මාගධ, සංස්‌කෘත හෝ ප්‍රාකෘත ශබ්දයන් ගෙන් බැහැර වෙනත් ශබ්දයන්ට ද ආසන්න බව (තියඩෝර් පෙරේරා පඬිතුමන්) ( පන්ජාබ්) මුහුණ්‌ (සින්‍ධු) මුණ්‌හු, (සිංහල) මුහුණු, මූණු ( සින්‍දි) උරුප් ,(සිංහල) ඔරු, (බෙංගාලි, ගුජරාටි, ඕරිය) මාටි, (හින්‍දි) මිටි, (සිංහල) මැටි ආදි වශයෙන් සඳහන් කරයි.

එමෙන්ම භාෂා විශාරදයන් පවසන්නේ, දැනට සොයාගෙන ඇති පැරණිම අක්‌ෂර වනුයේ µsනීයානු අක්‌ෂර මාලාව බවයි. මෙම අක්‌ෂරවලින් ලියෑවුණ පැරණිම සෙල්ලිපිය ක්‍රි.පූ. 9 වන සියවසට අයත් මෝබයිට්‌ ටැම් ලිපිය වන බවත් ඉන්‍දුනීසියානු අක්‌ෂර මාලාව ඉන්‍දියාව දෙසට යැමෙන් බ්‍රාහ්මී හා දේවනාග අක්‌ෂරත්, යුරෝපය දෙසට යැමෙන් ග්‍රීක, රෝම හා ඉංග්‍රීසි අක්‌ෂරත් සකස්‌ වු බවත් පෙන්වා දෙති. භාෂාව, ජන වර්ග හැඳින්වීමට ද ගෙන ඇති උත්සාහයට නිදසුන් වශයෙන්, මෙන්ම ද්‍රවිඩ යන වචනය ද භාෂාවක්‌ හැඳින්වීමටත්, කන්නඩි වැනි විවිධ භාෂා කතාකරන දකුණු ඉන්‍දීයයන් හැඳින්වීමටත් භාවිත වෙති. එසේම ශාන්තිකර්ම හා පූජා විධි සම්බන්‍ධව ප්‍රචලිත රාජවඩිග පටුන, මල්සරාවඩිග පටුන, නාගවඩිග පටුන, දෙමළවඩිග පටුන හා වඩිග තතන්ත්‍ර යන කෘතීහු තෙලූපඟු හෙවත් වඩිග දෙමළ ප්‍රභවයට අයත් යයි ඒ කෘතිවලම සඳහන් වේ.(ආචර්ය සී.ඊ.ගොඩකුඹුර) යන්නද ඉහත කරුණ සනාත කරයි.

ආර්‍ය්‍යයන් කියන්නේ, ජනවර්ගයක්‌ කියන එක වැරදි බව සඳහන් කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහින්‍ද සෝමතිලක මහතා පවසන්නේ, සුවිශේෂී සමානතා ලක්‌ෂණ තියෙන භාෂා ගණයක්‌ හැඳින්වීමට භාවිත කළ (ආර්‍ය්‍ය) පදයක්‌ විශේෂ ජනවාර්ගික කණ්‌ඩායමක්‌ හැඳින්වීම සඳහා භාවිත කිරීම ගැටළු සහගත මෙන්ම අනුචිත දෙයක්‌ ලෙයසි. කෙසේ වුවද සිංහල වර්ණ මාලාව ගැන කරුණු සැළකීමේ දී අපේ ඓතිහාසික කෘතියක්‌ ලෙස සැළකෙන 'සිදත් සඟරාව' අමතක කළ නොහැක. ප්‍රාණාක්‌ෂර 10 කිනුත් ගාත්‍රාක්‌ෂර 20 නුත් සමන්විත සිදත් සඟරා හෝඩියෙහි ඇ සහ ඈ යන පණකුරු දෙක ඇතුළත් නොවේ. ඊට හේතු වන්නේ, පාලි හෝඩියේත්, සංස්‌කෘත හෝඩියේත්, දෙමළ හෝඩියේත් එම අක්‌ෂර දෙක නොමැති හෙයින් ය. (මහාචාර්ය ඡේ. බී.දිසානායක)

භාෂා සහ සාහිත්‍යමය අගයන් පිළිබඳව විමසා බැලීමේදී තුන්වන සියවසේ මැද භාගයේ පමණ ලක්‌දිවට ලේඛනය හඳුන්වා දෙන ලදැයි පවතින සාමාන්‍ය විශ්වාසය වෙනසකට බඳුන් කරන මානව හා පුරා විද්‍යාඥයන් සඳහන් කරන්නේ, ක්‍රි.පූ.6 වන හෝ යටත් පිරිසෙයින් පස්‌වන සියවසේ දී ලක්‌දිව බ්‍රාහ්මීය ලේඛන පැවති බවයි. අනුරාධපුර ඇතුළු නුවර සල්ගහවත්ත භූමියෙන් සොයා ගත් මැටි බඳුන් කැබිලිති ක්‍රි.පූ. 531-428 කාලයට අයත් බවත් තත් යුගයේ බ්‍රාහ්මීය ලේඛන පැවති බවටත් විශ්වාස කළ හැකි සාධක එළවයි.( අපේ සංස්‌කෘතික උරුමය-මධ්‍යම සංස්‌කෘතික අරමුදල)

ලක්‌දිව දැනට පවත්නා පැරණිතම අක්‌ෂර ලෙස හඳුන්වන බ්‍රාහ්මී අක්‌ෂර මෙරටට ගෙන එන ලද්දේ, මිහිඳු මහ රහතන්වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස යෑයි ඇතැම් විද්වතුන් සඳහන් කළද, සිංහල අක්‌ෂර මාලාවේ ආරම්භය පිළිබඳ විමසුමක්‌ කර ඇති පී.ඊ.ඊ. ප්‍රනාන්‍දු මහතා පවසන්නේ, මහින්‍දාගමනයට පූර්ව යුගයේ බ්‍රාහ්මී අක්‌ෂර ලක්‌දිව ජනයා දැන සිටි බවය. (ලංකාවේ අධ්‍යාපනය, කොළඹ, 1967, 19 පිටුව) තවද, අනුරාධපුර ඇතුළු නුවර කැණීම්වලින් ලැබුණ කාසි සහ එම කාසි නිෂ්පාදනයට යොදාගත් අච්චු ද අක්‌ෂර සහිත මැටි වළං කැබලි ද මීට සාපේක්‌ෂ කාල වකවානුවේදීම තිස්‌සමහරාම, මාන්තායි ආදී ප්‍රදේශවල කැණීම් ආශ්‍රයෙන් ලැබී ඇති සාධක ද ක්‍රි.පූ. 5 - 4 සියවස්‌ නියෝජනය කරන බව පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති. එවැනි ඓතිහාසික සාධක තුළින් ඉතිහාසය තුළ පවතින සාවද්‍ය තොරතුරු ඉවත දැමිය හැකි අතර බූන්‍දල, රංචාගොඩ, ඉරණමඩු, නුවර, ඉබ්බන්කටුව, අලිගල, පොතාන, පොම්පප්පුව, බටදොඹ ලෙන, ෆාහියන්ලෙන, අලුලෙන ආදී ස්‌ථාන කැණීම්වලින් මෙන්ම, මෙම මතය තහවුරු කිරීමට තවත් සාක්‌ෂියක්‌ වශයෙන් සැළකිය හැකිය. එමෙන්ම විවිධ ප්‍රදේශවලින් ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක තුළින් අපේ පූර්වජයින් අක්‌ෂර භාවිතය පිළිබඳ අවබෝධයක්‌ පැවති පිරිසක්‌ ලෙස විසූ බව පිළිගත හැකිය. වංශ කථාවල සඳහන් වන පණ්‌ඩුකාභය කුමරා පණ්‌ඩුල නමැති බ්‍රාහ්මණ පඬිවරයෙකු ගෙන් ශිල්ප උගත් බවට කෙරෙන සඳහන පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.

එසේම, මහින්‍දාගමනයට පසුව ප්‍රථමයෙන්ම ලියවුණ බවට විශ්වාසිත වන්නේ, උත්තිය රාජ්‍ය සමයට අයත් මිහින්තලා ලෙන් ලිපි දෙකකි. ( ගමණි උති මහර්(රීත අබි) තිශය ලෙනෙ දශ දිශ සගශ දිනෙ 2. මාත පිතශ අටය , ගමණි උති දෙවනපිය මහරCධහ සුමන දේවිය ලෙනෙ අගත අනගත චතුදිශ ශගශ) ( හෙළ බසේ වියරණය, ආචාර්ය ඊ.ඇම්.රත්නපාල,1999,පි.අංක 38,39 සරස්‌වතී ප්‍රකාශන) ක්‍රි.ව. 1957 දී සහ 1998 දී සිදු කරන ලද දැලිවල කොටවෙහෙර කැණීම්වලින් හමුවූ පුරාවස්‌තු අතර, ක්‍රි.පූ. පළමුවන සියවසට අයත් යෑයි සැළකෙන බ්‍රාහ්මී අක්‌ෂර සහිත අනුරපුර සම්ප්‍රදායේ ගඩොල්, අක්‌ෂර භාවිතයේ ඉතිහාසය කරා අපව යොමු කරන වැදගත් සාක්‌ෂියක්‌ ලෙස කිව හැකිය.

සංගායනාත්‍රයකට පාත්‍ර වූ පාළි ත්‍රිපිටකය ද අට්‌ඨකථා ද රැගෙන ලක්‌දිව වැඩි මිහිඳුමාහිමියන් මෙහි භික්‌ෂු ශාසනය පිහිටුවා ධර්ම දානය ලබා දුන් අරිට්‌ඨ මහ තෙරුන් ඇතුඵ මහා සංඝරත්නය සිරිලක භාෂා ප්‍රබෝධයට එක්‌කළ ආලෝකය එම අට්‌ඨකථා සිංහලට නැගීමෙන් ම මනාව ප්‍රකට කරයි. 'ධම්පියා අටුවා ගැට පදය' මෙය තහවුරු කරන්නේ, මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි අටුවා හෙළ දිව ඇජරො හෙළ බසින් තැබූහ යනුවෙනි. එමෙන්ම මහටුවා, පසුරු අටුවා, කුරු අටුවා ආදී අටුවාවන් 18 වන සියවස තෙක්‌ම පැවති බව ප්‍රකටය. සිංහල සාහිත්‍යයෙහි විවිධ අංශ පෝෂණය කරමින් ගැඹුරක්‌ ජනනය කළ, හෙළටුවා සාහිත්‍ය පාළි බසට පරිවර්තනය කිරීමත් සමග අභාවිත වූයේ යෑයි පැවසුව ද භාෂාවක ප්‍රගමනයේ දී ඇතැම් අංශ මැකී ගොස්‌ නවාංග සුපුෂ්පිත වීම ද අනවරතයෙන් සිදුවන්නක්‌ බව පැවසිය හැකිය.

සිංහල බස පැරණි වෛදික භාෂාවෙන් සංස්‌කෘත, ප්‍රාකෘත ඔස්‌සේ සැකසී ඇති බව ෙඓතිහාසික වාග්විද්‍යාවෙන් පැහැදිළිවෙයි, ඒ අනුව සිංහල අක්‌ෂර භාරතයේ බ්‍රාහ්මීය අක්‌ෂරයන්ගෙන් ඇරඹී පසුව පල්ලව ආශ්‍රයන්ගෙන් පෝෂණය ලැබ කාලය විසින් වර්තමාන තත්ත්‍වයෙන් භාවිත කෙරේ, කෙසේ නමුත් අපේ භාෂාවේ ලිඛිත හෝඩිය බොහෝ දුරට කලක සිට ම ව්‍යවහාර කරනුයේ, සංස්‌කෘත හා පාලි භාෂාවන්හි හෝඩියට අනුරූප වන පරිද්දෙනි. තවමත් සිංහල බස උගන්වනු ලබනුයේ, සකු පෙළ බස්‌හි දක්‌නා ලැබෙන ශබ්ද වහල් කර ගැනීමෙනි. ඒ අනුව අපේ වියරණ ග්‍රන්ථයන්හි සිංහල හෝඩිය ලෙස අකුරු සිව් පණසක්‌ (54) දක්‌නා ලැබේ.

ස්‌වර(- අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ සෘ සෲ ක්‍ෂෘ එ ඒ ඓ ඔ ඕ ඖ

ගාත්‍රාක්‌ෂර (- ක ඛ ග ඝ `ඪ ච ඡ ජ ¨ ( ක බැඳි ද අක්‌ෂර ) ට ඨ ඩ ඪ ණ ත ථ ද ධ න ප ඵ බ භ ම ය ර ල ව ශ ෂ ස හ ළ (අ)ං (අ)ඃ මේ ක්‍රමයෙන් ස්‌වර 18 කුත් ව්‍යංජන 36 කුත් මෙය පාලි හා සංස්‌කෘත යන දෙභාෂාවන්ගේම හෝඩිවලට වඩා වැඩි අක්‌ෂර ගණනකින් යුක්‌තය." (කුණුබිච්චියේ පංර්කිත්ති හිමි යන් විසින් රචිත ලිපි බස හා කට වහර යන ලිපියෙනි)

අක්‌ෂර තිහකට සීමාවූ සිදත් සඟරා හෝඩියත් අකුරු තිස්‌ දෙකකට සීමා වූ අමිශ්‍ර සිංහල හෝඩියත් ගද්‍ය රචනයට ද බොහෝ දුරට ප්‍රමාණවත් හෝඩියක්‌ ගැන මුලින්ම සඳහන් වන්නේ මහනුවර යුගයෙහි දී ලියවුණු වදන් කවි පොත නම් කෘතියෙහි ය. අත්තරගම රාජගුරු බණ්‌ඩාර නම් පඬිවරයෙකු විසින් ලියන ලද මේ පොත ද පන්සල් පොත් අතරට ගැනෙන්නකි.' (සිංහල අක්‌ෂර විචාරය, ඡේ. බී. දිසානායක, පිටු අංක 188, 2006, සුමිත ප්‍රකාශන)

විවිධ මතයන්ට අනුව මිශ්‍ර සිංහල හෝඩියට අක්‌ෂර 52, 56, 60 හෝ 64 ක්‌ වශයෙන් දැක්‌වේ. වදන් කවි පොතට අනුව සිංහල හෝඩියට අකුරු 560 කි.

පණසෙක සොර සහ හස දෙව ගින්නේ එහි එක එක හසකුර සද මින්නේ සොළ සෙක සොරලු කල ගණනින්නේ නොවසැක පන්සිය සැටකුරු දන්නේ සෝඩියෙ සූතිස්‌ පිල්ලම් කා දී ලු කල සොරයන් සොළස ද ආ දී ගණනින් පන්සිය සැටකින් සුසැ දී අකුරින් සතළිස්‌ හතරක්‌ බේ දී (වදන් කවි පොත 26, 27 )

සිංහල ශබ්ද විචාරය උගන්වන වදන්කවිපොත ශබ්ද වේදීන්ට මනා පිටු බලයක්‌ ලබා දී ඇති කෘතියක්‌ වන අතර සිංහල අක්‌ෂර උච්චාරණය කරන ක්‍රමය ඉගැන්වෙන සෝඩිසන්නය ද පුරාණ සිංහල ලේඛකයන් ගෙන් ලද උතුම් පරිත්‍යාගයක්‌ ලෙස පිළිගත හැකිය.

ඒ ඒ ශබ්දයන් ඇසට හෝ ඒ භාෂාවන් හි වර නැගෙන අයුරු සම්පාදනය කරන ලද ලකුණු ද ශබ්ද ශාස්‌ත්‍රඥයන් විසින් වර්ණ නාමයෙන් හඳුන්වනු ලැබූහ. ඔවුන්ට ඒ නම තබන ලද්දේ, අදහස්‌ ප්‍රකාශ කිêමෙහි ලා වර්ණ ඉවහල් වූ හෙයිනි. ඒ වර්ණයන් ගේ උච්චාරණ විධිය උගන්වනු ලබන ශාස්‌ත්‍රය ශික්‌ෂා නමි. එවිට ඒ ඒ අර්ථයන් ප්‍රකාශ කරන ලකුණු උසුරුවන ආකාරය උගන්වන ශාස්‌ත්‍රය වර්ණ ශික්‌ෂාව' නමින් ගත යුතුය. (වර්ණ ශික්‌ෂාව, නිහි`ළුවේ හේමාලෝක හිමි)

සිංහල ශබ්ද භාවිතය මුල් යුගයේ දී ව්‍යවහාර වූයේ අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඓ ඔ ඕ ඖ ක ග ජ ට ඨ ඩ ණ ත ද ධ න ප බ ම ය ර ල ව ස හ ළ (අ)ං යනුවෙනි.

පුරාණ පඬිවරුන් මෙන්ම භාෂා විශාරදයින් පෙන්වා දෙන්නේ, සිංහල භාෂා ව්‍යවහාරයෙහි වර්ණ, ශුද්ධ සිංහල වර්ණ මාලාව හා මිශ්‍ර සිංහල වර්ණ මාලාව ලෙස දෙවර්ගකින් හැඳින්වූ බවයි. ඒ වර්ණ අතුරින්, සෘ සෘ ක්‍ෂ íෘ ඓ ඖ ඛ ඝ ඪ ච ඡ ජ ඣ ('ක', බැඳි 'ද', අක්‌ෂර ) ඨ ඪ ථ ධ ඵ භ ෂ ශ අං අඃ යන වර්ණ සිංහල නොවන බවයි.

අමිශ්‍ර සිංහල භාෂාවේ අක්‌ෂර 32 ,

අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ ක ග ජ ට ඩ ණ ත ද න ප බ ම ය ර ල ව ස හ ළ (අ)ං යනුවෙනි.(ශුද්ධ සිංහලෙන් ලියන්නේ මෙම අක්‌ෂරවලිනි)

මාගධ භාෂාවේ, අක්‌ෂර 41 ක්‌ වන අතර සංස්‌කෘත භාෂාවේ 49 ලෙසත් හෝaඩි තුනේම අක්‌ෂර එකතු වී මිශ්‍ර සිංහල හෝඩිය අක්‌ෂර 54 කින් යුක්‌ත වන බවත් (තියඩෝර් පඬිතුමන් (1945)) සඳහන් කරයි. අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ සෘ සෲ ක්‍ෂ ක්‍ෂෘ එ ඒ ඓ ඔ ඕ ඖ ක ඛ ග ඝ ඞ ච ජ ජ ¨ ඤ, ට ඨ ඩ ඪ ණ, ත ථ ද ධ න, ප ඵ බ භ ම, ය ර ල ව, ෂ ශ ස හ ළ (අ)ං (අ)ඃ

සිදත් සඟරාව පිළිබඳ විවරණයක්‌ කරන කොටහේනේ පඤ්Æකිත්ති හිමියන් සඳහන් කරන්නේ, පළමුව තිබූ ව්‍යාකරණ ග්‍රන්ථයන්හි පැවති ඌණ ස්‌ථානයන් පූරණය කරමින් වෙදෙහ හිමිපාණෝ දීර්ඝාක්‌ෂරයනුදු බින්‍දු වර්ණය ද සිංහල වර්ණ මාලාවෙහි ඇතුළත් කළ බවය.

පණකුරු පසෙකි එ ද - ලූහු ගුරු බසින් දස වේ ගතකුරු ද වේ විස්‌සෙක්‌ - වහරට යුහූ සිය බසැ අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ - මේ දස පණකුරු නමි

ක ග ජ ට ඩ ණ ත ද න ප බ ම ය ර ල ව ස හ ළ අං, මේවිසි ගතකුරු නමි සිදත් සඟරාව (පෙළ),( බළන්ගොඩ ආනන්‍ද මෛත්‍රෙය මහානායක ස්‌ථවිරපාදයන් වහන්සේ, 1 සන් අදියර)

(පෙණහැල්ලේ සිට මුඛ කුහරය ඔස්‌සේ ඇදී එන වායු ධාරාව අබාධිතව උච්චාරණයෙන් පිට කෙරෙන ශබ්ද ස්‌වර ශබ්ද ලෙසත්, එලෙසම ගලා එන වායු ධාරාව බාධා මැඩගෙන ඒමේදී ව්‍යංජන ශබ්ද මතු කරන්නේ යෑයිද, ස්‌වර සහ ව්‍යංජන හෙවත් ප්‍රාණාක්‌ෂර සහ ගාත්‍රාක්‌ෂර පිළිබඳ ඉගැන්වීමේ දී වාග් විද්‍යාඥයන් විග්‍රහ කර දක්‌වති)

වදන් කවි පොතේ හෝඩිය අක්‌ෂර 50 ට දහනව වන සියවසේ එකතුවන අක්‌ෂර හතරත් සමග 54 ක්‌ වන අතර එය මිශ්‍ර සිංහල හෝඩිය ලෙස හැඳින්වින. මුදලිර් ඒබ්‍රහම් මැන්‍දිස්‌ ගුණසේකර වියතාණන් (1891), උපුටා දක්‌වමින් මහාචාර්ය ඡේ. බී. දිසානායක මහතා ප්‍රාණාක්‌ෂර 18 ක්‌ සමග ගාත්‍රාක්‌ෂර 36 ක්‌, 20 වන සියවසේ භාවිත හෝඩිය වශයෙන් පෙන්වා දෙනු ලබයි. එහෙත් 1989 වර්ෂයේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනය සම්මත කර ගන්නා හෝඩිය වන්නේ, පණකුරු 18 ක්‌ සමග ගතකුරු 42 කින් සමන්විත අකෂර 60 ක වර්ණමාලාවකි., පණකුරු අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ සෘ සෲ í íෘ එ ඒ ඓ ඔ ඕ ඖ වශයෙනුත්,

ගතකුරු (42), (අ)ං (අ)ඃ ක ඛ ග ඝ ඞ ච ඡ ජ ¨ ඤ, `ජ ට ඨ ඩ ඪ ණ, ඬ ත ථ ද ධ න, ඳ ප ඵ බ භ ම, ඹ ය ර ල ව, ශ ෂ ස හ ළ ෆ ,

මේ අනුව අක්‌ෂර 54 ක්‌ ව පැවති වර්ණමාලාව 60 දක්‌වා වැඩිවී ඇත.(මහරගම ජාතික අධ්‍යාපන ආයතනය විසින් 1989 කරන ලද නිර්දේශයට අනුව) එලෙස වැඩි වූ යේ, සඤ්ඤක අක්‌ෂර 5 ත් (ඟ ජ ඬ ඳ බ ) (ෆ) අක්‌ෂරයත් එකතු වීමෙන්ය. (බලන්න, සිංහල අක්‌ෂර විචාරය, ඡේ. බී. දිසානායක, 2006, පි. 194, 195, සුමිත)

අක්‌ෂර අනුපිළිවෙළ අනුව යෙදීම ඉංග්‍රීසියෙහි (ඇල්පබටිකල් ඕඩර්) මෙන් සිංහලයෙහිද භාවිතවෙයි. එහෙත් සිංහලයෙහිදී මෙය දෙආකාර ගනී, එනම් හෝඩියක අක්‌ෂර (අනුස්‌වාරය හා විසර්ගය, අර්ධ ස්‌වර බලපානු ලබයි - 'අ' අක්‌ෂරයෙන් ආරම්භ වෙයි) ඉදිරිපත් කරන ආකාරයට වඩා ශබ්ද කෝෂ අකාරාදිය වෙනස්‌වන බැවිණි.(එය ශබ්ද කෝෂයක පද යෙදීමේ සම්මත පිළිවෙළයි. මේ සම්මතය පිළිබඳ අවබෝධයක්‌ ලැබීමට අද භාවිතවන ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය, ධර්ම සමය, සිංහල ශබ්ද කෝෂය, සංස්‌කෘතික ක. අමා. යේ ශබ්ද කෝෂය ආදී ශබ්ද කෝෂයන් විමසීම වඩාත් ප්‍රයෝජනවත් වන බව කිවයුතුය.

