ධර්මරාජ රථ

මහාබලිපුරම් හී දේවාලය

ධර්මරාජ රථ යනුවෙන් හැඳන්වෙන්නේ ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ කාංචීපුරම් දිස්ත්‍රික්කයේ මහාබලිපුරම්හි පිහිටි පංච රථ සංකීර්ණය අතුරින් එක් ස්මාරකයකි. මෙය බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ පිහිටියේ ය. මෙය ඒකශෛලීය ඉන්දියානු ගලින්-නෙළූ ගෘහනිර්මාණ ශිල්පයට කදිම නිදසුනකි. ක්‍රි.ව. 7වන සියවසට අයත් මෙය පල්ලව රාජවංශයේ Iවන මහේන්ද්‍රවර්මන් සහ ඔහුගේ පුත් Iවන නරසිංහවර්මන් (ක්‍රි.ව‍. 630–680; මාමල්ල ලෙස ද හැඳින්වේ) රජවරුන්ගේ රාජ්‍ය සමයේ ඉදිවිණැයි සැලකේ. මෙම සම්පූර්ණ සංකීර්ණයම ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ (ASI) අනුග්‍රහය යටතේ පවතියි. මෙය 1984 සිට යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම්කෙරුණු මහාබලිපුරම් ස්මාරක සමූහය අතුරින් එකකි.[3]

ධර්මරාජ රථ
ධර්මරාජ රථ
මූලික තොරතුරු
පිහිටීමමහාබලිපුරම්
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාශිව
දිස්ත්‍රික්කයකාංචීපුරම් දිස්ත්‍රික්කය
ජනපදයතමිල් නාඩු
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව‍. 650 පමණ[1][2]

රථයකට සමාන මෙය තනි, දිගටි රෝස ග්‍රැනයිට් පාෂාණයකින් නෙළා තිබේ.[3][4][5] ඇතැම් අවස්ථාවල දී දේවාලයක් ලෙස වරදවා වටහා ගැනුණත්, මෙය සම්පූර්ණ කොට නොමැති හෙයින් දෙවියන්ට පූජාකොට නොමැත.[6] එයට හේතුව Iවන නරසිංහවර්මන්ගේ මරණයයි.[4][5][7] මෙම ව්‍යූහය නම්‍ කොට ඇත්තේ සුප්‍රකට මහාභාරත වීරකාව්‍යයේ එව වැඩිමහල්ම පාණ්ඩවයාගේ නම ඇසුරෙනි.[3][5][8] නමුත් මෙහි නාමකරණය සනාථ කෙරෙන කිසිදු ඓතිහාසික සාධකයක් හමුනොවේ.[4] මෙය ශිව දෙවියන්ට කැපකොට ඇත.[9]

භූගෝල විද්‍යාව

සංස්කරණය

මෙම ව්‍යූහය පිහිටියේ කාංචීපුරම් දිස්ත්‍රික්කය තුළ බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ මහාබලිපුරම් (අතීතයේ මාමල්ලපුරම් ලෙස හැඳින්විණි) හි ය. එය අගනගරය වන චෙන්නායි (පෙර මදුරාසි නම් විය) සිට සැතපුම් 35 (56 km) පමණ දකුණින් පිහිටා ඇත.[10] නමුත් චෙංගල්පට්ටු සිට ඇත්තේ සැතපුම් 20ක (32 km) පමණ දුරකි.[11]

ඉතිහාසය

සංස්කරණය

පංච රථ ඉන්දියානු දේවාල ගෘහනිර්මාණ ශිල්පයේ වැදගත් සංවර්ධනයක් පෙන්වයි. සෙසු පංච රථ සතර මෙන් ධර්මරාජ රථය ද පාෂාණයෙන් තනා ඇත. එය දැවයෙන් තැනූ ප්‍රභේදයක අනුරුවක් වන්නට ඇත.[12] මෙය ඒකශෛලීය දේවාලයක් ලෙස පැවසුණ ද, "දේවාලය" යන වදන වැරදි ව්‍යවහාරයක් වන්නේ පංච රථ කිසිදින නිමකොට අවසන් නොවූ හෙයිනි.[6] මෙයට සාක්ෂියක් ලෙස මව් පාෂාණයේ කොත කැටයම් කර නොතිබීම දැක්විය හැක. එමනිසා රථ වන්දනාවට භාවිතා කෙරුණේ නැත. පංච රථවල මෙම අසම්පූර්ණභාවයට හේතුව ක්‍රි.ව. 668දී Iවන නරසිංහවර්මන් රජුගේ මරණයයි.[8][13] මෙම රථය වීරකාව්‍යවල එන පාණ්ඩවයන් හා සම්බන්ධව නම්කොට තිබුණ ද, මේ බවට ඉතිහාසයෙන් කිසිදු සාක්ෂියක් හමුනොවේ. මෙම රථය ඇතුළු සෙසු ස්මාරක සමූහය 1984දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම්කරන ලද්දේ "මහාබලිපුරම් ස්මාරක සමූහය" යන නාමය යටතේයි.[3]

මෙම රථයේ ඇති විශාල බව සහ නිරූපණයන් සැලකිල්ලට ගත් විට, මෙහි ඉදිකිරීම පල්ලව රාජවංශයේ රජවරුන් දෙදෙනකු වන, Iවන නරසිංහරවර්මන් මාමල්ල සහ ඔහුගේ අනුප්‍රාප්තික රජ Iවන පරමේශ්වරවර්මන් (මොහුගේ අභිලේඛනයක් රථයේ තිබී හමු විය) සමයයන්ට අයත් යැයි සැලකිය හැක. රථ අතුරින් විශාලතම රථය බැවින් මෙයට ධර්මරාජ රථය යන නාමය යොදාඇත්තේ පාණ්ඩව සොහොයුරන් අතුරින් වැඩිමහල්ම සොහොයුරාගේ නාමය ඇසුරෙනි.[13][14] මෙම රථය සැලසුම අතින් අර්ජුන රථයට සමාන නමුත්, මෙය විශාලත්වයෙන් වැඩි අතර, අමතර මහලක් ද ඇතුළත් ය.

ගෘහනිර්මාණ ශිල්පය

සංස්කරණය
 
ධර්මරාජ රථයේ සැලසුම
 
ධර්මරාජ රථයේ උන්නතාංශය
 
ධර්මරාජ රථයේ හරස්කඩක්

සියලුම පංච රථ පොදු පාදමක් මත පිහිටා ඇති අතර, උතුරු-දකුණු දිශානතිය ඔස්සේ පිහිටා ඇත. මෙවන් ආකාරේ ගෘහනිර්මාණ ශිල්පයක් ඉන්දියාවේ දක්නට නොලැබුණු අතර, ද්‍රවිඩියානු ‍ගෘහනිර්මාණ ශිල්පයේ දකුණු ඉන්දියානු සම්ප්‍රදායේ විශාල දේවාල තැනීමට මෙය "මූලාදර්ශයක්" වන්නට ඇතැයි සැලකේ.[8] ඒකශෛලීය පාෂාණයකින් නෙළා තිබුණ ද, මෙම රථ ව්‍යූහාත්මක දේවාල ලෙස තනා ඇති හෙයින් “සදිසි-ඒකශෛලීය දේවාල ස්වරූපයක්” ලෙස හැඳින්වේ.

 
ධර්මරාජ රථයේ ගෘහනිර්මාණ ශෛලියේ ඇති සංකීර්ණබාවය පෙන්වන සම්පූර්ණ රූප සටහනක්

ධර්මරාජ රථය ගෘහනිර්මාණ ශෛලිය අතින් පංච රථ අතුරින් ප්‍රමුඛම සහ උසින් වැඩිම[15] රථය වන අතර, විශාලතම රථය ද වේ.[16][17][18] මෙම රථය බස්නාහිර දිශාවට මුහුණලා පිහිටි අතර, ප්‍රතිමා නිර්මාණ අතින් එය පොහොසත් ය. මෙහි බිම් මහල ඇතුළත්ව මහල් තුනක් දක්නට ලැබේ. බිම් මහලේ සැලැස්ම අඩි 28 (8.5 m) ප්‍රමාණයේ සමචතුරස්‍රයක හැඩය ගන්නා අතර, බිම් මට්ටමේ සිට පියස්සේ මුදුන තෙක් උස අඩි 35 (11 m) කි. සිව් දිශාවෙන්ම මෙය විවෘත අතර, සෑම පැත්තකම ඇති ප්‍රාසාදමුඛයන් කුළුණු දෙකකින් සහ නෙරි කුළුණු දෙකකින් ආධාර වන අතර, කොන්වල එම නෙරි කුළුණු ඉහළ මහල්වල දරා සිටීමට උපකාරී වේ.[13] තනි රෝස ග්‍රැනයිට් පාෂාණයකින් කැටයම් කළ මෙය,[19][20] සහ සෙසු රථ තුන උතුරු-දකුණු දිශානතිය ඔස්සේ ඉස්මතුවූ තනි පාෂාණ කුට්ටියකින් කැටයම් කර තිබීම විශේෂත්වයකි[5] මෙය ත්‍රිතල හෙවත් තෙමහල්[21][22] විමානයක් වන අතර,[23] සමචතුරස්‍රාකාර සැලැස්මකින් යුත් මෙය විවෘත ද්වාර මණ්ඩපයකින් සහ පේසා සහිත පිරමිඩාකාර ශිඛරයකින් සමන්විත ය.[24] මෙහි මුදුනේ අෂ්ටාස්‍රාකාර ශිඛරයක් (කොතක්) දක්නට ලැබේ.[25] ශිඛරයේ ඉහළ කොටස විසිතුරු කිරීමේ දී කූඩු කැමැති කුඩා-ප්‍රමාණයේ පූජාස්ථා ආකෘති භාවිතා කොට ඇත.[9][26] ගර්භගෘහයේ කෙළවරවල්වල ප්‍රතිමා ගණනාවක් දක්නට ලැබෙන අතර ඉන් ශිව;[27] හරිහර, බ්‍රහ්ම-සාස්ත, ස්කන්ධ, බ්‍රහ්ම, අර්ධනාරීශ්වර (ශිවගේ අර්ධයක් සහ පාර්වතීගේ අර්ධයක් සහිත)[28] සහ ක්‍රිෂ්ණාගේ රූ නිරූපණය වේ.[29] මේ සමගම රජුගේ ද අභිලේඛනය කළ ආලේඛය රුවක් දක්නට ලැබෙන අතර, එමගින් දේවාලය ඉදිකරවූ[30] Iවන නරසිංහවර්මන් නිරූපණය වේ යැයි සිතිය හැක.[24][31][32] කුළුණුවල බ‍ඳෙහි හිඳි සිංහ රූ දැකගත හැකි ය.[24] දෙවන මහලේ විසිතුරු කැටයම් දක්නට ලැබෙන අතර,[33] එහි ශිව‍‍ගේ ගංගාධර සහ නටේස ස්වරූපයන්, ගරුඩා මත හිඳගත් විෂ්ණු සහ කාලිය මර්දන රූ දැකගත හැක.

 
සෑම දිශාවකම බිත්ති ශීර්ෂවල දක්නට ලැබෙන කූඩු (අශ්ව-ලාඩම් හැඩැති පියැසි කවුළු)

ප්‍රතිමා විද්‍යානුකූලව පල්ලව සහ දකුණු ඉන්දියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම රථයේ ශෛලමය කැටයම් දක්නට ලැබේ. මෙහි මහල් තුනම කැටයම්වලින් අලංකාර කොට ඇත. බිම් මහලෙහි බාහිර මුහුණත්වල විමාන අටක් දක්නට ලැබෙන අතර, ඒවායේ රථ ඉදිකළ රජුන් පිළිබඳ සඳහන් අභිලේඛන ඇතුළත් ය. බටහිර බිත්තියේ ශිවගේ රූප දෙකක් (අත් සතරක් සහිතව සම්භංග ඉරියව්වෙන්), යාබද විමානයේ අත් සතරක් සහිතව ජටාමකුට (හිසට ඉහළින් කේශකලාපය රැස්කර බැඳි) ස්වරූපයෙන් යුත් ශිව රුවක් දක්නට ලැබේ. උතුරු මුහුණතේ වූ විමාන දෙකෙහි එක් විමානයක අත් සතරක් සහිත බ්‍රහ්මගේ රුවත්, අනෙක් විමානයේ අත් සතරක් සහිත හරිහර රුවක් දැකගත හැක. මෙය හරි (විෂ්ණු) සහ හර (ශිව) ගේ සම්මිශ්‍රණයකි. නැගෙනිහර මුහුණතේ වූ විමාන දෙකෙහි අර්ධනාරීශ්වර (අඩක් පුරුෂ (ශිව) සහ අර්ධ ස්ත්‍රී (ශක්ති) ස්වරූපයෙන් යුත්) සහ බ්‍රහ්මසාස්ත ස්වරූපයෙන් යුත් ස්කන්ධගේ රුවක් ද වේ. දකුණු මුහුණතේ වූ විමාන දෙකෙහි , සම්භංග ඉරියව්වෙන් යුත් සිටගත් ශිව රුවක් සහ පල්ලව රජ Iවන නරසිංහවර්මන් මාමල්ලගේ රුව දැකගත හැක. මෙහි විමානවලට ඉහළින් “ශ්‍රීමේඝ” (ධනයේ මේඝය) සහ “ත්‍රෛලෝක්‍යවර්ධන” (තුන් ලොවෙහි සමෘද්ධියෙහි ආරක්ෂක) යන නාම කැටයම් කොට ඇත. බිම් මහලෙහි බිත්ති ශීර්ෂයෙහි මිනිස් මුහුණු ඇතුළත් කූඩු (අශ්ව-ලාඩම් හැඩැති පියැසි කවුළු) මෝස්තර දැකගත හැක. බිත්ති ශීර්ෂයට පහළින් බටහිර මුහුණතෙහි මල් දාම අතැති තිරස් ගන රූ දැකගත හැක. මෙය රථයේ ප්‍රධාන පිවිසුමයි.[13]

රථයේ පළමු මහලෙහි (මෙය දැකගත හැක්කේ ඉණිමගක් තබා නැගීමෙනි. මෙය වෙත දිවෙන පියගැට පෙළක් දක්නට නොමැත) විමාන විස්සක් දැකගත හැක. මේවා කංකාලමූර්ති, වීණාධර, නර්තනයෙහි යෙදෙන ශිව, චන්ඩේශ සමග ශිව, ගංගාධර, විෂ්ණු, කාලරි, වෘෂභාන්තිකමූර්ති, අන්ධකාසුරසම්හමූර්ති, පූජාවන් සිදුකරන කාන්තාවන් පිරිවරාගත් ක්‍රිෂ්ණා, ද්වාරපාල සහ පූජක රූ වලින් අලංකාර කොට ඇත.[13]

දෙවන මහලෙහි, සම්පූර්ණයෙන් නිමකළ කුටි දක්නට ලැබේ. මෙම කුටිවලට පිවිසෙන ස්ථානවල ද්වාරපාල රූ දැකගත හැක. ඉන් එක් කුටීරයක සෝමස්කන්ධ පනේලයෙහි ආදිතම නිරූපණයක් දැකගත හැකි අතර, එහි වෙනත් ඵලකවල මෙන් නොව පාර්වතී ශිවට මුහුණලා අසුන්ගෙන සිටියි. මෙහි කුඩුම්බි සිදුරක් සහ ජලය ඉවතට ගෙනයාමට වූ බිහිදොරක් දැකගත හැකි අතර, මෙය අතීතයේ වන්දනාමාන කටයුතු සඳහා භාවිත වූ බැව් පැවසේ. මෙහි වූ ශිව ලිංගය වර්තමානයේ දක්නට නැත. මෙම මහලේ උතුරු මුහුණත විමාන පහක් සහිත කුටියකින් සමන්විත ය.ඉන් එක් විමානයක බැතිමතුන් පිරිවරාගත් චන්ද්‍ර (සඳ) රූපය දැකගත හැක. නැගෙනහිර මුහුණතෙහි ද විමාන පහක් දක්නට ලැබේ. එහි ප්‍රධාන රුව වශයෙන් බැතිමතුන් දෙදෙනකු පිරිවරාගත් සූර්ය රූපය දැකගත හැක. දකුණු මුහුණතෙහි ද විමාන පහක් දැකගත හැකි අතර, එහි මධ්‍යයේ බැතිමතුන් දෙදෙනකු සමග සිටින ශිවගේ රුව වේ.[13]

අභිලේඛන

සංස්කරණය

ධර්මරාජ රථයෙහි ග්‍රන්ථ සහ සංස්කෘත නගරි අක්ෂරවලින් යුත් අභිලේඛන 16ක් දැකගත හැක. මේයා රාජකීය විරුද නාමයන් වන අතර, තනි වචන පදවි නාම වේ. මේවායින් බොහෝමයක් Iවන නරසිංහවර්මන්ට අය්ත යැයි සැලකේ.[34] දේවාලයේ මුදුනේම ස්තරයේ අත්‍යන්තකාම පල්ලවේස්වරම් පිළිබඳ සඳහන් අභිලේඛනයක් වේ. අත්‍යන්තකාම යනු Iවන පරමේස්වරවර්මන්ගේ පදවි නාමයක් ලෙස සැලකේ. රජු සඳහා භාවිතා වූ මෙහි කැටයම් කොට ඇති සෙසු විරුද නාම අතර ශ්‍රී මේඝ සහ ත්‍රෛ‍ලෝක්‍යවර්ධන-විධි යන නාමයන් ප්‍රචලිත ය.[31]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ The Culture of India. The Rosen Publishing Group. 2010. p. 315. ISBN 9780852297629.
  2. ^ Indu Ramchandani (2000). Student Britannica India 7 Vols. Popular Prakashan. p. 5. ISBN 9780852297629.
  3. ^ a b c d "Group of Monuments at Mahabalipuram". UNESCO. සම්ප්‍රවේශය 2007-03-03.
  4. ^ a b c "File:Five Rathas, Mahabalipuram.jpg". Archarological Survey of India, Chennai Circle. සම්ප්‍රවේශය 9 April 2013.
  5. ^ a b c d "Pancha Rathas, Mamallapuram". Archaeological Survey of India. සම්ප්‍රවේශය 23 October 2012.
  6. ^ a b Marilyn Stokstad (2008). Art history. Pearson Education. p. 333. ISBN 9780131577046.
  7. ^ "Mahabalipuram". UCLA Education, South Asia. සම්ප්‍රවේශය 30 December 2012.
  8. ^ a b c "The Rathas, monolithic [Mamallapuram]". Online Gallery of Encyclopædia Britannica. සම්ප්‍රවේශය 19 February 2013.
  9. ^ a b Margaret Prosser Allen (1991). Ornament in Indian Arch. p. 139.
  10. ^ Michael D. Gunther. "Pancha Rathas, Mamallapuram". art-and-archaeology.com. සම්ප්‍රවේශය 23 October 2012.
  11. ^ P. V. Jagadisa Ayyar (1982). South Indian Shrines: Illustrated. Asian Educational Services. pp. 157–. ISBN 978-81-206-0151-2. සම්ප්‍රවේශය 7 February 2013.
  12. ^ Moffett, Marian; Fazio, Michael W.; Wodehouse, Lawrence (2003). World History of Architecture. Laurence King Publishing. p. 75. ISBN 978-1-85669-371-4. සම්ප්‍රවේශය 9 January 2013.
  13. ^ a b c d e f "Mahabalipuram – The Workshop of Pallavas – Part III". 4. Dharmaraja Ratha. Indian History and Architecture, Puratattva.in. 23 August 2010. සම්ප්‍රවේශය 20 February 2013.
  14. ^ "Mahabalipuram – The Workshop of Pallavas – Part VI". General Information. Puratatva.com. 3 September 2010. සම්ප්‍රවේශය 28 February 2013.
  15. ^ "The Five Rathas of Mahabalipuram". Varalaaru. සම්ප්‍රවේශය 9 January 2013.
  16. ^ Rina Kamath (2000). Chennai. Orient Blackswan. p. 121.
  17. ^ History & Civics IX. Rachnar Sagnar. p. 127.
  18. ^ K. V. Soundara Rajan (2002). Concise Classified Dictionary of Hinduism. Concept Publishing. p. 260.
  19. ^ Indian Railways. Vol. 15. India Railway Board. 1970.
  20. ^ Our Story So Far. Vol. 6. Pearson Education India. p. 102. ISBN 9788131714942.
  21. ^ Aline Dobbie (2006). India: The Elephant's Blessing. Melrose Press. p. 56. ISBN 9781905226856.
  22. ^ Roshen Dalal (2010). The Religions of India: A Concise Guide to Nine Major Faiths. Penguin Books India. p. 279. ISBN 9780143415176.
  23. ^ D. Dennis Hudson (2008). The Body of God: An Emperor's Palace for Krishna in Eighth-Century Kanchipuram. Oxford University Press. p. 537. ISBN 9780195369229.
  24. ^ a b c Upinder Singh (2008). A History of Ancient and Early Medieval India: From the Stone Age to the 12th Century. Pearson Education India. p. 636. ISBN 978-81-317-1677-9. සම්ප්‍රවේශය 9 January 2013.
  25. ^ V.V. Subba Reddy (2009). Temples of South India. Gyan Publishing House. p. 95. ISBN 9788121210225.
  26. ^ Hugh Honour; John Fleming (2005). A World History of Art.
  27. ^ Roshen Dalal (2011). Hinduism: An Alphabetical Guide. Penguin Books India. p. 294. ISBN 9780143414216.
  28. ^ Karen Schreitmüller; Mohan Dhamotharan; Beate Szerelmy (2012). India Baedeker Guide. p. 589.
  29. ^ T. Padmaja (2002). Temples of Kr̥ṣṇa in South India: History, Art, and Traditions in Tamilnāḍu. Abhinav Publishing. p. 110. ISBN 9788170173984.
  30. ^ G. Jouveau-Dubreuil (1994). Pallava Antiquities – 2 Vols. Asian Educational Services. p. 63. ISBN 9788120605718.
  31. ^ a b "World Heritage Sites – Mahabalipuram – Monolithic Temples". Archaeological Survey of India. සම්ප්‍රවේශය 9 January 2013.
  32. ^ K. R. Srinivasan (1975). The Dharmarāja ratha & its sculptures, Mahābalipuram. Abhinav Publications.
  33. ^ Elisabeth Beck (2006). Pallava rock architecture and sculpture. Sri Aurobindo Institute of Research in Social Sciences in association with East West Books (Madras). p. 226. ISBN 9788188661466.
  34. ^ "A monumental effort". Front Line India's National Magazine from the publishers of The Hindu. 8 November 2003. 10 April 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 December 2012.

"https://si.wikipedia.org/w/index.php?title=ධර්මරාජ_රථ&oldid=722729" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි