ඉතිහාසය යනු,

ඉතිහාසය ඉගෙන ගැනීමට පෙර ඉතිහාසය යනු කුමක් ද කියලා අපි ඉගෙන ගත යුතුයි. ඉතින් සරලව ඉතිහාසය කියල කියන්නේ අපි ද අපි වටා ඇති සියලුම දේවල්වල ද අතීතයි.

ඉතිහාසය කියන වචනය මුලින්ම ජන සමාජයට එන්නේ ග්‍රීසියේ සම්භාව්‍ය යුගයේ දී. එනම් ක්‍රි.පූ.6 වන සියවසේ දී පමණ (අදින් වසර 2500 පෙර)


පැරණි ග්‍රීකයෝ මහත්සේ දැනුම සහ ප්‍රඥාව සොයා ගිය අය වුහ. ඔවුන්ගේ දැනුම සහ ප්‍රඥාව වරදය කල එක් විෂයයක් වූයේ ඉතිහාසයයි. මනුෂ්‍ය වර්ගයාගේ අතීතය පිළිබඳව පරීක්ෂණ මගින් අධ්‍යයනය කිරීම හෙවත් මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ඉගෙනීම හෙරඩෝටස් සහ තියුසිඩීස් යන ග්‍රීක ඉතිහාසඥයන් විසින් පසු කාලයේදී එක්තරා ශික්ෂණයක් වශයෙන් වැඩි දියුණු කරන ලදී.මෙම තත්වය නිසා හෙරඩෝටස් ඉතිහාසය විෂයේ පියා ලෙස හඳුන්වයි.

ඉතිහාසය යන පදය නිර්වචනය කිරීම

සංස්කරණය

විවිධ ඉතිහාසඥයන් ඉතිහාසයෙන් අපේක්ෂා කල දෑ අනුව "ඉතිහාසය" යන පදයට දී ඇති අර්ථකථන ද වෙනස් වී ඇත.

  • සුප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වන තෝමස් කාලයිල් ලෝක ඉතිහාසය "ශ්‍රේෂ්ට මිනිසුන්ගේ ජීවිත කථාවක්" ලෙස හැඳින්වීය.
  • ඊ.එච්. කාර් නමැති ඉතිහාසඥයා "වර්තමානය ඉගෙනීමට ඇති යතුර" ලෙස ඉතිහාසය හැඳින්වීය.
  • මහාචාර්ය ඊනියාර්ගේ විග්‍රහයට අනුව ඉතිහාසය යනු "සමාජ ක්‍රම වල මතක සටහනකි.
  • ඉතිහාසඥ විල් ඩුරන්ට් කීවේ ඉතිහාසය යනු "ශිෂ්ට සම්පන්න මිනිසුන් අතීතයේ කල කී දෑ සහ සිතු පතු දෑ පිලිබඳ වෘත්තාන්තයක්" බවය.
  • ඉතිහාසඥ ජී.එම්.ට්‍රෙව්ලියන්ගේ මතය අනුව "ඉතිහසය යනු තනි විශයක් නොවේ විශයන් රාශියකින් සැදුම් ලත් ගෘහයකි".

ඉතිහාසය විද්‍යාවක් ද කලාවක් ද?

සංස්කරණය

ඉතිහාසය විෂය අයත් වන්නේ විද්‍යා විෂය ගණයට ද නැතහොත් කලා විෂය ගණයට ද යන්න මහත් විවාදයට තුඩු දී ඇති, එහෙත් තවම සතුටුදායක පිළිතුරක් ලැබී නැති ප්‍රශ්නයකි. කෙසේ වෙතත් බොහෝ ඉතිහාසඥයන් ඉතිහාසය සලකන්නේ පැරණිතම මානව විද්‍යාව වශයෙනි.

ඉතිහාසයේ ඇති වටිනාකම

සංස්කරණය

හෙරඩෝටස් ඉතිහාසය ලීවේ පැරණි ග්‍රීකයන්ගේ වැඩ කටයුතු අනාගත පරම්පරා විසින් අමතක නොකරනු ඇත යන පැහැදිලි බලාපොරොත්තුව ඇතිවය. විවිධ කාල පරිච්ඡේද වල සිටි රජවරුන්ගේ සහ ශ්‍රේෂ්ට පුද්ගලයන්ගේ වැඩ කටයුතු ඉතිහාසය තුළින් ගෙන හැර දැක්වෙන අතර එමගින් මිනිසා පිළිබඳව මිනිසාගේ දැනුම වර්ධනය කෙරේ. ඉතිහාසය මගින් අතීත මිනිස් ක්‍රියාකාරකම් වලට පසුබිම් වූ අරමුණු රසවත් සහ මානවවාදී ආකාරයකට පැහැදිලි කරයි. කාලයිල් නම් ඉතිහාසඥයාගේ ප්‍රංශ විප්ලවය නම් කෘතියෙන් පැරණි මිනිස් ක්‍රියාකාරකම් පමණක් නොව ඒවාට තුඩු දුන් හේතුකාරක ද විස්තර කර තිබීම ඉහත කාරණයට නිදසුන් වශයෙන් දැක්විය හැක.

ඉතිහාසය මගින් අතීත සිදුවීම් අධ්‍යයනය කරයි. ඒ අනුව දැකිය හැකි වන්නේ එක සමාන ඓතිහාසික සිද්ධි බහුල බවයි. මේවා මගින් වත්මන් මිනිසාට පාඩම් උගත හැකිය. නිදහස සඳහා හෝ සූරා කෑමට එරෙහිව හෝ පිඩනයට විරුද්ධව හෝ සිදුකරන අරගල සඳහා පැරැන්නන් එවැනි තත්ත්ව හමුවේ කටයුතු කල ආකාරය නුවණින් කල්පනා කොට අනුගමනය කිරීම වත්මන් මිනිසාට කල හැකිය. මහත්මා ගාන්ධි තුමාගේ ක්‍රියාකලාපයන් සඳහා විශාල අනුබලයක් ලැබුනේ ඊට සියවසකට ඉහත ඉතාලියේ නිදහස් සටන්කාමින් අනුගමනය කළ ක්‍රියාමාර්ග ගැන ලියා තිබූ කෘති කියවීමෙන් බව සඳහන් වේ.

ඉතිහාසය ඉගෙනීමෙන් වත්මන් මිනිසාට අතීතය සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට හැකි වේ. සංස්කෘතියේ සහ ශිෂ්ටාචාරයේ ආරම්භය සිදු වූයේ අතීතයේදීය. අතීතය සහ වත්මන් මිනිසා අතර ඇති සම්බන්ධතාවය සිඳ බිඳ දැමිය නොහැක. නිදසුන් ලෙස තවමත් පවතින අයහපත් සමාජ ලක්ෂණයක් වන කුලවාදය දැක්විය හැකිය. එය අතීතයේ ආරම්භ වූවකි.

පර්යේෂකයන් සහ සමාජ විද්‍යාඥයන්ට ඉතිහාසය ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජන රාශියකි. ගැටළු විනිවිද දැකීමටත්, සමාජ විද්‍යාත්මක හෝ ආර්ථිකමය වාතාවරණය පිලිබඳ දත්ත සපයා ගැනීමටත්, මූලාශ්‍රය තොරතුරු සපයා ගැනීමටත් ඉතිහාසය මහඟු පිටිවහලක් සපයයි. බුද්ධිමතුන්, දේශපාලනඥයන්, පරිපාලකයන්, හමුදා නිලධාරින්, විද්‍යාඥයන්ට මෙන්ම පාලකයන්ට ද ඉතිහාසය ඉගෙනීමෙන් ප්‍රයෝජන ඇත වනු ඇත. නැපෝලියන් බොනපාට්ට ඉතා කෙටි කාලයක් තුළ ඉතා විශාල ජයග්‍රහණ අත් කර ගැනීමට, ඉතිහාසය කෙරෙහි ඔහු තුළ පැවති සැලකිල්ල සහ අවබෝධය ද ඉවහල් විය. ජවහර්ලාල් නේරු, ජෝන් එෆ්. කෙනඩි වැනි සමකාලීන ශ්‍රේෂ්ට පුද්ගලයන්ගේ තීක්ෂණ බුද්ධිය, ඉතිහාසය ඉගෙනීම නිසා වැඩි දියුණු වූ බව පැහැදිලි වේ.

ඕනෑම ජාතියක ඉතිහාසය අධ්‍යයනයේදී පෙනීයන්නේ ඉතිහාසයේදී එම ජාතිය බොහෝ අර්බුද වලට මුහුණ ඩි ඇති බවයි. ජාතික අර්බුද තත්ත්ව හමුවේ ජාතික නායකයන්ට මාර්ගෝපදේශකයා වන්නේ ඉතිහාසයයි. ඉතිහාසය මගින් අතීත වෘත්තාන්තයක් ගෙන හැර දැක්වීම පමණක් නොව අතීතය සහ වර්තමානය එකට සම්බන්ධ කොට අනාගතයට මග සලසන පාලමක් ද සපයන බව ඇලන් නේව්න්ස්ගේ මතය වේ.

ජාතියක සම්ප්‍රදායානුකූල සහ සංස්කෘතිකමය වටිනාකම් ඉතිහාසය මගින් ආරක්ෂා කර දෙන බව සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ. සිය දේශය ලෝක ඉතිහාසය වෙනුවෙන් කිසියම් කාර්යභාරයක් ඉටුකර ඇති බවත් එහි ඇති වැදගත්කමත් නිරතුරුව සිහිපත් කර දීමෙන් ඉතිහාසය විසින් යම් ජාතියකට, ජාතික වැදගත්කමකින් යුක්ත වූ කර්තව්‍යයක් ඉටු කර දෙනු ලැබේ. 19 වන සියවස මුල් කාලයේ දී නැපෝලියන්ට එරෙහිව ජර්මනියේ ඉතිහාසඥයෝ ජාතිවාදී ගිනිසිළු ඇවිලවූහ. එම ඉතිහාසඥයන්ගේ අදහස් වලින් 20 වන සියවසේ දී වැරදි මගට යොමු වූ හිට්ලර්, ජර්මන් ජාතිකයන් පිරිසිදු ආර්යයන් බව ද, එම නිසා ඔවුන් මුළු ලෝකය ම පාලනය කිරීමට සුදුසු බව ද විශ්වාස කළේ ය.

පැහැදිලි ලෙස සනාථ කොට දැක්විය නොහැකි වුවත්, ආදරය, කරුණාව, අනුකම්පාව සහ ඉවසීම ආදී යහගුණ පුද්ගලයාගේ සිතෙහි ජනිත කිරීම ඉතිහාස දැනුමෙන් ලබා ගත හැකි තවත් ප්‍රයෝජන වශයෙන් දැක්විය හැකි ය. එක් ජාතියක් විසින් තවත් ජාතියක් පීඩනයට පත් කිරීම ආදිය ඉතිහාසය තුළින් දැක පිඩාවට පත් ජාතිය කෙරෙහි අනුකම්පාව, දයාව, කරුණාව සිත්හි ජනිත කරගන්නා ඉතිහාසය අධ්‍යයනය කරන්නෝ, එවන් වූ සිදු වීම් යලි ඇති වීම වලක්වා ගැනීමටත් වර්තමානයේ දී සිදු වෙමින් පවතින එවැනි ක්‍රියා වලට එරෙහි වීමට/හෙළා දැකීමට ත් යොමු වෙති.

ඉතිහාසයෙන් ලද හැකි පාඩම්

සංස්කරණය

අතීත අත්දැකීීම් තුලින් වර්තමානය තේරැම්ගෙන අනාගතය ගොඩනගා ගැනීම .

පුද්ගල පෞර්ෂත්වය වර්ධනය කරගත හැකි වීම..

ඉතිහාසය සහ පුරාවිද්‍යාව

සංස්කරණය

පූර්ව ඓතිහාසික අවධිය පිළිබඳව අවබෝධ කර ගැනීමට ඉතිහාසඥයන්ට ඉඩ සලසන්නේ පුරාවිද්‍යාව මගිනි. පුරාවිද්‍යාව මගින් අතීතයෙන් ඉතිරි වී ඇති දෑ විද්‍යාත්මක අධ්‍යයනය කිරීම සිදු කරයි. පැරණි වැදගත් ස්ථාන, ස්මාරක, කාසි, සෙල්ලිපි ඇතුළු කෞතුක භාණ්ඩ ඉතා නිවැරදි ලෙස උපයෝගී කර ගෙන ඉතිහාසය යළි සකස් කිරීමට පුරාවිද්‍යාඥයාට හැකි වේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අනාවරණය කර ගත්තේ (1921 - 1922) ඉන්දියානු පුරාවිද්‍යාඥයන්ගේ කැනීම් මගිනි.

ඉතිහාසය සහ භූගෝල විද්‍යාව

සංස්කරණය

ඊජිප්තු, මෙසපොතේමියානු, ඉන්දු නිම්න, සහ චීන වැනි ආදිතම ගංගා නිම්න ශිෂ්ටාචාරවල වර්ධනයට දේශගුණය, පස, ගංගා, කඳුවැටි, මුහුදු, මුහුදු වෙරළ සහ ඛනිජ සම්පත් වැනි භූගෝලීය සාධක උපකාරී වී ඇත. හෙරඩෝටස්ගේ පැහැදිලි කිරීම් අනුව ඊජිප්තුව, නයිල් ගඟේ දායාදයකි. මුහුදු ගමන් සහ මුහුදෙන් යැපෙන ජිවන ක්‍රම වලට යොමු වීමට නිසරු පස, මුහුදට සමීප බව සහ කඩතොළු සහිත මුහුදු වෙරළ වැනි භූගෝලීය සාධක හේතු වූ බව ග්‍රීකයන්ගේ අදහස විය. නමුත් භූගෝලීය සාධක පවා වෙනස් කිරීමට මිනිසාට ඇති හැකියාව නිසා මිනිසාගේ හැසිරීම් රටාව සහ ඔවුන්ගේ ඉතිහාසය කෙරෙහි භූගෝලීය සාධක, සීමිත බලපෑමක් කරන බව පිළිගැනීම සුදුසු ය.

ඉතිහාසය සහ වෙනත් සමාජයීය විද්‍යා

සංස්කරණය

මානව විද්‍යාව සහ ඉතිහාසය ඉතාමත් ම සමීප සම්බන්ධතා ඇති විෂයයන් වේ. විවිධ ජනවර්ග වලට අයත් ආදිතම මිනිසුන්ගේ සංස්කෘතික රටාව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම සඳහා ඉතිහාසඥයන්ට මානව විද්‍යා විෂය උපකාරී වේ.

දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, මනෝ විද්‍යාව වැනි අනෙකුත් සමාජයීය විද්‍යා හොඳින් තේරුම් ගැනීමට ද ඉතිහාසය උපකාරී වේ.

සෑම තැනකම පාලක පාලක පන්තිය විසින් ඉතිහාසය සහ අනෙකුත් සමාජයීය විද්‍යාවන් පිළිබඳව දැනුම ලබා ගන්නේ නම් එය ඔවුන්ගේ අනාගත වැඩ සැලසුම් කිරීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ඉතිහාස විෂයය යටතේ මනුෂ්‍ය ස්වභාවය පිළිබඳව සියවස් ගණනාවක් තිස්සේ අධ්‍යයනය කර ඇති බැවින් එය මනුෂ්‍ය වර්ගයාට සතුට සහ සාමය සහතික කර දීමට සමත් තත්ත්වයක ඇත. .

ආශ්‍රිත ලිපි

සංස්කරණය

මුලාශ්‍ර

සංස්කරණය
  • ලෝක ඉතිහාසය - බී.වී. රාවෝ (සිංහල පරිවර්තනය - මහාචාර්ය මාලනී ඇඳගම), අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
"https://si.wikipedia.org/w/index.php?title=ඉතිහාසය&oldid=682384" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි