කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතය


කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය හෝ ‘‘‘KDN’’’ යනු දකුණු ශ්‍රී ලංකාවේ වන සංකීර්ණයකි. 2004 දී යුනෙස්කෝව විසින් මෙම වන සංකීර්ණය ජෛවගෝල ආරක්ෂිතයක් ලෙසින් නම් කෙරිණි.[1] සිංහරාජය හැරුණු විට ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති අවසන් විශාල වන සංරක්ෂිතය KDN සංකීර්ණය වෙයි.[2] මෙම වන ප්‍රදේශය දකුණු ආසියාවේ ශාකමය අතින් අතිශයින් සාරවත් වූ ප්‍රදේශ අතුරින් එකක් වෙයි.[3] වන සංකීර්ණය පිහිටා ඇත්තේ ගාල්ල නගරයට කිමී 35 ක් වයඹ දෙසටය. මෙම වැසි වනාන්තරය දකුණු ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් ගංගා දෙකක් වන ගිං සහ නිල්වලා ගංගා සඳහා ප්‍රධාන ජලපෝෂිත ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවට ආවේණික බොහෝ ශාක සහ සත්ත්ව විශේෂයන්හට මෙම ජෛවගෝල ආරක්ෂිතය තුල රැකවරණය සැපයෙයි.

කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය
Map showing the location of කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය
Map showing the location of කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය
කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය
පිහිටුමදකුණු පළාත, ශ්‍රී ලංකාව
සමීපතම නගරයගාල්ල
ඛණ්ඩාංක6°11′N 80°25′E / 6.183°N 80.417°E / 6.183; 80.417ඛණ්ඩාංක: 6°11′N 80°25′E / 6.183°N 80.417°E / 6.183; 80.417
වර්ග ප්‍රමාණය10,139 ha
සංස්ථාපනය2004
පාලක ස්ථිතියවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

1960 දශකයේ සිට 1970 අගභාගය වන තුරු තුනී ලෑලි සංස්ථාවේ  ගාල්ල ගිංතොට කම්හල වෙත තුනී ලෑලි නිශ්පාදනය සඳහා දැව ලබාගෙන ඇත්තේ මෙම ප්‍රදේශයෙන් බැවින් විශාල වන විනාශයක් සිදුව තිබෙනවා.  ඒ කාලයේ භාවිත කල තාර යෙදු මාර්ග අදත් වනාන්තරය තුළ දක්නට තිබෙනවා. මේ හේතුව නිසාම කන්නෙලියේ ප්‍රාථමික වනාන්තරය (primary forest) දක්නට ලැබෙන්නේ අඩුවෙන්. වනාන්තරය පුරා පැතිර පවතින්නේ ද්විතියික වනාන්තරයයි (secondary forest). එනම් අලුතින් වැඩුනු ශාකවලින් මෙම වනාන්තරයේ බොහෝ ප්‍රදේශ වැසී පවතිනවා. එහෙත් දැනට වසර 30-35ක් පමණ කාළයක සිට තුනී ලෑලි සඳහා දැව කැපීම නතර වී ඇති හෙයින් වනාන්තරය ඝනව වැඩී ඇති අතර වන විනාශයක් සිදුවී ඇති බවට සළකුණු මැකී තිබෙනවා.[4]

පිහිටීම හා භෞතික ලක්ෂණ සංස්කරණය

ගාල්ල දිස්ත්‍රික්කයට අයත්ව උතුරු අක්ෂාංශ 6°10. සහ 6°18. සහ නැගෙනහිර දේශාංශ 80°19. සහ 80°26. අතර පිහිටා ඇති මෙම වනාන්තරය හෙක්ටයාර 5305 පුරා පැතිරී පවතියි. එයින් හෙක්ටයාර 5108.2 ක් ඝන වනාන්තර වලින්ද හෙක්ටයාර 168.4 විවෘත වනාන්තර වලින්ද හෙක්ටයාර 29.3 වන වගා වලින්ද සමන්විත වෙයි. කන්නෙලිය රක්ෂිත වනාන්තරය පහතරට නිවර්තන වර්ෂා වනාන්තරයක්  වන අතර මෙය කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණයට ( KDN complex)  අයත් වෙයි. මෙම කලාපයේ වනාන්තර පහතරට තෙත් කලාපීය වර්ෂා වනාන්තර ලෙස හදුන්වා දෙනු ලැබේ. දැනට රක්ශිත ලෙස යෝජනාකොට ඇති දෙදියගල හා නාකියාදෙනිය වනාන්තරද එක්ව ගත්කල කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණය ලෙස හඳුන්වන මෙම මුලු ප්‍රදේශය හෙක්ටයාර 10,139.3 කින් සමන්විත වේ.[5]

කන්නෙලිය වනාන්තරය ඇතුලත් ප්‍රදේශයට සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය මි.මි. 4.445 වාර්ථා වෙයි.වැඩිම වාර්ෂාපතයක් මැයි මාසය මැද භාගයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා  පවතින නිරිතදිග මෝසම් දේශගුණය මගින් ලැබේ.මෙම වනාන්තරය තුල පවතින මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් 27 පමණ වේ.

ජෛවගෝලය සමන්විත වන්නේ සමාන්තරව පිහිටි කඳු වැටි සහ නිම්නයන් මාලාවකිනි. මුහුදු මට්ටමෙහි සිට 60 මී සිට 425 මී දක්වා පරාසයක උන්නතාංශය පිහිටයි. [6] මධ්‍යයන වාර්ෂික උෂ්ණත්වය 27.0°C වන අතර වාර්ෂීක උෂ්ණත්ව විචලනය 4°C-5°C වෙයි. වනාන්තරය 3,750 මිමී ක සැලකිය යුතු වර්ෂාපතනයක් ලබයි. ගොන්ඩ්වානාහී බොහෝ පුරාතන වර්ගීකරණ සමූහයන් මෙම වැසි වනාන්තරයන්හී දැකිය හැකිය. ඉන්දුමලයානු ශාක සහ සතුන් වෙතද ඒවා සබැඳියාවක් දක්වති.

කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය (KDN) සංකීර්ණයේ වැදගත්කම සංස්කරණය

 
අනගිමලේ ඇල්ල, කන්නෙලිය රක්ෂිතය

ශ්‍රී ලංකාවේ වර්ෂා වනාන්තර සැලකීමේදී සිංහරාජයට පසුව වැදගත්ම තැනක් හිමිවන්නේ මෙම සංකීර්ණයටයි. මෙම වනාන්තරය සතුව පවතින දිය පහරවල් 101 කට වැඩි ප්‍රමාණයක් දැනට හදුනාගෙන ඇති අතර එබැවින් මෙම කලාපය දකුණු පලාතේ පවතින වැදගත් ගංගා පෝෂක ප්‍රදේශයක් ලෙස නම් කර ඇත.

කන්නෙලිය රක්ෂිතය සැලකෙන්නේ Bio diversity hot spot හෙවත් ජෛව විවිධත්වය අනුව අතිශයින්ම වැදගත් වනාන්තර කලාපයක් ලෙසයි. එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වය වාර්තා වන්නේ කන්නේලියෙන් බවයි සැලකෙන්නේ.

එපමණක් නොව, 2004 වසරේදී මිනිසා හා ජෛවගෝල සංචිතයක් (Man & Biosphere Reserve) ලෙස යුනෙස්කෝව විසින් කන්නෙලිය-දෙදියගල-නාකියාදෙනිය ප්‍රදේශය නම්කොට තිබෙනවා. යුනෙස්කෝවේ ජෛවගෝල සංචිත සංකල්පයේ අරමුණ ජෛවගෝලීය වශයෙන් වැදගත් භූමි ප්‍රදේශයන් ආරක්ශා කිරීම හා එසේ කිරීමේදී එම ප්‍රදේශවල වාසය කරන ජනතාවද මෙම සංරක්ශණ කටයුතු සඳහා දායකකරගෙන එම ජනයාගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ක්‍රියාකිරීමයි (conservation with sustainable development).

මෙම සංකල්පයේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය කන්නෙලිය රක්ශිතයේදී දැකගත හැකියි. කන්නලිය රක්ශිතයේ සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස කටයුතු කරන්නේත් එහි බොහෝ රාජකාරි කටයුතු කරන්නේත් එම ප්‍රදේශයේම ගම්වැසි ජනතාවගෙන් තෝරාගත් පිරිසක් විසිනි. එමෙන්ම වනාන්තරයට හානියක් නොවන ලෙස යම් යම් නිශ්පාදන සඳහා අමුද්‍රව්‍ය සපයාගැනීමටද ඉඩදී තිබෙනවා. ඒ අනුව කන්නෙලිය රක්ශිතයේ  ආරක්ශකයින් බවට එම ප්‍රදේශවාසි ජනයාම පත්වී තිබෙන්නේ රක්ශිතයෙන් ඔවුනට ආර්ථික වාසි ලැබෙන බැවින් එය ආරක්ශාකර ගැනීමේ වැදගත්කම ඔවුනට අවබෝධවීම නිසාය. [7]

ජෛව විවිධත්වය සංස්කරණය

 
කන්නෙලිය රක්ෂිතයේ දැකිය හැකි විශාල මකුළු විශේෂයක්.

කන්නෙලිය වනාන්තරය තුල සිදුකරනු ලැබු පර්යේශණ හා සත්ව සංගණන වලට අනුව ශාක , පදුරු හා පැලැටි වර්ග 301 හදුනා‍ගෙන ඇති අතර එයින 52% ක ප්‍රමාණයක් ආවේනික විශේෂ වේ.මෙම විශේෂ අතරින් විශේෂ 16 ක් අන්තර්ජාතිකව වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති අතර විශේෂ  26 ක් ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.

වනාන්තරය තුල ඹෟෂධ ශාක වර්ග රාශියක් හමුවේ. ඒවා අතර බෙරලිය, වෙනිවැල්, එනසාල්, කුඩා හැඩයා, මහා හැඩයා, සදරාජ , වනරාජ, කොකුම්, දුම්මල, හාතාවාරිය යන ශාක මුල් තැනක් ගනියි. වනාන්තරය තුල සත්ත්ව විවිධත්වය සැලකීමේදී පක්ෂි වි‍ශේෂ 122ට වැඩි ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත.ඒ අතර ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ පක්ෂි  විශේෂ දෙකක් වන  බට ඇටි කුකුළා සහ කැහිබෙල්ලා ද දැකගත හැකිය

ශ්‍රී ලංකාවට ආ‍වේනික කළු වදුරා සහ මීමින්නා ඇතුලුව ක්ෂීරපායින් ව්ශේෂ 20 ක් මෙම වනාන්තරයේදි හමුවේ.වනාන්තරය තුල වාර්තා වන උභය ජීවි විශේෂ සංඛ්‍යාව 19 කි.මෙයට ආවෙනික රුක් මැඩියන් විශේෂද අයත් වේ. උරග විශේෂ 39 මෙම වනාන්තරයේ හමු වී ඇති අතර, ශ්‍රී ලංකජවට ආවෙනික පළා පොළගාද  මේ අතර වේ.

මීට අමතරව ශ්‍රී ලංකාවට ආවෙනික මහ කැලැ නිලයා ඇතුළු සමනළ විශේෂ 40 ක්ද මත්ස්‍ය විශේෂ 24 ක්ද වාර්තා වී ඇත.අන්තර්ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුන පා ඇති පතිරණ සාලයා සහ විල්පිට දන්ඩියා යන මත්ස්‍ය විශේෂයන්ද සුලභ ලෙස දැකිය හැකි ඉස්සන් ද මෙම වනාන්තරයේ වාසය කරයි.[8]

ජල විද්‍යාත්මක ලක්ෂණ සංස්කරණය

ප්‍රදේශය හරහා ගලන බොහෝ ගංගා සහ දිය ඇලි සඳහා වැදගත් ජලාධාර ප්‍රදේශයක් ලෙසින් වනාන්තර සංකීර්ණය ක්‍රියා කරයි. වනාන්තරයෙන් බටහිර දිශාවට ගලන ගිං ගඟ සඳහාද, වනාන්තරයේ සිට නැගෙනහිර දිශාවට ගලන නිල්වලා ගඟ සඳහාද, වනාන්තරය මූලාශ්‍රයක් වෙයි. [6] කන්නෙලි, නැනිකිත්ත සහ උඩුගම යන කුඩා ඇලි කන්නෙලියෙන් පැන නගින අතර, හෝම දොල සහ ගල් බැඳි දොල මූලාශ්‍ර වන්නේ නාකියාදෙණිය සහ දෙදියගල වෙතිනි.

ශාක සංහතිය සංස්කරණය

KDN වනාන්තර සංකීර්ණය විසින් යම් තලයක පුෂ්පක ඒකදේශිකත්වයක් පල කරනුයේ පහතරට ඒකදේශික පුෂ්පක විශේෂයන්ගෙන් සියයට 17ක් මෙම වනාන්තර ප්‍රදේශයට සීමා වී ඇති බැවිනි. [3] මෙම පෙදෙසෙන් හමු වී යැයි ලේඛනගතව ඇති කාෂ්ඨීය ශාකයන් 319 ක් අතුරින්, සියයට 52 පමණ ඒකදේශික වෙති. KDN සංකීර්ණයෙහි වෘක්ෂලතාදිය නිරුපණය කරනුයේ ශ්‍රී ලංකා පහතරට වැසි වනාන්තර වෙති. [3][6]

කන්නෙලිය රක්ෂිතය නැරඹීම සංස්කරණය

කන්නෙලිය රක්ෂිතය නැරඹීමට යන සංචාරකයෙකුට  මගපෙන්වන්නෙකු ලබා ගැනීම අනිවාර්ය වේ.ප්‍රවේශපත්‍ර එකක මිල සදහන්වන්නේ රුපියල් 30  ලෙසයි. රක්ශිතය තුල වැදගත් ස්ථාන ආවරණය වන පරිදි මංපෙත් (trails) 6ක් සකසා ඇති අතර මෙම මංපෙත් කිහිපයක් ආවරණය වන පරිදි සංචරණ සැළසුම් (tour plan) 3ක් සකසා ඇත.

  • ගුහාව මංපෙත                : දුර ප්‍රමාණය  කිලෝමීටර 1.5 - ගතවන කාලය පැය 01යි.
  • අනගිමල ඇල්ල මංපෙත  : දුර ප්‍රමාණය කිලෝමීටර 2.3 - ගතවන කාලය පැය 03යි.
  • යෝධ පුස්වැල මංපෙත   : දුර ප්‍රමාණය කිලෝමීටර 2.3  - ගතවන කාලය පැය 03යි.
  • යෝධ නවඳගස මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.2  - ගතවන කාලය පැය 03යි.
  • නාරංගස් ඇල්ල මංපෙත : දුර ප්‍රමාණය කිලෝමීටර 5.2  - ගතවන කාලය පැය 06යි.
  • කබ්බලේ කන්ද මංපෙත : දුර ප්‍රමාණය  කිලෝමීටර 5.5    - ගතවන කාලය පැය 06යි.

මාර්ගෝපදේශක සදහා ගෙවිය යුතු මුදල තීරණය වන්නේ තෝරාගන්නා සැලැස්ම  අනුවයි.

  • සැලසුම් අංක 1 - ගුහාව මංපෙත + අනගිමල ඇල්ල මංපෙත + යෝධ පුස්වැල මංපෙත - කාලය පැය 03යි.
  • සැලසුම් අංක 2 - සැලසුම් අංක 1+ යෝධ නවඳගස මංපෙත + නාරංගස් ඇල්ල මංපෙත- කාලය පැය 06යි.
  • සැලසුම් අංක 3- කබ්බලේ කන්ද මංපෙත (ආපසු පැමිණීමේදි සැලසුම් අංක 1 ආවරණය කල හැක) -පැය 06යි.

ඔබේ සංචාරය පහසුකර ගැනීමට....

1] හැකිතාක් උදයෙන් පැමිණෙන්න. උදය 7-8 වන විට ඔබ උයනට ඇතුලුවන්නේ නම් උදයකාලයේ සැරිසරන පක්ශීන් හා සමනලුන් දැක බලාගැනීම හැකියාව ලැබෙනවා. එමෙන්ම වනෝද්‍යානයේ සියලු වැදගත් ස්ථාන දැක බලාගත හැකි පැය 6ක සංචරණ සැළසුම ප්‍රායෝගික වන්නේ හැකිතාක් උදයෙන් සංචාරය ආරම්භකල හොත් පමණයි. දවල් වන විට දැඩි හිරුරශ්මිය හා වැසිවනාන්තරයක් තුල ඇති වන දැඩි ආර්ධ්‍රතාවය (humidity) නිසා ඉතා වෙහෙසකර තත්වයක් නිර්මාණය විය හැකියි.

2] පානීය ජලය හැකිතාක් රැගෙන යන්න

3] නිහඬව ගමන් කරන්න. ශබ්දනගා කථා කිරීමෙන්, හිනාවීමෙන් හා විහිලුතහලු කිරීමෙන් වන ජීවීන්ට බාධා ඇතිවන අතර උන් සැඟවීම නිසා කළුවඳුරා, මීමින්නා, කැහිබෙල්ලා, බට ඇටි කුකුළා වැනි දුර්ලභ සතුන් දැක බලාගැනීමේ හැකියාව අහිමිවේ. [9]

ආශ්‍රිත සංස්කරණය

  1. "යුනෙස්කෝ ප්‍රොටෙක්ට්ස් 19 නිව් බයෝස්පියර් රිසර්ව්ස්". ens-newswire.com (ඒනවයරන්මන්ට් නිව්ස් සර්විස්). නොවැම්බර් 2, 2004. http://www.ens-newswire.com/ens/nov2004/2004-11-02-04.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-06-09. 
  2. ඩි ලිවේරා, ලංකිකා (ඉරිදා සැප්තැම්බර් 9, 2007). "රිග්‍රොවිං ලොස්ට් රේන්ෆොරස්ට්ස්". ද සන්ඩේ ටයිම්ස්. http://sundaytimes.lk/070909/Plus/plus0011.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-06-09. 
  3. 3.0 3.1 3.2 බණ්ඩාරතිලක, එච්.එම්. (2003). "කමියුනිටි පාර්ටිසිපේෂන් ඉන් ද මැනේජ්මන්ට් ඔෆ් ද කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය ප්‍රොපෝස්ඩ් බයෝස්පියර් රිසර්ව්" (PDF). ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනමෙහි ජර්නලය. ජාතික විද්‍යා පදනම. සම්ප්‍රවේශය 2009-06-09.
  4. කන්නෙලිය රක්ෂිත වනාන්තරය, විද්‍යා ගවේෂණ, (ටෙරන්ස් කහපොල ආරච්චි) [1]
  5. Kanneliya-Dediyagala-Nakiyadeniya (From Wikipedia) [2]
  6. 6.0 6.1 6.2 සේනාරත්න, පී.එම්. (2005). ශ්‍රී ලංකාවේ වනාන්තර (පළමුවන ed.). සරසවි ප්‍රකාශකයෝ. pp. 107–112. ISBN 955-573-401-1. {{cite book}}: |access-date= requires |url= (help)
  7. M. D. K. L. Gunathilaka, "A Review on the Floral Composition of Kanneliya - Dediyagala - Nakiyadeniya (KDN) Forest Complex in Sri Lanka", International Journal of Science and Research (IJSR), https://www.ijsr.net/search_index_results_paperid.php?id=ART20195610, Volume 8 Issue 2, February 2019, 2216 - 2221
  8. Plant Diversity of Kanneliya Forest Reserve in Sri Lanka. October 2018, Research symposium on Wet Zone ForestsAt, Medhisha Pasan Gunawardena, Ashan Karunananda, Chathura Priyadarshana, Ravindu Anjana
  9. Kanneliya Rain Forest – the bio-diversity hotspot, Lakdasun Trip Reports [3]

බාහිර යොමු සංස්කරණය