ක්ලියෝපැට්රා

(ක්ලියෝපැට්‍රා VII ෆිලොපේටර් වෙතින් යළි-යොමු කරන ලදි)

VIIවන ක්ලියෝපැට්රා ෆිලොපේටර් (ග්‍රීක:Κλεοπάτρα Φιλοπάτωρ; ක්‍රි.පූ. 69[1] – 30 අගෝස්තු 12[2]),හෙවත් ඉතිහාසයේ සරලව ක්ලියෝපැට්රා‍ ලෙස හැඳින්වෙන්නේ, ටොලමියානු ඊජිප්තුවේ අවසාන සක්‍රීය පාරාවෝවරයා ය. ඇගේ පුත්‍රයා වූ සිසේරියන් ද මඳකාලයක් පාරාවෝ ලෙස සිට ඇත. ඇගේ රාජ්‍ය සමයෙන් පසුව, ඊජිප්තුව රෝම අධිරාජ්‍යයේ පළාතක් බවට පත් විය.

ක්ලියෝපැට්රා VII ෆිලොපේටර්
VIIවන ක්ලියෝපැට්රාගේ යැයි සැලකෙන මූර්තියක්, ඇල්ටෙස් කෞතුකාගාරය, බර්ලින්
ඊජිප්තුවේ ටොලමියානු රැජින
රාජ්‍ය සමයක්‍රි.පූ. 51 – 30 අගෝස්තු 12 (වසර 21ක්)
පූර්වප්‍රාප්තිකයාXIIවන ටොලමි ඕලීට්ස්
සහ-පාලනXIIවන ටොලමි ඕලීට්ස්
XIIIවන ටොලමි තියොස් ෆිලොපේටර්
XIVවන ටොලමි
XVවන ටොලමි සිසේරියන්
උපතක්‍රි.පූ. 69
ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව
මරණයක්‍රි.පූ. 30 අගෝස්තු 12 (39 වියැති)
ඇලෙක්සැන්ඩ්‍රියාව, ඊජිප්තුව
භූමදානයනොදනී (ඊජිප්තුවේ වියහැකියි)
වල්ලභයාXIIIවන ටොලමි තියොස් ෆිලොපේටර්
XIVවන ටොලමි
මාක් ඇන්ටනි
දරුවන්සිසේරියන්, XVවන ටොලමි ෆිලොපේටර් ෆිලොමේටර් සීසර්
ඇලෙක්සැන්ඩර් හීලියෝස්
ක්ලියෝපැට්රා සෙලීන්, මෝරිටේනියාවේ රැජින
XVIවන ටොලමි ෆිලඩෙල්ෆස්
සම්පූර්ණ නාමය
VIIවන ක්ලියෝපැට්රා තියා ෆිලොපේටර්
වංශයටොලමියානු රාජවංශය
පියාXIIවන ටොලමි ඕලීට්ස්
මවඊජිප්තුවේ Vවන ක්ලියෝපැට්රා (අනුමාන)
VIIවන ක්ලියෝපැට්රා රූපාක්ෂර වලින්
q
rw
iwApAd
r
tAH8
ක්ලියෝපැට්රා
Qlwpdrt
G5
wr
r
nbnfrnfrnfrH2
x
O22
හොරස් නාමය (1): Wer(et)-neb(et)-neferu-achet-seh
Wr(.t)-nb(.t)-nfrw-3ḫ(t)-sḥ
පරිපූර්ණත්වයේ මහා ආර්යාව, අනුශාසනාවේ විශිෂ්ටතම තැනැත්තිය
G5
wr t
r
t
W
t
A53n
X2 t
z
හොරස් නාමය (2): Weret-tut-en-it-es
Wr.t-twt-n-jt=s
මහා තැනැත්තිය, ඇගේ පියාගේ පූජනීය රුව
q
rw
W
p
d
r
t H8
nTrt
H8
R7
t
z
N36
Cleopatra netjeret mer(et) ites
Qlwpdrt nṯrt mr(t) jts
ඇගේ පියාගේ ප්‍රියාවිය වූ ක්ලියෝපැට්රා දෙවඟන

ක්ලියෝපැට්රා මැසිඩෝනියන් ග්‍රීක සම්භවයක් ඇති ටොලමියානු රාජවංශයේ සාමාජිකාවකි.[3] ඔවුහු හෙලනිස්තික යුගයේ මහා ඇලෙක්සැන්ඩර්ගේ මරණින් පසු ඊජිප්තුව පාලනය කළහ. ටොලමිවරු ග්‍රීක[4] භාෂාව භාවිත කළ අතර, ඊජිප්තු බස කතාකිරීම ප්‍රතික්ෂේප කළහ. රොසෙටා පාෂාණය වැනි රාජසභාවේ නිල ලේඛන ග්‍රීක මෙන්ම ඊජිප්තු බසින් ද ලියැවීමට හේතුව එයයි.[5] නමුත්, ක්ලියෝපැට්රා ඊජිප්තු බස කථාකිරීමට උගත්[6] අතර ඇය තමන් ඊජිප්තු දෙවඟනක් වූ අයිසිස් දෙවඟනගේ නැවත උපතක් බව පවසා සිටියා ය.

සැබවින්ම ක්ලියෝපැට්රා සිය පියා වූ XIIවන ටොලමි සමග හවුල් පාලනයක් ගෙනගිය අතර, පසුව ඇගේ සොයුරන් වූ XIIIවන ටොලමි සහ XIVවන ටොලමි සමග ඊජිප්තු සම්ප්‍රදායයට අනුව විවාහ වී හවුල් පාලනයක් ගෙනගොස් ක්‍රමයෙන් තනි පාලකයා බවට පත්වූවා ය. පාරාවෝවරිය ලෙස ඇය ජූලියස් සීසර් සමග සම්බන්ධතා පැවැත් වූ අතර, එය ඇයව සිහසුන මත ස්ථාවර කිරීමට හේතු විය. පසුව ඇය සීසර්ට දාව උපන් ඇගේ පුත්‍රයා වූ සිසේරියන්ව ද නාමිකව සම-පාලක තනතුරට ඔසවා තැබුවා ය.

ක්‍රි.පූ. 44දී සීසර්ගේ ඝාතන‍යෙන් පසු ඇය, සීසර්ගේ නීත්‍යානුකූල අනුප්‍රාප්තිකයා වූ ගයස් ජූලියස් සීසර් ඔක්ටේවියානස්ට (පසුව ඔගස්ටස් ලෙස ප්‍රකට විය) එරෙහිව මාක් ඇන්ටනිට සහාය දැක්වූවා ය. ඇන්ටනිට දාව ඇය IIවන ක්ලියෝපැට්රා සෙලීන් සහ ඇලෙක්සැන්ඩර් හීලියෝස් නම් නිවුන් දරුවන් දෙදෙනකු ද, ටොලමි ෆිලඩෙල්ෆස් නම් පුත්‍රයකු (ඇයට සිය සොයුරන් සමග විවාහයෙන් දරුවන් නොලැබිණි) ද වැදුවා ය. ඇක්ටියම් සටනේ දී ඔක්ටේවියන්ගේ හමුදාවන්ට පරාජය වීමෙන් පසු ඇන්ටනි සියදිවි නසාගත් අතර ක්ලියෝපැට්රා ද එය අනුගමනය කළා ය. සම්ප්‍රදාය අනුව, ක්‍රි.පූ. 30 අගෝස්තු 12වන දින ඇය සර්පයකු මගින් දෂ්ට කරවාගෙන සිය දිවිහානි කරගත් බව සඳහන් වේ.[7] ඇගෙන් පසු සිසේරියන් රාජ්‍යත්වයට පත් වූ අතර, ඔහුගේ ආධාරකරුවන් ඔහු පාරාවෝවරයා ලෙස නම්කරන ලදී. නමුත් මඳ කලකින්ම ඔක්ටේවියන්ගේ නියෝගයක් අනුව ඔහුව ඝාතනය කෙරිණි. අනතුරුව ඊජිප්තුව රෝම පළාතක් වූ ඒජිප්ටස් බවට පත් විය.

අදවන විට ක්ලියෝපැට්රා බටහිර සංස්කෘතියේ ඉමහත් ජනප්‍රිය තේමාවක් බවට පත්ව ඇත. ඇයගේ පුරාවෘත්තය බොහෝ කලානිර්මාණ සහ සාහිත්‍යයේ සඳහන් ඇගේ ජීවිතය අලලා නිර්මාණය වූ නාට්‍ය මෙන්ම වෙනත් මාධ්‍ය සඳහා ද මාතෘකාව වී ඇත. ඒ අතර, විලියම් ෂේක්ස්පියර්ගේ ශෝකාන්ත නාට්‍යයක් වන ඇන්ටනි සහ ක්ලියෝපැට්රා, ජෝජ් බර්නාඩ් ෂෝගේ නාට්‍යයක් වන සීසර් සහ ක්ලියෝපැට්රා, ජූල්ස් මැසනට්ගේ ක්ලියෝපැට්‍රේ ඔපෙරාව, සහ ක්ලියෝපැට්රා (1934) සහ ක්ලියෝපැට්රා (1963) වැනි චිත්‍රපට ද වේ.

නාමයේ නිරුක්තිය

සංස්කරණය

ක්ලියෝපැට්රා යන නාමය පැනනැගුණේ ග්‍රීක නාමයක් වූ "කීර්තිමත් පියකුගෙන් පැවත එන්නිය" හෝ "පියාගේ කීර්තිය" යන අරුතැති Κλεοπάτρα (Kleopatra) යන වදනෙනි. එය κλέος (kleos) "කීර්තිය" සහ πατήρ (pater) "පියා" යන වචනවල සංයුක්තයෙහි ස්ත්‍රී ලිංග ස්වරූපය වේ. (මෙහි පුරුෂ ලිංගික ස්වරූපය ලියනු ලබන්නේ Kleopatros (Κλεόπατρος), හෝ Patroklos (Πάτροκλος) ලෙස ය)[8][9]

චරිතාපදානය

සංස්කරණය

සිහසුනට පත්වීම

සංස්කරණය
 
ටොලමියානු රැජිනක් (VIIවන ක්ලියෝපැට්රා?), ක්‍රි.පූ. 50-30, 71.12, බෲක්ලින් කෞතුකාගාරය.

ක්ලියෝපැට්රාගේ මවගේ අනන්‍යතාවය නොදනී. සාමාන්‍යයෙන් ඇයගේ මව XIIවන ටොලමි ඕලීට්ස්ගේ සොයුරිය හෝ නෑණන්ඩිය මෙන්ම බිරිඳ ද වූ ඊජිප්තුවේ පස්වන ක්ලියෝපැට්රා ට්‍රයිෆේනා ලෙස විශ්වාස කෙරේ. Vවන ක්ලියෝපැට්රා, Xවන ටොලමි සහ IIIවන බෙරනිස්ගේ දියණිය නොවේ නම්, ක්ලියෝපැට්රාගේ (ලිපියට මාතෘකාව වූ) මව Xවන ටොලමි සහ IIIවන ‍ක්ලියෝපැට්රා බෙරනිස් ෆිලොපේටර්ගේ දියණියක වූ වෙනත් ටොලමියානු සාමාජිකාවක ලෙස සැලකිය හැක.[10] ක්ලියෝපැට්රාගේ පියා වූ ඕලීට්ස් මහා ඇලෙක්සැන්ඩර් රජුගේ සෙන්පතියකු වූ ද, මැසිඩෝනියාවේ ආර්සිනෝයි සහ ලේගස්ගේ පුත්‍රයා වූ ද Iවන ටොලමි සෝටර්ගෙන් ඍජුවම පැවත එන්නෙකි.

බලය මධ්‍යගත කිරීම සහ දූෂණය නිසා සයිප්‍රසය සහ සයිරෙනයිකා පෙදෙස්වල පිබිදීම් ඇති වීම හේතුවෙන් එම ප්‍රදේශ අහිමි වීම නිසා XIIවන ටොලමි රජුගේ සමය රාජවංශයේ ව්‍යසනකාරී සමයක් ලෙස සැලකෙයි. ටොලමි, ක්ලියෝපැට්රා සමග රෝමයට ගියේ ය; VIවන ක්ලියෝපැට්රා ට්‍රිෆේනා සිහසුන අත්කරගත් නමුත්, සැකකටයුතු සිද්ධීන් නිසා ඇය මඳ කලකින්ම මරණයට පත් විය. අද වන විට විශ්වාස කෙරෙන්නේ (ඓතිහාසික වාර්තා මගින් සනාථ වී නොමැත) සම්පූර්ණ පාලනය ලබා ගැනීම සඳහා IVවන බෙරෙනිස් ඇයට වස දුන් බවයි. මේ හේතුව නොසැලකූ විට, ඇය (බෙරෙනිස්) ක්‍රි.පූ. 55දී ටොලමි ඕලීට්ස් රෝම සහාය ඇතිව නැවත පැමිණෙන තෙක් රාජ්‍ය පාලනය කොට ඇත. රෝම සෙන්පති ඕලස් ගැබිනියස්ගේ සහාය ඇතිව ඇලෙක්සැන්ඩ්‍රියාව අල්ලා ගැනීමට ඔහු සමත් විය. බෙරෙනිස්ව අත්අඩංගුවට ගැනුණු අතර, ඇගේ හිස ඇගේ පියා වූ රජුගේ නියමය අනුව රාජමාලිගය වෙත යවන ලදී. අනතුරුව ක්ලියෝපැට්රා සිය 14වන වියේ දී, සිය පියා සමග හවුල් පාලනයක් ගෙනගිය අතර, ඇගේ බලය බෙහෙවින් සීමාකෙරුණ ද, ඇය සිය පියාගේ නියෝජ්‍ය තනතුරට පත්වූවා ය.

ක්‍රි.පූ. 51 මාර්තු මස XIIවන ටොලමි මියගියේ ය. ඔහුගේ අවසන් කැමැත්ත අනුව 18 වියැති ක්ලියෝපැට්රා සහ 10 වියැති ඇගේ සොයුරා වූ XIIIවන ටොලමි හවුල් රාජ්‍ය පාලකයින් ලෙස නම්කළේ ය. ඔවුන් දෙදෙනාගේ පළමු වර්ෂ ත්‍රිත්වය තරමක් අපහසු වූයේ, ආර්ථික දුර්වලතා, සාගත, නයිල් ගංගාව නිසා නිරන්තර ජලගැලීම් ඇතිවීම සහ දේශපාලන අරගල හේතුවෙනි. ක්ලියෝපැට්රාව ඇගේ බාල සොයුරාට විවාහ කර දෙන ලදී. නමුත් ඇයට ඔහු සමග බලය බෙදා ගැනීමට අදහසක් නොපැවති බව පැහැදිළි විය.

ක්‍රි.පූ. 51 අගෝස්තුවේ දී, ක්ලියෝපැට්රා සහ ටොලමි අතර සියලු සබඳතා ඇණහිටියේ ය. නිල ලේඛනවලින් ටොලමිගේ නම ඉවත් කළ ක්ලියෝපැට්රා කාසිවල ඇගේ රුව පමණක් සටහන් කිරීමට කටයුතු යෙදුවා ය. මෙය කාන්තා සහ-පාලකවරියන් පුරුෂ සහ-පාලකවරුනට වඩා පහත් බවට වූ ටොලමියානු සම්ප්‍රදායට එරෙහි වීමකි. ක්‍රි.පූ. 50දී, ක්ලියෝපැට්රා ඕලස් ගැබිනියස්ගේ බලවත් රෝම ගැබිනියානි හමුදා සමග දරුණු ආරවුලකට පැටලුණා ය. මෙම හමුදා ක්‍රි.පූ. 55දී ඕලස් ගැබිනියස් විසින් XIIවන ටොලමි රජුගේ ප්‍රතිෂ්ඨාපනයෙන් පසු ඔහුව ආරක්ෂා කිරීමට ඊජිප්තුව තුළ රඳවා තිබිණි. ගැබිනියානුවරුන් විසින්, පාතියන්වරුන්ට එරෙහිව සිය පියාට සහාය ඉල්ලා පැමිණි සිරියාවේ රෝම ආණ්ඩුකාරයා වූ මාකස් කැල්පුර්නියස් බිබියුලස්ගේ පුතුන්ව විනාශ කරන ලදී. ක්ලියෝපැට්රා මෙම මිනීමරුවන් යදම් ලා බිබියුලස් වෙත භාරකළේ ය. මේ නිසා ගැබිනියානිවරු රැජිනගේ ප්‍රධාන සතුරන් බවට පත් වූහ.[11] මෙම අරගලය ක්ලියෝපැට්රාගේ බලය පිරිහීමට බලපෑ ප්‍රධාන හේතුවක් විය. අර්ධ-ග්‍රීක සෙන්පති ඇකිලාස්, සහ කියොස්හි තියෝඩෝටස්ගේ සම්බන්ධතා ඇතිව පණ්ඩක පොතිනස්ගේ මෙහෙයවීමෙන් රාජමාලිගයේ ඇති වූ කුමන්ත්‍රණයක් මගින් ක්ලියෝපැට්රාගේ තනි රාජ්‍ය සමය අවසන් විය. ක්‍රි.පූ. 48දී පමණ ක්ලියෝපැට්රාගේ බාලම සොයුරා වූ XIIIවන ටොලමි තනි පාලකයා බවට ලත් විය.[12]

පෙලුසියම් අවට කැරැල්ලක් මෙහෙයවීමට ක්ලියෝපැට්රා උත්සාහ ගත් නමුත්, ඇයට ඇගේ ඉතිරිව සිටි එකම සොයුරිය වූ ආර්සිනෝයි සමග පලායාමට සිදු විය.[13]

රෝමය සමග සබඳතා

සංස්කරණය

පොම්පේ ඝාතනය

සංස්කරණය

ක්ලියෝපැට්රා පිටුවහල්ව සිටි සමයේ පොම්පේ රෝම සිවිල් යුද්ධයට පැටලුණේ ය. ක්‍රි.පූ. 48 අගකාලයේ ෆාර්සලුස් සටනින් පරාජය වූ පොම්පේ සීසර්ගේ හමුදාවලින් බේරීමට ඇලෙක්සැන්ඩ්‍රියාව වෙත පලාගියේ ය. එම කාලයේ ටොලමි දහ තුන්වැනි වියේ පසු විය. ඔහු තමන් වෙනුවෙන් සිහසුනක් වරායේ ඉදිකළේ ය. එහි සිට ඔහු ක්‍රි.පූ. 48 සැප්තැම්බර් 28දින පොම්පේව ඔහුගේ පැරණි නිලධාරියකු වූ දැන් ටොලමියානු සේවයේ යෙදී සිටින තැනැත්තකු විසින් මරා දමන අයුරු දුටුවේ ය. නැවේ සිටි ඔහුගේ බිරිඳ සහ දරුවන් ඉදිරියේ ඔහුගේ හිස ගසා දමන ලදී. මෙම මරණය සිය නියෝගයක් මත සිදු වූවකැයි සීසර්ට පවසා රෝමය සමග මිතුරුවීමට ටොලමි අදහස්කළේ ය. මෙකල ඊජිප්තුව පිළිබඳ බොහෝ වාදවිවාද පැවතිණි. මෙම ක්‍රියාව ටොලමිගත් අනුවණ තීරණයක් බව පෙන්නුම් කළේ ය. ඉන් දින දෙකකට පසු සීසර් ඊජිප්තුවට පැමිණියේ ය. ටොලමි ඔහුට පොම්පේගේ වෙන්කළ හිස ලබාදුන්නේ ය. ඉන් සීසර් කෝපයට පත් විය. පොම්පේ සීසර්ගේ දේශපාලන සතුරකු වුවත්, ඔහු රෝම කොන්සල්වරයකු සහ සීසර්ගේ එකම නීත්‍යානුකූල දියණිය වූ දරු උපතකදී මියගිය ජූලියාගේ වැන්දඹු සැමියා විය. සීසර් ඊජිප්තු අගනුවර අල්ලාගත් අතර, ඔහු සතුරු ටොලමි සහ ක්ලියෝපැට්රාගේ හිමිකම් අතරමැද විනිශ්චයකරු ලෙස කටයුතු කළේ ය.

ජූලියස් සීසර් සමග සම්බන්ධය

සංස්කරණය
 
ක්ලියෝපැට්රා සහ සීසර් (1866). ජීන්-ලියෝන් ජෙරම්ගේ සිතුවමකි.

ටොලමි කෙරෙහි ජූලියස් සීසර්ගේ කෝපයෙන් වාසි ලබාගැනීමට සිතූ ක්ලියෝපැට්රා රහසේම ඔහුගේ මාලිගයට ඇතුළු වූයේ සීසර් හමුවීමට ය. මේ පිළිබඳ ප්ලූටාර්ක් සිය ජූලියස් සීසර්ගේ ජීවිතය නැමැති වාර්තාවේ විචිත්‍රවත් විස්තරයක් අන්තර්ගත වේ[14] මෙහි ඇය ටොලමිගේ ආරක්ෂකයන් පසුකොට ඇතුළු වූ අයුරු සඳහන් වන්නේ ඇය සිසිලියානු ඇපලොඩෝරස්ගේ කර මතින් රෝල් කළ බුමුතුරුණක් තුළ සැඟවී පැමිණි බවයි.[15] ඇය සීසර්ගේ අනියම් බිරිඳ බවට පත් වූ අතර ක්‍රි.පූ. 47දී එනම් ඔවුන්ගේ හමුවෙන් මාස නවයකට පසු ඔවුන්ගේ පුත්‍රයා වූ ටොලමි සීසර්ට ඇය උපත ලබාදුන්නා ය. ඔහුව "පුංචි සීසර්" යන අරුතැති සිසේරියන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලදී.

මේ අවස්ථාවේ ක්ලියෝපැට්රා තමන්ට සිහසුන ලබාදෙන මෙන් සිදුකළ බලවත් ඉල්ලීම නිසා සීසර් ඊජිප්තුව ඈඳා ගැනීමට තිබූ සිය සැලැස්ම අත්හළේ ය. මිත්රිඩේට්ස් විසින් ඇලෙක්සැන්ඩ්‍රියාව වටලන ලද අතර, නයිල්හි සටනේ දී සීසර් ටොලමිගේ හමුදා පරාජය කළේ ය. XIIIවන ටොලමි නයිල්හි දී මරණයට පත් වූ අතර,[16][17] සීසර්, ක්ලියෝපැට්රා සහ ඇගේ බාලම සොයුරු XIVවන ටොලමි හවුල් පාලකයින් ලෙස සිහසුනට පත්කළේ ය.[18][19][20] සීසර් ඊජිප්තුව හැර යන විට, ඔහු රුෆියෝගේ නායකත්වය යටතේ ලීජන් තුනකින් යුත් රෝම හමුදාවක් ස්ථාපිත ක‍ර තිබිණි.[21]

 
VIIවන ක්ලියෝපැට්රා සහ ඇගේ පුතු සිසේරියන් නිරූපිත කැටයමක්, ඩෙන්ඩෙරා දෙවොල.

ක්ලියෝපැට්රාට සීසර් මුණගැසුණු අවස්ථාවේ ඇගේ වයස 21ක් වූ අතර, සීසර්ගේ වයස අවුරුදු 52කි. ක්‍රි.පූ. 48 සහ 47 අතර කාලයේ සීසර් ඊජිප්තුවේ නැවතී සිටි කාලයේ ඔවුහු පෙම්වතුන් බවට පත් වූහ. සිය පුත්‍රයාගේ පියා සීසර් බව නිවේදනය කළ ක්ලියෝපැට්රාට සියු පුතුව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස නම් කිරීමට අවශ්‍ය විය. නමුත් එය ප්‍රතික්ෂේප කළ සීසර් ඒ වෙනුවට සිය බෑනා වූ ඔක්ටේවියන් අනුප්‍රාප්තික තනතුරට පත්කළේ ය. මෙම සම්බන්ධතාවයේ දී ක්ලියෝපැට්රා, සීසර්ට ඇගේ තාරකා විද්‍යාඥයා වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සොසිජිනස් මුණගැස්වූ බවත්, අධික දින සහ අධික අවුරුදු පිළිබඳ අදහස ඉදිරිපත් කළ බවටත්, කටකතා පැතිර ගියේ ය. මෙය අලුත් දෙයක් නොවුණ ද, ක්‍රි.පූ. 238දී හඳුනාගැනුණු මෙය එතෙක් භාවිතයට නොගැනිණි. ඔහුගේ ප්‍රතිසංස්කරණ පදනම් කරගනිමින් සීසර් ක්‍රි.පූ. 45දී රෝම දිනදර්ශනය ප්‍රතිසංස්කරණය කළ අතර, ක්‍රි.පූ. 26දී ඊජිප්තු දිනදර්ශනය ද ප්‍රතිසංස්කරණය විය.

ක්‍රි.පූ. 46 මැදකාලයේ ක්ලියෝපැට්රා, XIVවන ටොලමි සහ සිසේරියන් රෝමයේ චාරිකාවක නිරත වූහ. එහි දී මෙම ඊජිප්තු රැජින නවාතැන් ගත්තේ රෝමයට නුදුරු හෝර්ටි සිසේරිස් ඇතුළු සීසර්ගේ ගම්බද නිවසකයි. (ඇය විදෙස් රාජ්‍යයක අධිපතිනියක් වූ බැවින් ඇයට රෝමයේ පොමේරියමට ඇතුළුවීමට අවසර නොලැබිණි)[22][23] ක්ලියෝපැට්රා සහ සීසර් අතර සම්බන්ධය පැහැදිළි වූ රෝම ජනයා මෙය අපවාදයක් ලෙස සැලකූයේ, ඒ වන විටත් මෙම රෝම අධිපතියා කැල්පුර්නියා සමග විවාහ වී සිටි නිසායි. නමුත් සීසර් ෆෝරම් ජූලියම්හි පිහිටා තිබූ වීනස් ජෙනිට්‍රික්ස් (සීසර්ගේ පවුලේ මිත්‍යාමය පුරෝගාමිනිය) දේවස්ථානයේ ක්ලියෝපැට්රාව, අයිසිස් දෙවඟන අයුරින් නිරූපිත රන් ප්‍රතිමාවක් පවා ඉදිකළේ ය.[24][25] රෝම දේශක සිසෙරෝ ඔහුගේ ඉතිරිව පැවති ලිපිවල සඳහන් කොට ඇත්තේ ඔහු විදේශීය රැජිනට වෛර කළ බවයි.[23] ක්‍රි.පූ. 44 මාර්තු 15වන දින සීසර් ඝාතනය වන තුරුත්, ක්ලියෝපැට්රා සහ ඇගේ පිරිවර රෝමයේ සිට ඇත.[26] ඔහුගේ මරණින් පසු ඇය සහ ඇගේ ඥාතීන් නැවත ඊජිප්තුව වෙත පැමිණියහ. XIVවන ටොලමි මියයාමත් සමග, (ඔහුගේ වැඩිමහල් සොයුරිය විසින් වසදීමෙන් යැයි පැවසේ) ක්ලියෝපැට්රා සිසේරියන් තම සම-රාජ්‍යාධිකාරී සහ අනුප්‍රාප්තික තනතුරට පත් කොට ඔහුට තියොස් ෆිලොපේටර් ෆිලොමීටර් (පියාට ආදරය කරන, සහ මවට ආදරය කරන දෙවියා) යන විරුදය ලබාදුන්නා ය.[27][28][29]

රෝම සිවිල් යුද්ධය තුළ ක්ලියෝපැට්රා

සංස්කරණය

ක්ලියෝපැට්රා රෝම සිවිල් යුද්ධයේ දී සිසේරියානු පාර්ශ්වයට සහාය දැක්වූවා ය. මෙම යුද්ධය ඇති වූයේ මාක් ඇන්ටනි සහ ඔක්ටේවියන් විසින් මෙහෙයවූ සිසේරියානු පාර්ශ්වය සහ මාකස් ජූනියස් බෲටස් සහ ගයස් කැෂියස් ලොංගිනස් ඇතුළු සීසර්ගේ ඝාතනය මෙහෙයවූවන් අතර ය. බෲටස් සහ කැෂියස් ඉතාලිය අත්හැර නැගෙනහිර රෝම අධිරාජ්‍යය දෙසට යාත්‍රා කොට එහි විශාල ප්‍රදේශ ආක්‍රමණය කර යුධ පදනම් පිහිටුවූහ. ක්‍රි.පූ. 43 ආරම්භයේ, ක්ලියෝපැට්රා, සිසේරියන් ඇගේ සම-රාජ්‍යාධිකාරී ලෙස පිළිගත් නැගෙනහිර සිසේරියානු පාර්ශ්වයේ නායකයා වූ පබ්ලියස් කොර්නේලියස් ඩොලබෙලා සමග සන්ධානයකට එළැඹුණා ය.[30][31] නමුත් නොබෝකලකින්ම ලාඕඩිසියාවේ දී ‍ඩොලබෙලාව වටලන ලදුව, ඔහු සියදිවි හානිකර ගත්තේ ය. (ක්‍රි.පූ. 43)

ඊජිප්තුව ආක්‍රමණය කොට එහි වස්තුව ලබා ගැනීමටත්, ඩොලබෙලාට සහාය දීම හේතුවෙන් ක්ලියෝපැට්රාට දඬුවම් දීමටත් කැෂියස්ට අවශ්‍ය විය. ඊජිප්තුව සතුව ප්‍රබල භෞමික සේනා නොමැති වීමත්, එහි පැවති සාගත සහ වසංගත හේතුවෙන් ඊජිප්තුව අල්ලාගැනීම පහසු කටයුත්තක් ලෙස පෙනිණි. ක්ලියෝපැට්රා, ඇන්ටනි සහ ඔක්ටේවියන්ගෙන් සහාය ලබා ගැනීම වැළැක්වීමටත්, කැෂියස්ට අවශ්‍ය විය. නමුත් ක්‍රි.පූ. 43 අගකාලයේ බෲටස් විසින් ඔහුව නැවත ස්මයිර්නා වෙත කැඳවීම නිසා ඔහුට ඊජිප්තුව ආක්‍රමණය කළ නොහැකි විය. ක්ලියෝපැට්රා සහ සිසේරියන්වරු අතර සබඳතාවලට බාධා කිරීමට කැෂියස් තැත්කළේ ය. මේ අරමුණ සඳහා, ලුෂියස් ස්ටේයස් මාකස් නැව් 60ක් සමග ප්‍රබල ලීජන් හමුදාවක් පිලොපොනීස්ට දකුණින් වූ මැටපැන් තුඩුව වෙත වෙත පිටත් කොට හැරියේ ය. කෙසේනමුත්, ක්ලියෝපැට්රා ඇගේ නාවික බලඇණිය සමග ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිට බටහිරට ලිබියානු වෙරළ තීරය දිගේ සිසේරියානු නායකයින්ට සහාය දීමට පිටත් වූ නමුත්, දරුණු කුණාටුවක් හේතුවෙන් ඇගේ නැව්වලට හානි වීමත්, ඇය රෝගාතුර වීමත් නිසා නැවත ඊජිප්තුවට පැමිණීමට සිදු විය. රැජිනට වූ ආපදාව පිළිබඳ දැනගත් ස්ටේයස් මාකස් ග්‍රීක වෙරළේ දී ඇගේ නැව්වලට සිදුව ඇති හානිය දුටුවේ ය. අනතුරුව ඔහු ඔහුගේ නැව් ආද්‍රියාතික් මුහුද වෙත මෙහෙයවී ය.[32]

ක්ලියෝපැට්රා සහ මාක් ඇන්ටනි

සංස්කරණය
 
ඇන්ටනි සහ ක්ලියෝපැට්රා, ලෝරන්ස් ඇල්මා-ටේඩ්මාගේ සිතුවමක්
 
ඩිනේරියස්, ක්‍රි.පූ. 32. මුහුණත: කිරුළ සහිත ක්ලියෝපැට්රාගේ උඩුකය, CLEOPATRA[E REGINAE REGVM]FILIORVM REGVM. පසුපස: මාක් ඇන්ටනිගේ උඩුකය, ANTONI ARMENIA DEVICTA

මාක් ඇන්ටනි යනු සීසර්ගේ මරණින් පසු පැවති, බල රික්ත සමයේ සිටි රෝමය පාලනය කළ තිදෙනාගෙන් අයෙකි. ක්‍රි.පූ. 41දී ඔහු සිය හොඳම මිතුරා වූ ක්වින්ටස් ඩෙලියස් ඊජිප්තුව වෙත පිටත් කර හැරියේ ඇන්ටනිව හමුවී, ඇගේ පක්ෂපාතීභාවය පිරික්සීම සඳහා ඔහුගේ ප්‍රශ්වලට පිළිතුරු දීමට ක්ලියෝපැට්රාව ටාර්සස්ට මුණගැස්වීමේ අරමුණිනි. රෝම සිවිල් යුද්ධයේ දී, ඇයට කැෂියස්ට බොහෝ මුදල් ගෙවීමට සිදුව තිබිණි. ඇත්ත වශයෙන්ම ඇන්ටනිට අවශ්‍යව තිබුණේ පාතියන්වරුනට එරෙහිව යුද්ධයක් ඇරඹීමට ක්ලියෝපැට්රාගේ සහාය ලබාගැනීම සඳහායි. ක්ලියෝපැට්රා නැවත මහා රාජ්‍යය වෙත පැමිණි අතර, ඇන්ටනි ඇය කෙරෙහි ආකර්ෂණය වීම නිසා ඔහු ක්‍රි.පූ. 41 අගකාලයේ සිට ක්‍රි.පූ. 40 මුල්කාලය දක්වා ඇය සමග ඇලෙක්සැන්ඩ්‍රියාවේ ගත කිරීමට තීරණය කළේ ය.[33]

ඇයව සහ සිසේරියන්ව ආරක්ෂා කර ගැනීම සඳහා ඇන්ටනි විසින්, ඇලෙක්සැන්ඩ්‍රියාව වටලෑමේ දී මූලිකත්වය ගැනීම හේතුවෙන්, රෝම පාලනය යටතේ පැවති එෆීසස්හි ආටෙමිස්ගේ දෙවොල වෙත පිටුවහල් කොට තිබූ ඇගේ සොයුරිය වූ ආර්සිනෝයිව මරා දැමීමට ක්ලියෝපැට්රාට බල‍කළේ ය. ඇගේ මරණ දඬුවම ක්‍රි.පූ. 41දී දෙවොලේ පියගැටපෙළ මත දී ලබා දෙන ලදී. දෙවොලේ සිදු වූ මෙම භීෂණය රෝමයේ කැළඹීමට හේතු විය.[34] මීට අමතරව ක්ලියෝපැට්රා, සිය අපේක්ෂාවන්ට විරුද්ධව කැෂියස්ට සහාය දුන් සිය සයිප්‍රසයේ යුධ පාලකයා වූ සෙරපියන් පිළිබඳව ද ක්‍රියාමාර්ග ගන්නා ලදී.[35]

ක්‍රි.පූ. 40 දෙසැම්බර් 25දින ක්ලියෝපැට්රා ඇන්ටනිට දාව නිවුන් දරුවන් දෙදෙනකුට උපත ලබා දුන්නා ය. ඔවුන් ඇලෙක්සැන්ඩර් හීලියෝස් සහ ක්ලියෝපැට්රා සෙලීන් II ලෙස නම්කරන ලදී. වසර හතරකට පසු, පාතියන්වරුන් සමග යුධ වැදීමට යන අතරමග ඇන්ටනි නැවත ඇලෙක්සැන්ඩ්‍රියාව වෙත පැමිණියේ ය. ඔහු ක්ලියෝපැට්රා සමග සිය සබඳතාව අලුත් කරගත් අතර, එම අවස්ථාවේ සිට ඇලෙක්සැන්ඩ්‍රියාව ඔහුගේ ද නිවස විය. ඊජිප්තු සම්ප්‍රදායයට අනුව ඔහු ක්ලියෝපැට්රා සමග විවාහ විය. (සුවෙටෝනියස්ගේ ලිපියක් මේ බව සඳහන් කරයි) නමුත් ඔහු ඒ වනවිටත්, ඔක්ටේවියන්ගේ සොයුරිය වූ ඔක්ටේවියා මයිනර් සමග විවාහ වී සිටියේ ය. ඔහුට සහ ක්ලියෝපැට්රාට තවත් දරුවකු විය. ඔහු ටොලමි ෆිලඩෙල්ෆස් නම් විය.

 
VIIවන ක්ලියෝපැට්රා නිරූපිත සිරියානු කාසියක

ක්‍රි.පූ. 34 අගකාලයේ දී ඇන්ටනිගේ ආමේනියානු ආක්‍රමණයෙන් පසු, ක්ලියෝපැට්රා සහ සිසේරියන් ඊජිප්තුවේ සහ සයිප්‍රසයේ සම-රාජ්‍යාධිකාරීන් ලෙස කිරුළු පළඳින ලදී. ඇලෙක්සැන්ඩර් හීලියෝස් ආමේනියාවේ, මීඩියාවේ, සහ පාතියාවේ කිරුළු පැළඳි අතර, IIවන ක්ලියෝපැට්රා සෙලීන් සිරෙනයිකා සහ ලිබියාවේ කිරුළුපලන් පාලකයන් බවට පත් විය. ටොලමි ෆිලඩෙල්ෆස් ෆීනීෂියාව, සිරියාවේ, සහ සිසිලියාවේ පාලකයා බවට පත් විය. ඇන්ටෝනියස් විසින් ක්ලියෝපැට්රාට "රජුන්ගේ රැජින" යන නාමය ලබා දෙන ලදී.[36] රෝමයේ සිටි ඇගේ සතුරන් බියට පත් වූයේ ක්ලියෝපැට්රා "පලිගැනීමේ යුද්ධයක් සැලසුම් කරමන් රෝමයට එරෙහිව සියලු නැගෙනහිර පෙදෙස් පෙළගස්වන බවත්, ඇයව ලෝකයේ අධිරාජිනිය ලෙස රෝමයේ කිරුළ පැළඳීමට අදහස් කරන බවත් ය. එසේම කැපිටෝලියම්වලින් යුක්තිය ඉවත ලා නව විශ්වීය රාජධානියක් ඇරඹීමට මුලපුරන බවත් ය."[37] සිසේරියන්ව ක්ලියෝපැට්රා සමග සම-රාජ්‍යාධිකාරී තනතුරට ඔසවා තබා ඔහුට දෙවි, දෙවියන්ගේ පුත්‍රයා, රජුන්ගේත් රජු වැනි විවිධ නාමයන් ලබා දී, හොරස් දෙවිඳුන් ලෙස නිරූපණය කරන ලදී.[38] ක්ලියෝපැට්රා යනු අයිසිස් දෙවඟනගේ පුනරුත්පත්තියක් ලෙස ඊජිප්තුවරුන් සැලකූ අතර, ඇය තමන්වම නියා අයිසිස්යන නමින් හඳුන්වාගත්තා ය.[39]

අවුරුදු ගණනාවකම සිට ඇන්ටනි සහ ඔක්ටේවියන් අතර සම්බන්ධතා දුර්වල වෙමින් පැවති අතර, ක්‍රි.පූ. 33දී එය සම්පූර්ණයෙන්ම බිඳවැටුණු අතර, ඔක්ටේවියන් ඊජිප්තුවට එරෙහි යුද්ධයකට සෙනට් සභාව එකඟ කරවා ගත්තේ ය. ක්‍රි.පූ. 31දී, ඇන්ටනිගේ හමුදාවලට ඇක්ටියම් ‍වෙරළ අසලදී, රෝමන්වරුන්ගේ නාවික ක්‍රියාදාමයකට මුහුණ දීමට සිදු විය. ක්ලියෝපැට්රාගේ ඇගේ නාවික බලඇණිය ද සමග එයට සහභාගී වූවා ය. ප්ලූටාක්ට අනුව, සටනේ උච්චස්ථානයේ දී, ක්ලියෝපැට්රා ඇගේ හමුදා සමග පලාගිය අතර, ඇන්ටනි ද ඇය අනුගමනය කළේ ය.[40] ඇක්ටියම්හි සටනින් පසු ඔක්ටේවියන් ඊජිප්තුව ආක්‍රමණය කළේ ය. ඔහු ඇලෙක්සැන්ඩ්‍රියාවට ළඟා වන විට, ක්‍රි.පූ. 30 අගෝස්තු 1දින ඇන්ටනිගේ හමුදා ඔක්ටේවියන්ට යටත් විය. ඔක්ටේවියන්ට එරෙහි සටන සඳහා ධනය ලබාගැනීමට ක්ලියෝපැට්රා මහා ඇලෙක්සැන්ඩර්ගේ සොහොන්ගැබෙන් රත්රන් ලබාගත්තා ය. එය ඉන් පෙරත් සොරාකෑමට ලක්ව තිබිණි.[41]

ක්ලියෝපැට්රා පිළිබඳ සත්‍යදැයි සනාථ කොට නොමැති කථා ගණනාවක්ම ඇත. එන් ප්‍රකට කථාවක් නම් ඇය ඇන්ටනි සමග ඔට්ටුවක් ඇල්ලූ බවයි. එහි දී, ඔවුන් පෙනී සිටි එක්තරා වියදම් අධික රාත්‍රී භෝජන සංග්‍රහයක දී, ඇයට භෝජන සංග්‍රහය සඳහා සෙසටර්ටියස් මිලියන දහයක් වියදම් කළ හැකි බවත්, ඔහු එම ඔට්ටුව පිළිගත් බවත් සඳහන් ය. ඊළඟ රාත්‍රියේ, ඇය පිළිගැන්වූයේ එතරම් සුවිශේෂී නොවන ආහාරයකි. ඔහු මෙයට සරදම් කළේ ය. ඇය දෙවන ආහාරය වූ — සැර විනාකිරි කෝප්පය ගෙනඒමට නියෝගකළා ය. අනතුරුව ඇය ඇගේ මිලකළ නොහැකි මුතු කරාඹුවක් ගලවා විනාකිරි බඳුනට එක් කර එය දියවීමට ඉඩහැරියා ය. අනතුරුව එය පානය කළා ය. මේ පිළිබඳ පැරණිම වාර්තාව ලැබෙන්නේ වැඩිමහල් ප්ලීනිගෙන් වන අතර, එය එම භෝජන සංග්‍රහය පැවතී වසර 100කට පමණ පසුව ලියැවුණකි. මුතුවල ඇති කැල්සියම් කාබනේට් ඛනිජය අම්ලයක් වන විනාකිරිවල සෙමෙන් දියවන නමුත්, ඒ සඳහා මුතු ඇටය මුලින් කුඩුකළ යුතු ය.[42]

 
ක්ලියෝපැට්රාගේ මරණය ගයිඩෝ කැග්නෂි විසිනි, 1658

ඓතිහාසික වාර්තාවල, විශේෂයෙන්ම රෝම වාර්තාවල, ප්‍රධාන පිළිගැනීම වනුයේ ක්ලියෝපැට්රා ඊජිප්තු නාගයකු ලවා දෂ්ට කරවාගෙන සිය දිවි හානිකරගත් බවයි. පැරණිතම මූලාශ්‍රය වන ස්ට්‍රාබෝ මෙම සිදුවීම සිදු වූ කාලයේ ජීවත් වී ඇති අතර, ඔහු සමහරවිට ඇලෙක්සැන්ඩ්‍රියාවේ ජීවත් වන්නට ඇත. ඔහු පවසන්නේ මේ පිළිබඳ කථා දෙකක් ඇති බවයි. — ඉන් එකක් නම් ඇය විෂ ආලේපනයක් ගල්වාගත් බව හෝ ඇස්ප් (මිසර නාගයකු) සර්පයකු ඇගේ ළයට දෂ්ට කරවාගැනීමෙන් ඇය මිය ගිය වයි — නමුත් ඔහු සිය වාර්තාවේ පවසා ඇත්තේ, ක්ලියෝපැට්රා තමන්ටම වස දී ගත් බව හෝ ඇයව කිසියම් තැනැත්තකු විසින් ඝාතනය කළේ ද යන්න පැහැදිළි නැති බවයි.</ref>ස්ට්‍රාබෝ, භූගෝල ශාස්ත්‍රය, XVII 10 </ref> මෙම අවුරුදු දහය තුළ ඇතැම් රෝම කාව්‍යයන්හි මෙම අවස්ථාව පිළිබඳ සඳහන් වන්නේ සර්පයින් දෙදෙනකු දෂ්ට කළ බවට ය.[43][44][45] මෙය වසර 150කට පසු විසූ ඉතිහාසඥයකු වූ ෆ්ලෝරස් ද සඳහන් කොට ඇත.[46] මෙම සිදුවීමෙන් වසර හැටකට පසු, වෙලේයස් ද, ඇස්ප් සර්පයා පිළිබඳ සඳහන් කරයි.[47][48] සෙසු කතුවරුන් මෙම ඓතිහාසික වාර්තා පිළිබඳ ප්‍රශ්නාර්ථ නගන්නේ, ඇතැම්විට ඔගස්ටස් විසින් ඇයව මරා දැමුවා විය හැකි නිසායි.[49] 2010දී, ජර්මානු ඉතිහාසඥ ක්‍රිස්ටොෆ් ෂේෆර් සෙසු සියලු තර්කයන්ට අභියෝග කළේ, රැජිනට සැබවින්ම වස දී ඇති බවත්, ඇය මරණයට පත්ව ඇත්තේ විෂ මිශ්‍රණයක් පානය කිරීමෙන් බවයි. ඓතිහාසික මූලාශ්‍ර අධයයනය කිරීමෙන් පසු, විෂවේදීන් සමග කරුණු විමසා බලා, ඉතිහාසඥයා පවසා ඇත්තේ බොහෝ මූලාශ්‍රවල සඳහන් පරිදි ඉක්මන් වේදනා රහිත මරණයක් ඇස්ප් සර්ප දෂ්ටනයෙන් නොලැබෙන බවයි. එසේම ඇස්ප් (ඊජිප්තු නාගයා) විෂ මරණය ඇති කිරීමට පෙර ඇස්වලින් පටන්ගෙන සිරුරේ අවයව අක්‍රීය වීම ද සිදු වේ. එකල ක්ලියෝපැට්රා ද ඇස්ප් සර්ප දෂ්ටන නිසා ඇති වන වේදනාකාරී ප්‍රතිඵල දැනසිටින්නට ද ඇත. එම නිසා එය ඇගේ මරණයට හේතුව විය නොහැකි බව පැවසේ. එසේම ඇස්ප් දෂ්ටනය, සෑමවිටම මාරාන්තික නොවේ. ෂේෆර් සහ ඔහුගේ විෂවේදී ඩියෙට්‍රිච් මෙබ්ස් අනුමාන වශයෙන් ඉදිරිපත් කොට ඇත්තේ ක්ලියෝපැට්රා විසින් හෙම්ලොක්, අතිඋඩයන් විශේෂයක්, සහ අබිං මිශ්‍රණයක් පානය කරන්නට ඇති බවයි.[50]

 
ක්ලියෝපැට්රාගේ මරණය රෙජිනෝල්ඩ් ආතර් විසිනි, 1892

මෙම සිදුවීමෙන් වසර 130කට පසු ප්ලූටාක් විසින් සඳහන් කොට ඇත්තේ, ඇන්ටනිගේ මරණින් පසු ඔක්ටේවියන් ඇගේ සොහොන්ගැබ තුළ දී, ක්ලියෝපැට්රාව අල්ලා ගැනීමට සමත් වූ බවයි. ඔහු සිය වහල් බවින් මිදුණු සේවකයා වූ එපැෆ්‍රොඩිටස්ට ඇය සිය දිවි නසාගැනීම වැළැක්වීමට ඇයව මුරකරන මෙන් පැවසූයේ, ඔහුගේ රෝම විජයග්‍රහණයේ කොටසක් ලෙස ඇයව ප්‍රදර්ශනය කිරීමට සිතූ නිසායි. නමුත් එපැෆොඩිටස්ව මුළා කළ ක්ලියෝපැට්රා එයට පෙර සියදිවි හානිකරගත්තා ය.[51] ප්ලූටාක් පවසන්නේ ඇය මියගොස් සිටි බවත්, ඇගේ සේවිකාව වූ ඉරාස් ඇගේ දෙපා මුළ මියයමින් සිටි බවත්, චාමියන් සේවිකාව සිය ඇදවැටීමට ප්‍රථම රැජිනගේ කිරුළ සකසමින් සිටි බවත් ය.[52] ඒ අනුව ඔහු සඳහන් කොට ඇත්තේ ඇයට පිටිසර වැසියකු විසින් ගෙනඑන ලද අත්තික්කා බඳුනක් තුළ ඇස්ප් සර්පයකු සැඟව සිට ඇති බවත්, අත්තික්කා කිහිපයක් අනුභවයෙන් පසු සර්පයාව සොයාගත් ඇය දෂ්ට කිරීම පිණිස සිය අත යොමු කළ බවයි. වෙනත් කථාවල සඳහන් වන්නේ සර්පයා බඳුනක් තුළ සැඟව සිටි බවත්, සිය අතට දෂ්ට කරවා ගැනීම පිණිස ක්ලියෝපැට්රා ඉද්දකින් ඇන ඌව කෝපගැන්වූ බවයි. අවසානයේ ඔහු සඳහන් කරන්නේ, රෝමය වෙත ඔක්ටේවියන්ගේ ජයග්‍රාහී ගමනේ දී, එම පෙළපාලියේ සර්පයකු එල්ලෙමින් සිටි ක්ලියෝපැට්රාගේ පිළිරුවක් ගෙන ගිය බවයි.[53]

ප්ලූටාක්ගේ සමයේ එලෙසම ලියා ඇති සුවෙටෝනියස්ද පවසන්නේ ක්ලියෝපැට්රා මියගියේ ඇස්ප් දෂ්ටනයකින් බවයි.[54]

සම්භාව්‍ය මූලාශ්‍රවල සඳහන් වන්නේ ක්ලියෝපැට්රාගේ බාහුවට සර්පයා දෂ්ට කළ බවයි.[55][56][57] නමුත් බොහෝ මධ්‍යකාලීන සහ පුනරුද යුගයේ නිර්මාණ තුළ ඇය ඇස්ප් ලවා සිය ළයට දෂ්ට කරගත් බව පැවසේ. එය ෂේක්ස්පියර් විසින් ද අනුගමනය කරන ලදී.[58]

 
ක්ලියෝපැට්රාගේ මරණය, ජුවාන් ලූනා විසිනි, 1881.
 
විෂැති සර්ප දෂ්ටනයක් මගින් දිවිනසාගන්නා අයුරින් නිරූපිත ක්ලියෝපැට්රාගේ රුවක්. ඇඩම් ලෙන්හාඩ්ට් (ඇත්දළ).[59] ද වෝල්ටර්ස් කලා කෞතුකාගාරය.

ඇන්ටනිගේ මරණය පිළිබඳ ප්ලූටාක් සඳහන් කරයි. ඔහුගේ හමුදා ඔහුව අත්හැර ඔක්ටේවියන් සමග එක් වූ විට, ක්ලියෝපැට්රා තමන්ට ද්‍රෝහී වූ බව පවසමින් ඔහු වැළපුණේ ය. ඔහුගේ කෝපයට බිය වී ඇය සිය සේවිකාවන් දෙදෙනකු සමග සිය සොහොන්ගැබ තුළට වී අගුළුලා ගත්තා ය. අනතුරුව ඇය ඇය මියගිය බවට ඇන්ටනිට පණිවිඩ යැවුවා ය. ඔවුන්ව විශ්වාස කළ ඇන්ටනි සිය කඩුවෙන් සිය උදරයට ඇනගෙන මියයාම පිණිස වැතිර සිටියේ ය. ලේ ගැලීම නතරවූවද, ඔහු සියලු දෙනාට සිය ජීවිතය අවසන් කරන මෙන් අයැද සිටියේ ය. ක්ලියෝපැට්රාගෙන් ‍තවත් පණිවිඩකරුවකු පැමිණියේ ඔහුව ඇය වෙත රැගෙන යාමටයි. ඇය තවමත් ජීවත්ව සිටින බව අසා ඔහු ප්‍රීතියට පත් විය. ඇය දොර විවර නොකළ ද, කවුළුවෙන් පිටතට කඹ ඇතුළුකොට තිබිණි. ඇන්ටනිව ආරක්ෂිතව කඹවලින් වෙලීමෙන් පසු ඇය සහ ඇගේ සේවිකවෝ ඔහුව සොහොන ඇතුළට අදින ලදහ. මෙමගින් ඔහුට බෙහෙවින් හානි සිදු විය. ඔහුව කවුළුවෙන් ඇතුළට ඇදීමෙන් පසුව ඔවුහු ඔහුව යහනක සැතපූහ. ක්ලියෝපැට්රා සිය ඇඳුම් ඉරා ඔහුව ඉන් ආවරණය කළා ය. වැළපුණු ඇය සිය ළැමට ගසා ගනිමින් හඬන්නට වූවා ය. ඇයට සන්සුන් වන සේ ඇන්ටනි පැවසූ අතර, වයින් වීදුරුවක් ඉල්ලා සිටි ඔහු එය පානයෙන් අනතුරුව මියගියේ ය.[60]

