ශුද්ධාසනයේ නිල ලාංඡනය........ මෙය වතිකානු රාජ්‍යයේ නිල ලාංඡ්නයට වඩා සුළු වශයෙන් වෙනස්ය..

ශුද්ධාසනය (ඉංග්‍රීසි:Holy See, ලතින්:Sancta Sedes) යනු රෝම නුවර සදහා වන රෝමානු කතෝලික සභාවේ එපිස්කෝපල් බලප්‍රදේශය හෙවත් රදගුරු පදවිය වන අතර, එහි රදගුරු ධූරය හොබවනු ලබන්නේ පාප් තුමා විසිනි . වත්මන් පාප් ධූරය දරනු ලබන්නේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් තුමන් විසින්ය. ශුද්ධාසනය කතෝලික සභාවේ රදගුරු පදවි අතරින් ශ්‍රේෂ්ඨතම පදවිය නොහොත් මූලිකම එපිස්කෝපල් ආසනය වන අතර මෙමගින් කතෝලික සභාවේ මධ්‍යගත පරිපාලනය සිදු කරනු ලබයි. එබැවින් රාජ්‍යතාන්ත්‍රික හා අනෙකුත් විෂයෙහි ශුද්ධාසනය ක්‍රියා කරනු ලබන්නේත් සිය මතය ප්‍රකාශ කරනු ලබන්නේත් සමස්ථ කතෝලික සභාවම වෙනුවෙනි. එලෙසම මෙය අන්තර්ජාතික නීතිය විෂයෙහි තානාපති සබඳතා පවත්වා පවත්වාගෙන යා හැකි, පාප් තුමන් විසින් පාලනය කෙරෙන, ස්වාධීන අස්තිත්වයක් ලෙස හදුනා ගැනේ.

සමහර අවස්ථාවලදී "වතිකානුව" යන උභයාර්තවාචී වචනයෙන් හැදින්වූවද, ශුද්ධාසනය යනු 1929 යේ සිට පැවතෙන වතිකානු රාජ්‍යය යන ආස්තිත්වයම නොවේ. ශුද්ධාසනයේ හෙවත් රෝම රදගුරු පදවියේ ඉතිහාසය මුල් කිතුනු යුගය (ක්‍රි.ව. පලමු සියවස) දක්වාම දිව යන්නකි. විදේශ රාජ්‍යයන් විසින් සිය තානාපතිවරුන් නිල වශයෙන් පත් කරනු ලබන්නේ වතිකානු රාජ්‍යයට නොව ශුද්ධාසනයට වන අතර, විදේශ රාජ්‍යයන් හා අන්තර්ජාතික සංවිධාන සදහා නිල වශයෙන් පත් කරනු ලබන පාප් තුමාගේ නියෝජිතයින් හදුනා ගනු ලැබෙන්නේ වතිකානු රාජ්‍යයේ නොව, ශුද්ධාසනයේ නියෝජිතයින් ලෙසිනි.

සියළුම එපිස්කොපල් ආසන ශුද්ධවූ ලෙස සැළකෙතත්, ශුද්ධවූ අසුන හෙවත් "ශුද්ධාසනය" යන වචනය විශේෂාකාරයෙන් යමක් සදහන් නොකොට අන්තර්ජාතික සබඳතාවන්හිදී (හා කතෝලික සභාවේ සසුන් නීතියේ) භාවිතාකරනු ලැබෙන්නේනම් ඉන් හැඟවෙන්නේ කතෝලික සභාවේ මධ්‍යම පරිපාලනය සිදු කරනු ලබන රෝම රදගුරු පදවිය බව සාමාන්‍යයෙන් සළකනු ලබයි. ශුද්ධාසනය නෛතික පුද්ගලභාවය අතින් බොහෝදුරට අගාරික රාජකීය රාජ්‍යකට සමානකම් දක්වයි.


වැඩිදුර කියවන්න...