ප්‍රධාන මෙනුව විවෘත කරන්න

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

(ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකා දුම්රිය සේවය[3] පවත්වාගෙන යනු ලබන දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවකි (ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව)[4][5][6][7].[8] 1858 දී ආරම්භ කරන ලද මෙය වර්තමානයේ ප්‍රවාහන අමාත්‍යංශය යටතේ පවතී. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය වාණිජ අගනුවර වන කොළඹ පිහිටි මරදාන සිට අගනුවරින් ඈත පිහිටි ප්‍රදේශත් අතර ප්‍රධාන මාර්ග පහක් ඔස්සේ දුම්රිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි.

දුම්රිය දෙපාර්තමේන්තුව
වර්ගයරජය-සතු සංස්ථාව
ස්ථාපිතය1858
මූලස්ථානයකොළඹ, ශ්‍රී ලංකාව
ප්‍රධාන පුද්ගලයන්Mr. B. A. P. Ariyaratne,
General Manager (act.)
කර්මාන්තයදුම්රිය ගමනාගමනය
ආදායමLKR 4,200,000,000[1]
ශුද්ධ ආදායම- ශ්‍රී ලංකා රුපියල් 7,500,000,000
සේවකයන්දළ වශයෙන්. 14,400[2]
වෙබ්අඩවියwww.railway.gov.lk
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
Specifications
Track gauge1676 mm
දුම්රිය සංඥා පද්ධතිය ටැබ්ලට් උපකරණ භාවිතය

හැඳින්වීමසංස්කරණය

වර්තමානයේ ශ්‍රී ලංකා දුම්රිය සේවය කිලෝමීටර 1508ක පුළුල්මාර්ගයකින්(අඩි 5 අඟල් 6) සමන්විතය. එමෙන්ම ලෝකයේ ඇති අලංකාරතම දුම්රිය මාර්ගයක් ලෙසද ශ්‍රී ලංකා දුම්රිය සේවය සලකනු ලබයි. විශේෂයෙන්ම ප්‍රධාන දුම්රිය මාර්ගය දියඇලි, ස්වභාවික වනාන්තර සහිත කඳුවැටි, මීදුමෙන් වැසීගත් කඳු මුදුන් ආදී ස්වභාවික අලංකාරයෙන් මෙන්ම මිනිසාගේ අලංකාර නිර්මාණ වන තේ වතු, පයින් වනාන්තර හා පාලම්, උස් ස්ථානවල පිහිටි දුම්රිය සථාන ආදී ඉංජිනේරුවරුන්ගේ විශ්වකර්ම නිර්මාණ ආදියෙන්ද අලංකෘතය.

අතීතයසංස්කරණය

ආරම්භයසංස්කරණය

 
ඉදල්ගස්ඉන්න දුම්රිය ස්ථානයේ සවිකර ඇති ලංකා ආණ්ඩුවේ දුම්රිය සේවයට අදාල පැරණි පුව
 
සුන්දර තේවතු

ශ්‍රී ලංකාවට දුම් රිය ප්‍රවාහනය බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් හඳුන්වාදෙන ලද්දේ 1864 දිය. දුම් රිය මග සැදීමට ප්‍රධානතම හේතු සාධකය වී ඇත්තේ උඩරට සිට තේ, කෝපි අගනුවරට ප්‍රවාහනය කිරීමේදි ඇති වූ ගැටලුවයි. මුල්ම පියවර ලෙස කොළඹ සිට අඹේපුස්ස දක්වා වූ කිලෝමීටර් 54ක් වූ මාර්ගය ඉදි කරන ලදි. අතීතයේ ගැමියන් දුම් රිය යකඩ යකා ලෙස හඳුන්වා තිබේ.

පිලිවෙලින් 1867, 1874, 1885, 1894 සහ 1924 දි ප්‍රධාන දුම් රිය මාර්ගය නුවර, නාවලපිටිය, නානු ඔය, බණ්ඩාරවෙල සහ බදුල්ල දක්වා දීර්ඝ කරන ලදි. මීට අමතරව මාතලේ මාර්ගය 1880 දිත්, මුහුදුබඩ මාර්ගය 1895 දිත්, උතුරු මාර්ගය 1905 දිත්, මන්නාරම් තොට දක්වා වූ මාර්ගය 1914 දී , කැලණි වැලි මාර්ගය 1919 දිත්, සහ පුත්තලම් මාර්ගය 1926 දීත් නිම කරන ලදි.

ස්වර්ණමය යුගයසංස්කරණය

බ්‍රිතාන්‍යන් විසින් ආරම්භ කරන ලද මෙම සේවාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ 1955–1970 අතර කාලයයි. මෙකල දුම් රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි වරයා ලෙස කටයුතු කර ඇත්තේ බී.ඩී.රම්පාල මහතා ය. මෙතුමා ගේ නායකත්වයෙන් දුම් රිය දෙපාර්තමේන්තුවේ අභිවෘධිය සඳහා විශාල වැඩ කොටසක් සිදුවී ඇත. මෙතුමාගේ අවධියේ වූ සේවාවන් අතර සීඝ්‍රගාමි දුම් රියන් ආරම්භ කිරීම, ඩීසල් එන්ජින් ගෙන්වීම, දුම් රියන් සඳහා සිංහල නාමයන් යෙදීම, දුම් රිය ස්ථාන වැඩි දියුණු කිරීම ආදිය දැක්විය හැකිය.

අභාවයසංස්කරණය

විසිවන සියවසයෙහි අග භාගයෙහි පටන් දුම් රිය සේවයේ විවිධ හැල හැප්පීම් සිදුවී ඇත. මෙකල රටේ ආර්ථිකය වැඩි වශයෙන් කර්මාන්ත සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් දැක්වීම නිසා වැවිලි කර්මාන්තය කෙරෙහි තිබූ අවධානය අඩුවී ඇත. ඒත් සමගම මහා මාර්ග පද්ධතියේ වැඩි දියුණුවත් සමගම දුම් රිය ප්‍රවාහනය සඳහා තිබුණු උනන්දුව ද අඩුවී තිබේ. මෙම නිසා දුම් රිය දෙපාර්තමේන්තුව අධික ලෙස පාඩු ලබන ආයතනයක් බවට පත් විය.

මීට අමතරව ත්‍රස්තවාදි ක්‍රියා හේතුවෙන්, දුම් රිය එන්ජින් විනාශ වීම, දුම් රිය ගමන් වාර නැවැත්වීමට සිදුවීම, ඇතැම් දුම් රිය මාර්ග සම්පූර්ණයෙන්ම විනාශ වීම ආදියද දුම් රිය දෙපාර්තමේන්තුවේ කඩාවැටීමට බල පා ඇත

නව සැලසුම්සංස්කරණය

 
S12 නැමැති නව දුම්රියන් 2012 දි හඳුන්වා දෙන ලදි

2010 වසරේදි දුම් රිය සේවය නගා සිටුවීම සඳහා දස අවුරුදු සැලැස්මක් රජය විසින් දියත් කරන ලදි. මෙහි එක් පියවරක් වූයේ එන්ජින් යොදා ධාවනය කරනු ලබන දුම් රියන් සඳහා පවර් සෙට් ලෙස හඳුන්වනු ලබන ඩීසල් මල්ටිපල් යුනිට් නම් දුම් රිය වර්ගයේ දුම් රිය යොදා ගැනීමයි.

2010-2012 කාලයේදි මුහුදුබඩ දුම් රිය මග නවීකරණය කොට වැඩි වේගයෙන් දුම් රිය ධාවනය කිරීමට පහසුකම් සලසන ලදි. මීට අමතරව විනාශ වූ උතුරු දුම් රිය මග නැවත සෑදිමත්, මුහුදුබඩ මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමේ වැඩ කටයුතු මේ දිනවල සිදුවේ.

සේවාවන්සංස්කරණය

දුම් රිය සේවය විසින් නගරාන්තර දුම් රිය, සීඝ්‍රගාමි දුම් රිය, මන්දගාමි දුම් රිය සහ බඩු සහ තෙල් ප්‍රවාහනය කරන දුම් රියන් ධාවනය කරනු ලබයි.

පන්ති කිහිපයකින් යුතු මගී මැදිරි තිබේ.

 
තුන්වන පන්තියේ ආසන සහිත මැදිරියක්
  • රාත්‍රියේ ධාවනය වන දුම් රියන් සඳහා පලවෙනි පන්තියේ නිදන මැදිරි
  • පලවෙනි පන්තියේ නැරඹුම් මැදිරි
  • පලවෙනි පන්තියේ වායු සමනය කල මැදිරි
  • දෙවන පන්තියේ වෙන්කල හැකි සහ සැප පහසු ආසන සහිත මැදිරි
  • තුන්වන පන්තියේ සාමාන්‍ය ආසන සහිත මැදිරි (මෙය සකසුරුවම් පන්තිය ලෙසද හැඳින්වේ)
  • වායු සමනය කල සහ නොකල ආපන ශාලා සහිත මැදිරි

කොළඹ සිට අවිස්සාවේල්ල, රඹුක්කන, මහව, හලාවත ආදි ප්‍රදේශ වෙත ධාවනය වන මන්දගාමි දුම් රියන් සඳහා කාර්යාල සහ පාසල් වේලාවේදි වැඩි ඉල්ලුමක් තිබේ.

කාර්යක්ෂමතාවය වැඩි කිරීමට තෝරාගත් මාර්ග කිහිපයක විදුලි දුම් රිය ධාවනය කිරීමට යෝජනා වී තිබේ.

දුම්රිය වර්ගසංස්කරණය

  1. වායු සමනය කල සුඛෝපභෝගී දුම් රිය - මේවායේ සියලුම මැදිරි වායු සමනය කල මැදිරි සහ ඇතැම් විට ආපන ශාලාවකින් සමන්විත වෙයි. කොළඹ සිට ප්‍රධාන ගමනාන්ත දක්වා සීමිත නැවැතුම් සංඛ්‍යාවකින් යුතුව ධාවනය කරයි.
  2. නගරාන්තර සීඝ්‍රගාමි - කොළඹ සිට ප්‍රධාන නගර දක්වා ධාවනය වෙයි. මෙහි වෙන්කල හැකි ආසන පවතින අතර ආසන වල මිල සාමාන්‍ය දුම් රිය වල මිලට වඩා වැඩිය. ගමනාන්තය තෙක් ප්‍රධාන දුම් රිය පොල වල් වල පමණක් නවත්වයි
  3. සීඝ්‍රගාමි - ප්‍රධාන දුම් රිය පොලවල් අතර නගරාන්තර දුම් රිය වලට වඩා වැඩි නැවතුම් සංඛ්‍යාවකින් යුතුව ධාවනය කරයි. මිල ගණන් සාමාන්‍ය පරිදි වේ.
  4. තැපැල් දුම් රිය - රාත්‍රි කාලයේදි කොළඹ සිට ප්‍රධාන නගර කරා ධාවනය වන සීඝ්‍රගාමි දුම් රිය. මෙහි නිදන මැදිරි සහ වෙන්කල හැකි සහ සාමාන්‍ය ආසන තිබේ
  5. මන්දගාමි දුම් රිය - ගමනාන්තය තෙක් සියලුම දුම් රිය ස්ථාන වල නවත්වනු ලබයි. ඇත්තේ තුන්වන පන්තියේ මැදිරි පමණකි.
  6. භාණ්ඩ ප්‍රවාහන දුම් රිය - ගමනාන්තය තෙක් අවශ්‍ය දුම් රිය ස්ථාන වල නවත්වනු භාන්ඩ පැටවීම සහ බෑම සිදුකරනු ලබයි. බඩුබාහිරාදිය සහ ඉන්ධන ප්‍රවාහන ගැල් යොදාගනී. විශේෂ බඩු දුම්රියන්ද ධාවනය වේ.
  7. මිශ්‍ර දුම් රිය - බොහෝවිට මන්දගාමීව ධාවනය කරන මෙම දුම්රිය වල මගීන් මෙන්ම භාණ්ඩ සහ ඉන්ධන ගැල්ද ප්‍රවාහනය කෙරෙයි.

දුම්රිය මාර්ග සහ ප්‍රධාන දුම්රිය සේවාසංස්කරණය

දුම්රිය මාර්ග පද්ධතිය ප්‍රධාන මාර්ග 9කින් සහ මෙහෙයුම් මධ්‍යස්ථාන 3කින් සමන්විත වේ. ඇතැම් දුම්රිය සඳහා විශේෂ නාමයන් ද යොදා ඇත.

මාර්ගය ප්‍රධාන සේවාවන්
ප්‍රධාන දුම්රිය මාර්ගය කොළඹ කොටුවේ සිට නාවලපිටිය, නානු ඔය හරහා බදුල්ල උඩරට මැණිකේ, පොඩි මැණිකේ, ටිකිරි මැණිකේ, නගරාන්තර දුම්රිය සහ ප්‍රාදේශිය සේවාවන්
මාතලේ දුම්රිය මාර්ගය පේරාදෙණිය හංදියේ සිට මහනුවර හරහා මාතලේ සෙංකඩගල මැණිකේ, මහනුවර නගරාන්තර දුම් රිය
 
කොළඹ සිට උතුරට ධාවනය වන දැයට කිරුළ නගරාන්තර දුම්රිය
මාර්ගය ප්‍රධාන සේවාවන්
උතුරු දුම්රිය මාර්ගය පොල්ගහවෙල සිට, කුරුණෑගල, මහව, අනුරාධපුරය, කිලිනොච්චිය, යාපනය හරහා කන්කසන්තුරේ රජරට රැජිණ, යාල් දේවි,උත්තර දේවි, දැයට කිරුළ නගරාන්තර දුම්රිය
මන්නාරම දුම්රිය මාර්ගය මැදවච්චිය දුම්රිය ස්ථානයේ සිට මන්නාරම් තොට දක්වා
මඩකලපුව දුම්රිය මාර්ගය ගල් ඔය හන්දියේ සිට මඩකලපුව උදය දේවි, මීනගයා
ත්‍රීකුණාමලය දුම්රිය මාර්ගය ගල් ඔය හන්දියේ සිට ත්‍රීකුණාමලය
මාර්ගය ප්‍රධාන සේවාවන්
මුහුදුබඩ දුම්රිය මාර්ගය කොළඹ කොටුවේ සිට ගාල්ල, මාතර. කතරගම දක්වා දීර්ඝ කිරීමේ කටයුතු සිදුවේ. රුහුණු කුමාරි, සමුද්‍ර දේවි, ගාලු කුමාරි, සාගරිකා, රජරට රැජිණ
කැලණි වැලි දුම්රිය මාර්ගය මරදාන සිට අවිස්සාවේල්ල
පුත්තලම දුම්රිය මාර්ගය රාගම සිට පුත්තලම මුතු කුමාරි

දුම්රිය එන්ජින් සහ ප්‍රවාහන මැදිරිසංස්කරණය

ප්‍රධාන වශයෙන් දුම්රිය සඳහා යොදාගැනෙන්නේ ඩීසල් එන්ජින් සහ බලවේග කට්ටල දුම්රිය වේ. මීට අමතරව විශේෂ අවස්ථාවලදි වාෂ්ප එන්ජින් යොදා ගැනේ. මගී මැදිරි සඳහා යොදාගැනෙන්නේ රුමේනියාවේ සහ චීනයේ නිශ්පාදිත මැදිරි ය.

ගැටළුසංස්කරණය

ආර්ථිකසංස්කරණය

රටේ බොහෝ රාජ්‍ය ව්‍යාපාර මෙන්ම දුම් රිය සේවයත් අධික වශයෙන් අලාභ ලබන ආයතනයක් බවට පත්වී ඇත. 1943 සිට මේ වන තුරු ශුද්ධ ලාභයක් උපයා ගැනීමට නොහැකි වී ඇත. මෙහෙයුම් වියදම් වැඩිවීම මීට බෙහෙවින් බලපා ඇත. බොහෝ විට භාවිත වෙන්නේ ඉතාමත් පැරණි උපකරණ/ගොඩනැගිලි/එන්ජින් ආදිය නිසා මේවාට වැයවෙන වියදම අධිකය. තවත් එක් හේතුවක් වී ඇත්තේ ගාස්තු ක්‍රමය ය.

සීමාසහිත යටිතල පහසුකම්සංස්කරණය

 
වික්ටෝරියානු ක්‍රමයට නිමවා ඇති බදුල්ල දුම්රිය ස්ථානය

දුම් රිය සේවය වැඩි වශයෙන්ම වික්ටෝරියානු යුගයේ පැරණි තාක්ශණික උපකරණ භාවිත කරන නිසා මේවා නඩත්තුවේදි වැය වන වියදම අධිකය. මීට අමතරව දුම් රිය මැදිරි ආදිය ප්‍රමාණවත් ලෙස නොතිබෙන නිසා සුළුතරයක් නිතරම භාවිතයට ගැනීමෙන් ඇතිවන ගැටළු ද තිබේ. මෙම ගැටළු මගහරවාගැනීමට නව උපාංග ඇණවුම් කර තිබේ.

අනතුරුසංස්කරණය

  • 1962 මාර්තු 18 - අධික වේගයෙන් පැමිණි දුම් රියක් මීරිගමදී පීලි පැනීමෙන් 60කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.
  • 1985 ජනවාරි 19 - එල්.ටී.ටී.ඊ ය විසින් යාල් දේවි දුම්රියට බෝම්බ දැමීමෙන් මගීන් 11 දෙනෙකු මරුමුවට පත්විය
  • 1996 ජූලි 24 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය - එල්.ටී.ටී.ඊ බෝම්බ ප්‍රහාරයකින් දෙහිවල දි මගීන් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය
  • 2002 ජනවාරි - නුවර සිට කොළඹ දක්වා ධාවනය වූ නගරාන්තර දුම්රිය රඹුක්කන දී පිලී පැනීමෙන් 14 දෙනෙකු මරුමුවට පත්විය.
  • 2004 දෙසැම්බර් 26 සුනාමි-දුම්රිය ව්‍යසනය - සුනාමි ව්‍යසනය හේතුවෙන් විනාශ වූ දුම්රියෙහි මගීහු බොහෝ පිරිසකට ජීවිත අහිමි විය.
  • 2005 අප්‍රේල් 26 - පොල්ගහවෙල යාන්ගල්මෝදරදි මගී බස් රථයක් දුම් රිය හරස් මාර්ගය හරහා යන විට දුම් රියක ගැටී මගීන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
  • 2011 සැප්තැම්බර් 17 අලව්ව දුම්රිය අනතුර -දුම්රිය දෙකක් එකම මාර්ගයේ ගමන් කර එක් දුම්රියක් ඉදිරියේ තිබූ දුම්රියක ගැටීමෙන් මගීන් 5 දෙනෙකුට ජීවිත අහිමි විය.
  • 2014 මැයි 31 - පොතුහැරදි පලෙයි බලා ධාවනය වන දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවත්වා තිබූ කොළඹ ට පැමිණෙමින් තිබුණු රජරට රැජිණ දුම්රියේ ගැටීමෙන් මගීන් බොහෝ පිරිසක් තුවාල ලැබූහ. මීට අමතරව දුම්රිය දෙකෙහිම එන්ජින් 2කටම බොහෝ හානි සිදුවී තිබේ.

මේවාද බලන්නසංස්කරණය

බාහිර සබැඳිසංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

  1. "Rolling Loss". Lanka Business Online. 10 April 2012. Retrieved 12 April 2012.
  2. "Overview". ශ්‍රී ලංකා දුම්රිය සේවය. Retrieved 6 පෙබරවාරි 2012.
  3. "ශ්‍රී ලංකා දුම්රිය සේවය, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය". Retrieved 2016-07-15.
  4. "හැමෝම බලාගෙන හිටපු ඇමැති විෂයයන් ගැසට් එකෙන් එළියට එයි , මව්බිම". Retrieved 2016-07-15. line feed character in |title= at position 55 (help)
  5. "අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග අනතුරු : ආරක්ෂක වැඩ පිළිවෙළ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව". Retrieved 2016-07-15.
  6. "ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව.කාර්ය සාධන වාර්තාව 2013". Retrieved 2016-07-15.
  7. "ලංකාවේ දුම්රිය විදුලිකරණය තවත් ප්‍රමාද කළ යුතු නැත, දිවයින". Retrieved 2016-07-15.
  8. "ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය". Retrieved 2016-07-15.