විද්‍යා ප්‍රබන්ධ වශයෙන් හැඳින්වෙන්නේ නවීන විද්‍යාත්මක පරිකල්පනයන් රසවත් කථාන්දර ලෙසින් ඉදිරිපත් කිරීම තුළින් බිහි ව ඇති සාහිත්‍යය යි. මෙහි දී බොහෝ විට විද්‍යාවේ සහ තාක්ෂණයේ විස්මයජනක අනාගත වර්ධනයන්, අභ්‍යවකාශ තරණය (space exploration), වෙනත් ග්‍රහලෝක පද්ධති ජනාවාස කිරීම (space colonization), දුරස්ථ ග්‍රහලෝකවල පැවතිය හැකි බුද්ධිමය ජීවීන් (extraterrestrial/alien life), කාලතරණය (time travel), සමාන්තර විශ්ව (parallel universes) වැනි පවතින අනාගතවාදී (futurism) සහ විද්‍යාත්මක තේමා ඇසුරු කරගනිමින් කථා ලියැවෙනු දැකිය හැකි ය.

මෙම සාහිත්‍ය විසින් විද්‍යාත්මක සහ තාක්ෂණික නව සොයාගැනීම් පිළිබඳ පරිකල්පනයන් නැතිනම් අනාවැකි ඉදිරිපත් කිරීම මෙන් ම ඒ ආශ්‍රිත ව සමාජය මුහුණ දිය හැකි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කිරීම ද සිදු වේ. ඓතිහාසික ව ගත්විට විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය අද දවසේ යතාර්ථයක් ව ඇති ඇතැම් විද්‍යාත්මක නිපැයුම් පිළිබඳ සාර්ථක අනාවැකි ඉදිරිපත් කිරීමට ද සමත් වී ඇති අතර වත්මන් සමාජයේ පවතින විෂමතා ආදිය පිළිබඳ විවේචන සහ ඒවාට විකල්ප ඉදිරිපත් කිරීමට ඇතැම් ලේඛකයන් විසින් යොදාගෙන තිබේ.

විද්‍යා ප්‍රබන්ධය සහ එය සබැඳි සෙසු ප්‍රවර්ග වන සමපේක්ෂණාත්මක ප්‍රබන්ධය (speculative fiction), ෆැන්ටසිය වැනි ප්‍රවර්ගවලින් එය වෙන්කෙරෙන බෙදුම් කඩනය ඇතැම් විට ඉතා සියුම් නොපැහැදිලි මායිමක් වන අතර මේ හේතුවෙන් ම ඇතැම් කෘති විද්‍යා ප්‍රබන්ධ සහ ෆැන්ටසි යන ප්‍රවර්ග දෙකට ම අයත් ලෙස සැලකීම මෙන් ම ඇතැම් කෘති අයත් වන ශානරය පිළිබඳ විචාරකයන් හා පාඨකයන් අතර විවාද පැවතීම ද දැකිය හැකි ය.

විද්‍යා ප්‍රබන්ධ ලේඛක සහ පාඨක ප්‍රජාව තුළ ගැඹුරු විද්‍යා ප්‍රබන්ධ (hard science fiction) සහ සැහැල්ලු විද්‍යා ප්‍රබන්ධ (soft science fiction) වශයෙන් බෙදීමක් ද දැකගත හැකි ය. සාමාන්‍යයෙන් ගත්විට භෞතික විද්‍යාව වැනි විෂයයන් ආශ්‍රිත විද්‍යා සංකල්ප ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කරන කෘති ගැඹුරු විද්‍යා ප්‍රබන්ධ ලෙස සැලකෙන අතර ජීවවිද්‍යාව ඇසුරු කරගන්නා හෝ විද්‍යා කරුණු කථාවට පසුබිමක් වශයෙන් පමණක් යොදාගන්නා කෘති සැහැල්ලු විද්‍යා ප්‍රබන්ධ ලෙසත් සැලකිය හැකි ය. සැහැල්ලු විද්‍යා ප්‍රබන්ධවල මූලික ම ලක්ෂණයක් වන්නේ විද්‍යා නවෝත්පාදනයක භෞතික අභියෝගවලට වඩා එහි සමාජ බලපෑම සාකච්ඡාවට ලක්කිරීම යි. කෙසේනමුත් ගැඹුරු විද්‍යා ප්‍රබන්ධය සහ සරළ විද්‍යා ප්‍රබන්ධය යන මේ බෙදුම ද ඇතැම් විද්‍යා ප්‍රබන්ධ ලේඛක ලේඛිකාවන්ගේ විවේචනයට ලක් ව තිබේ.

නූතන විද්‍යා ප්‍රබන්ධයේ ආරම්භය ජූල්ස් වර් න්ගෙන් (Jules Verne) ඇරඹුණු බව සැලකෙන අතර ඔහු විද්‍යා ප්‍රබන්ධයේ පියා ලෙස හැඳින්වෙයි. කෙසේ නමුත් ඊට පෙර රචනා වුණු ජොහැන්නස් කෙප්ලර් ගේ සොම්නියම් (Sominum), මාරි ෂෙලීගේ ෆ්‍රැන්කන්ස්ටයින් (Frankenstein), ජොනතන් ස්විෆ්ට්ගේ ගලිවර්ස් ට්‍රැවල්ස් (Gulliver's Travels) වැනි කෘති ද විද්‍යා ප්‍රබන්ධ ලෙස සැලකෙයි. නූතන විද්‍යා ප්‍රබන්ධයේ මහා දැවැන්තයන් තිදෙනා (Big Three) ලෙස අයිසෙක් ඇසිමොව් (Issac Asimov), ආතර් සී. ක්ලාක් (Arthur C. Clarke) සහ රොබර් ට් ඒ. හෙයින්ලෙයින් (Robert A. Heinlein) හඳුන්වනු ලැබෙති. මුල්කාලීන විද්‍යා ප්‍රබන්ධ රචකයන් අතර ජූල්ස් වර්න්, එච්. ජී. වෙල්ස්, එච්. පී. ලව්ක්‍රාෆ්ට්, එඩ්ගාර් රයිස් බරෝස් කැපී පෙනේ.

පසුකාලීන විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන් අතර අයිසෙක් ඇසිමොව්, ආතර් සී. ක්ලාක්, රොබර්ට් ඒ. හෙයින්ලෙයින් (Robert A. Heinlein), පෝල් ඇන්ඩර්සන් (Poul Anderson), මයිකල් ක්‍රිච්ටන් (Michael Crichton), ස්ටැනිස්ලාෆ් ලෙම් (Stanislav Lem), ලැරී නිවෙන් (Larry Niven), ඩේවිඩ් බ්‍රින් (David Brin), ස්ටීවන් බැක්ස්ටර් (Stephan Baxter) පිලිප් කේ. ඩික් (Philip K. Dick), උර් සුලා කේ. ලේ ගයින් (Ursula K. Le Guin), ඔක්තාවියා ඊ. බට්ලර්, රේ බ්‍රැඩ්බරි (Ray Bradbury), ග්‍රෙග් බෙයාර් (Greg Bear), ග්‍රෙගරි බෙන්ෆෝඩ් (Grgary Benford), ඔර් සන් ස්කොට් කාඩ් (Orson Scott Card), පීටර් වොට්ස් (Peter Watts), ග්‍රෙග් එගන් (Greg Egan) කැපී පෙනෙති.

නිර්වචනය

සංස්කරණය

ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රචකයකු සහ සංස්කාරකවරයකු වන ලෙස්ටර් ඩෙල් රේ පවසන පරිදි "විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය දැඩි ව ඇසුරු කරන රසිකයකුට පවා විද්‍යා ප්‍රබන්ධය යනු කුමක් ද යන්නට තනි පිළිතුරක් දීම අපහසු විය හැකි ය." මෙසේ "සතුටුදායක නිර් වචනයක්" නොතිබීමට හේතුව වන්නේ "පහසුවෙන් දැක්විය හැකි මිනුම් දඬු විද්‍යා ප්‍රබන්ධයට නො තිබීම ය." [1]

අයිසෙක් ඇසිමොව්ට අනුව "විද්‍යාවේ සහ තාක්ෂණයේ වෙනස්වීම්වලට මානව වර්ගයා දක්වන ප්‍රතිචාරය සමග ගනුදෙනු කරන සාහිත්‍යය ප්‍රභේදය ලෙස විද්‍යා ප්‍රබන්ධය හඳුන්වා දිය හැකි ය." [2]

රොබට් ඒ. හෙයින්ලෙයින් පවසා ඇති පරිදි "සෑම විද්‍යා ප්‍රබන්ධයක් ම ඇතුළත් කරගන්නා කෙටි සතුටුදායක නිර්වචනයක් පහත පරිදි විය හැකි ය. එනම්, තථ්‍ය ලෝකය, අතීතය සහ වර්තමානය පිළිබඳ නිසි ශක්තිමත් දැනුමක් සහ විද්‍යාත්මක ක්‍රමයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් මත පදනම් ව විභව අනාගත සංසිද්ධි පිළිබඳ යථාර්ථවත් පරිකල්පනයන් ඉදිරිපත් කිරීම යි." [3]

ඉතිහාසය

සංස්කරණය
 
H. G. Wells

නූතන බටහිර සාහිත්‍යය තුළ විද්‍යා ප්‍රබන්ධය මතු ව ඒමට පෙර ආදි යුගයේ පවා විද්‍යා ප්‍රබන්ධ ලෙස සැලකිය හැකි නිර්මාණ අපට හමු වෙයි. නිදසුන් ලෙස ප්‍රරාණ ග්‍රීක මිත්‍යා කතාවක් වන, ඉටි පියාපත් සාදාගෙන හිරු සමීපයට යන පිය පුතු දෙපලක් ගැන කියැවෙන ඉකාරස්ගේ කතාව ද, ජපන් ජනකතාවක් වන කගුයාහිමේ කතාව ද, අරාබි නිසොල්ලාසයේ එන කිඳුරකු වූ අබ්දුල්ලා නම් ධීවරයාගේ පුවත ද, එමෙන් ම බෞද්ධ සාහිත්‍යයේ එන උම්මග්ග ජාතකයෙහි එන ඇතැම් කතා තුළ ද විද්‍යා ප්‍රබන්ධ ලක්ෂණ හඳුනා ගත හැකි ය.

නූතන බටහිර සාහිත්‍ය තුළ බිහි වූ මුල් ම විද්‍යා ප්‍රබන්ධය ලෙස 17 වැනි සියවසේ දී තාරකා විද්‍යාඥයකු වූ ජොහැන්නස් කෙප්ලර් විසින් ලියූ සොම්නියම් හඳුනාගත හැකි ය. මෙහි සඳගමනක් පිළිබඳ විස්තර වූ විද්‍යාත්මක තොරතුරු ඉතා නිවැරදි ව පරිකල්පනය කිරීමට සමත් විය. කෙසේ නමුත් නූතන සාහිත්‍ය තුළ විද්‍යා ප්‍රබන්ධය ෂානරයක් ලෙස නැගී එන්නේ ජූල්ස් වර්න්ගේ කෘති සමගිනි. ඊට පෙර විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකිය හැකි කතා රචනා වී තිබුණ ද අනුගාමී සාහිත්‍ය පරපුරක් බිහිවන්නේ ඔහුගේ කෘතිවලින් බව විද්‍යා ප්‍රබන්ධ රචකයකුසහ විද්‍යාඥයකු වන චාල්ස් ෂෙෆීල්ඩ් Borderlands of Science නමැති සිය කෘතියේ සඳහන් කරයි. වර්න්ගේ කෘති අතර පොළව අභ්‍යයන්තරයට යන චාරිකා, දිය යට ගමන් කළ හැනි යාත්‍රා, බැලූනයක් නැගී ගමන් කිරීම වැනි අනාගතවාදී තේමා ඇතුළත් වූ අතර අනාගත තාක්ෂණය පිළිබඳ සාර්ථක අනාවැකි ඉදිරිපත් කිරීමට ද සමත් විය. කෙසේ නමුත් මාරි ෂෙලී විසින් ලියූ ෆ්‍රැන්ක්ස්ටයින් නවකතාව ද මුල් ම විද්‍යා ප්‍රබන්ධ නවකතාව ලෙස ඇතැම්හු සලකති. විද්‍යාඥයකු ⁣මල මිනීවල කොටස් යොදාගෙන මිනිසකු නිර්මාණය කිරීමක් ගැන සඳහන් වූ ෂෙලීගේ ෆ්‍රැන්ක්ස්ටස්ටයින් අනාගත තාක්ෂණය ආශ්‍රිත සදාචාර අර්බුද සංවාදයට ලක් කළ මුල් ම විද්‍යා ප්‍රබන්ධය වෙයි. ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රචකයකු වූ හියුගෝ ගර් න්ස්බැක් (Hugo Gernsback) ද විද්‍යා ප්‍රබන්ධයේ මුල්කාලීන සමයේ එහි නැගීම වෙනුවෙන් විශාල සේවයක් කළ රචයකු වෙයි. ඔහු විසින් ඇරඹූ Amazing Stories විද්‍යා ප්‍රබන්ධ සඟරාව ප්‍රථම විද්‍යා ප්‍රබන්ධ සඟරාව වශයෙන් විද්‍යා ප්‍රබන්ධයේ නැගීමට බෙහෙවින් ඉවහල් වූ අතර ඇතැමුන් විද්‍යා ප්‍රබන්ධයේ පියා වශයෙන් සලකන්නේ ද ඔහු ය. ඇමරිකාවේ පිරිනැමෙන ප්‍රධාන විද්‍යා ප්‍රබන්ධ සහ ෆැන්ටසි සම්මානයක් වන හියුගෝ සම්මානය ඔහු නමින් පිරිනැමෙයි.

මේවා ද බලන්න

සංස්කරණය

ආශ්‍රිත නාමාවලිය

සංස්කරණය
  1. ^ Del Rey, Lester (1980). The World of Science Fiction 1926–1976. Ballantine Books. ISBN 978-0-345-25452-8.
  2. ^ Asimov, "How Easy to See the Future!", Natural History, 1975
  3. ^ Heinlein, Robert A.; Cyril Kornbluth; Alfred Bester; Robert Bloch (1959). University of Chicago: Advent Publishers. 

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=විද්‍යා_ප්‍රබන්ධ&oldid=654296" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි