පේල් බ්ලූ ඩොට්
පේල් බ්ලූ ඩොට් (ඉංග්‍රීසි: Pale Blue Dot; අර්ථය: "ලා නිල් තිත") යනු 1990 පෙබරවාරි 14 වැනිදා වොයේජර් 1 අභ්‍යාවකාශ ප්‍රෝබය කි.මී. බිලියන 6 ක දුරක සිට ලබාගත් පෘථිවියේ ඡායාරූපයකි. මෙහි පෙනෙන පෘථිවියෙහි ප්‍රමාණය පික්සලයකටත් වඩා කුඩාය. කැමරාවෙහි පරාවර්ථනය වන හිරු කිරණ පටි අතර කුඩා තිතක් ලෙස පොළොව දක්නට ලැබේ.[1]
මෙහෙයුමේ මූලික අරමුණු සම්පූර්ණ කිරීමෙන් පසු නාසා ආයතනය විසින් වොයේජර් 1 ගැඹුරු අභ්‍යාවකාශයට යොමු කරන ලද අතර, තාරකා විද්‍යාඥයෙකු සහ ගත්කතුවරයෙකු වූ කාල් සේගන්ගේ ඉල්ලිමක් මත, වොයේජර් 1 අවසාන වරට නැවත පෘථිවිය දෙස හරවා මෙම ඡායාරූපය ලබා ගන්නා ලදී.[2] එයට පේල් බ්ලූ ඩොට් නොහොත් "ළා නිල් තිත" යන නම යොදන ලද්දේ සේගන් විසින් 1994 එම නමින්ම ලියන ලද ග්‍රන්ථය මගිනි.[1]
පසුබිම
සංස්කරණය1977 සැප්තැම්බරයේ නාසා ආයතනය විසින් සෞරග්‍රහ මණ්ඩලය සහ අන්තස්තාරීය අභ්‍යාවකාශය අධ්‍යනය කිරීම සඳහා වොයේජර් 1 ලෙස හැඳින්වූ කි.ග්‍රෑ. 722 ක් බරැති රොබෝ අභ්‍යාවකාශ යානයක් දියත් කරනු ලැබීය.[3] බ්‍රහස්පති පද්ධතිය සහ සෙනසුරු පද්ධතිය අධ්‍යනය කිරීමෙන් පසු මෙහෙයුමෙහි ප්‍රධාන අරමුණු සාර්ථක වූ බවට ප්‍රකාශ කරනු ලැබීය. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක දෙක සහ ඒවායේ චන්ද්‍රයින්ගේ සුපැහැදිළි ඡායාරූප පළමුවරට ලබාගත්තේ වොයේජර් 1 යානය විසින් ය.
මේ මොහොතේදීත් පැයට කි.මී. 64,000 ක වේගයකින් අභ්‍යාවකාශය හරහා ගමන් කරමින් සිටින වොයේජර් 1, මෙතෙක් පොළොවේ සිට වැඩිම දුරක් ගමන් කර ඇති කෘතීම වස්තුව වේ.[4] මූලික අරමුණු සාර්ථක වුවද වොයේජර් 1 හී මෙහෙයුම තවමත් ක්‍රියාත්මක වන අතර, කුයිපර් පටිය, සූර්යගෝලය සහ අන්තස්තාරීය අභ්‍යාවකාශය විමර්ශනය කිරීම එහි නව අරමුණු වේ. 2021 වනවිට වසර 44 ක් තිස්සේ ක්‍රියා කරන යානය අදටත් පොළොවේ ඇති ගැඹුරු අභ්‍යාවකාශ ජාලයට (Deep Space Newtork) දත්ත එවීම සිදු කරයි.[3]
වොයේජර් 1 සැලසුම් කරන ලද්දේ සෙනසුරු හමුවීම තෙක් ක්‍රියා කිරීමට පමණි. 1980 දී යානය සෙනසුරු ද පසු කර ගමන් කිරීම ඇරඹූ පසු, සේගන් එය නැවත හරවා පෘථිවියෙහි එක් අවසාන ඡායාරූපයක් ගත යුතුයැයි යෝජනා කළේය.[5] ඉතාම දුරක සිට ගන්නා මෙම පින්තූරයෙහි කිසිදු විද්‍යාත්මක වැදගත්කමක් නොමැති වුවද, විශ්වයේ මනුෂ්‍යයාට ඇති තැන ගැන යම් අදහසක් ලබාගැනීමට මෙය වැදගත් වන බව සේගන් විශ්වාස කළේය.
වොයේජර් වැඩසටහනේ සාමාජිකයින් බහුතරයක් මෙම අදහසට එකඟත්වය පළ කළද, සමහරුන් මෙමගින් වොයේජර්හී ඡායාරූපකයට හිරු එලිය මගින් හානි විය හැකි බව පෙන්වා දුන්හ. කෙසේ නමුත් 1989 වනවිට සේගන් ගේ අදහස ක්‍රියාත්මක කරන ලදී.
ඡායාරූපය
සංස්කරණයඡායාරූපය ලබාගැනීම සඳහා කැමරා කාචයේ නිරාවරණ කාලය ආදිය ගණනය කිරීම, සහ ඒවා වොයේජර් වෙත යැවීම සඳහා නියෝග අනුක්‍රමයක් සැකසීම සිදු කෙරුණේ නාසා ක්ෂේප ප්‍රචාලන විද්‍යාගාරයේ කැන්ඩි හැන්සන් සහ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ කැරොලයින් පෝර්කෝ යන අභ්‍යාවකාශ විද්‍යාඥයන් විසිනි.[6] ඉන්පසු එම නියෝග අනුක්‍රමය සම්පාදනය කොට වොයේජර් 1 වෙත යවන ලද අතර, 1990 පෙබරවාරී 14 ග්‍රිනිච් මධ්‍යන්‍ය වේලාවෙන් 04:48 ට ඡායාරූප ලබාගන්නා ලදී.[7]
කැමරාවෙන් ලබාගත් දත්ත මුලින්ම වොයේජර්හී ටේප් රෝකෝඩරයක තැන්පත් වූ අතර, ඒවා පෘථිවියට එවීම ප්‍රමාද වූයේ ගැඹුරු අභ්‍යාවකාශ ජාලය (Deep Space Newtork) විසින් මැගලන් සහ ගැලීලියෝ මෙහෙයුම් වලට ප්‍රමුඛතාවය දීමට සිදු වූ නිසා ය. කෙසේ නමුත් පසුව, 1990 මාර්තු සහ මැයි මාස අතර වොයේජර් රූපරාමු 60 ක් පෘථිවියට එවීය. ආලෝකයේ වේගයෙන් ගමන් කරන එම රේඩියෝ තරංග පොළොවට ගමන් කිරීමට පැය 5 හමාරක් ගත විය.[4]
රූපරාමු තුනකම පෘථිවිය දැක්වුනේ හිස් අවකාශයක ඇති ඉතා කුඩා තිතක් ලෙසයි. සෑම රූපරාමුවක්ම ලබාගෙන තිබුණේ විවිධ වර්ණ පෙරහන් භාවිත කරමින් ය. පෙර සඳහන් කළ රූපරාමු නිල්, කොළ සහ දම් පැහැ පෙරහන් වලින් ද, පිලිවෙලින් 0.72, 0.48 සහ 0.72 යන නිරාවරණ කාලවලින්ද ලබාගෙන තිබුණි. එම රූපරාමු තුන ප්‍රතිසංයෝජනය කිරීමෙන් පේල් බ්ලූ ඩොට් ඡායාරූපය නිර්මාණය විය.
සෑම රූපරාමුවක්ම පික්සල 640,000 කින් සමන්විත වූ අතර, එයින් පෘථිවිය අඩංගු වූයේ එක් පික්සලයකින් 12% ක කොටසක පමණි. ඡායාරූපයෙහි පටි ලෙස ඇත්තේ කැමරාවෙන් පරාවර්ථනය වූ සූර්ය කිරණ ය.
දුර
සංස්කරණයනාසා ක්ෂේප ප්‍රචාලන විද්‍යාගාරයෙහි HORIZONS මෙවලමට අනුව, 1990 පෙබරවාරි 14 සහ මැයි 15 දිනවල, වොයේජර් 1 පොළොවේ සිට ගමන් කර තිබූ දුර පහත දැක්වේ.[8]
මිනුම් ඒකකය | 1990 පෙබරවාරි 14 | 1990 මැයි 15 |
---|---|---|
නක්ෂත්‍ර ඒකක | 40.472229 | 40.417506 |
කිලෝමිටර | 6,054,587,000 | 6,046,400,000 |
සැතපුම් | 3,762,146,000 | 3,757,059,000 |
ආවර්ජනා
සංස්කරණය1994 පළවූ සිය පේල් බ්ලූ ඩොට් ග්‍රන්ථයේදී කාල් සේගන් මෙම ඡායාරූපයේ වටිනාකම ගැන ඔහුගේ අදහස් දැක්වූයේ මෙලෙස ය:
නැවතත් ඒ තිත දෙස බලන්න. ඒ මෙතැනයි. ඒ නිවසයි. ඒ අපියි. ඔබ ආදරය කරන සියලු දෙනාම ද, ඔබ අඳුනන සියලු දෙනාම ද, ඔබ අසා ඇති සියලු දෙනාම ද, ඉතිහාසය පුරාවට සිටි සියලුම මනුෂ්‍යයින් ද, ජීවත් වූයේ ඒ මතයි. මානව වර්ගයාගේ ඉතිහාසය පුරා අපේ සතුට සහ වේදනාව එකතු වූ තැනද, දහස් ගණනක් ආගම්, මතවාද සහ ආර්ථික මූලධර්ම ද, සෑම දඩයක්කරුවෙක්ම, සෑම වීරයෙක්ම, සෑම බියගුල්ලෙක්ම ද, ශිෂ්ටාචාර ආරම්භ කළ අයද, ශිෂ්ටාචාර විනාශ කළ අයද, සෑම රජෙක්ම ද, සෑම ගොවියෙක්ම ද, ආදරය කරන සෑම තරුණ යුවළක්ම ද, සෑම මවක්ම, සෑම පියෙක්ම, සෑම බලාපොරොත්තු සහිත දරුවෙක්ම ද, සෑම නව නිපැයුම්කරුවෙක්ම ද, සෑම ගවේශකයෙක්ම ද, සාරධර්ම උගන්වන සෑම ගුරුවරයෙක්ම ද, සෑම දූෂිත දේශපාලනඥයෙක්ම ද, සෑම 'සුපිරි තාරකාව'ක්ම ද, සෑම 'උත්තරීතර පාලකයෙක්'ම ද, සෑම ශාන්තුවරයෙක්ම ද, සෑම පාපිෂ්ඨයයෙක්ම ද ජීවත් වූයේ එහියි. එනම් හිරු කිරණක් මත එල්ලෙන කුඩා දූවිලි අංශුවක් මතයි.
මහ පොළොව යනු විශ්ව රඟ මඬලෙහි ඇති ඉතාම කුඩා වේදිකාවකි. මේ කුඩා තිත තුළ, ඊටත් වඩා කුඩා ප්‍රදේශයක තාවකාලික පාලකයා වීම සඳහා සෑම අධිරාජ්‍යයෙකු සහ සේනාධිපතිවරයෙකු විසින්ම වගුරුවන ලද ලේ ගංගා ගැන සිතන්න. මේ පික්සලයෙහි එක් කොනක ජීවත් වෙන අය තවත් කොනක ජීවත් වෙන අයට දැක්වූ අනන්ත කෲරකම් ගැන ද, ඔවුන් අතර නිතර ඇතිවෙන වැරදි වැටහීම් ගැනද, එකිනෙකා මරා ගැනීමට ඔවුන්ට ඇති බලවත් ආශාව ගැනද, ඔවුන් ඉතා උද්‍යෝගයෙන් එකිනෙකාට වෛර කරගන්නා ආකාරය ගැනද සිතන්න.
අපේ නොමඟ යවන සුලු හැසිරීම්, අප සිතෙන් මවාගත් ලෝක මාන්නය, අප විශ්වයේ වරප්‍රසාදලත් තැනක සිටී යන රැවටිලි සහගත අදහස, මෙම ලා එලියකින් යුත් තිත විසින් අභියෝගයට ලක් වෙයි. අපේ ග්‍රහලෝකය යනු විහිදෙන අඳුරු අභ්‍යාවකාශයේ ඇති එක් හුදෙකලා තිතක් පමණයි. අපව අපගෙන්ම ගළවා ගැනීමට, අපිට තේරුම් ගත නොහැකි, අති විශාල විශ්වයේ වෙනත් කොහෙන් හෝ ගැලවුම්කරුවෙකු එනු ඇති බවට කිසිම ඉඟියක් නැත.
පෘථිවිය යනු දැනට දන්නා පරිදි ජීවයට රැකවරණය දිය හැකි එකම ග්‍රහලොවයි. අපේ වර්ගයාට, අඩුම තරමින් නුදුරු අනාගතයේදීවත්, සංක්‍රමණය විය හැකි වෙනත් තැනක් නොමැත. [වෙනත් තැනකට] සංචාරය කළ හැකියි. නමුත් පදිංචි විය නොහැකියි. ඔබ එයට කැමති වූවත් නැතත්, මේ මොහොතේ අපට ඇත්තේ පෘථිවිය පමණයි..
තාරකා විද්‍යාව යනු නිහතමානීත්වය සහ චරිතය දියුණු කරන අත්දැකීමක් යැයි පැවසෙනවා. ඉතාම දුරක සිට ලබාගත් අපේ කුඩා ලෝකයේ මේ ඡායාරූපය තරම් මිනිස් සංහතියේ මෝඩ උඩඟුකම ගැන පෙන්වාදෙන වෙනත් නිරූපණයක් සමහරවිට ඇත්තේම නැත. මට නම් එය, එකිනෙකාට කරුණාවෙන් සැළකීමටත්, අප දන්නා අපේ එකම නිවස වන මේ ලා නිල් පැහැති තිත සංරක්ෂණය කිරීමට සහ රැකබලා ගැනීමටත් අපට ඇති වගකීම මනාව අවධාරනය කරයි.
සංවත්සර
සංස්කරණය2015 දී නාසා ආයතනය ඡායාරූපයේ 25 වැනි සංවත්සරය සැමරුවේය. 2020 දී ඡායාරූපයෙහි 30 වැනි සංවත්සරය වෙනුවෙන්, නාසා ආයතනය විසින් නවීන ඡායාරූප සැකසුම් තාක්ෂණයන්ගේ ආධාරයෙන් වැඩි දියුණු කරන ලද මෙහි නව අනුවාදයක් එළි දක්වන ලදී. පේල් බ්ලූ ඩොට් රීවිසිටඩ් ලෙස නම් කෙරුනු එය, දීප්තිය සහ වර්ණයන් තුලනය කිරීමෙන් පෘථිවිය සහිත කොටස වැඩි දියුණු කරන ලද එකකි.[7]
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b "අ පේල් බ්ලූ ඩොට්". The Planetary Society. සංරක්ෂණය කරන ලද්දේ 2014 දෙසැම්බර් 19. ලබාගත්තේ 2014 දෙසැම්බර් 21.
- ^ "ෆ්‍රොම් අර්ත් ටු ද සෝලා සිස්ටම්, ද පේල් බ්ලූ ඩොට්". නාසා. සංරක්ෂණය කරන ලද්දේ 2014 දෙසැම්බර් 18 (මුල් ලිපිය). ලබාගත්තේ 2014 දෙසැම්බර් 24.
- ^ a b "මිෂන් ඕවර්විව්". starbrite.jpl.nasa.gov. සංරක්ෂණය කරන ලද්දේ 2011 ජුලි 21 (මුල් ලිපිය සංරක්ෂණය කළ පිටපත 2014-02-22 at the Wayback Machine). ලබාගත්තේ 2011 ජුලි 27.
- ^ a b සේගන්, කාල් (1990 සැප්තැම්බර් 9). "ද අර්ත් ෆ්‍රොම් ද ෆ්‍රන්ටියර්ස් ඔෆ් ද සෝලා සිස්ටම් – ද පේල් බ්ලූ ඩොට්". PARADE Magazine. ලබාගත්තේ 2011 ජුලි 28.
- ^ "ඉට්ස් අවර් ඩොට්: ෆෝ කාල් සේගන්, ප්ලැනට් අර්ත් ඉස් ජස්ට් අ ලෝන්ච් පෑඩ් ෆෝ හියුමන් එක්ස්ප්ලොරේෂන්ස් ඔෆ් ද අවුටර් යුනිවර්ස්[permanent dead link]". pqasb.pqarchiver.com සංරක්ෂණය කළ පිටපත 2018-07-15 at the Wayback Machine. ලබාගත්තේ 2011 ජුලි 28.
- ^ කාල් සේගන්; ඈන් ඩෘයන් (2011). පේල් බ්ලූ ඩොට්: අ විෂන් ඔෆ් ද හියුමන් ෆියුටර් ඉන් ස්පේස්. Random House Publishing Group. pp. 4–5. ISBN 978-0-307-80101-2.
- ^ a b Staff. "පේල් බ්ලූ ඩොට් රීවීසිටඩ්". ක්ෂේප ප්‍රචාලන විද්‍යාගාරය. නාසා. ලබාගත්තේ 2020 පෙබරවාරි 13.
- ^ "නාසා ජේපීඑල්'ස් හොරයිසන් සිස්ටම් ෆෝ කැල්කියුලේටින් එෆිමරීඩ්ස් ෆෝ සෝලා සිස්ටම් බොඩීස්". ssd.jpl.nasa.gov. සංරක්ෂණය කරන ලද්දේ 2012 ඔක්තොම්බර් 7 (මුල් ලිපිය). ලබාගත්තේ 2011 ජුලි 13.
- ^ සේගන්, කාල් (1997). පේල් බ්ලූ ඩොට්. එක්සත් ජනපද: Random House USA Inc. පිටු අංක 6 සහ 7. ISBN 9780345376596.
- ^ කාල් සේගන්, පේල් බ්ලූ ඩොට්, පිටු අංක 6, ගූගල් පොත්.