අක්‌ෂර නිර්මාණය පිළිබඳ කරුණු දක්‌වන ඇතැම් විද්වතුන් පවසා ඇත්තේ, කුරුල්ලන් ගේ පා සටහන් ඒ සඳහා පාදක වන්නට ඇති බව ය. එපමණකුදු නොව මානව විඥනය දියුණු තියුණු වීමට සොබා දහමත් පරිසරයත් ඉමහත් මෙහෙවරක්‌ සිදුකර ඇති බව සඳහන් කළ යුතුය. සංස්‌කෘත පඬිවරුන් පෙන්වා දෙන්නේ, අක්‌ෂර උච්චාරණ කාලය සතුන් ගේ හැඩීමෙන් උගත හැකි බවයි.

වාසේත වදතෙ මාත්‍රං ද්විමාත්‍රං වෛව වායසඃ සිඛී රෞති ත්‍රිමාත්‍රංස්‌තු නකුලස්‌ ත්‍වාර්ධමාත්‍රකම්

තලකිරිත්තා හෙවත් බට්‌ටිච්චා එක මාත්‍රාවක්‌ පමණ කාලයක්‌ හඬන්නේය. කවුඩා හ`ඩන්නේ මාත්‍රා දෙකක කාලයකි. මොණරා මාත්‍රා තුනක්‌ නාද කරයි. මුගටියා අර්ධ මාත්‍රාවක්‌ හඬන්නේ වේ. කුකුළා ගේ එක්‌ හැඬලීමක මුල් කොටස මාත්‍රා එකක්‌ දෙවැනි කොටස මාත්‍රා දෙකක්‌ ද තෙවැනි කොටස මාත්‍රා තුනක්‌ ද වශයෙන් හඬලනු ලබයි.

අනිකුත් භාෂා සමග විමසන කල්හි සංස්‌කෘත භාෂාවේ පමණක්‌ ඒක වචන බහු වචන, හා ද්වි වචන යනුවෙන් වර්ගීකරණයක්‌ සිදු කර ඇත. උදාහරණයක්‌ ලෙස දේව වචනය එසේ වර්ග කළහොත්, දේව, දේවෝ, දේව, යනුවෙනි. ඇතැම් විද්වතුන් පවසන්නේ, භාෂාව සකස්‌ වීමේ දී මානව ඇදහිලි විශ්වාස පිළිබඳ පවා එකල්හි අවධානයන් ගිලිහී නොගොස්‌ ඇති බවයි.

භාෂාව පිළිබඳ කරුණු විමසීමේ දී ලිඛිත හා කටවහර භාවිතයන් පිළිබඳවද සැලකිල්ල යොමු කළ යුතුය. සාහිත්‍ය කරුවෝ ඇතැම් අවස්‌ථාවල කට වහරින් ලියනු ලබති. එහිදී ඔවුනොවුන් ගොඩ නගා ගත් අනන්‍යතා මත පිහිටා ලියනු ලබන බැවින් ජනාදරයට ද පාත්‍රව ඇති බව සඳහන් කළ යුතුය. උච්චාරණයේ දී මහාප්‍රාණ භාවිත නොකිරීම සිදු කළද, ලේඛනයේ දී එසේ නොකිරීම භාෂා වේ විනය කඩ කිරීමක්‌ ලෙස ද, භාෂා විශාරදයන් පෙන්වා දෙති.

ලේඛනය සඳහා චිත්‍ර භාවිතය ද සිදු කර ඇති බව ප්‍රකටය. මෙම ස්‌වභාවය කිසියම් මූලාශ්‍රයකට අනුව සිදු නොවුණ බවට විශ්වාස කරන විද්වතුන් ලොව විවිධ මානව වර්ග ඔවුන්ගේ සිතුම් පැතුම් අනුව චිත්‍රාක්‌ෂර භාවිත කර ඇති බව පෙන්වා දෙති. මීට උදාහරණ වශයෙන්, සූමේරියානු මැටි පුවරු මෙන්ම චීනය, ඇමරිකාව, මිසරය වැනි රටවලින් හමුවී ඇති චිත්‍ර සැලකිය හැකිය.

සිංහල බෞද්ධයන් අතර ගෞරව ප්‍රණාමයට පත් ථෙරවාදය පාලි බුදු දහම ලෙස ද හඳුන්වනු ලැබේ පාලි යන වචනය අටුවා ග්‍රන්ථවලට පමණක්‌ සීමා වී නොමැති බව පණ්‌ඩිත සිරි සම්බෝධි හිමියන් ගේ පාලි භාෂාව හා රචනය කෘතියට පෙරවදනක්‌ සපයන, ආචාර්ය පණ්‌ඩිත බළංගොඩ ප්‍රඥවාංශ හිමියන් සඳහන් කරන්නේ, භාෂා ලක්‌ෂණ අනුසාරයෙන් බලන විට පාලිය ලෞකික සංස්‌කෘතියට වඩා නව්‍ය ලක්‌ෂණ දක්‌වන්නේ වී නමුත් කාලය අතින් පාලි වඩා පැරණි යුගයට අයත් වෙතැයි කීම නිරවද්‍යය. තුලනාත්මක අධ්‍යයනයෙහි දී සංස්‌කෘත රූප සහ පාලි රූප මෑත භාගයට අයත් ලකුණු සහිත ව සමතැන් ගන්නා බව පෙනේ, එහෙයින් පාලි රූප සංස්‌කෘතයෙන් ම බිඳී ආයේයෑයි කීම අසාධාරණ ය. සමූහ සමූහ වශයෙන් සිද්ධවුණ ආයු සංක්‍රමණයෙහි දී භාෂාත්මක වෙනස්‌කම් ඇති ගෝත්‍රිකයෝ වරින්වර ඉන්‍දියාවට ප්‍රවිෂ්ට වූහ. ඒ අනුව වෛදික ආයු ප්‍රවාහය සමග ම හෝ ඊටත් පෙර පැමිජි ඉන්‍දු යුරෝපීය ප්‍රවාහයක භාෂාවේ පරිණාමයෙන් පාලිය සකස්‌ වී ඇතැයි කිව හැක. ලෞකික සංස්‌කෘතියෙන් ගිලිහී ගිය වෛදික භාෂා ලක්‌ෂණ ස්‌වල්පයක්‌ පාලියේ ආරක්‌ෂිත ව පවත්නේ, ගෝත්‍රික හෝ ප්‍රාදේශික පැරණි ආර්‍ය්‍ය උපභාෂාවක අභ්‍යාසය විකාශනය වීමේ දී ක්‍රියාත්මක වූ නිසා යෑයි කිවහැකි වේ යනුවෙනි.

ලේඛනය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී, ඓතිහාසික ලිපිලේඛන පරීක්‌ෂා කිරීමෙන් විද්වත්හු ප්‍රකට කර ඇත්තේ, ඉන්‍දියානුන් විසින් ලිවීම සඳහා ගනු ලැබූ පැරණිම ලේඛන ද්‍රව්‍ය වූයේ තල්කොළ සහ භුර්ජ පත්‍ර නැත්නම් එම පොතු බවත්, මෙම ද්‍රව්‍යම යම් යම් සීමා සහිතව දේශීය වශයෙන් ද යොදා ගෙන තිබූ බවය. පසු කාලීනව තඹ, ශිලා, රන් පත්, භාවිත කර ඇති බවද ප්‍රකටය.

මිනිසා ගේ ආධ්‍යාත්මික පරිසරය වර්ධනය වන්නේ, භාෂාවේ හාස්‌කමක්‌ නිසා නොවුනත් මිනිසා වෙනස්‌වෙවී ඉදිරියට යැමත් සමග භාෂාවේද සුවිශේෂතා ඇතිවීම නොවැලැක්‌විය හැකි වෙයි. සභ්‍යත්‍වය සමාජ ගත කරන්නේ, ජාතීන් විසින්ය. ලොව සාහිත්‍යයන් ජාතීන් අනුව අපට මැනිය හැකිය. එනම්, ඉංග්‍රීසි සාහිත්‍යය, අමෙරිකන් සාහිත්‍යය, ප්‍රංශ සාහිත්‍යය, ජර්මන් සාහිත්‍යය, රුසියන් සාහිත්‍යය, ආදී වශයෙන් ලෝක සාහිත්‍යය බෙදා වෙන්කර දැක්‌විය හැකිය. එමෙන්ම ඒ ඒ රටවල සමාජයන් විසින් විවිධ සාහිත්‍යයන් නිපදවූ බව ද ප්‍රත්‍යක්‌ෂ කරුණකි. ඒ වාගේම ඒ ඒ සමාජයන්හි සමානතා විසින් සාහිත්‍යයන්හිද සමාන බවක්‌ විශද කිරීමට සමත් වෙයි. එහිදී ඒ ඒ කලාපයන්හි, කර්මාන්ත, වෙළහෙළඳාම,ආර්ථික හා සාමාජය කටයුතු සැලකිය යුතු තරම් එක සමාන බවක්‌ පෙන්වනු ලබති.

අනුරාධපුර යුගයේ බස හැසිරවීම පිළිබඳ සීගිරි කැටපත් පවුරේ ලිපි ආදර්ශයට ගන්නා මහාචාර්ය සෙණරත් පරණවිතාන මහතා පවසන්නේ, එකළ කථා ව්‍යවහාරයත්, ලේඛන ව්‍යවහාරයත්, පද්‍ය හා ගද්‍ය භාෂාවන් අතරත් වෙනසක්‌ නොතිබෙන්නට ඇති බවය. ගී විරිතෙන් ලියෑවුණ සීගිරි කුරුටු ගී 8 වැනි සියවස තරම් ඈත යුගයක භාෂාව හෙළි කරන තවත් සාධකයක්‌ බව පැහැදිළිය.

කථා ව්‍යවහාරය සඳහා එක බසකුත් ලිත ව්‍යවහාරය සඳහා තව බසකුත් නොවියයුතු යන අදහස වරින්වර පැන නැගි එකකි. ලියන සිංහලය මෙන් කියන සිංහලයත් ව්‍යාකරණානුකූල කළ යුතු යෑයි කුමාරතුංග මුණිදාස මහතා 1934 දී 'ලක්‌මිණිපහන' පත්‍රයේ සංස්‌කාරක වැකියෙන් කියා ඇත. ලිත බස ද කථන බස අනුව හැඩ ගැස්‌විය යුතු යෑයි මීළඟට ප්‍රබලව කියා සිටියේ 1947 යක්‌කඩුවේ ප්‍රඥාරාම හිමියන්ය. ඒත් සමගම, මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සෙණරත් පරණවිතාන, ආචාර්ය සුගතපාල ද සිල්වා යන විද්වත්හු ද ඒ මග ගත්හ. මේ වන විට යටත් විජිත ආධිපත්‍යයේ කුරිරු හෙවණැලි සහ දේශමාමකත්‍වයේ ජනතා පෙළ ගැස්‌ම මත සිංහල ජනයා මහත් පරිහාණියට පත්‍ව සිටි යුගයක්‌ ද විය. එමෙන්ම ඉහත පෙන්වා දුන් පරිදි දෙවන වරට එම මතය පැන නගින්නේ, විදෙස්‌ පාලකයින් ගෙන් මිදී සර්වජන ඡන්‍ද බලය එළැඹීමෙන් පසුවය. හැකිතාක්‌ ඉක්‌මණින් ද අඩුම උත්සාහයකින් ද පදයන් ශබ්ද කිරීම පිළිබඳ අවධානය මේ අනුව සිදුවන ක්‍රමික විකාශයක්‌ ලෙස සඳහන් කළ හැකිය.

භාෂාව හා සාහිත්‍යයෙහි දක්‌වන සබඳතාව මෙලෙසින් චිත්‍රණය කළ හැකි අතර සමාජය පිරිහී ගිය කල්හි සාහිත්‍යය ද පිරිහී භාෂාව ද පිරිහීsමට ලක්‌ව ඇති අයුරු ඉතිහාසය කියවීමේ දී මනාව පසක්‌ වන බව කිව යුතුය. යළිත් සාහිත්‍ය දියුණු වීමත් සමග භාෂාවද දියුණුවීම නව යෙදුම්, වචන, රචනා උපක්‍රම, යෙදුම් ආදිය තුළින් මනාව ප්‍රකට කරයි. අනුරාධපුර යුගයේ සිංහල සභ්‍යත්‍වය පිළිබඳව විමසන විද්වත්හු නටඹුන් ප්‍රතිමා සීගිරි සිතුවම් ආදිය කෙරෙහි ගැඹුරින් විමසන අතර පොළොන්නරු අවදිය වනවිට සිදුව ඇති පිරිහීම එකල ඉදි කිරීම්වලින් පමණක්‌ නොව සාහිත්‍ය තුළින් ද පෙනෙන බව පර්යේෂකයින් පෙන්වා දෙති. (අනිකුත් යුගවල දී මෙන්ම කෝට්‌ටේ යුගයෙන් පසුව ඇතිවූ ශාස්‌ත්‍ර පරිහාණිය විමසීමේ දී ද පැහැදිළිවනු ඇත.)

එළඹෙන විවිධ රාජ්‍ය අවදීන්වල වෙනසකට භාජනය වීමත් සමග පාලි සහ සංස්‌කෘත භාෂාවන්හි බලපෑම සිදු වෙන අතර පසු කාලීනව සිදුවන යටත් විර්ත බලපෑම ලාංකීය සමාජය ඉංග්‍රීසි භාෂාවෙහි බලපෑමට යටත්‍වීම සමාජ ගත විය. සිංහල සමාජයෙහි සිදුවන මෙම වෙනස්‌වීම අනුකාරක වාදයන් ලෙස උගතුන් ගේ විවේචනයට ලක්‌වන්නකි. සිංහල ජාතියේ පටන්ගැන්ම භාරතීය සමාජය දියුණුවෙන් අගතැන් පත් අවධියක බව පවසන මාර්ටින් වික්‍රමසිංහ මහතා සිංහල සාහිත්‍යයේ පටන් ගැන්ම සිදු වන්නේ, ඉන්‍දියාව පිරිහුණු සමයක යෑයි පෙන්වා දෙයි.

ලිඛිත ඉතිහාසය අනුව (1505) විදේශාධිපත්‍යයයන්හි බලපෑම ලාංකීය සංස්‌කෘතියෙහි බොහෝ විපර්යාසයන්හි ආරම්භයයි. පොදුවේ ක්‍රිස්‌තියානි ලබ්දිකයින් ලෙස හැඳින්වුව ද, පෘතුගීසීන් මෙරටට ගෙන ආවේ කතෝලික ආගමයි. ලන්‍දේසීන් රෙපරමාදු ආගමත්, ඉංග්‍රීසීන් බැප්ටිස්‌ට්‌ ආගමත් මෙරටට ගෙන ආ නමුදු, කතෝලික ආගම වඩාත් මෙරට ප්‍රචලිත වූ අතර, ලන්‍දේසි යුගයේ දී ශුද්ධ බයිබලය සිංහලට පරිවර්තනය වීම සිංහල සාහිත්‍යයට භාෂාවට සෑහෙන බලපෑමක්‌ ඇති කළ බව සත්‍යයකි. බ්‍රාහ්මණ වංශික ගොන්සාල්වේස්‌ පියතුමා ගේ මව්බස 'කොන්කනි' භාෂාවයි, එතුමන් ජාත්‍යන්තරය තරණය කළේ විවිධ භාෂා ඥනයේ හැකියාවෙනි. එනම් භික්‌ෂූන් වහන්සේලා ඇසුරෙහි සිංහල භාෂාව හදාරා දශක තුනකටත් අධික කාලයක්‌ මෙරට ධර්ම දූත සේවයේ යෙදී සිංහල ග්‍රන්ථ 22 ක්‌ හා දමිළ ග්‍රන්ථ 15 ක්‌ පමණ රචනා කර ඇත. එපමණකුදු නොව කැරොල්, පසම් හා කන්තාරු යනා දී වශයෙත් ක්‌ෂේත්‍ර තුනක්‌ යටතට ගැනෙන ගීතිකා ද රචනා කරමින් ලෝක සාහිත්‍යයෙහි නිපුණයෙකු විය.

මානව සමාජයේ දිගු ගමනත් සමග සිංහල භාෂාවට ද විවිධ සංස්‌කෘතීන් හා භාෂාවන් ගේ සම්මිශ්‍රණයෙන් යම් යම් බලපෑම් සිදුව ඇති බව ප්‍රකට කරුණකි.

භාෂාවක්‌ නිවැරදිව ලිවීමටත් කියවීමටත් ව්‍යාකරණය කරණ මෙහෙය පිළිබඳ ව නූතන පරපුරේ අවබෝධය කොතරම් ද යන්න අද අවධානයට ලක්‌ව ඇති වැදගත් කාරණාවකි. පාලි හා සංස්‌කෘත මෙන්ම සිංහලයට ද ආවේනිකව සැකසී ඇති අපේ ව්‍යාකරණ නීති භාෂාවක පරිපූර්ණත්‍වය පෙන්වන්නක්‌ බව පැහැදිළිය. ව්‍යාකරණ නීති දැඩිව නොතිබිය යුතු බව මෙන්ම එය පුළුල් නොවීම මෙන්ම කාලීන වෙනස්‌කම් සහිතව බස සකස්‌වීම අවශ්‍ය බව විද්වතුන් ගේ මතයයි. පද බෙදීම,අක්‌ෂර වින්‍යාසය මෙන්ම පැරණි සම්ප්‍රදාය පිළිබඳ අවබෝධය හා ප්‍රගමනයට අවශ්‍ය වෙනස්‌කම් පාසැලේ සිටම පටන් ගත යුතුය. මේ පිළිබඳව කුමාරතුංග ව්‍යාකරණය සිංහල ව්‍යාකරණය පෝෂණය කළ බව විද්වතුන් ගේ පිළිගැනීම වන්නේය. මනා ලෙස සැලසුම් කර ගත් අධ්‍යාපන ක්‍රියාවලියක්‌ තුළ භාෂා ව පිළිබඳ දැක්‌ම ද අනිවාර්ය අංගයක්‌ නොවේ ද යන්න විමසිය යුතු කරුණකි.

සුනිල් කුමාරසිංහ අතුකෝරල

ආශ්‍රීය ග්‍රන්ථ (-

සිංහල භාෂාව, ගෞරවනීය තියඩෝර් ඡේ. පෙරේරා උන්නාන්සේ විසින් සංගෘහිතයි, පිටු අංක 1, 1945, ගුණසේන සහ සමාගම සිංහල අක්‌ෂර විචාරය, ඡේ.බී. දිසානායක,2006, සුමිත ප්‍රකාශන හෙළ හෝඩිය සහ මිශ්‍ර සිංහල හෝඩිය, ජයන්ත පතිර ආරච්චි, 2006, සංවිත ප්‍රකාශන සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය, මහචාර්ය විමල් ඡේ. බලගල්ලේ, නව සංස්‌කරණය, 2010, ගොඩගේ ) 2011 පෙබරවාරි 6 වැනිදා ඉරිදා රාවය, සිංහල සන්නස්‌ හා තුඩපත්, ආනන්‍ද තිස්‌ස කුමාර, 1992, සාර ප්‍රකාශන සාහිත්‍ය ධර්මතාව, ඡේ. බී සේනානායක, 1963, ගුණසේන නිවැරදි න ණ ල ළ යෙදුම, දහම්සිරි කුමාරතුංග,1997, ගුණසේන අපේ වියත් පරපුර හා භාෂා සමාජ පරිණාමය, මාර්ටින් වික්‍රමසිංහ, 2000, සරස) සිංහල සාහිත්‍යයේ නැගීම, මාර්ටින් වික්‍රමසිංහ,1956, සිංහල සාහිත්‍යය, ආචාර්ය සී.ඊ. ගොඩකුඹුර, පරිවර්තනය, ආචාර්ය ඡේ.එස්‌.බී.සේනානායක, සංස්‌කරණය,මහාචාර්ය විමල් ඡේ.බලගල්ල,1999, සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. දෙමළ බෞද්ධයා, සුනිල් ආරියරත්න, 2008, ගොඩගේ අනුරාධපුර සකු පුබුදුව පණ්‌ඩිත තෙරිපැහැ සෝමානන්‍ද හිමි, රසවාහිනි, 1960 (අගෝස්‌තු) නිකිණි කලාපය පි.4, සහ වහර මිහිර ලිපි එකතුව අසිරිමත් ඉන්‍දියාව, මහාචාර්ය බෂාම්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සිංහල අක්‌ෂර විචාරය, මහාචාර්ය ඡේ. බී. දිසානායක, සුමිත ප්‍රකාශන දෙමළ සාහිත්‍ය ඉතිහාසය, මහාචාර්ය සුනිල් ආරියරත්න, ගොඩගේ සහ සහෝදරයෝ අත්තුඩාවේ සිරි රාහුල අනුනාහිමි අභිනන්‍දනය, අත්තුඩාවේ පියරතන, පල්ලේගම සමිත, ටී.එච්. එදිරිසිංහ, 1993, ගොඩගේ සහ සහෝදරයෝ

සුනිල් කුමාරසිංහ අතුකෝරල

උපභාෂාසංස්කරණය

සිංහල බසෙහි උප භාෂා ලෙස තදින් බෙදීමක් දක්නට නොහැක. නමුත් ප්‍රදේශික වශයෙන් කතා කරන විලාශය හා ආවේනික වූ වචන හා යෙදුම් භාවිතයේ වෙනස්කම් දැකිය හැක. රජරට (උතුරු මැද පළාත), රුහුණ (දකුණු පළාත), ඌව (උව පළාත) මෙසේ වෙනස්කම් දැකිය හැකි පළාත් කිහිපයකි. නමුත් මෙම විශේෂිත යෙදුම් හා කතා විලාශ අනෙකුත් සිංහලයන්ට බොහෝ විට පහසුවෙන් තේරුම්ගත හැක.උපුටාදැක්වීම් දෝෂය: <ref> ටැගය සොයාගත නොහැකි බැවින් </ref> වසා දමමින්}}]]'.</ref>

කථාකරන සහ ලියන සිංහලසංස්කරණය

දකුණු ආසියාවේ බොහෝ භාෂාවල දක්නට ලැබෙන දෙදිව් වහර (කතාකරන බස (කථික බස) සහ ලියන බස (ලිඛිත බස) අතර ඇති පැහැදිළි වෙනස) සිංහල භාෂාවෙහිද විශේෂයෙන් දැකිය හැක.

කථික බස (කතා කරන බස) ලිඛිත බස (ලියන බස)
මම ගෙදර යනවා. මම ගෙදර යමි.
අපි පන්සල් යනවා. අපි පන්සල් යමු.
ඔහු ඊයෙ හිටියා ඔහු ඊයෙ සිටියහ.

ස්වරශාස්ත්‍රයසංස්කරණය

සිංහල ස්වර ශබ්ද නැගීමේ රටාව බොහෝ දුරට අනෙකුත් ඉන්‍දියානු භාෂා වලට සමගාමී වේ . නමුත් එම භාෂා හා සසඳන විට සිංහලයටම ආවේනික වූ ලක්‍ෂණ කීපයක් දැ ක ගත හැක. ඒවායින් සමහරක් නම් සඤ්ඤක අකුරු පෙළ එක් වීම, ඇ, ඈ ස්වර එක් වීම, මහා ප්‍රාණ අකුරු (සංස්කෘතයෙන් ආ වචන සඳහා) ඇති මුත් නොමුසු සිංහල බස සඳහා ඒවා ඇවැසි නොවීම ආදියයි.


සිංහල ස්වර ශබ්ද නැගීම

ස්වරය පෙර මැදි අපර
කෙටි  දිගු කෙටි දිගු කෙටි දිගු
සංවෘත
මැදි
විවෘත


සිංහල ව්‍යංජන ශබ්ද නැගීම

ඕෂ්ඨජ
(Labial)
දන්තජ/
දන්තමූලජ
(Dental/Alveolar)
මූර්ධජ
(Retroflex)
තාලුජ
(Palatal)
කන්ඨජ
(Velar)
අපර
කන්ඨජ
(Glottal)
නාසික්‍ය ම (m) න () ණ (ɳ) ඤ (ɲ) ඞ (ŋ)
ස්පර්ශ අඝෝෂ ප (p) ත () ට (ʈ) ච () ක (k)
අඝෝෂ මහා ප්‍රාණ ඵ () ථ (t̪ʰ) ඨ (ʈʰ) ඡ (t͡ʃʰ) ඛ (kʰ)
ඝෝෂ බ (b) ද () ඩ (ɖ) ජ () ග (ɡ)
ඝෝෂ මහා ප්‍රාණ භ () ධ (d̪ʱ) ඪ (ɖʱ) ඣ (d͡ʒʱ) ඝ (ɡʱ)
සඤ්ඤක ඹ (ᵐb) ඳ (ⁿd̪) ඬ (ᶯɖ) ඦ (ⁿd͡ʒ) ඟ (ᵑɡ)
ඌෂ්ම (f) ස (s) ෂ (ʂ) (ʃ) හ (h)
රකාර අර්ධ ස්වර ර (r)
අර්ධ ස්වර ව (ʋ) ල (l) ළ (ɭ ) ය (j)

ලේඛන ක්‍රමයසංස්කරණය

බොහෝ ඉන්‍දියානු අකුරු මාලා මෙන් සිංහල හෝඩිය ද පැරණි බ්‍රාහ්මී අක්‍ෂර මාලාව මත පදනම්වී ඇත. ක්‍රි.පූ. 500දී පමණ ශ්‍රී ලංකාවට මෙම පැරණි බ්‍රාහ්මීය අකුරු හැඳින්වී ඇති බව පුරාවිද්‍යාඥයන් පවසන නමුත් හෙල හවුල ප්‍රධාන පිරිසක් එම මතය බැහැකරයි. සිංහල අකුරු පෙළ, දකුණු ඉන්‍දියානු ග්‍රන්ථ අක්‍ෂර මාලාවට සමීප සම්බන්‍ධයක් ඇති අතර, කාදම්බ අක්‍ෂර මාලාවෙන්‍ද ආභාෂය ලබා ඇති බව පෙනේ. [3][4]

සිංහල හෝඩියේ අකුරු 60ක් ඇති අතර ඉන් 4ක් මෑත කාලයේ දී ඇතුළත් වූ ඒවා වෙයි. සිංහල භාෂාවෙහි ස්වර විශාල ප්‍රමාණයක් ඇත.

සිංහල හෝඩිසංස්කරණය

සිංහල හෝඩි කීපයක් ඇත.

1. අමිශ්‍ර සිංහල හෝඩිය (අක්‍ෂර 32 කි). වෙනත් භාෂාවක අක්‍ෂර හා මිශ්‍ර නොවී පවතින ශුද්ධ සිංහල අක්‍ෂර මෙයට අයත් වේ.

2. මිශ්‍ර සිංහල හෝඩිය (අක්‍ෂර 54 කි). මිශ්‍ර සිංහල හෝඩිය වෙනත් භාෂාවල අක්‍ෂර සමග එක් වීමෙන් පැවත එයි.(පාලි හා සංස්කෘත භාෂා වලින් ඈඳුනු අක්‍ෂර).

3. නූතන සිංහල හෝඩිය (සිංහල වර්ණ මාලාව) (අක්‍ෂර 60 කි). ඉහත සඳහන් හෝඩි දෙකටම අයත් නොවූ මෑතකදී සිංහල භාෂාවට එක් වූ අකුරු අලලා ජාතික අධ්‍යාපන ආයතනය මැදිහත්‍ව 1989දී මෙම හෝඩිය සකස් කර ඇත. මෙය හෝඩියකට වඩා වර්ණ මාලාවක් ලෙස වටහාගැනීම යෝග්‍ය වේ.

නූතන සිංහල හෝඩිය (සිංහල වර්ණ මාලාව) පහත දැක්වේ.

ස්වර (18)
මිශ්‍ර ස්වර (2)
අං අඃ

ව්‍යංජන (40)

සිංහල අක්‍ෂර වින්‍යාසයසංස්කරණය

සිංහල භාෂාවේ අක්‍ෂර වින්‍යාසය ඉන්‍දියානු භාෂාවල ඇති අබුගිඩා අක්‍ෂර විලාසය අනුගමනය කෙරේ. එනම් ශුද්ධ ස්වර සඳහා වෙනම අකුරු පෙලක්ද, ව්‍යංජන සඳහා වෙනම අකුරු පෙලක්ද , ව්‍යංජන ස්වර ආකාරයෙන් වෙනස් කර ගැනීම සඳහා ව්‍යංජන වලට පිලි යොදා ගැනීම ආදී වශයෙන් වේ.

සිංහල ඉලක්කම්සංස්කරණය

නවතම අධ්‍යයනයන් තුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ඈත අතීතයේ සිට ම මෙම ඉලක්කම් භාවිත කොට ඇත. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිත කොට ඇති බවට සාක්‍ෂි ලැබේ. පසුකාලීනව පෘතුගීසි, ලන්‍දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්‍දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. සිංහල යුනිකොඩ් තුලට සිංහල ඉලක්කම් ඇතුළු කිරීමෙ යොජනාවක් ඇත.

සිංහල යුනිකේතසංස්කරණය

යුනිකේත (Unicode) සම්මතයේ 4.0 සංස්කරණයෙහි සිට සිංහල බස (සිංහල යුනිකේත) ද ඇතුළත්‍ව ඇත [5]. එහි ප්‍රතිඵලයක් ලෙස, ඕනෑ ම අයෙකුට කියවිය හැකි පරිදි සිංහලයෙන් වෙබ් පිටුවක් පවත්‍වා ගැනීම හෝ යමක් පළ කිරීම තවදුරටත් සිහිනයක් නොවේ. මෘදුකාංග සිංහල නිසි ලෙස හැසිරවීමට සමත් වීමට කලක් ගතවනු ඇත. උදාහරණයක් ලෙස යංශය, රේඵය, රකාරංශය යනාදී අර්ධ ස්වර රූප නිරූපණයට අත්‍යවශ්‍ය ZWJ (zero width joiner) කේතය ඇතැම් මෘදුකාංග මඟින් නොතකා හැරීම දැක්විය හැක.මෙම zwj කේතය මෘදුකාංග තුළට ඇතුළත් කළ යුතු කාලය එළඹ ඇත.

ව්‍යාකරණසංස්කරණය

සිංහල භාෂාවේ උක්තාඛ්‍යාත පද සම්බන්‍ධය පහත සඳහන් අයුරු බෙදේ.

  1. වචන භේදය (ඒක වචන, බහු වචන)
  2. පුරුෂ භේදය (උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ)
  3. කාල භේදය (අතීත, අනතීත)
  4. ලිංග භේදය (ස්ත්‍රී, පුරුෂ, නපුංසක)
  5. කාරක භේදය (කර්තෘකාරක, කර්‍මකාරක වැකි)
  6. විභක්ති
    1. ප්‍රථමා විභක්තිය
    2. කර්ම විභක්තිය
    3. කර්තෘ විභක්තිය
    4. කරණ විභක්තිය
    5. සම්ප්‍රදාන විභක්තිය
    6. අවධි විභක්තිය
    7. සම්බන්‍ධ විභක්තිය
    8. ආධාර විභක්තිය
    9. ආලපන විභක්තිය
වාක්‍ය සැදීමේදී ඉහත සඳහන් විභක්ති රීති යොදා ගනු ලැබේ. අනෙකුත් ඉන්‍දියානු භාෂා (උදා . සංස්කෘත, දෙමළ, තෙලිඟු ආදී) සමඟ සසඳන විට කර්තෘ විභක්තිය සිංහල බසට පමණක් සිමා වූවක් ලෙස දැක්විය හැක.

වාග්මාලාවසංස්කරණය

සිංහල පදසංස්කරණය

සිංහල පද වර්ග පහත පෙන්වා ඇති අයුරු බෙදේ.

අතීතයේ උපසර්ග පද මුලික පද වර්ගයක් ලෙස සැලකුවද වර්තමානයේ එසේ නොසැලකේ. විස්තාර පද මුලික පද වර්ගයක් ලෙස සැලකිය යුතු බව ආචාර්ය ජේ. බී. දිසානායකගේ වර්තමාන යෝජනාවකි.

පහත සඳහන් වන්නේ සිංහලයේ නව පද නිර්මාණය හෝ අරුත වෙනස් කිරීම සඳහා යෙදෙන විධි ය.

උපසර්ගසංස්කරණය

නාම පද මුලින් පමණක දී එහි අරුත වෙනස් (අඩු, වැඩි, විරුද්ධ ) කිරීමක් උපසර්ග පද වලින් කෙරේ. උපසර්ග පද තද අකුරින් දක්වා ඇත

  • ප - බල, සිඳු
  • උප - පගුරු, පවාර
  • නි - නිදුක් , නිහඬ

සමාස යෙදුමසංස්කරණය

පද කීපයක් විවිධාකාරයට එක වී දෙන අරුත දියහැකි ලෙස තනි වචනයක් ගැලපීම හෙවත් සාධනය සමාස නම් වේ. සමාස වර්ග 5කි. සමාස වූ පද තද අකුරින් දක්වා ඇත.

  1. දකාරාර්ථ සමාසය (උදා. පොත් ද පත් ද - පොත්පත්)
  2. විශේෂණ සමාසය (උදා. සුදු පාට මල් - සුදුමල් )
  3. විභක්ති සමාසය (උදා. ගත් කරනුයේ - ගත්කරු)
  4. අන්‍යාර්ථ සමාසය (උදා. නෙත් තුනක් ඇත්තේ - තිනෙත් (ඊශ්වර දෙවි ))
  5. අව්‍යය සමාසය (උදා. ඉතා මිහිරි වන්නේ - ඉමිහිරි)

පද සන්‍ධි වීමසංස්කරණය

වචන දෙකක් එකට බද්ධ වීම හෙවත් සන්‍ධි වීම මගින්, උච්චාරණයේ පහසුව පිණිස මෙලෙස අලුත් පද සැදීම සන්‍ධි කිරීම නම් වේ. සිංහල බසේ පද සන්‍ධිය බෙහෙවින් භාවිතා වේ. සිංහලයේ පද අතර සන්‍ධි වීම සිදුවන ක්‍රම දහයකි.

පද සන්‍ධි උදාහරණ;

  • වම් + අතින් = වමතින්
  • ගුරු + උතුමා = ගුරුතුමා
  • ග්‍රාම + උදය = ග්‍රාමෝදය

සිංහල යෙදුම්සංස්කරණය

ප්‍රස්ථාව පිරුළුසංස්කරණය

සිංහල භාෂාවේ විශේෂ ප්‍රයෝගයක් වශයෙන් ප්‍රස්ථා පිරුළු සැලකිය හැකියි. ප්‍රස්ථාව පිරුළ වශයෙන් ද මෙය ව්‍යවහාර වන අතර සමාජයේ යම් කරුණක් වඩාත් සාර්ථකව සන්නිවේදනය කිරීමට හැකි භාෂා ක්‍රමයක් වශයෙන් ද ප්‍රස්ථා පිරුළු සැලකිය හැකිය. සිංහල භාෂාවේ ප්‍රස්ථා පිරුළු රැසක් ව්‍යවහාර වන අතර ඇතම් පිරුළු හා බැදුණු ජනප්‍රිය, රසවත් ජන ප්‍රවාද ද පවතී.

උදාහරන;

  • බළලා ලව්වා කොස් ඇට බානවා - අනිත් අය ලවා තමාගෙ වැඩ කරවා ගනීම.
  • මුහුද හත් ගව්වක් තියල අමුඩ ගහනවා වගේ - යම් වැඩකදී අනවශ්‍ය ලෙස පූර්ව සූදානම
  • වක්කඩේ හකුරු හැංගුවා වාගේ - නිෂ්ඵල දෙයක් කිරීම (අවසානයේ දී ප්‍රථිපලයක් නොලැබෙන)

ඉඟි වැකි හෙවත් රූඨිසංස්කරණය

  • අනූ නමයෙන් බේරුනා - යන්තමින් බේරුනා
  • පොතේ ගුරා - මූලිකයා, "පණ්ඩිතයා"
  • සායම ගියා - ගෞරවය නැතිවීම

උපමාසංස්කරණය

මේ යෙදුම් වල "මුතු, හා පැටවෙකු, නරියෙකු" යන පද "උපමා" වේ .

  • ඇගේ දත් මුතු වැනිය
  • ඔහු නරියෙකු මෙන් කපටිය
  • කුඩා දරුවා හා පැටවෙකු මෙන් අහිංසකය.

රූපක

මේ යෙදුම් වල "සඳකි, කිතුල් රෑන" යන පද "රූපක" වේ.

* ඇගේ මුහුන සඳකි.

* ඇගේ කෙස් කළඹ කිතුල් රෑනකි.

        

සාහිත්‍යයසංස්කරණය

සිංහල සාහිත්‍යය සැලකීමේ දී පැරණි සිංහල සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයයෙන් විශාල ආභාසයක් ලබා ඇත. මේවා ඉන්‍දියානු කෘතිවලට සමානතාවක් දක්වයි (ඉන්‍දියානු සන්‍දේශ කාව්‍ය). කාලිදාස සහ එවැනි ඉන්‍දියානු කිවියන්ගේ ආභාෂය සිංහල සාහිත්‍යයේ ඇති බවට කුකවි වැඩ විවාදයන් සාක්‍ෂි දරයි. දකුණු ඉන්‍දීය දෙමළ ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බොහෝ දෙමළ වචන සිංහල භාෂාවට ඇතුළු වූ අතර පෘතුගීසි, ලන්‍දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ නිසා සිංහල භාෂාවට එම භාෂාවන්ගේ වචන ද ඇතුළු වී ඇත. සිංහල භාෂාව ලිවීමට සිංහල අකුරු යොදාගනී.

සිංහල භාෂාවට දුරස්ම අනු-භාෂාව කතා කරන්නේ රොඩී කුළයෙහි පුද්ගලයින් ය. වැද්දන් කතා කරන භාෂාව සිංහලට සමානතාවක් දැක්වූවත්, එහි වෙනත් භාෂාවල නැති වචන විශාල ප්‍රමාණයක් ඇත.

ක්‍රි.ව. 20 වන ‍ශත වර්ෂයේ මුල් වකවානුවේ කුමාරතුංග මුනිදාස පඬිඳු ඇරඹි හෙළ බස ව්‍යාපෘතිය නීසා ද, දිනමිණ වැනි පුවත් පත් නිසා ද සිංහල භාෂාවට නව ජීවයක් ලැබුණි. (මාර්ටින් වික්‍රමසිංහ දිනමිණ පුවත් පතෙහි සිටි ප්‍රසිද්ධ කතුවරයෙකි)

ආශ්‍රිත ලිපිසංස්කරණය

යොමුවසංස්කරණය

  1. Caldwell, Robert (1875). "A comparative grammar of the Dravidian or South-Indian නිසාත් මෝඩයා& Co.: p.86.
  2. "Chinese Account of Ceylon". The Asiatic Journal and Monthly Register for British and Foreign India, China, and Australia. 20: 30. 1836.
  3. "Ancient Scripts: Sinhala". www.ancientscripts.com. Retrieved 2016-04-07.
  4. Jayarajan, Paul M. (1976-01-01) (enයෙන්). History of the Evolution of the Sinhala Alphabet. Colombo Apothecaries' Company, Limited. https://books.google.com/books?id=fcQSAAAAMAAJ. 
  5. Sinhala
  6. කොඩිකාර, රත්න (2016). සිංහල භාෂාව හා ව්‍යාකරණ පි. 49
  7. කොඩිකාර, රත්න (2016). සිංහල භාෂාව හා ව්‍යාකරණ පි.589
  8. දිසානායක, ජේ. බී. (2010). සිංහල භාෂාවේ නව මුහුනුවර පි. 55
  9. දිසානායක, ජේ. බී. (2010). සිංහල භාෂාවේ නව මුහුනුවර පි. 55
  10. දිසානායක, ජේ. බී. (2010). සිංහල භාෂාවේ නව මුහුනුවර පි. 57

සටහන්සංස්කරණය

තව දුර කියවීමටසංස්කරණය

බැහැර පිටුසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සිංහල_භාෂාව&oldid=459223" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි