කැලණි වැලි දුම්රිය මාර්ගය

යටියන්තොට සහ ඕපනායක අතහැර දැමූ දුම්රිය මාර්ගයකි. එම මාර්ගයේ ඇති පැරණි දුම්රිය ස්ථාන වන්නේ ගැටහැත්ත, ඇහැලියගොඩ, පරකඩුව, කුරුවිට, රත්නපුර, තිරිවානකැටිය, දෑල, වටපොට, කහවත්ත සහ ඕපනායකයි. අවිස්සාවේල්ල සහ යටියන්තොට අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා අඩි 2යි 6ක් පටු මාර්ගයක් ලෙස මුලින් ඉදිකරන ලද දුම්රිය මාර්ගය, වසර 145ක දීර්ඝ ඉතිහාසය තුළ KV Line ලෙස ප්‍රචලිත විය. පටු මාපක යුගයේ දී, පටු මාපක එන්ජින් ඇණියක් තිබූ අතර, එහිදී K පන්තියේ වාෂ්ප දුම්රිය එන්ජින් භාවිතා කරන ලදී.

එන්ජින් ඇණිය
එන්ජින් ඇණිය

කැලණි මිටියාවතේ සහ සබරගමුවේ යුරෝපීය වැවිලිකරුවන් 1867 දී මහනුවර දක්වා වූ දුම්රිය මාර්ගය සාර්ථකව නිම කළ දා සිට දුම්රිය මාර්ගයක් ඉල්ලා උද්ඝෝෂණ කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1900-1902 කාලය තුළ මුලින්ම කොළඹ සිට අවිස්සාවේල්ල හරහා යටියන්තොට දක්වා දුම්‍රිය මාර්ගය ඉදි විය.

අවිස්සාවේල්ල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 37ක් පමණ උසකිනි. අවිස්සාවේල්ල යනු කැළණිවැලි මාර්ගයේ වැදගත් නගරයක් වන අතර, කොළඹ සිට යටියන්තොට දක්වා විහිදුණු මාර්ගය සහ රත්නපුරය දක්වා විහිදුණු ඕපනායක මාර්ගය 1912 දී අවසන් කර 1919 දී ඕපනායක දක්වා ව්‍යාප්ත වූ දුම්රිය සඳහා වැදගත් හන්දියක් ද වේ.

කුරුවිට ආසන්නයේදී වාෂ්ප දුම්රියක්

කැළණිවැලි මාර්ගය ශ්‍රී ලංකාවේ එකම පටු දුම්රිය මාර්ගය වන අතර එය හුදෙක් 76cm පළලකි. මූලික වශයෙන් බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් විසින් මිටියාවතේ කෘෂිකාර්මික නිෂ්පාදන කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලදී. එවකට දිවයිනේ ප්‍රධාන භෝග වූ කෝපි, තේ, රබර්, කුරුඳු සහ පොල්, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිත වතුකරයේ සිට කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා බ්‍රිතාන්‍යන්ට බොහෝ කාලයක් ගත වූ බැවින්, එමඟින් වැවිලි කර්මාන්තයට අහිතකර ලෙස බලපෑම් ඇති විය.

උඩ සිට පහලට - අත්හැර දැමූ දුම්රිය ස්ථානයක්, රත්නපුර දුම්රිය ස්ථානය (වර්තමාන බස් නැවතුම්පල), ගලින් ඉදිකරන ලද බෝක්කුවක්

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මැකලම් (1907-1913) පාලන සමයේදී කැළණිවැලි දුම්රිය මාර්ගය කෘෂිකාර්මික භෝග ප්‍රවාහනය සඳහා පටු මාපක මාර්ගයක් ලෙස අවිස්සාවේල්ලෙන් අතු බෙදී රත්නපුරය දක්වා ව්‍යාප්ත විය. නැවතත්, 1912 දී දුම්රිය මාර්ගය රත්නපුර නගරයේ සිට ඕපනායක දක්වා සම්බන්ධ කරන ලදී, එය රත්නපුරයේ සිට කිලෝමීටර් 20 ක් පමණ දුරින් විය.

කෙසේ වෙතත්, කොටුවේ සිට අවිස්සාවේල්ල හරහා ඕපනායක දක්වා වූ ප්‍රධාන මාර්ගය 1947 වර්ෂයේ දී ආදායම් හිඟකම හේතුවෙන් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් දෙවන ලෝක යුද්ධයේදී රත්නපුර දක්වා කෙටි කරන ලදී. අවසානයේ රත්නපුර සිට අවිස්සාවේල්ල දක්වා මාර්ගය 1976 දී වසා දමන ලදී.

අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ පැරණි වතුර ටැංකිය

පටු දුම්රිය මාර්ගය අභාවයට යාමට ප්‍රධානතම හේතුව වූයේ එම මාර්ගයේ ඇති තියුණු සාමාන්‍ය වක්‍ර හේතුවෙන් කඩිනම් මෙහෙයුම් ක්‍රියාත්මක නොවීමයි. නැවත වරක් කොළඹ සිට පුළුල් මාපක මාර්ගය අවිස්සාවේල්ල දක්වා කැළණිවැලි මාර්ගයට හඳුන්වා දුන්නේ 1993 දී ය. ඉන් ඔබ්බට ඇති දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අත්හැර දමා ඇති අතර, දැන් අවිස්සාවේල්ල සිට යටියන්තොට දක්වා සහ ඕපනායක දක්වා මාර්ගය සොයා ගත හැක්කේ ඉතිරිව ඇති නටඹුන් දුම්රිය ස්ථාන, දැවැන්ත යකඩ පාලම්, පැරණි දුරකථන කණු සහ ගල් ආරුක්කු බෝක්කු පමණි.

මේ වන විට ඕපනායක පර්යන්ත දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඕපනායක පොලිස් ස්ථානය ලෙස භාවිතා කරන අතර එම පැරණි ගොඩනැගිල්ල සබරගමුව පළාතේ ඉතා විශිෂ්ට නටබුන් වූ වාස්තු විද්‍යාත්මක ස්මාරකයක් ලෙස සැලකේ. රත්නපුර නගරයේ පැරණි දුම්රිය ස්ථානය 1976 දී වත්මන් බස් නැවතුම්පොළ බවට පත් කරන ලදී.

රත්නපුර දුම්රිය ස්ථානයේ පැරණි ගොඩනැගිලි තවමත් යම් යම් වෙනස් කිරීම් සහිතව භාවිතා වුවද, වටකුරු යකඩ බාල්ක සහිත ඉතිරිව ඇති පැරණි යකඩ වහලයෙන් තවමත් දුම්රිය ස්ථානයේ පැරණි ශ්‍රේෂ්ඨත්වය දිස්වේ.

රත්නපුරයේ සිට ඕපනායක දෙසට පැරණි දුම්රිය මාර්ගය දිගේ (ගැමියන් එය හඳුන්වන්නේ ‘රේල්පාර’) කිලෝමීටර් කිහිපයක් ඉදිරියට ගිය පසු, දුම්රිය මාර්ගය සරුසාරව පැවති සමයේ බ්‍රිතාන්‍ය ඉදිකිරීම්කරුවන්ගේ විස්මිත ඉදිකිරීමක් හමු වේ. ඒ රත්නපුර නගරයට ඔබ්බෙන් වරකාතොටදී, කැලණිවැලි දුම්රිය මාර්ගයේ, කළු ගඟ හරහා ඇති යකඩ පාලමයි. එම පාලම සොබාදහම මාතාව විසින් ප්‍රදේශයට බොහෝ විපත් ඇති කළද කිසිදු හානියක් නොමැතිව ස්මාරකයක් ලෙස තේජාන්විතව සිටගෙන සිටී.

ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය (රතු පැහැයෙන් දක්වා ඇත්තේ අතහැර දැමූ කැළණිවැලි දුම්රිය මාර්ගයයි)

ඉන්පසුව දුම්රිය මාර්ගය දෑල දුම්රිය ස්ථානය පසුකර ඕපනායක දෙසට දිවගොස් කහවත්ත හරහා හුණුවල නගරයට ළඟා වේ. ඉන්පසු හමුවන හුණුවල යකඩ දුම්රිය පාලම තවමත් මාර්ග ප්‍රවාහනයට භාවිත කරයි. කැලණිවැලි දුම්රිය මාර්ගයේ අතීත යුගයට අයත් මෙම ඓතිහාසික ස්මාරකය තවමත් මාර්ග ප්‍රවාහනය සඳහා භාවිත කරන අයුරු කෙතරම් අසිරිමත් දසුනක්ද?

අවිස්සාවේල්ලේ සිට ඕපනායක දක්වා රේල් පාර අතහැර දැමූ විට මැණික් හෑරීමටත් නිවාස හා වාණිජ ආයතන පවා ඇති කිරීමටත් රේල් පාර දිගේ දේපළ විශාල වශයෙන් කොල්ලකෑමක් සිදු විය. මේ වන විට නීති විරෝධී ලෙස නිවාස විශාල ප්‍රමාණයක් ඉදිකර ඇත. පටු මාපක කැළණිවැලි දුම්රිය මාර්ගයේ සියලුම යකඩ කූරු මිනිසුන් විසින් උදුරා දමා ඒවා වෙළෙන්දන්ට විකුණා දමා ඇත.

මෙම මාර්ගයේ පැරණි ආරුක්කු, යකඩ පාලම් සහ පැරණි දුම්රිය ස්ථානවල මෙම ස්මාරක අනාගත පරපුරට දැකීමට පුරාවිද්‍යා ස්මාරක ලෙස ආරක්ෂා කර ගත යුතු වේ.