යුග අස්ථිය

මිනිස් හිස්කබලේ පිහිටි යුග අස්ථිය (කම්මුල් අස්ථිය හෝ කොපුල් අස්ථිය ‌‌හෝ යුගවක්‍ර ඇටය) යනු යුගලමය අස්ථියක් වන අතර, එය ඌර්ධවහනුක අස්ථිය, ශංඛක අස්ථිය, කීලාස්ථිය සහ ලලාට අස්ථිය සමග සන්ධානය වේ. එය පිහිටියේ මුහුණේ ඉහළ සහ පාර්ශ්වික පෙදෙස්වල වන අතර, එය ප්‍රමුඛ කම්මුල්, අක්ෂිකූපයේ පාර්ශ්වික බිත්තියේ සහ පත්ළේ කොටසක්, සහ ශංඛක හා අධෝශංඛක නිඛාත ඇතිකරයි. එය යුග පෘෂ්ඨයක් සහ ශංඛක පෘෂ්ඨයකින් සමන්විත ය. එසේම එය ලලාටකීලාස්ථි, අක්ෂිකූප, ඌර්ධවහනුක සහ ශංඛක යන ප්‍රසර හතරක් සහ දාර හතරකින් සමන්විත ය.

යුග අස්ථිය
Gray164.png
වම් යුග අස්ථිය (Zygomatic Bone) පිහිටන අයුරු.
Gray995.png
දත් සහ හනුවේ පාර්ශ්වික පෙනුම. (යුග අස්ථිය මධ්‍යයේ දැක්වේ.)
තොරතුරු
ලතින්os zygomaticum, zygoma
හඳුන්වනයන්
ග්‍රේ ගේp.164
TAA02.1.14.001
FMA52747
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ව්‍යූහයEdit

පෘෂ්ඨEdit

මෙහි යුග පෘෂ්ඨය උත්තල අතර, එහි මධ්‍ය පෙදෙස ආසන්නයේ යුගාස්ථිවක්ත්‍ර ජිද්‍රය පිහිටයි. මෙම ජිද්‍රය යුගාස්ථිවක්ත්‍ර ස්නායුව සහ රුධිර වාහිනී සඳහා මාර්ගය සලසයි. මෙහි ජිද්‍රයට පහතින් සුළු ආරෝහණයක් ඇත. එමගින් යුගක පේශිය හටගනී.

ශංඛක පෘෂ්ඨය, අපර සහ මධ්‍යව පිහිටන අතර එය අවතල ය. එය මධ්‍යව පිහිටි රළු ස්වභාවයකින් යුත් ත්‍රිකෝණාකාර පෙදෙස ඌර්ධවහනුක අස්ථිය (සන්ධාන පෘෂ්ඨය සමග) සමග සන්ධානය වේ. පාර්ශ්විකව සුමට අවතල පෘෂ්ඨයේ ඉහළ පෙදෙස ශංඛක නිඛාතයේ පූර්ව සීමාව තනන අතර, එහි පහළ පෙදෙසේ අධෝශංඛක නිඛාතයේ කොටසකුත් සාදයි. මෙම පෘෂ්ඨයේ මධ්‍යය ආසන්නයේ යුගාස්ථිශංඛක ජිද්‍රය පිහිටන අතර, එය තුළින් යුගාස්ථිශංඛක ස්නායුව දිවෙයි.

අක්ෂිකූප පෘෂ්ඨය පාර්ශ්වික පෙදෙස් සහ අස්ථිමය අක්ෂිකූපයේ අධර කොටස් සාදයි. මෙම පෘෂ්ඨයේ යුගාස්ථි-අක්ෂිකූප ජිදුය හරහා යුග ස්නායුව දිවෙයි. පාර්ශ්වික වර්ත්ම (palpebral) බන්ධනිය, අක්ෂිකූප ගැටිත්ත නැමැති කුඩා නෙරීමක් සමග සම්බන්ධ වේ.

ප්‍රසරEdit

සෑම යුගාස්ථියක්ම දියමන්ති-හැඩැති වන අතර, ප්‍රසර තුනක් දරයි. මේ ප්‍රසර ඒවාට අනුරූප අස්ථි සන්ධානය අනුව නම්කොට ඇත. එනම් ලලාට ප්‍රසරය,ශංඛක ප්‍රසරය, සහ ඌර්ධවහනුක ප්‍රසරය වේ. යුග අස්ථියේ සෑම ප්‍රසරයක්ම හිස්කබලේ වැදගත් ව්‍යූහ සෑදීමට උපකාරී වේ.

යුගාස්ථියේ ලලාට ප්‍රසරයේ අක්ෂිකූප පෘෂ්ඨය අක්ෂිකූප බිත්තියේ පූර්ව පාර්ශ්වික බිත්තිය සාදයි. මෙහි පාර්ශ්වික පෘෂ්ඨයේ යුගාස්ථිවක්ත්‍ර ජිද්‍රය නැමැති යුගලමය කුඩා විවෘතවීමක් දැකිය හැක. යුගාස්ථියේ ශංඛක ප්‍රසරය  ශංඛක අස්ථියේ යුග ප්‍රසරය සමග සම්බන්ධ වී යුග වක්‍රය සාදයි. මෙහි ද අස්ථියේ මධ්‍ය ගැඹුරු පෘෂ්ඨයේ යුගාස්ථිශංඛක ජිද්‍රය නැමැති යුගලමය ජිද්‍රයක් දැකගත හැක. ඌර්ධවහනුක ප්‍රසරයේ අක්ෂිකූප පෘෂ්ඨය, අධෝක්ෂකූප ගැට්ටේ කොටසක් සහ පාර්ශ්වික අක්ෂිකූප බිත්තියේ පූර්ව පෙදෙස තැනීමට දායක වෙයි.[1]

දාරEdit

පූර්වෝත්තර හෙවත් අක්ෂිකූප දාරය සුමට, අවතල එකකි. එය අක්ෂිකූපයේ පරිධියේ සැලකිය යුතු ප්‍රමාණයක් තනයි.

පූර්වාධර හෙවත් ඌර්ධවහනුක දාරය රළු ය. එහි ඉහළ වක්‍රය ඌර්ධවහනුක සන්ධානය සමග සන්ධානය වීමට තරමක් ආනත හැඩයක් ගෙන ඇත. අක්ෂිකූප සීමාව අසල දී ඉන් Quadratus labii superioris පෙ‍දෙස හටගනී.

අපරෝත්තර හෙවත් ශංඛක දාරය f ඇලඅකුරේ ආකාරයට වක් වී ඇති අතර, එය ඉහළ ශංඛක රේඛාවේ ආරම්භය තෙක් විහිදේ. එසේම පහළින් යුග වක්‍රයේ ඉහළ දාරය තෙක් විහිදේ. ශංඛක කවලිකාව (temporal fascia) එයට සම්බන්ධ වී ඇත.

අපරාධර හෙවත් යුගාස්ථි දාරය එහි රළු අන්තය මගින් චර්වණයට (Masseter) සම්බන්ධ වේ.

සන්ධානයන්Edit

යුගාස්ථිය අස්ථි හතරක් සමග සන්ධානය වේ: එනම් ලලාට අස්ථිය, කීලාස්ථිය, ශංඛක අස්ථිය සහ ඌර්ධවහනුක අස්ථියයි.

වර්ධනයEdit

සාමාන්‍යයෙන් යුගාස්ථිය මධ්‍යස්ථාන තුනකින් අස්ථිභවනය වන්නේ යැයි සැලකේ.— ඉන් එකක් ගණ්ඩය (malar) සඳහාත් දෙකක් අක්ෂිකූප පිහිටුම සඳහාත් වේ. මේවා මතුවන්නේ කලලයේ අටවන සතියේ වන අතර, භ්‍රෑණයේ තෙවන මාසයේ දී මේවා හා වීම සිදු වේ.

නමුත් මෝල් විස්තර කරන්නේ මෙය අස්ථිභවනය වන්නේ එක් මධ්‍යස්ථානයකින් බවත්, එය ආරම්භ වන්නේ අක්ෂිකූපයේ පාර්ශ්වික පෙදෙසේ පහළින් බවත් ය.

උපතින් පසු, මෙම අස්ථිය ඇතැම්විට තිරස් සීවනියක් මගින් ඉහළ විශාල සහ පහළ කුඩා පෙදෙසකට බෙදී තිබිය හැක.

සමාජය සහ සංස්කෘතියEdit

උස් කම්මුල්අස්ථි, යුග වක්‍රය ලෙස හඳුන්වයි. එමගින් කම්මුල්වල ඉහළ කොටස් පිටතට නෙරා මුහුණේ පැති මායිම් වේ. උස් කම්මුල් මෝස්තර නිරූපිකාවන්ගේ බහුලව දක්නට ලැබෙන සමමිතික මුහුණු හැඩයට හේතුවන අතර, එය කාන්තාවන් මෙන්ම පුරුෂයන්ට ද අලංකරණයක් යැයි සැලකේ.[2]

වදනේ නිරුක්තියEdit

යුගාස්ථිය සඳ‍හා යෙදෙන ඉංග්‍රීසි වදන වන zygomatic යන්න ග්‍රීක Ζυγόμα zygoma යන "යුග" අරුතැති වදනින් සම්භවය වී ඇත. යුග අස්ථිය සඳහා බොහෝ විට zygoma යන වදන භාවිත වුවද, එය යුග වක්‍රය සඳහා ද භාවිත වේ. යුග අස්ථිය සෙසු සිව්පාවුන්ගේ හනුක අස්ථියට සමප්‍රභව වේ.

අමතර පින්තූරEdit

වක්ත්‍ර අස්ථි. 
වම් යුග අස්ථිය. යුග පෘෂ්ඨය. 
වම් යුග අස්ථිය. ශංඛක පෘෂ්ඨය. 
හිස්කබලේ පැතිපෙනුම. 
වම් අධෝශංඛක නිඛාතය. 
අංකනය කළ මිනිස් හිස්කබලේ පැති පෙනුම 

වෙනත් සතුන් තුළEdit

 
එඩ්මොන්ටොසෝරස් සත්ත්වයකුට අයත් මෙම හනුක අස්ථිය අඩි තුනකට (මීටර 1කට) වඩා දිගින් යුක්ත ය
 
තලගොයකු සහ කිඹුලකුගේ හිස්කබල්වල සමප්‍රභව අස්ථි පෙන්වන සටහනක්. හනුක අස්ථිය Ju ලෙස ලා කොළ පැහැයෙන් යුතුව මැද වම්පසට වන්නට දක්වා ඇත.

ක්ෂීරපායී-නොවන පෘෂ්ඨවංශීන්ගේ යුග අස්ථිය හනුක (jugal) අස්ථිය ලෙස සැලකෙයි. එයට හේතුව මෙම සත්ත්වයනට යුග වක්‍රයක් නොතිබීමයි. මෙම ලක්ෂණය බොහෝ උරගයින්, උභයජීවීන්, සහ පක්ෂීන් තුළ දැකිය හැක. මෙය සෙසු අස්ථි මෙන් චතුරස්‍ර හනුකාස්ථිය සහ ඌර්ධවහනුක අස්ථියට සම්බන්ධ වී පවතී. විශේෂය අනුව මෙහි වෙනස්කම් දැකිය හැක.

හිස්කබලේ සාමාන්‍ය ගතිලක්ෂණ හැදෑරීමේ දී යතුර වශයෙන් භාවිත කෙරෙන්නේ මෙම අස්ථියයි. විශේෂයෙන්ම පාෂාණිධාතු විද්‍යාවේ දී, ඩයිනොසෝරයන් වැනි ජීවීන්ගේ සම්පූර්ණ හිස්කබලක් හමු නොවූ විට මෙය වැදගත් වේ. සීලකැන්තයන් සහ ආදි සිව්පාවුන්ගේ මෙම අස්ථිය සාපේක්ෂව විශාල ය. ඔවුන්ගේ එය අක්ෂිකූපයේ පහළ සීමාව සහ මුහුණේ සැලකිය යුතු ප්‍රමාණයක් නිර්මාණය කරන තල-ආකාර අස්ථියකි. නමුත් කිරණ-වරල් දරන මත්ස්‍යයින් තුළ ‍මෙම අස්ථිය ක්ෂීණ වී හෝ නැති වී ගොස් ඇත. සම්පූර්ණ කම්මුල් ප්‍රදේශය සාමාන්‍යයෙන් කුඩා ය. මෙම අස්ථිය වර්තමාන උභයජීවීන්ගේ ද දක්නට නැත.[3]

කැස්බෑවුන් හැර සෙසු උරගයින්ගේ හනුක අස්ථිය අක්ෂිකූපය සහ අධර ශංඛක ගවාක්ෂය අතර පටු තීරුවක් ලෙස පිහිටයි. මේ සමානව පක්ෂීන් තුළ ද යුගාස්ථිය ක්ෂීණ ය. ක්ෂීරපායීන් තුළ, මිනිසුන්ගේ නම් එය පළල්ව පිහිටි අතර, අක්ෂිකූපය සහ ගවාක්ෂය අතර පිහිටි තීරුව දක්නට නොලැබේ. නමුත් ගවාක්ෂයේ පහළ සීමාව ශේෂ වී එය යුග වක්‍රය බවට පත්ව ඇත.[3]

මේවාත් බලන්නEdit

මූලාශ්‍රEdit

  1. ඉලස්ට්‍රේටඩ් ඇනටමි ඔෆ් ද හෙඩ් ඇන්ඩ් නෙක්, ෆෙහ්රෙන්බැච් සහ හෙරිං, එල්සිවියර්, 2012, පිටුව 54.
  2. සෙක්ස් ඇන්ඩ් සොසයිටි. මාර්ෂල් කැවෙන්ඩිෂ්. සැප්තැම්බර් 2009. පි. 91. ISBN 978-0-7614-7906-2. https://books.google.com/books?id=aVDZchwkIMEC&pg=PA91. Retrieved 2 නොවැම්බර් 2012. 
  3. 3.0 3.1 රෝමර්, ඇල්‍ෆ්‍රඩ් ෂර්වූඩ්; පාසන්ස්, තෝමස් එස්. (1977). ද වර්ටිබ්‍රේට් බොඩි. ෆිලඩෙල්ෆියා, PA: හොල්ට්-සෝන්ඩර්ස් ඉන්ටර්නැෂනල්. පිටු 217–241. ISBN 0-03-910284-X. 

බාහිර සබැඳිEdit

සැකිල්ල:OrbitalBones