ඔවුන්ගේ සොහොන්ගැබ පිහිටි ස්ථානය තවමත් හඳුනාගෙන නැත. නමුත් ඊජිප්තු පුරාවස්තු සේවාව විශ්වාස කෙරෙන්නේ එය ඇලෙක්සැන්ඩ්‍රියාවට නිරිතදිගින් පිහිටි ටැපොසිරිස් මැග්නාහි දේවස්ථානය තුළ හෝ එය ආසන්නයේ පිහිටා ඇති බවයි.[61]

ඇලෙක්සැන්ඩ්‍රියාව ඔක්ටේවියන්ට යටත් වූ පසු, ඊජිප්තුවරු සීසර්ට දාව ක්ලියෝපැට්රාට උපන් පුත්‍රයා වූ සිසේරියන්ව පාරාවෝවරයා ලෙස ප්‍රකාශ කළහ. පසුව සිසේරියන්ව අල්ලා ගන්නා ලදුව මරණයට පත්කෙරිණි. ඔක්ටේවියන්ගේ උපදේශකයින් පවසා ඇත්තේ, හෝමර්: "සීසර්වරුන් රාශියක් සිටීම නුසුදුසුයි" යනුවෙනි.[62] මෙලෙසින් ඊජිප්තු පාරාවෝවරුන්ගේ හෙලනිස්තික පෙළපත අවසන් වූවා පමණක් නොව සියලු ඊජිප්තු ‍පාරාවෝ පෙළපත්වල අවසානය සනිටුහන් කෙරිණි. ඇන්ටනි සහ ක්ලියෝපැට්රාගේ, දරුවන් තිදෙනා වෙන්කෙරුණු අතර, ඔවුන්ව නැවත රෝමය වෙතගෙන යන ලදී. එහිදී ඇන්ටනිගේ බිරිඳ වූ ඔක්ටේවියා මයිනර් විසින් ඔවුනව රැකබලාගන්නා ලදී. ක්ලියෝපැට්රා සෙලීන් දියණිය ඔක්ටේවියන්ගේ මැදිහත් වීමෙන් මෝරිටේනියාවේ IIවන ජුබාහට විවාහ කර දෙන ලදී.[63]

චරිතය සහ සංස්කෘතිය තුළ නිරූපණ

සංස්කරණය
 
ක්ලියෝපැට්රා ඊජිප්තු දෙවඟනක් ලෙස නිරූපිත ප්‍රතිමාවක්; බැසෝල්ට්, ක්‍රි.පූ. 1වන සියවසේ දෙවන අර්ධය. හර්මිටේජ්, ශාන්ත පීටර්ස්බර්ග්.
 
වරදිකාර සිරකරුවන් ලවා විෂ අත්හදා බලන ක්ලියෝපැට්රා, ඇලෙක්සැන්ඩ්‍ර කැබනෙල් (1887) විසිනි.

පුරාතන ලෝකය තුළ ක්ලියෝපැට්රා ඇගේ අතිශය රූමත් බව හේතුවෙන් ප්‍රකට වූවා ය. සිය ලයිෆ් ඔෆ් ඇන්ටනි තුළ, ප්ලූටාක් සඳහන් කරන්නේ "සිය රූමත්බව ‍හේතුවෙන් කේයස් සීසර්, සහ පොම්පේගේ පුත්‍රයා වූ ග්නේයස් කෙරෙහි ඇති වූ බලපෑම සැලකිල්ලට ගනිමින්, ඇය සිතූයේ ඇන්ටනි පහසුවෙන්ම ඇගේ දෙපා මුලට රැගෙන ආ හැකි බවයි. සීසර් සහ පොම්පේ නම් ඇයව හමුවූයේ ඇය දැරියකව, සබඳතා පිළිබඳ අත්දැකීම් නොතිබූ සමයකයි. නමුත් ඇය ඇන්ටනිව මුණගැසීමට ගියේ, කාන්තාවක් සතුව ඇයගේ රූමත් බව උච්චස්ථානයේ පවතින වියකදී යි."[64] පසුව එම කෘතියේ ප්ලූටාක් පවසන්නේ "ඇගේ රූපසෝභාව, අප අසා ඇති පරිදි, අසමසම සැසඳිය නොහැකි, ඇයව දකින ඕනෑම අයකු තිගස්වන ආකාරයේ" එකක් බවයි.[64] ඇත්තෙන්ම ක්ලියෝපැට්රාව ආකර්ෂණීය තැනැත්තියක් බවට පත් කළේ ඇගේ බුද්ධිය, ලාලිත්‍යය සහ "ඇගේ හ‍‍‍ඬෙහි සුමධුර ස්වරයයි."[64]

කැෂියස් ඩියෝ ද ක්ලියෝපැට්රාගේ ආකර්ෂණීය බව පිළිබඳ කථාකොට ඇත: "ඇය රූමත්බව ඉක්මවා යන ස්ත්‍රියකි, ඒ කාලයේ හිරිමල් තාරුණ්‍යයේ මුල් අවධියේ සිටි ඇය වඩාත් ආකර්ෂණීයයි; ඇය සතුව සුමධුර කටහඬක් පැවති අතර, සෑමදෙනාටම ඇයව එකඟ කරවා ගැනීමේ තියුණු නුවණකින් ද යුතු වූවා ය. නිරීක්ෂණයට සහ සවන් දීමට දක්ෂතා දැක් වූ ඇයට ඕනෑම අයකු යටත් කරගැනීමේ බලයක් පැවතිණි. සීසර්ව මුණගැසීමේ දී ඇගේ කාර්යභාරය වූයේ ද එය බව ඇය සිතුවා ය."[64]

මෙම වාර්තා පසුකාලීන සංස්කෘතික නිරූපණයන්හි ක්ලියෝපැට්රාව නිරූපණයට මුල් විය. ඒවායේ ඇයව බටහිර ලෝකයේ බලවත්ම මිනිසුන් තමන් වෙත වසඟ කරගැනීමේ හැකියාවකින් යුත් තැනැත්තියක් ලෙස නිරූපණය කොට ඇත

ක්ලියෝපැට්රා ඇගේ ධාරණ ශක්තිය හේතුවෙන් ප්‍රකට වූවා ය. ප්ලූටාක් සඳහන් කරන්නේ ඇයට අවම වශයෙන් භාෂා නවයක්වත් කථාකිරීමේ හැකියාව තිබූ බවත්, ඇයට භාෂා පරිවර්තකයකු අවශ්‍ය වූයේ ඉතා කලාතුරකින් බවත් ය.[65]

ටොලමිවරුන් අතර පැවති ඉහළ සහාභිජනන පිළිවෙත නිසා ක්ලියෝපැට්රාගේ පෙළපත ඉක්මන් එකක් විය. එහි ප්‍රතිනිර්මාණයක් පහත දැක් වේ.[66] ඇගේ පවුල් ගස මාමා-ලේලි විවාහ තුනකිනුත්, සහෝදර-සහෝදරි විවාහ තුනකිනුත් සංයුක්ත ය. ඇගේ පවුල් ගස පරම්පරා හතරක්, පහක් හෝ හයක් ආපස්සට තනි යුවලක් දක්වා ක්ෂීණ වී ඇත. (වෙනස් පෙළ සලකා ගණනය කොට ඇත).[67]

"ටොලමියානු පෙළපත තුළ ඊජිප්තු රුධිරය බිඳකුදු නොවූ බව" පැවසේ.[68] එසේම ක්ලියෝපැට්රා-විරෝධී ප්‍රචාරයක නිරත වූ රෝමවරු ඇගේ අවජාතකත්වය පිළිබඳ කිසිදු සඳහනක් කොට නොමැත.

මේවාත් බලන්න

සංස්කරණය
  1. ^ වෝකර්, පි. 129.
  2. ^ ටී. සී. ස්කීට්, "ද ලාස්ට් ඩේස් ඔෆ් ක්ලියෝපැට්රා: අ ක්රෝනොලොජිකල් ප්‍රොබ්ලම්", ද ජර්නල් ඔෆ් රෝමන් ස්ටඩීස්, 43 (1953), pp. 98–100 [1].
  3. ^ *වෙස්ටර්න් සිවිලයිසේෂන්:අයිඩියාස්, පොලිටික්ස්, ඇන්ඩ් සොසයිටි; මාර්වින් එරි, මාගරට් සී. ජාකොබ්, මයිර්නා චේස්, ජේම්ස් ආර්. ජේකබ් විසිනි. පිටුව. 132: ”ක්ලියෝපැට්රා (ක්‍රි.පූ. 69- 30), ඊජිප්තුවේ ග්‍රීක රැජින, ටොලමියානු පවුලකට අයත් වූ අතර, ඔවුහු හෙලනිස්තික යුගයේ ඊජිප්තුව පාලනය කළ මැසිඩෝනියානු ග්‍රීකවරියකි”. *ද සිවිලයිසේෂන් ඔෆ් රෝම්; ඩොනල්ඩ් ආර්. ඩඩ්ලි විසිනි, පිටුව. 57: ”ඊජිප්තුවේ ටොලමිවරුන්ගේ ග්‍රීක රාජවංශය ස්වදේශික පාරාවෝවරුන්ගේ අනුප්‍රාප්තිකයන් විය. ඔවුහු දැඩි සංවිධානාත්මක ප්‍රභූ පන්තියක් සංවිධානය කර නයිල් නිම්නයේ ස්වාභාවික සම්පත් සූරාකෑහ”. *ද ඔක්ස්ෆර්ඩ් එන්සයික්ලොපීඩියා ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. VIIවන ක්ලියෝපැට්රා උපත ලැබූයේ ඕලීට්ස්හි XIIවන ටොලමි (ක්‍රි.පූ. 80–57, පාලනය ක්‍රි.පූ. 55–51) සහ ක්ලියෝපැට්රාට දාව ය. මේ දෙමාපියන් දෙදෙනාම මැසිඩෝනියානු ග්‍රීකවරු වූහ." *එන්සයික්ලොපීඩියා ඔෆ් ද ආකියොලොජි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට් කැත්රින් බාඩ් විසිනි, පිටුව 488 “ටොලමියානු රජවරුන් කිරුළු පැළඳූයේ මෙම්ෆිස් නගරයේ දී වුවත්, එම නගරය මැසිඩෝනියන් ග්‍රීකවරුන් විසින් පිහිටුවූ ඇලෙක්සැන්ඩ්‍රියාවට එරෙහි ඊජිප්තු සතුරු නගරයක් ලෙසයි”; පිටුව 687: "ටොලමියනු යුගයේ දී, ඊජිප්තුව පාලනය කරන ලද්දේ ග්‍රීක සම්භවයක් ඇති රජවරුන් විසිනුයි…” *ක්ලියෝපැට්රා: අ සෝස්බුක් (ඔක්ලහෝමා සීරීස් ඉන් ක්ලැසිකල් කල්චර්), පෲඩන්ස් ජේ. ජෝන්ස් (කර්තෘ) විසිනි. පිටුව14: “ඔවුහු මැසිඩෝනියානු ග්‍රීකවරුන්ගේ ටොලමියානු රාජවංශ සාමාජිකයන් වූහ. ඔවුහු ඊජිප්තු ආක්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මරණින් පසු ඊජිප්තුව පාලනය කළහ.” *විමෙන් ඉන් හෙලනිස්ටික් ඊජිප්ට් සාරා බී. පොමරෝයි විසිනි, පිටුව 16 “ටොලමියානු ඊජිප්තුවේ රාජාණ්ඩුව ග්‍රීක පාලන පන්තියකින් සමන්විත විය."
  4. ^ ක්ලියෝපැට්රා: ද ලයිෆ් ඔෆ් ඇන් ඊජිප්ටියන් ක්වීන්, ගැරි ජෙෆ්රි, ඇනිටා ගනේරි විසිනි. පිටුව 6  :” සිය රාජවංශය පුරා ටොලමිවරු සිය ග්‍රීක සංස්කෘතිය අනුගමනය කළ අතර, ග්‍රීක භාෂාව ප්‍රධාන භාෂාව ලෙස කථාකරන ලදී.”.
  5. ^ "රේඩියෝ 4 ප්‍රෝග්‍රෑම්ස් - අ හිස්ට්‍රි ඔෆ් ද වර්ල්ඩ් ඉන් 100 ඔබ්ජෙක්ට්ස්, එම්පයර් බිල්ඩර්ස් (ක්‍රි.පූ. 300 - ක්‍රි.ව. 1), රොසෙටා ස්ටෝන්". BBC. සම්ප්‍රවේශය 2010-06-07.
  6. ^ ප්ලූටාර්ක්, ඇන්ටනි 27
  7. ^ "හූ වෝස් ක්ලියෝපැට්රා? (පිටුව 2)". ස්මිත්සෝනියන් මැගසින්. සම්ප්‍රවේශය 2008-01-22.
  8. ^ "ක්ලියෝපැට්රා: මීනිං ඇන්ඩ් හිස්ට්‍රි". Behind the Name.com. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2014.
  9. ^ "ක්ලියෝපැට්‍රොස්: මීනිං ඇන්ඩ් හිස්ටි". Behind the Name.com. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2014.
  10. ^ ජර්මානු ඉතිහාසඥ වර්නර් හබ් (Die Herkunft der Kleopatra Philopator (ක්ලියෝපැට්රා ෆ්ලොපේටර්ගේ පෙළපත), ඒජිප්ටස් 70, 1990, පිටු. 191–203) ඒ වෙනුවට පවසන්නේ ක්ලියෝපැට්රාගේ මව වංශවත් ඊජිප්තු කාන්තාවක් වූ බවත්, Vවන ක්ලියෝපැට්රාව XIIවන ටොලමි රජු විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එම තැනැත්තිය රජුගේ දෙවන බිරිඳ බවට පත් වූ බවත් ය.
  11. ^ වැලේරියස් මැක්සිමස් 4.1.15
  12. ^ ඇන්ඩර්සන්, ජේනී (2003). ටියේපොලෝ’ස් ක්ලියෝපැට්රා. මැක්මිලන් එඩියුකේෂන් AU. p. 38. ISBN 978-1-876832-44-5. සම්ප්‍රවේශය 10 පෙබරවාරි 2012.
  13. ^ පීටර් ග්‍රීන් (1990), ඇලෙක්සැන්ඩර් ටු ඇක්ටියම්: ද හිස්ටොරිකල් ඉවොලුෂන් ඔෆ් ද හෙලනිස්ටික් ඒජ්, බර්ක්ලේ: යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා ප්‍රෙස්, pp. 661–664,  
  14. ^ සමාන්තර ජීවිත - ජූලියස් සීසර්ගේ ජීවිතය, 49
  15. ^ ප්ලූටාර්ක්ගේ මෙම නාට්‍යානුසාර වාර්තාව (සීසර් 49.1–3) පිළිබඳ ඇතැම් විද්වත්හු සැක පහළ කරති. ක්ලියෝපැට්රාට සොරෙන් අතුළට යාමට සිදු වූයේ XIIIවන ටොලමි විසින් ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රවේශ මාර්ග සියල්ල අවහිර කිරීමට අණ දී තිබුණු නිසායි. එමගින් ඔහුගේ අර්ධ-සොයුරිය අගනුවරට ඇතුළුවීම වැළැක්වීමට ඔහුට අවශ්‍යව තිබිණි.
  16. ^ ඩි බෙලෝ ඇලෙක්සැන්ඩ්‍රියානෝ28–32
  17. ^ කැෂියස් ඩියෝ, රෝමන් හිස්ට්‍රි 42.43
  18. ^ ඩි බෙලෝ ඇලෙක්සැන්ඩ්‍රියානෝ 33
  19. ^ කැෂියස් ඩියෝ, රෝමන් හිස්ට්‍රි 42.44
  20. ^ සුවෙටෝනියස්, සීසර් 35.1
  21. ^ සුවෙටෝනියස්, සීසර් 76.3
  22. ^ කැෂියස් ඩියෝ, රෝමන් හිස්ට්‍රි 43.27.3
  23. ^ a b සිසෙරෝ, ලෙටර්ස් ටු ඇටිකස් 15.15.2
  24. ^ එපියන්, සිවිල් වෝර්ස් 2.102.424
  25. ^ කැෂියස් ඩියෝ, රෝමන් හිස්ට්‍රි 51.22.3
  26. ^ සිසෙරෝ (ලෙටර්ස් ටු ඇටිකස් 14.8.1, ක්‍රි.පූ. 44 අප්‍රේල් 16 ලියා ඇත) පවසන්නේ රැජින පලායාම පිළිබඳ තමන් සතුටු වන බවයි.
  27. ^ ජොසෆස්, ඇන්ටික්විටීස් ඔෆ් ද ජූස් 15.89
  28. ^ පොර්ෆිරි, Fragmente der griechischen Historiker (FGrH) 260 F 2, 16-17
  29. ^ ශිලාස්තම්භය BM 377 (ක්‍රි.පූ. 42 පෙබරවාරි 15) සහ අනෙක් දෑ
  30. ^ එපියන්, සිවිල් වෝර්ස් 4.61.262–263
  31. ^ කැෂියස් ඩියෝ, රෝමන් හිස්ට්‍රි 47.30.4 සහ 47.31.5
  32. ^ එපියන්, සිවිල් වෝර්ස් 4.63; 4.74; 4.82; 5.8
  33. ^ ප්ලූටාක්, ලයිෆ් ඔෆ් ඇන්ටනි 25-29; එපියන්, සිවිල් වෝර්ස් 5.8-11; කැෂියස් ඩියෝ, රෝමන් හිස්ට්‍රි 48.24
  34. ^ බීබීසි වාර්තා වැඩසටහන, ක්ලියෝපැට්‍රා පෝට්‍රේට් ඔෆ් අ කිලර්
  35. ^ එපියන්, සිවිල් වෝර්ස් 5.9.35
  36. ^ සයිම්, පිටුව. 270.
  37. ^ සයිම්, පි. 274.
  38. ^ ස්ටැන්ලි මේයර් බර්ස්ටයින් (30 දෙසැම්බර් 2007), ද රීන් ඔෆ් ක්ලියෝපැට්රා, යුනිවර්සිටි ඔෆ් ඔක්ලහෝමා ප්‍රෙස්, p. 20, , https://books.google.com/books?id=KSonyiReFY8C&pg=PA20, ප්‍රතිෂ්ඨාපනය 31 මාර්තු 2011 
  39. ^ ප්ලූටාක්, ලයිෆ් ඔෆ් ඇන්ටනි 54.9
  40. ^ 'ඇක්ටියම්', ද ඔක්ස්ෆර්ඩ් කම්පැනියන් ටු ක්ලැසිකල් ලිට්රිචර්, තෙවන සංස්කරණය, සංස්කරණය එම්. සී. හොවාට්සන් විසිනි, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය, 2011.
  41. ^ "ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට්, කිං ඔෆ් මැසිඩන්". ආකියොලොජි. ජූලි 16, 2013. සම්ප්‍රවේශය අගෝස්තු 12, 2016.
  42. ^ උල්මන්, බර්තෝල්ඩ් එල්. (1957), "ක්ලියෝපැට්රා’ස් පර්ල්ස්", ද ක්ලැසිකල් ජර්නල් 52 (5): 193–201 
  43. ^ ප්‍රකට ලොයෙබ් සම්භාව්‍ය පුස්තකාලයේ සිටි නම් නොකළ සංස්කාරකයෙක් පරිවර්තනය තුළ පවසා ඇත්තේ පාඨයන්හි සඳහන් "ද්විත්ව සර්පයින්" සරලව "මරණයේ සංකේතයක්" නිරූපණය කරන බවයිවර්ජිල්, ඒනීඩ්, VIII 696–697 
  44. ^ හොරේස්, ඔඩෙස්, I 37 
  45. ^ සෙක්ස්ටස් ප්‍රොපර්ටියස්, එල්ජීස්, III 11 
  46. ^ ෆ්ලෝරස්, එපිටෝම් ඔෆ් රෝමන් හිස්ට්‍රි, II 21 
  47. ^ වෙලේයස් පේටර්කියුලස්, කම්පෙන්ඩියම් ඔෆ් රෝමන් හිස්ට්‍රි, II 87 
  48. ^ ඇස්ප් පිළිබඳ කාව්‍යමය ඉඟියක් සඳහා, බලන්න වැලේස් ස්ටීවන්ස්ගේ ඉන් ද කැරොලිනාස්
  49. ^ එවරිට්, ඇන්තනි (2007), ඔගස්ටස්:ද ලයිෆ් ඔෆ් රෝම්'ස් ෆස්ට් එම්පරර්, නිව් යෝක්: රැන්ඩම් හවුම් ට්‍රේඩ් පේපර්බැක්ස්, pp. 194–195,  
  50. ^ මලිසා ග්‍රේ (2010-06-30). "පොයිසන්, නොට් ස්නේක්, කිල්ඩ් ක්ලියෝපැට්රා, ස්කොලර් සේස් - ක්ලියෝපැට්රා ඩයිඩ් අ ක්වයට් ඇන්ඩ් පේන් ෆ්‍රී ඩෙත්, හිස්ට්‍රියන් ඇලීජ්ස්". CNN. සම්ප්‍රවේශය 2015-10-11.
  51. ^ ප්ලූටාක්, ලයිෆ් ඔෆ් ඇන්ටනි 79.6 සහ 85.4–6; කැෂියස් ඩියෝ, රෝමන් හිස්ට්‍රි 51.11.4–5 සහ 51.13.3–5
  52. ^ ප්ලූටාක්, සමාන්තර ජීවිත, LXXXV 2–3 (ලයිෆ් ඔෆ් ඇන්ටනි) 
  53. ^ ප්ලූටාක්, ibid., LXXXVI 3. මේවාත් බලන්නකැෂියස් ඩියෝ, රෝමන් හිස්ට්‍රි, LI 21 
  54. ^ සුවෙටෝනියස්, ඔන් ද ලයිෆ් ඔෆ් සීසර්ස්, ඔගස්ටස්, XVII 4 
  55. ^ ප්ලූටාක්, loc. cit. 
  56. ^ කැෂියස් ඩියෝ, op. cit., LI 14 
  57. ^ ගැලන්, De Theriaca ad Pisonem, CCXXXVII, who says she bit herself, rather than an asp biting her. 
  58. ^ ෂේක්ස්පියර්, ඇන්ටනි සහ ක්ලියෝපැට්රා, V ii 
  59. ^ "ක්ලියෝපැට්රා". ද වෝල්ටර්ස් කලා කෞතුකාගාරය.
  60. ^ ප්ලූටාර්ක්, ibid. 
  61. ^ "ඩිග් 'මේ රිවීල්' ක්ලියෝපැට්රා'ස් ටුම්බ්". BBC නිව්ස්. 2009-04-15. සම්ප්‍රවේශය 2009-04-24.
  62. ^ ප්ලූටාක්, ලයිෆ් ඔෆ් ඇන්ටනි 81.4 – 82.1; කැෂියස් ඩියෝ, රෝමන් හිස්ට්‍රි 51.15.5; සුවෙටෝනියස්, ඔගස්ටස් 17.5
  63. ^ ප්ලූටාක්, ලයිෆ් ඔෆ් ඇන්ටනි 87.1–2; කැෂියස් ඩියෝ, රෝමන් හිස්ට්‍රි 51.15.6; සුවෙටෝනියස්, ඔගස්ටස් 17.5 සහ කැලිගියුලා 26.1
  64. ^ a b c d "ද බියුටි ඔෆ් ක්ලියෝපැට්රා". චිකාගෝ විශ්වවිද්‍යාලය. සම්ප්‍රවේශය 2008-05-28.
  65. ^ "ඇයට එක් භාෂාවකින් තවත් භාෂාවකට පිවිසීමේ හැකියාව තිබිණි. ඉතා සුළු ම්ලේච්ඡ ජාතීන් පිරිසක් සමග කථාවට පමණක් ඇය භාෂා පරිවර්තකයකු යොදාගත්තා ය. ඉතියෝපියානුවන්, ට්‍රොග්ලොඩයිට්වරුන්, හීබෲවරුන්, අරාබීන්, සිරියානුවන්, මීඩ්ස්වරුන්, පාතියානුවන් ඇතුළු බොහෝ ජාතීන් සමග කථාබහ කිරීමේ දී ඇය විසින්ම කථා කළා ය. එම භාෂාවන් ඇය උගෙන තිබිණි. මෙය ඉමහත් විස්මයජනක සිදුවීමක් වන්නේ, බොහෝ ඇගේ පූර්වප්‍රාප්තික රජවරුන් ඊජිප්තු බස හුරුකරගැනීමේදී අපහසුතාවට ලක්ව තිබීමත්, ඔවුන්ගෙන් කිහිප දෙනකු මැසිඩෝනියන් බසම භාවිතා කොට තිබීමත් නිසායි. ප්ලූටාක්, ඇන්ටනි, 27.3-4
  66. ^ ඩොඩ්සන්, ඒඩන් සහ හිල්ටන්, ඩියෑන්. ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. තේම්ස් සහ හඩ්සන්. 2004. ISBN 0-500-05128-3 පවුල් ගස සහ එක් එක් පුද්ගලයා පිළිබඳ කෙටි විස්තරයක් 268-281පිටුවල දැකගත හැක. කතුවරුන් ක්ලියෝපැට්රා V සඳහා, ක්ලියෝපැට්රා VI යන්නත්, ක්ලියෝපැට්රා සෙලීන් I, ක්ලීයෝපැට්රා V සෙලීන් ලෙසත් දක්වා ඇත.
  67. ^ ස්ටේසි ෂිෆ්, ක්ලියෝපැට්රා: අ ලයිෆ්, හැෂෙට් ඩිජිටල්, Inc., 2010, ISBN 978-0-316-00192-2 ගූගල් බුක්ස්
  68. ^ HSC ඒන්ෂන්ට් හිස්ට්‍රි, පීටර් රොබට්ස් විසිනි, පි. 125, at https://books.google.co.za/books?id=Krh7n9AyS40C&pg=PA129&dq=arsinoe+iv&hl=en&sa=X&ved=0ahUKEwjYz-KfxrzOAhXEAsAKHbaGD2MQ6AEILDAD#v=onepage&q=arsinoe%20iv&f=false

මූලාශ්‍ර

සංස්කරණය
ප්‍රධාන මූලාශ්‍ර
  • හෙගෙසිපස්, හිස්ටොරියේ i.29–32.
  • ලූකන්, බෙලම් සිවිලේ ix.909–911, x.
  • මැක්‍රෝබියස්, සැටර්නලිනා iii.17.14–18.
  • ඔරොසියස්, හිස්ටොරියේ ඇඩ්බර්සස් පැගනෝස් vi.16.1–2, 19.4–18.
  • ප්ලීනි, නැචුරාලිස් හිස්ටෝරියා vii.2.14, ix.58.119–121, xxi.9.12.
  • ප්ලූටාක් (1958), "සීසර්", in වෝනර්, රෙක්ස්, ෆෝල් ඔෆ් ද රෝමක් රිපබ්ලික්, ලන්ඩන්: පෙන්ගුයින් බුක්ස්,  
  • ප්ලූටාක් (1965), "මාක් ඇන්ටනි", in ස්කොට්-කිල්වර්ට්, ඉයන්, මේකර්ස් ඔෆ් රෝම්, බැල්ටිමෝර්: පෙන්ගුයින් බුක්ස්,  
  • සුවෙටෝනියස්, ඩි විටා සිසේරම් ඉයුල් i.35.52, ii.17.
නූතන මූලාශ්‍ර
  • බ්‍රැඩ්ෆෝඩ්, අර්න්ලේ ඩස්ගේට් සෙල්බි (2000), Cleopatra, පෙන්ගුයින් සමූහය,  
  • බඒස්ටයින්, ස්ටැන්ලි එම්. (2004), The reign of Cleopatra, වෙස්ට්පෝර්ට්, CT: ග්‍රීන්වුඩ් ප්‍රෙස්,  
  • ෆ්ලැමේරියන්, ඊඩිත්; බොන්ෆේන්ට්-වැරන්, ඇලෙක්සැන්ඩ්‍රා (1997), Cleopatra: The Life and Death of a Pharaoh, හැරී ඒබ්‍රම්ස්,  
  • ෆොස්, මිෂෙල් (1999), The Search for Cleopatra, ආකේඩ් පබ්ලිෂිං,  
  • ෆ්‍රේසර්, පී.එම්. (1972), Ptolemaic Alexandria, ඔක්ස්ෆඩ්: ක්ලැරෙන්ඩන් ප්‍රෙස්,  
  • ලින්ඩ්සේ, ජැක් (1972), Cleopatra, නිව් යෝක්: කොවාර්ඩ්-මැකෑන් 
  • නාර්ඩෝ, ඩොන් (1994), Cleopatra, ලුසන්ට් බුක්ස්,  
  • පොමරෝයි, සාරා බී. (1984), Women in Hellenistic Egypt: from Alexander to Cleopatra, නිව් යෝක්: ෂොකන් බුක්ස්,  
  • රෝලර්, ඩුවේන් ඩබ්. (2010), Cleopatra: a biography, Oxford: ඔක්ස්ෆඩ් යුනිවර්සිටි ප්‍රෙස්,  
  • සදර්න්, පැට් (2000), Cleopatra, ටෙම්පස්,  
  • සයිම්, රොනල්ඩ් (1962), The Roman Revolution, ඔක්ස්ෆඩ් යුනිවර්සිටි ප්‍රෙස් 
  • වෝක්මාන්, එච්. (1958), Cleopatra: A Study in Politics and Propaganda, ටී.ජේ. කැඩෝක්ස්, පරි., නිව් යෝක්: සැගමෝර් ප්‍රෙස් 
  • වෝකර්, සුසෑන්; හිග්ස්, පීටර් (2001), Cleopatra of Egypt, From History to Myth, බ්‍රිටිෂ් මියුසියම් ප්‍රෙස්,  
  • වෙයිගෝල්, ආතර් (1923), The Life and Times of Cleopatra Queen of Egypt, ලන්ඩන්: පට්නම්, http://name.umdl.umich.edu/AJL1424.0001.001 

බාහිර සබැඳි

සංස්කරණය
ක්ලියෝපැට්රා
උපත: ක්‍රි.පූ. 69 මරණය: ක්‍රි.පූ. 30
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි XII
ඊජිප්තුවේ රැජින
ක්‍රි.පූ. 51–30
ටොලමි XII, සමග
ටොලමි XIII,
ටොලමි XIV
ටොලමි XV සිසේරියන්
නිලය අහෝසි කිරීම
රෝම සමූහාණ්ඩුව විසින් ඊජිප්තුව ඈඳා ගැනීම
"https://si.wikipedia.org/w/index.php?title=ක්ලියෝපැට්රා&oldid=659197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි