Iවන තුත්මෝස් (ඇතැම්විට Iවන තොත්මෙස්, තුත්මොසිස් හෝ ටුත්මොසිස් ලෙස ද හඳුන්වයි, අරුත තොත්ට-උපන්) යනු පුරාතන ඊජිප්තුවේ 18වන රාජවංශයේ තුන්වන පාරාවෝවරයායි. ඔහු සිහසුනට පත් වූයේ Iවන අමෙන්හොටෙප් රජුගෙන් පසුවයි. ඔහුගේ රාජ්‍ය සමය තුළ දී, ඔහු නැ‍ගෙනහිර මධ්‍යධරණි පෙදෙස සහ නුබියාව වෙත යුධ ව්‍යාපාර මෙහෙයවමින් ඊජිප්තුවේ දේශසීමා පෙර නොවූ තරම් දුරකට ව්‍යාප්ත කළේ ය. එසේම ඔහු ඊජිප්තුව තුළ නොයෙකුත් දේවස්ථාන ඉදි කළ අතර, රජුන්ගේ නිම්නයේ තමන් සඳහා සොහොනැගැබක් ද ඉදිකළේ ය. රජුන්ගේ නිම්නයේ මෙසේ සිය සොහොන්ගැබ ඉදිකරගත් පළමු රජු ඔහු යැයි සැලකේ. (ඇතැම්විට Iවන අමෙන්හොටෙප් ද ඔහුට පෙර එසේ සිදු කරන්නට ඇත).

ඔහුගෙන් පසු ඔහුගේ පුත් IIවන තුත්මෝස් ද, අනතුරුව IIවන තුත්මෝස්ගේ සොයුරිය වූ හට්ෂෙප්සුට් ද සිහසුනට පත් විය. ඔහුගේ රාජ්‍ය සමය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 1505-1493 යැයි නිර්ණය කොට ඇත. නමුත් ඇතැම් විද්වතුන්—පුරාතන ඊජිප්තු වාර්තාවල කාලරේඛාව නිර්ණයට යොදාගත් ජ්‍යොතිශ්‍යමය නිරීක්ෂණ තීබ්සයේ නොව මෙම්පිස් නගරයේ සිට සිදු කළ බව සිතන විද්වතුන්—ඔහුගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.පූ. 1526–1513 ලෙස දක්වා ඇත.[2][3]

තුත්මෝස්ගේ පියා Iවන අමෙන්හොටෙප් වන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඔහුගේ මව සෙන්සෙනෙබ්, රාජකීය-නොවන උපතක් ඇත්තියක වන නිසා ඇය සුළුබිසව හෝ උපබිසවක් වන්නට ඇත.[4] තුත්මෝස්ගේ මහා රාජකීය බිරිඳ තනතුර ඉසිලූ අහ්මෝස් රැජින Iවන අහ්මෝස් රජුගේ දියණිය සහ Iවන අමෙන්හොටෙප් රජුගේ සොයුරිය යැයි සැලකේ;[5] කෙසේනමුත් ඇයට කිසිදින "රජුගේ දියණිය" ලෙස අමතා නැති බැවින්, මෙම මතය විවාදාත්මක ය. ඇතැම් ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ ඇය තුත්මෝස්ගේම සොයුරිය වන්නට ඇති බවයි.[6] ඇය අමෙන්හොටෙප්ට සම්බන්ධ බව පපෙන්වීමෙන්, තුත්මෝස් සිය රාජ්‍යත්වය ස්ථාවර කරගැනීමට ඇයව විවාහ කරගන්නට ඇතැයි සිතිය හැක. කෙසේනමුත්, මෙය එසේ නොවිය හැකි බවට හේතු දෙකක් යෝජනා වී ඇත. පළමුවැන්න නම්, කාර්නැක්හි අමෙන්හොටෙප්ගේ ඇලබැස්ටර් නිර්මාණය තුළ අමෙන්හොටෙප්ගේ මරණයට පෙර අමෙන්හොටෙප්ගේ නම සමග තුත්මෝස් ද නාමය ද සඳහන්ව තිබීමයි.[7] දෙවැන්න නම්, තුත්මෝස්ට දාව අහ්මෝස්ට උපන් පළමු පුත්‍රයා වන අමෙන්මෝස් තුත්මෝස්ගේ සිංහාසනාරූඪයට බොහෝ කලකට පෙර උපත ලබා ඇති බව පෙනී යාමයි. තුත්මෝස්ගේ සිව්වන රාජ්‍ය වර්ෂයට අයත් ශිලා ස්තම්භයක අමෙන්මෝස් මෙම්පිස් අසල දඩයමේ නිරතවන අයුරු නිරූපණය කොට ඇති අතර, ඔහු සිය මරණයට පෙර "ඔහුගේ පියාගේ මහා හමුදා සෙන්පතියා" බවට පත්ව ඇත. අමෙන්මෝස්ගේ මරණය සිය 12වන රාජ්‍ය වර්ෂයේ සිදු වූ තුත්මෝස්ගේ මරණයට පසු සිදුවූවක් විය නොහැක.[8] තුත්මෝස්ට දාව වැඩ්ජ්මෝස් නැමැති තවත් පුත්‍රයකු සහ හට්ෂෙප්සුට් හා නෙෆ්රුබිටි නැමැති දියණියන් දෙදෙනකු අහ්මෝස් රැජිනට විය. වැඩ්ජ්මෝස් සිය පියාට පෙර මියගිය අතර, නෙෆ්රුබිටි ළමා වියේ මියගියා ය.[9] තුත්මෝස්ට දාව මුට්නොෆ්‍රෙට් නම් වෙනත් බිසවකට උපන් පුත්‍රයකු ද විය. මෙම පුත්‍රයා ඔහුගෙන් පසු IIවන තුත්මෝස් ලෙස සිහසුනට පත් වූ අතර, Iවන තුත්මෝස් ඔහුට සිය දියණිය වූ හට්ෂෙප්සුට් විවාහ කරදුන්නේ ය.[9] පසුකලෙක හට්ෂෙප්සුට් විසින් වාර්තා කර ඇත්තේ තුත්මෝස් රජු IIවන තුත්මෝස් මෙන්ම හට්ෂෙප්සුට් යන දෙදෙනාටම රාජ්‍යය භාරදීමට අදහස් කළ බවයි. නමුත් මෙම ප්‍රකාශය හට්ෂෙප්සුට්ගේ රාජ්‍යත්වය නීත්‍යානුකූල කිරීමට ඔහුගේ ආධාරකරුවන් ගත් උත්සාහයක් ලෙස සැලකෙයි.[10]

දින සහ රාජ්‍ය සමයේ දිග

සංස්කරණය

තුත්මෝස්ගේ පූර්වප්‍රාප්තිකයා වූ Iවන අමෙන්හොටෙප්ගේ සමයේ සොතිස් හිරු සමග උදාවුණු බව පැවසේ. මෙය ක්‍රි.පූ 1517දී සිදු වූවක් වන අතර, එය තීබ්ස් සිට නිරීක්ෂණය කොට ඇත.[11] අමෙන්හොටෙප්ගේ මරණය සහ තුත්මෝස්ගේ අනුයාත සිංහාසනාරූඪය ඉන්පසුව සිදු වූ බව විශ්වාස කෙරෙන අතර, එය ක්‍රි.පූ. 1506දී සිදු වී යැයි බොහෝ නූතන විද්වතුන් විශ්වාස කරයි. මෙම නිරීක්ෂණය හීලියොපොලිස් හෝ මෙම්පිස් සිට සිදු කරන ලද්දක් ‍වූයේ නම් සුළුතරයක් විද්වතුන් විශ්වාස කරන ආකාරයට තුත්මෝස් සිහසුනට පත්ව ඇත්තේ ක්‍රි.පූ. 1526දී ය.[12]මැනතෝ වාර්තා කරන්නේ Iවන තුත්මෝස්ගේ රාජ්‍ය සමය වර්ෂ 12ක් සහ මාස 9ක් (හෝ වර්ෂ 13ක්) පැවති බවයි.[13] මෙම දත්ත සත්‍ය විය හැකි බව කාර්නැක්හි ගල් කුට්ටියක ඇති ඔහුගේ කාර්ටුෂය දරන වර්ෂය 8 සහ වර්ෂය 9ට අයත් ශිලා ලේඛන‍ දෙක සාක්ෂි දරයි.[14] අඩු කාලානුක්‍රමය යටතේ තුත්මොස්ගේ රාජ්‍ය සමය ක්‍රි.පූ. 1506-1493 ලෙස විශ්වාස කෙරෙන අතර, සුළුතරයක් විද්වතුන් පිළිගන්නේ එය ක්‍රි.පූ. 1526-1513 බවයි.[11]

යුධ ජයග්‍රහණ

සංස්කරණය
 
ඊජිප්තුවේ උපරිම දේශසීමා ව්‍යාප්තිය (ක්‍රි.පූ. 15වන සියවස)

තුත්මෝස්ගේ සිංහාසනාරූඪයත් සමග නුබියාව ඊජිප්තු පාලනයට එරෙහිව කැරලි ගැසී ය. එබානාගේ පුත් අහ්මෝස්ගේ සොහොන්ගැබේ ඇති ස්වයංචරිතාපදානය අනුව තුත්මෝස් නයිල් ගංගාව දිගේ යාත්‍රා කොට සටන් වැදී නුබියානු රජු පෞද්ගලිකව මරා දමා ඇත.[15] ජයග්‍රහයෙන් පසු, නැවත තීබ්ස් වෙත පැමිණීමට පෙර ඔහු නුබියානු රජුගේ දේහය සිය නැවේ ඇණියේ එල්ලා තැබූ බව පැවසේ.[15] එම ව්‍යාපාරයෙන් පසු, ඔහු සිය තෙවන වර්ෂය තුළ නුබියාව වෙත දෙවන ගවේෂණයක් දියත් කළේ ය. ඒ 12වන රාජවංශ සමයේ IIIවන සෙසොට්‍රිස් රජු විසින් ඉදිකළ පළමු මහා ඇල්ලේ ඇල මාර්ගයේ මඩ ඉවත් කර ඊජිප්තුවේ සිට නුබියාව වෙත ප්‍රවාහනය පහසු කරගැනීම සඳහායි. මෙය නුබියාව, ඊජිප්තු අධිරාජ්‍යය හා ඒකාබද්ධ කිරීමට බෙහෙවින් ඉවහල් විය.[9] මෙම ගවේෂණය පිළිබඳ රජුගේ පුත් තුරේ විසින් ශිලා ලේඛන ද්විත්වයක සටහන් කොට ඇත:[16]

වර්ෂය 3, තෙවන ඍතුවේ පළමු මාසය, දිනය 22, ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ හෙවත් ජීවය දෙන ආඛෙපෙරේ යටතේ ය. උත්තමයාණන් ඇල මාර්ගය කැනීමට නියෝග කළේ එය ගල්වලින් අවහිර වීම [නිසා] [කිසිදු නැවක් එය හරහා ගමන්කළේ] නැති නිසායි; වර්ෂය 3, තෙවන ඍතුවේ පළමු මාසය, දිනය 22. රාජෝත්තමයාණන් විජයග්‍රාහීව සහ නීච කුෂ් පරාජය කොට නැවත පැමිණීමේ දී ඇල ඔස්සේ යාත්‍රා කළේ ය.[17]

තුත්මෝස්ගේ දෙවන වර්ෂයේ, රජු ටොම්බොස්හි ශිලාස්තම්භයක් තැන වූ අතර, එහි සඳහන් වන්නේ තෙවන මහා ඇල්ල අසල ටොම්බොස්හි ඔහු විසින් මහා බලකොටුවක් ඉදිකළ බවයි. මෙලෙසින් ඔහු දෙවන මහා ඇල්ලේ බුහෙන් අසල නවතා තිබූ ඊජිප්තු හමුදාව ස්ථිරව ව්‍යාප්ත කළේ ය.[18] මෙහි සඳහන් වන්නේ ඔහු සිරියාවේ ද යුධ ව්‍යාපාරයක් දියත් කළ බවයි. එම නිසා මෙම සිරියානු ව්‍යාපාරය ඔහුගේ දෙවන වර්ෂයේ ආරම්භක කාලයේ සිදුවන්නට ඇතැයි සැලකේ.[19] මෙම දෙවන යුධ ව්‍යාපාරය එතෙක් ඊජිප්තු පාලකයකු වඩාත්ම උතුරට වන්නට සිදුකළ යුධ ව්‍යාපාරය ලෙස සැලකේ. නූතනය වන විට සොයාගත නොහැකි වුව ද, ඔහු විසින් යුප්‍රටිස් ගඟ තරණය කිරීමෙන් පසු ද ශිලාස්තම්භයක් පිහිටුවා ඇති බව පෙනී යයි.[20] මෙම යුධ ව්‍යාපාරයේ දී, සිරියානු කුමාරවරු තුත්මෝස්ට පක්ෂපාතීත්වය පෙන්වූහ. කෙසේනමුත්, ඔහු නැවත පැමිණි පසු ඔවුහු පඬුරුකප්පම් සැපයීම නවතා දැමූ අතර, අනාගත ආක්‍රමණ වෙනුවෙන් හමුදා ශක්තිමත් කරන්නට වූහ.[9] තුත්මෝස් සිය ජයග්‍රහණය සැමරූයේ සිරියාවේ ඇපාමියා අසල නිය් පෙදෙසේ අලින් දඩයමක යෙදෙමිනි.[8] අනතුරුව ඊජිප්තුවට ඔහු ඊජිප්තුවට පැමිණියේ යුප්‍රටිස් පිළිබඳ විස්මයජනක පුවත් සමග ය. එනම් "පහළට වෙනුවට උඩු ගං බලා ජලය ගලන යටිකුරු ජලය" පිළිබඳ පවසමිනි.[9] ඊජිප්තුවරුන් එතෙක් හඳුනාගෙන තිබූ උතුරේ සිට දකුණට ගලන ප්‍රධාන ගංගාව යුප්‍රටිස් විය. නමුත් නයිල් ගංගාව දකුණේ සිට උතුරට ගැලූ බැවින් නයිල් ගංගාවේ යටි ගං බලායාමට සාපේක්ෂව යුප්‍රටිස් ගංගාවේ සිදු වූයේ උඩුගං බලා ජලය ගැලීමකි. මේ නිසා මේ ගංගාව ඊජිප්තුවරුන් විසින් සරලව "යටිකුරු ජලය" ලෙස හඳුන්වන ලදී.[9]

තුත්මෝස්ට ඔහුගේ සිව්වන වර්ෂයේ නැවත යුධ තර්ජනයකට මුහුණ දීමට සිදු විය. එයට හේතුව නුබියාවේ තවත් කැරැල්ලක් ඇතිවීමයි.[19] මේ සමග ඔහුගේ බලපෑම තවත් දකුණට ව්‍යාප්ත විය. සිව්වන මහා ඇල්ලටත් දකුණින් වූ කුර්ගුස් වැනි පෙදෙස්වලින් පවා ඔහුගේ සමයට අයත් ශිලාලේඛන හමුවීමෙන් මේ බව පැහැදිළි වේ.[20] ඔහුගේ සමය තුළ නොයෙකුත් ව්‍යාපෘති ඇරඹූ අතර, මෙම ව්‍යාපෘති මීළඟ වසර 500 තුළ නුබියානුවන්ගේ නිදහස අහිමි කරලීමට හේතු විය. ඔහු විසින් සෙම්නාහි සිට විරුද්ධ දෙසින් වූ නයිල්හි IIIවන සෙසොස්ට්‍රිස්ගේ ‍දෙවොල සහ ඛ්නුම් දෙවොල් විශාල කරවී ය.[21] මීට අමතරව රජු වෙනුවෙන් එල්-කබ්හි ප්‍රතිරාජයා නුබියාවේ දේවස්ථාන ගොඩනැංවූ බවට වාර්තා ඇත.[22] මීට අමතරව ඔහු ටුරි නැමැති පුද්ගලයකු කුෂ්හි ප්‍රතිරාජයා ලෙස පත්කළ අතර, ඔහුව "කුෂ්හි රජුගේ පුතු" ලෙස ද හඳුන්වයි.[23] නුබියාව තුළ රජුගේ නියෝජිතයකු ලෙස එහි රටවැසියකු පත්කෙරුණු නිසා නුබියානුවන් කැරැලි ඇතිකිරීමට තරම් නිර්භය වූයේ නැත. මේ නිසා අනාගත ඊජිප්තු රජවරුනට නුබියාව පාලනය පහසු විය.[19]

ගොඩනැගිලි ව්‍යාපෘති

සංස්කරණය
 
කයිරෝ කෞතුකාගාරයේ ඇති Iවන තුත්මෝස්ගේ ශිලාඵලකයක්
 
4වන අටලුවේ අංගණය: කාර්නැක්හි Iවන තුත්මෝස්ගේ ඔබලිස්කය

Iවන තුත්මෝස් සිය රාජ්‍ය සමය තුළ නොයෙකුත් ගොඩනැගිලි ව්‍යාපෘති ඉදිකරවී ය. මේ අතර බොහෝ දේවස්ථාන සහ සොහොන්ගැබ් වේ. නමුත් ඔහුගේ විශිෂ්ඨතම නිර්මාණ ව්‍යාපෘති ඇත්තේ කාර්නැක් දෙවොලේ වන අතර එම නිර්මාණ ඉනෙනි නැමැති ගෘහනිර්මාණ ශිල්පියාගේ මෙහෙයවීම මත ඉදි විය.[24] තුත්මෝස්ට පෙර කාර්නැක් දෙවොල පැවතියේ පුධාන වේදිකාව වෙත දිවෙන දිගු මාවතක් ලෙස ය. එහි මාර්ගය දෙපස සූර්ය වන්දනාව සඳහා දෙවොල් කිහිපයක් පැවතිණි.[25] මෙම දේවස්ථානය විශාල කරවීමට මූලිකත්වය ගත් ප්‍රථම රජු තුත්මෝස් ය. තුත්මෝස්, දෙවොලේ ප්‍රධාන මාර්ගය දිගේ පස්වන අටලුව ඉදිකළ අතර, එය ඇතුළත සිද්ධස්ථානය වටා දි‍වෙන ප්‍රාකාරයක් සහ පිවිසුම දෙපස සිටුවූ කොඩිකණු දෙකකින් සමන්විත විය.[25] මෙයට පිටතින්, ඔහු සිව්වන අටලුවක් සහ වෙනත් ඇතුළු ප්‍රාකාරයක් ඉදිකරවී ය.[25] සිව්වන සහ පස්වන අටලු අතර, ඔහු ස්තම්භ ශාලාවක් ඉදිකරවී ය. මෙම කුළුණු දේවදාර දැවයෙන් නිමකෙරිණි. මෙම ආකාරයේ ව්‍යූහය පුරාතන ඊජිප්තු දේවස්ථානවල සුලබව දක්නට ලැබිණි. එසේම මැවීම පිළිබඳ ඊජිප්තු සංකේතයක් වන පැපිරස් වගුරක් ද දක්නට ලැබිණි.[26] මෙම කුටියේ කෙළවර ඉහළ ඊජිප්තුවේ සහ පහළ ඊජිප්තුවේ කිරුළ මාරුවෙන් මාරුවට පැළඳ සිටින අයුරින් නිරූපිත දැවැන්ත ප්‍රතිමා ද ඔහු විසින් ඉදිකරන ලදී.[25] අවසානයේ, සිව්වන අටලුවේ පිටත ඔහු තවත් කොඩිකණු සතරක්[25] සහ ඔබලිස්කයන් දෙකක් සිටුවී ය. අද වනවිට ඇදවැටී ඇති ඉන් එකක්, වසර 50කට පමණ පසු IIIවන තුත්මෝස් විසින් කැටයම් කරන තෙක්ම කැටයම් කොට නොතිබිණි.[24] මහා ස්තම්භ ශාලාවේ Iවන තුත්මෝස් විසින් ඉදිකළ දේවදාර කුළුණු වෙනුවට IIIවන තුත්මෝස් විසින් ගල් කුළුණු යොදන ලදී. කෙසේනමුත්, උතුරින්ම වූ කුළුණු ද්විත්වය Iවන තුත්මෝස් විසින්ම ගල්කුළුණු මගින් විස්ථාපනය කරන්නට ඇති බව විශ්වාස කෙරේ‍.[24] Iවන තුත්මෝස්ගේ ස්තම්භ ශාලාව ඇතුළත හට්ෂෙප්සුට් රැජිනිය විසින් ඇගේ ඔබලිස්කයන් දෙකක් සිටුවා ඇත.[25]

කාර්නැක්වලට අමතරව, Iවන තුත්මෝස් ඇබයිඩොස්හි එනේඩ් ප්‍රතිමා මෙන්ම ආර්මන්ට්, ඔම්බොස්, එල්-හිබා, මෙම්ෆිස් සහ එඩ්ෆු යන ස්ථානවල ගොඩනැගිලි ද ඉදිකළේ ය. එසේම නුබියාවේ, සෙම්නා, බුහෙන්, අනිබා සහ ක්වුබාන් වැනි ස්ථානවල ගොඩනැගිලිවලට සුළු විස්තාරණයන් එකතු කළේ ය."තුත්මොසිස් I". touregypt.net. සම්ප්‍රවේශය 2006-08-02.</ref>

රජුන්ගේ නිම්නයේ භූමදාන කළ පළමු රජු Iවන තුත්මෝස් වේ.[20] ඉනෙනි විසින් ඔහුගේ සොහාන්ගැබ නිර්මාණය කිරීම මෙහෙයවී ය. එසේම ඔහු විසින් රජුගේ මතකාගාර දේවස්ථානය ද නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.[8] නමුත් තුත්මෝස් රජුගේ මතකාගාර දේවස්ථානය හමු වී නැත. ඇතැම්විට ඩේල් එල්-බහ්රි පෙදෙසේ පිහිටි හට්ෂෙප්සුට්ගේ මතකාගාර දේවස්ථානය ඉදිකිරීමේ දී එය ඉවත් කිරීම හෝ ඈඳාගැනීම සිදුවන්නට ඇත.[27] කෙසේනමුත් ඔහුගේ සොහොන්ගැබ ලෙස KV38 සොහොන්ගැබ හඳුනාගෙන ඇත. එය තුළින් හමු වූ කහ ක්වාර්ට්සයිට් මිනීපෙට්ටියක Iවන තුත්මෝස්ගේ නම අන්තර්ගත ය.[5] ඔහුගේ දේහය ඇතැම්විට IIIවන තුත්මෝස් රජු විසින් හට්ෂෙප්සුට්ගේ සොහොන්ගැබ වූ KV20 වෙත ගෙනයන්නට ඇති අතර, එම සොහොන්ගැබෙහි ද Iවන තුත්මෝස්ගේ නාමය කෙටූ මිනීපෙට්ටියක් ඇත.[20]

මරණය සහ භූමදානය

සංස්කරණය

Iවන තුත්මෝස්ගේ දේහය මුලින් භූමදානය කරන ලද්දේ KV20 ද්විත්ව සොහොන්ගැබෙහි ඔහුගේ දියණිය වන හට්ෂෙප්සුට්ගේ දේහය ද සමග ය. පසුව එය ඔහුගේ මුණුපුරු වූ IIIවන තුත්මෝස් විසින් ගොඩනැගූ KV38 සොහොන්ගැබ වෙත රැගෙන ගොස් ඇති බව "KV38 සොහොන්ගැබේ අන්තර්ගතයන් සහ ගෘහනිර්මාණය පිළිබඳ සිදුකළ නූතන සමීක්ෂණයකින්" හෙළි වී ඇත.[28] KV20 සොහොන්ගැබේ පිහිටීම 1799 නැපෝලියන්ගේ ආක්‍රමණ සමයේ සිටම හඳුනාගෙන තිබූ අතර, 1844දී ප්‍රශියානු විද්වතකු වූ කාල් රිචඩ් ලෙප්සියස් විසින් මෙහි ඉහළ පිවිසුම් මග අර්ධ වශයෙන් ගවේෂණය කොට ඇත.[29] කෙසේනමුත්, එහි සියලු පැසේජ මාර්ග "කුඩා ගල්කැබලි එක්රැස් වී අවහිර වී ඇත. මේවා ජලගැලීම්වලින් සොහොන්ගැබ තුළට ආ ගල්කැබලි ලෙස සැලකේ." 1903-1904 කාලයේ හොවාඩ් කාටර් විසින් පෙර අවස්ථා 2කදී මහත් ශ්‍රමයක් දැරීමෙන් අනතුරුව, එහි ප්‍රවේශ මාර්ග පාදා ද්විත්ව සොහොන් කුටීරයට ඇතුළු වීමට සමත් විය.[29] මෙහි සුන්බුන් අතර, සොහොන්ගැබෙන් හමු වූ බිඳුණු මැටිබඳුන් සහ ශිලා භාජන විය. පහළ පැසේජ මාර්ගයෙන් හමු වූ අහ්මෝස් නෙෆටාරි රැජින වෙනුවෙන් තැනූ බඳුන් ද්විත්වය Iවන තුත්මෝස්ගේ මුල් අවමංගල භාණ්ඩ අතර විය. ඉන් එක් බඳුනක ඇති ද්විතීයික ලේඛනයක සඳහන් වන්නේ IIවන තුත්මෝස් "සිය පියාගේ ස්මාරකයක් ලෙස [එය තැනූ බව]"යි.[30] සෙසු භාජනවල සඳහන් Iවන තුත්මෝස්ගේ නාමයන් සහ තනතුරු ඔහුගේ පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා ද වූ IIවන තුත්මෝස් විසින් සටහන් කරවන්නට ඇතැයි සැලකේ. රාජ්‍යත්වයට පත් වීමට පෙර හට්ෂෙප්සුට් රැජින වෙනුවෙන් ඉදිකළ ශිලා භාජනවල මෙන්ම ඇය සිහසුනට පත් වූ පසු දැරූ 'මාට්කරේ' යන නාමය ඇතුළත් භාජනවල කැබලි ද හමු වී ඇත.[31]

 
KV20 සොහොන්ගැබ තුළ තිබූ මෙම ක්වාර්ට්සයිට් මිනීපෙට්ටිය හට්ෂෙප්සුට් විසින් ඇගේ පියා වූ Iවන තුත්මෝස්ගේ යළිභූමදානය සඳහා ප්‍රදානය කළ එකකි. (බොස්ටන් ලලිත කලා කෞතුකාගාරය)

මෙහි භූමදාන කුටීරය තුළ තිබී කාටර් විසින් මිනීපෙට්ටි 2ක් සොයාගන්නා ලදී. අලංකාර ලෙස කැටයම් කළ හට්ෂෙප්සුට්ගේ ශෛලමය මිනීපෙට්ටිය "සොයාගත හැකි වූ නමුත් එය තුළ සිරුරක කිසිදු සලකුණක් නොතිබිණි. එහි පියන පොළොවේ වැතිරී තිබිණි". මෙය අද වන විට එයට ගැළපෙන කහ ක්වාර්ට්සයිට් මංජුසාවක් සමග කයිරෝ කෞතුකාගාරයේ තබා ඇත.[31] එයට පසෙකින් තිබූ දෙවන මිනීපෙට්ටියේ හානි වී නොතිබූ පියන බිත්තියට හේත්තු කොට තිබිණි. මෙය පසුකලෙක එම ගවේෂණයේ මූල්‍ය අනුග්‍රාහකයා වූ තියොඩෝර් එම්. ඩේවිස් හට ත්‍යාග කරන ලදී.[31] ‍අනතුරුව ඩේවිස් විසින් මෙය බොස්ටන් ලලිත කලා කෞතුකාගාරය වෙත ලබා දී ඇත. මෙම දෙවන මිනීපෙට්ටියේ මුලින් කැටයම් කොට තිබුණේ "ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ, මාට්කරේ හට්ෂෙප්සුට්" යන නාමයයි.[31] කෙසේනමුත් එම මිනීපෙට්ටිය නිමවා අවසන් වන විට, හට්ෂෙප්සුට් රැජින තමන් වෙනුවෙන් නව මිනීපෙට්ටියක් තැනවීමට තීරණය කොට, තැනූ මිනීපෙට්ටිය සිය පියා වූ Iවන තුත්මෝස් වෙනුවෙන් ප්‍රදානය කොට ඇත.[31] අනතුරුව ගල්වඩුවන් විසින් මිනීපෙට්ටියේ තිබූ මුල් කැටයම් මකා දමා ක්වාර්ට්සයිට් පෘෂ්ඨය මත Iවන තුත්මෝස්ගේ නාමය සහ තනතුරු කැටයම් කරන ලදී. මෙම ක්වාට්සයිට් මිනීපෙට්ටිය අඩි 7ක් දිගැති අතර, අඩි 3ක පළලින් යුක්ත ය. එහි බිත්ති අඟල් 5ක ඝනකමකින් යුක්ත වන අතර එහි හට්ෂෙප්සුට් විසින් සිය පියාට දැක් වූ ගෞරවය සඳහන් පාඨ සටහන් කොට ඇත:

...කාන්තා හොරස් දිගුකල් වැජඹේවා...ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ, මාට්කරේ, රේගේ පුත්, හට්ෂෙප්සුට්-ඛ්නෙමෙට්-අමුන්! ඇය සදා වැජඹේවා! ඇය මෙය ඇය සෙනෙහස දැක් වූ ඇගේ පියා වූ, යහපත් දෙවි, භූමි ද්විත්වයෙහි අධිපති, ආඛෙපෙර්කරේ, රේගේ පුත්, යුක්තිමත් තුත්මොසිස් වෙනුවන් ස්මාරකයක් ලෙස ඉදිකළා ය.[32]

කෙසේනමුත් හට්ෂෙප්සුට්ගේ මරණින් පසු Iවන තුත්මෝස්ගේ දේහයට සිය දියණියට පසෙකින් වැතිර සිටීමට ඉඩලැබුණේ නැත. හට්ෂෙප්සුට්ගේ අනුප්‍රාප්තිකයා වූ IIIවන තුත්මෝස් සිය මුත්තණුවන්ගේ දේහය එයටත් වඩා අලංකෘත සොහොන්ගැබක් වූ KV38 තුළ තැන්පත් කිරීමට තීරණය කළේ ය. එහි දී Iවන තුත්මෝස් සඳහා කහ පැහැ ශෛලමය මිනීපෙට්ටියක් ප්‍රදානය කෙරුණු අතර, එහි පාරාවෝවරයා විසින් සිය මුත්තණුවන්ට දැක් වූ ආදරය සඳහන් පාඨ කැටයම් කොට තිබිණි.[33] අවාසනාවට 20වන රාජවංශ සමයේ KV38 සොහොන්ගැබ කොල්ලකෑමත් සමග Iවන තුත්මෝස්ගේ ශේෂයනට බාධා පැමිණිනි. එහිදී මිනීපෙට්ටියේ පියන බිඳ එහි වූ රජුගේ වටිනා ආභරණ සහ සොහොන් භාණ්ඩ සොරාගැනිණි.[33]

අවසානයේ දී Iවන තුත්මෝස්ගේ මමිය හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානයට ඉහළින් වූ 1881දී අනාවරණය කරගත් ඩේර් එල්-බහ්රිහි සැඟවුණු කුටියකින් සොයාගන්නා ලදී. ඔහුගේ මමිය 18වන සහ 19වන රාජවංශයේ සෙසු පාරාවෝවරුන් වූ Iවන අහ්මෝස්, Iවන අමෙන්හොටෙප්, IIවන තුත්මෝස්, IIIවන තුත්මෝස්, Iවන රැම්සෙස්, Iවන සෙටි, IIවන රැම්සෙස්, සහ IXවන රැම්සෙස් වැන්නවුන් මෙන්ම, 21වන රාජවංශයේ පාරාවෝවරුන් වූ Iවන පිනෙඩ්ජෙම්, IIවන පිනෙඩ්ජෙම්, සහ සියාමුන් වැනි අයගේ මමී අතර තිබී හමු විය.

Iවන තුත්මෝස්ගේ මුල් මිනීපෙට්ටිය 21වන රාජවංශයේ පසුකාලීන පාරාවෝවරයකු විසින් රැගෙන ගොස් ඔහුගේ භාවිතයට ගෙන ඇත. Iවන තුත්මෝස්ගේ මමිය නැති වී ඇති බව විශ්වාස කෙරුණ ද, ඊජිප්තුවේදියකු වූ ගැස්ටන් මැස්පරෝ විසින් විශාල පරිශ්‍රමයක් දරා IIවන තුත්මෝස් සහ IIIවන තුත්මෝස්ගේ මමීවල ඇති පවුලේ සමානත්වයන් සලකා නම්කොට නොතිබූ #5283 මමිය ඔහුගේ බව අනාවරණය කරගන්නා ලදී.[34] මෙම හඳුනාගැනීමට තවත් අධ්‍යයන ද ආධාර විය. මෙම එම්බාම්කරණ ක්‍රමවේදය Iවන අහ්මෝස්ගෙන් පසු නිශ්චිතවම දහඅටවන රාජවංශයේ භාවිත වූ බව හෙළි වී ඇත.[35]

ගැස්ටන් මැස්පරෝ මමිය පිළිබඳ මෙසේ සඳහන් කරයි:

රජු මරණයට පත්වන විට වියපත්ව සිටි අතර, ඔහු අවුරුදු පනහ ඉක්මවා සිටි බව ඔහුගේ කෘන්තක දත් ගෙවීයාමෙනුත්, ඒවා ඊජිප්තු පාන්වල බහුල අපද්‍රව්‍ය නිසා දිරාගොස් තිබීමෙනුත් පෙනී යයි. දේහය කුඩා සහ කෘෂ වුවත්, එහි අසාමාන්‍ය මස්පිඬු ශක්තියක් පැවති බවට සාධක ඇත; හිස මුඩු ය. මුහුණුවර ශිෂ්ට ය. එසේම මුඛය මගින් තවමත් ඔහු සතු සූක්ෂම ඥානය සහ ප්‍රයෝගයෙහි දක්ෂතාව පිළිඹිබු වේ.[34]

ඔහුගේ මමිය යැයි සැලකෙන දේහය කයිරෝවේ ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇත. කෙසේනමුත් 2007දී, ආචාර්ය සාහි හවාස් නිවේදනය කළේ Iවන තුත්මෝස්ගේ යැයි කලින් විශ්වාස කළ මමිය ළයට ඊතලයක් වැදීම නිසා මියගිය තිස්වන වියේ පසු වූ පුද්ගලයකුගේ බවයි. මමියේ අඩු වයස සහ මරණයට හේතුව නිසා මෙම මමිය Iවන තුත්මෝස් රජුගේ නොවන බවට නිශ්චය කෙරිණි.[36]

මේවාත් බලන්න

සංස්කරණය

සටහන් සහ මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ ක්ලේටන්, පීටර්. ක්රෝනිකල් ඔෆ් ද ෆේරෝස්, තේම්ස් ඇන්ඩ් හඩ්සන් ලිමිටඩ්, කඩදාසි බැම්ම සහිතයි 2006, පි.100
  2. ^ නිකොලස් ග්‍රිමල්, අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, Librairie Arthéme Fayard, 1988, පි. 202.
  3. ^ ඒන්ෂන්ට් ඊජිප්ටියන් ක්රෝනොලොජි, පරිච්ඡේදය 10: "ඊජිප්ටියන් සිරියස්/සොතික් ඩේට්ස් ඇන්ඩ් ද ක්වෙස්ෂන් ඔෆ් ද සිරියස්–බේස්ඩ් ලූනාර් කැලැන්ඩර්", රොල්ෆ් ක්‍රවුස්, 2006, පිටු. 439–57.
  4. ^ [1] සංරක්ෂණය කළ පිටපත 2016-08-22 at the Wayback Machine සම්ප්‍රවේශනය 2 මැයි 2010
  5. ^ a b ගාර්ඩිනර් 1964 පි. 176
  6. ^ බ්ලීබර්ග් (2000) පි.400
  7. ^ ග්‍රිමල් (1988) පි.203
  8. ^ a b c ගාර්ඩිනර් (1964) පි.179
  9. ^ a b c d e f ස්ටයින්ඩෝර්ෆ් (1942) පි.36
  10. ^ අර්මන් (1894) පි.43
  11. ^ a b ග්‍රිමල් (1988) පි.202
  12. ^ හෙල්ක් (1983) පිටු.47-9
  13. ^ "මැනතෝ'ස් කිංස්". සම්ප්‍රවේශය 2006-12-30. {{cite web}}: |archive-url= is malformed: timestamp (help)
  14. ^ ජූර්ගන් වොන් බෙකරුත් (1997), පි.120
  15. ^ a b ස්ටයින්ඩෝර්ෆ් සහ සීලි (1942) පි.34
  16. ^ ලෝර්නා ඕක්ස්, පිරමිඩ්ස්, ටෙම්පල්ස් ඇන්ඩ් ටූම්බ්ස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, හර්මිස් හවුස්, 2003. පි.207
  17. ^ ඕක්ස්, op. cit., පි.207
  18. ^ බ්‍රෙස්ටඩ් (1906) පි.28
  19. ^ a b c ස්ටයින්ඩෝර්ෆ් සහ සීලි (1942) පි.35
  20. ^ a b c d ෂෝව් සහ නිකොල්සන් (1995) පි.289
  21. ^ අර්මන් (1894) පි.503
  22. ^ බ්‍රෙස්ටඩ් (1906) පි.25
  23. ^ බ්‍රෙස්ටඩ් (1906) පි.27
  24. ^ a b c බ්‍රෙස්ටඩ් (1906) පි.41
  25. ^ a b c d e f ග්‍රිමල් (1988) පි.300
  26. ^ ෂෝව් (2003) පි.168
  27. ^ ගාර්ඩිනර් (1964) පි.170
  28. ^ ජොයිස් ටිල්‍ඩෙස්ලි, හැට්චෙප්සුට්: ද ෆීමේල් ෆේරෝ, පෙන්ගුයින් බුක්ස්, ඝනකවරය සහිතයි, 1996. පිටු.121-25
  29. ^ a b ටිල්ඩෙස්ලි, පි.122
  30. ^ ටිල්ඩෙස්ලි, පිටු.123-24
  31. ^ a b c d e ටිල්ඩෙස්ලි, පි.124
  32. ^ ටිල්ඩෙස්ලි, පි.125
  33. ^ a b ටිල්ඩෙස්ලි, පි.126
  34. ^ a b මැස්පරෝ, ගැස්ටන්. හිස්ට්‍රි ඔෆ් ඊජිප්ට්, කැල්ඩියා, සිරියා, බැබිලෝනියා, ඇන්ඩ් ඇසිරියා, වෙළුම 4 (12න්), ගුටෙන්බර්ග් ව්‍යාපෘති ඊ-ග්‍රන්ථය, මුදාහළ දිනය: දෙසැම්බර් 16, 2005. EBook #17324. https://www.gutenberg.org/dirs/1/7/3/2/17324/17324-h/v4c.htm#image-0047
  35. ^ ස්මිත් (2000) පි.25-28
  36. ^ ඇන්ඩර්සන්, ලිසා (14 ජූලි 2007). "මමී අවේකන්ස් නිව් ඊරා ඉන් ඊජිප්ට්". චිකාගෝ ට්‍රිබියුන්. 2016-06-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-10-22.

ග්‍රන්ථ නාමාවලිය

සංස්කරණය

  • ජූර්ගන් වොන් බෙකරැත් (1997). Chronologie des Pharaonischen Ägypten. Verlag Philipp von Zabern.
  • බ්ලීබර්ග්, එඩ්වර්ඩ් (2001). "Thutmose I," The Oxford Encyclopedia of Ancient Egypt. සංස්. ඩොනල්ඩ් රෙඩ්ෆෝර්ඩ්. වෙළුම. 3. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්.
  • බ්‍රෙස්ටඩ්, ජේම්ස් හෙන්රි (1906). Ancient Records of Egypt, වෙළුම. II. යුනිවර්සිටි ඍෆ් චිකාගෝ ප්‍රෙස්, චිකාගෝ.
  • අර්මාන්, ඇඩොල්ෆ් (1894). Life in Ancient Egypt. මැක්මිලියන් ඇන්ඩ් කම්පනි, ලන්ඩන්.
  • ගාඩිනර්, ඇලන් (1964). Egypt of the Pharaohs. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්.
  • ග්‍රිමල්, නිකොලස් (1988). A History of Ancient Egypt. Librairie Arthéme Fayard.
  • හෙල්ක්, වුල්ෆ්ගැං (1983). Schwachstellen der Chronologie-Diskussion. Göttinger Miszellen, Göttingen.
  • මැස්පරෝ, ගැස්ටන්. History Of Egypt, Chaldaea, Syria, Babylonia, and Assyria, වෙළුම 4 (12න්), ග්‍රටෙන්බර්ග් ව්‍යාපෘතියේ ඊ-ග්‍රන්ථය, මුදාහළ දිනය: දෙසැම්බර් 16, 2005. EBook #17324. https://www.gutenberg.org/dirs/1/7/3/2/17324/17324-h/v4c.htm#image-0047. {{cite book}}: External link in |title= (help)
  • ෂෝව්, ඉයන්; නිකොල්සන්, පෝල් (1995). The Dictionary of Ancient Egypt. ද බ්‍රිටිෂ් මියුසියම් ප්‍රෙස්. {{cite book}}: Unknown parameter |last-author-amp= ignored (help)
  • ෂෝව්, ඉයන් (2003). Exploring Ancient Egypt. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්.
  • ස්මිත්, ජී. එලියට් (2000). The Royal Mummies (නැවත මුද්‍රණය). ඩක්වර්ත්.

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=තුත්මෝස්_I&oldid=703815" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි