සිසේරියන්

(XVවන ටොලමි සිසේරියන් වෙතින් යළි-යොමු කරන ලදි)

ටොලමි XV ෆිලොපේටර් ෆිලොමීටර් සීසර්[note 1] (ග්‍රීක: Πτολεμαῖος ΙΕʹ Φιλοπάτωρ Φιλομήτωρ Καῖσαρ, Ptolemaios IEʹ Philopatōr Philomētōr Kaisar; ලතින්: Ptolemaeus XV Philopator Philomētor Caesar; ජූනි 23, ක්‍රි.පූ. 47 – අගෝස්තු 23, ක්‍රි.පූ. 30) හෙවත් සිසේරියන් (සිංහල: පුංචි සීසර්; ලතින්: Caesariō) නැතහොත් ටොලමි සීසර් (ග්‍රීක: Πτολεμαῖος Καῖσαρ, Ptolemaios Kaisar; ලතින්: Ptolemaeus Caesar) යන පටබැඳි නාමයන්ගෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ අවසන් පාරාවෝවරයා ය. ඔහු ඊජිප්තුවේ ටොලමියානු රාජවංශයේ අවසන් සාමාජිකයා ද වේ. ඔහු සිය මෑණියන් වූ ඊජිප්තුවේ VIIවන ක්ලියෝපැට්රා සමග ක්‍රි.පූ. 44 සැප්තැම්බර් 2 සිට හවුල් පාලනයක් ගෙනගියේ ය. ක්ලියේපැට්රාගේ මරණයත් සමග ක්‍රි.පූ. 30 අගෝස්තු 12 සිට ක්‍රි.පූ. 30 අගෝස්තු 23 දී ඔක්ටේවියන් විසින් ඔහුව මරාදැමීමට නියෝග කරන තෙක්ම ඔහු ඊජිප්තුවේ තනි පාලකයා ලෙස කටයුතු කළේ ය. ඔක්ටේවියන් පසුකලෙක ඔගස්ටස් නැමැති රෝම අධිරාජයා බවට පත් විය. නමුත් ඔක්ටේවියන්ගේ නියෝගය සාර්ථකව ඉටු වූයේ ද යන්න නොදනී. VIIවන ක්ලියෝපැට්රාගේ වැඩිමහල්ම පුත්‍රයා වූ සිසේරියන්, ජුලියස් සීසර්ගේ එකම ජීව විද්‍යාත්මක පුත්‍රයා යැයි සැලකේ. ඔහුගේ නාමය ද සීසර්ගේ නාමය අනුව යොදන ලද්දකි.

සිසේරියන්
සිසේරියන්; "Unravel the Mystery" ක්ලියෝපැට්රා ප්‍රදර්ශනයෙනි.
ඊජිප්තුවේ පාරාවෝ
රාජ්‍ය සමයක්‍රි.පූ. 44 සැප්තැම්බර් 2 - ක්‍රි.පූ. 30 අගෝස්තු 12
ක්ලියෝපැට්රා VII ෆිලොපේටර් සමග
පූර්වප්‍රාප්තිකයාක්ලියෝපැට්රා VII ෆිලොපේටර්
අනුප්‍රාප්තිකයාසිසර් ඔගස්ටස් (රෝම අධිරාජයා ලෙස)
උපතක්‍රි.පූ. 47 ජූනි 23
මරණයක්‍රි.පූ. 30 අගෝස්තු 23 යැයි අනුමාන කෙරේ (17 වියැති)
ග්‍රීකΠτολεμαῖος ΙΕʹ Φιλοπάτωρ Φιλομήτωρ Καῖσαρ, Καισαρίων
පර්වර්තනයPtolemaĩos Philopátōr Philomḗtōr Kaĩsar, Kaisaríōn
වංශයජූලියෝ-ක්ලෝඩියානු
රාජවංශයටොලමියානු
පියාජුලියස් සීසර්
මවක්ලියෝපැට්රා VII ෆිලොපේටර්

සිසේරියන් උපත ලැබූයේ ක්‍රි.පූ. 47 ජූනි 23 දින ඊජිප්තුවේදී ය. ඔහුගේ මව වූ ක්ලියෝපැට්රා ඔහු ජුලියස් සීසර්ගේ පුත්‍රයා බව ප්‍රකාශ කළා ය. සිසේරියන්හට සීසර්ගේ පෙනුම සහ හැසිරීම් විලාසය පැවති බව කියැවේ. නමුත් සීසර් ඔහුව නිල වශයෙන් පිළිගෙන නැත. සීසර්ගේ ආධාරකරුවකු වූ ගේයස් ඔපියස් සිසේරිය්නගේ පියා සීසර් විය නොහැකි බව ඒත්තු ගැන්වීමට පත්‍රිකාවක් ලියා තිබේ. එසේවුවද, සීසර් සිය නාමය භාවිත කිරීමට සිසේරියන්ට අවසර දී ඇති බව පෙනේ.[1] මෙම කරුණ වඩාත් අවුල් සහගත තත්ත්වයකට පත්වූයේ සීසර්ගේ හදාගත් පුත්‍රයා වූ ඔක්ටේවියන් ක්ලියෝපැට්රා සමග ආරවුලක පැටලීම නිසායි.

සිසේරියන් සිය ළමා කාලයේ අවුරුදු දෙකක් එනම්, ක්‍රි.පූ. 46 සිට 44 දක්වා රෝමයේ ගත කර තිබේ. මෙම කාලයේ ඔහු සහ ඔහුගේ මව සීසර්ගේ අමුත්තන් ලෙස පිළිගැනිණි. ක්ලියෝපැට්රා කල්පනා කළේ සිය පුත්‍රයා ඔහුගේ පියාගෙන් පසු රෝම සමූහාණ්ඩුවේ මෙන්ම ඊජිප්තුවේ ද ප්‍රධානියා වනු ඇතැයි කියා ය. ක්‍රි.පූ. 44 මාර්තු 15 සීසර් ඝාතනය කිරීමෙන් පසු, ක්ලියෝපැට්රා සහ සිසේරියන් නැවත ඊජිප්තුව වෙත පිටත්වූහ. ක්‍රි.පූ. 44 සැප්තැම්බර් 2 දින සිට, තුන්වන වියේ පසුවූ සිසේරියන්ව ඔහුගේ මව විසින් සම-අනුරාජයා ලෙස නම්කරන ලදී. නමුත් ඔහු පාරාවෝවරයා වූයේ නාමිකව පමණි. සැබෑ රාජ්‍ය අධිකාරය ක්ලියෝපැය්රා සතුව පැවතිණි. ක්ලියෝපැට්රා තමන්ගේ සහ සිය පුතුගේ සම්බන්ධතාව, ඊජිප්තු දෙවඟනක වූ අයිසිස් සහ ඇගේ දිව්‍යමය පුතු හොරස් හට සමාන කළා ය.[1]

ආරවුල් සහිත යුගයේ මාක් ඇන්ටනි (මාකස් ඇන්ටෝනියස්) සහ ඔක්ටේවියන් (අනාගත ඔගස්ටස් අධිරාජයා) යන දෙදෙනා සමූහාණ්ඩුවේ බලය ත්‍රිත්ව ආධිපත්‍යයක් ලෙසින් ලෙපිඩස් සමග හුවමාරු කරගත්හ. ක්‍රි.පූ. 36දී ඔක්ටේවියන් විසින් ලෙපිඩස්ව විශ්‍රාම ගන්වන ලදී. අනුතරුව ඔක්ටේවියන් සහ මාක් ඇන්ටනි පිළිවෙලින් බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල පාලනය දැරූහ.

ක්‍රි.පූ. 44 සිට ක්‍රි.පූ. 36දී ඇන්ටියොක්හි සිදුකරන ලද පරිත්‍යාගයන් පිළිබඳ සඳහන් වන තෙක්ම සිසේරියන් පිළිබඳ කිසිදු ඓතිහාසික වාර්තාවක් හමු නොවේ. වසර දෙකකට පසු ඔහුගේ නාමය ඇලෙක්සැන්ඩ්‍රියාවේ පරිත්‍යාගවල සටහනෙහි දැක්වේ. ක්ලියෝපැට්රා සහ ඇන්ටනි යන දෙදෙනාම "පරිත්‍යාග" සිදුකරමින් රෝමය සහ පාතියාව යටතේ පැවති බිම් ක්ලියෝපැට්රාගේ දරුවන්ට ප්‍රදානය කළහ. මෙම දරුවන් අතර 11 වියැති සිසේරියන් (ජුලියස් සීසර්ට දාව උපන්) සහ සිව් වියැති නිවුන් දරුවන් වූ ඇලෙක්සැන්ඩර් හීලියෝස් සහ ක්ලියෝපැට්රා සෙලීන් II විය. ඔවුනට ආරම්භයේ දී ක්‍රි.පූ. 36දී එම ප්‍රදානය සිදුකෙරිණි. නැවත ක්‍රි.පූ. 34දී දෙවන වියැති ටොලමි ෆිලඩෙල්ෆස් (පසුව දැක්වූ දරුවන් තිදෙනාගේ පියා මාක් ඇන්ටනිට දාව උපන් දරුවන් ය) හට ද ප්‍රදානය කෙරිණි. ක්‍රි.පූ. 36දී ඇන්ටියොක්හි ප්‍රදානයන් සඳහා ඔක්ටේවියන් ජනතා පිළිගැනීම ලබාදුණි. මෙය ක්ලියෝපැට්රාගේ අනන්‍ය රාජකීය සෙලියුකිඩ් පෙළපත යොදා ගනිමින් එම ප්‍රදේශවල බලය පතුරුවා පෙරදිග ප්‍රදේශ පාලනයට ගත් ඇන්ටනියානු උපක්‍රමයක් ලෙස සැලකෙයි.[2]

ක්‍රි.පූ. 34දී, ඇලෙක්සැන්ඩ්‍රියාවේ පරිත්‍යාගවල දී ඇන්ටනි විසින් සිසේරියන් සහ ක්ලියෝපැට්රාට උපන් තමන්ගේම දරුවන්හට තවත් නැගෙනහිර පෙදෙස්වල වූ බිම් ප්‍රදානය කරන ලදී. සිසේරියන්ව දෙවියකු, දෙවියකුගේ පුත්‍රයකු සහ "රජුන්ගේ රජු" ලෙස නම්කෙරිණි. මෙම සුවිසල් පදවි නාමය "රෝම අනුග්‍රාහක-රජවරුන් අතර පෙර නොපැවති" ධුරයකි. එසේම එය "රෝම ජනයාගේ 'ශ්‍රේෂ්ඨත්වයට' හානිකර බව" පෙනිණි.[3] ඇන්ටනි විසින් සිසේරියන් යනු සීසර්ගේ සැබෑ පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා ලෙස ප්‍රකාශ කරන ලදී. මෙම ප්‍රකාශය ඔක්ටේවියන්ට දැඩි තර්ජනයක් විය. (ඔක්ටේවියන්ට බලයට හිමිකමක් පැවතියේ ඔහු ජුලියස් සීසර්ගේ ඥාති බෑනා සහ හදාගත් පුත්‍රයකු වීම නිසායි) මෙවැනි ප්‍රකාශ හේතුවෙන් ඇන්ටනි සහ ඔක්ටේවියන් අතර සම්බන්ධතා බෙහෙවින් අඩපණ විය. ඔක්ටේවියන් රෝමානු වැසියන්ගේ කෝපය උපකාර කරගනිමින් ඇන්ටනි සහ ක්ලියෝපැට්රා‍ට එරෙහි යුද්ධයකට මුලපිරී ය.[4]

ක්‍රි.පූ. 31දී ඇක්ටියම් සටනේ දී ඇන්ටනි සහ ක්ලියෝපැට්රා පරාජය වීමත් සමග, ක්ලියෝපැට්රා විසින් සිසේරියන්ව "සිය මවගේ සහාය නොමැතිව ස්වාධීන පාලනයක් ගෙන යාමට" සූදානම් කරවන්නට ඇති බව පෙනේ.[1] ඇතැම්විට ඇය ඇන්ටනි සමග රාජ්‍යයෙන් බැහැර වීමට සිතන්නට ඇත. ඇන්ටනි ද ලෙපිඩස් මෙන් විශ්‍රාම යෑමට සිතුවා විය හැකියි.

සිසේරියන් පිළිබඳ ඓතිහාසික වාර්තාවන් යළි හමුවන්නේ ක්‍රි.පූ. 30දී ය. මෙවිට ඔක්ටේවියන් විසින් ඊජිප්තුව ආක්‍රමණය කොට ඔහුව අල්ලා ගැනීමට විපරම් කර තිබේ. ඇතැම්විට ක්ලියෝපැට්රා විසින් 17 වියැති සිසේරියන්ව ආරක්ෂාව පිණිස බෙරෙනිස්හි රතු මුහුදේ වරාය වෙත පිටත් කරන්නට ඇත. සැලසුමේ කොටසක් ලෙස ඔහු ඉන්දියාව වෙත පලාගියා වන්නට ද පුළුවන; නැතහොත් ඊට වසර කිහිපයකට පෙර පිටත් කර හැරියා වන්නට ද පුළුවන. මේ පිළිබඳ ඓතිහාසික මූලාශ්‍ර අපැහැදිළි ය. ප්ලූටාර්ක් පවසන්නේ සිසේරියන්ව ඉන්දියාව වෙත යැවුණු බවයි. නමුත් ඊජිප්තු රාජධානිය පිළිබඳ ව්‍යාජ පොරොන්දු දී නැවත ගෙන්වා ගත් බව ද පැවසේ:

ජූලියස් සීසර්ට දාව ක්ලියෝපැට්රාට උපන්නේ යැයි කියන පුත්‍රයා වූ සිසේරියන්ව ඔහුගේ මම විසින් විශාල ධනයක් සමග ඉතියෝපියාව ඔස්සේ, ඉන්දියාව වෙත පිටත් කර යවන ලදී. එහි රෝඩන්හි තියොඩෝරස් වැනි තවත් විද්වතකු, ඔහුට නැවත පිටත් වන ලෙස ඇවිටිලි කළේ [ඔක්ටේවියන්] සීසර් ඔහුට නැවත රාජධානිය භාර ගැනීමට ආරාධනා කළ බව පවසමිනි.[5]

ක්‍රි.පූ. 30 අගෝස්තු 1 දින ඔක්ටේවියන් විසින් ඇලක්සැන්ඩ්‍රියාව අල්ලා ගන්නා ලදී. මෙම දිනය නිල වශයෙන් ඊජිප්තුව රෝම සමූහාණ්ඩුව වෙත ඈඳා ගැනීම සනිටුහන් කරයි. මෙම කාලය අවට මාක් ඇන්ටනි සහ ක්ලියෝපැට්රා මියගොස් ඇත. සම්පදායිකව ක්ලියෝපැට්රාගේ මරණය සියදිවි නසා ගැනීමක් ලෙස සඳහන් වුවද, එය ඝාතනයක් විය හැකි යැයි යෝජනා වී ඇත.[6] ප්ලූටාර්ක් වැන්නවුන්ගේ තොරතුරු සාමාන්‍යයෙන් අභියෝගයට ලක් වී ඇති හෙයින්, එය සත්‍යය යැයි ගනු නොලැබේ.[7] සිසේරියන්ගේ ගුරුවරයා ඇතුළු ඔහුගේ ආරක්ෂකයින්, අනුකම්පාව පතා ව්‍යාජ පොරොන්දුවට රැවටී ඔහුව ඇලෙක්සැන්ඩ්‍රියාව වෙත ගෙනගියා හෝ ඔහුට ද්‍රෝහී වූවා විය හැක. මේ පිළිබඳ වාර්තා අපැහැදිළි ය.

ඔක්ටේවියන් විසින් පාරාවෝ සිසේරියන්ව ඇලෙක්සැන්ඩ්‍රියාවේ දී මරණයට පත් කිරීමට පෙළෙඹෙන්නට ඇත්තේ ඒරියස් ඩිඩයිමස්ගේ උපදෙස් අනුව විය හැක. ඩිඩයිමස් පවසා ඇත්තේ "සීසර්වරුන් රාශියක් සිටීම යහපත් නැත" යනුවෙනි. (මෙය හොමර්ගේ කෘතියක දැක්වෙන් ශ්ලේෂාර්ථ යෙදුමකි)[8] ජනප්‍රිය මතය ඔහුව මරාදැමුණු බවයි. නමුත් ඔහුගේ මරණය හා සම්බන්ධ නිශ්චිත තොරතුරු (හෝ ඔහු වෙනත් අනන්‍යතාවයකින් වියපත් වන තෙක්ම ජීවත් වූයේ ද යන්න) වාර්තා වී නැත.[තහවුරු කර නොමැත]

අනතුරුව ඔක්ටේවියන් ඊජිප්තුවේ අසහාය පාලකයා බවට පත් විය. ඊජිප්තුවේ සම්ප්‍රදායික කාලානුක්‍රමය අනුව නව පාලකයාගේ පළමු වර්ෂය ක්‍රි.පූ. 30න් ඇරඹි බව සැලකේ.

නිරූපණයන්

සංස්කරණය
 
ඊජිප්තුවේ ‍ඩෙන්ඩෙරා දෙවොලේ ඇති VIIවන ක්ලියෝපැට්රා සහ සිසේරියන් නිරූපිත කැටයමක්

සිසේරියන්ගේ රූ හමුව ඇත්තේ ස්වල්පයකි. 1997දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ වරායෙන් හමුවූ ප්‍රතිමා කොටසේ ඔහුව නිරූපණය වේ යැයි විශ්වාස කෙරේ. ඩෙන්ඩෙරාහි හාතොර් දේවස්ථානයේ ඔහු වැඩිහිටි පාරාවෝවරයකු වශයෙන් ඔහුගේ මව සමග සිටිනු දෙවරක් කැටයම් කොට තිබේ. ඔහුගේ ළදරු වියේ රූප ක්ලියෝපැට්රාගේ ලෝකඩ කාසිවල නිරූපිත ය.[9]

ඊජිප්තු නම්

සංස්කරණය

ඔහුගේ ග්‍රීක නාමය සහ පටබැඳි නාමයට අමතරව, සිසේරියන්ට ඊජිප්තු බසින් සම්පූර්ණ රාජ පදවි නාම සමූහයක් තිබී ඇත:

  • ඉවාපැනෙට්ජෙර් එන්ටයිනෙහෙම්
  • සෙටෙපෙන්ප්ටාහ්
  • අයිර්මාටෙන්රේ
  • සෙඛෙමාන්ඛාමූන්

මෙම නම් මෙලෙස පරිවර්තනය කෙරේ:

  • "ආරක්ෂා කරන දෙවියන්ගේ උරුමකරු"
  • "ප්ටාහ් විසින් තෝරාගත් තැනැත්තා"
  • "රාගේ පාලනය දරා සිටින්නා" හෝ "ධාර්මික බවේ හිරු"
  • "අමූන්ගේ ජීවමාන ප්‍රතිබිම්බය"[10]

සිසේරියන් ප්‍රබන්ධ චරිතයක් ලෙස

සංස්කරණය
  • Cleopatra's Heir නැමැති ඓතිහාසික නවකථාවේ ප්‍රධාන චරිතයකි, සිසේරියන්. මෙය ගිලියන් බ්‍රැඩ්ෂෝව් (2002, ISBN 0765302284) විසින් ලියන ලද්දකි.
  • Asterix and Son නැමැති කාටූන් ඇල්බමයේ ක්ලියෝපැට්රා ළදරු සිසේරියන්ව රැක බලාගැනීම පිණිස අදෘශ්‍යමාන ගෝල් වැසියකු වන ඇස්ටෙරික්ස්හට භාර දෙයි. ඒ බෲටස්ගේ ඝාතන තැතින් ආරක්ෂා කරගැනීමටයි.
  • සිසේරියන්ගේ චරිතය රූපවාහිනී කතාමාලාවක් වන Romeහි කතාංග කිහිපයකම දක්නට ලැබේ. පළමුව "සිසේරියන්" නැමැති කථාංගයෙහි අලුත උපන් දරුවකු ලෙස දැක්වේ. ඔහු විසින් එහි අවසන් කථාංගය වන "De Patre Vostro (About Your Father)"හි ප්‍රධාන චරිතය නිරූපණය කරයි. මෙහි ටයිටස් පුල්ලෝ විසින් බේරාගනු ලබන අතර, ඔහුව නොහඳුනන අනාගතයක් කරා රැගෙන යයි. මෙම කතාමාලාවෙන් ඍජුව පැවසෙන්නේ සීසර් මුණගැසීමට පෙර ක්ලියෝපැට්රා සමග සම්බන්ධතා පැවැත්වූ පුලෝ එම දරුවාගේ පියා බවයි. අවසන් කථාංගයේ තේමාවේ, පුලෝ විසින් සිසේරියන්ට පවසන අවසන් වදන්වලින් මේ බව හැඟවෙයි.
  • සිසේරියන් චරිතය ප්‍රධාන චරිතයක් ලෙසින් මයිකල් ලිවිංස්ටන්ගේ 2015 ඓතිහාසික ෆැන්ටසි නවකථාවක් වූ The Shards of Heaven තුළ දක්වා ඇත.[11][12]
  • කොලීන් මැකූලෝගේ Masters of Rome කතාමාලාවේ අවසන් ග්‍රන්ථය වන Anthony and Cleopatra තුළ ද සිසේරියන් නිරූපිත ය.

මේවාත් බලන්න

සංස්කරණය
  1. ^ ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (පටබැඳි නාමය) ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ a b c ඩුවෑන් ඩබ්. රොලර්, ක්ලියෝපැට්රා: අ බයෝග්‍රැෆි, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය US, 2010, පිටු. 70-3
  2. ^ රොල්ෆ් ස්ටෲට්මන්, ‘ක්වීන්ස් ඔෆ් කිංස්: ක්ලියෝපැට්රා VII ඇන්ඩ් ද ඩොනේෂන්ස් ඔෆ් ඇලෙක්සැන්ඩ්‍රියා’, තුළ: එම්. ෆැසෙලා සහ ටී. කයිසර් සංස්., කිංඩම්ස් ඇන්ඩ් ප්‍රින්සිපලිටීස් ඉන් ද රෝමන් නියර් ඊස්ට්. ඔක්සිඩන්ස් එට් ඔරියන්ස් 19 (ස්ටූට්ගාර්ට්: ෆාන්ස් ස්ටයිනර් වර්ලැග්, 2010) 139–158
  3. ^ මේයර් රයින්හෝල්ඩ්, ස්ටඩීස් ඉන් ක්ලැසිකල් හිස්ට්‍රි ඇන්ඩ් සොසයිටි, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය US, 2002, පි. 58.
  4. ^ ස්ටැන්ලි මේයර් බර්ස්ටයින්, ද රීන් ඔෆ් ක්ලියෝපැට්රා, ඔක්ලහෝමා විශ්වවිදයාලීය මුද්‍රණාලය, 2007, පි. 29.
  5. ^ ප්ලූටාර්ක්, ඇන්ටනිගේ දිවිය
  6. ^ පැට් බ්‍රවුන්, ද මර්ඩර් ඔෆ් ක්ලියෝපැට්රා: හිස්ට්‍රි'ස් ග්‍රේටස්ට් කෝල්ඩ් කේස්; ප්‍රොමිතියස් බුක්ස් (පෙබරවාරි 19, 2013)
  7. ^ ජෝන් ඩ්‍රයිඩන් විසින් සිදුකළ ප්ලූටාර්ක්ගේ වාර්තාහි විශිෂ්ඨ පරිවර්තනය යාවත්කාලීන කළ වික්ටෝරියානු විද්වතකු වූ ආතර් හියු ක්ලෝ විසින් හොඳම ඉංග්‍රීසි පරිවර්තනය පිරි නමයි. මෙහි මෙලෙස හඳන්වා ඇත: "[ප්ලූටාර්ක්] සංඛ්‍යා පිළිබඳ නොසැලකිලිමත් බව අපට පැවසිය නොහැකියි. ඔහු නිතරම ඔහුගේම ප්‍රකාශවලට පරස්පරව සඳහන් කොට ඇත. මෙය ඔහුගේ කථාන්තර ශෛලියෙහි විශාල වරදකි." මොරෝ, ලැන්ස්. "ස්මිත්සෝනියානු සඟරාව", ජූලි 2004. සම්ප්‍රවේෂණය 26 පෙබරවාරි 2015.
  8. ^ ඩේවිඩ් බ්‍රෝන්ට් ඇතුළු පිරිස, මිත්, හිස්ට්‍රි ඇක්ඩ් කල්චර් ඉන් රිපබ්ලිකන් රෝම්: ස්ටඩීස් ඉන් ඔනර් ඔ‍ෆ් ටී. පී. වයිස්මන්, එක්සීටර් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 2003, පි. 305. සැබෑ පෙළ වූයේ "ουκ αγαθόν πολυκοιρανίη" ("ouk agathon polukoiranie"): "නායකයන් රැසක් සිටීම අයහපත් ය", හෝ "කිහිප දෙනකුගේ පාලනය අයහපත් ය". (හෝමර්ගේ ඉලියඩ්, Bk. II. පැදි. 204 සහ 205) ග්‍රීකවලින් "ουκ αγαθόν πολυκαισαρίη" ("ouk agathon polukaisarie") යන්න "ουκ αγαθόν πολυκοιρανίη" ("ouk agathon polukoiranie") හි ප්‍රභේදයකි. "Καισαρ" (සීසර්) යන්න නායකයා යන අරුතැති "κοίρανος" මගින් විස්ථාපනය කොට ඇත.
  9. ^ සියර්, ග්‍රීක් කොයින්ස් ඇන්ඩ් දෙයාර් වැලියුස්, වෙළු. II.
  10. ^ ක්රෝනිකල් ඔෆ් ද ෆේරෝස්, පීටර් ක්ලේටන් විසිනි (1994), ISBN 0-500-05074-0
  11. ^ "ද ෂාඩ්ස් ඔෆ් හෙවන් බයි මයිකල් ලිවිංස්ටන්". පබ්ලිෂර්ස් වීක්ලි. සම්ප්‍රවේශය ජනවාරි 29, 2016.
  12. ^ "රීවිව්: ද ෂාඩ්ස් ඔෆ් හෙවන් බයි මයිකල් ලිවිංස්ටන්". කර්කස් රිව්ව්ස්. සැප්තැම්බර් 3, 2015. සම්ප්‍රවේශය ජනවාරි 29, 2016.

බාහිර සබැඳි

සංස්කරණය
සිසේරියන්
උපත: ක්‍රි.පූ. 47 මරණය: ක්‍රි.පූ. 30
පූර්වප්‍රාප්තිකයා
ක්ලියෝපැට්රා VII ෆිලොපේටර්
ඊජිප්තුවේ පාරාවෝ
ක්‍රි.පූ. 44-30
ක්ලියෝපැට්රා VII සමග
අනුප්‍රාප්තික
රෝමය විසින් ඊජිප්තුව ඈඳා ගැනීම
"https://si.wikipedia.org/w/index.php?title=සිසේරියන්&oldid=659204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි