දෙල්ගමුව රජ මහා විහාරය

ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි දෙල්ගමුව රජ මහා විහාරය මෙරට ඉතිහාසමය වශයෙන් වැදගත්වන බෞද්ධ පුදබිමක් සේ සැළකේ. වර්ෂ 43ක කාලයක් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ, ආරක්ෂා සහිතව මෙම විහාරස්ථානයේ සඟවා තැබීම ඊට හේතුව වී තිබේ. කොළඹ-රත්නපුර මාර්ගයේ කුරුවිට සිට කිලෝ මීටර 1ක් පමණ දුරින් මෙම විහාරය පිහිටා තිබේ.

දෙල්ගමුව රජ මහා විහාරය
දන්ත ධාතූන් වහන්සේ සඟවා තැබූ කුරහන් ගල
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

ඉතිහාසය

සංස්කරණය

දෙල්ගමුව රජ මහා විහාරයෙහි ලිඛිත ඉතිහාසය සීතාවක යුගය දක්වා දිවයන්නක් වේ. එසමයේ රචිත රාජාවලිය හා සුළු රාජාවලියෙහි මෙම විහාරය සපරගමු විහාරය ලෙස හඳුන්වා තිබේ. මහාවංශයෙහි දෙල්ගමුව රජ මහා විහාරය හඳුන්වා ඇතිතේ ලබුජගාම විහාරය ලෙසයි.[1] මීට අමතරව අලගියවන්න මුකවැටිතුමන් විසින් රචිත සැවුල් සංදේශයෙහි දෙල්ගමුව විහාරය පිළිබඳවද තොරතුරු සඳහන් කොට තිබේ. කොට්ටේ යුගයේදී මෙම විහාරය ඉතා දියුණු තත්වයක පැවැති බව සඳහන් වේ.

දන්ත ධාතූන් වහන්සේ

සංස්කරණය

පස්වන බුවනෙකබාහු රජු (1375 – 1391) විසින් එතෙක් කුරුණෑගල පැවැති දන්ත ධාතූන් වහන්සේ කෝට්ටේ රාජධානිය වෙත වැඩම කරවන ලදී. ඒ වෙනුවෙන් කොට්ටේ දළදා මාළිගයක් ද රජු විසින් කරවන ලදී. කෙසේ නමුදු ක්‍රිස්තු වර්ෂ 1505දී සිදුවූ පෘතුගීසීන්ගේ ආගමනයත් සමග, දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව පිළිබඳ ගැටළුකාරී තත්වයන් මතුවිය.

සත්වන විජයබාහු රජු සතුරන් අතින් ඝාතනයට ලක්වීමෙන් අනතුරුව ඔහුගේ පුතුන් තිදෙනා විසින් කෝට්ටේ රාජධානිය බෙදා පාලනය කරනු ලැබූ අතර, ඉන් කොට්ටේ රාජධානිය හත්වනි බුවනෙකබාහු රජු විසිනුත් (1521 – 1551), සීතාවක පාලනය මායාදුන්න රජු විසිනුත්, පස්වලල්ලාවිට කෝරළයේ පාලනය රයිගම්බණ්ඩාර විසිනුත් ගෙන යන ලදී.[1] කෝට්ටේ රජකම් කල හත්වනි බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු කෝට්ටේ රාජධානියේ රාජ්‍යත්වයට පත්වීමට උරුමක්කාරයෙකු නොසිටියෙන්, රජුගේ දියණියගේ පුතු ධර්මපාල කුමරු පෘතුගීසීන්ගේ ආරක්‍ෂාව යටතේ රජකමට පත්වීම සිදුවිය. පෘතුගීසීන්ගේ රූකඩයක් සේ ක්‍රියාකල රජෙකු සේ ප්‍රකාශ වෙන ධර්මපාල රජු, පසුව කිතුනු දහම වැළැඳ ගනිමින් සිය නාමය දොන් ජුවන් ලෙස වෙනස් කරගන්නා ලදී.[2]

එතෙක් කෝට්ටේ රජුගේ භාරකාරත්වය යටතේ පැවැති දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව, රාජධානිය තුල සිදුවූ මෙවැනි දෑ හේතුවෙන් බරපතල අවධානමකට ලක්ව ඇති බව භික්ෂූන් වහන්සේලා හා එකල දියවඩන නිළමේවූ කීරවැල්ලේ හිරිපිටියේ දියවඩන නිළමේතුමන් විසින් අවබෝධ කර ගන්නා ලදී. මේ හේතුවෙන් දන්ත ධාතූන් වහන්සේ තවදුරටත් කොට්ටේ රාජධානිය තුල තබාගැනීම අනාරක්ෂිත බව සිතා, දියවඩන නිළමේතුමන් විසින් දළදාව සීතාවක රාජධානියේ රජකම් කල මායාදුන්නේ රජුට භාර දීමට කටයුතු කරන ලදී.[1]

දන්ත ධාතූන් වහන්සේ නිරායාසයෙන්ම තමන් සතු වීම පිළිබද සතුටට පත් මායාදුන්නේ රජු දළදා වහන්සේ වෙත පුද පූජා කරමින්, ආරක්ෂාව පිණිස දෙල්ගමුව රජමහා විහාරය වෙත වැඩම කරවන ලදී. මායාදුන්නේ රජු, දියවඩන නිළමේතුමන් හා එකල දෙල්ගමුව විහාරයේ වැඩසිටි ෂඞ් භාෂා පරමේෂ්වර මහින්දාලංකාර හිමි විසින් දන්ත ධාතූන් වහන්සේ සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විහාරයේ වූ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පිටුපස කුරහන් ගලක් තුල දළදාව සඟවා තැබීමට කටයුතු කරන ලදී.

මේ අතරතුර මායාදුන්නේ රජු ඝාතනය කරමින් ඔහුගේ පුත් ටිකිරි කුමරු, සීතාවක රාජසිංහ නමින් රාජධානියේ රජකමට පත්වීම සිදුවිය. පිතෘ ඝාතකයෙකු වීම නිසා සංඝයා වහන්සේලාගේ හා බොහොමයක් ජනයාගේ අප්‍රසාදයට මේ හේතුවෙන් සීතාවක රාජසිංහ රජු ලක්විය. දකුණු ඉන්දියානු ආක්‍රමණිකයකු වූ අරිට්ට කී වෙන්ඩුගේ බහට රැවටෙමින් රජු විසින් මේ සමයේ භික්‍ෂූන් වහන්සේලා ඝාතනය කිරීමටද පෙළඹිණි. කෙසේ නමුදු මේ සමයේදී ගොවට පැනගොස් සිටි කොනප්පු බණ්ඩාර, දොන් ජුවන් නමින් කිතුණු දහම වැළඳගනිමින් පෘතුගීසි සේනාවක් සමඟ නැවතත් ලංකාද්වීපයට පැමිණ පළවන රාජසිංහ රජු හා සටන් කොට ඔහුව පරදවා, පසුව පෘතුගීසි බලයද මැඩපවත්වමින් නැවත බෞද්ධාගම වැළඳ ගෙන පළමුවන විමලධර්මසූරිය රජු නමින් උඩරට රාජ්‍යත්වයට පත් විය.[3] බෞද්ධ පාලකයකු වශයෙන් රජුගේ ශ‍්‍රද්ධාවත් බව අවබෝධ කොටගත් දෙල්ගමුව විහාරයේ මහින්දාලංකාර හිමි විසින් වර්ෂ 43ක කාලයක් මුළුල්ලේ විහාරයේ සුරක්ෂිතව තිබූ දන්ත ධාතූන් වහන්සේ රජුට බාර කිරීමට කටයුතු කරනු ලැබූ අතර විමලධර්මසූරිය රජු විසින් මහනුවර දළදා මාලිගයක් ඉදිකරවා, දන්ත ධාතුන් වහන්සේ එහි තැන්පත් කරවීමට කටයුතු කරන ලදී.[4][5]

නටඹුන්

සංස්කරණය

කෙසේ නමුදු පසුකාලීනව මෙම විහාරස්ථානය පෘතුගීසීන් අතින් විනාශයට ලක්වන අතර වර්ථමානයේ පැරණි විහාර නටඹුන් සුළු ප්‍රමාණයක් ශේෂව පවතී. ඒ අතර පැරණි පියගැට පෙළක්, වාහල්කඩ කොටසක්, ආසනඝරයක් හා පැරණි බෝධි වෘක්ෂය දැකගත හැකිවේ. දන්ත ධාතූන් වහන්සේ වසර ගණනාවක් සුරැකිව දරා සිටි ඓතිහාසික කුරහන් ගල පූජනීය වස්තුවක් ලෙස වර්ථමානයේද විහාරයේදී පුද පූජාවට ලක්වේ.දැනට විහාරස්ථානය‍ට අයත් භූමි භාගය තුලදී විහාර මළුව හැරනේනට එවැනි පුරාතන ගොඩනගිලි කිහිපයක පදනම් දක්නට ඇත.

මේවාද බලන්න

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. 1.0 1.1 1.2 "කුරහන්ගල දළදා මැදුරක් වූ සීතාවක පුර පින් බිම". ලංකාදීප. 11 අගෝස්තු 2011. 2015-03-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2016.
  2. "දෙල්ගමුව රජ මහ වෙහෙරයි ඓතිහාසික කුරහන් ගලයි". බුදුසරණ. 2 මැයි 2013. 2017-03-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2016.
  3. "ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරය". හෙරිටේජ් ශ්‍රී ලංකා. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2016.
  4. "Delgamuwa Raja Maha Viharaya". Lanka Pradeepa. 13 January 2019. සම්ප්‍රවේශය 9 December 2021.
  5. "දෙල්ගමුව රජ මහා විහාරය". අමෙිසිං ලංකා. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2016.