ලෝක වෙළඳ මධ්‍යස්ථානය (2001-වර්තමානය)

මෙම ලිපිය සැප්තැම්බර් 11 ප්‍රහාර වලින් පසුව ඉදිකළ නිව්යෝර්ක් නුවර නව ලෝක වෙළඳ මධ්‍යස්ථානය පිලිබඳ වේ. සැප්තැම්බර් 11 ප්‍රහාර මගින් විනාශ වූ මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානය සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථානය (1973-2001) බලන්න. ශ්‍රී ලංකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය (කොළඹ) බලන්න. ලොව පුරා ඇති ලෝක වෙළඳ මධ්‍යස්ථාන සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථාන ලැයිස්තුව බලන්න.

ලෝක වෙළඳ මධ්‍යස්ථානය යනු ඇමරිකා එක්සත් ජනපදයේ, නිව්යෝර්ක් ජනපදයේ, නිව්යෝර්ක් නුවර, පහල මෑන්හැටන් ප්‍රදේශයේ අර්ධ වශයෙන් නිමවා ඇති තවමත් ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි සංකීර්ණයකි. 2001 සැප්තැම්බර් 11 දින සිදුවූ සැප්තැම්බර් 11 ප්‍රහාර මගින් විනාශ වූ මුල් ලෝක වෙළඳ මධ්‍යස්ථානය ප්‍රතිස්ථාපනය කරමින් එම භූමියේම එම නමින්ම මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරේ. නැවත ඉදිකිරීම නිරීක්ෂණයට, භුමි සැලසුම් තරඟ සංවිධානයට සහ ස්මාරකය සැලසුම් කිරීමට 2001 නොවැම්බර් මාසයේදී පහල මෑන්හැටන් සංවර්ධන සංස්ථාව (Lower Manhattan Development Corporation - LMDC) ස්ථාපනය කරන ලදී. ඩැනියෙල් ලයිබ්ස්කයින්ඩ් විසින් ඉදිරිපත් කල මෙමරි ෆවුන්ඩේෂන්ස් සැලැස්ම, ප්‍රධාන සැලැස්ම ලෙස තෝරාගන්න ලදී; එහෙත් සුළු වෙනස්කම් වලට එය භාජනය විය. මෙම භුමියේ පළමුවෙන්ම ඉදිකර අවසන් කල නව ගොඩනැගිල්ල වුයේ 2006 මැයි මාසයේ විවෘත කල 7WTC ගොඩනැගිල්ලයි. ජාතික සැප්තැම්බර් 11 ස්මාරකය සහ කෞතුකාගාරයට අයත් ස්මාරකය 2011 සැප්තැම්බර් 11 දින විවෘත කරන ලද තර, කෞතුකාගාරය 2014 මැයි මාසයේදී විවෘත කරන ලදී. 1 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් (1WTC) ගොඩනැගිල්ල 2014 නොවැම්බර් 3 දින විවෘත කරන ලදී. 4 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල 2013 නොවැම්බර් 13 දින විවෘත විය. 3 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල ඉදිකෙරෙමින් පවතින අතර, එය 2016 දි විවෘත කරනු ඇත. 2013 නොවැම්බර් මාසයේදී, සිල්ව(ර්)ස්ටයින් ප්‍රොපටිස් සමාගම සමග ඇතිකරගත් ගිවිසුමකට අනුව 2 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල මුල්‍යමය වශයෙන් ස්ථාවර වීමට තරම් භාහිර සමාගම් වලට බදු දෙන තෙක්, එහි උපරිම උසටම ඉදිකිරිම තාවකාලිකව අත්හිටුවා ඇත. 5 වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල සංවර්ධනය කිරීම නිව්යෝර්ක් සහ නිව් ජර්සි වාරය අධිකාරිය විසින් භාරගෙන ඇත. එහෙත් එය ඉදිකිරිම ආරම්භ කරන හෝ අවසාන කරන දින වකවානු 2014 පෙබරවාරි වනවිටත් ප්‍රකාශයට පත් කොට නොතිබුණි.