බාහුබලි: ද බිගිනිං

2015 දී තිරගත කෙරුණු තෙලගු චිත්‍රපටයක්

බාහුබලි: ද බිගිනිං (සිංහල: බාහු බලය ඇත්තා) යනු එස්. එස්. රාජමෞලි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2015 ඉන්දියානු වීරකථා ෆැන්ටසි චිත්‍රපටයකි. ශෝබු යාර්ලගද්දා සහ ප්‍රසාද් දේවිනේනි විසින් නිෂ්පාදනය කරන ලද මෙය, තෙලිඟු සහ දෙමළ භාෂාවලින් සමගාමීව රූගත කරන ලද කොටස් දෙකකින් යුත් චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය වේ.[5][6][7] චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ප්‍රභාස්, රානා දග්ගුබාති, තමන්නා සහ අනුෂ්කා ෂෙට්ටි විසිනි. සත්‍යරාජ්, රම්‍යා ක්‍රිෂ්ණන්, නසාර්, ආදිවි සේෂ්, තානිකෙල්ල භරනි සහ සුදීප් මෙහි සහාය චරිත නිරූපණය කරනු ලබයි. චිත්‍රපටයේ ධ්වනිපථය සහ පසුබිම් සංගීත නිර්මාණය සිදු කරන ලද්දේ එම්. එම්. කීරවානි විසින් වන අතර, සිනෙමාරූපණය, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය සහ දෘශ්‍ය ප්‍රයෝග මෙහෙයවීම සිදුකරන ලද්දේ පිළිවෙලින් කේ. කේ. සෙන්තිල් කුමාර්, කෝටගිරි වෙන්කටේස්වරා රාඕ, සාබු සිරිල් සහ වී. ශ්‍රීනිවාස් මෝහන් විසිනි.

බාහුබලි: ද බිගිනිං
සිනමාහල් නිකුතු පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයඑස්. එස්. රාජමෞලි
රචනයසී. එච්. විජේ කුමාර්
අජේ කුමාර්
(තෙලිඟු දෙබස්)
මධන් කාර්කි
(දෙමළ දෙබස්)
මනෝජ් මුන්තෂීර්
(හින්දි දෙබස්)
තිර රචනයඑස්. එස්. රාජමෞලි
කතාවස්තුවකේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද්
නිශ්පාදනයශෝබු යාර්ලගද්දා
ප්‍රසාද් දේවිනේනි
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයකේ. කේ. සෙන්තිල් කුමාර්
සංස්කරණයකෝටගිරි වෙන්කටේස්වරා රාඕ
වින්සන්ට් ටැබයිලන් (ජාත්‍යන්තර ප්‍රභේදය)
සංගීතයඑම්. එම්. කීරවානි
Production
company
බෙදාහැරීමතෙලිඟු:
අර්කා මීඩියා වර්ක්ස්
දෙමළ:
ස්ටූඩියෝ ග්‍රීන්
UV ක්‍රියේෂන්ස්
ශ්‍රී තේනන්ඩල් ෆිල්ම්ස්
හින්දි:
ධර්මා ප්‍රොඩක්ෂන්ස්
ඒඒ ෆිල්ම්ස්
මලයාලම්:
ග්ලෝබල් යුනයිටඩ් මීඩියා
නිකුත්වූ දිනය
  • 10 ජූලි 2015 (2015-07-10)
තිර කාලය
  • මිනිත්තු 158[1] (තෙලිඟු)
  • මිනිත්තු 159[2] (දෙමළ)
රටඉන්දියාව
භාෂාතෙලිඟු
දෙමළ
පිරිවැයINR කෝටි 180 (බිලියන 1.8)[3]
ආදායමINR කෝටි 650 (බිලියන 6.5)[4]

INR කෝටි 180ක (බිලියන 1.8) අයවැයක් සහිතව නිපදවූ මෙම චිත්‍රපටය[8] ලොව පුරා මුදාහැරුණේ 2015 ජූලි 10 දින ය. විචාරකයින් වෙතින් යහපත් ප්‍රතිචාර ලද මෙය ඉන්දියාව තුළ ඉහළම ආදායම් ලබන ඉන්දියානු චිත්‍රපටය,[9] ගෝලීයව තෙවන ඉහළම ආදායම ලද ඉන්දියානු චිත්‍රපටය, ලොව පුරා INR කෝටි 650කට (බිලියන 6.5) අධික සමස්ත ආදායමක් ලබාගත් ප්‍රථම සහ එකම දකුණු ඉන්දියානු චිත්‍රපටය, හින්දි හඬකැවූ ප්‍රභේදයෙන් ලොවු පුරා INR කෝටි 100කට (බිලියන 1) අධික ආදායමක් ලබාගත් හින්දි-නොවන චිත්‍රපටය, සර්වකාලීන ඉහළම ආදායම ලබන තෙලිඟු චිත්‍රපටය ද වේ.[10]

වින්සන්ට් ටැබයිලොන් විසින් සංස්කරණය කරන ලද චිත්‍රපටයේ අන්තර්ජාතික ප්‍රභේදය විවිධ චිත්‍රපට උළෙලවල්වල දී තිරගත කෙරිණි. එය හොඳම ෆැන්ටසි චිත්‍රපටය සඳහා සැට්ර්න් සම්මානය සහ ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ, ෆැන්ටසි සහ සංත්‍රාස චිත්‍රපට පිළිබඳ ඇකඩමියේ සම්මාන සඳහා නිර්දේශ ද විය. මෙහි තෙලිඟු ප්‍රභේදය 63වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී හොඳම වෘත්තාන්ත චිත්‍රපටය-ස්වර්ණ පද්ම සම්මානය සහ හොඳම විශේෂ ප්‍රයෝග යන සම්මාන හිමි කරගත්තේ ය.[11]

කථාපුවත සංස්කරණය

දකුණු ඉන්දියාවේ පුරාතන මහිෂ්මතී අධිරාජ්‍යයේ රාජ මාතාව වන සිවගාමී (රම්‍යා ක්‍රිෂ්ණන්) තුවාල ලබා සිටින අතර, ඇය දැවැන්ත දිය ඇල්ලක් අසල ගුහාවක් තුළින් දරුවකු සමග පැමිණෙයි. ඇය තමන් පසුපස ලුහුබැඳ පැමිණි සෙබලුන්ව මරාදමන අතර, දරුවා රැකගැනීමේ අරමුණින් සිය දිවිය කැප කරයි. ඇය ජලය තුළින් ඇවිද යන්නේ දරුවාව ජලයෙන් ඉහළට ඔසවා තබාගනිමිනි. එම ප්‍රදේශයේ ප්‍රාදේශික ගෝත්‍රික ප්‍රජාවක් විසින් දරුවාව බේරාගන්නා අතර, ගෝත්‍රයේ රැජින වන සංගා (රෝහිනී) දරුවාව හදාවඩා ගනියි. ඇය එම දරුවාව ‘ශිවුදු’ ලෙස නම්කරයි. සංගා සිය ගෝත්‍රයේ වැසියන්ට දිය ඇල්ල හරහා වූ රහස් මාර්ගය අවහිර කරන ලෙස පවසන්නේ ඇගේ පුත්‍රයාව ඇය අසලම තබාගැනීමේ අපේක්ෂාවෙනි.

ශිවුදු (ප්‍රභාස්) මේ වනවිට ශක්තිමත් තරුණයකු බවට පත්ව සිටින අතර, ඔහු දිය ඇල්ල තරණය කොට ඉහළට යාමේ අපේක්ෂාවෙන් පසුවෙයි. ඔහු ඒ සඳහා ප්‍රයත්න දැරුව ද එය අසාර්ථක වේ. එක් දිනෙක, ඔහු තරුණියකට අයත් දිය ඇල්ලෙන් පහළට ඇදවැටුණු දැව වෙස්මුහුණක් සොයාගනියි. එම තරුණිය‍ගේ අනන්‍යතාව සොයාගැනීමේ අභිප්‍රායෙන් පෙළෙන ඔහු කෙසේ හෝ සාර්ථකව කන්ද තරණය කරයි.

දිය ඇල්ල මුදුනේ දී, ශිවුදු අනාවරණය කරගන්නේ වෙස්මුහුණ අවන්තිකා (තමන්නා) නැමැති රණකාමී කැරළිකාරියකට අයත් බවයි. ඇගේ කණ්ඩායම මහිෂ්මතී රාජධානියේ භල්ලලදේව අධිරාජයාට (රානා දග්ගුබාති) එරෙහිව ගරිල්ලා සටන් දියත් කරති. මෙම කණ්ඩායමේ අරමුණ වන්නේ වසර 25ක් පුරා මාලිගයේ එළිමහනේ යදම් ලා බැඳ තැබූ ඔවුන්ගේ හිටපු රැජිනිය වන දේවසේනා (අනුෂ්කා ෂෙට්ටි) මුදවාගැනීමයි. එදිරියේ දී පැවැත්වෙන උත්සවයේ දී රැජිනියව බේරා ගැනීමට අවන්තිකාට අවස්ථාව ලබා දී ඇත.

අවන්තිකා මහිෂ්මතිය කරා යන ගමනේ දී ඇයට ශිවුදු හමුවේ. මුලින් ඇය මුරණ්ඩු තැනැත්තියක වුව ද, අවන්තිකා ඔහු සමග ප්‍රේමයෙන් බැ‍ඳෙන්නේ ශිවුදු දිය ඇල්ල තරණය කොට පැමිණ ඇත්තේ තමන්ව සොයාගෙන බව දැනගැනීමෙන් පසුවයි. ඇයට උපකාර කිරීමට ප්‍රතිඥා දෙන ශිවා මහිෂ්මතී රාජ්‍යය වෙත ඇතුළු වන්නේ දේවසේනා රැජිනව බේරාගැනීම පිණිසයි. මේ අවස්ථාවේ අධිරාජයා විසින් සිවිල් වැසියන්ගේ සියලුම රත්රන් පැහැරගෙන ඉන් ඔහුගේ දැවැන්ත ප්‍රතිමාවක් තනා ඇත. අඩි 100ක් උසැති මෙම ප්‍රතිමාව උත්සවයේ දී නගරයේ මධ්‍යයේ ස්ථාපනය කිරීමට නියමිත ය. ප්‍රතිමාව ස්ථාපනය කිරීමේ දී, ප්‍රතිමාව ඇද වැටෙන්නට යන අතර එයට යටවී කම්කරුවන් 100ක් මරණයට පත්වන්නට යන බැව් පෙනේ. නමුත් වෙස්වලාගත් ශිවුදු ඔවුනට ආරක්ෂිතව ප්‍රතිමාව පිහිටුවීමට උපකාර කරයි. නමුත් ශිවුදුගේ මුහුණ දකින එක් වහල් සෙවකයකු "බාහුබලි" යනුවෙන් හඬනගයි. මෙම රාවය මුළු මහත් ජනයා අතරම පැතිරයන්නේ භල්ලලදේව අධිරාජයාට මරු පහරක් එල්ල කරමිනි. සවස් යාමයේ භල්ලල සිය සෙබලුන් අතර මෙය විමර්ශනය කරන අවස්ථාවේ, ශිවුදු පෙනීසිටින අතර ඔහු දේවසේනා ද රැගෙන මාලිගයෙන් පලා යයි. ශිවුදු ඇය සමග පලායන නමුත් දක්ෂ රණකාමියකු සහ රජුගේ රාජකීය වහලකු වන කට්ටප්පා (සත්‍යරාජ්) ඔවුන් පසුපස ලුහුබඳියි. ශිවුදු විසින් භල්ලල‍‍ගේ එකම පුත්‍රයා වන භද්‍ර කුමරුන්ගේ (ආදිවි සේෂ්) හිසගසා දැමීමත් සමග, කට්ටප්පා සිය ආයුධ පහත හෙළන්නේ ශිවුදු යනු හිටපු රජ අමරේන්ද්‍ර බාහුබලි (ප්‍රභාස්) සහ දේවසේනාගේ පුත් මහේන්ද්‍ර බාහුබලි බව වටහා ගැනීමෙනි.

අමරේන්ද්‍ර බාහුබලිගේ අතීතය පිළිබඳ ආවර්ජනය කෙරේ. අමරේන්ද්‍රගේ පියා වූ වික්‍රමදේව මහිෂ්මතී රාජ්‍යයේ රජු ලෙස තෝරාපත් කරගැනීම ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන බිජ්ජලදේවගේ (නසාර්) නොසතුටට හේතුවෙයි. ඔහු සිතන්නේ සිය ආබාධිතතාව හේතුවෙන් මෙය තමන්ට කළ මදිපුංචිකමක් ලෙසයි. වික්‍රමදේව මියයන්නේ මහිෂ්මතී සිහසුනට උරුමකරුවකු නම් නොකර ය. ඔහුගේ රැජින අමරේන්ද්‍ර නම් පුතුව බිහි කිරීමෙන් පසුව මියයයි. බිජ්ජලගේ බිසව වන සිවගාමී කට්ටප්පාගේ සහාය ඇතිව රාජධානිය පාලනය කිරීමේ වගකීම භාරගන්නේ නව රජකු පත්කරන තෙක් ය. එසේම ඇය බිළිඳ අමරේන්ද්‍ර හදාවඩා ගැනීමේ වගකීම ද භාරගන්නේ ඔහුව බාහුබලි ලෙස නම්කරමිනි. ඇය බාහුබලිව සිය පුත්‍රයා වන භල්ලලදේව සමග හදාවඩා ගනියි. කුමාරවරුන් දෙදෙනා එකට හැදී වැඩෙන අතර, කලා, විද්‍යා, වෙස්වලා ගැනීම්, දේශපාලනය සහ රණකාමය ඇතුළු සියලු ක්ෂේත්‍රවලින් ඔවුන්ව පුහුණු කෙරේ. නමුත් රාජ්‍යත්වය කෙරෙහි ඔවුන් දෙදෙනා තුළ ඇති ආකල් බෙහෙවින් වෙනස් යත අමරේන්ද්‍ර බාහුබලි (ප්‍රභාස්) නිදහස් මතධාරියකු වන අතර සැමදෙනාටම කරුණාව දක්වයි. නමුත් භල්ලල දේව (රානා දග්ගුබාති) අනුකම්පා විරහිත පුද්ගලයකු වන අතර, කෙසේ හෝ සිය අරමුණු ඉටු කරගැනීමට ප්‍රයත්න දරන්නෙකි. ඔහු සිය පියා සමග එක්ව කිහිප වරක්ම බාහුබලි මරාදැමීමට කුමන්ත්‍රණය කරයි.

කාලකේයවරුන් මහිෂ්මතිය සමග යුද්ධයක් අරඹන විට සිවගාමී පොරොන්දු වන්නේ කාලකේය රජුගේ හිස දසා දමන තැනැත්තා රාජධානියේ අනාගත රජු බවයි. එසේම ඇය සියලු ආයුධ කුමාරවරුන් දෙදෙනා අතර සමව බෙදිය යුතු බව ද පවසයි. නමුත් භල්ලලගේ ජයග්‍රහණය උදෙසා බිජ්ජලදේව කමුන්ත්‍රණය කොට බාහුබලිට බාල ආයුධ ලබා දෙයි. යුද්ධයේ දී මහිෂ්මතියට අවාසිදායක අවස්ථාවක් පෙනීගිය විට අමරේන්ද්‍ර සිය සෙබලුන් දිරි ගන්වමින් සිය දිවි දෙවැනි කොට සතුරු හමුදා වනසා දමයි. කාලකේය රජුව (ප්‍රභාකර්) මරාදමන්නේ භල්ලල දේව විසින් වුව ද, සිවගාමී විසින් අමරේන්ද්‍ර බාහුබලි නව අධිරාජයා ලෙස නම් කරන්නේ ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය සහ සටනේ දී දැක්වූ නායකත්වය හේතුවෙනි.

මෙම අතීතාවර්ජනයෙන් පසුව, සංගා විසින් අමරේන්ද්‍රගේ වත්මන් තතු විමසීමේ දී කඳුළු පිරි දෑසින් යුතුව පවසන්නේ ඔහු මියගිය බවයි. චිත්‍රපටය සමාප්ත වන්නේ ඔහුගේ මරණයට වගකිව යුතු කට්ටප්පා බව අනාවරණය කිරීමෙනි.

චරිත නිරූපණය සංස්කරණය

ඉන්දියාව තුළ ප්‍රකාශිත 'අමර් චිත්‍ර කථා' නැමැති චිත්‍රකථා කියවීම අරඹන විට මාගේ වයස අවුරුදු 7ක් පමණ ය. ඒවා සුපිරි වීරයන් පිළිබඳ නොවේ. නමුත් ඒවායින් ඉන්දියාවේ කථා, ජනප්‍රවාද, පුරාණෝක්ති, සියල්ල නිරූපණය වූවා. නමුත් මෙම කථාවලින් බොහෝමයක් ඉන්දියානු ඓතිහාසික චරිත පිළිබඳවයි. මම මේවායේ ඇතුළත් බ‍ලකොටු, යුද්ධ සහ රජවරුන් පිළිබඳ සතුටට පත්වූවා. මෙම මෙම කථා කියවූවා පමණක් වුවත්, ඒවා මාගේ මිතුරන්ට ඉදිරිපත් කළේ මාගේම ක්‍රමයකටයි.

— රාජමෞලි, බාහුබලි නිර්මාණයට වූ පෙළඹවීම පිළිබඳ.[12]
 
මෙහි ප්‍රධාන වීරවරියකගේ චරිතය සඳහා අනුෂ්කා ෂෙට්ටි තෝරාගැනුණු අතර, එය ඇය ප්‍රභාස් සමග රංගනයේ යෙදුණු තෙවන අවස්ථාව විය.

නිෂ්පාදනය සංස්කරණය

 
චිත්‍රපටයේ චරිත - භල්ලල දේව, බාහුබලි, කට්ටප්පා සහ අවන්තිකා

බාහුබලි: ද බිගිනිං නිෂ්පාදනය කරන ලද්දේ ඉන්දියාවේ හයිදරාබාද් මූලික කරගත් තෙලිඟු භාෂා චිත්‍රපට මධ්‍යස්ථානය වන ටොලිවුඩයේ ය. මෙම චිත්‍රපට මාලාව මෙතෙක් ඉන්දියාවේ නිර්මිත වියදම් අධිකම චිත්‍රපට යැයි විශ්වාස කෙරේ. 2011 පෙබරවාරි මස, එස්. එස්. රාජමෞලි නිවේදනය කළේ ඔහුගේ ඉදිරි චිත්‍රපටයේ ප්‍රභාස් රඟන බව ය.[15] 2013 ජනවාරියේ දී, ඔහු නිවේදනය කළේ තමන් නිර්මාණය කරමින් පවතින චිත්‍රපටයේ නම බාහුබලි බවයි. චිත්‍රපටයේ සැබෑ නිෂ්පාදන කටයුතු ආරම්භ වූයේ 2013 ජූලි 6 දින කුර්නූල්හි ශිලා උද්‍යානයේ ය. චිත්‍රපටයේ දිය ඇලි සහිත දර්ශන රූගත කෙරුණේ කේරළයේ අතිරපිල්ලි ඇල්ලේ ය. මහිෂ්මතී රාජධානිය සඳහා දැවැන්ත පසුතල හයිදරාබාදයේ රාමෝජි චිත්‍රපට නගරයේ ඉදි විය. චිත්‍රපටයේ හිම දර්ශන රූගත කෙරුණේ බල්ගේරියාවේ ය. රා‍ජමෞලිගේ බොහෝ චිත්‍රපට සඳහා තිර රචනය සිදුකළ තිර රචක, කේ. වී. විජයේන්ද්‍ර ප්‍රසාද්ම නැවත වරක් බාහුබලි සඳහා කථා පුවත රචනා කළේ ය. චිත්‍රපටය වසරක පූර්ව නිෂ්පාදන ක්‍රියාවලියකට යටත් වූ අතර, එහි දී කථා පුවරු දළ රූ 15,000ක් නිර්මාණය කෙරිණි. මෙය ඉන්දියානු චිත්‍රපටයක් සඳහා මෙතෙක් නිර්මාණය වූ වැඩිම කථා පුවරු සංඛ්‍යාව ද වේ. චිත්‍රපටයේ දර්ශනවලින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් දෘශ්‍යමය වශයෙන් වැඩිදියුණු කළ දර්ශන වූ අතර, නිෂ්පාදකයා අනුව ලොව පුරා VFX ශිල්පීන් 600කට අධික පිරිසක් අංශ 18ක් ඔස්සේ සේවයෙහි නියුතු වූහ. මෙහි මූලිකත්වය ගන්නා ලද්දේ හයිදරාබාද්හි මකුට VFX සහ ෆයර්ෆ්ලයි, හයිදරාබාදයේ සහ චෙන්නායිහි ප්‍රසාද් ස්ටූඩියෝස්, හයිදරාබාදයේ අන්නපූර්ණ ස්ටූඩියෝස්, මැලේසියාවේ ටාවු ෆිල්ම්ස්, සහ දකුණු කොරියාවේ ඩාන්සිං ඩිජිටල් ඇනිමේෂන් ඇන්ඩ් මැක්‍රොග්‍රාෆ් යන ආයතන විසිනි. මින් පෙර ද එස්. එස්. රාජමෞලි සමග කටයුතු කොට අත්දැකීම් ඇති මකුට VFX ආයතනය ප්‍රධාන දෘශ්‍ය ප්‍රයෝග චිත්‍රාගාරය ලෙස භාවිතා විය. චිත්‍රපටයේ සිනෙමාරූපණය සිදුකරන ලද්දේ කේ. කේ. සෙන්තිල් කුමාර් විසින් දින 380ක් ඔස්සේ ය. මෙහි දී ඔහු විසින් Arri Alexa XT කැමරාවක් සමග මාස්ටර් ප්‍රයිම් කාචයක් භාවිතා කරන ලදී. මෙය ඩිජිටල් කැමරාවක් ආධාරයෙන් කළ රාජමෞලිගේ පළමු චිත්‍රපටය ද වේ. චිත්‍රපටයේ දර්ශනවලින් බොහෝමයක් රූගත කෙරුණේ ARRIRAW ආකෘතියෙන් 4:3 දර්ශනානුපාතයෙනි. මන්දිත චලන දර්ශන සඳහා 120 fps ශීඝ්‍රතාවෙන් යුතු ARRIRAW 16.9 භාවිතා විය. සම්මත ARRIRAW ආකෘතියට වඩා විශාල රූප රාමු ලබාගැනීමේ දී පූර්ණ 3.4K සංවේදකය භාවිතා වන ඕපන් ගේට් ආකෘතිය භාවිතයෙන් VFX දර්ශනවල උපරිම ගුණාත්මක භාවය තහවුරු කරගන්නා ලදී.[16] ඉන්දියානු චිත්‍රපටවල ප්‍රථම වරට, 4K චිත්‍රපට මුද්‍රණය 1:1.88ක දර්ශනානුපාතයෙන් යුතුව පරිවර්තනය කෙරුණේ තිරවල උපරිම සිනෙමා අත්දැකීම ලබාගත හැකි ආකාරයෙනි. මෙය නිෂ්පාදකයා පැවසූ පරිදි 4K ප්‍රක්ෂේපක ක්‍රමය හා ගැළපෙන සේ සකස් කෙරිණි.[17] චිත්‍රපටයේ නිෂ්පාදන නිර්මාණවේදියා වූ සාබු සිරිල් සෙබලුන් සඳහා අවශ්‍ය වූ අසිපත්, ශීර්ෂාවරණ සහ සන්නාහ ඇතුළත් වෙනස් වර්ගවල ආයුධ 10,000ක් පමණ නිර්මාණය කළේ ය. අසිපත්වල සැහැල්ලුභාවය වෙනුවෙන් ලෝහ වෙනුවට කාබන්-තන්තු භාවිතා කෙරිණි. කලා අධ්‍යක්ෂකවරයා පැවසූයේ එම අමුද්‍රව්‍යයම හෙලිකොප්ටර් තල සෑදීමට භාවිතා වන බවයි.[18] චිත්‍රපටයේ එන භල්ලල දේවගේ අඩි 100ක් උසැති ප්‍රතිමාවේ හිස නිර්මාණය කිරීමට 3D මුද්‍රණ තාක්ෂණය භාවිතා විය. මෙහි සන්නාහවලට සැහැල්ලුභාවයක් සහ සම් වැනි ස්වරූපයක් ගෙනදීම සඳහා ඒවා ෆ්ලෙක්සි ෆෝම් භාවිතාකොට නිර්මාණය කෙරිණි.[19] මෙහි දෘශ්‍ය ප්‍රයෝග නියාමක ලෙස වී. ශ්‍රීනිවාස් මෝහන් තෝරාගැනුණු අතර, මෙහි සංස්කාරකවරයා වූයේ කෝටගිරි වෙන්කටේස්වරා රාඕ ය. පී. එම්. සතීෂ් මෙහි ශ්‍රව්‍ය නිර්මාණවේදියා වූ අතර, පීටර් හේන් මෙහි ක්‍රියාදාම ජවනිකා සම්බන්ධයෙන් කටයුතු කළේ ය. මෙහි වස්ත්‍ර නිර්මාණය සිදුකරන ලද්දේ රාමා රාජමෞලි සහ ප්‍රසාන්ති තිපිර්නේනි විසිනි‍. මෙහි පෙළ නිෂ්පාදකවරයා වූයේ එම්. එම්. ශ්‍රීවල්ලි ය.

දෘශ්‍ය ප්‍රයෝග සංස්කරණය

ජාතික සම්මාන ලාභී වී. ශ්‍රීනිවාස් මෝහන් බාහුබලිහි දෘශ්‍ය ප්‍රයෝග නියාමක ලෙස කටයුතු කළේ ය. චිත්‍රපටය 90%ක් පමණම CGI නිර්මාණවලින් යුත් අතර එය VFX දර්ශන 2500කින් පමණ සමන්විත ය. හයිදරාබාද් මූලික කරගත් මකුට VFX ආයතනය ප්‍රධාන දෘශ්‍ය ප්‍රයෝග චිත්‍රාගාරය ලෙස තෝරාගැනිණි. එය චිත්‍රපටයේ පරිගණක-ජනිත රූවලින් 50%කට වැඩි ප්‍රමාණයක් සඳහා දායකත්වය දැක්වී ය.[20][21] මකුට ආයතනය විසින් දායකත්වය සැපයූ නිර්මාණවලින් සමහරක් ලෙස අඩි 1500ක් උසැති දියඇල්ල ජීවමාන ලෙස නිර්මාණය කිරීම, දැවැන්ත කඳු සහ මහිෂ්මතී රාජධානිය ඇතුළු මහා භූමිදර්ශන, එහි දේවාල සහ මාලිගා ඇතුළත් විය.[22] දැවැන්ත දිය ඇල්ල නිර්මාණය කිරීම සඳහා වසර 2කට ආසන්න කාලයක් ගතවූයේ මකුට ආයතනයට තරල ගතික සහ සමාකරණ සංකීර්ණභාවයන් සමග කටයුතු කිරීමට සිදුවූ හෙයිනි. දිය ඇල්ල ඇතුළත් සෑම රූප රාමුවක්ම නවතම පසුතලයක් නිර්මාණය කිරීමට සමාන යැයි මකුට පවසයි.[21]

හයිදරාබාද් පාදක කරගත් ෆයර්ෆ්ලයි ක්‍රියේටිව් ස්ටූඩියෝව ප්‍රධාන වශයෙන්ම චිත්‍රපටයේ මිනිත්තු 25කට ආසන්න කාලයක් දිවෙන යුධ දර්ශන සම්බන්ධයෙන් කටයුතු කළේ ය. මිට අමතරව ෆයර්ෆ්ලයි ක්‍රියේටිව් විසින් දිය යට VFX රූපරාමු සහ කාලකේය චරිත ගොඩනැගීමට උපකාරී විය. මැලේසියාවේ ටාවු ෆිල්ම්ස් වෙතින් CGI බයිසන් ගව රුව නිර්මාණය කළ අතර, හයිදරාබාදයේ ප්‍රසාද් EFX ආයතනය පූර්ව සහ පශ්චාත් යුධ දර්ශන කිහිපයක් ඩිජිටල් බහුගුණකරණයට දායක විය. මීට අමතරව ප්‍රසාද් ආයතනය විසින් මෙහි එක් දර්ශනයක කට්ටප්පාගේ ත්‍රිමාණ රුවක් නිර්මාණය කොට වෙනත් අමතර නළුවකුගේ සිරුරට එම හිස ඇතුළත් කොට සකසන ලදී.[23]

හයිදරාබාදයේ ශ්‍රැෂ්ති VFX ආයතනය ෆයර්ෆ්ලයි ස්ටූඩියෝස් සමග මෙහි යුධ ජවනිකා කිහිපයක් ඩිජිටලීකරණය කොට නිර්මාණය කිරීමට දායක විය.[24] හයිදරාබාදයේ අන්නපූර්ණ ස්ටූඩියෝස් ආයතනය චිත්‍රපටයේ ඩිජිටල් අතරමැදි සහකරු ලෙස තෝරාගැනුණු අතර, ඔවුනගේ කාර්යාභාරය වූයේ සංස්කරණය සඳහා හොඳම වර්ණ සහ ශ්‍රව්‍ය ගුණාංග එකතු කොට එය ඩිජිටලීකෘත අයුරින් පෝෂණය කිරීමයි.[25]

බාහුබලි සහ ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටවල එකම VFX කණ්ඩායම සේවය කරන බවට වූ මාධ්‍ය වාර්තාවලට පිළිතුරු දෙමින් නිෂ්පාදක ශෝබු යාර්ලගද්දා පැවසූයේ එවැනි කිසිදු දායකත්වයක් නොමැති බවත්, එය අන්තර්ජාල ඕපාදූපයක් බවත් ය.[26] ක්වාර්ට්ස් සමග සම්මුඛ සාකච්ඡාවක දී, මකුට VFXහි සම ආදිකර්තෘ පැවසූයේ, "බාහුබලිහි වැඩි ප්‍රමාණයක් සංවර්ධනය කෙරුණේ හයිදරාබාදයේ ටොලිවුඩයේ ය. එහි දී දේශීය දක්ෂතා උපයෝගී කරගැනිණි. ප්‍රධාන වශයෙන් එය නිවසේම හැදුණු දක්ෂතාවන්ගෙන් නිපදවූ නිවසේම සැදූ වෘත්තාන්තයකි."[27]

සංගීතය සංස්කරණය

රාජමෞලිගේ මස්සිනා වූ එම්. එම්. කීරවානි චිත්‍රපටයේ සංගීත නිර්මාණය සිදුකළ අතර, ශබ්ද පරිපාලනය සිදුකරන ලද්දේ කල්‍යාන් කෝඩුරි විසිනි.[28]

මුදාහැරීම සංස්කරණය

2015 ජූලි 10 දින තෙලිඟු, දෙමළ, හින්දි සහ මලයාලම් භාෂාවලින් ලොව පුරා සිනමාහල් 4,000ක චිත්‍රපටය මුදාහැරිණි. මින් වාර්තාගත සිනමාහල් 1600ක තෙලිඟු බසින් ද, 1500ක හින්දි බසින් ද, 350ක දෙමළ සහ 225ක මලයාලම් භාෂාවලින් තිරගත විය.[29][30] මෙම දිනයට එක් දිනකට පෙර බ්ලූස්කයි සිනමොස් ආයතනය විසින් ඇමරිකා එක්සත් ජනපදය තුළ සිනමාහල් 135ක මෙම චිත්‍රපටය මුදාහරින ලදී.[31] මෙහි මංගල දර්ශනයක් ජූලි 9 දින හයිදරාබාද්හි ප්‍රසාද්ස් IMAXහි ද පැවැත්විණි. කේරළයේ චිත්‍රපටය මුදාහැරීමට බාධා පැමිණියේ ප්‍රේමම් නම් මලයාලම් චිත්‍රපටයේ චෞරත්ව සිදුවීමක් නිසා සිනමාහල්වල කොටසක් වසාදැමීම හේතුවෙනි.[32] මේ නිසා මුදාහැරුණේ සිනමාහල් කිහිපයක පමණි. චිත්‍රපටයේ තෙලිඟු ප්‍රභේදය ඉදිරිපත් කරන ලද්දේ කේ. රාඝවේන්ද්‍ර රාඕ විසිනි. දෙමළ ප්‍රභේදය කේ. ඊ. ඥානවේල් රාජා, හ්‍රී තේනන්දල් ෆිල්ම්ස් සහ යූවී ක්‍රියේෂන්ස් වෙතින් ද හින්දි ප්‍රභේදය කරන් ජොහාර් වෙතින් ද, මලයාලම් ප්‍රභේදය ග්ලෝබල් යුනයිටඩ් මීඩියා වෙතින් ද ඉදිරිප්ත කරන ලදී. චිත්‍රපටයේ අන්තර්ජාතික ප්‍රභේදය සැබෑ ප්‍රභේදයට වඩා මිනිත්තු 20ක් දිගින් අඩු අතර, එය නිමවන ලද්දේ වින්සන්ට් ටැබයිලොන් විසිනි. මෙය බුසන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී තිරගත විය. 2015 නොවැම්බරයේ ඊ ස්ටාර් ෆිල්ම්ස් මගින් චීනය තුළ සිනමාහල් 5000කට අධික සංඛ්‍යාවක මෙය ප්‍රදර්ශනය කිරීමට නිෂ්පාදකයින් සැලසුම් කොට ඇත.[33] චීනය තුළ මෙලෙසින් මුදාහළ දැවැන්තම ඉන්දියානු චිත්‍රපටය බවට බාහුබලි පත්වන්නේ 2015 මැයි 22 දින මුදාහළ PK චිත්‍රපටය අභිබවා යමිනි.[34] මෙම චිත්‍රපටය ජපානයේ ද මුදාහැරීමට නියමිතව තිබිණි. ජපානයේ අන්තර්ජාතික චිත්‍රපට මුදාහැරීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ට්වින් කෝ සමාගම චිත්‍රපටයේ තිරගත කිරීම් අයිතිය හිමි කරගෙන ඇත.[35] නිෂ්පාදක ශෝබු යාර්ලගද්දා බුසන් ආසියානු ‍චිත්‍රපට වෙළඳපොලේ ආයෝජනය කොට ඇති අතර, ඔහු හෙළි කළේ මෙම චිත්‍රපටය ලතින් ඇමරිකාව, ජර්මනිය සහ යුරෝපා රටවල ද ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට ඇති බවයි.[36] MVP එන්ටර්ටේන්මන්ට් ආයතනය විසින් මෙම චිත්‍රපටය තායිලන්තය, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය, මියන්මාරය සහ ටිමෝර්-ලෙස්ටේ රටවල ප්‍රදර්ශනය සැලුසම් කොට ඇත.[37] ලතින් ඇමරිකානු රටවල චිත්‍රපටයේ ප්‍රදර්ශන අයිතිය සන් ඩිස්ට්‍රිබියුෂන් සමාගම විසින් අත් කරගත් අතර, තායිවානයේ ප්‍රදර්ශන අයිතිය ක්‍රියේටිව් සෙන්චරි එන්ටර්ටේන්මන්‍ට් ආයතනය විසින් හිමි කරගන්නා ලදී. කොරියාව තුළ චිත්‍රපටය එන්ටර්මෝඩ් සංස්ථාව වෙතින් ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.[38] අන්තර්ජාතික මුදාහැරීම සඳහා හස්තයක් ලෙස ක්‍රියාකරන අර්කා ඉන්ටර්නැෂනල් ආයතනය විසින් චිත්‍රපටය ජර්මනිය සහ වෙනත් රටවල් 70ක ්‍රපදර්ශනයට විධිවිධාන යොදා තිබිණි.[39]

ප්‍රති-නිකුතුව සංස්කරණය

මෙම චිත්‍රපටයේ දෙවන කොටස වන බාහුබලි 2: ද කන්ක්ලූෂන් 2017 අප්‍රේල් 28 දින මුදාහැරීමට සැලුසම් කොට ඇති හෙයින්, මෙහි නිෂ්පාදකයින් සහ බෙදාහරින්නන් විසින් මෙම පළමු කොටස 2017 අප්‍රේල් 7 යළි ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.[40]

අන්තර්ජාතික චිත්‍රපට උළෙලවල් සංස්කරණය

මෙම චිත්‍රපටය විවිධ චිත්‍රපට උළෙලවල්හි දී ප්‍රදර්ශනය කෙරිණි. මේ අතරට බුසන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ Open Cinema Strand, හේග් ඉන්දියානු චිත්‍රපට උළෙල,[41] ස්පාඤ්ඤයේ සිට්ගෙස් චිත්‍රපට උළෙල,[42] ප්‍රංශයේ යුටෝපියේල්ස් චිත්‍රපට උළෙල,[43] තායිවානයේ තායිපේ ගෝල්ඩන් හෝර්ස් චිත්‍රපට උළෙල,[44] එස්තෝනියාවේ ටැලීන් බ්ලැක් නයිට්ස් චිත්‍රපට උළෙල,[45] පැරීසියේ ලේ’ට්‍රේන්ජ් අන්තර්ජාතික චිත්‍රපට උළෙල,[46] පෝලන්ත‍යේ ෆයිව් ෆ්ලේවර්ස් චිත්‍රපට උළෙල,[47] හොනලුලුහි හවායි අන්තර්ජාතික චිත්‍රපට උළෙල, බෙල්ජියමේ බ්‍රසල්ස්හි බ්‍රසල්ස් අන්තර්ජාතික මනඃකල්පිත චිත්‍රපට උළෙල,[48][49] ප්‍රංශයේ කාන් චිත්‍රපට උළෙල,[50] රුමේනියාවේ ට්‍රාන්සිල්වේනියා අන්තර්ජාතික චිත්‍රපට උළෙල[51] පැරීසියේ ලේ ග්‍රෑන්ඩ් රෙක්ස්,[52] කර්ජා පොල්ට් සංත්‍රාස චිත්‍රපට උළෙල, ෆේස්ටිවල් ඩි ලැකාමෝ, 8වන BRICS සමුළුව, සහ ගෝවේ 2016 ඉන්දියාවේ අන්තර්ජාතික චිත්‍රපට උළෙල Indian Panorama අංශය අයත් වේ.[53] චිත්‍රපටයේ අන්තර්ජාතික ප්‍රභේදය චීනය, ජපානය, කොරියාව, තායිවානය, ඉන්දුනීසියාව, තායිලන්තය, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය, මියන්මාරය, පිලිපීනය, ටිමෝර්-ලෙස්ටේ සමග ඇතැම් යුරෝපීය සහ ලතින් ඇමරිකානු රටවල ප්‍රදර්ශනය කෙරිණි.[54]

අලෙවිකරණය සංස්කරණය

චිත්‍රපටයේ අලෙවිකරණය ඇරඹියේ එස්. එස්. රාජමෞලිගේ රූගත කිරීම්වලට වසර දෙකකට ‍පෙර, ෆේස්බුක් සහ යූටියුබ් ඔස්සේ ප්‍රේක්ෂක ව්‍යාපාරයක් සමගිනි. අර්කා මීඩියා වර්ක්ස් යූටියුබ් නාළිකාව ඔස්සේ කෙටි ප්‍රවර්ධන වීඩියෝ පට කිහිපයක් මුදාහැරුණු අතර, එමගින් මුහුරත් පෝස්ටර සහ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන් සිය උපන්දින සමරන අයුරු නිරූපණය විය.[55] චිත්‍රපටයේම ප්‍රවර්ධනයේ කොටසක් ලෙස බාහුබලි චරිතය විසින් භාවිතා කළ කිරුළ හයිදරාබාදයේ කොමික් කොන් හි දී ප්‍රදර්ශනය කෙරිණි. මෙහි තවත් අංගයක දී තෝරාගත් ජයග්‍රාහකයින්ට චිත්‍රපටයේ පසුතල නැරඹීමට අවස්ථාව ලබාදෙන ලදී.[56] මීට අමතරව චිත්‍රපට කණ්ඩායම විසින් චිත්‍රපටය පිළිබඳ නවතම පුවත් ලබාදීමට WhatsApp පණිවිඩ සේවාවක් ද ක්‍රියාත්මක කරන ලදී.[57] 2015 ජූලි 22, ගිනස් ලෝක වාර්තා කමිටුව විසින් 2015 ජූනි 27 කෝචිහි බාහුබලි ශ්‍රව්‍ය නිකුතුවේ දී නිර්මිත පෝස්ටරය ලොව විශාලතම පෝස්ටරය යැයි අනුමත කරන ලදී.[58] 4,793.65 m²ක (51,598.21 ft²) වර්ගඵලයක් පුරා පැතිරි මෙම පෝස්ටරය මුදුන්පත් කරගත්තේ ග්ලෝබල් යුනයිටඩ් මීඩියා සමාගම විසිනි.[59] (මෙම වාර්තාව MSG-2 The Messenger චිත්‍රපටයේ 5,969.61 m² වර්ගඵලයෙන් යුත් පෝස්ටරයත් සමග බිඳවැටිණි.[60]) හඩ්හඩ් සුළිසුළඟ සඳහා පීඩාවට පත්වූවන්ට උපකාර කිරීම වෙනුවෙන් බාහුබලි කණ්ඩායම විසින් මේමු සෛතම් නම් විශේෂ අංගයක් සංවිධානය කරන ලදී. චිත්‍රපට මුදාහැරීමෙන් පසු, අලෙවිකරණය කණ්ඩායම විසින් බාහුබලි චිත්‍රපට චරිත හඳනාගැනීම උදෙසා අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්නාවලියක් ද සංවිධානය කරන ලදී. හයිදරාබාදයේ රාමෝජි චිත්‍රපට නගරය තුළ චිත්‍රපට කෞතුනාගාරයක් තැනීමට නිෂ්පාදකයින් විසින් සැලසුම් කොට ඇති අතර, මෙහි දී චිත්‍රපටයේ භාවිතා වූ ආයුධ, සන්නාහ සහ වස්ත්‍ර ප්‍රදර්ශනය කිරීමට නියමිත ය. මෙය ඉන්දියානු චිත්‍රපට ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමකි. මෙම කෞතුකාගාරය බාහුබලි 2: ද කන්ක්ලූෂන් චිත්‍රපටය මුදාහැරීඹට පෙර හෝ මුදාහැර මඳ කලකට පසුව සම්පූර්ණ කිරීමට යෝජිත ය.[26] චිත්‍රපටයේ වෙබ්අඩවිය වෙළඳ භාණ්ඩ ප්‍රර්ධනය කරන අතර, මේ අතරට ඇඟලුම්, උපකරණ සහ චිත්‍රපටයේ විවිධ සිහිවටන ඇතුළත් ය.[61]

ඉන්දියානු සිනමාවට වසර 100ක් සපිරීම නිමිත්තෙන් සංජීව් භාස්කර් විසින් අධ්‍යක්ෂණය කළ BBC නාළිකාවේ වාර්තා වැඩසටහනක් වූ ඉන්දීය සිනමාවේ වසර 100ක් නම් වැඩසටහනට මෙම චිත්‍රපටය ද ඇතුළත් විය.[62]

බෙදා හරින්නා සංස්කරණය

2014 ජූලි ආරම්භයේ චිත්‍රපටයේ පළමු කොටසේ කර්ණාටක සහ කේඩෙඩ් (රායලසීමා) ප්‍රදේශයේ බදාහැරීමේ අයිතීන් ප්‍රමුඛ බෙදා හරින්නකුට අලෙවි කෙරුණේ  230 මිලියන (US$3.6 මිලියන)කට ය. මේ අතරට කඩාපා, කුර්නූල්, අනන්තපූර්, චිට්ටූර් සහ බෙල්ලරි කලාපවලින් හමුවූ  140 මිලියන (US$2.2 මිලියන)ක මුදල ද ඇතුළත් ය.[63] එම අවස්ථාවේම, චිත්‍රපටයේ නිසාම් ප්‍රදේශයේ සිනමාහල් බෙදාහැරීම් අයිතීන් දිල් රාජු විසින් මිලදී ගන්නා ලද්දේ  5.25 බිලියන (US$82 මිලියන)ක මුදලකටයි.[64] ඔහු මුදල තහවුරු නොකළ ද, දිල් රාජු සම්මුඛ සාකච්ඡාවක දී ඩෙකෑන් ක්‍රෝනිකල් පුවත්පතට පැවසූයේ ඔහු පළමු කොටසේ නිසාම් ප්‍රදේශයේ අයිතීන් මිලදී ගත් බවත්, එහි දෙවන කොටසේ අයිතීන් ද මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවත් ය.[65] බ්ලූස්කයි සිනෙමාස් විසින් එක්සත් ජනපදය සහ කැනඩාවේ බෙදාහැරීම් අයිතීන් තමන් සතු කරගන්නා ලදී.[66]

විචාරක පිළිගැනීම සංස්කරණය

විචාරකයින් විසින් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, තාක්ෂණික අගයයන් සහ රංගන ශිල්පීන්ගේ ප්‍රතිභාව අගය කොට ඇත. ද හොලිවුඩ් රිපෝටර් පාදක කරගත් ලීසා ට්සේරිං රචනා කොට ඇත්තේ, "මෙහි කථාව කිහිප වරක් අසා ඇත— ශ්‍රේෂ්ඨත්වය වෙනුවෙන් උපන් බිළිඳකු දුෂ්ට බලවේග වනසයි— නමුත් දක්ෂ දකුණු ඉන්දීය අධ්‍යක්ෂක එස්. එස්. රාජමෞලිගේ විශ්වසනීය දෑතින් බාහුබලි: ද බිගිනිං නව ජීවයක් ලබා ඇත."[67] ස්ක්‍රීන් ඩේලි වෙනුවෙන් ඇලන් හන්ටර් රචනාකොට තිබුණේ, "චිත්‍රපටයේ කථාව ගලායාමේ පුළුල් භාවය සහ මන්දිත-චලන ජවනිකා සඳහා අධ්‍යක්ෂකවරයා දක්වන අතිශය ප්‍රියභාවය මෙහි ඇති දුර්වලතා වුවත්, මෙය තවමත් ප්‍රබෝධකර, සුගම වීර කථාවකි. බාහුබලි: ද බිගිනිං තුළ කම්මැලි ජවනිකා ඇත්තේ කිහිපයකි. ජන මන පිනවන තෙලිඟු-භාෂා වීර කාව්‍යයක් වන මෙය ඉන්දියාව තුළ බොක්ස් ඔෆීස් වාර්තා බිඳහෙළයි."[68] ද ගාඩියන් සඟරාවේ මයික් මැකහිල් චිත්‍රපටයට තරු පහෙන් හතරක් ලබාදෙමින් චිත්‍රපටය අගය කොට ඇත.[69] ද හෆිංටන් පෝස්ට්හි සුප්‍රතීක් චැටර්ජී ලියා ඇත්තේ, "කෙසේනමුත්, සැමදෙනාම පවසන පරිදි, බාහුබලි: ද බිගිනිං වැදගත් ජයග්‍රහණයකි. දෝෂ සහගත වුවත් මෙහි රාජමෞලි ඇද දමා ඇත්තේ ප්‍රාතිහාර්යයකි. එසේවුව ද, ඉන්දියාවේ අවදානමක් ගැනීමට අකමැති චිත්‍රපට නිර්මාණ පසුබිම තුළ, චිත්‍රපටය අවසන් වන්නේ හිංසාකාරී උච්චස්ථානයෙනි. (ඊළඟ වර්ෂයේ එන බාහුබලි 2: ද කන්ක්ලූෂන් සඳහා මග පාදමිනි) නමුත් ඔහුගේ තනි නිර්භීත දැක්ම වෙනුවෙන් අත්පොලසන් නැගිය යුතු ය."[70]

Firstpostහි දීපාංජන පාල් රචනා කොට ඇත්තේ, "මෙම සටන රාජමෞලිගේ බලවත් සංචාරයයි. එය විසිතුරු ය. මනා නර්තන රචනයක් සහිත අතර, ත්‍රාසජනක ජවනිකා කිහිපයක් ද ඇත. ප්‍රභාස් සහ දගුබාති යන දෙදෙනාම වෙනස් ‍ශෛලීන් දෙකකින් යුත් රණකාමීන් ලෙස හැසිරේ. සටනේ ප්‍රතිඵලයේ විස්මයක් නැත. නමුත් ප්‍රේක්ෂකයන් ඇඳබැඳ තබාගැනීමට ප්‍රමාණවත් තරමේ උපායයන් එය සතුව පවතියි. කෙසේනමුත්, දැවැන්තම විස්මය රඳා පවතින්නේ චිත්‍රපටයේ අවසන් ජවනිකාවේ ය. එමගින් ඊළඟ වර්ෂයේ ඒමට නියමිත චිත්‍රපටයේ දෙවන කොටසක් පිළිබඳ ඉඟියක් ලැබේ. මෙය 2016 වර්ෂය පිළිබඳ පැතුමක් තබාගැනීමට අවස්ථාව ලබා දෙයි."[71] ද ඉන්ඩියන් එක්ස්ප්‍රස්හි ශුභ්‍රා ගුප්තා චිත්‍රපටය අගය කොට ඇත්තේ: "මෙහි ආරම්භක රූපරාමුවල සිටම, 'බාහුබලි' නොයෙකුත් පූර්වනිමිති ග්‍රහණය කොටගෙන ඇත: ක්‍රියාදාම සහ ප්‍රේම වෘත්තාන්ත, ආදරය සහ ද්‍රෝහීභාවය, වීර්යය සහ දුර්වලබාවය මින් පෙන්වයි. සරලව පැවසුවහොත් 'බාහුබලි' ආකර්ෂණීයයි."[72] ද හින්දු පුවත්පත වෙනුවෙන් සිය විචාරයෙහි සංගීතා දේවි දණ්ඩූ රචනා කර ඇත්තේ, "චිත්‍රපටයේ පසු භාගයේ වැදගත් ස්ථානයක් හිමි කරගන්නා යුධ දර්ශන ඉන්දියානු සිනමාවේ අප මෙතෙක් දුටු හොඳම දර්ශන වේ. මෙම දර්ශන නෙත්තාකර්ෂණීය අතර එමගින් සිනෙමාරූපකයා (කේ. කේ. සෙන්තිල් කුමාර්) සහ දෘශ්‍ය ප්‍රයෝග කණ්ඩායමේ ඇති තාක්ෂණික දක්ෂභාවය පෙනේ. දියඇල්ල, ගුප්ත වනාන්තර සහ ගිරිකුළුවලට ඉහළින් වූ ජලතල මෙන්ම ප්‍රධාන නළු නිළි යුවළ ප්‍රේක්ෂකයා මවිතයට පත්කරයි."[73]

Rediffහි සුකන්‍යා වර්මා මෙයට තරු පහෙන් හතරක් ලබාදෙමින් පැවසූයේ, එය ‘දැවැන්ත, උපායශීලී තල්ලුවක්!' ලෙසයි.[74] Koimoi පාදක කරගත් අර්චිතා කාශ්‍යප් ද එම ඇගයුමම ලබාදෙමින් පැවසූයේ, "මෙහි යුධ දර්ශන හෙවත් අසිපත් සටන් නැතහොත් දෘශ්‍ය ආකර්ෂණය නිමා මෙය නැරඹිය යුතුම වේ. එස්. එස්. රාජමෞලි සහ ඔහුගේ ප්‍රධාන මිනිසුන් වන ප්‍රභාස් සහ රානා හට ප්‍රණාමය පුදකළ යුත්තේ චිත්‍රපටය වෙනුවෙන් වසර ගණනාවක් සිය කාලය කැපකිරීම වෙනුවෙනි. සැබැවින්ම පරිකල්පනය සහ ඉන්දියානුභාවය අතින්, බාහුබලි නැවුම් ආරම්භයක් වනු ඇත."[75] ෆිල්ම්ෆෙයාර්හි රචිත් ගුප්තා චිත්‍රපටයට තරු හතරක් (තරු 5න්) ලබාදෙමින් සාරාංශ කොට දැක්වූයේ, "බාහුබලි සැබැවින්ම වීරකථා අත්දැකීමකි. මෙහි කථාව මෙතරම් තෙහෙට්ටු නොවූයේ නම් එය සර්වකාලීන සම්භාව්‍ය කෘතියක් ලෙසින් ඉතිහාස ග්‍රන්ථවලට එක්වනු ඇත. නමුත් ගැටලුව එය නොවේ. රාජමෞලිගේ අදහස්වලින් පෝෂණය වී තිබුණ ද, මෙහි කථාව ගලායාමේ දෝෂයක් පවතියි. මෙය ඉන්දියාවේ මල අධිකම චිත්‍රපටය වීමට නිසැකවම සුදුසු ය. මෙය වඩාත් නැරඹිය යුතු අත්දැකීමකි."[76] ඩෙකෑන් ක්‍රෝනිකල් පුවත්පතේ සුපර්ණා ෂර්මා චිත්‍රපටයේ දෙවන අර්ධය අගය කරමින් ලියා ඇත්තේ, "රජමෞලි විසින් විරාමයෙන් පසුව එහි අග කොටසට සියලු ශ්‍රී විභූතිය මුසු කොට ඇත. මේ නිසායි, චිත්‍රපටයට වීර කාව්‍යයක් ලෙස ගලායාමට හැකිව ඇත්තේ."[77] ඉන්ඩියා ටුඩේ පුවත්පතේ සුහානි සිං පැවසූයේ චිත්‍රපටය වින්දනීය අතර තාර්කික බවයි. එසේම ඇය තවදුරටත් පැවසූයේ, "එස්. එස්. රාජමෞලි සහ ඔහුගේ කණ්ඩායම විසින් රසවත් දඩබ්බර පෙරදිග වීර ක්‍රියාවක් නිර්මාණය කොට ඇත. බාහුබලි අන්තර්ජාතික මට්ටම හා සම කළ හැකි යැයි ඇතැමෙකුට සිතීමට පුළුවන. අවසානයේ මිනිත්තු 45ක් පමණම පවතින සටන මෙහි ඇති උච්චතම අවස්ථාවන්ගෙන් එකක් පමණක් නොව, ඉන්දීය සිනමාවේ කලාතුරකින් දක්නට ලැබෙන නෙත්කලු ක්‍රියාදාම ජවනිකාවකි. මෙවැනි තවත් එකක් මෙහි දෙවන කොටසේ දී ඉදිරිපත් කිරීමට රාජමෞලිට හැකිවේ නම් එහි දී ඔහු සිනමා ඉතිහාස ග්‍රන්ථවල සිය නම සනිටුහන් කරගනු ඇත. අපට නැවත මහිෂ්මතී රාජධානිය දැකගන්නට බලාසිටිය නොහැකියි."[78] Mid Day වෙනුවෙන් ශුභා ෂෙට්ටි සහා රචිත විචාරයෙහි මෙම චිත්‍රපටයට තරු හතරක් ලබාදී ඇති අතර, ඇය පවසා ඇත්තේ, "'බාහුබලි' නරඹන අතරතුර යම් වේලාවකට, ඔබ ඔබගේම හනුව බිම තිබී සොයාගනීවි. ‍එයට හේතුව මෙය හුදු චිත්‍රපටයක් නොව විශ්වාස කළ නොහැකි තරම් ත්‍රාසජනක ෆැන්ටසි චාරිකාවක් හෙයිනි." ‍මෙම විචාරය මගින් තවදුරටත් මෙහි පෙනුම අගය කොටඇත්තේ, "චිත්‍රපටයේ සෑම මුහුණුවරක් වෙනුවෙන්ම–ක්‍රියාදාම, මන කළඹන පසුතල සහ නර්තන රචනය– අධ්‍යක්ෂකවරයා අගය කළ යුතු අතර, එමගින් මෙම දැවැන්ත වීර කාව්‍යය ජීවමාන‍ කොට ඇත. ශිවා විසින් අවන්තිකාගේ සළු උනා දමමින් ඇගේ ස්ත්‍රී ස්වරූපය ඇයට වටහාදෙන අවස්ථාව දැක්වෙන ගීතය නම් සැබැවින්ම මැණිකකි."[79]

බොක්ස් ඔෆීස් සංස්කරණය

බාහුබලි: ද බිගිනිං චිත්‍රපටය එය මුදා හළ ප්‍රථම දිනයේම ලොව පුරා  750 මිලියන (US$12 මිලියන)ක මුදලක් උපයාගත්තේ ය. මෙය එතෙක් ඉන්දියානු චිත්‍රපටයක් ලද ඉහළම ආදායම විය. නමුත් 2016දී  875 මිලියන (US$14 මිලියන)ක මුදලක් උපයා ගනිමින් කබාලි චිත්‍රපටය මෙය අභිබවා යාමට සමත් විය.[80] එහි පළමු දිනයේම එක්සත් ජනපදය තුළ චිත්‍රපටය  150 මිලියන (US$2.3 මිලියන)ක මුදලක් උපයාගත්තේ ය.[81] සියලු ප්‍රභේදවලින් ලොව පුරා ප්‍රදර්ශනයෙන් පළමු සති අන්තයේ ලද ආදායම  1.62 බිලියන (US$25 මිලියන)ක් විය. මෙය මෙතෙක් ඉන්දියානු චිත්‍රපටයක් ලද තෙවන ඉහළම ආදායම වේ.[82] මුදාහැර පළමු සතිය තුළ චිත්‍රපටය ලොව පුරා  2.55 බිලියන (US$40 මිලියන)කට ආසන්න ආදායමක් උපයා ගැනීමට සමත් විය.[83] මෙය ලොව පුරා  3 බිලියන (US$47 මිලියන)ක ආදායම ඉක්මවූ ප්‍රථම දකුණු ඉන්දියානු චිත්‍රපටය බවට පත්වූයේ දින 9ක් ඇතුළත මෙම කඩඉම වෙත ළඟාවෙමිනි.[84] අනතුරුව දින 15ක් ඇතුළත ලොව පුරා  4.01 බිලියන (US$63 මිලියන)ක ආදායමක් උපයා ගැනීමට සමත් විය.[85] සාර්ථක ලෙස දින 24ක් ඇතුළත  5 බිලියන (US$78 මිලියන) සීමාව වෙත ළඟාවීමට චිත්‍රපටය සමත් විය.[86] දින 50 අවසන් වන විට, International Business Times පුවත්පතේ ඇස්තමේන්තු අනුව චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ආසන්න වශයෙන්  5.95 බිලියන (US$93 මිලියන)ක සමස්ත ආදායමක් උපයාගෙන තිබිණි.[87] අද වනවිට, චිත්‍රපටයේ සමස්ත ආදායම  650 කෝටි (US$100 මිලියන) අගයෙහි පවතියි.[කවදාද?] බාහුබලි: ද බිගිනිං චිත්‍රපටය ඉන්දියාව තුළ පමණක්  5 බිලියන (US$78 මිලියන)කට වඩා ඉපැයූ අතර, ඉන්දියාවේ ඉහළම ආදායම් ලද චිත්‍රපටය බවට පත්වූයේ PK (2015) චිත්‍රපටය තබා තිබූ  4.4 බිලියන (US$69 මිලියන) ආදායම් වාර්තාව ඉක්මවා යමිනි.[88]

ඉන්දියාව සංස්කරණය

බාහුබලි: ද බිගිනිං ආන්ධ්‍ර ප්‍රදේශය සහ තෙලංගානාව තුළ 100ක ප්‍රතිශතයක නිල කාලයකට හිමිකම් කී අතර, තමිල් නාඩු, කේරළ සහ කර්ණාටක ප්‍රාන්තවල එය සියයට 70ක ප්‍රතිශතයකින් පැවතියේ ය. භාෂා ප්‍රභේද හතරෙන්ම (තෙලිඟු, දෙමළ, මලයාලම් සහ හින්දි) ඉන්දියාව තුළ පළමු ප්‍රදර්ශන දිනයේම  500 මිලියන (US$7.8 මිලියන)ක පමණ සමස්ත ආදායමක් හිමි කරගැනීමට මෙය සමත් විය.[89] හින්දි ප්‍රභේදය  50 මිලියන (US$780,000)ක පමණ ශුද්ධ ආදායමක් උපයාගත් අතර, එය මෙතෙක් හින්දි හඬකැවූ චිත්‍රපටයක් ලද ඉහළම ආරම්භක ආදායම වේ.[90] ඉන්දියාව තුළ පළමු දින ප්‍රදර්ශනයෙන් බාහුබලි ලද ආදායම  494.8 මිලියන (US$7.7 මිලියන)කි.[91] හින්දි ප්‍රභේදය පළමු සති අන්තය තුළ  195 මිලියන (US$3.0 මිලියන)පමණ ශුද්ධ ආදායමක් උපයාගැනීමට සමත් විය.[92]

ඉන්දියාව තුළ පළමු සති අන්තයේ මෙහි තෙලිඟු ප්‍රභේදය පමණත්  650 මිලියන (US$10 මිලියන)කට ආසන්න ශුද්ධ ආදායමක් උපයාගෙන ඇත. මේ අනුව මෙහි ප්‍රභේද සියල්ලෙන්ම පළමු සති අන්තය වන විට චිත්‍රපටය  1 බිලියන (US$16 මිලියන) පමණම ශුද්ධ ආදායමක් උපයාගෙන තිබිණි. මෙය ඉන්දියාවේ චිත්‍රපටයක් ලද සිව්වන ඉහළම ආරම්භක සති අන්ත ආදායම වේ.[92] පළමු සතිය තුළ මෙහි හින්දි ප්‍රභේදය  400 මිලියන (US$6.2 මිලියන)ක පමණ ශුද්ධ ආදායමක් හිමි කරගෙන ඇත.[93] පළමු සතිය තුළ සියලු ප්‍රභේදවලින් බාහුබලි: ද බිගිනිං චිත්‍රපටය  1.78 බිලියන (US$28 මිලියන)කට අධික ශුද්ධ ආදායමක් උපයාගෙන තිබිණි. දෙවන සති අන්තය තුළ මෙය තවත්  450 මිලියන (US$7.0 මිලියන)ක ශුද්ධ ආදායමක් උපයාගත් අතර, දින දහයක් ඇතුළත මෙහි සමස්ත ශුද්ධ ලාභය  2.24 බිලියන (US$35 මිලියන)ක් විය.[94] මුම්බායි කලාපය තුළ මෙහි හින්දි ප්‍රභේදය  400 මිලියන (US$6.2 මිලියන)කට අධික ශුද්ධ ආදායමක් උපයාගෙන තිබිණි.[95]

විදේශ සංස්කරණය

අන්තර්ජාතික වෙළඳපොල තුළ පළමු දිනයේම  200 මිලියන (US$3.1 මිලියන)ක ආදායමක් උපයාගැනීමට මෙම චිත්‍රපටය සමත් විය.[96] සති අන්තයේ ඇ.ඩො. මිලියන 3.5ක ආදායමක් සහ තිරයකට ඩො. 15,148ක මධ්‍යන්‍ය ආදායමක් මෙය උපයාගත්තේ ය.[97] චිත්‍රපටය එක්සත් ජනපද සහ කැනේඩියානු බොක්ස් ඔෆීස් තුළ නවවන ස්ථානයට ප්‍රදර්ශනය අරඹමින් දින තුන්ක ඇතුළත ඩො. 4,630,000ක මුදලක් උපයාගත් අතර, 2015 ජූලි 10-12 සති අන්තයේ ඩො. 3,250,000ක ආදායමක් ලබාගැනීමට එය සමත් විය.[98] එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ බාහුබලි: ද බිගිනිං චිත්‍රපටයේ තෙලිඟු ප්‍රභේදය £66,659ක ආදායමක් උපයාගත් අතර, දෙමළ ප්‍රභේදය ඕස්ට්‍රේලියාව තුළ දෙවන සති අන්තය (17 – 19 ජූලි 2015) තෙක් A$194,405ක් උපයාගත්තේ ය. මෙහි දෙමළ ප්‍රභේදය මැලේසියාව තුළ MYR 663,869ක ආදායමක් උපයා ගත්තේ ය.[99] චීනය තුළ ආරම්භක සති අන්තයේ දී චිත්‍රපටය ඇඩො540,000ක මුදලක් උපයා ගැනීමට සමත් විය.[100] එය එරට තුළ CN¥මිලියන 7.49(  මිලියන 77.8) ක සමස්ත ආදායමක් උපයාගත්තේ ය.[101] මෙලෙසින් චිත්‍රපටය විදෙස් ප්‍රදර්ශනය තුළින් $ මිලියන 10.94ක සමස්ත බොක්ස් ඔෆීස් ආදායම්ක උපයා ගත්තේ ය.[80]

ධ්වනිපථය සංස්කරණය

සම්මාන සහ නිර්දේශ සංස්කරණය

මතභේදය සංස්කරණය

චිත්‍රපටයේ දෙමළ ප්‍රභේදය චිත්‍රපටයේ භාවිතා වූ වචනයක් හේතුවෙන් මතභේදයට මුහුණපෑවේ ය. 2015 ජූලි 22 දින, දාලිත් කණ්ඩායමක් වූ පුරාට්චි පුලිකල් ඉයක්කම් කල්ලිය විසින් චිත්‍රප‍ටයේ දෙමළ ප්‍රභේදය තිරගත වූ මදුරෛහි 'ටැමිල්, ජයා' සංකීර්ණය ඉදිරිපිට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කළහ. පුරාට්චි පුලිකල් ඉයක්කම් නැමැති දාලිත් කල්ලිය මෙම විරෝධතාවෙහි නියැළුණේ චිත්‍රපටයේ අන්තර්ගත පෙළක් වන පගඩෛක්කු පිරන්දවන් යන්න අරුන්තතියර් දාලිත් උපකුලය හැඳින්වීමට වාර්ගික හින්දුවරුන් භාවිතා කරන අපහාසාත්මක යෙදුමක් වීම නිසායි. දෙමළ ප්‍රභේදයෙහි දෙබස් රචක මධන් කාර්කි විසින් දාලිත්වරුන්ගේ මනෝභාවය පිළිබඳ ඇතිවූ සිත් රිදවීමට සමාව අයැද සිටියේ ය.[102]

දෙවන කොටස සංස්කරණය

මෙහි දෙවන කොටස වන බාහුබලි 2: ද කන්ක්ලූෂන් චිත්‍රපටය 2017 අප්‍රේල් 28 දින මුදාහැරිණි.[103]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "BAAHUBALI [Telugu version] (15)". British Board of Film Classification. 9 July 2015. සම්ප්‍රවේශය 14 July 2015.
  2. "BAAHUBALI [Tamil version] (15)". British Board of Film Classification. 9 July 2015. සම්ප්‍රවේශය 14 July 2015.
  3. "Has SS Rajamouli's Baahubali 2 earned Rs 500 cr even before release?". India Today. සම්ප්‍රවේශය 1 February 2017.
  4. "'Kabali' box office collection: Rajinikanth starrer fails to beat 5 records of 'Baahubali' (Bahubali)". International Business Times. 2016-08-09.
  5. Cain, Rob. "India's 'Baahubali' Destroys Box Office Records--Is China Next?".
  6. "Sudeep shoots for his Telugu-Tamil bilingual - Times of India".
  7. Jha, Lata (28 September 2015). "Is 'Puli' the next 'Baahubali'?".
  8. "Has SS Rajamouli's Baahubali 2 earned Rs 500 cr even before release?". India Today. සම්ප්‍රවේශය 1 February 2017.
  9. Oops... 'PK' Is Not Actually India's Top-Grossing Movie Ever. Forbes.com. Retrieved on 28 October 2015.
  10. 'Baahubali' (Bahubali) box office records: Will Vijay's 'Puli' break 15 milestones set by Rajamouli's film?. Ibtimes.co.in (30 September 2015). Retrieved on 2015-10-28.
  11. "Bollywood wins big at National Awards". The Hindu. සම්ප්‍රවේශය 2016-03-28.
  12. An Interview With 'Baahubali' Director SS Rajamouli: The Beginning. Forbes.com. Retrieved on 2015-10-28.
  13. Nora Fatehi suffers a wardrobe malfunction on 'Baahubali' set – Entertainment. Mid-day.com. Retrieved 25 July 2015.
  14. Prabhas is shy and extremely humble: Scarlett Wilson – The Times of India. The Times of India. (10 April 2015). Retrieved 25 July 2015.
  15. Prabhas-Rajamouli film announced. Sify.com (21 February 2011). Retrieved 25 July 2015
  16. "ARRI Group: ALEXA on the biggest ever Indian movie". www.arri.com. සම්ප්‍රවේශය 2015-11-10.
  17. "Shobu Yarlagadda on Twitter". Twitter. සම්ප්‍රවේශය 2015-11-10.
  18. "'I felt I was in a factory'". The Hindu. 17 July 2015. ISSN 0971-751X. සම්ප්‍රවේශය 19 October 2015.
  19. "My inspirations are drawn from nature and school days". Navhind Times. 25 October 2015
  20. Draksharam, Vinay. (9 March 2013) Makuta Confirmed as Principal VFX Studio for SS Rajamouli's "Baahubali" | Makuta සංරක්ෂණය කළ පිටපත 2015-10-12 at the Wayback Machine. Makutavfx.com. Retrieved on 2015-10-28.
  21. 21.0 21.1 The Magic Of Baahubali Decoded – Pete Draper's Exclusive Interview On Its Visual Effects # 17. YouTube (17 September 2015). Retrieved on 2015-10-28.
  22. "Srinivas Mohan believes 'Baahubali' is the new benchmark for visual effects in Indian cinema| Cutting edge content on the go". The Graphic Slate | Cutting edge content on the go. සම්ප්‍රවේශය 19 October 2015.
  23. Meet Baahubali's VFX team. Deccanchronicle.com (21 July 2015). Retrieved on 2015-10-28.
  24. "About | Srushti VFX". srushtivfx.com. 12 October 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 October 2015. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  25. "Baahubali, With Hollywood Level VFX, is Breaking Not Just Box Office Records". NDTV Movies. සම්ප්‍රවේශය 19 October 2015.
  26. 26.0 26.1 Bhushan, Nyay. (15 July 2015) 'Baahubali': 5 Things on Indian Blockbuster. Hollywood Reporter. Retrieved on 2015-10-28.
  27. This little-known Hyderabadi studio made Baahubali a visual spectacle – Quartz. Qz.com (16 July 2015). Retrieved on 2015-10-28.
  28. "Baahubali's next schedule starts tomorrow". The Times of India. 19 April 2014. සම්ප්‍රවේශය 19 July 2014.
  29. "Baahubali: A marketing magnum opus". The Hindu. 4 July 2015. ISSN 0971-751X. සම්ප්‍රවේශය 11 October 2015.
  30. Baahubali becomes the first ever Hindi dubbed film to release in over 1500 screens across India! – Bollywood News & Gossip, Movie Reviews, Trailers & Videos at. Bollywoodlife.com (1 July 2015). Retrieved on 2015-10-28.
  31. "Bahubali set to hit 4,000 screens on July 10". සම්ප්‍රවේශය 11 October 2015.
  32. "Fans unhappy as 'Baahubali' has limited release in Kerala". Malayala Manorama. 10 July 2015. සම්ප්‍රවේශය 22 July 2015.
  33. ‘Baahubali’ Secures China Release With E Stars. Variety (13 September 2015). Retrieved on 2015-10-28.
  34. "'我的个神啊'首曝 中文版海报地球那么大 '外星人'阿米尔汗下周来华". 时光网. 7 May 2015. {{cite web}}: line feed character in |title= at position 10 (help)
  35. "'Baahubali (Bahubali)' set to release in Japan; Twin Co acquires its distribution rights". International Business Times, India Edition. 5 October 2015.
  36. Ramachandran, Naman (4 October 2015). "Busan: Indian Blockbuster 'Baahubali' Sells to Japan". Variety.
  37. ‘Baahubali’ to Release in Seven More Territories via MVP. Variety (7 October 2015). Retrieved on 2015-10-28.
  38. "AFM: Sun Buys Latin America on Indian Hit 'Baahubali'". Variety (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2015-11-08.
  39. "Indian blockbuster 'Baahubali' sold to Germany". www.screendaily.com. සම්ප්‍රවේශය 2016-01-20.
  40. "Re-release of Baahubali – The Beginning date confirmed". Top 10 Cinema (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2017-04-01. සම්ප්‍රවේශය 2017-04-02.
  41. "Busan: Final 'Baahubali' Aims to Be Bigger, More Emotional". Variety. සම්ප්‍රවේශය 22 October 2015.
  42. "Sitges Film Festival » Baahubali – The Beginning". sitgesfilmfestival.com. සම්ප්‍රවේශය 22 October 2015.
  43. "Baahubali : the beginning | Utopiales • International Festival of science fiction of Nantes". www.utopiales.org. 2016-01-31 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-11-10. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)
  44. "2015 台北金馬影展 Taipei Golden Horse Film Festival | 巴霍巴利王:創始之初". www.goldenhorse.org.tw. සම්ප්‍රවේශය 2015-11-10.
  45. "Baahubali: The Beginning — Special Screenings — Black Nights Film Festival Nov 13 - 29 nov 2015". 2015.poff.ee. සම්ප්‍රවේශය 2015-11-13.
  46. "L'Étrange Festival — XXIe édition — Du 3 au 13 septembre 2015 - Baahubali: The Beginning". www.etrangefestival.com. සම්ප්‍රවේශය 2015-12-06.
  47. "Festiwal Filmowy Pięć Smaków — Bahubali: Początek". www.piecsmakow.pl. සම්ප්‍රවේශය 2015-12-06.
  48. "Baahubali To Be Screened At Brussels International Fantastic Film Festival". FitnHit.com. සම්ප්‍රවේශය 2016-10-27.
  49. "BAAHUBALI-THE BEGINNING - 2015 HIFF Fall Festival". program.hiff.org. සම්ප්‍රවේශය 2015-11-15.
  50. "Baahubali: The Beginning team heads to Cannes". The Indian Express. 9 May 2016.
  51. "Baahubali: The Beginning". tiff.ro. සම්ප්‍රවේශය 2016-06-06.
  52. AlloCine. "La Légende de Baahubali : 1ère Partie Bande-annonce VO". AlloCiné. සම්ප්‍රවේශය 2016-06-06.
  53. http://dff.nic.in/writereaddata/IP_press_release_2016_Final.pdf
  54. "Busan: 'Baahubali' to Release in Seven More Territories via MVP Entertainment". Variety. සම්ප්‍රවේශය 22 October 2015.
  55. "Baahubali Motion Print". reveye.in. 7 February 2014. සම්ප්‍රවේශය 21 March 2014.
  56. "Tollywood debuts in Comic Con". The Hindu. 10 October 2014. සම්ප්‍රවේශය 24 December 2014.
  57. "Get Baahubali Updates On Whatsapp!". The Hindu. 19 November 2014. සම්ප්‍රවේශය 24 December 2014.
  58. Shamsian, Jacob (23 July 2015). "This Is What the World Biggest Movie Poster Looks Like". TIME.com. සම්ප්‍රවේශය 22 October 2015.
  59. "Guinness World Records Makes Tollywood Proud". TNP LIVE. Hyderabad, India. 24 July 2015.
  60. "Largest poster in the world". Guinness World Records online. Sirsa, India. 7 December 2015.
  61. "Baahubali Official Merchandise — Baahubali". shop.baahubali.com. සම්ප්‍රවේශය 2015-11-13.
  62. "Telugu Director S S Rajamouli in 100 Years of Indian Cinema Documentary". NDTV Movies. සම්ප්‍රවේශය 2016-10-27.
  63. "Baahubali sets a new record in Karnataka and Ceded region – The Times of India". The Times of India. සම්ප්‍රවේශය 22 October 2015.
  64. "IndiaGlitz – Baahubali Nizam rights bought by Dil Raju for a whopping price – Telugu Movie News". www.indiaglitz.com. සම්ප්‍රවේශය 22 October 2015.
  65. "Dil Raju's Rs 25 crore buy". Deccan Chronicle. 6 July 2014. සම්ප්‍රවේශය 20 July 2014.
  66. "IndiaGlitz – Bahubali Overseas by BlueSky – Telugu Movie News". www.indiaglitz.com. සම්ප්‍රවේශය 22 October 2015.
  67. Tsering, Lisa. "'Bahubali': Film Review". සම්ප්‍රවේශය 1 August 2015.
  68. "'Baahubali: The Beginning': Review". සම්ප්‍රවේශය 1 August 2015.
  69. McCahill, Mike. "Baahubali: The Beginning review – fantastic bang for your buck in most expensive Indian movie ever made". the Guardian. සම්ප්‍රවේශය 1 August 2015.
  70. "'Baahubali: The Beginning' Review: A Giddy Spectacle, If Somewhat Uneven". The Huffington Post. සම්ප්‍රවේශය 1 August 2015.
  71. "Bahubali review: With hunky heroes and great battle scenes, SS Rajamouli's fantasy film is epic – Firstpost". සම්ප්‍රවේශය 1 August 2015.
  72. Baahubali review: S S Rajamouli's film holds out many promises. The Indian Express (12 July 2015). Retrieved on 2015-10-28.
  73. "Baahubali: A little more, a little less". The Hindu. 10 July 2015. ISSN 0971-751X. සම්ප්‍රවේශය 1 August 2015.
  74. Review: Bahubali is mega, ingenious and envelope pushing! – Rediff.com Movies. Rediff.com (10 July 2015). Retrieved on 2015-10-28.
  75. "Bahubali Review". Koimoi. සම්ප්‍රවේශය 2 August 2015.
  76. Movie Review: Baahubali. Filmfare.com (10 July 2015). Retrieved on 2015-10-28.
  77. Movie review 'Baahubali': Tolkien with kadi-patta tadka. Deccanchronicle.com (11 July 2015). Retrieved on 2015-10-28.
  78. Baahubali review: It's best enjoyed when you keep logic far away : Reviews, News – India Today. Indiatoday.intoday.in. Retrieved on 28 October 2015.
  79. 'Baahubali' – Movie Review – Entertainment. Mid-day.com. Retrieved on 28 October 2015.
  80. 80.0 80.1 "Kabali box office collections:Rajinikanth starrer beats 7 big records of Baahubali(Bahubali)". International Business Times. 6 August 2016. සම්ප්‍රවේශය 20 September 2016.
  81. SS Rajamouli's ‘Baahubali’ mints Rs 60 cr on day one, becomes highest opener. The Indian Express (12 July 2015). Retrieved on 2015-10-28.
  82. "Top Worldwide Opening Weekends – Baahubali Fourth". Box Office India. 14 July 2015. 2015-07-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  83. "SS Rajamouli's Baahubali Makes Rs 325Crores in 10 Days". NDTV NEWS. 19 July 2015. සම්ප්‍රවේශය 19 July 2015.
  84. "Salman Khan's Bajrangi Bhaijaan establishes Indian dominance as Baahubali breaks more records".
  85. India's 'Baahubali' Punches Out 401 Crore / $62.6 Million Gross In 15 Days. Forbes.com (25 July 2015). Retrieved on 2015-10-28.
  86. 'Baahubali' 4th Weekend Box Office Collection: Prabhas Film Crosses Rs 500-Crore Mark in 24 Days. Ibtimes.co.in (3 August 2015). Retrieved on 2015-10-28.
  87. 'Baahubali' (Bahubali) Completes 50-Day Run in 600+ Theatres in India: SS Rajamouli Sets Another New Record. Ibtimes.co.in (30 August 2015). Retrieved on 2015-10-28.
  88. Rob Cain (14 August 2015). "Oops... 'PK' Is Not Actually India's Top-Grossing Movie Ever". Forbes.
  89. 'Baahubali' creates history, rakes in Rs 50 crore on its opening day | Latest News & Updates at Daily News & Analysis. Dnaindia.com (11 July 2015). Retrieved on 2015-10-28.
  90. Baahubali Smashes Records With Historic Rs 50 Crores on Opening Day – NDTV Movies. Movies.ndtv.com (11 July 2015). Retrieved on 2015-10-28.
  91. "Top Openings India - All Films All Languages".
  92. 92.0 92.1 "Baahubali Scores In Hindi – Near 100 Crore In All Formats". Box Office India. 13 July 2015. 2015-07-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  93. Baahubali Hindi Trends Like 100 Cr Film On Weekdays සංරක්ෂණය කළ පිටපත 20 ජූලි 2015 at the Wayback Machine. Box Office India. 17 July 2015.
  94. "Baahubali All India First Week Territorial Breakdown". Box Office India. 21 ජූලි 2015. 27 July 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  95. Boxoffice. Boxofficeindia.com (31 July 2015). Retrieved on 2015-10-28.
  96. "Bahubali displays might at box office, becomes highest opener of 2015". Business Standard. 11 July 2015.
  97. "July 10–12, 2015 Weekend". Box Office Mojo. සම්ප්‍රවේශය 2016-10-27.
  98. "U.S. and Canada Box Office". The New York Times. Newyork. 13 July 2015. සම්ප්‍රවේශය 13 July 2015.
  99. 'Bajrangi Bhaijaan' a runaway hitBox Office Overseas Report. Bollywood Hungama. Retrieved 25 July 2015.
  100. Frater, Patrick (July 24, 2016). "China Box Office: Jackie Chan's 'Skiptrace' Leaps to $60 Million Opening". Variety. සම්ප්‍රවේශය July 25, 2016.
  101. "巴霍巴利王:开端(2016)". cbooo.cn (Chinese බසින්). සම්ප්‍රවේශය July 25, 2016.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  102. "Dalit Party Members Hurls Bomb on Baahubali Theatre". The New Indian Express. සම්ප්‍රවේශය 22 October 2015.
  103. Srivatsan (25 April 2017). "SS Rajamouli's Baahubali 2 to release across 6000 screens worldwide". India Today. සම්ප්‍රවේශය 10 May 2017.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බාහුබලි:_ද_බිගිනිං&oldid=660245" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි