යුදෙව් විරෝධවාදය

(යුදෙව් විරෝධීවාදය වෙතින් යළි-යොමු කරන ලදි)

යුදෙව් ජාතිකයන්ට වෛර කිරීම, ඔවුන්ව පිළිකුල් කිරීම, සහ ඔවුන්ට වෙනස්කම් කිරීම යුදෙව් විරෝධවාදය යනුවෙන් හැඳින්වේ. යුදෙව් විරෝධී මතවාද නිසා යුදෙව්වන් ඉතිහාසය පුරාවටම හිංසා කිරීම්, පිටුවහල් කිරීම් සහ සමූල ඝාතන වලට ලක් වී ඇත. යුදෙව්වන් යනු ආගමික-වාර්ගික කණ්ඩායමක් බැවින් යුදෙව් විරෝධවාදය දෙයාකාර විය හැක. එනම් ජාතියක්/ජනවර්ගයක් ලෙස සළකා යුදෙව්වන් කෙරෙහි වෛර කිරීම සහ යුදෙව් ආගමෙහි අනුගාමිකයන් හට වෛර කිරීම යනුවෙනි. මින් පළමු ආකාරයේ එදිරිවාදිකම් වලට බොහෝ විට හේතුවන්නෙ යුදෙව්වන් යනු තමාගේ සමාජීය කණ්ඩායමට වඩා වෙනස් සහ පහත් සහජ ගති ලක්ෂණ ඇති "ජාතියක්" යන විශ්වාසයයි. දෙවැනි ආකාරයේ එදිරිවාදිකම් වලට බොහෝ විට හේතු වන්නේ යම් පුද්ගලයෙකුගේ ආගම විසින් යුදෙව් ආගමිකයන් දකින ආකාරයයි. ක්‍රිස්තියානි, ඉස්ලාම් වැනි වෙනත් ඒබ්‍රහමික ආගම් වල ඇති සුලභ තේමාවක් වන්නේ එය යුදෙවු ආගමෙහි අනුප්‍රාප්තික ආගම වන බවත් යුදෙව්වන් තම ආගම වැළඳ ගත යුතු බවත් ය.

යුදෙව් විරෝධවාදය ක්‍රියාත්මක කෙරෙන අයුරු විවිධාකාරය. තනි තනි යුදෙව්වන් ඉලක්ක කරමින් වෛරී සහගත ප්‍රකාශ සිදු කිරීමේ සිට සංවිධානාත්මක සමූළ ඝාතනයන් හෝ වර්ග සංහාරයන් දක්වා මෙය විචලනය විය හැකිය. ඉතිහාසයේ සිදු වූ සැලකිය යුතු ප්‍රමාණයේ යුදෙව් විරෝධි හිංසනයන් මෙසේය:

ඓතිහාසිකව යුදෙව්වන්ට එරෙහිව් සිදු කෙරුනු ප්‍රචණ්ඩකාරී සිදුවීම් බොහොමයක් සිදු වී ඇත්තේ ක්‍රිස්තියානි යුරෝපයේ ය. එහෙත් 20 වන ශතවර්ෂයේ සිට අරාබි ලෝකය තුලද යුදෙව් විරෝධවාදයෙහි ශීඝ්‍ර වැඩිවීමක් දැකිය හැකිය. මෙයට ප්‍රධාන හේතුව යුදෙවු විරෝධී කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රචලිත වීම ය.

නූතනයේදී යුදෙවු විරෝධවාදයෙහි නව අනුවාදයක් ලෙස "නව යුදෙව් විරෝධවාදය" හඳුනාගෙන තිබේ. යුදෙවු විරෝධවාදීන් විසින් සිය වෛරී සහගත මතවාද ඉදිරිපත් කිරීම සඳහා අරාබි ඊශ්‍රායල යුද්ධය භාවිත කරන ආකාරය මෙම සංකල්පයෙන් පැහැදිළි කෙරේ. එහිදී ඊශ්‍රායල රජයේ ක්‍රියාකාරකම් විවේචනය කරන මුවාවෙන් යුදෙවු විරෝධවාදී අදහස් වලට අවධානය සහ වලංගුභාවය ලබාගැනිමට උත්සාහ කෙරේ. කෙසේ වුවද, ඊශ්‍රායල රජයෙහි ප්‍රතිපත්තීන් සාධාරණ ලෙස විවේචනය කිරීම නිසගයෙන්ම යුදෙව්-විරෝධී නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=යුදෙව්_විරෝධවාදය&oldid=604072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි