ප්‍රධාන මෙනුව විවෘත කරන්න

සැකිල්ල:Chinese text

වූ සේටියෑන්
武則天
A Tang Dynasty Empress Wu Zetian.JPG
චීන අධිරාජයන් 86 දෙනකුගේ ආලේඛය සිතුවම් සහ චීන ඓතිහාසික සටහන් ඇතුළත් 18වන සියවසේ ඇල්බමයකින් උපුටාගත් සිතුවමක්; මුලින් ප්‍රකාශයට පත්කරන ලද්දේ චීනයේ 18වන සියවසේ ය. (බ්‍රිතාන්‍ය කෞතුකාගාරය, රාක්ක සටහන Or. 2231)
චෞ රාජවංශයේ රාජ්‍ය කරන අධිරාජිනිය
රාජ්‍ය සමයක්‍රි.ව. 690 ඔක්තෝබර් 6[1][2] – ක්‍රි.ව. 705 පෙබරවාරි 22[3][4]
පූර්වප්‍රාප්තිකයානැත
(ටෑං රාජවංශයේ අධිරාජයා ලෙස රුයිෂොං අධිරාජයා)
අනුප්‍රාප්තිකයාරාජවංශය අහෝසි කිරීම
(ටෑං රාජවංශයේ අධිරාජයා ලෙස චොංසොං අධිරාජයා)
ටෑං රාජවංශයේ වල්ලභ අධිරාජිනිය
භුක්තිය655–683
පූර්වප්‍රාප්තිකයාවං අධිරාජිනිය
අනුප්‍රාප්තිකයාවෙයි අධිරාජිනිය
උපතවාර්තා නැත, 83දී මියගිය බවට උපකල්පනය අනුව
වාර්තා නැත, ටෑං රාජවංශය
මරණයක්‍රි.ව. 705 දෙසැම්බර් 16 (80-81 වියැති)
ලුවෝයැං, ටෑං රාජවංශය
භූමදානය706
ක්වියෑන්ලිං සොහොන්ගැබ
වල්ලභයා
දරුවන්
සම්පූර්ණ නාමය
පවුල් නාමය: වූ (武)
දෙන ලද නාමය:මුලින් වාර්තා නැත; පසුව, චාඕ (曌/瞾), මුල් නාමය ද චාඕ (照) විය හැක[5]
කලා නාමය:වූ මෙයි (武媚),[6]
මරණාපර නාමය
කෙටි: සේටියෑන් වල්ලභ අධිරාජිනිය (則天皇后)[7]
සම්පූර්ණ: සේටියෑන් ෂුන්ෂෙං වල්ලභ අධිරාජිනිය (則天順聖皇后)[8]
විහාර නාමය
නැත[9]
වංශයවූ (武)
රාජවංශයචෞ රාජවංශය (周)
පියාවූ ෂිහුවෝ, යිංහි ඩිං ආදිපාද
මවයැං ආර්යාව
ආගමබුදු දහම
වූ සේටියෑන්
සම්ප්‍රදායික චීන 武則天
සරල චීන අක්ෂර 武则天
වු ෂාඕ
චීන 武曌
වූ හොවු
චීන 武后
ටියෑන් හොවු
චීන 天后

වූ සේටියෑන් (624 – 705 දෙසැම්බර් 16),[10][11] හෙවත් වු චාඕ, වූ හොවු සහ පසුකාලීන ටෑං රාජවංශ‍ සමයේ ටියෑන් හොවු ලෙස හැඳින්වුණේත්, වූ වල්ලභ අධිරාජිනිය හෙවත්[12] "වූ අධිරාජිනිය" ලෙස හැඳින්වුණේත් චීන රැජිනියකි. ඇය නිල නොවන වශයෙන් වල්ලභ අධිරාජිනියක සහ වැන්දඹු අධිරාජිනියක ලෙස රාජ්‍ය පාලනය මෙහෙයවූ අතර, පසුව නිල වශයෙන් රාජ්‍ය කරන අධිරාජිනිය (皇帝) ලෙස කෙටිකාලීන චෞ රාජවංශයේ (周, 684-705),[10] රාජ්‍ය පාලනය කරන ලදී. මෙම චෞ රාජවංශය ටෑං රාජවංශයේ (618–690 සහ 705–907) අතුරු බිඳුම් යුගයක් ලෙස සැලකේ. සහස්‍ර හතරකට අධික ඉතිහාසය තුළ චීනය පාලනය කළ එකම රජකරන අධිරාජිනිය වූ ය.

වූ ටයිෂොං අධිරාජයාගේ උපබිසවක වූවා ය. ඔහුගේ මරණින් පසු, ඇය ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඔහුගේ නවවන පුත් ගඔෂොං අධිරාජයා සමග විවාහ වී 655දී නිල වශයෙන් ගඔෂොංගේ හුවාංහූ (皇后, විවිධ අයුරින් පරිවර්තනය කෙරේ. එනම් "අධිරාජිනිය", "භාර්යාව", හෝ "වල්ලභ අධිරාජිනිය" ලෙස ය) බවට පත්වූවා ය. නමුත් ඇයට මීට පෙර ද සැලකිය යුතු දේශපාලන බලයක් හිමිව තිබිණි. 660දී ගඔෂොං ආඝාතය වැළඳී දුර්වල වීමත් සමග, යූ සේටියෑන් මාලිගයේ පරිපාලකයා බවට පත් විය. අධිරාජයාට සමාන ධුරයක් වූ මෙය ඇය විසින් 705 තෙක් උසුලන ලදී.[13]

ඉතිහාසය තුළ වූ සේටියෑන් අධිරැජිනියගේ සමය වැදගත් වන්නේ ඇගේ දේශපාලන සහ යුධ නායකත්වය නිසායි. මේ නිසා ඇයට චීන අධිරාජ්‍යය එහි පෙර සීමාවන් අභිබවා යමින් මධ්‍ය ආසියාවේ ගැඹුරට විහිදිණි. එසේම ඇය කොරියානු අර්ධද්වීපය තුළ යුධ ව්‍යාපාර මාලාවක් ආරම්භ කළා ය. පළමුව ගොගුර්යෝවට එරෙහිව සිල්ලාව සමග මිත්‍ර වූ අතර, අනතුරුව පැරණි ගොගුර්යෝ භූමිය අයත් කරගැනීමට සිල්ලාවට එරෙහිව යුධ ප්‍රකාශ කෙරිණි. චීනය තුළ, සිය අධිකාරී බලය පවත්වා ගැනීමට සහ වර්ධනය කරගැනීමට වූට බල අරගලයක නිරත වන්නට සිදුවුව ද, වූගේ නායකත්වය යටතේ චීන සමාජයේ සමාජ පන්ති කෙරහි වැදගත් බලපෑම් ඇති විය. මෙකල තාඕවාදය, බුදු දහම, අධ්‍යාපනය සහ සාහිත්‍යය කෙරෙහි රාජ්‍ය අනුග්‍රහය හිමි විය. වූ සේටියෑන් විසින් ස්මාරක ඉදිකළ අතර, ලොංමෙන් ගුහාවල ප්‍රතිමා සමූහය සහ ක්වියෑන්ලිං සොහොන්ගැබේ ඇති "වදන් රහිත ශිලා ස්තම්භය" ද ඇගේ සමයේ ඉදිවූ නිර්මාණ වේ. එපමණක් නොව වර්තාමනයේ දක්නට නොලැබෙන වැදගත් ගොඩනැගිලි කිහිපයක් සහ ‍ලෝකඩ ප්‍රතිමා ඇය විසින් ඉදිකරවන ලදී.

ඇගේ රාජ්‍ය සමයේ වැදගත් සේවාවන් රැසක් සිදු වුව ද, ඇගේ පාලනයේ දිගු කාලීන බලපෑම් පිළිබඳ අධ්‍යයනය කරන විද්වතුන් වූ සේටියෑන් කෙරෙහි අවධානය වඩාත්ම යොමු කරන්නේ ඇය කාන්තාවක වීම නිසායි.[තහවුරු කරන්න] එයට හේතුව එක්සත් චීන අධිරාජ්‍යයේ අසාමාන්‍ය රාජ්‍ය පාලිකාව විසින් නිල වශයෙන් හුවාංඩි (皇帝) යන පදවිය ඉසිලීමයි. දේශපාලන නායකයකු වුවද, ඇය ක්‍රියාකාරී පවුල් දිවියක් ගතකොට ඇත. ඇතැම් අවස්ථාවන්හි ඇගේ පවුල් සබඳතා ගැටලු සහගත වුවද, වූ සේටියෑන් පුතුන් සිව්දෙනකුගේ මව වූවා ය. ඉන් තිදෙනකුම අධිරාජ පදවිය උසුලා ඇත. නමුත් ඉන් එක් අයකු එම පදවිය උසුලා ඇත්තේ මරණාපර ගෞරව නාමයක් ලෙස පමණි. සුප්‍රකට ටෑංහි ෂුවාංෂොං අධිරාජයා ඇගේ මුණුපුරෙකි.

නම් සහ පදවිසංස්කරණය

චීන ඉතිහාසය සහ සාහිත්‍යය තුළ, වූ සේටියෑන් (සැකිල්ල:IPA-cmn) විවධ නම් සහ පදවිවලින් හඳුන්වා ඇත. ඉංග්‍රීසි භාෂාව තුළ ඇගේ සඳහන් කිරීම මගින් ඒවායේ සංඛ්‍යාව පමණක් වැඩිකොට ඇත. චීන බසින් ඉංග්‍රීසි බවසට පරිවර්තනයේ දී ඇතිවන එක් ගැටලුවක් නම් ලිංගය අවධාරණය කිරීමයි. ("අධිරාජයා" සහ "අධිරාජිනිය" හෝ "කුමරු" සහ "කුමරිය" වැනි) සම්භාව්‍ය චීන බසින් යෙදෙන හොවු (后, "මහරාජයා", "කුමරු", "රැජින") හෝ හුවාංඩි (皇帝, "අධිරාජ ශ්‍රේෂ්ඨ පාලකයා", "රාජකීය දේවතාවා") වැනි වදන් ව්‍යාකරණානුකූලව ලිංගය නිර්ණය කළ නොහැකි වදන් වේ.

නම්සංස්කරණය

වූ සේටියෑන්ගේ නිශ්චිත උපන් නාමය සොයාගත නොහැක. බලයට පත්වීමෙන් පසු ඇය සිය නාමය වූ චාඕ ලෙස වෙනස් කරගෙන තිබේ.[11] මෙය බො‍හෝවිට 武曌, (මෙහි 曌 අක්ෂර කලාතුරකින් 瞾 ලෙස ද ලියනු ලැබේ. මෙම අක්ෂර දෙකම 照 මගින් සම්භවය වූ ඒවා වේ. එය ඇගේ සැබෑ නම විය හැක) මෙහි 瞾 වූ විසින් නිර්මාණය කළ අක්ෂරයකි. වූ යනු ඇගේ පීතෘ පාර්ශ්වීය පෙළපත් නාමයයි. ලි පවුලේ ගඔෂොං සමග විවාහ වීමෙන් පසු ඇය සම්ප්‍රදායික චීන පිළිවෙත අනුව ඇගේ පෙළපත් නාමය වෙනස් නොකළා ය. ටයිෂොං අධිරාජයා විසින් ඇයට වූ මෙයි (武媚) නැමැති කලා නාමය ලබා දී ඇත. එහි අරුත "රූමත්" යන්නයි.[14] (මේ නිසා වර්තමානයේ චීන ජනයා ඇගේ තරුණවිය පිළිබඳ සඳහන් කිරීමේ දී ඇයට වූ මෙයි හෝ වූ මෙයිනියෑං (武媚娘) යන නාමය භාවිතා කරයි. නමුත් ඇයව වල්ලභ අධිරාජිනියක සහ වැන්දඹු අධිරාජිනියක ලෙස සඳහන් කිරීමේ දී වූ හොවු (武后) යන්න භාවිතා වේ. ඇගේ රාජ්‍ය සමයේ රජකරන අධිරාජිනිය ලෙස ඇය පිළිබඳ පැවසීමේ දී වූ සේටියෑන් (武則天) යන නාමය භාවිතා වේ.)[තහවුරු කරන්න]

පදවි නාමසංස්කරණය

ඇගේ ජීවිත කාලයේ මෙන්ම මරණින් පසුව ද, වූ සේටියෑන් හට විවිධ නිල පදවි නාම (මෙම පදවි නාමය්නහි කාලානුක්‍රම ලැයිස්තුවක් සඳහා බලන්න: වූ සේටියෑන්ගේ පදවි නාම ලැයිස්තුව) පිරිනමා තිබේ. හොවු (后) සහ හුවාංඩි (皇帝) යන දෙකම පදවි නාම වේ. (විකරණයන් හෝ අඩු වැදගත් කමක් ඇති හොවු යන්නට එකතු කළ අමතර සංශෝධන) වූ චාඕ ලෙස උපන් ඇය 655 තෙක් නිල වශයෙන් "වූ හොවු" ලෙස හැඳින්වුණේ නැත. එසේම ඇගේ රාජ්‍ය නාමය වූ "වූ සේටියෑන්" යන්න ද භාවිතා වූයේ 690දී ඇය විසින් හුවාංඩි යන පදවිය ආරූඪ කරගැනීමෙන් අනතුරුවයි.

"අධිරාජිනිය"සංස්කරණය

විවිධාකාර චීන පදවි ඉංග්‍රීසි බවට "අධිරාජිනිය" වශයෙන් පරිවර්තනය වී ඇත. මෙහි දී "අධිරාජිනිය" යන්න වල්ලභ අධිරාජිනිය සහ රජකරන අධිරාජිනිය යන ස්වරූප දෙකෙන්ම භාවිතා වී ඇත. සාමාන්‍යයෙන් අධිරාජයා පුරුෂයකු වූ විට, ඔහුගේ ප්‍රධාන භාර්යාවට හුවාංහොවු (皇后) වැනි පදිවයක් පිරිනැමිණි. මෙය බොහෝවිට "අධිරාජිනිය" හෝ විශේෂිතව "වල්ලභ අධිරාජිනිය" ලෙස පරිවර්තනය කළ හැක. අධිරාජයාගේ මරණින් පසු, ජීවත්ව සිටින වල්ලභ අධිරාජිනිය, වැන්දඹු අධිරාජිනිය බවට පත්වන අතර ඇතැම්විට (පුරුෂ) උරුමකරු අධිරාජ පදවිය හෙබවීමට ලාබාල විට අනුරාජ පදවිය හොබවමින් දේශපාලන බලය ඉසිලීමට ඇයට හැක.

ක්වින් ෂි හුවාං (ක්‍රි.පූ. 259–210) සමයේ සිට චීනයේ අධිරාජයා විසින් හුවාංඩි යන පදවි නාමය උසුලා තිබේ. නමුත් චීන ඉතිහාසයේ හුවාංඩි පදවිය ඉසිලූ එකම කාන්තාව වූ සේටියෑන් ය.[15] චීනයේ සැබෑ පාලකයා (පළමුව ඇගේ සැමියාගේ මාර්ගයෙන් සහ පසුව ඇගේ පුත්‍රයින් සමග, 665 සිට 690 දක්වා) ලෙස ඇගේ කාර්යභාරය චීන ඉතිහාසයේ පෙර නොවූවිරූ සිදුවීමක් නොවිණි. කෙසේනමුත්, ඇය සිය පූර්වප්‍රාප්තිකයන් බිඳහෙළමින් ක්‍රි.ව. 690දී චෞ (周) (ටෑං රාජවංශය ඛණ්ඩනය කරමින්) නැමැති ඇගේම රාජවංශයක් පිහිටුවූවා ය. ඇය පූජනීය සහ දිව්‍යමය රජකරන අධිරාජිනිය (聖神皇帝) යන පදවිය සහ එහි ප්‍රභේදයන් භාවිතයෙන් පෞද්ගලිකව 690 සිට 705 තෙක් රාජ්‍ය පාලනය මෙහෙයවූවා ය.

චීන ඉතිහාසය අනුව, පාලකයා ලෙස කහ ලෝගුව පැළඳි එකම ස්ත්‍රිය වූ සේටියෑන් ලෙස සැලකේ. (මෙය අධිරාජයාගේ අයිතියට පමණක් අවසර තිබුණකි. නමුත් සොං රාජවංශයේ ලියු වැන්දඹු අධිරාජිනිය විසින් ද එය භාවිතයට ගෙන තිබේ)[16]

පසුබිම සහ මුල්කාලීන දිවියසංස්කරණය

 
ටෑංහි ටයිෂොං අධිරාජයා නිරූපිත සිතුවමක්; යැන් ලිබෙන් විසිනි. (ක්‍රි.ව. 600 – 673 පමණ)

වූ පවුල් වංශය සම්භවය වූයේ බිංචූ (ෂාන්සිහි ටායියුවාන් නගරයේ පුරාතන නාමය) හි වෙන්ෂුයි ප්‍රාන්තයේ ය. වූ සේටියෑන්ගේ උපන් ස්ථානය මතභේදයට තුඩු දී ඇත. ඇතැමුන් පවසන්නේ වූ සේටියෑන් උපත ලැබූයේ ලිචූ (利州) (වර්තමානයේ සිච්‍රවාන් ප්‍රාන්තයේ ගුවාංයුවාන් නගරය) හි බවයි.[තහවුරු කරන්න] නමුත් තවත් සමහරුන් විශ්වාස කරන්නේ ඇය උපත ලැබූයේ අධිරාජ්‍යයේ අගනුවර වූ චං'අන් හි බවයි.

ඇය ජීවත්ව ඇත්තේ 624 පෙබරවාරි 17[17][18] – 705 දෙසැම්බර් 16 අතර කාලයේ ය.[17][19] වූ සේටියෑන් උපත ලැබූයේ ටෑංහි ගඔෂු අධිරාජයාගේ රාජ්‍ය සමයේ සත්වන වර්ෂයේ ය. එම වර්ෂයේම චීනයට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය විය. ඇගේ දැව ව්‍යාපාරිකයකු වූ වූ ෂිහුඕ වූ අතර, ඔවුන් සාපේක්ෂව ධනවත් පවුලක් විය. ඇගේ මව බලවත් යැං පවුලේ සාමාජිකාවකි. සුයිහි යැං අධිරාජයා‍ගේ අවසන් කාලයේ, ලි යුවාන් (李淵) (අනාගතයේ ටෑංහි ගඔෂු අධිරාජයා බවට පත්වන) වූ නිවසේ බොහෝවරක් නැවතී සිටි අතර, ඔහු වූ පවුලේ සමීපතමයකු විය. ඔහු හෙඩොං සහ ටායියුවාන්හි පදවි හොබවමින් සිටියේ ය. යැං අධිරාජයාව සිහසුනෙන් නෙරපූ ලි යුවාන් වූ පවුල කෙරෙහි ත්‍යාගශීලී විය. ඔහු ඔවුනට ධනය, ධාන්‍ය, ඉඩම් සහ වස්ත්‍ර පිරිනැමී ය. ටෑං රාජවංශය ස්ථාපනය වූ පසු, වූ ෂිහොවු විසින් ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ පදවි කිහිපයක් හොබවා තිබේ. මේ අතරට යැංචෞ, ලිචෞ, සහ ජිංචෞ (荊州) (වර්තමාන ජියෑංලිං ප්‍රාන්තය, හුබෙයි පළාත) හි ආණ්ඩුකාර ධුරය ද වේ.

වූ සේටියෑන් උපත ලද්දේ ධනවත් පවුලක ය. ඇගේ එදිනෙදා කටයුතු ඉටුකරදීමට සේවකයින් පිරිසක් ද ඇයට විය. මේ නිසා ඇයට නිවසේ සිදු කිරීමට එතරම් බැරෑරුම් කටයුතු නොවිණි. මේ නිසා ඇගේ පියා විසින් ඇයට ග්‍රන්ථ කියවීමටත්, ඇයව අධ්‍යාපනය වෙත යොමු කිරීමටත් කටයුතු කරන ලදී. සිය දියණිය හොඳින් උගත් බව ඔහු වටහාගත්තේ ය. මෙය ඇයට හිමිවූ විශේෂ වරප්‍රසාදයක් වන්නේ මෙකල බොහෝ පියවරුන් සිය දියණියන් අධ්‍යාපනය වෙත නැඹුරු නොකිරීම නිසායි. මෙකල වූ සේටියෑන් තුළින් සන්සුන්ව අසුන්ගෙන ගෙතුමෙහි යෙදෙන හෝ දවස පුරාම තේ පානය කරමින් සිටින සාමාන්‍ය දැරියකගේ හැසිරීම දක්නට නොවිණි. මේ නිසා වූ සේටියෑන් දේශපාලනය හා අනෙකුත් රාජ්‍ය සබඳතා, ලේඛන කලාව, සාහිත්‍යය සහ සංගීතය වැනි විෂයයන් හදාළා ය. වූ හැකි සෑම අවස්ථාවකම සිය අධ්‍යාපන කටයුතුවල නිරත වූ අතර ඇගේ පියා විසින් ඇයට අනුබල දෙන ලදී. දාහතරවන වියේ දී, ඇය ටෑංහි ටයිෂොං අධිරාජයාගේ උපබිසවක් (සුළු භාර්යාවක්) බවට පත්වූවා ය. එහිදී ඇයට යම් ආකාරයක ලේකම්වරියක ලෙස කටයුතු කළ හැකි විය. මේ අවස්ථාව ඇයට සිය අධ්‍යාපනය දියුණු කරගැනීමට ලත් මහඟ අවස්ථාවක් විය. ඇයව ටෑංහි රාජකීය මට්ටම්-නවයේ ‍ක්‍රමය අනුව පස්වන මට්ටමේ උපබිසෝවරුන්ට හිමිවන කයිරෙන් පදවිය පිරිනැමිණි.[14][20] ඇයව මාලිගයේ දී මුණගැසුණු විට ඇගේ මව වූ යැං ආර්යාව සිය දියණියට සුබ පතමින් වැළපෙන්නට වූයේලු. එවිට ඇය පිළිතුරු දුන්නේ "දෙව්ලොව පුත්‍රයා මුණ ගැසීම මාගේ වාසනාවක් නොවන බව ඔබ දන්නේ කෙසේ ද?" යනුවෙනි. අනතුරුව සිය දියණියගේ අපේක්ෂාවන් තේරුම්ගත් යැං ආර්යාව සිය හැඬීම නවතාලූයේලු.

වූ බිසව රජු සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ බව පෙනුණ ද, ඇය ටයිෂොං අධිරාජයාගේ ප්‍රසාදයට ලක්වූ බවක් නොපෙනේ.[21] ඇගේ ස්වයං චරිතාපදානය අනුව (ඇගේ රාජ්‍ය සමයේ අමාත්‍ය ජි ෂු හට චෝදනා කරමින් ලියූවකි), ඇය උපබිසවකව සිටි කාලයේ සිය ධෛර්යය නිසා ටයිෂොංව විස්මයට පත් වූ අවස්ථාවක් මෙසේ සඳහන් වේ:

ටයිෂොං අධිරාජයාට "සිංහ අශ්වයා" යනුවෙන් අශ්වයකු විය. ඌ ඉතා විශාල සහ ශක්තිමත් වූ අතර උගේ පිටට නැගීමට කිසිවකුට නොහැකි විය. ටයිෂොං අධිරාජයාගේ පරිවාර කාන්තාවක වූ මා ඔහුට යෝජනා කළේ, "ඌව යටත් කිරීමට මා හට අවශ්‍ය දෑ තුනකි: යකඩ කසයක් යකඩ මිටියක් සහ තියුණු කිණිස්සකි. මා යකඩ කසයෙන් ඌට තලන්නෙමි. ඉන් ඌ දමනය නොවන්නේ නම් යකඩ මිටියෙන් උගේ හිසට පහර දෙන්නෙමි. එවිට ද ඌ මර්දනය නොවන්නේ නම් කිණිස්සෙන් මා උගේ ගෙල කපා දමන්නෙමි" යනුවෙනි. ටයිෂොං අධිරාජයාගේ මාගේ නිර්භීතභාවය අගයකළේ ය. මාගේ කිණිස්ස අපවිත්‍ර කිරීමට ඔබ සුදුස්සෙකැයි ඔබ විශ්වාස කරනවා ද?[22]

ක්‍රි.ව. 649දී ටයිෂොං අධිරාජයා මියයාමත් සමග, ඔහුගේ ලාබාලම පුත්‍රයා වූ ලි චි (මොහුගේ මව ප්‍රධාන භාර්යාව වූ වෙන්ඩේ ය), ටෑංහි ගඔෂොං අධිරාජයා ලෙස සිහසුනට පත් විය. ටයිෂොං ජීවත්ව සිටි සමයේ සිට ලි සහ වූ අතර සම්බන්ධයක් පැවතිණි.

ටයිෂොං සතුව පුත්‍රයින් දාහතරදෙනකු විය. මින් තිදෙනකු ඔහුගේ ප්‍රියාදර අධිරාජිනිය වූ වෙන්ඩේ (601–636) ගේ ය. නමුත් වූ බිසවට දරුවන් නොවිණි.[23] මේ නිසා දරුවන් නොවූ මියගිය අධිරාජවරුන්ගේ බිසෝවරුන් ස්ථිරව ආරාමයන් වෙත යැවීමේ සම්ප්‍රදාය අනුව, අධිරජුගේ මරණින් පසු, වූ උපබිසව ගන්යේ විහාරය (感業寺) වෙත පිටත් කරගැනුණේ ඇය එහිදී බෞද්ධ භික්ෂුණියක ලෙස සිය ජීවිතයේ සෙසු කාලය ගතකරනු ඇතැයි අපේක්ෂාවෙනි. කෙසේනමුත්, ආරාමික දිවිය අත්හළ ඇය සුපුරුදු දිවියට යළි එළඹුණා ය. ටයිෂොංගේ මරණින් පසු, ලි චි ඇයව මුණගැසීමට පැමිණියේ ය. ඇය අතිශය රූමත්, බුද්ධිමත් බව දැනගැනීමෙන් පසු ඔහු ඇයව සිය උපබිසවක ලෙස පත්කරගැනීමට තීරණය කළේ ය.

බලයට පැමිණීමසංස්කරණය

අධිරාජයාගේ උපබිසවසංස්කරණය

ක්‍රි.ව. 650 දශකය වන විට, වූ බිසව ගඔෂොං අධිරාජයාගේ උපබිසවක බවට පත්වූවා ය. ඇයට උපබිසෝවරුන් අතුරින් උසස්ම පදවිය වූ දෙවන මට්ටමේ චාඕයි (昭儀) ධුරය පිරිනැමිණි. ක්‍රමිකව ගඔෂොං අධිරාජයාගේ සමයේ රාජ්‍ය පාලනය කෙරෙහි බලපෑම් කළ ඇය, ප්‍රධාන තීරණ ගැනීමට ක්‍රියාකාරීව සහාය වූවා ය. සම්ප්‍රදායික ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ ඇය බලය ඩැහැ ගැනීමට අනුකම්පා විරහිත උත්සාහයන්හි නියැළුණු බවත්, වං අධිරාජිනිය හසු කිරීමට තමන්ගේම දියණිය මරාදමන්නට ඇති බවත් ය. (එසේම පසුව, බල අරගලයක දී සිය වැඩිමහල්ම පුත්‍රයා වූ ලි හොං ව ද මරාදැමී ය)[තහවුරු කරන්න]

ගඔෂොං සිහසුනට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 21කි. අත්දැකීම් රහිත ඔහු, නිතරම කරකැවිල්ල හේතුවෙන් රෝගී භාවයට පත්ව සිටියේ ය.[13] ගඔෂොං විසින් ඔහුව සිය උරුමකරු ලෙස නම්කරන ලද්දේ ඔහුගේ වැඩිමහල් සොයුරන් දෙදෙනාගේ අපකීර්තිමත් හැසිරීම හේතුවෙනි.[23] ටයිෂොං අධිරාජයාගේ මරණ සංවත්සරය දින හෝ ඉන් පසුව,[24] ගඔෂොං අධිරාජයා සුවඳ දුම් පූජා කිරීමට ගන්යේ විහාරය වෙත ගියේ ය. ඔහු සහ වූ බිසව එකිනෙකා දුටු විට දෙදෙනාම වැළපෙන්නට වූහ. මෙය ගඔෂොං අධිරාජයාගේ භාර්යාව වූ වං අධිරාජිනිය දුටුවා ය.[25] මෙකල ගඔෂොං අධිරාජයා වං අධිරාජිනියට ප්‍රිය නොකළ අතර, ඔහු වඩාත් ප්‍රිය කළේ ඔහුගේ උපබිසවක වූ ෂියාඕ බිසවටයි; මීට අමතරව වං අධිරාජිනියට දරුවන් ද නොවිණි. ෂියාඕ බිසවට එක් පුත්‍රයකු (ලි සුජියේ) සහ දියණියන් දෙදෙනකු (යියැං සහ ෂුවාන්චෙං කුමරියන්) විය. වූ බිසවගේ රූමත් බව දැක ගඔෂොං අධිරාජයා තවමත් ප්‍රීතියට පත්වන බව වටහාගත් වං අධිරාජිනිය ඇයව නැවත උපබිසවක ලෙස රැගෙන ඒමට අදහස් කළේ අධිරාජයා සහ ෂියාඕ බිසව වෙන් කිරීමටයි. මේ නිසා ඇය රහසේම වූ බිසවට ඇගේ හිස මුඩු නොකරන ලෙසට පවසා, පසුව ඇගේ මාලිගය වෙත කැඳවූවා ය. (ඇතැම් නූතන ඉතිහාසඥයන් මෙම සම්ප්‍රදායික වාර්තාව පිළිබඳ සැකපහළ කරන අතර, ඇතැමුන් විශ්වාස කරන්නේ වූ බිසව කිසිදින මාලිගය හැරනොගිය බවත්, ටයිෂොං අධිරාජයා ජීවත්ව සිටියදීත් ඇය සහ ගඔෂොං අධිරාජයා අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබෙන්නට ඇති බවත් ය.)[තහවුරු කරන්න]

මඳ කලකින්ම වූ බිසව ෂියාඕ බිසවට හිමි ස්ථානය උදුරාගනිමින් ගඔෂොංගේ ප්‍රියතම බිසව බවට පත්වූවා ය. 652දී, ඇය ඇගේ පළමු පුත්‍රයාට උපත ලබාදුන්නා ය. ඔහුව ලි හොං ලෙස නම්කළා ය. 653දී, ඇය ලි ෂියෑන් නැමැති තවත් පුත්‍රයකුට උපත ලබාදුන්නේ ය. මින් එක් පුත්‍රයකුවත් ගඔෂොං අධිරාජයාගේ උරුමකරු වීමට වාදවිෂයයක් නොවූයේ ඒ වනවිටත් අධිරාජයාට උරුමකරුවකු සිටි බැවිනි. වං අධිරාජිනිය‍ගේ සහ ඇගේ මාමණ්ඩියගේ බලපෑම මත මාලිග නිලධාරීන් ලියු ෂි අමාත්‍යවරයා විසින් අධිරජුගේ වැඩිමහල්ම පුත්‍රයා වූ ලි චොංව උරුමකරු ලෙස නම්කරන ලදී. ලි චොංගේ මව වූ ලියු බිසව පහත් ජන්මයක් ඇත්තියක වූ බැවින්, ඇයගේ කෘතඥතාව තමන්ට හිමිවේ යැයි වං අධිරාජිනිය බලාපොරොත්තු විය. 654වන විට, වං අධිරාජිනිය සහ ෂියාඕ බිසව වෙත රජුගේ අප්‍රසාදය පල විය. මේ නිසා මෙම පැරණි ප්‍රතිවාදිනියන් දෙපළ එක්ව වූ බිසවට එරෙහිව කුමන්ත්‍රණ සිදුකළහ. වූ බිසවට තමන් දක්වන සෙනෙහසේ සංකේතයක් ලෙස 654දී ගඔෂොං අධිරාජයා විසින් ඇගේ පියා වූ වූ ෂිහුඕ හට මරණාපර ගෞරව නාමයන් ප්‍රදානය කරන ලදී.

654 වර්ෂයේම, වූ බිසව දියණියකට උපත දුන් අතර එම දියණිය මඳ වේලාවකින් මරණයට පත් විය. බිළිඳියගේ ගෙල සිරකොට ඇති බවට සලකුණු දක්නට ලැබුණු අතර, වූ විසින් ද මේ බව චෝදනා කරන ලදී‍. වූ බිසව විසින් වං අධිරාජිනියට මෙම අපරාධය වෙනුවෙන් දෝෂාරෝපණය කරන ලදී.[13] වූගේ එදිරිවාදිනිය වන වං දැරියගේ කුටිය අසල සිටි බවට ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් සාක්ෂි ලබා දෙන ලදී. ගඔෂොං අධිරාජයා ද විශ්වාස කළේ ඊර්ෂ්‍යාවෙන් පෙළුණු වං විසින් ළදැරිය ඝාතනය කිරීම කටයුතු යෙදූ බවයි. තමන් එතැන නොසිටි බව වංට සනාථ කළ නොහැකි විය. එනිසා ඇයට තම නිර්දෝෂීභාවය ඔප්පු කළ නොහැකි විය. කෝපයට පත් ගඔෂොං අධිරාජයා වං අධිරාජිනිය ධුරයෙන් නෙරපා ඇගේ තනතුරට වං බිසව ඔසවා තැබීමට කල්පනා කළේ ය. නමුත් එයට ප්‍රථම රජයේ අමාත්‍යවරුන්ගේ සහාය මීට ලැබෙන බව සනාථ කරගත යුතු විය. එමනිසා එමනිසා ගඔෂොං වූ බිසව සමගින් ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම සිය මාමණ්ඩිය ද වූ චෑංසුන් වුජි මුණගැසීමට පිටත් විය. (පසුව ගඔෂොං අධිරාජයා චැංසුන් හට විශාල ධනයක් පිරිනැමී ය) මෙම හමුවේදී, ගඔෂොං බොහෝවරක් වං අධිරාජිනියට දරුවන් නොමැති වීම යන කරුණ ඉදිරිපත් කළේ ය. මෙය ඇයව ධුරයෙන් පහකිරීමට ප්‍රමාණවත් හේතුවක් විය‍. නමුත් චැංසුන් මෙම සංවාදය වෙනතකට හැරවීමට උත්සාහ ගත්තේ ය. පසුව වූ බිසවගේ මව වූ යැං ආර්යාව සහ වූ බිසවගේ ආධාරකරුවකු වූ ෂු ජිංසොං ද චැංසුන්ගේ සහාය ලබාගැනීමට තැත් කළ ද, එය සාර්ථක නොවිණි.[26] ළදැරියගේ මරණය පිළිබඳ විද්‍යාත්මකව විශ්වාස කළ හැකි වෝහාරික ව්‍යාධිවේදීය තොරතුරු නොපවතියි. කෙසේනමුත්, මේ පිළිබඳ මතභේදයන් පවතී.

සම්ප්‍රදායික ජනප්‍රවාදවල වූ බිසව හැඳින්වෙන්නේ තමන් නිසා හානියට පත් අය පිළිබඳ තැකීමක් සිදු නොකරන බලලෝභී කාන්තාවක ලෙසයි. වඩාත් ජනප්‍රිය මතය නම් වං අධිරාජිනියව හසු කරලීමට වූ විසින් තමන්ගේම දියණියව මරාදැමූ බවයි. වෙනත් චින්තන පාසල් යෝජනා කරන්නේ වං අධිරාජිනිය හට දරුවන් නොසිටි හෙයින්, සැබැවින්ම ඊර්ෂ්‍යාවෙන් යුතු වං විසින් වූගේ දියණියව මරා දැමූ බවයි. තෙවන මතය නම්, එකල වාතන ක්‍රමවේද නොතිබූ හෝ දුර්වල තත්ත්වයක පැවති නිසා බිළිඳිය ප්‍රමාණවත් වාතාශ්‍රය නොමැති වීමෙන් හෝ තොටිල්ලේ දී සිදුවූ මරණයකින් බවයි. වාතාශ්‍රය මඳ වීමත්, ගල් අඟුරු ඉන්ධනයක් ලෙස යොදා ගැනීමත් නිසා ඇතිවන දුමාරයෙන් කාබන් මොනොක්සයිඩ් විෂ වීම පවා සිදුවිය හැක. දැරියගේ මරණයට හේතුව කුමක් වුව ද, වූ චෝදනා කළේ වං වෙත වන අතර, වං අධිරාජිනී ධුරයෙන් ඉවත් කෙරිණි.

655 ග්‍රීෂ්ම ඍතුවේ, වූ බිසව විසින් වං අධිරාජිනිය හා ඇගේ මව වූ ලියු ආර්යාව මායාකර්මයක් සිදුකළේ යැයි චෝදනා නගන ලදී. එයට ප්‍රතිචාර ලෙස, ගඔෂොං අධිරාජයා විසින් ලියු ආර්යාව මාලිගයෙන් නෙරපා වං අධිරාජිනියගේ මාමණ්ඩිය වූ ලියු ෂි ව ධුරයෙන් පහත හෙළන ලදී.[26] මේ අතර, ලි යිෆු, ෂු, කුයි යිෂුවාන් (崔義玄), සහ යුවාන් ගොංග්‍යු (袁公瑜) වැනි නිලධාරීන් පිරිසක් වූ බිසව වටා එක්රොක් වන්නට වූහ. 655 සරත් ඍතුවේ දී, ගඔෂොං අධිරාජයා විසින් චැංසුන්, ලි ජි, යු චිනිං, සහ චු සුයිලියෑං යන අමාත්‍යවරුන් මාලිගය වෙත කැඳවී ය. මෙය අධිරාජිනිය වෙනස් කිරීම හා සම්බන්ධ යැයි චු නිගමනය කළේ ය. රෝගී තත්ත්වයක් පවසා ලි ජි රැස්වීමට සහභාගී නොවී ය. රැස්වීමේ දී, වං අධිරාජිනිය ධුරයෙන් නෙරපීමට චු දැඩිව විරුද්ධ විය. චැංසුන් සහ යු සිය නිහඬතාව මගින් විරෝධය පලකළහ. මේ අතර, හන් යුවාන් සහ ලායි ජි ද මෙම වෙනස් කිරීමට විරුද්ධ විය. ගඔෂොං අධිරාජයා යළි ලි ජිගෙන් විමසූ විට, ලි ජිගේ පිළිතුර වූයේ, "අධිරාජයාණන් වහන්ස, මෙය ඔබගේ පවුල් ප්‍රශ්නයකි. ඇයි වෙනත් අයගෙන් විමසන්නේ?" යන්නයි. මෙලෙසින් ගඔෂොං අධිරාජයා තීරණයකට එළඹියේ ය. ඔහු විසින් චු ව ටෑන් ප්‍රාන්තයේ (දළ වශයෙන් නූතන චංෂා, හුනාන්) අණදෙන නිලධාරී ලෙස ධුරයෙන් පහත හෙළී ය.[26] අනතුරුව වං අධිරාජිනිය සහ ෂියාඕ බිසව ‍යන දෙදෙනාම ධුරයෙන් පහකළ ඔහු, ඔවුන්ව සිරභාරයේ රඳවා වූ බිසව අධිරාජිනිය ලෙස පත්කළේ ය. (එම වර්ෂයේම පසුව, අධිරාජයා විසින් ඔවුන්ව නිදහස් කිරීමට තැත් කරන බව දැක නව අධිරාජිනියගේ නියෝග මත ඔවුන් දෙදෙනාව මරාදමන ලදී. මෙම මරණවලින් පසුව, වූ අධිරාජිනිය නිතර ඔවුන්ව සිහිනෙන් දැක ඇත. ගඔෂොංගේ ඉදිරි රාජ්‍ය සමයේ ඇය සහ අධිරාජයා බොහෝ අවස්ථාවල සිය නිවහන ලෙස ලුවෝයැං නැගෙනහිර අගනුවර තෝරාගත්හ. ඔවුන් චං'අන්වල කාලය ගතකළේ කලාතුරකිනි.)[27]

වල්ලභ අධිරාජිනියසංස්කරණය

ක්‍රි.ව. 655දී, වූ බිසව ටෑං ගඔෂොං අධිරජුගේ නව වල්ලභ අධිරාජිනිය බවට පත් වූවා ය. (皇后, හුවාංහොවු)

656දී, ෂු ජිංසොංගේ උපදෙස් මත, ගඔෂොං අධිරාජයා ලියු බිසවගේ පුත් ලි චොං සිය කිරුළහිමි කුමරු ධුරයෙන් පහකොට, ඔහුගේ තත්ත්වය යළි ලියෑංහි කුමරු ලෙස පහත හෙලන ලදී. අනතුරුව දායිහි කුමරු යන පදවිය ඉසිලූ වූගේ පුත් ලි හොං කිරුළහිමි කුමරු ලෙස පත්කළේ ය.[27]

657දී, වූ අධිරාජිනිය සහ ඇගේ පාක්ෂිකයෝ ඇගේ බලයට පත්වීමට විරුද්ධ වූ නිලධාරීන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට වූවා ය. පළමුව ඇය ෂු සහ ලි යිෆු මාර්ගයෙන් හන් යුවාන් සහ ලායි ජිහට චු සියුලියෑං සමග එක්ව රාජද්‍රෝහී කුමන්ත්‍රණ සිදුකරන බවට චෝදනා නැගී ය. ඔවුන් තිදෙනා සහ ලි ෂි යන අයව ධුරයෙන් පහත හෙළා ඔවුන්ව දුරබැහැර ප්‍රාන්තවල නායකයින් ලෙස පත්කොට යවන ලද්දේ ඔවුනට නැවත චං'අන් වෙත පැමිණිය නොහැකි වන සේ ය. 659දී, ඇය ෂුගේ මාර්ගයෙන්, පහළ නිලධාරීන් වූ වෙයි ජිෆෑං (韋季方) සහ ලි චාඕ (李巢) සමග එක්ව චැංසුන් වුජි කුමන්ත්‍රණ සැලසුම් කරන බවට චෝදනා නැගුවා ය. චැංසුන්ව පිටුවහල් කෙරුණු අතර, පසුව එම වර්ෂයේදී ම ඔහුට සියතින් සියදිවි නසා ගැනීමට නියෝග කෙරිණි. මීට අමතරව ෂු විසින් චු, ලියු, හන් සහ යු චිනිං යන අයව ද මෙම සැලසුමට හසුකරගන්නා ලදී. 658දී චු මියගිය අතර, මරණාපරව ඔහුගේ පදවි ඉවත් කොට ඔහුගේ පුතුන් වූ චු යැන්ෆු (褚彥甫) සහ චු යැන්චොං (褚彥沖) හට මරණ දඬුවම් පැමිණවිණි. ලියු සහ හන් ට ද මරණ දඬුවම නියෝග කෙරුණුමුත්, දණ්ඩන ආඥාව හන් වෙත ළඟ වීමට පෙර ඔහු මියගොස් සිටියේ ය. මේ සිදුවීමෙන් පසුව කිසිදු නිලධාරියකු අධිරජුව විවේචනය කිරීමට නොපෙළඹුණු බව පැවසේ.

660දී, ගඔෂොංගේ (ලියු බිසවට දාව) පළමුව උපන් පුත්‍රයා වූ ලි චොංව ද මෙහි ගොදුරක් බවට පත් විය. මේ පිළිබඳ බියවූ ලි චොං ශාස්ත්‍රකරුවකුගෙන් උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු විය. අනතුරුව වූ අධිරැජිනිය ඔහුව පිටුවහල් කොට නිවාස අඩස්සියේ රඳවන ලදී.[27]

660දී, ගඔෂොං අධිරාජයා සහ වූ අධිරාජිනිය බියෑන් ප්‍රාන්තයේ (වර්තමාන ටායියුවාන්) සංචාරයක නිරත වූහ. වූ අධිරාජිනියට සිය පැරණි අසල්වැසියන් සහ ඥාතීන්ට භෝජන සංග්‍රහයකට ආරාධනා කිරීමේ අවස්ථාව හිමි විය.[27] පසුව එම වර්ෂයේම, ගඔෂොං අධිරාජයා රෝගී තත්ත්වයකින් ‍පෙළෙන්නට වූ අතර, වේදනාකාරී හිසරදය සහ දෘෂ්ටිය නැති වීම වැනි රෝග ලක්ෂණ දක්නට ලැබිණි. සාමාන්‍යයෙන් මෙය අධ්‍යාතතිය හා සම්බන්ධ යැයි සිතිය හැක.[28] මේ නිසා ඔහු නිලධාරීන් විසින් එවන ලද පෙත්සම් පිළිබඳ කටයුතු වූ අධිරාජිනියට පැවරී ය. වූ අධිරාජිනිය ඉක්මන් ප්‍රතික්‍රියා දැක්වූ තැනැත්තියක වූ නිසාත්, සාහිත්‍යය සහ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් තිබූ නිසාත් ඇය නිවැරදිව රාජ්‍ය පාලනය කළ බව පැවසේ. එතැන් සිට ඇගේ අධිකාරය ගඔෂොං අධිරාජයාගේ ආධිපත්‍යය යටපත් කරන්නට විය.[27]

664 වන විට, වූ අධිරාජිනිය අධිරාජ්‍යයේ පාලන කටයුතුවලට බෙහෙවින් මැදිහත් වූ නිසා ඇය ගඔෂොං අධිරාජයාව කෝප ගැන්වූයේ යැයි පැවසේ. මීට අමතරව ඇය තාඕවාදී මන්ත්‍රකරුවකු වූ ගුවෝ ෂිංචෙන් (郭行真) මාර්ගයෙන් මායාකර්මයන්හි නියැළුණා ය. වං අධිරාජිනියගේ බිඳවැටීමට හේතු වූ මෙවැනි මායාකර්ම නීති මගින් තහනම් කොට තිබිණි. පණ්ඩක වං ෆුෂෙං (王伏勝) මේ බව ගඔෂොං අධිරාජයාට දැනුම් දුන්නේ ය. ඔහු ෂැංගුවාන් යි නැමැති අමාත්‍යවරයාගේ උපදෙස් පැතී ය. යිගේ උපදෙස වූයේ වූ අධිරාජිනිය බලයෙන් පහකළ යුතු ය යන්නයි. ඔහු ෂැංගුවාන් හට රාජ ආඥාවක් සකස් කිරීමට උපදෙස් දුන්නේ ය. නමුත් ෂැංගුවාන් මෙය පිළියෙල කරමින් සිටින විට වූ අධිරාජිනියට මේ පිළිබඳ සැල විය. ෂැංගුවාන් විසින් සැකසූ ආඥාව අතැතිව සිටි අධිරාජයා වෙත ගිය ඈ ආයාචනා කළා ය. ගඔෂොං අධිරාජයාට ඇයව ධුරයෙන් පහ කිරීමට සිත සනසාගත නොහැකි විය. ඔහු එහි වරද ෂැංගුවාන් වෙත පැටවී ය. එයට හේතුව ලි චොංගේ කාර්ය මණ්ඩලයේ වං සහ ෂැංගුවාන් යන දෙදෙනාම සේවය කර තිබීමයි. මේ නිසා වූ අධිරාජිනිය ෂු මාර්ගයෙන් ෂැංගුවාන්, වං, සහ ලි චොං යන අයට අසත්‍ය කුමන්ත්‍රණ චෝදනා ඉදිරිපත් කළා ය. ෂැංගුවාන්, වං සහ ෂැංගුවාන්ගේ පුත් ෂැංගුවාන් ටිංචි (上官庭芝) යන අයට මරණ දඬුවම පැනවිණි. ලි චොං හට සියතින් දිවි නසා ගැනීමට නියෝග කෙරිණි.[29] (ෂැංගුවාන් ටිංචිගේ දියණිය වූ ෂැංගුවාන් වැන්'අර් මෙවිට ළදැරියකව සිටි හෙයින් ඇය සහ ඇගේ මව වූ චෙං ආර්යාවට ඇතුළු මාලිගයේ වහල් සේවයට නියම විණි. ෂැංගුවාන් වැන්'අර් හැදී වැඩි පසුකලෙක වූ අධිරාජිනියගේ විශ්වාසවන්ත ලේකම්වරිය බවට පත්වූවා ය.) ඉන් පසුව, රාජකීය රැස්වීම්වල දී, වූ අධිරාජිනිය ගඔෂොං අධිරාජයා පසුපස පිහිටි තිරයෙන් එහා අසුන්ගත්තා ය. ඔවුන් දෙදෙනා මහජනයා අතර "ශුද්ධවන්තයින් දෙදෙනා" (二聖, එර් ෂෙං) ලෙස ප්‍රකට විය.[29]

මේ අතර, වූ අධිරාජිනියගේ නිර්දේශය මත ඇගේ මව වූ යැං ආර්යාව රොං හි ආර්යාව බවටත්, වැන්දඹුවක් බවට පත්ව සිටි ඇගේ වැඩිමහල් සොයුරිය හන් හි ආර්යාව ලෙසත් පත්කෙරිණි. ඇගේ සොයුරන් වූ වූ යුවෑන්ක්විං සහ වූ යුවෑන්ෂුවෑං ද, ඥාති සොයුරියන් වූ වූ වෙයිලියෑං සහ වූ හුවායියුන් ද ධුරයෙන් උසස් කෙරිණි. යැං ආර්යාව ඔවුන් වෙනුවෙන් පැවැත්වූ භෝජන සංග්‍රහයක දී, වූ වෙයිලියෑං යැං ආර්යාවට විරෝධය පෑවේ වූ අධිරාජිනියගේ නිර්දේශය මත තමන්ට උසස් වීම් ප්‍රදානය කිරීම ගෞරවයට කැලලක් බව පවසමිනි. අනතුරුව වූ අධිරාජිනිය ඔවුන්ව තනතුරෙන් පහත හෙළා දූරස්ථ ප්‍රාන්ත වෙත පිටත් කිරීමට ඉල්ලා සිටියා ය. මෙය ඇගේ විනීතභාවය පෙන්වන්නක් ලෙස පිටතට දිස්වුව ද, ඇගේ සැබෑ අභිප්‍රාය වූයේ සිය මෑණියන්ට සිදුකළ අවමානයට දඬුවම් පැමිණවීමයි. වූ යුවෑන්ක්විං සහ වූ යුවාන්ෂුවෑං පිටුවහල් කොට සිටිය දී මියගියහ. මේ අතර ක්‍රි.ව. 666දී හෝ ඊට පෙර හන් හි ආර්යාව ද මියගියා ය. ඇගේ මරණින් පසු ගඔෂොං අධිරාජයා ඇගේ දියණියව වෙයි හි ආර්යාව ලෙස පත්කොට මාලිගයේ රඳවා ගැනීමට උත්සාහ කළේ ය. (උපබිසවක් ලෙස බැව් පෙනේ) නමුත් ඉන් වූ අධිරාජිනිය කෝප වේ යැයි සිතා එය ක්ෂණිකව සිදුනොකළේ ය. මේ පිළිබඳ අසා කෝපයට පත්වූ වූ අධිරැජිනිය වූ වෙයිලියෑං සහ වූ හුවායියුවෑන් විසින් පිළියෙල කළ ආහාරවලට විෂ එකතු කොට ඒවා වෙයි හි ආර්යාව ලබාදුන්නා ය. අනතුරුව වෙයි ආර්යාවගේ මරණයේ වගකීම වූ වෙයිලියෑං සහ වූ හුවායියුවෑන් මත පැටවූවා ය. වූ වෙයිලියෑං සහ වූ හුවායියුවෑන්ට මරණ දඬුවම හිමි විය.[29][30]

670දී, වූගේ මෑණියන් වූ යැං ආර්යාව මියගියා ය. ගඔෂොං අධිරාජයාගේ නියෝග මත සියලුම රාජ්‍ය නිලධාරීන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඇය‍ වෙනුවෙන් වැළපෙන්නට වූහ. පසුව, එම වර්ෂයේම මහා නියඟයකින් රට පීඩාවට පත්වන විට, වූ අධිරාජිනිය ධුරයෙන් නෙරපිය යුතු බවට යෝජනා ඉදිරිපත් විය. නමුත් ගඔෂොං අධිරාජයා එය ප්‍රතික්ෂේප කළේ ය. මීට අමතරව, වූ ෂිහුඕ (මොහුට මීට පෙර චෞහි ආදිපාද යන මරණාපර ගෞරව නාමය පිරිනමා තිබිණි) සහ යැං ආර්යාවට ටායියුවාන් හි කුමරු සහ කුමරිය යන මරණාපර නාම පිරිනැමීම අධිරාජයා විසින් සිදුකරන ලදී.[29]

මේ අතර වූගේ වැඩිමහල් සොයුරිය වූ හන් හි ආර්යාවගේ පුත්‍රයා (වූගේ බෑණා) වන හෙලෑන් මින්චි (賀蘭敏之) හට වූ යන පෙළපත් නාමය පිරිනැමුණු අතර, ඔහුට චෞහි ආදිපාද පදවිය පාරම්පරිකව උරුම කරගැනීමේ අවස්ථාව ද හිමි විය. මෙලෙස සියල්ල සමථයකට පත්වන විට, ඇගේ බෑණා සිය සොයුරියගේ මරණය වෙනුවෙන් වූ අධිරාජිනියව සැක කරන්නට විය. වූ අධිරාජිනිය ඔහුට එරෙහිව පූර්වෝපායයක් සූදානම් කරමින් සිටියා ය. ඔහු සහ ඔහුගේ මිත්තණිය වන යැං ආර්යාව අතර ව්‍යාභිචාර සම්බන්ධයක් පැවති බව කියැවේ. 671දී, යැං ආර්යාවගේ මරණයේ ශෝක කාලය තුළ ශෝක වීමේ චාරිත්‍රවලට අගෞරව කළේ ය යන චෝදනාව හෙලෑන් මින්චිට යොමු විය. මීට අමතරව ගඔෂොං අධිරාජයා සහ වූ අධිරාජිනිය විසින් මුලින් කිරුළහිමි ලි හොං කුමරුගේ භාර්යාව ලෙස පත් කිරීමට තෝරාගෙන තිබූ යැං සිජියෑන් (楊思儉) නිලධාරියාගේ දියණියට අතවර කිරීම යන චෝදනාව ද ඔහුට එල්ල විය. හෙලෑන් මින්චිව පිටුවහල් කෙරුණු අතර, ඔහුව පිටුවහල් කාලයේ මරාදැමීම හෝ සියදිවි හානි කරගැනීම සිදුවන්නට ඇත. 674දී, වූ අධිරාජිනිය විසින්, පිටුවහල් කොට තිබූ වූ යුවාන්ෂුවෑංගේ පුත්‍රයා වූ වූ චෙංසි නැවත කැඳවා ඔහුට චෞ හි ආදිපාද ධුරය උරුමකර ගැනීමේ වරප්‍රසාදය පිරිනමන ලදී.[31]

 
වූ සේටියෑන්ගේ මෙහෙයවීම මත නිමැවුණු ලොංමෙන් ගුහා අතරින් එකක් වන ෆෙංෂියෑන් ලෙන (ක්‍රි.ව. 675 පමණ); මෙහි විශාල මධ්‍ය බුද්ධ ප්‍රතිමාව මගින් වෛරෝචන බුදුන් වහන්සේ නිරූපණය වේ.

675දී, ගඔෂොං අධිරාජයාගේ රෝගී තත්ත්වය ක්‍රමයෙන් අයහපත් අතට හැරුණු හෙයින්, ඔහු වූ අධිරාජිනියට නිල වශයෙන් අනුරාජයා ලෙස රාජ්‍ය පාලනය භාර කිරීමට අදහස් කළේ ය. නමුත් හාඕ චුජුන් අමාත්‍යවරයා සහ ලි යියැන් නිලධාරියා මීට විරුද්ධ වූ හෙයින්, ඔහු නිල වශයෙන් ඇයව අනුරාජයා ලෙස පත්කළේ නැත.

මීට අමතරව 675 වන විට, පුද්ගලයින් බොහෝ දෙනකු වූ අධිරාජිනියගේ අප්‍රසාදයට හේතු විය. ගඔෂොං අධිරාජයා ඔහුගේ නැන්දණිය වූ චංලේ කුමරියට පෙන්වූ ප්‍රසාදය ඇයට රිස්සූයේ නැත. චංලේ කුමරිය යනු වූගේ තෙවන පුත්‍රයා වූ චෞ හි කුමාර ලි ෂියෑන්ගේ බිසවගේ මෑණියන් ය. චංලේ කුමරියගේ සැමියා වූයේ චාඕ ගුයි (趙瓌) සෙන්පතියායි. අනතුරුව චාඕ කුමරියව විවිධ අපරාධ සඳහා හසුකොට සිරගත කෙරිණි. අනතුරුව ඇය කුසගින්නේම මියගියේ ය. චාඕ ගුයි සහ චංලේ කුමරියව පිටුවහල් කෙරිණි. මේ අතර, එම මාසයේම කිරුළහිමි ලි හොං කුමරු හදිසියේම මියගියේ ය. කුමරු වූ අධිරාජිනියට ගඔෂොං අධිරාජයාගේ පාලන කටයුතුවලට ඇඟිලි නොගසන ලෙස පවසා තිබූ අතර, සිය අර්ධ සොයුරියන් වන ෂියාඕ බිසවගේ දියණියන් වූ නිවාස අඩස්සියේ සිටි යියැං සහ ෂුවෑන්චෙං කුමරියන් සමග විවාහ වීමට අවසර නොදීම පිළිබඳ දොස් නැගී ය. සම්ප්‍රදායික ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ වූ අධිරාජිනිය විසින් ලි හොංට වස දී මරණයට පත්කළ බවයි. අනතුරුව යොං හි කුමාර පදවිය ඉසිලූ ලි ෂියෑන් කුමරුන් කිරුළ හිමි කුමරුන් ලෙස පත්කෙරිණි.[31] මේ අතර ෂියාඕ බිසවගේ පුත්‍රයා වූ ලි සුජියේ සහ ගඔෂොං අධිරාජයාගේ වෙනත් පුත්‍රයකු වූ ලි ෂැංජින් (李上金) යන අයට අපරාධ චෝදනා නැගූ වූ අධිරාජිනිය ඔවුන්ව ධුරයෙන් පහත හෙළී ය.[31]

මඳ කලකින්ම වූ අධිරාජිනිය සහ ලි ෂියෑන් අතර සම්බන්ධතා දුර්වල වන්නට විය. ලි ෂියෑන් යනු වූ බිසවට උපන් පුත්‍රයකු නොව ඇගේ සොයුරිය වූ හන් හි ආර්යාවට උපන් පුත්‍රයකු බවට පැතිරී ගිය කටකතා හේතුවෙන් කුමරු කලබල විය. වූ අධිරාජිනියට ඔහුගේ බියකරුභාවය හෙළි වූ හෙයින් ඇය කෝපයට පත් විය. මීට අමතරව ගඔෂොං අධිරාජයාගේ සහ ඇගේ ගෞරවය දිනාගත් මිං චොංයැන් (明崇儼) නම් මන්ත්‍රකරුවා ලි ෂියෑන් සිහසුනට නුසුදුසු බව පවසා තිබිණි. 679දී මිං ව ඝාතනය විය. ඝාතකයන් හසුනොවිණි. නමුත් මෙය පසුපස සිටින්නේ ලි ෂියෑන් යැයි වූ අධිරැජින සැකකළා ය. 680දී, ෂුඒ යුවාන්චාඕ, පෙයි යෑන්, සහ ගඔ චිචෞ යන නිලධාරීන් විසින් ලි ෂියෑන් කුමරුට අපරාධ චෝදනා එල්ල කරන ලදී. ඔහුගේ මාලිගය තුළ තිබී ආයුධ රැසක් හමු විය. අනතුරුව මිං ගේ ඝාතනය සහ රාජද්‍රෝහී කුමන්ත්‍රණ වෙනුවෙන් ලි ෂියෑන්ට චෝදනා එල්ල කළ වූ අධිරැජිනිය ලි ෂියෑන්ව ධුරයන් පහකොට පිටුවහල් කළා ය.

ලි ෂියෑන්ගේ නෙරපීමෙන් පසු ඔහුගේ බාල සොහොයුරා වූ ලි ෂියැන් [ශබ්දය සමාන නමුත් වෙනස් චීන අක්ෂර යෙදේ] (ඔහුව දැන් ලි චේ ලෙස යළි නම් කොට ඇත) කිරුළ හිමි කුමරු ලෙස පත්කෙරිණි.[31]

681දී, මහා උත්සවයක් පවත්වා ගඔෂොං අධිරාජයාගේ සොයුරිය වූ චෙංයැං කුමරියගේ පුත් ෂුඒ ෂාඕ (薛紹) ට තායිපිං කුමරිය විවාහ කරදෙන ලදී. ෂුඒ ෂාඕගේ සොයුරන්ගේ භාර්යාවන්ගේ පෙළපත් පිළිබඳ පැහැදීමක් නොවූ වූ අධිරාජිනියට ඔහුගේ සොයුරන්ගේ භාර්යාවන් දික්කසාද කරවීමට අවශ්‍ය විය. නමුත් මෙය පසුව වැළකුණේ ඇය විසින් ෂුඒ ෂාඕගේ වැඩිමහල් සොයුරා වූ ෂුඒ යි (薛顗) ගේ භාර්යාව වූ ෂියාඕ ආර්යාව මියගිය ෂයාඕ යු අමාත්‍යවරයාගේ මිණිපිරියක බව හොයා ගැනීමෙන් පසුවයි.[31]

683දී, ලුවෝයැං ප්‍රදේශයේ දී ගඔෂොං අධිරාජයා මරණයට පත් විය. ලි චේ සිහසුන ලබාගත් (චොංසොං අධිරාජයා ලෙස) නමුත්, වූ අධිරාජිනිය වැන්දඹු අධිරාජිනිය සහ අනුරාජයා ලෙස අධිකාරීත්වය දැරුවා ය.[32]

වැන්දඹු අධිරාජිනියසංස්කරණය

ඇගේ සැමියා වූ ගඔෂොං අධිරාජයාගේ මරණින් පසුව, වූ බිසව වැන්දඹු අධිරාජිනිය (皇太后, හුවාංටායිහොවු) බවටත්, අනතුරුව අනුරාජයා බවටත් පත්වූවා ය. වූ බිසව මේ වනවිටත් කිරුළහිමි ලි හොං කුමරුන්ට වස දී තිබූ අතර, සෙසු කුමාරවරුන්ව පිටුවහල් කොට තිබිණි. ඇය ඇගේ තෙවන පුත්‍රයා වූ ලි චේ උරුමකරු ලෙස නම්කොට තිබිණි. මීට අමතරව, ගඔෂොං අධිරාජයාගේ අවසන් කැමැත්ත වූයේ ලි චේ අධිරාජ පදවියට ක්ෂණිකව පත්කළ යුතු බවත්, යුධ මෙන්ම සිවිල් අංශවල සෑම වැදගත් කාරණයක දී ම වූ අධිරාජිනියගේ උපදෙස් ලබාගත යුතු බවත් ය.[33]

684 දෙවන මාසයේ, වූගේ පුත්‍රයා වූ කිරුළහිමි ලි චේ කුමරු අධිරාජ පදවියට පත්කෙරුණු අතර, ඔහු චොංසොං යන රාජකීය නාමය ආරූඪ කරගනිමින් සති හයකින් යුත් කෙටි රාජ්‍ය පාලන සමය ඇරඹී ය.

මඳ කලකින්ම චොංසොං අධිරාජයා, වූ වැන්දඹු අධිරැජිනියට අකීකරු ස්වභාවයක් පෙන්නුම් කළේ ය. චොංසොං අධිරජු ඔහුගේ බිසව වන වෙයි අධිරාජිනියගේ මෙහෙයවීම අනුව කටයුතු කරන්නට විය. ඔහු සිය මාමණ්ඩියව අග්‍රාමාත්‍ය ලෙස පත්කළේ ය. මීට අමතරව ඔහු සිය මාමණ්ඩියව ෂිචොං (侍中, රජයේ විභාග අංශයේ ප්‍රධානී, 門下省, මෙන්ෂියා ෂෙං, සහ එය ලබන්නා අමාත්‍යවරයකු වීමට සුදුසුකමක් වන පදවියකි) ධුරයට පත් කිරීමට උත්සාහ ගත් අතර, ඔහුගේ කිරි මවගේ පුත්‍රයාට මධ්‍ය-මට්ටමේ පදවියක් පිරිනැමී ය. මෙයට පෙයි යෑන් අමාත්‍යවරයාගේ බලවත් විරෝධය එල්ල විය. අධිරාජයා පෙයි හට මෙසේ පවසා ඇත:[32]

මා අධිරාජ්‍යය පවා වෙයි ෂුවාන්චෙන්ට ලබා දුන්නත්, එහි වරද කුමක් ද? ඇයි ඔබ මේ තරම් ෂිචොං පදවිය පිළිබඳ උනන්දු වන්නේ?

පෙයි මේ පිළිබඳ, වූ වැන්දඹු අධිරැජිනියට වාර්තා කළේ ය. අනතුරුව පෙයි, ලියු යිචි, සහ සෙන්පතිවරුන් වන චෙං වූටිං (程務挺) හා චෑං ක්වියෑන්ෂු (張虔勖) සමග මේ පිළිබඳ සැලසුම් කළ ඇය, අධිරජුව සිහසුනෙන් නෙරපා ඇගේ බාලම පුත්‍රයා වූ ලි දන් හෙවත් යු හි කුමරු (රුයිෂොං අධිරාජයා) ලෙස සිහසුනට පත්කළා ය. චොංසොංගේ මාමණ්ඩිය වූ වෙයි ෂුවාන්චෙන් (韋玄貞) හට රාජද්‍රෝහී චෝදනා එල්ල කළ වූ සේටියෑන් රැජින ඔහුව හුදකලා වාසයට යැවී ය. ලුලිංහි කුමාර පදවියට පහත හෙලන ලද චොංසොං අධිරාජයාව පිටුවහල් කෙරිණි. මීට අමතරව ක්වියු ෂෙන්ජි (丘神勣) සෙන්පතියාව ලි ෂියෑන්ගේ නවාතැන වෙත පිටත් කළ වැන්දඹු අධිරැජින ලි ෂියෑන්ට සියතින් දිවි නසාගැනීමේ මරණ දඬුවම පැනවූවා ය.

වූ සිය බාලම පුත්‍රයා වන ලි දන් රුයිෂොං අධිරාජයා ලෙස සිහසුනට පත්කළා ය. සැබැවින්ම සැබෑ පාලකයා ඇය බව පෙනෙන්නට තිබිණි. එසේම රාජසභාවේ දී තිරයක් පසුපස සිටීමේ සම්ප්‍රදාය අනුගමනය නොකළ ඇය සිය තීරණ, පාලකයාගේ කනට කොඳුරා සිටියා ය. එවිට නාමික පාලකයා විසින් එය සිය නියෝගයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී. රුයිෂොං කිසිදින රාජකීය ගෘහය වෙත පැමිණියේ නැත. එසේම ඔහු කිසිදු රාජකීය කටයුත්තක පෙනී සිටියේ ද නැත. සැබැවින්ම ඔහු ඇතුළු මාලිගයේ සිරකරුවකු හා සමාන වූ බැව් පැවසේ.[34] 690දී, රුයිෂොං අධිරාජයා ලවා සිහසුන තමන් වෙත පවරාගත් ඇය චෞ රාජංවශය ස්ථාපනය කළා ය. එහි දී ඇය විසින් පාලකයා (හුවාංඩි) යන නාමය ආරූඪ කරගන්නා ලදී.

ඇගේ රාජ්‍ය සමයේ මුල්කාලය රහස් ‍පොලිස් භීෂණවලින් ගහන විය. නමුත් කාලයක් ගතවීමත් සමග එය ක්‍රමයෙන් අඩු වන්නට විය. එසේවුව ද, අනෙක් අතට ඇයට අවමන් කරන සම්ප්‍රදායික ඉතිහාසඥයන් පවා ඇය දක්ෂ සහ සැලකිලිමත් රාජ්‍ය පාලිකාවක බව අවිවාදයෙන් පිළිගෙන තිබේ. දක්ෂ පුද්ගලයින් නිලධාරීන් ලෙස පත් කරගැනීමට ඇයට තිබූ හැකියාව ටෑං රාජවංශ සමයේ මෙන්ම ඉදිරි රාජවංශවල දී ද පැසසුමට ලක් විය.[35] (705දී කුමන්ත්‍රණයකින් ඇයව බලයෙන් පහකෙරුණු අතර, චොංසොං අධිරාජයා නැවත සිහසුනට පත් විය. නමුත් එම වර්ෂයේ අවසන් කාලයේ ඇගේ මරණය තෙක්ම ඇය විසින් "අධිරාජයා" යන ධුරය භාවිතා කොට තිබේ.)

රුයිෂොං අධිරාජයා අධිරාජ පදවිය ඉසිලුව ද, බලය රැඳී තිබුණේ වූ වැන්දඹු අධිරැජිනියගේ හස්තයේ ය. නිලධාරීන්ට රුයිෂොං අධිරාජයාව හමුවීමට අවසර නොතිබූ අතර, අධිරාජයාට ද රාජ්‍යයේ ගැටලුවලට මැදිහත් වීමට අයිතියක් හිමි නොවිණි. රාජ්‍ය පාලනය සිදුකරන ලද්දේ වූ වැන්දඹු අධිරාජිනිය විසිනි. ඇගේ බෑණා වූ, වූ චෙංසිගේ යෝජනාව අනුව, ඇය විසින් වූ පෙළපතේ මුතුන්මිත්තන්ගේ පූජාසනය විශාල කොට තැනවූ අතර, ඔවුනට උසස් මරණාපර ගෞරව නාමයන් ප්‍රදානය කෙරිණි.[32]

686දී, වූ වැන්දඹු අධිරාජිනිය රාජ්‍ය අධිකාරී බලය රුයිෂොං අධිරාජයාට භාර කිරීමට තීරණය කළා ය. නමුත් ඇය සැබැවින්ම එසේ සිදු නොකරන බව දත් රුයිෂොං අධිරාජයා එය ප්‍රතික්ෂේප කළේ ය. මේ නිසා අධිරාජ්‍යයේ බලය ඇ‍යගේ හස්තයේම පැවතිණි.

ඉන් මඳ කලකට පසුව, පිටුවහල් කොට තිබූ ලි ජිගේ මුණුපුරු යිං හි ආදිපාද ලි ජිංයේ යැං ප්‍රාන්තයේ (揚州, දළ වශයෙන් නූතන යැංචෞ, ජියෑංසු) කැරැල්ලක් ආරම්භ කළේ ය. කැරැල්ල ප්‍රාන්තය තුළ ජනප්‍රිය වන්නට විය. නමුත් ලි ජිංයේ ප්‍රහාර මෙහෙයවූයේ සෙමින් වන අතර, ජනප්‍රියතාවයේ වාසිය ලබා ගන්නට ඔහු අසමත් විය. මේ අතර, මේ අතර, පෙයි වූ අධිරැජිනියට යෝජනා කළේ ඇය රාජකීය අධිකාරීත්වය අධිරාජයාට භාර දුනහොත් කැරැල්ල මර්දනය කිරීම පහසු වන බවයි. මෙය ඇගේ කෝපයට හේතු විය. ඇය ඔහු ලි ජිංයේට සහාය වන්නේ යැයි චෝදනා කොට මරණ දඬුවම පැනවූවා ය. පෙයි සිරභාරයේ සිටිය දී, ඔහු වෙනුවෙන් කථා කළ නිලධාරීන් ගණනාවක් ද ඇය විසින් මරාදමන ලදී. ලි ජිංයේට පහර දීම පිණිස ඇය ලි ෂියාඕයි (李孝逸) සෙන්පතියා පිටත් කරහැරියා ය. මුලින් ලි ෂියාඕයි අසාර්ථක වූ අතර, ඔහු සිය සහායකයා වන වෙයි යුවාන්චොං ධෛර්යමත් කරමින්, ලි ජියේගේ සේනා පරාජයට පත් විය. ලි ජිංයේ පලා යන අතරතුර මරණයට පත් විය.[32]

685 වන විට, වූ වැන්දඹු අධිරාජිනිය බෞද්ධ භික්ෂුවක වූ හුවායියි සමග ඇසුරක් පටන් ගත්තා ය. ඉදිරි වර්ෂය කිහිපය තුළ, හුවායියි හට ගෞරව නාමයන් ප්‍රදානය කෙරිණි.[32][36][37]

රාජ්‍යයේ ජනතාවට සෙස්සන් පිළිබඳ රහසිගතව වාර්තා කිරීමට ඇය විසින් රාජකීය පරිපාලන ගොඩනැගිලි පිටත තඹ තැපැල් පෙට්ටි සවිකරන ලදී. ඇය එසේ සිදුකළේ බොහෝ නිලධාරීන් ඇයට එරෙහිව ක්‍රියාකරන බවට සැක කළ නිසායි. ඇගේ මෙම විශ්වාසයෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් සුවෝ යුවෑන්ලි, චෞ ෂිං සහ ලායි ජුන්චෙන් ඇතුළු රහස් පොලිස් නිලධාරීන් බලයට පත් වන්නට වූයේ වෙනත් පුද්ගලයන් පිළිබඳ අසත්‍ය චෝදනා සහ වධහිංසා සිදු කරමිනි.[32]

688දී, වූ වැන්දඹු අධිරාජිනිය ලුවෝ ගංගාවේ දේවතාවාට (洛水, එකල "නැගෙනහිර අගනුවර" නම් වූ ලුවෝයැං නැමැති හෙනාන් පළාතේ නගරය ඔස්සේ ගලා යන) පූජා පැවැත්වූවා ය. ඇය ටෑංහි ලි රාජකීය වංශයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලුවෝයැං වෙත කැඳවූවා ය. ඇය තමන්ව මරා දමා සිහසුන ඇගේම කරගැනීමට උත්සාහ දරන්නේ යැයි රාජකීය කුමාරවරු බිය වූහ. මේ නිසා ඔවුහු ඇයට විරුද්ධව කුමන්ත්‍රණ සැලසුම් කළහ. සැලසුම් සහගතව කැරැල්ලක් ඇරඹීමටත් පෙර, ලැංග්යේහි කුමාර ලි චෙන් සහ ඔහුගේ පුත් ලි චොං පළමුව සටන් ආරම්භ කළහ. ඔවුහු පිළිවෙලින් ඔවුන් අධිපතීත්වය දැරූ යු ප්‍රාන්තයේ (豫州, දළ වශයෙන් නූතන චුමැඩියාන්, හෙනාන්) සහ බෝ ප්‍රාන්තයේ (博州, දළ වශයෙන් නූතන ලියාඕචෙං, ෂැන්ඩොං) මෙය ආරම්භ කළහ. නමුත් තවමත් සූදානම්ව නොසිටි සෙසු කුමාරවරුන් නැගී සිටියේ නැත. වූ වැන්දඹු අධිරැජිනියගේ හමුදා විසින් ලි චොං සහ ලි චෙන්ගේ හමුදා පහසුවෙන්ම වනසා දමන ලදී. වූ අධිරාජිනිය මෙය අවස්ථාවක් කරගනිමින් ගඔෂොං අධිරාජයාගේ මුත්තණු-මාමණ්ඩිවරුන් වූ හන් හි කුමාර ලි යුවාන්ජියා (李元嘉) සහ ලු හි කුමාර ලි ලිංකුයි (李靈夔) යන අයටත්, චංලේ කුමරිය ඇතුළු ලි වංශයේ සෙසු සාමාජිකයින්වත් සිරගත කරන ලදී. අනතුරුව ඔවුනට සියතින් දිවි හානි කරගැනීමට ඔවුනට අණකෙරිණි. තායිපිං කුමරියගේ සැමියා වූ ෂුඒ ෂාඕ ව ද අල්ලාගත් අතර, පසුව ඔහු කුසගින්නේ තබා මරණයට පත්කෙරිණි. ඉදිරි වසර කිහිපය තුළ, දේශපාලනික හේතූන් මත ලි වංශයේ සාමාජිකයන් සහ නිලධාරීන් රැසක් සංහාරය කෙරිණි.[36]

690දී, අලුතෙන් ස්ථාපනය කළ චෞ රාජවංශයේ රාජ්‍ය කරන අධිරාජිනිය සහ හුවාංඩි පදවියට පත්වීමට වූ අධිරැජිනිය අවසන් අදියර වෙත ළඟාවූවා ය. සම්ප්‍රදායික චීන අනුප්‍රාප්ති නියමය (යුරෝපයේ අධිරාජ්‍යයට කාන්තාවන් සම්බන්ධ කර නොගැනීමේ නීතියට සමාන) අනුව කාන්තාවන්ට සිහසුනට පත්වීමට අවසර නොතිබිණි. නමුත් රහස් පොලීසිය ‍යොදවමින් ප්‍රතිවාදීන් මර්දනය කළ වූ සේටියෑන් සිහසුනට පත්වීමෙන් පසුව ද, ප්‍රතිවාදීන්ට පහර එල්ල කරන්නට වූවා ය. ඇගේ සිවිල් සේවා සංවිධාන ක්‍රමයේ නිලධාරීන්ට උසස්වීම් පිරිනැමීමේ ක්‍රමවේදය ලිහිල් යැයි විවේචන එල්ල වුව ද, වූ සේටියෑන් යනු කාර්යාලවල සිටි නිලධාරීන්ගේ දක්ෂතාවන් හඳුනාගෙන කටයුතු කළ දක්ෂ පාලිකාවක යැයි පැවසේ. සොං රාජවංශයේ ඉතිහාසඥයකු වූ සිමා ගුවාං ඔහුගේ සිචි ටොංජියෑන් ග්‍රන්ථය තුළ මෙසේ සඳහන් කොට ඇත:[37]

වැන්දඹු අධිරාජිනිය[38] ජනතාව යටත් කරගැනීමට සිය නිලතල අධිකව භාවිතා කළ ද, යම් අදක්ෂ තැනැත්තකු දුටු විට ඇය ක්ෂණිකව ඔහුව ධුරයෙන් පහ කිරීම හෝ දඬුවම පැමිණවීමට කටයුතු කළා ය. දඬුවම් පැමිණවීමේ සහ ප්‍රදානය කිරීමේ බලය සතු වූ ඇය, රාජ්‍යය පාලනය කළ අතර ඇගේම විනිශ්චයන් සිදුකළා ය. පරීක්ෂාකාරී තැනැත්තියක වූ ඇය සතුව හොඳ විචාර බුද්ධියක් පැවතිණි. මේ නිසා මෙකල විසූ දක්ෂ පුද්ගලයින් සිය සේවයට පත් කරගැනීමට ඇයට හැකි විය.

රාජ්‍ය කරන රැජිනසංස්කරණය

මුල්කාලීන රාජ්‍ය සමයසංස්කරණය

 
වූ‍ සේටියෑන් අධිරාජිනියගේ සෙන්පතියකු වූ යැං ෂුන් වෙනුවෙන් ලියන ලද සමරු පාඨය; චීනය, ලුවෝයැං, ක්‍රි.ව. 693; හුනුගල්වලිනි, රාජකීය ඔන්ටේරියෝ කෞතුකාගාරය.

වූ සේටියෑන් සිහසුනට පත්වූ විගස, ඇය විසින් බෞද්ධාගමේ තත්ත්වය තාඕ ආගමට ඉහළින් ඔසවා තබන ලදී. නිල වශයෙන් බුදු දහමට අනුග්‍රහය දැක්වූ ඇය ලුවෝයැං සහ චං'අන් යන ද්විත්ව අගනුවරවල්වලට අයත් සෑම ප්‍රාන්තයකම දායුන් විහාරය (大雲寺) යනුවෙන් හැඳින්වුණු ආගමික ගොඩනැගිලි ඉදිකළා ය. එසේම ජ්‍යෙෂ්ඨ භික්ෂූන් නව දෙනකු ආදිපාදවරුන් වශයෙන් පත්කරන ලදී. වූ පෙළපතේ පරම්පරා සතක මුතුන්මිත්තන් රාජකීය මුතුන්මිත්තන්ගේ විහාරයේ තැන්පත් කළ ඇය ගඔෂු, ටයිෂොං සහ ගඔෂොං යන ටෑං අධිරාජවරුන්ට පූජාවන් ද සිදුකළා ය.[36]

ඇය අනුප්‍රාප්තියට උරුමකරුවකු පත්කිරීමේ අවස්ථාවට එළැඹියා ය. සිහසුන පවරාගත් අවස්ථාවේ ඇය විසින් හිටපු අධිරාජයා වූ රුයිෂොං අධිරාජයා හෙවත් ලි දන්ව කිරුළහිමි කුමරු ලෙස පත්කොට ඔහුට වූ යන නාමය පිරිනමන ලදී.[36] කෙසේනමුත්, චෑං ජියාෆු නැමැති නිලධාරියා වං ක්විංචි (王慶之) යන සාමාන්‍ය වැසියාගේ මාර්ගයෙන් පෙත්සමක් යවමින් ඇගේ බෑණා වූ වූ චෙංසි, කිරුළහිමි කුමරු ලෙස පත්කරන මෙන් ඉල්ලා සිටියේ ය. ඔහු පැවසූයේ වූ වංශයේ අධිරාජයකු සිහසුන උරුම කර දිය යුත්තේ වූ වංශයේම සාමාජිකයකුට බවයි. ඔවුහු වූ සේටියෑන්ව එසේ සිදුකරන්නට පෙළඹවූහ. සෙන් චෙංක්වියෑන් සහ ගේ ෆුයුවාන් යන අමාත්‍යවරුන් දැඩි විරෝධය දක්වන විට, ඔවුන් සහ සහායක අමාත්‍යවරයකු වූ ඖයැං ටොං හට මරණ දඬුවම ලබා දිණි. එසේවුව ද, ඇය වූ චෙංසිව කිරුළහිමි කුමරු ලෙස පත්කළ යුතු බවට වං සිදුකළ යෝජනාව නිෂ්ප්‍රභ කළා ය. යම් කාලයක් සඳහා මාලිගයට පැමිණ තමන්ව බැහැදැකීමේ අවසරය ඇය වං හට ලබාදුන්නා ය. නමුත් වං නිතර නිතර මාලිගයට පැමිණෙන්නට වූයෙන්, කෝපයට පත් වූ අධිරාජිනිය, වංහට පහරදෙන මෙන් ලි චාඕඩේ නිලධාරියාට නියොග් කළා ය. මෙය අවස්ථාවක් කරගත් ලි චාඕඩේ වං හට පහර දී මරණයට පත්කළ අතර, ඔහුගේ පෙත්සම් කරුවෝ පලාගියහ. අනතුරුව ලි දන්ව කිරුළහිමි කුමරුන් ලෙස පත්කරන මෙන් ලි චාඕඩේ වූ සේටියෑන්ගෙන් ඉල්ලා සිටියේ ය. බෑණා කෙනකුට වඩා ඇගේම පුත්‍රයා ඇයට වඩාත් ඥාතීත්වයක් දක්වන බැව් පැහැදිළි කළ ඔහු වූ චෙංසි අධිරජු වූ විට ගඔෂොං අධිරාජයාව කිසිදින වන්දනා කළ නොහැකි වනු ඇති බව පැවසී ය. එයට එකඟ වූ අධිරැජිනිය මේ ගැටලුව පිළිබඳ සලකා බැලීම කල්දැමී ය.[36] මීට අමතරව, වූ චෙංසි බලවත් වෙමින් පවතින බවට ලි චාඕඩේ කළ අනතුරු හැඟවීම නිසා ඇය වූ චෙංසිව අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට බලතල රහිත ගෞරව නාමයන් පිරිනැමුවා ය.[37]

මේ අතර, රහස් පොලිස් නිලධාරීන්ගේ බලය ද ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. 692දී ලායි ජුන්චෙන් විසින් රෙන් චිගු, ඩි රෙන්ජියේ, පෙයි ෂිංබෙන් යන අමාත්‍යවරුන් සහ කුයි ෂුවාන්ලි (崔宣禮), ලු ෂියෑන් (盧獻), වෙයි යුවාන්චෞ, සහ ලි සිචෙන් (李嗣眞) යන නිලධාරීන්ව මරණ දඬුවමට ලක්කිරීමට තැත් කිරීමත් සමග ඔවුන්ගේ බලතල සීමා කෙරිණි. ඩි සිරභාරයේ සිටින විට, ඔහු විසින් සිය පුත්‍රයා වූ ඩි ගුවාංයුවෑන් (狄光遠) අත වස්ත්‍රයක සැඟවූ පෙත්සමක් යවා තිබිණි. මේ සත්දෙනා පිටුවහල් කෙරිණි. නමුත් ඉහත සිදුවීමෙන් පසුව, ලි චාඕඩේ, චු ජිංසේ, සහ චෞ ජු (周矩) යන අයගේ ආයාචනය අනුව දේශපාලන සංහාරයන් ක්‍රමයෙන් අඩු විය. නමුත් ඒවා සම්පූර්ණයෙන්ම අවසන් වූයේ නැත.[37]

එසේම 692දී, වූ සේටියෑන්ගේ නියෝගය අනුව වං ෂියාඕජියේ සෙන්පතියා ටුෆාන් වෙත පහරදුන්නේ ය. 670දී ටුෆාන් වෙත හිමිව තිබූ ෂියු ආරක්ෂක බලකොටු හතර සියතට ගැනීමට වං සමත් විය. මෙම බලකොටු අතරට ක්වියුෂි, යූටියෑන්, ෂුලේ, සහ සුයියේ අයත් විය.[37]

වූ සේටියෑන්ගේ විශ්වාසවන්ත පරිවාර පාලිකාව වූ වෙයි ටුවෑන්'අර් (韋團兒) ලි දන් කෙරෙහි වෛරයෙන් (ඇය එසේ සිදු කිරීමට හේතුව ඉතිහාසයේ සඳහන් නොවේ) පසුවූවා ය. වෙයි, ලි දන්ගේ භාර්යාව වූ කිරුළහිමි ලියු කුමරිය සහ දෞ බිසව මායාකර්මවල නියැළෙන බවට අසත්‍ය චෝදනා නැගුවා ය. 693දී වූ සේටියෑන් විසින් කිරුළහිමි ලියු කුමරිය සහ දෞ බිසව මරාදමන ලදී. භීතියට පත් ලි දන් ඔවුන් පිළිබඳ කථා කිරීමට තරම් නිර්භය වූයේ නැත. ලි දන් ට ද අසත්‍ය චෝදනා නැගීමට වෙයි සැලසුම් කළ අතර, එය වූ අධිරැජිනියට සැල විය. අනතුරුව වෙයි හට මරණ දඬුවම හිමි විය. එසේවුව ද, වූ සේටියෑන් ලි දන්ගේ පුතුන්ව කුමාර පදවියෙන් පහත හෙළුවා ය. පෙයි ෆෙයිගොං (裴匪躬) සහ ෆැන් යුන්ෂියෑන් (范雲仙) යන නිලධාරීන් රහසේම ලි දන් හමුවීමට යාමේ දී හසු විය. අනතුරුව ඇය ඔවුනට දඬුවම් පැමිණවූවා ය. ලි දන් කුමන්ත්‍රණයක් සැලසුම් කරන බවට චෝදනා එල්ල වූ හෙයින්, වූ සේටියෑන්ගේ මෙහෙයවීම මත ලායි විසින් විමර්ෂණයක් සිදුකරන ලදී. ලි දන්ගේ සේවකයින් සිරභාරයට ගත් ලායි ඔවුනට වධ හිංසා පැමිණවී ය. වධහිංසා දරුණු වූ හෙයින් ඉන් බොහෝ දෙනකු ලි දන්ව පාවා දෙන්නට සූදානමින් සිටියහ. නමුත් ලි දන්ගේ සේවකයකු වූ අන් ජින්සෑං ලි දන් කුමරු නිර්දෝෂී බව පවසමින්, දිවුරන්නට වූයේ සිය උදරය කපාගනිමිනි. අන් සිදු කළ දෙය පිළිබඳ දැනගත් වූ සේටියෑන් අධිරැජිනිය, වෛද්‍යවරුන් ගෙන්වා මහත් පරිශ්‍රමයක් දරා ඔහුගේ දිවි බේරාගත්තා ය. එලෙසම ඇය ලායි හට විමර්ශනය අවසන් කරන මෙන් නියෝග කළේ ලි දන්ගේ දිවිය ද සුරකිමිනි.[37]

වූ චෙංසිව ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු ලි චාඕඩේ අතිශයින් බලවත්ව සිටින බව සිතූ අධිරාජිනිය 694දී ලි චාඕඩේව ද ධුරයෙන් ඉවත් කළා ය.[37] එසේම මේ කාලය අවට, ඇය ගුප්ත පුද්ගලයින් කිහිප දෙනකු පිළිබඳ උනන්දු වන්නට විය. මේ තැනැත්තන් අතරට වයස අවුරුදු 350කටත් වඩා වැඩි යැයි පැවසුණු වෙයි ෂිෆැං නම් තාපසයා (ඇය ඔහුට කෙටිකාලීනව අමාත්‍ය ධුරයක් ද පිරිනැමුවා ය), අනාගතය පැවසීමේ හැකියාව ඇති බුද්ධත්වයට පත් වූයේ යැයි විශ්වාස කෙරුණු වියපත් බෞද්ධ භික්ෂුණියක, සහ වයස අවුරුදු 500ක් වයසැති යැයි පැවසුණු හන්-නොවන මිනිසකු ඇතුළත් විය. මෙකල වූ අධිරාජිනිය සිය රාජ්‍ය සමය කෙරෙහි ජනතා සහාය ලබාගැනීමේ අරමුණින් යුතුව මෛත්‍රෙය අනාගත බුදුන් වහන්සේගේ ප්‍රතිමා වන්දනාව ආරම්භ කළා ය.[39] කෙසේනමුත් 695දී, හුවායියි (වූ සේටියෑන් විසින් රාජකීය වෙදැදුරුවරයා වූ ෂෙන් නැන්ක්වියු (沈南璆) සිය පෙම්වතා ලෙස තෝරාගැනීම කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසු වූ) විසින් රාජකීය රැස්වීම් ශාලාව (明堂) සහ දිව්‍යමය ශාලාව (天堂) ගිනිබත් කිරීමත් සමග මෙම විනාශය පුරෝකථනය කළ නොහැකි වීම පිළිබඳ වූ සේටියෑන් ගුප්ත පුද්ගලයින් කෙරෙහි කෝප වූවා ය. මහලු භික්ෂුණිය සහ ඇගේ ශිෂ්‍යාවන් වහල් සේවයට යැවුණු අතර, වෙයි සියදිවි හානිකරගත්තේ ය. මහලු හන්-නොවන මිනිසා පලාගියේ ය. මීට අමතරව ඇය විසින් හුවායියිව ද මරාදැමීමට නියෝග කරන ලදී. මෙම සිදුවීමෙන් පසු, ඇය ගුප්ත විශ්වාසයන් කෙරෙහි සිය අවධානය යොමු කළේ මඳ වශයෙන් වන අතර, රාජ්‍ය කටයුතු සිය ප්‍රධාන කාර්යභාරය කොට ගත්තා ය.[37]

මධ්‍ය රාජ්‍ය සමයසංස්කරණය

 
මහා වල් පාත්ත ස්තූපය; මුලින් 652දී ඉදිවූ මෙය විනාශ විය. අනතුරුව එය 701-704 අතර කාලයේ වූ සේටියෑන් රාජ්‍ය සමයේ යළි ඉදිවිය. මෙම වර්තමාන ව්‍යූහය ද 8වන සියවසේ එය පැවති විශාලත්වයෙන්ම යුක්ත ය. 1556 ෂාන්සි භූමිකම්පාව නිසා හානි සිදුවීමට පෙර මෙය මීට වඩා තවත් මහල් තුනක උසකින් යුක්ත වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

වූ සේටියෑන්ගේ පාලන සමයේ මඳ කලකින්ම බටහිර සහ උතුරු දේශසීමාවල ගැටලු ඇතිවන්නට විය. 696 වසන්ත ඍතුවේ වං සියාඕජියේ සහ ලෞ ෂිඩේගේ නායකත්වයෙන් යුත් ඇගේ හමුදා ටුෆාන් හමුදා සමග සටනට පිටත් විය. නමුත් ටුෆාන් සෙන්පතීන් වූ ගාර් ට්‍රින්රිං ට්සෙන්ඩ්‍රෝ (ලුන් ක්වින්ලිං 論欽陵) සහ ගාර් ට්සෙන්බා (ලුන් සැන්පෝ 論贊婆) සොහොයුරන් විසින් ඔවුන්ව අන්ත පරාජයකට පත්කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස අධිරාජිනිය විසින් වංව සාමාන්‍ය තත්ත්වයට පහත හෙළූ අතර, ලෞව පහළ පෙළේ ප්‍රාන්ත නිලධාරී ධුරයකට පත්කෙරිණි. නමුත් පසුව ඇය ඔවුන් දෙදෙනාව පදවිවලට ප්‍රතිෂ්ඨාපනය කළා ය.[37] එම වර්ෂයේම අප්‍රේල් මස, සිය අධිකාරය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් වූ සේටියෑන් පුරාතන චීනයේ ඒකාධිකාරී බලයේ සංකේතය වූ නව තෙපා කටාරම යළි නිමැවූවා ය.[40]

696 ග්‍රීෂ්ම ඍතුවේ තවත් තදබල තර්ජනයක් ඇති විය. යිං ප්‍රාන්තයේ (營州, දළ වශයෙන් නූතන චාඕයැං, ලියාඕනිං) ප්‍රධානියා වූ චෞ නිලධාරී චාඕ වෙන්හුයි (趙文翽) ඛිටන් ජනයාට අයහපත් අයුරින් සැලකීම පිළිබඳ කෝප වූ ඛිටන් ප්‍රධානීන් දෙපළක් වූ ලි ජින්චොං සහ සුන් වන්රොං යන ඥාති සොහොයුරෝ කැරැල්ලක් ආරම්භ කළහ. මෙහි දී ලි විසින් වුෂාං ඛාන් (無上可汗) යන පදවි නාමය ආරූඪ කරගන්නා ලදී. ලි සහ සුන්ව පරාජය කිරීමට වූ සේටියෑන් විසින් පිටත් කළ සේනාව ඛිටන් හමුදා අතින් පරාජයට පත් විය. ඔවුහු චෞ භූමිය ආක්‍රමණය කළහ. මේ අතර, නැගෙනහිර ටුජුවේ ඛාන් ආෂිනා මොචුවෝ යටත් වූ අතර, ඔහු චෞ සහ ඛිටන් යන දෙපාර්ශ්වයටම එරෙහිව සටන් කරමින් සිටියේ ය. මේ අතර ලිගේ මරණින් මඳ කාලයකට පසුව 696 ශිශිර ඍතුවේ ඇතිවූ ඛිටන් ආක්‍රමණය ද වේ. මෙහි දී ලිගේ සහ සුන්ගේ පවුල්වල සාමාජිකයන් අල්ලාගැනුණු අතර, චෞ දේශයට එරෙහි ඛිටන් ආක්‍රමණ තාවකාලිකව නතර විය.[37] ඛාන් යන පදවිය ආරූඪ කරගත් සුන්, ඛිටන් හමුදා ප්‍රතිසංවිධානය කරමින් චෞ දේශයට යළි ආක්‍රමණ එල්ල කළ අතර, ඔවුනට චෞවරුනට එරෙහි ජයග්‍රහණ රාශියක් හිමිකරගැනීමට හැකි විය. මෙම සටනේ දී වං ෂිජියේ මියගියේ ය.[22][37] මෙම තත්ත්වය මර්දනය කිරීමට අෂිනා මොචුවෝ සමග සමාධාන වූ වූ සේටියෑන් චෞ දේශයට‍ යටත්වූ ටුජුවේ ජනයා ආපසු ලබාදුන්නා ය. එසේම අෂිනා මොචුවෝ හට ධාන්‍ය, සේද, උපකරණ සහ යකඩ ද ලබා දුන්නා ය. 697 ග්‍රීෂ්ම ඍතුවේ දී, ඛිටන්වරුනට එරෙහිව අෂිනා මොචුවෝ තවත් ආක්‍රමණයක් දියත් කළ අතර, මෙහි දී ඛිටන් හමුදා බිඳවැටිණි. සුන් පලායාමේ දී මරණයට පත්වූ අතර, ඛිටන් තර්ජනය ද නිමාවට පත් විය.[22]

මේ අතර, 697 වර්ෂයේම, වරක් බලය අහිමිව තිබී පසුව බලයට පත් ලායි ජුන්චෙන්, ලි චාඕඩේ (සමාව හිමිව තිබූ) හට අපරාධ චෝදනා නැගී ය. අනතුරුව ලි දන්, ලි චේ, වූ වංශයේ කුමාරවරුන්, සහ තායිපිං කුමරියව රා‍ජද්‍රෝහී කුමන්ත්‍රණ චෝදනාවලට හසු කිරීම ඔහුගේ අරමුණ විය. නමුත් පළමුව ක්‍රියාකාරී වූ වූ වංශයේ කුමාරවරුන් සහ තායිපිං කුමරිය ඔහුට විරුද්ධව අපරාධ චෝදනා නගා ලි චාඕඩේ මෙන්ම ලායි හට ද මරණ දඬුවම පැනවූහ. ලායිගේ මරණින් පසු, රහස් පොලීසියේ භීෂණ බෙහෙවින් අඩු විය. ක්‍රමිකව, ලායි සහ සෙසු රහස් පොලිස් නිලධාරීන්ගේ වධහිංසාවන්ට ලක්වූ බොහෝ ජනයා මරණාපරව වරදින් නිදහස් කෙරිණි.[22] මේ කාලය වන විට, වූ සේටියෑන් හට නව පෙම්වතුන් දෙදෙනකු හමු විය. ඔවුන් දෙදෙනා නම් චෑං යිචි සහ චෑං චංසොං යන සොයුරන් දෙපළයි. මාලිගය තුළ ගරු බුහුමන් ලත් ඔවුහු දෙපළ ක්‍රමයෙන් ආදිපාද පදවි හිමිකරගත්හ.[22][41]

698 අවට කාලයේ, වූ චෙංසි සහ වූ සේටියෑන්ගේ තවත් බෑණකු වූ ලියාං හි කුමාර වූ සැන්සි යන දෙදෙනා තමන්ගෙන් අයකු කිරුළහිමි කුමරු ලෙස පත්කරන මෙන් නිලධාරීන් ලවා වූ සේටියෑන්ගෙන් ඉල්ලා සිටින්නට වූහ. ඔවුහු ද අධිරාජයකු එම වංශයේම අයකුට සිහසුන පැවරිය යුතුය යන තර්කය ඉදිරිපත් කළහ. මේ වනවිට, අධිරැජිනියගේ විශ්වාසවනත් අමාත්‍යවරයකු වූ ඩි රෙන්ජියේ මෙම අදහසට දැඩිව විරුද්ධ විය. කෙසේනමුත් අවසානයේ යෝජනා වූයේ ලි චේ කුමරුන්ව යළි කැඳවිය යුතු බවයි. වං ෆැංක්විං සහ වං ජිෂාන් යන අමාත්‍යවරුන් ද, වූ සේටියෑන්ගේ සමීපතම උපදේශකයකු වූ ජි ෂු සහ ඔහුගේ ආයාචනය අනුව චෑං සොහොයුරන් ද මෙයට පක්ෂ වූහ. 698 වසන්ත ඍතුවේ දී, මෙයට එකඟත්වය පල කළ වූ සේටියෑන්, ලි චේව පිටුවහල් භාවයෙන් නිදහස් කොට නැවත කැඳවූවා ය. මඳ කලකින්ම, කිරුළහිමි කුමරු පදවිය ලි චේ හට ලබාදීමට ලි දන් ද කැමති විය. ඒ අනුව, වූ සේටියෑන් අධිරැජිනිය විසින් ලි චේ කුමරුන්ව කිරුළහිමි කුමරුන් ලෙස නම්කරන ලදී. අනතුරුව ඇය ඔහුගේ නම ලි ෂියෑන් ලෙසත්, අනතුරුව වූ ෂියෑන් ලෙසත් වෙනස් කළා ය.[22]

පසුව, අෂිනා මොචුවෝ සිය දියණිය හා විවාහ වීමට ටෑං රාජවංශයේ කුමාරයෙක් ඉල්ලා සිටියේ ය. මෙය චෞ රාජවංශය විස්ථාපනය කොට සිය පවුල හා ටෑං රාජවංශය සම්බන්ධ කරවීමට දැරූ උපක්‍රමයකි. අනතුරුව ටෑං පාලනය චීනයේ ස්ථාපිත කරවීම (ඔහුගේ බලපෑම යටතේ) මෙහි අරමුණ විය. නමුත් මොචුවෝගේ දියණිය හා විවාහ වීමට වූ සේටියෑන් සිය පවුලේ ඥාති මුණුපුරකු වූ වූ යැන්ෂියු (武延秀) ව පිටත් කර හැරි මුත්, ඔහු යැන්ෂියුව ප්‍රතික්ෂේප කළේ ය.[42] විවාහය සමග සාමදාන ගිවිසුමක් ඇතිකරගැනීමට අෂිනා මොචුවෝ හට කිසිදු අපේක්ෂාවක් නොවිණි. මේ නිසා, වූ යැන්ෂියු පැමිණිවිට, වූ යැන්ෂියුව සිරකරගත් ඔහු චෞ දේශය වෙත ආක්‍රමණයක් දියත් කළේ ය. පසුබැසීමට පෙර ඔහු එය චාඕ ප්‍රාන්තය (趙州, නූතන ෂිජියාචුවාංහි, හෙබෙයි) දක්වා දකුණට මෙහෙයවා තිබිණි.[22]

699දී, ටුෆාන් තර්ජනය අවසන් වන සලකුණු පෙනෙන්නට විය. ගාර් ට්‍රින්රිං ඒකාධිකාරී බලය දැරීම පිළිබඳ ටුෆාන් රජ ට්‍රිඩු සොංට්සෙන් අසතුටට පත් විය. මේ නිසා ට්‍රින්රිං ලාසා අගනුවරින් පිටත්ව ගිය අවස්ථාවක රජු ට්‍රින්රිංගේ සහචරයින්ව මරාදමන ලදී. අනතුරුව සටනක දී ට්‍රින්රිංව පරාජය කිරීමට ඔහු සමත් විය. පසුව ට්‍රින්රිං සියදිවි නසාගන්නා ලදී. ගාර් ට්සෙන්බා සහ ට්‍රින්රිංගේ පුත්‍රයා වූ ලුන් ගොන්ග්‍රෙන් (論弓仁) චෞ දේශයට යටත් විය. ඉන් පසුව, වසර ගණනාවක් යනතෙක්ම ටුෆාන් රාජ්‍යය තුළ අභ්‍යන්තර බල අරගල පැවති හෙයින්, ටුෆාන් දේශසීමාවේ චෞ රාජ්‍යය සාමකාමීව පැවතිණි.[22]

තමන් වියපත්ව ඇති බව වටහාගත් වූ සේටියෑන් අධිරැජිනිය සිය මරණින් පසු ලි ෂියෑන් සහ වූ වංශයේ කුමාරවරුන් අතර සාමය නොපවතීයැයි බියවූවා ය. ඒ නිසා 699දී, ඇය විසින් ලි ෂියෑන්, ලි දන්, තායිපිං කුමරිය, තායිපිං කුමරියගේ දෙවන සැමියා වූ වූ යෞජි (ඇගේ බෑනා කෙනෙකි), ඩිං හි කුමරු සහ වෙනත් සෙසු වූ වංශික කුමාරවරුන්ගෙන් එකිනෙකා කෙරෙහි දිව්රුමක් ලබාගන්නා ලදී.[22]

පසුකාලීන රාජ්‍ය සමයසංස්කරණය

 
වූ සේටියෑන්ගේ අධිරාජ්‍යයේ ඇස්තමේන්තුගත භූමි ව්‍යාප්තිය

වූ සේටියෑන් ක්‍රමයෙන් වියපත් වන විට, චෑං යිචි සහ චෑං චැංසොං අතිශයින් බලවත් වූ අතර, වූ වංශයේ කුමාරවරුන් පවා ඔවුනට ගරුකළහ. රාජ්‍ය කටයුතු පාලනය කිරීමට ඇය බෙහෙවින් ඔවුන් මත රඳාපැවතුණා ය. මෙය ඇගේ මුණුපුරා වූ ෂාඕහි කුමාර (ලි ෂියෑන්ගේ පුත්) ලි චොංරුන්, මිණිපිරිය වූ යොංතායි ආර්යා (ලි චොංරුන්ගේ සොයුරිය වන) ලි ෂියෑන්හුයි (李仙蕙) සහ ලි ෂියෑන්හුයිගේ සැමියා වූ වෙයි හි කුමාර (වූ සේටියෑන්ගේ ඥාති මුණුපුරෙකි; වූ චෙංසිගේ පුත්‍රයායි) වූ යැංජි (武延基) යන අය රහසිගත සාකච්ඡා කරමින් විවේචනය කරන්නට වූහ. කෙසේනමුත්, පසුව මෙය හෙළි වූ අතර, චෑං යිචි විසින් මෙය වූ සේටියෑන්ට දැනුම් දෙන ලදී. ඔවුන් තිදෙනාට සියතින් දිවි හානිකරගන්නා මෙන් ඇය නියෝග කරන ලදී.[43][44]

මහලු වියට පත්ව සිටිය ද, වූ සේටියෑන් දක්ෂ නිලධාරීන් හඳුනාගැනීමේ සහ ඔවුන්ට උසස් වීම් පිරිනැමීමේ ක්‍රමය අත්හළේ නැත. ඇය මහලුවියේ සිටිය දී උසස්වීම් ප්‍රදානය කෙරුණු නිලධාරීන් අතර කුයි ෂුවාන්වෙයි සහ චෑං ජියාචෙන් ද වේ.[41]

703 වන විට, චෑං යිචි සහ චෑං චැංසොං මේ වනවිට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු බවට පත්ව සිටි චෑං චැංසොංව නොරිස්සන්නට වූයේ, ඔහු විසින් ඔවුන්ගේ සොයුරකු වන චෑං චැංයි (張昌儀) හට බැණවැදීමත් සහ තවත් සොයුරකු වූ චෑං චැංකි (張昌期) ගේ උසස් වීම ප්‍රතික්ෂේප කිරීමත් නිසායි. වූ සේටියෑන් මියගියහොත්, වෙයි කුමන හෝ මාර්ගයකින් තමන්ට මරණ දඬුවම ලබාදේ යැයි ඔවුහු බියවූහ. ඒනිසා ඔවුහු වෙයි සහ තායිපිං කුමරියගේ ප්‍රියතම නිලධාරියකු වූ ගාඕ ජියෑන් (高戩) යන අය වූ සේටියෑන්ගේ මහලු වයස සහ මරණය පිළිබඳ අදහස් කරන බවට චෝදනා කළහ. මුලින් ඔවුන් වෙයිගේ අනුගාමිකයකු වූ චෑං ෂුඕ හට ව්‍යාජ සාක්ෂි ලබාදෙන ලෙස එකඟකරගන්නා ලදී. නමුත් වූ සේටියෑන් රැජිනිය ඉදිරිපිටට යාමෙන් පසු චෑං ෂු‍ඕ පැවසූයේ චෑං යිචි සහ චෑං චැංසොං තමන්ට ව්‍යාජ සාක්ෂි දීමට බලකළ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස, වෙයි, ගඕ, සහ චෑං ෂුඕ පිටුවහල් කෙරිණි. නමුත් ඔවුන් මරණයෙන් බේරිණි.[41]

ධුරයෙන් නෙරපීම සහ මරණයසංස්කරණය

 
706දී ටෑං ගඔෂොං, වූ අධිරාජිනියගේ සහ චීන ටෑං රාජවංශයේ රාජකීය සාමාජිකයින්ගේ සිරුරු තැන්පත් කිරීමට චං'අන් අසල ඉදිකළ ක්වියෑන්ලිං සොහොන්ගැබේ ෆීනික්ස් දොරටුවේ නැගෙනහිරින් පිහිටි විශාල හිස් ශිලා ඵලකයහෙවත් "වදන් රහිත ශිලා ස්තම්භය". මීටර 6.3ක් උසැති මෙම ඵලකය ටොන් 98ක ස්කන්ධයකින් යුක්ත ය. මෙම ශිලාස්තම්භයේ කිසිදු අභිලේඛනයක් දක්නට නොමැති වුව ද, (මෙයට නම යෙදී ඇත්තේ ද එබැවිනි) මෙහි පැති මකර රූප සහ බෙල්ලන්ගේ කැ‍ටයම්වලින් විසිතුරු කොට ඇත.

704 සරක් ඍතුවේ දී, චෑං යිචි සහ චෑං චැසොංට අමතරව, ඔවුන්ගේ සොහොයුරන් වූ චෑං චැංකි, චෑංචැංයි, සහ චෑං ටොංෂියු (張同休) යන අයට විරුද්ධව දූෂණ චෝදනා එල්ල වන්නට විය. චෑං ටොංෂියු සහ චෑං චැංයිව ධුරයෙන් පහත හෙළිණි. ලි චෙංජියා (李承嘉) සහ හුවාන් යැන්ෆැන් යන නිලධාරීන් පවා චෑං යිචි සහ චෑං චැසොංව ඉවත් කළ යුතු බව පැවසුව ද, යැං ෂායිසි අමාත්‍යවරයා වූ සේටියෑන්ට උපදෙස් දුන්නේ ඔවුන්ව ඉවත් නොකළ යුතු බවටයි. පසුව, වෙයි අන්ෂි අමාත්‍යවරයා විසින් චෑං යිචි සහ චෑං චැංසොංට විරුද්ධව යළි දූෂණ චෝදනා නගන ලදී.[41]

704 ශිශිර ඍතුවේ දී, වූ සේටියෑන් කාලයක් ‍දැඩිව රොගාතුර වූවා ය. ඇයව දැක ගැනීමට අවසර වූයේ චෑං සොහොයුරන්ට පමණි. නමුත් අමාත්‍යවරුන්ට අවසර නොතිබිණි. මේ නිසා චෑ යිචි සහ චෑං චැන්සොං සිහසුන පැහැරගන්නට කුමන්ත්‍රණ කරන බවට සැකයක් මතු විය. ඇගේ තත්ත්වය තරමක් යහපත් අතට හැරුණු විට, කුයි ෂුවාන්වෙයි ඉල්ලා සිටියේ ලි ෂියෑන් සහ ලි දන් යන දෙදෙනාට පමණක් රැජිනියව බැහැ දැකීමට අවසර දිය යුතු බවයි. නමුත් ඇය මෙය අනුමත කළේ නැත. හුවාන් සහ සොං ජිං විසින් චෑං සොහොයුරන්ට විරුද්ධව නොයෙකුත් දෝෂාරෝපණ ඉදිරිපත් කළ පසු, අධිරැජිනිය මේ පිළිබඳ විමර්ශනය කිරීමට සොංට භාරකළා ය. නමුත් විමර්ශනය අවසන් වීමට පෙර, චෑං යිචි නිදොස් කරමින් අධිරැජිනිය ආඥාවක් නිකුත් කළා ය.[41]

705 වසන්ත ඍතුව වන විට, වූ සේටියෑන් නැවත වරක් දැඩිව රොගාතුර වූවා ය. චෑං ජියාන්චි, ජිං හුයි, සහ යුවාන් ෂුජි විසින් චෑං සොහොයුරන්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් සැලසුම් කළහ. ඔවුහු ලි දුඕෂුවෝ, ලි දන් (李湛, මෙය හිටපු අධිරජුගේ නාමය නොවන බව සලකන්න. මෙහි යෙදෙන අක්ෂරය වෙනස් එකකි.) සහ යැං යුවාන්‍යාන් (楊元琰) යන සෙන්පතීන් සහ යාඕ යුවාන්චි යන අමාත්‍යවරයාව ද මීට දායක කරගත්හ. ලි ෂියෑන්ගේ ද අනුමැතිය ඇතිව පෙබරවාරි 20 දින,[3] ඔවුහු චෑං යිචි සහ චෑං චැංසොංව මරාදමා වූ සේටියෑන්ගේ නවාතැන වූ චෑංෂෙං ශාලාව (長生殿) වැටලූහ. අනතුරුව චෑං සොහොයුරන් රාජද්‍රෝහී චෝදනා මත මරණයට පත්කෙරුණු බව ඇයට දැනුම් දිණි. එසේම සිහසුන ලි ෂියෑන්ට භාරදීමට ඇයට බලකෙරිණි. පෙබරවාරි 21 දින, ඇගේ නාමයෙන් නිකුත් කෙරුණු රාජාඥාවක් මගින් ලි ෂියෑන් අනුරාජයා ලෙස පත්කෙරිණි. පෙබරවාරි 22 දින, ඇගේ නාමයෙන් නිකුත් කෙරුණු රාජාඥාව මගින් සිහසුන ලි ෂියෑන්ට පැවරිණි. පෙබරවාරි 23 දින, ලි ෂියෑන් නිල වශයෙන් සිහසුනට පත් විය. ඉන් පසු දින, දැඩි ආරක්ෂාව යටතේ වූ සේටියෑන් රැජිනියව යාබද ෂැන්ග්යැං මාලිගය (上陽宮) වෙත රැගෙන යන ලදී. නමුත් ඇයට සේටියෑන් දාෂෙං රජකරන අධිරාජිනිය (則天大聖皇帝) යන ගෞරව නාමය පිරිනැමිණි.[41] මාර්තු 3වන දින,[45] චෞ රාජවංශය අවසන් කරමින්, ටෑං රාජවංශය ප්‍රතිෂ්ඨාපනය කෙරිණි.[40]

දෙසැම්බර් 16 දින,[19] ඇය මරණයට පත් විය. ඇගේ නාමය පිළිබඳ නිකුත් කෙරුණු අවසන් ආඥාව අනුව, ඇයව තවදුරටත් රජකරන අධිරාජිනියක ලෙස හැඳින්වුණේ නැත. ඒ වෙනුවට ඇයව සේටියෑන් දාෂෙං වල්ලභ අධිරාජිනිය (則天大聖皇后) ලෙස හැඳින්විණි.[40] 706දී, වූ සේටියෑන්ගේ පුත්‍රයා වූ චොංසොං අධිරාජයා විසින් චං'අන් අගනුවර අසල ලියෑං කන්දේ ක්වියෑන්ලිං සොහොන්ගැබ තුළ වූ ‍සේටියෑන් සහ ඔහුගේ පියා වූ ගඔෂොං අධිරාජයා හට හවුල් භූමදානයක් ලබාදෙන ලදී. මීට අමතරව චොංසොං අධිරාජයා විසින් වූ සේටියෑන්ගේ කෝපයට ලක්වූ සිය සොහොයුරා වූ ලි ෂියෑන්, පුත් ලි චොංරුන්, සහ දියණිය ලි ෂියෑන්හුයි (李仙蕙) හෙවත් යොංතායි ආර්යාව (මරණාපරව යොංතායි කුමරිය ලෙස ගෞරව කෙරිණි) ගේ දේහයන් ද ක්වියෑන්ලිං සොහොන්ගැබේම භූමදාන කරවන ලදී.

චෞ රාජවංශයසංස්කරණය

වූ සේටියෑන් අධිරාජිනිය විසින් තමන්ව "චෞ රාජවංශයේ" පාලකයා ලෙස හඳුන්වාගන්නා ලදී. මෙය ඓතිහාසික චෞ රාජවංශයේ (ක්‍රි.පූ. 1046–256) නාමය අනුව යොදන ලද්දකි. මේ නිසා ක්‍රි.ව. 690 සිට 705 දක්වා කාලය තුළ චීන අධිරාජ්‍යය චෞ රාජවංශය ලෙස හැඳින්විණි. සම්ප්‍රදායික ඓතිහාසික දැක්ම අනුව වූගේ "චෞ රාජවංශය" රාජවංශයක් ලෙස සලකා ඇත්තේ, රාජවංශයක අනුප්‍ර“ප්තික පාලකයින් එකම පවුලකින් පැවත එන බව සැලකීමෙනි. වූගේ "චෞ රාජවංශය" පිහිටුවන ලද්දේ ඇය විසින් වන අතර, එය අවසන් වූයේ ඇගේ ජීවිත කාලය තුළ දී ම, ඇගේ සිහසුන අත්හැරීම (705) සමගයි. නමුත් මෙය සම්ප්‍රදායික රාජවංශයක් පිළිබඳ සංකල්පය හා නොගැළපේ. විකල්ප මතයක් නම්, වූගේ "චෞ රාජවංශය" යනු වසර දහස් ගණනකට පෙර පැවති ජි පවුල විසින් පාලනය ගෙනගියේ යැයි (අවම වශයෙන් නාමිකව හෝ) සැලකෙන ඓතිහාසිකව චෞ රාජවංශයේ පුනරාගමනයක් බවයි. නමුත් චෞ රාජවංශය පිළිබඳ ලබාදිය හැකි හොඳම අර්ථකථනය නම්, එය සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගත් රාජවංශයක් නොව ලි පවුලේ ටෑං රාජවංශයේ කෙටි අතුරු බිඳීම් යුගයක් ලෙසයි. නව රාජවංශයක් පිහිටුවීමේ ඇගේ ප්‍රකාශයට එකල තරමක විරෝධයක් එල්ල විය. (690)[46] වූ සේටියෑන් සිය "චෞ රාජවංශය" ලෙස පිහිටුවූ පහළොස් වර්ෂ පාලන සමයට, සැබැවින්ම අඩ සියවසකට ආසන්න කාලයක් පැවති නිල නොවන පාලන සමය (654–705 පමණ) ඇතුළත් කළ යුතු ද යන්න විවාදිත ය.[47] මෙම සන්දර්භය අනුව, ඇය අධිරාජයා වශයෙන් වෙසෙන නව රාජවංශයක් ගොඩනැගීම ඇගේ දේශපාලන දිවියේ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැක. වූ සේටියෑන්ගේ පහළොස් වර්ෂ චෞ රාජවංශය ඊටම අනන්‍ය වැදගත් ලක්ෂණවලින් හෙබි වුවත්, ඒවා අඩ සියවසකට ආසන්න කාලයක් නිල මෙන්ම ‍නිල නොවන වශයෙන් ද බලය හෙබවූ ඇගේ පාලන සමයෙන් වෙන්කර දැක්විය නොහැක.

රාජ්‍ය බලය ශක්තිමත් කිරීමේ වූ සේටියෑන්ගේ ක්‍රියාන්විතය චරපුරුෂ ක්‍රමය මත බෙහෙවින් රඳා පැවතිණි. මර්දනය කළ යුතු පුද්ගලයින් ඉවත් කිරීමට ඇය විසින් මෙම තොරතුරු උපයෝගී කරගන්නා ලදී. 697දී උච්චස්ථානයට පත් මෙම ක්‍රියාවලියේ දී, විවිධ වංශවත් පවුල් සහ විද්වතුන් ධුරයෙන් පහත හෙළීම, පිටුවහල් කිරීම, හෝ ඝාතනය කිරීම මෙන්ම ඔවුන්ගේ පුත්‍රයින් නිපයන් දැරීම වළක්වාලීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කෙරිණි.[48]

වූගේ ආධිපත්‍යයට නතු වූ එක් ක්ෂේත්‍රයක් වූයේ රාජකීය විභාගයයි. මෙහි මූලික ක්‍රමවේදය වූයේ හොඳින් අධ්‍යාපනය හදාළ, දක්ෂ සහ සිය වගකීම් නිසි අයුරින් ඉටුකළ හැකි මිනිසුන් තෝරාගැනීමයි. අපේක්ෂකයින් සමූහයක් අතුරින් මෙලෙස ඔවුන් තෝරාගැනිණි. මෙම සමූහයට ඇතුළත් වූයේ පුරුෂයින් පමණකි. වූ බලයට පැමිණෙන විට සුදුසුකම් සපුරන ලද අපේක්ෂකයින් අතුරින් රාජ්‍ය සේවයට බඳවා ගැනුණේ අපේක්ෂකයින් සුළු පිරිසකි. මෙහි විභාගවල දී රජයේ නිලධාරීවාදී පාලන ව්‍යූහය පවත්වා ගැනීමට වැදගත් යැයි සැලකුණු කරුණු පරීක්ෂා කර බැලීම සිදු විය. රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අපේක්ෂිත පුද්ගලයින්ගේ ලිවීමේ සහ කියවීමට තිබූ ශක්‍යතා මට්ටම, කොන්ෆියුසියානු ඉගැන්වීම් වැනි රාජ්‍ය නිලධාරියකුට උචිත යැයි හැඟුණු විශේෂිත දැනුම මෙහි දී පිරික්සා බැලිණි. සිවිල් සේවකයින් බඳවා ගැනීමේ දී රාජකීය විභාග ක්‍රමය අනුගමනය කළ වූ සේටියෑන් එයට නව වෙනස්කම් රැසක් හඳුන්වා දුන්නා ය. එය ඇගෙන් පසු ඉදිරි අධිරජවරුන් විසින් පවා අනුගමනය කරන ලදී. මේ අතරට මුලින් පසුබිම සැලකිල්ලට ගනිමින් නුසුදුස්සන් යැයි සැලකුණු සාමාන්‍ය වැසියන් සහ වංශවතුන්ට ද විභාගයට පෙනී සිටීමට අවසර දී විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි කිරීම ප්‍රධාන වේ. 693දී ඇය විසින් රජයේ විභාග ක්‍රමය පුළුල් කිරීමේ අරමුණ ඇතිව නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදය දියුණු කළා ය.[33] වයඹදිග වංශවත් පවුල්වලට (මින් බොහෝමයක් පිරිස ඇය විසින් විනාශ කර දමන ලදී) වඩා වූ අධිරැජිනිය උතුරු චීන තැන්නේ ජනයාට රජය වෙනුවෙන් පෙනීසිටීමේ අවස්ථාව සලසා දුන්නා ය. මෙම විභාග ක්‍රමය ඔස්සේ තේරී පත්වූ සාර්ථක අපේක්ෂකයින්ට ඇගේ රජයේ සුවිශේෂ ස්ථානයක් හිමි විය.[49] මීට පෙර සමාජ පසුබිම හේතුවෙන් ප්‍රජා අයිතිය අහෝසි කර තිබූ පුද්ගලයින් මාලිගයේ වැදගත් නිලධාරීන් බවට පත්වීම හා සම්බන්ධ ඓතිහාසික සිදුවීම් මෙන්ම එහි දී විභාග ක්‍රමයේ කාර්යභාරය ද විද්වතුන්ගේ මතභේදයට තුඩු දී ඇත.

වූ සේටියෑන් සිය බලයට තර්ජනයක් වූ බොහෝ දක්ෂ සහ සූක්ෂ්ම සතුරන් මර්දනය කිරීමේ දී මරණයට පත් කිරීම (මරණ දඬුවම පැනවීම, සිය දිවි හානි කරගැනීමට නියෝග කිරීම, හෝ වඩාත් හෝ මඳ වශයෙන් ඍජුව මිනිසුන් මරා දැමීම වැනි), ධුරයෙන් පහත හෙළීම, සහ පිටුවහල් කිරීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළා ය. මින් බොහෝ නියෝග ඉටුකරන ලද්දේ ඇගේ රහස් පොලීසිය මගිනි. මෙම ආයතනය වාඕ ගන්ජුන් සහ ලායි ජුන්චෙන් වැනි පුද්ගලයින්ගෙන් සමන්විත විය. මොවුන් විසින් සම්පාදනය කළේ යැයි විශ්වාස කෙරෙන චෝදනා අත්පොත නම් ග්‍රන්ථයේ ප්‍රශ්න කිරීමේ සහ වධ හිංසා පැමිණවීමෙන් පාපොච්චාරණ ලබා ගන්නා ක්‍රම විස්තර කොට ඇත. මින් එක් ක්‍රමයක් වන, "මියෙන සූකරයාගේ දොම්නස" (死猪愁),[50] මගින් විස්තර වන්නේ වධහිංසන උපකරණයක් මගින් ඇතිවන වේදනාවන් පිළිබඳවයි. මෙය වූගේ මරණින් පසුව හමුවන ලු චි අධිරාජිනිය විසින් මෙහෙයවන ලද වධහිංසා ක්‍රමයක් වූ "මිනිස් සූකර" කථාව හා සම්බන්ධ කොට දක්වා ඇති බව පෙනේ. එහි දී සිරකරුවන්ගේ ගාත්‍රා සහ දිව ඡේදනය කොට ඔවුනට බලෙන් කවනු ලැබූ අතර, ඔවුන්ගේම මළපහ මත වැතිර සිටීමට දමායන ලදී.

වූ හට ප්‍රතිවාදීන් රැසක් විය. මින් බොහෝමයක් ඇගේම පවුලේ හෝ ඇගේ පවුලට පසුව එකතු වූ සාමාජිකයන් ය. ඇයව බලයෙන් නෙරපීමට දැරූ උත්සාහයකට පළිගැනීමක් වශයෙන් 684දී ඇය විසින් රාජකීය පවුලේ සමපාර්ශ්වික ශාඛාවල සාමාජිකයන් දොළොස් දෙනකු සංහාරය කරන ලදී.[48] මීට අමතරව ඇය, ක්වින් රාජවංශ සමයේ සිට පැවත එන චීනයේ පුරාතන බල තුල්‍යතාව මඳක් වෙනස් කළා ය. ක්වින් රාජ්‍ය‍යට අයත්ව තිබූ පැරණි භූමිය පසුව ගුවාංචොං ලෙස හැඳින්විණි. මෙහි සාහිත්‍යමය අරුත "කඳු දුර්ගවලින් වටවූ පෙදෙස" යන්නයි. වයඹදිග චීනයේ මෙම පෙදෙසේ සිට ක්වින්හි යිං පවුල නැගීසිට චීනය එක්සත් කොට ඉතිහාසයේ පළමුවරට එහි අධිරාජ්‍යය බිහි කරන ලදී. හන් රාජවංශ සමයේ, සිමා ක්වියෑන් ඔහුගේ ෂිජි තුළ සඳහන් කරන්නේ ගුවාංචොං පෙදෙසේ චීනයේ ජනගහනයෙන් දහයෙන් තුනක් විසූ බවත්, රාජ්‍යයේ ධනයෙන් දහයෙන් හයක් සංකේන්ද්‍රගතව පැවති බවත් ය.[51] මීට අමතරව, වූ සේටියෑන් බලයට පත්වන විටත්, ගුවාංචොං ප්‍රදේශය වඩාත් බලවත් වංශවත් පවුල්වලින් සමන්විත විය. චීනයේ සෙසු ප්‍රදේශවල ආර්ථික වර්ධනය නිසා එම ප්‍රදේශවල ද ධනවත් පවුල් බිහිවෙමින් පැවතිණි. කෙසේනමුත්, ගුවාංචොං වංශවතුන් සිය පාලන ප්‍රදේශ අත්හැරීමට ද සූදානමක් නොතිබිණි. මෙකල උතුරු චීන තැන්න හෙවත් හුබෙයි වැනි සෙසු ප්‍රදේශවල විසූ නව ධනවත් පවුල් ජාතික බල ව්‍යාප්තියට දායකත්වයක් දැක්වීමට අපේක්ෂාවෙන් සිටියහ. වූ සේටියෑන්ගේ බොහෝ ප්‍රතිවාදීන් වයඹදිග චීනයේ ගුවාංචොං පවුල්වල සාමාජිකයන් ද විය. මේ නිසා ඇය ඔවුන්ව යටපත් කළේ , වරප්‍රසාද අඩු පවුල් කෙරෙහි සිය අවධානය යොමු කරමිනි. මේ නිසා බොහෝ දක්ෂ නමුත් වංශවතුන් නොවූ නිලධාරීන්ගේ පදවි ඉහළට ඔසවා තැබිණි. මෙය බොහෝවිට විභාග ක්‍රමය ඔස්සේ සිදු විය.[52] ඇයගේ ප්‍රසාදය ලත් බොහෝ දෙනා උතුරු චීන තැන්නෙන් සම්භවය වූවන් ය.[53] තමන්ට පක්ෂපාතී නොවූ වංශවතුන්ගේ බලය කප්පාදු කිරීමේ ක්‍රියාවලියේ දී, වූ සේටියෑන් විසින් තමන්ට පක්ෂපාතී ප්‍රතිශෝධිත චීන රදළ පන්තියක් බිහි කළා ය. ඇගේ මෙවැනි ප්‍රධාන සමාජ විප්ලවයන් නූතන ඉතිහාසඥයන්ගේ පවා පැසසුමට ලක්වී ඇත.

 
වූ සේටියෑන් රාජ්‍ය සමයට අයත් මෛත්‍රෙය බෝධිසත්ත්ව ප්‍රතිමාවක්

වූ සේටියෑන් සිය බලය වර්ධනය කරගැනීමේ දී බෞද්ධ, දාඕයිස්ත, සහ කොන්ෆියුසියානු පිළිවෙත් අනුගමනය කළා ය. ඇතැම්විට මෙය දෙව්ලොව වරම හා අනුරූප යැයි සිතිය හැක. එසේම මායාකර්ම සහ හූනියම් වැනි ක්‍රමවේද ද අනුගමනය කළ අවස්ථා දක්නට ලැබේ. වූ අධිරැජිනිය ආගමික සහ රාජකීය කටයුතු සංකේතාත්මකව මෙහෙයවන්නට පටන්ගත්තේ ඇය හුවාංඩි ධරයට පත්වීමට බොහෝ කලකට පෙර සිටයි. ඉන් එක් අවස්ථාවක් ලෙස 666දී ටායි කන්දේ පූජාව දැක්විය හැක. එහි දී ගඔෂොං අධිරාජයා ටායි කන්දේ දී දෙව්ලොව සහ පෘථිවියේ දෙවිවරුන්ට පූජාවන් සිදුකළ අවස්ථාවේ, වූ අධිරාජිනිය ඔහුගෙන් පසු පූජා කටයුතු සිදුකළා ය. මෙය පෙර නොපැවති සිදුවීමකි. ඇගෙන් පසුව ගඔෂොං අධිරාජයාගේ සොයුරා වන යුඒ හි කුමාර ලි චෙන්ගේ මැණියන් වූ යැන් වන්දඹු කුමරිය පූජාවන් පැවැත්වූවා ය.[29] ටයිෂාන් මුදුන වෙත වූ සේටියෑන්ගේ කාන්තාවන්ගේ පෙරහැර පැහැදිළිවම වූ සහ චීන අධිරාජ්‍යයේ පූජනීය සම්ප්‍රදායික චාරිත්‍ර සම්බන්ධ කළ බැව් පෙනේ.[48]

වූ සේටියෑන්ගේ බොහෝ ක්‍රියාමාර්ග ජනප්‍රිය ඒවා විය. මේ නිසා ඇයට ඇගේ පාලනයට ජනතා සහාය ලබාගැනීම පහසු විය. වූ සේටියෑන් සිහසුනට පත්වූයේ චීනයේ ජනතාව සාමාන්‍යයෙන් තෘප්තිමත්ව සිටි, පරිපාලනය හොඳින් පැවති, සහ සශ්‍රීකවත් වෙමින් පැවති ආර්ථිකයක් සහිත යුගයකයි.[13] ජනතාව කෙරෙහි සැලකිලිමත්ව කටයුතු කළ වූ සේටියෑන්ගේ පාලන සමය ද එවැනි යුගයකි. ඇය විශ්වාස කළේ නිදහස්, යැපුම් ගොවීන් ඔවුන්ගේම වගාබිම්වල වගාකරනු දැකීමටයි. මේ නිසා ඇය සමාන-භූමි ක්‍රමයක් අනුගමනය කරමින්, යාවත්කාලීන කළ සංඛ්‍යාලේඛන අනුසාරයෙන් සාධාරණ ලෙස ජනයාට ඉඩම් බෙදා දුන්නා ය.[49] ඇගේ සාර්ථකත්වයන් බොහෝමයක් ඇගේ විවිධ රාජාඥාවන් (මේ අතර ඇගේ "අනුග්‍රහයේ රාජාඥා" ලෙස හඳුන්වන ආඥා ද වේ) නිසා ලත් ජයග්‍රහණ වේ. මේ නිසා විවිධ සහනාධාර මගින් පහළ පන්තිවල ජනයාගේ අවශ්‍යතා ඉටුකරලීමට හැකි විය. සිවිල් සේවාව පුළුල් කිරීම හේතුවෙන් පෙර වරප්‍රසාද අහිමිව තිබූ සාමාන්‍ය වැසියනට පවා රාජ්‍ය සේවයට ඇතුළු වී ගෞරවාන්විත පදවි ලබාගැනීමට හැකි විය.[11]

සිය පදවියේ බලය වැඩි කරගැනීමට වූ සේටියෑන් සිය යුධ ඥානය ද උපයෝගී කරගත්තා ය. ස්වයං උපකාරක සෙබල-ගොවි ජනපදවල ඇය ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති හේතුවෙන් ඇගේ රජයේ හමුදා අවම වියදමකින් නඩත්තු කළ හැකි විය.[49] මීට අමතරව සිය අධිරාජ්‍යය මධ්‍ය ආසියාව දක්වා ව්‍යාප්ත කරලීමට ඇය යුද්ධෝපාය ක්‍රියාමාර්ග අනුගමනය කළා ය. නමුත් ටිබෙටය සහ වයඹදිග පෙදෙස්වලින් අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහයන් එතරම් සාර්ථක වූයේ නැත. ගොගුර්යෝ රාජ්‍යයට එරෙහි සටනේ දී කොරියාවේ සිල්ලා රාජධානිය සමග ඇය මිත්‍ර වූයේ ගොගුර්යෝවේ භූමිය සිල්ලාවට ලබාදෙන බව පවසමිනි. ගොගුර්යෝව පරාජය කොට එය අත්පත් කරගැනීමෙන් පසුව, චීන හමුදා සිල්ලා රාජ්‍යය ආක්‍රමණය කිරීමට උත්සාහ දැරූහ. චීන පාලකයන්ගේ රැවටීම කෙරෙහි කෝප වූ සිල්ලා රාජ්‍යය, ගොගුර්යෝව සහ බෙක්ජේ රාජ්‍ය සමග මිත්‍ර වී සිය පැරණි සතුරාව අර්ධද්වීපයෙන් පලවා හැරීමට සමත් විය. හොං පවසන්නේ සිල්ලාවට සාර්ථක විය හැකිවූයේ වූ අධිරැජිනිය ටිබෙටය වෙත සිය අවධානය යොමු කිරීමත්, කොරියානු අර්ධද්වීපයේ සිටි ඇගේ හමුදාවලට සැපයුම් හිග වීමත් නිසා බවයි.[54] ටිබෙට්වරුන්ට සහ තුර්කිවරුන්ට එරෙහිව ජයග්‍රහණයන් රැසක් ලබාගත් නමුත්,[55] 694දී, ටිබෙට්-බටහිර තුර්කි සන්ධානය හේතුවෙන් වූගේ හමුදා තීරණාත්මක පරාජයක් ලැබී ය. 668දී අහිමි වූ ආන්ෂිහි බලකොටු සතර යළි සියතට ගන්නට එම සන්ධානය සමත් විය.[56]

මේ අතර, අරාබිවරුන් විසින් සැසනියානු අධිරාජ්‍යය පරාජය කිරීමත් සමග, 651දී, පළමු අරාබි තානාපතිවරයා චීනය වෙත පැමිණියේ ය.[13]

සාහිත්‍යයසංස්කරණය

උතුරු දොරටු විද්වතුන්සංස්කරණය

ගඔෂොං අධිරාජයාගේ අවසන් සමයේ වූ අධිරැජිනිය තමන් වෙනුවෙන් ගන්ථ රචනා කිරීමට යුවාන් වැන්ක්විං (元萬頃), ලියු යිචි, ෆැන් ලූබිං, මියාඕ චුකේ (苗楚客), චෞ සිමාඕ (周思茂), සහ හැන් චුබින් (韓楚賓) යන සාහිත්‍යමය දක්ෂතාවන්ගෙන් යුත් මධ්‍යම පාන්තික නිලධාරීන් යොදවා ගත්තා ය. මෙහි දී රචිත කෘති අතර, විශිෂ්ට කාන්තාවන්ගේ චරිතාපදාන (列女傳), රාජකීය විෂයයන් සඳහා මාර්ගසූචක (臣軌), සහ නිල කාර්ය මණ්ඩල සාමාජිකයනට නව ඉගැන්වීම් (百僚新誡) යන ග්‍රන්ථ වැදගත් වේ. සමූහයන් වශයෙන් ගත් කළ මෙම ලේඛක මණ්ඩලය "උතුරු දොරටු විද්වතුන්" (北門學士) ලෙස ප්‍රකට විය. එයට හේතුව ඔවුන් සේවය කළේ රාජකීය පරිපාලන ගොඩනැගිලිවලට උතුරින් පිහිටි මාලිගය තුළ වීමයි. අමාත්‍යවරුන්ගේ බලය වෙනතකට හැරවීමට වූ අධිරැජිනිය ඔවුන්ගෙන් උපදෙස් ලබාගත්තා ය.[31]

"යෝජනා දොළස"සංස්කරණය

675 නව වර්ෂය අවට, වූ අධිරාජිනිය යෝජනා දොළහක් ඉදිරිපත් කළා ය. ඉන් එකක් නම් ලාඕසි (ඔහුගේ පවුල් නාමය ලි වන අතර, ටෑං රාජකීය පෙළපත සිය මුතුන්මිත්තන් ලෙස ඔවුන්ව සලකා ඇත) ගේ කෘතියක් වන ටාඕ ටේ චිං කෘතිය රාජකීය සිරසවි සිසුන්ට නිර්දිෂ්ට ග්‍රන්ථයක් බවට පත්කළ යුතු බවයි. තවත් යෝජනාවක් වූයේ පියා ජීවත්ව නොසිටින අවස්ථාවල පමණක් නොව සෙසු අවස්ථාවල දීත්, මවකගේ මරණය වෙනුවෙන් වර්ෂ තුනක ශෝක කාලයක් ප්‍රකාශ කළ යුතු බවයි. ඇගේ යෝජනා අගය කළ ගඔෂොං අධිරාජයා ඒවා ක්‍රියාත්මක කළේ ය.[31]

විකරණය කළ චීන අක්ෂරසංස්කරණය

 
"චාඕ" යන විකරණය කළ අක්ෂරයේ පළමු ප්‍රභේදය
 
"චාඕ" යන විකරණය කළ අක්ෂරයේ දෙවන ප්‍රභේදය
 
චෞහි ලිං රජුගේ කිරුළහිමි කුමරුන් වූ, ජි ජින් (姬晉) වෙනුවෙන් කැපකළ වූ සේටියෑන් යුගයට අයත් ශිලා ස්තම්භයක පාඨයක්; ජනප්‍රවාද අනුව ජි ජින් දෙව්ලොව දෙවියකු වූ බැව් පැවසේ. වූ සේටියෑන් සමයේ විශ්වවේදය අනුව ඇගේ පෙම්වතා වූ චෑං චැංසොං ජි ජින්ගේ පුනරුත්පත්තියක් ලෙස සැලකිණි. මෙම ශිලාස්තම්භයේ භාවිතා වී ඇති පෙළ ඇය විසින් හඳුන්වා දුන් විකරණය කළ චීන අක්ෂර භාවිතයෙන් ලියා ඇත.

690දී, වූ වැන්දඹු අධිරාජිනියගේ ඥාති පුත්‍රයා වූ සොං ක්වින්කේ විසින් වූ අධිරාජිනියගේ විශිෂ්ටත්වය නිරූපණය කිරීමේ අරමුණින් යුතුව විකරණය කළ චීන අක්ෂර ගණනාවක් හඳුන්වා දෙන ලදී. ඒවා භාවිත කළ ඇය, එක් විකරණය කළ චීන අක්ෂරයක් වූ චාඕ (曌) යන්න ඇගේ නිල නාමය (එනම් මෙම නම භාවිතා කිරීම ජනයාට තහනම් විය) ලෙස යොදාගත්තා ය. 曌 යන්න සෑදුණේ වෙනත් අක්ෂර දෙකක් සංයුක්ත කිරීමෙනි. එනම්: "ආලෝකය" හෝ "නිර්මලභාවය" යන අරුතැති මිං (明) අක්ෂරය මුදුනටත්, "අහස" යන අරුතැති කොං (空) අක්ෂරය පහළටත් යෙදීමෙනි. මින් ගම්‍ය වන්නේ ඇය අහසේ දිදුලන ආලෝකය බඳුය යන්නයි. (曌 අක්ෂරය සම්භවය වූ "දිදුලන" යන අරුතැති චාඕ (照) යන්න ඇතැම්විට ඇගේ සැබෑ නාමය ද වන්නට ඇත. නමුත් මේ පිළිබඳ පැහැදිළි සාක්ෂි හමු නොවේ.)[5] පසුව, එම වර්ෂයේම, පහළ පෙළේ නිලධාරියකු වන ෆු යෞයි විසින් ආරම්භ කළ පෙත්සමක් මගින් ඇයට සිහසුන හිමි කරගන්නා ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ, රුයිෂොං අධිරාජයා විසින් වූ නාමය ද භාවිතා කරන ලදී. 690 අගෝස්තු 18 දින,[1] ඇය එම ඉල්ලීම පිළිගත්තා ය. රාජ්‍යයේ නම චෞ ලෙස වෙනස් කළ ඇය, චෞ රාජවංශයේ පෙළපත ප්‍රකාශ කරමින් රාජ්‍ය කරන අධිරාජිනිය (ෂෙංෂෙන් රජකරන අධිරාජිනිය (聖神皇帝) යන පදවිය සමග, සාහිත්‍යමය "දිව්‍යමය සහ පූජනීය අධිරාජයා හෝ රජකරන අධිරාජිනිය") ලෙස සිහසුනට පත්වූවා ය. රුයිෂොං අධිරාජයාව ධුරයෙන් ඉවත් කෙරුණු අතර, ඔහුව කිරුළහිමි කුමරු තනතුරට පත්කොට හුවාංසි (皇嗣) යන පදවි නාමය ලබා දෙන ලදී.[36] මෙලෙසින් ටෑං රාජවංශයේ අතුරුබිඳුම් යුගයක දී, ඇය රජකරන අධිරාජිනිය ලෙස චීනය පාලනය කළ ප්‍රථම (සහ එකම) කාන්තාව බවට පත්වූවා ය.[57]

කාව්‍ය ශාස්ත්‍රයසංස්කරණය

ඇගේම සාහිත්‍ය කෘතීන්වලට අමතරව, වූ සේටියෑන්ගේ රාජසභාව නිර්මාණශීලී සාහිත්‍ය මධ්‍යස්ථානයක් බඳු විය. වූගේ කාව්‍ය හතළිස් හයක් ක්වාන් ටැංෂි "රැස් කළ ටෑං කාව්‍ය" කෘතිය තුළත්, ඇගේ නාමය යටතේ වන රචනා හැට එකක් ක්වාන් ටැංවෙන් "රැස් කළ ටෑං රචනා" කෘතිය තුළත් ඇතුළත් කොට ඇත.[58] මෙම ලේඛන අතුරින් බොහෝමයක් දේශපාලන අරමුණින් ලියා ඇති මුත්, සිය මියගිය මෑණියන් යළි දැකගැනීමට නොහැකි වීම පිළිබඳ ශෝකයෙන් යුතුව ලියැවුණු කවියක් ද හමුවේ.

වූ ‍සේටියෑන්ගේ රාජ්‍ය සමයේ රාජ මාලිගයේ නිර්මාණය වූ බොහෝ කෘතීන්වලට ඇය සිය අනුග්‍රහය දැක්වූවා ය. මීට උදාහරණක් ලෙස ඇගේ මාලිගයේ කාව්‍ය සංග්‍රහය වූ චුයිං ජි "අගනා ආශ්චර්යයන්ගේ එකතුව" දැක්විය හැක. මෙහි කුයි රොං, ලි ජියාඕ, චෑං යුඒ, සහ සෙස්සන් විසින් රචනා කරන ලද කාව්‍යයන් ඇතුළත් වේ. මේවා ඔවුන් මාලිගයේ දැරූ නිලය අනුව පෙළගස්වා ඇත.[59] වූ සේටියෑන් (සහ ඇගේ රාජ සභාව පැවති) රාජ්‍ය සමයේ සිදුවූ සාහිත්‍යමය ප්‍රගමනයන් ලෙස සොං චිවෙන් සහ ෂෙන් ක්වාන්කි විසින් සිදුකළ විධිමත් පද්‍යවල (ජින්ටිෂි) "නව ආරේ" අවසන් ශෛලීය සංවර්ධනය සැලකෙයි.

වූ සේටියෑන් විසින් සුප්‍රකට කාන්තාවන්ගේ චරිතාපදාන එකතුව නිර්මාණය කරලීමට විද්වතුන්ට අනුග්‍රහය ද දක්වන ලදී.[48] අද අප ටෑං කාව්‍ය ශාස්ත්‍රයේ ලක්ෂණයන් යැයි සලකන දෙය සංවර්ධනයට මුල්වූයේ යැයි පැවසෙන්නේ වූගේ අමාත්‍යවරයකු වූ චෙන් සි'ඈන්ග් ය.[60]

සාහිත්‍යමය ව්‍යංගයන්සංස්කරණය

වූ සේටියෑන්ගේ දිවියේ සිදුවීම් සලකා බැලීමේ දී, ඇයව බොහෝදෙනා නොයෙකුත් අයුරින් විස්තර කොට ඇත. සිය සීමාවන් නුසුදුසු ලෙස ඉක්මවා ගිය තැනැත්තියක, අනුකම්පාවක් පිළිබඳ වහසි බස් දොඩමින් යම් ආකාරයක දේශපාලන දූෂණයක නිරතවූ තැනැත්තියක, කෲර තැනැත්තියක යනාදී වශයෙන් ඇයව හඳුන්වා තිබේ. සියවස් ගණනාවක් පුරා, වූ අධිරැජිනියව සිහිපත් කෙරුණේ කාන්තාවක අධිපතිනියකව සිටින ස්ථානයක සිදුවිය හැකි වැරදි සඳහා උදාහරණයක් ලෙස ය.

ඇය කෙරෙහි එල්ල වූ එවැනි ලිංගවාදී ප්‍රතිරෝධය සිහිපත් කෙරුණු අවස්ථාවක් ලෙස 1960 දශකයේ පසුකාලයේ මාඕ සේදොංගේ බිරිඳ වූ ජියෑං ක්විං විසින් සිය රෝගී සැමියා වෙනුවෙන් අනුප්‍රාප්තිකයා ලෙස කටයුතු කරන බව හඟවන ප්‍රචාරක වැඩසටහනක දී වූ අධිරැජිනියව සිහි ගැන්වීම දැක්විය හැක.

බ්‍රිතාන්‍ය කතුවරයකු වන ජොනතන් ක්ලෙමන්ට්ස් සිය වූ නැමැති චරිතාපදානය තුළ සඳහන් කරන්නේ මෙලෙස ඓතිහාසික චරිතයක් පිළිබඳ අයෝග්‍ය අයුරින් සඳහන් කිරීම භින්නෝන්මාදීය හෝ හිස්ටීරිය රෝග ලක්ෂණයක් බවයි. බොහෝ ප්‍රකාශිත වස දීම් සහ වෙනත් සිදුවීම් (උදාහරණයක් ලෙස ඇගේ බිළිඳු දියණියගේ මරණයට වැනි) සඳහා සහේතුක විස්තර කිරීම් ඇතිමුත් ඇගේ පසුකාලීන ප්‍රතිවාදීන් විසින් ඒවා විකෘති කොට දක්වා ඇති බවයි, ඔහුගේ අදහස වන්නේ.

ඇගයීමසංස්කරණය

උද්ධෘතසංස්කරණය

වූ සේටියෑන් අධිරැජිනිය පිළිබඳ ඇති සම්ප්‍රදායික චීන ඓතිහාසික අදහස මිශ්‍ර එකකි. එහි දී රාජ්‍ය පාලනයට ඇය දැක්වූ දක්ෂතාව අගය කොට ඇති අතර, රාජ්‍ය බලය ලබා ගැනීමට ඇය අනුගමනය කළ ක්‍රියාමාර්ග විවේචනයට ලක්කොට ඇත. ලි ජිංයේගේ කැරැල්ලට පක්ෂව අදහස් දක්වන ලුවෝ බින්වං පවා ඉහත අයුරින් ඇය පිළිබඳ සඳහන් කොට තිබේ. ඇය පිළිබඳ දර්ශීය විවරණයක් ටෑංහි පැරණි ග්‍රන්ථයේ ප්‍රධාන සංස්කාරක පසුකාලීන ජින් රාජවංශයේ ඉතිහාසඥ ලියු ෂු මෙසේ සඳහන් කරයි:[61]

වූ ආර්යාව තමන්වම අනුරාජයා ලෙස ප්‍රකාශ කළ වර්ෂයේ, මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ වීරවරුන් ශෝක වන්නට වූ අතර, රාජවංශය බිඳවැටේ යැයි ඔවුහු බියවූහ. තමන්ට මියගිය අධිරාජයාට [එනම්, ගඔෂොං අධිරාජයා] ගෞරව දැක්වීමටත්, ඔහුගේ පුතුන් ආරක්ෂා කරගැනීමටත් නොහැකි වේදැයි ඔවුහු සිතන්නට වූහ. ඉන් මඳ කලකට පසු, චෝදනා රැසක් නැගෙන්නට විය. බොහෝ අහිංසක ජනයාට අසත්‍ය චෝදනා එල්ල වූ අතර, සිය මරණ දඬවම ලැබෙන තෙක් ඔවුහු ගෙල තබාගෙන උන්හ. දෙව්ලොව සහ පෘථිවිය සුවිසල් සිර මැදිරියක් වැනි විය. ඉන් එක් අයකු මිදුණ ද ඔහු යන්නේ කොතැනට ද? එය ශෝචනීය ය. අතීතයේ, නාසය වසා ගැනීමේ උපක්‍රමය[62] එහි ඇති කුරිරුභාවය නිසා ප්‍රකට විය. මිනිස් සූකරයාගේ[63] සිදුවීම ද මුළු රාජ්‍යයම ශෝකයේ ගිල්වී ය. අධිරාජිනිය බවට පත් වීම සඳහා වූ අධිරැජිනිය තමන්ගේම බිළිඳු දියණියගේ ගෙල සිරකර මරාදැමී ය. තමන්ගේම ලේ මස් මෙලෙස විනාශ කිරීමට පෙළඹීමෙන් ඇගේ කුරිරුභාවය සහ දුෂ්ට බව පෙනේ. කුරිරු පුද්ගලයින් සහ ඊර්ෂ්‍යාකාර ස්ත්‍රීන්ට මෙය නුහුරු දෙයක් නොවේ. කෙසේනමුත්, ඇය ධාර්මික පුද්ගලයින්ගේ වචනවලට ඇහුම්කන් දුන් අතර, අවංක පුද්ගලයින්ට ගරුකළා ය. ඇය හඬලන කිකිළියක මෙන් වුව ද, ක්‍රමිකව ඇය සිය පුත්‍රයාට යහපාලනය භාරකළා ය. ක්ෂණිකව වෙයි යුවාන්චොංගේ චෝදනා නිෂ්ප්‍රභ කළ ඇය, ඩි රෙන්ජියේව කාරුණික වදනින් සැනසුවා ය. කාලයාගේ කැමැත්තට ගරුකළ ඇය සි ප්‍රියතමයන් මර්දනය කොට තබාගත්තා ය. අවංක වදන්වලට ඇහුම්කන් දුන් ඇය රහස් පොලිස් නිලධාරීන්ගේ භීෂණය නිමා කළා ය. මෙය යහපත් ය; ඉතා යහපත් ය.

වූ සේටියෑන් පිළිබඳව වන නූතන පිළිගැනීමේ ද විවිධත්වයක් ඇති බව පහත චීන-නොවන කතුවරුන්ගේ ප්‍රකාශ තුළින් පෙනේ:

"වූ සේටියෑන් (690–705) යනු සුවිශේෂී කාන්තාවකි. ආකර්ෂණීය, සහජ දක්ෂතාව්නගෙන් හෙබි, දේශපාලනිකව විචක්ෂණශීලී ඇය පිරිමින් පිළිබඳ විශිෂ්ට නිගමනයකට එළඹීමේ හැකියාවෙන් යුතු වූවා ය. තනි අධිෂ්ඨානයෙන් නැගී සිටි ඇය ස්වෝත්සාහයෙන් කොන්ෆියුසියානු ස්ථාපනයේ බාධාවන් මැඬපැවැත්වූවා ය. සිය පවුල උපකාර කර නොගනිමින් මාලිග කාන්තාවන් අතර අනන්‍ය ස්ථානයක් හිමි කරගැනීමට ඇය සමත්වූවා ය.

"ඇගේ බලයට පත්වීම රුධිර වැගිරීම් මතින් සිදුවූවකි...." ඈන් පැලුඩන්[64]

"සම්ප්‍රදායික චීන ඉතිහාසඥයන්, ෂිහ් පන්තියේ සියලු සාමාජිකයින් බියට පත් කරමින්, ටෑංහි අඛණ්ඩ සාර්ථකත්වය මහා පරිමාණයෙන් ව්‍යාප්ත වන්නට වූයේ සිහසුන පැහැරගත් හිටපු-උපබිසවක නිසායි....ඇය ඇගේ සතුරන්ට රුදුරු වුව ද, ඇගේ රාජ්‍ය සමය චීනයට යහපත් එකක් විය. රජය දැඩි විය. කැරැලි ඇති නොවී ය. හමුදාව සහ පරිපාලනය අවභාවිත කිරීම් දක්නට නොවිණි. කොරියාව ඈඳා ගැනිණි. මෙය මින් පෙර චීනවරුන් නොලද ජයග්‍රහණයකි..." යොං යැප් කොටෙරල් සහ ආතර් කොටෙරල්.[52]

"චීනයේ එකම රාජ්‍ය පාලිකාව වූ වූ අධිරාජිනිය සුවිශේෂී හැකියාවන්ගෙන් යුත් දක්ෂ දේශපාලනඥවරියකි. නමුත් බලය රැකගැනීමට ඇය අනුගමනය කළ රෞද්‍ර සහ අයථා ක්‍රම පිරිමි වංශවතුන්ගේ අප්‍රසාදයට හේතු විය. එහි දී කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව වැඩි වූ අතර, විවිධ ආකාරවල දූෂණයන් පැතිර ගියේ ය..." ජෝන් කිං ෆෙයාබෑන්ක්[49]

කොන්ෆියුසියානු දෘෂ්ටිකෝණයසංස්කරණය

වූ සේටියෑන් අධිරැජිනියගේ රාජ්‍ය සමය කොන්ෆියුසියානු ඉතිහාසඥයින් විසින් දැඩිව විවේචනය කොට ඇත. නමුත් 1950 දශකයෙන් පසු ඇය කෙරෙහි යොමුවූයේ වෙනස්ම දෘෂ්ටි කෝණයකි.

ටෑං රාජවංශයේ මුල්කාලීන ස‍මයේ, සියලු අධිරාජවරුන්‍ ඇගෙන් ඍජුව පැවතෙන්නන් නිසා, වූ සේටියෑන් පිළිබඳ ධනාත්මකව ඇගයීම සිදු විය. අනතුරුව එළැඹි යුගවල දී, විශේෂයෙන්ම සිමා ගුවාංගේ සිචි ටොංජියෑන් ග්‍රන්ථය තුළ වූ සේටියෑන්ව දැඩිව විවේචනය කොට ඇත. දකුණු සොං රාජවංශය වන විට, නව-කොන්ෆියුසියානුවාදය චීනයේ දේශපාලනික දර්ශනය ලෙස දැඩිව මුල්බැසගත් අතර, එම චින්තනය අනුව වූ සේටියෑන් අගය කිරීම තීරණය විය.

යුග නාමයන්සංස්කරණය

චෞ රාජවංශය (690–705): සම්මුතිය: පෞද්ගලික නාමය භාවිතා කිරීම
විහාර නාමයන් පවුල් නාමය සහ පළමු නාමය රාජ්‍ය සමය යුග නාමයන් සහ අනුරූප දිනයන්
නැත වූ චාඕ (武曌) 690–705

ටියෑන්ෂෞ (天授): 16 ඔක්තෝබර් 690 – 21 අප්‍රේල් 692 (මාස 18)
රූයි (如意): 22 අප්‍රේල් – 22 ඔක්තෝබර් 692 (මාස 6)
චෑංෂෞ (長壽): 23 ඔක්තෝබර් 692 – 8 ජූනි 694 (මාස 19 ½)
යැන්සායි (延載): 9 ජූනි 694 – 21 ජනවාරි 695 (මාස 7 ½)
චෙංෂෙං (證聖): 22 ජනවාරි – 21 ඔක්තෝබර් 695 (මාස 9)
ටියෑව්සේවන්සුයි (天冊萬歲): 22 ඔක්තෝබර් 695 – 19 ජනවාරි 696 (මාස 3)
වැංසුයිඩෙංෆෙං (萬歲登封): 20 ජනවාරි – 21 අප්‍රේල් 696 (මාස 3)
වැන්සුයිතොංටියෑන් (萬歲通天): 22 අප්‍රේල් 696 – 28 සැප්තැම්බර් 697 (මාස 17)
ෂෙන්ගොං (神功): 29 සැප්තැම්බර් – 19 දෙසැම්බර් 697 (මාස 2 ½)
ෂෙංලි (聖曆): 20 දෙසැම්බර් 697 – 26 මැයි 700 (මාස 29)
ජියූෂි (久視): 27 මැයි 700 – 14 පෙබරවාරි 701 (මාස 8 ½)
දාසු (大足): 15 පෙබරවාරි – 25 නොවැම්බර් 701 (මාස 9 ½)
චංආන් (長安): 26 නොවැම්බර් 701 – 29 ජනවාරි 705 (මාස 38)
ෂෙන්ලොං (神龍): 30 ජනවාරි – 3 මාර්තු 705 (ක්‍රි.ව. 705 මාර්තු 3වන දින චෞ රාජවංශය අහෝසි කරන ලදී. එදිනම ටෑං රාජවංශය ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. නමුත් ෂෙන්ලොං යුග නාමය ක්‍රි.ව. 7-7 වන තෙක්ම චොංසොං අධිරාජයා විසින් භාවිතා කරන ලදී)

ඇගේ රාජ්‍ය සමයේ අමාත්‍යවරුන්සංස්කරණය

වූ සේටියෑන් විසින් පිහිටුවන ලද චෞ රාජවංශයේ ඇයට අමාත්‍යවරුන් බොහෝදෙනකු විය. ඉන් බොහෝ දෙනකු ඔවුන්ගේම අයිතියෙන් නැගී සිටි අය වේ. (සම්පූර්ණ ලැයිස්තුවක් සඳහා වූ සේටියෑන්ගේ අමාත්‍යවරුන් ලැයිස්තුව බලන්න)

පවුලසංස්කරණය

පෙළපතසංස්කරණය

මේවාත් බලන්නසංස්කරණය

සටහන් සහ ආශ්‍රේයයන්සංස්කරණය

  1. 1.0 1.1 http://www.sinica.edu.tw/ftms-bin/kiwi1/luso.sh?lstype=2&dyna=%AD%F0&king=%AAZ%A6Z&reign=%B8%FC%AA%EC&yy=1&ycanzi=&mm=9&dd=9&dcanzi=
  2. 660 අවට කාලයේ සිටම වූ අර්ධ වශයෙන් බලයේ රැඳී සිටි අතර, 665 ජනවාරියෙන් පසුව, ඇය බලය අතින් උච්චස්ථානයට පත් විය. 690 ඔක්තෝබර් 16 දින ඇය විසින් චෞ රාජවංශය පිහිටුවන ලදී. ඔක්තෝබර් 19 දින ඇය තමන්ව රජ කරන අධිරාජිනිය ලෙස ප්‍රකාශයට පත්කරන ලදී. එහිදී ඇය සිය පුත්‍රයා වූ රුයිෂොං අධිරාජයාකිරුළහිමි කුමරු පදවියට පහත හෙළා හුවාංසි (皇嗣) නැමැති අසාමාන්‍ය පදවිය ලබාදෙන ලදී.
  3. 3.0 3.1 http://www.sinica.edu.tw/ftms-bin/kiwi1/luso.sh?lstype=2&dyna=%AD%F0&king=%A4%A4%A9v&reign=%AF%AB%C0s&yy=1&ycanzi=&mm=1&dd=22&dcanzi=
  4. 705 පෙබරවාරි 20 දින මාලිගයේ කුමන්ත්‍රණයකින් ඇයට බලය අහිමි විය. පෙබරවාරි 22 දින ඇයට රාජකීය අධිකාරි බලය ඇගේ පුත්‍රයා වූ ලි ෂියෑන්ට භාර දීමට සිදු විය. පෙබරවාරි 23 දින ඔහු චොංසොං අධිරාජයා ලෙස සිහසුනට පත් විය. චෞ රාජවංශය අවසන් කරමින් මාර්තු 3 දින ටෑං රාජවංශය යළි ප්‍රතිෂ්ඨාපනය කරන ලදී.
  5. 5.0 5.1 689 දෙසැම්බර් මස, ඇගේ නෑනණ්ඩියගේ පුත්‍රයා වන සොං ක්වින්කේ නව අක්ෂර ගණනාවක් නිර්මාණය කළ අතර, ඉන් 曌 යන්න ඇය ඇගේ දෙන ලද නාමය ලෙස තෝරාගන්නා ලදී. ඒ අනුව ඊළඟ වර්ෂයේ ඇය සිහසුනට පත්වීමත් සමග එම නාමය භාවිතා කිරීම ජනතාවට තහනම් විය. ඇතැම් මූලාශ්‍ර සඳහන් කරන්නේ එම අක්ෂරය සැබැවින්ම ලියන ලද්දේ 瞾 ලෙස බවයි. සමහර මූලාශ්‍ර (උදා. සිචි ටොංජියෑන්හි බෝ යැං සංස්කරණය, වෙළුම්. 47–49) පවසන්නේ ඇගේ සැබෑ දෙන ලද නාමය චාඕ යන්න බවත්, 689දී ඇය විසින් එහි අක්ෂර පමණක් වෙනස් කළ බවත් ය. නමුත් මෙය ටෑංහි පැරණි ග්‍රන්ථය සහ ටෑංහි නව ග්‍රන්ථය යන මූලාශ්‍ර දෙකෙන් එකකවත් සඳහන් නොවේ. ඒවායේ ඇගේ සැබෑ නාමය ද දක්වා නැත. ඇගේ මුණුපුරා වූ ලි චොංචාඕ ඇතැම්විට ඇය අධිරාජයා බවට පත්වීමෙන් පසු සිය නාමය ලි චොංරුන් ලෙස වෙනස් කරගෙන ඇ‍ත්තේ ඇය විසින් පැනවූ නාම තහනම නිසා විය හැක. නමුත් ලි චොංචාඕගේ නාමයේ වූ "චාඕ" අක්ෂරය 照 යන්නයි. බලන්න ටෑංහි පැරණි ග්‍රන්ථය, වෙළු. 86 [1] සහ ටෑංහි නව ග්‍රන්ථය, වෙළු. 81.[2]
  6. 630 දශකයේ පසුකාලයේ ඇය මාලිගයට ඇතුළත් වීමෙන් පසු ටයිෂොං අධිරාජයා විසින් ඇයට මෙයිනියෑං යන නාමය ප්‍රදානය කරන ලදී. නමුත් බිසෝ තනතුරින් ඔසවා නොතබන ලදී.
  7. සේටියෑන් යනු 705 පෙබරවාරි මස ඇගේ පුත්‍රයා වූ ටෑංහි චොංසොං අධිරාජයා විසින් ප්‍රදානය කරන ලද ගෞරව නාමය (徽號) වන සේටියෑන් දිව්‍යමය රාජ්‍ය කරන අධිරාජිනිය (චීන:則天大聖皇帝) යන්නෙහි මුල් කොටසයි. මාස දහයකට පසුව ඇය මියයාමෙන් අනතුරුව ගෞරව නාමය භාවිතා විණි. නමුත් පසුකාලීනව ටෑං රාජවංශයේ ඇයව බොහෝ අවස්ථාවල "දිව්‍යමය අධිරාජිනිය" ලෙස හැඳින්විණි.
  8. ඇගේ මරණාපර නාමයේ අවසන් ස්වරූපය 749 ජූලි මස ප්‍රදානය කෙරිණි.
  9. ඇගේ මරණයට පෙර චෞ රාජවංශය අහෝසි කෙරිණි. මරණයේ දී ඇයව යළි වල්ලභ අධිරාජිනී තනතුරට පහත හෙලන ලදී. එම නිසා ඇයට වල්ලභ අධිරාජිනියන් මෙන් විහාර නාමයක් හිමිනොවිණි. රජකරන අධිරාජවරුන්ට මෙන් නොව ඇයට විහාර නාමයක් පිරිනොනැමිණි.
  10. 10.0 10.1 පොලර්ඩ්, එලිසබෙත් (2015). Worlds Together Worlds Apart. නිව් යෝක්, NY: ඩබ්. ඩබ්. නෝර්ටන් සමාගම. පි. 318. ISBN 978-0-393-91847-2. 
  11. 11.0 11.1 11.2 පැලුඩන්, 100
  12. බලන්න, උදාහරණයක් ලෙස, බෙක්විත්, 130, අං. 51
  13. 13.0 13.1 13.2 13.3 13.4 පැලුඩන්, 96
  14. 14.0 14.1 ටෑංහි නව ග්‍රන්ථය, වෙළු. 76
  15. සැබටිනි, මාරියෝ & සැන්ටැන්ජෙලෝ, පාඔලෝ (1986). Storia della Cina. Dalle origini alla fondazione della repubblica. රෝමය: එඩිටෝරි ලැටර්සා. පි. 294. 
  16. කොටෙරෙල් , 145
  17. 17.0 17.1 මෙහි දක්වා ඇති උපන් දිනය නිගමනය කොට ඇත්තේ ටෑංහි නව ග්‍රන්ථයේ දැක්වෙන ඇගේ මියයන විට වයස අනුව ය. මෙම ග්‍රන්ථය 1045–1060 අතර කාලයේ සම්පාදනය කෙරුණකි. මෙම ග්‍රන්ථය කෙරෙහි නූතන ඉතිහාසඥයන් සිය ප්‍රියතාවය පෙන්වන බව පෙනේ. නමුත් 941–945 අතර කාලයේ සම්පාදිත ටෑංහි පැරණි ග්‍රන්ථය තුළ දැක්වෙන මියයන විට ඇගේ වයස අනුව ඇගේ උපන් වර්ෂය ලෙස 623 ලැබේ. ඇය මාලිගයට ඇතුළු වූ වර්ෂය ලෙස 624 ලැබෙන්නේ සිචි ටොංජියෑන් නැමැති 1065–84 අතර කාලය තුළ සම්පාදිත ග්‍රන්ථයේ ය. ටෑංහි නව ග්‍රන්ථය, වෙළුම. 4 [3] සමග ‍ටෑංහි පැරණි ග්‍රන්ථය, වෙළුම. 6 [4] සහ සිචි ටොංජියෑන්, වෙළුම් 195, 208 සංසන්දනය කොට බලන්න.
  18. සාමාන්‍ය සටහන: මෙහි චක්වා ඇති දිනයන් ජූලියානු දින දර්ශනය අනුව වේ. ඒවා ග්‍රෙගරියානු දින දර්ශනය අනුව නොවන බව සලකන්න.
  19. 19.0 19.1 http://www.sinica.edu.tw/ftms-bin/kiwi1/luso.sh?lstype=2&dyna=%AD%F0&king=%A4%A4%A9v&reign=%AF%AB%C0s&yy=1&ycanzi=&mm=11&dd=26&dcanzi=
  20. ටෑංහි පැරණි ග්‍රන්ථය, වෙළු. 51
  21. බලන්න, උදාහරණ ලෙස සිචි ටොංජියෑන්, වෙළු. 199 ගඔෂොං අධිරාජයා ඇයව අධිරාජිනිය ලෙස පත්කිරීමට උත්සාහ දැරීමේ දී චු සුයිලියෑං විසින් ඇය ටයිෂොං අධිරාජයාට ‍"සේවය කළ" (ලිංගික සබඳතා අදහස් කෙරේ) බව ස්ථිරව පවසා ඇත.
  22. 22.0 22.1 22.2 22.3 22.4 22.5 22.6 22.7 22.8 සිචි ටොංජියෑන්, වෙළු. 206.
  23. 23.0 23.1 පැලුඩන්, 93
  24. නූතන ඉතිහාසඥ බෝ යැං විසින් වූ බිසවගේ වැඩිමහල්ම පුත්‍රයා වූ ලි හොංගේ උපන් වර්ෂය ලෙස ක්‍රි.ව. 652 වර්ෂය සලකා, මෙම සිදුවීම 650දී සිදුවූවක් ලෙස සලකා ඇත. නමුත් එය 651දී වීමට ද පුළුවන. බලන්න සිචි ටොංජියෑන්‍ බෝ යැං සංස්කරණය, වෙළු. 47.
  25. බෝ යැං, Outlines of the History of the Chinese (中國人史綱), වෙළු. 2, පි. 520.
  26. 26.0 26.1 26.2 සිචි ටොංජියෑන්, වෙළු. 199.
  27. 27.0 27.1 27.2 27.3 27.4 සිචි ටොංජියෑන්, වෙළු. 200.
  28. බලන්න, උදා., සිචි ටොංජියෑන්හි බෝ යැං සංස්කරණය, වෙළු. 40 [683].
  29. 29.0 29.1 29.2 29.3 29.4 සිචි ටොංජියෑන්, වෙළු. 201.
  30. වූ ෂිහුඕගේ කාර්යසාධනය සහ පවුල පිළිබඳ දැනගැනීමට බලන්න ටෑංහි පැරණි ග්‍රන්ථය, වෙළු. 58 [5] සහ ටෑංහි නව ග්‍රන්ථය, වෙළු. 206.[6]
  31. 31.0 31.1 31.2 31.3 31.4 31.5 31.6 සිචි ටොංජියෑන්, වෙළු. 202.
  32. 32.0 32.1 32.2 32.3 32.4 32.5 සිචි ටොංජියෑන්, වෙළු. 203.
  33. 33.0 33.1 පැලුඩන්, 97
  34. පැලුඩන්, 97–101
  35. බලන්න, උදා., සිචි ටොංජියෑන්, වෙළු. 234 [මෙය ටෑංහි දේසොං අධිරාජයාලු චි කළ යටත් ප්‍රකාශයේ දැක්වේ; මෙහි වූ සේටියෑන් යනු නිලධාරීන් දක්ෂ ලෙස තෝරාගත් රජකුට නියම උදාහරණය ලෙස දක්වා ඇත.]; චාඕ යිගේ ඉතිහාස කථා විසිදෙකෙහි සටහන් (二十二史劄記), වූ අධිරාජිනිය සංශෝධන සිදු කළ අතර ජනතාව හැඳිනගත්තා ය.[7].
  36. 36.0 36.1 36.2 36.3 36.4 36.5 සිචි ටොංජියෑන්, වෙළු. 204.
  37. 37.00 37.01 37.02 37.03 37.04 37.05 37.06 37.07 37.08 37.09 37.10 සිචි ටොංජියෑන්, වෙළු. 205.
  38. සිචි ටොංජියෑන් ලේඛනය පුරාම වූ සේටියෑන්ගේ රාජ්‍ය සමය පිළිබඳ සඳහන් කිරීමේ දී සිමා විසින් ඇයව "වැන්දඹු අධිරාජිනිය" ලෙස හඳුන්වා ඇත. ඔහු ඇයව රාජ්‍ය කරන අධිරාජිනියක ලෙස හැඳින්වීමට මැළි වී ඇති බව පෙනේ. නමුත් ඔහු ඇගේ යුග නාමයන් භාවිතා කොට තිබේ.
  39. Domesticating the Dharma, රිචඩ් ඩී. මැක්බ්‍රයිඩ්, 2007. ගූගල් බුක්ස් පෙරදසුන
  40. 40.0 40.1 40.2 සිචි ටොංජියෑන්, වෙළු. 208.
  41. 41.0 41.1 41.2 41.3 41.4 41.5 සිචි ටොංජියෑන්, වෙළු. 207.
  42. ජොනතන් වොල්ෆ්‍රම් එබර්හාඩ් (1997). A history of China. කැලිෆෝනියා විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. පි. 186. ISBN 978-0-520-03268-2. https://books.google.com/books?id=mUofeN6WW_IC&pg=PA186&dq=kao+tsung+demanded+chinese+prince+daughter&hl=en&ei=LWhMTOTUDoL58AaKzeU2&sa=X&oi=book_result&ct=result&resnum=1&ved=0CCsQ6AEwAA#v=onepage&q=kao%20tsung%20demanded%20chinese%20prince%20daughter&f=false. Retrieved 2010-06-28. 
  43. සිචි ටොංජියෑන් ස්ථිර ලෙසම පවසන්නේ ලි චොංරුන් සියදිවි හානිකරගත් බවයි. නමුත් ටෑංහි පැරණි ග්‍රන්ථය සහ ටෑංහි නව ග්‍රන්ථය පවසන්නේ වූ සේටියෑන්ගේ නියෝග මත ඔහුට කෙවිටකින් තලා මරණයට පත්කළ බවයි. සසඳා බලන්න: සිචි ටොංජියෑන්, වෙළු. 207, සමග ටෑංහි පැරණි ග්‍රන්ථය, වෙළු. 86 [8] සහ ටෑංහි නව ග්‍රන්ථය, වෙළු. 81.[9] ටෑංහි පැරණි ග්‍රන්ථය වූ සේටියෑන්‍ගේ වංශකථාවේ අස්ථිර අයුරින් පවසා ඇත්තේ ඔහුට සියදිවි නසාගන්නට නියම වූ බවයි. බලන්න ටෑංහි පැරණි ග්‍රන්ථය, වෙළු. 6.[10] නමුත් ටෑංහි නව ග්‍රන්ථයේ වූ සේටියෑන්ගේ වංශකථාව තුළ දැක්වෙන්නේ ඔවුන් තිදෙනාවම "මරාදැමුණු" බව පමණකි. බලන්න ටෑංහි නව ග්‍රන්ථය, වෙළු. 4.[11]
  44. කෙසේනමුත්, ලි ෂියෑන්හුයිගේ සොහොන්ගලෙහි ලේඛනය (705දී චොංසොං අධිරාජයා සිහසුනට ප්‍රතිෂ්ඨාපනය කෙරුණු පසු ලියැවුණකි) පාදක කරගනිමින් ඇතැම් නූතන ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ ලි ෂියෑන්හුයි ඇගේ සොයුරා සහ සැමියා මියගිය දිනයට පසු දින මියගිය බවයි. මරණය වන විට ඇය ගැබිනියකව සිටි බවත් පැවසේ. ඇගේ යැයි විශ්වාස කෙරෙන ඇටසැකිල්ලේ ශ්‍රෝණිය කුඩා වීම නිසා යෝජනා වී ඇත්තේ ඇයට දිවිනසාගැනීමට නියෝග නොකෙරුණු බවත්, ඇගේ සැමියාගේ සහ සොයුරාගේ මරණය නිසා ඇතිවූ කම්පනයෙන් ඇයට ගබ්සා වන්නට හෝ දරුප්‍රසූතිය අපහසු වීමෙන් මියයන්නට ඇති බවයි. බලන්න උදා., සිචි ටොංජියෑන්හි බෝ යැං සංස්කරණය වෙළු. 49හි මුලින් යෙදන රූපසටහන්.
  45. http://www.sinica.edu.tw/ftms-bin/kiwi1/luso.sh?lstype=2&dyna=%AD%F0&king=%A4%A4%A9v&reign=%AF%AB%C0s&yy=1&ycanzi=&mm=2&dd=4&dcanzi=
  46. පැලුඩන්, 101
  47. ෆෙයාබෑන්ක්, 81–82
  48. 48.0 48.1 48.2 48.3 පැලුඩන්, 99
  49. 49.0 49.1 49.2 49.3 ෆෙයාබෑන්ක්, 82
  50. http://baike.baidu.com/view/159862.htm
  51. කොටෙරල් සහ කොටෙරල්, 90
  52. 52.0 52.1 කොටෙ‍රල් සහ කොටෙරල්, 144
  53. ෆෙයාබෑන්ක්, 81
  54. හොං & 2007 244-45.
  55. පැලුඩන්, 96–97
  56. බෙක්විත්, 130–131
  57. ටයිෂොං අධිරාජයාගේ සමයේ, චෙන් ෂුවෝචෙන් (陳碩眞) නැමැති ගොවි නායිකාවක තමන්ව "අධිරාජයා" ලෙස ප්‍රකාශ කොටගෙන වෙන්ජියා අධිරාජයා (文佳皇帝) යන නාමය ඉසිලූවා ය. චෙන්ව කෙටිකාලයකින්ම පරාජය කොට මරාදැමිණි. සාමාන්‍යයෙන් ඇය සැබෑ "අධිරාජයකු" ලෙස නොසැලකේ. බලන්න සිචි ටොංජියෑන්, වෙළු. 199. එයට ප්‍රථම උතුරු වෙයි රාජවංශයේ, හු වැන්දඹු අධිරාජිනිය සිය පුත්‍රයා වූ ෂියාඕමිං අධිරාජයාගේ මරණින් පසු, ව්‍යාජ ලෙස ෂියාඕමිං අධිරාජයාගේ දියණිය පුත්‍රයකු යැයි සලකා නව අධිරාජයා ලෙස නම්කළා ය. නමුත් එම දරුවා සැබැවින්ම දැරියක බව හෙළිවීමත් සමග, ෂියාඕමිංගේ මස්සිනා වූ යුවාන් බාඕහුයි (元寶暉) ගේ බාල පුත් යුවාන් චාඕ අධිරාජයා ලෙස නම්කරන ලදී. බලන්න සිචි ටොංජියෑන්, වෙළු. 152. මේ නිසා සාමාන්‍යයෙන් ෂියාඕමිං අධිරාජයාගේ දියණිය ද සැබෑ අධිරාජයකු ලෙස නොසැලකේ.
  58. කාං-ඉ සුන් චෑං, හෝන් සෝසි, චාල්ස් යිම්-ට්සේ ක්වොං (1999). Women writers of traditional China: an anthology of poetry and criticism. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. පි. 31. 
  59. යු, 56
  60. වොට්සන්, 115
  61. ටෑංහි පැරණි ග්‍රන්ථය, වෙළු. 6.
  62. මෙය හන් ෆෙයිෂි ග්‍රන්ථයේ එන සම්බන්ධ කථාවකි. එම කථාව අනුව, ක්වි රාජ්‍යයේ රජු චුහි හුවායි රජුට උපබිසවක ලෙස රූමත් යුවතියක ත්‍යාග කළේ ය. හුවායි රජුගේ ඊර්ෂ්‍යාකාර භාර්යාව වූ චෙං ෂියු රැජින (鄭袖) ඇයට පැවසූයේ, "රජු ඔබට බෙහෙවින් ප්‍රේම කරයි. නමුත් ඔහු ඔබගේ නාසයට අකමැති ය. ඔබ ඔහුව දකින විට ඔබේ නාසය ආවරණය කරගන්නේ නම්, ඔහු නිරතුරුවම ඔබට ප්‍රේම කරනු සහතිකයි." යනුවෙනි. ඇය චෙං රැජිනගේ යෝජනාව පිළිගත්තා ය. හුවායි රජු චෙං රැජිනගෙන් මෙසේ විමසී ය, "ඇය මාව දකින විට නාසය ආවරණය කරගන්නේ ඇයි?" එවිට රැජින පිළිතුරු දුන්නේ, "ඇය නිතරම පැවසූයේ ඔබ වහන්සේ කෙරෙන් දුර්ගන්ධයක් හමන බවයි." කෝපයට පත් හුවායි රජු, "ඇගේ නාසය කපා දමන්න!" යැයි අණකළේ ය.
  63. මෙය හන්හි ගඕ අධිරාජයාගේ අගබිසව වූ ලූ චි අධිරාජිනිය විසින් ගඕ අධිරජු‍ගේ මරණින් පසු අධිරජුගේ ප්‍රියතම උපබිසව වූ ක්වි බිසවට එරෙහිව ක්‍රියාත්මක කළ වධහිංසා ක්‍රමයකි. ලූ අධිරාජිනිය වැන්දඹු අධිරාජිනිය බවට පත්වූ පසු, උපබිසවගේ ගාත්‍රා කපා දමා, ඇයව අන්ධ කොට, බිහිරි කොට, මිනිස් සූකරයකු (人彘) ලෙස හැඳින්වූවා ය.
  64. පැලුඩන්, 98

ප්‍රභවසංස්කරණය

  • බෙක්විත්, ක්‍රිස්ටෝෆර් අයි. (2009): Empires of the Silk Road: A History of Central Eurasia from the Bronze Age to the Present. ප්‍රින්ස්ටන්: ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 978-0-691-13589-2.
  • ටෑංහි පැරණි ග්‍රන්ථය, වෙළුම. 6.[12]
  • කොටෙරල්, යොං යැප් සහ ආතර් කොටෙරල් (1975). The Early Civilization of China. නිව් යෝක්: ජී. පී. පට්නම්'ස් සන්ස්. ISBN 978-0-399-11595-0.
  • Empress of China: Wu Ze Tian, ජියෑං, චෙං අන් විසිනි; වික්ටරි මුද්‍රණාලය 1998
  • ෆෙයාබෑන්ක්, ජෝන් කිං (1992), China: A New History. කේම්බ්‍රිජ්, මැසචුසෙට්ස්: බෙල්ක්නැප් මුද්‍රණාලය/හාවර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. ISBN 978-0-674-11670-2.
  • මර්ක්, ඇල්ෆ්‍රඩා (2000). Poetry and Painting in Song China: The Subtle Art of Dissent. කේම්බ්‍රිජ් (මැසචුසෙට්ස්) සහ ලන්ඩන්: හාවර්ඩ්-යෙන්චිං ආයතනය සඳහා වන හාවර්ඩ් විශ්වවිද්‍යාලීය ආසියා මධ්‍යස්ථානය. ISBN 978-0-674-00782-6.
  • ටෑංහි නව ග්‍රන්ථය, වෙළුම්. 4,[13] 76.[14]
  • පැලුඩන්, ඈන් (1998). Chronicle of the Chinese Emperors: The Reign-by-Reign Record of the Rulers of Imperial China. නිව් යෝක්, නිව් යෝක්: තේම්ස් ඇන්ඩ් හඩ්සන්. ISBN 978-0-500-05090-3.
  • රැස්ටෙලි, සබ්‍රිනා (2008). China at the Court of the Emperors: Unknown Masterpieces from Han Tradition to Tang Elegance (25-907). ස්කයිරා. ISBN 978-88-6130-681-3.
  • ස්කාර්පැරි, මෝරිෂියෝ (2006). Ancient China: Chinese Civilization from the Origins to the Tang Dynasty. වර්සෙලි: VMB ප්‍රකාශකයෝ. ISBN 978-88-540-0509-9.
  • වොට්සන්, බර්ටන් (1971). CHINESE LYRICISM: Shih Poetry from the Second to the Twelfth Century. (නිව් යෝක්: කොලොම්බියා විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය). ISBN 978-0-231-03464-7.
  • යු, පෝලින් (2002). "Chinese Poetry and Its Institutions"; Hsiang Lectures on Chinese Poetry, වෙළුම 2 තුළ, ග්‍රේස් එස්. ෆොං, සංස්කාරක. මොන්ට්‍රියල්: නැගෙනහිර ආසියානු පර්යේෂණ සඳහා වූ මධ්‍යස්ථානය, මැක්ගිල් විශ්වවිද්‍යාලය.
  • සිචි ටොංජියෑන්, වෙළු. 195, 199, 200, 201, 202, 203, 204, 205, 206, 207, 208.

වැඩිදුර කියවීමටසංස්කරණය

  • කැව්තොර්න්, නයිජල් (2007). Daughter of Heaven – The True Story of the Only Woman to become Emperor of China. ඔක්ස්ෆර්ඩ්: වන් වර්ල්ඩ් ප්‍රකාශන. ISBN 978-1-85168-530-1. 
  • Wu Zhao: China's Only Woman Emperor, එන්. හැරී රෝත්ස්චයිල්ඩ්ඤ ප්‍රකාශනය 2008 Pearson Education, Inc.
  • Empress Wu Zetian in Fiction and in History: Female Defiance in Confucian China; ඩෝරා ෂු-‍ෆැං ජියෙන් (නොවා පබ්ලිෂිං, 2003) - මෙමගින් වූ සේටියෑන්ගේ දිවියත්, රාජවංශික චීන සමාජයේ විරෝධයන් හමුවේ කාන්තාවන් මහජන දිවිය ගතකළ අයුරුත් ගවේෂණය කරයි.
  • Wu: The Chinese Empress Who Schemed, Seduced and Murdered Her Way to Become a Living God ජොනතන් ක්ලෙමන්ට්ස් විසිනි; මෙහි බොහෝ ප්‍රාථමික මූලාශ්‍ර විවේචනය කොට ඇති අතර ප්‍රබන්ධ වාර්තා නාමාවලියක් ද ලබා දෙයි.
සැකිල්ල:S-hon
චීන රාජකීයයා
පූර්වප්‍රාප්තිකයා
වං අධිරාජිනිය
ටෑං රාජවංශයේ අධිරාජිනිය
655–684
අනුප්‍රාප්තික වූයේ
වෙයි අධිරාජිනිය
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
(රාජවංශය ස්ථාපනය)
චෞ රාජවංශයේ රජකරන අධිරාජිනිය
690–705
අනුප්‍රාප්තික වූයේ
(රාජවංශය අහෝසි කිරීම)
පූර්වප්‍රාප්තිකයා
ටෑංහි රුයිෂොං අධිරාජයා
චීනයේ රජකරන අධිරාජිනිය
690–705
අනුප්‍රාප්තික වූයේ
ටෑංහි චොංසොං අධිරාජයා
හිස්
අවසන් වරට තනතුර දැරුවේ
ටෑංහි ගඔෂු අධිරාජයා
චීනයේ විශ්‍රාමලත් රජකරන අධිරාජිනිය
705
හිස්
තනතුර ඊළඟට දැරුවේ
ටෑංහි රුයිෂොං අධිරාජයා

සැකිල්ල:Tang emperors සැකිල්ල:Tang Dynasty Buddhists

"https://si.wikipedia.org/w/index.php?title=වූ_සේටියෑන්&oldid=409982" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි