කොළොම්බියා අභ්‍යාවකාශ ෂටලයේ අනතුර

(Space Shuttle Columbia disaster වෙතින් යළි-යොමු කරන ලදි)

කොළොම්බියා අභ්‍යවකාශ ෂටලය මෙම ඛේදවාචකයට ලක්වුණේ 2003 පෙබරවාරි පළමුවන දින ෂටලය පෘථිවි වායු ගෝලයට ඇතුළු වන මොහොතේදීය. ටෙක්සාස්හි ඉහළ අහසේදී යානය කොටස්වලට වෙන් වූ අතර එහි වූ ගගනගාමීන් සත් දෙනාම මරණයට පත් විය. ඒ කොළොම්බියා ෂටලයේ විසිඅට වන මෙහෙයුම (STS-107) අතරවාරයේදීයි. 1986 චැලේන්ජර් ෂටලය විනාශ විමෙන් පසුව අභ්‍යවකාශ ෂටල වැඩසටහනේ සිදුවූ දෙවන ව්‍යසනය මෙය විය.

කොළොම්බියා අභ්‍යවකාශ ෂටල ව්‍යසනය
STS-107 මෙහෙයුම් ලාංඡනය
වේලාව08:59 EST (13:59 UTC)
දිනයපෙබරවාරි 1, 2003; වසර 21 කට පෙර (2003-02-01)
පිහිටුමටෙක්සාස් සහ ලුසියානා ප්‍රාන්ත වලට ඉහළ අහසේදී
හේතුවදියත් කිරීම අතරතුරදී බාහිර ටැංකියෙන් ගැළවුනු සුන්බුන් කොටසක් වම් තටුවේ කෙළවර ගැටී සිදු වූ හානිය
ප්‍රතිඵලයකොළොම්බියා ෂටලය විනාශ වූ අතර, ගගනගාමීන් සත් දෙනෙකු මරණයට පත් විය; අභ්‍යවකාශ ෂටල දියත් කිරීම් මාස 29 ක කාලයකට නැවැත්වුනු අතර, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සම්පූර්ණ කිරිමෙන් අනතුරුව ෂටල වැඩසටහන විශ්‍රාම ගැන්වුනි.
මරණ
විමර්ශනකොලොම්බියා අනතුරු විමර්ශන මණ්ඩලය

කොළොම්බියා ඛේදවාචකයට හේතුව වූයේ දියත් කිරීමේදී සිදුවූ හානියකි. එහිදී “රයිට් බයිහෙඩ් ෆෝම් රෑම්ප්” නමින් හැඳින්වෙන කුඩා (බ්‍රීෆ් කේසයක විශාලත්වය ගත්) ෆෝම් පරිවාරකයක් අභ්‍යාවකාශ ෂටලයේ බාහිර ටැංකියෙන් (ප්‍රධාන ඉන්ධන ටැංකිය) වායුගතික බල හේතුවෙන් කැඩී වෙන්වීය. එහි සුන්බුන් වම් තටුවේ පිටදාරයේ අංක 7 දරණ වැර ගැන්වූ කාබන් පියන මත වැදුණු අතර එය ෂටලයේ තාප පරිවාරක පද්ධතියට හානි කළේය. (TPS) කොළොම්බියා කක්ෂ ගතව සිටියදීම සමහර ඉන්ජිනේරුවන් මෙම හානිය ගැන සැක කළද නාසා කළමණාකරුවෝ පරීක්ෂණ කටයුතු සීමා කළේ, ගැටළුව සොයා ගත්තද ගගනගාමීන් හට එය විසඳීමට තිබූ හැකියාව අල්ප බැවිනි. යානය පෘථිවි වායුගෝලයට නැවත ඇතුල්වීමේදී, හානි වූ ප්‍රදේශයෙන් උණුසුම් වායූන් තටුව අභ්‍යන්තරයට ගමන් කිරීමට ඉඩ සැලසුනු අතර, මේ නිසා තටුවේ අභ්‍යන්තර ව්‍යුහය බිඳ වැටී යානය අස්ථායි වී අවසානයේ විනාශ වීමට හේතු විය.

නාසා ෂටල ආරක්ෂක රේගුලාසි මගින් බාහිර ටැංකි පෙණ වැගිරීම හා පසුව සිදුවන සුන් බුන් ෂටලයේ ගැටීම ආදිය දියත් කිරීමට පෙර තීරණය කළ යුතු ආරක්ෂක ඵලයක් බව සඳහන් වුවද ඉන්ජිනේරුවන්ගේ අසාර්ථක “පෙරන වැගිරීම් ගැටළුව” අධ්‍යයන නිසා නිරතුරුවම මෙවැනි දියත් කිරීම් සිදුවිය. ෂටල දියත් කිරීම් වැඩි ප්‍රමාණයක මෙවැනි පෙණ වැගිරීම් හා තාප පියන සිරීමකට ලක්වීම් (ආරක්ෂක රේගුලාසි උල්ලංගනය වන ආකාරයට) වාර්තා විය. ටෙක්සාස්, ලුසියානා, ආකන්සා ප්‍රාන්තවල සිදුකෙරුණු අති විශාල භූමි පරීක්ෂාවන් මගින් ගගනගාමීන්ගේ ශේෂයන් හා ෂටල සුන්බුන් විශාල ප්‍රමාණයක් සොයා ගන්නා ලදී. කොළොම්බියා හදිසි අනතුරු පරීක්ෂා කිරීමේ මණ්ඩලය (Columbia Accident Investigation Board) විසින් නිකුත් කරන ලද නිර්දේශයන් තාක්ෂණික හා සංවිධානාත්මක යන අංශ දෙකටම බලපෑවේය. අභ්‍යවකා‍ශ ෂටල වැඩසටහන අවුරුදු දෙකකින් පසුබෑමකට ලක්වූ අතර මෙය සැසැඳිය හැක්කේ චැලෙන්ජර් ඛේදවාචකය නිසා සිදුවූ ප්‍රමාදය සමග පමණි. මෙයට සමගාමීව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගොඩනැගීම් කටයුතුවලට ද නැවතීමේ තිත තැබුණු අතර, STS-114 මෙහෙයුම තෙක් ගගනගාමීන් මාරුකිරීම හා ද්‍රව්‍ය සැපයීම වැනි කාර්‍යයන් සම්පූර්ණයෙන්ම රුසියානු ෆෙඩරල් අභ්‍යාවකාශ ඒජන්සිය හට පැවරුනි.