පැරිස් ප්‍රහාර, 2015 නොවැම්බර්

ත්‍රස්ත ප්‍රහාර මාලාවක් ප්‍රංශයේ පැරිස් නුවර දී ,2015 නොවැම්බර් 13 වන දින

2015 නොවැම්බර් පැරිස් ප්‍රහාර යනු 2015 නොවැම්බර් 13 වැනිදා, සිකුරාදා, රාත්‍රියේ සිට 14 වැනිදා, සෙනසුරාදා, අලුයම දක්වා කාලය තුල ප්‍රංශයේ පැරිස් අගනුවර ස්ථාන කිහිපයකදී සිදුවූ වෙඩිතැබීම් සහ බෝම්බ පිපිරීම් මාලාවකි. මධ්‍යම යුරෝපීය වේලාවෙන් (එදින ප්‍රංශ වේලාවෙන්) 13 වැනිදා ප.ව. 9:16 සිට කණ්ඩායම් 3ක් විසින් පැරීසියේ විවිධ ස්ථාන වලදී එකිනෙකට වෙනස් ප්‍රහාර 6ක් දියත් කරන ලදී: එක් ප්‍රහාරයකදී මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් 3ක්ද, තවත් ප්‍රහාරයකදී එක් මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමක්ද, තවත් ප්‍රහාර 4ක් ලෙස සිදුකල වෙඩිතැබීම් 4ක්ද සිදුවිය. එයින් එක් බෝම්බ පිපිරීමක් උතුරු පැරීසියේ ශාන්ත ඩෙනිස් උපනගරයේ ස්ටේඩ් දි ෆ්‍රාන්ස් ක්‍රීඩාංගනය අසලදී සිදුවිය. එය සිදුවන අවස්ථාවේ ප්‍රංශ ජනාධිපති ෆ්‍රන්ශුවා හොලැන්ඩේද එහි පැවති ජර්මනිය සහ ප්‍රංශය අතර පාපන්දු තරඟයක් නරඹමින් සිටියේය. පිපිරීමත් සමග ඔහුව වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කරන ලදී. වඩාත් බරපතලම සිදුවීම වූයේ බැටක්ලාන් රඟහලේ සිදුවූ වෙඩි තැබීමය. එහිදී සිදුවූ ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුම අවසන් වූයේ 14 වෙනිදා අලුයම 12:58 ට ය.

2015 නොවැම්බර් පැරිස් ප්‍රහාර
පැරිස් නගරයේ ප්‍රහාර එල්ල වූ ස්ථාන සහ එම ප්‍රහාර එල්ල වූ අනුපිලිවෙල
ස්ථානයපැරීසිය, ප්‍රංශය
ශාන්ත ඩෙනිස්, ප්‍රංශය
1: ස්ටේඩ් දි ෆ්‍රාන්ස් ක්‍රීඩාංගනය අසල

2: Rue Bichat and rue Alibert (Le Petit Cambodge, Le Carillon)
3: Rue de la Fontaine-au-Roi (Casa Nostra)
4: බැටක්ලාන් රඟහල
5: Rue de Charonne (La Belle Équipe)

තරු සලකුණු වලින් දැක්වෙනුයේ ස්වාධීනව සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් වේ.
දිනය2015 නොවැම්බර් 13-14
ප.ව. 9:16, 2015 නොවැම්බර් 13 – පෙ.ව. 12:58, 2015 නොවැම්බර් 14 (CET)
ප්‍රහාර මාදිලියසමූල වෙඩිතැබීම්, බෝම්බ ප්‍රහාර, මරාගෙන-මැරෙන ප්‍රහාර , ප්‍රාණ ඇපකරුවන් තබාගැනීම
ආයුධය(න්)
මරණසිවිල් වැසියන් 130
ප්‍රහාරකයින් 7
අපරාධකරුවෝ ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය (ISIS / ISIL)[2]
චේතනාවඉස්ලාමීය අන්තවාදය

සමස්ථ ප්‍රහාර මාලාවෙන් 130 දෙනෙකු මියගියහ.[1] එයින් වැඩිම පිරිසක්, එනම් 89 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූයේ බැටක්ලාන් රඟහලේ සිදුවූ වෙඩි තැබීමෙනි. 368 දෙනෙකු මෙම ප්‍රහාර මාලාවෙන් තුවාල ලබා රෝහල් ගත කළහ. එයින් 80කගේ පමණ තත්වය බරපතල විය. මියගිය සිවිල් වැසියන් 130 දෙනාට අමතරව ත්‍රස්ත ප්‍රහාරය සිදුකල 7 දෙනෙකු, ඔවුන් විසින්ම මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන් සමහරකගේ සිරුරු අසල තිබී සිරියානු සහ ඊජිප්තු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් හමුවිය. පැරිස් වේලාවෙන් 13 වැනිදා ප.ව. 11:58 ට ජාතිය ඇමතූ ප්‍රංශ ජනාධිපති ෆ්‍රන්ශුවා හොලැන්ඩේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළේය. එමෙන්ම ප්‍රංශයේ දේශසීමා සහ ගුවන්තොටුපලවල් ද වසා දැමිණි. දින ගණනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත්කෙරිණි.

නොවැම්බර් 14 වෙනිදා දහවල් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයේ වගකීම භාරගත්හ.[2] දෙවන ලෝක යුද්ධයට පසු ප්‍රංශය මුහුණ දුන් බරපතලම ත්‍රස්ත ප්‍රහාරය මෙය වන අතර 2004 මැඩ්රිඩ් දුම්රිය බෝම්බ ප්‍රහාර වලට පසු යුරෝපයේ සිදුවූ දරුණුම ත්‍රස්ත ක්‍රියාවද වේ.

2015 ඔක්තෝබර් මාසයේ සිට ප්‍රංශය විසින් සිරියාවේ සහ අනෙකුත් මැදපෙරදිග රටවල ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. ප්‍රංශයට මෙම ප්‍රහාර මාලාව එල්ල කිරීමට හේතුව ලෙස ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් පෙන්වා දුන්නේ සිරියානු සිවිල් යුද්ධයට සහ ඉරාක සිවිල් යුද්ධයට ප්‍රංශය මැදිහත් වීමයි. මෙම ප්‍රහාර මාලාවේ වගකීම භාරගැනීමත් සමගම ඊට සති කිහිපයකට පෙර කාලය තුල සිදුවූ ත්‍රස්ත ක්‍රියා රැසක වගකීම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් භාරගැනුනි. ඔක්තෝබර් 30 වැනිදා සිදුවූ මෙට්‍රොජෙට් 9268 පියාසැරිය යානය උඩුගුවනේදී පුපුරුවාහැරීම සහ නොවැම්බර් 11 වැනිදා ලෙබනනයේ බීරූට් අගනුවර සිදුවූ ද්විත්ව බෝම්බ ප්‍රහාරය ඒ අතර වේ.

මෙම ප්‍රහාරය හෙලා දකිමින් ලෝක නායකයෝ සහ සාමාන්‍ය ජනතාවද සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රකාශ නිකුත් කළහ. 14 වෙනිදා අලුයම පැරිස් නුවර අයිෆල් කුලුනේ ආලෝකය නිවා දැමුණු අතර දින කිහිපයක් දක්වා එය සංචාරකයන්ට වසා තැබිණි. එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල, සිඩ්නි ඔපෙරා රඟහල, නිව්යෝර්ක් ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඇතුළු ලොව පුරා ප්‍රසිද්ධ ගොඩනැගිලි රැසක් ප්‍රංශ ධජයේ වර්ණ වලින් ආලෝකවත් කෙරිණි. මෙම ප්‍රහාර මාලාවට පිළිතුරු ලෙස ප්‍රංශය විසින් නොවැම්බර් 15 වැනිදා අල්-රක්ඛා හි පිහිටි ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළහ.

මෙම ප්‍රහාර එල්ල කල ප්‍රහාරකයින් සෙවීමේ මෙහෙයුම් වහාම ආරම්භ විය. නොවැම්බර් 18 වෙනිදා අලුයම ප්‍රංශ පොලිස් විශේෂ වැටලීම් ඒකකයක් විසින් පැරීසියේ උතුරු උපනගරයක් වන ශාන්ත ඩෙනිස් හි නිවාස සංකීර්ණයක් වටලන ලදී. එහිදී පැය කිහිපයක වෙඩි හුවමාරුවකින් පසු මෙම ප්‍රහාරයේ මහමොලකරු ලෙස සැලකෙන අබ්දෙල්හමීඩ් අබාවුද් නැමැත්තා ජීවිතක්ෂයට පත්විය. එහිදී ඔහුගේ ඥාති සොහොයුරියක් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගැනීමෙන් ජීවිතක්ෂයට පත්වූවාය. තවත් සැකකරුවන් 8 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි. පොලිස් නිල සුනඛයෙක් සහ නිලධාරීන් 5 දෙනෙකු එහිදී තුවාල ලැබූහ.

මෙම ප්‍රහාර මාලාවෙන් පසු, ඊට සම්බන්ධ යැයි සැකකෙරෙන සලාහ් අබ්දෙසලාම් නමැති 26 හැවිරිදි බෙල්ජියන් ජාතිකයා සහ තවත් ත්‍රස්තයින් සොයා බෙල්ජියම පුරා සෙවීමේ මෙහෙයුම් වහාම ඇරඹිණි. ඔහුගේ එක් සොහොයුරෙක් වන බ්‍රහිම් මෙම ප්‍රහාර මාලාවේදී මියගියේය. ඔහුගේ තවත් සොහොයුරෙක් වන මොහොමඩ් නොවැම්බර් 14 වැනිදා බ්‍රසල්ස් නුවරදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර නිදහස් කරන ලදී. මෙම ත්‍රස්තවාදීන්ගෙන් බ්‍රසල්ස් නගරයටද ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු තොරතුරු මත පැරිස් ප්‍රහාර මාලාවෙන් පසු එළඹුණු දින කිහිපයක කාලය තුල බ්‍රසල්ස් නගරයේද ආරක්ෂාව තර කරන ලදී.

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 "Paris attacks: More than 100 killed in gunfire and blasts, French media say". CNN International. 14 November 2015. සම්ප්‍රවේශය 14 November 2015.
  2. 2.0 2.1 "ISIS claims responsibility of Paris attacks". CNN. සම්ප්‍රවේශය 14 November 2015.