විද්‍යාත්මක සිද්ධාන්තය
විද්‍යාවේ දී සිද්ධාන්තයක්, න්‍යායක් හෝ වාදයක් යනු විද්‍යාත්මක ක්‍රමයට අනුකූලව නැවත නැවතත් පරීක්ෂණ කිරීමෙන් තහවුරු කරන ලද ස්වභාවික ලෝකයේ සහ විශ්වයේ යම් අංශයක් පිළිබඳ පැහැදිළි කිරීමකි. හැකි සෑම විටකදීම සිද්ධාන්තයන් පාලිත තත්ත්වයන් යටතේ පරීක්ෂණ මගින් අත්හදා බැලීමට ලක් කෙරේ. පරීක්ෂණාත්මකව අත් හදා බැලීම සිදු කළ නොහැකි අවස්ථා වලදී, ඒවා අපහරණ තර්කණ (Abductive reasoning) මූලධර්ම හරහා විමසා බලනු ලැබේ.
විද්‍යාත්මක සිද්ධාන්තයක් විද්‍යාත්මක තතුවකින් (scientific fact) හෝ විද්‍යාත්මක නියමයකින් (scientific law) වෙනස් වන්නේ මෙසේය: විද්‍යාත්මක සිද්ධාන්තයක් මගින් යම් දෙයක් සිදු වන්නේ "ඇයි" ද යන්න සහ එසේ වන්නේ "කෙසේ" ද යන්න පිළිබඳ පැහැදිළි කෙරෙයි. තතුවක් යනු සරල, මූලික නිරීක්ෂණයකි. නියමයක් යනු තතු පිළිබඳ ප්‍රකාශයක් වෙයි (බොහෝ විට ගණිතමය සමීකරණයක්). උදාහරණයක් ලෙස, නිව්ටන්ගේ ගුරුත්වය පිළිබඳ නියමය යනු වස්තූන් අතර ඇති ආකර්ශනය ගැන පුරෝකථනය කළ හැකි ගණිතමය සමීකරණයක් වන අතර, එමගින් ගුරුත්වාකර්ෂණය සිදු වන්නේ කෙසේ දැයි පැහැදිළි නොකෙරේ.
ඉංග්‍රීසි භාෂාවේ දී සිද්ධාන්තය සඳහා theory යන වචනය භාවිත වෙයි. සාමාන්‍ය ඉංග්‍රීසි ව්‍යවහාරයේදී theory යන්නට ඇති අර්ථය විද්‍යාවේ දී සම්පූර්ණයෙන්ම වෙනස් ය. සාමාන්‍ය එදිනෙදා භාවිතයේ දී theory යන්නෙන් අදහස් කෙරෙන්නේ හිතලුවක් හෝ අනුමානයක් වන නමුත්, විද්‍යාවේ දී theory යන්නෙන් අදහස් කෙරෙන්නේ අත්හදා බලා ඇති සහ විශාල වශයෙන් වලංගු යැයි පිළිගැනීමට ලක් වූ පැහැදිළි කිරීමකට ය.
තව තවත් සාක්ෂි සොයා ගැනෙන විට විද්‍යාත්මක සිද්ධාන්තයක් වෙනස්කිරීම් වලට ලක්වීමට ඉඩ ඇති අතර, පවතින සිද්ධාන්තය මගින් නව සොයාගැනීමක් පැහැදිළි කිරීමට නොහැකි නම් එම සිද්ධාන්තය ප්‍රතික්ෂේප කෙරෙනු ලැබෙයි. එවැනි අවස්ථා වලදී, වඩාත් නිරවද්‍ය නව සිද්ධාන්තයක අවශ්‍යතාවය ඇති වෙයි. ඇතැම් සිද්ධාන්තයන් ඉතාමත් හොඳින් සංස්ථාපිත ව ඇති අතර ඒවා අනාගතයේදී සම්පූර්ණයෙන් වෙනස් වීමට ඇති ඉඩකඩ ඉතා අල්පය. උදාහරණ ලෙස පරිණාමවාදය, සූර්‍යකේන්ද්‍රවාදය, සෛල වාදය, භූකාරක තැටි වාදය, රෝග පිළිබඳ විෂබීජ න්‍යාය, ආදී විද්‍යාත්මක සිද්ධාන්තයන් දැක්විය හැකිය. ඇතැම් විශේෂ අවස්ථාවල දී සියලුම දත්තයන්ට ගැළපීමට නොහැකි සිද්ධාන්ත සහ නියමයන් පවා ප්‍රයෝජනවත් විය හැකිය (සරලභාවය නිසා). නිව්ටන්ගේ චලිතය පිළිබඳ නියමයන් එක් උදාහරණයකි. ආලෝකයේ වේගයට සාපේක්ෂව කුඩා ප්‍රවේගයන්හිදී නිව්ටන් ගේ නියමයන් සෑහෙන දුරට නිරවද්‍ය ය.
විද්‍යාත්මක සිද්ධාන්තයන් පරීක්ෂා කළ හැකි අතර, අසත්‍යේක්ෂණය කළ හැකි පුරෝකථන නිපදවයි. ඒවා යම් ස්වභාවික සංසිද්ධියකට හේතු පැහැදිළි කරන අතර, භෞතික විශ්වයෙහි යම් අංශ පුරෝකථනය කිරීම සඳහා භාවිත වෙයි. වෙනත් ආකාර වල විද්‍යාත්මක දැනුම මෙන්ම, විද්‍යාත්මක සිද්ධාන්ත අපෝහනීය මෙන්ම අභ්‍යුහනීය ද වෙයි. විද්‍යාඥයන් විද්‍යාත්මක දැනුම වැඩි දියුණු කිරීමට ද, තාක්ෂණයෙහි සහ වෛද්‍ය විද්‍යාවෙහි ප්‍රගමනයට දායක වීම සඳහා ද විද්‍යාත්මක සිද්ධාන්ත යොදාගනියි.