සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය

ශ්‍රීමත් දකුණු දලදා වහන්සේ වැඩසිටින බවටත්,වර්තමාන ප්‍රතිසංස්කරණයේදී නිධන් කළ සර්වඥ ධාතූන් වහන්සේල සහ අංගුලිමාල අරහත් ධාතූන් වහන්සේල වැඩසිටින,දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ නමක් වැඩසිටි බවටත් සැලකෙන මහමෙව්නාව භාවනා අසපු සංචිතයට අනුබද්ධිත ඓතිහාසික විල්ගම්වෙහෙර මහ සෑය සුපිහිටි ගිරිඅභය රජු විසින් කල , මූලාශ්‍ර අනුව පුරාණ සෝමාවතී රජ මහා විහාරය බවට පිළිගැනෙන සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය පිළිබදව මෙහිදී කරුණු දක්වා ඇත.

Seruwila Wilgamwehera Raja Maha Viharaya
සේරුවිල විල්ගම්වෙහෙර රජ මහා විහාරය
විල්ගම්වෙහෙර සෝමාවතී ස්තූපය
මූලික තොරතුරු
පිහිටීමSeruwawila, Sri Lanka
භූගෝලීය ඛණ්ඩාංක8°23′47.4″N 81°18′49.6″E / 8.396500°N 81.313778°E / 8.396500; 81.313778ඛණ්ඩාංක: 8°23′47.4″N 81°18′49.6″E / 8.396500°N 81.313778°E / 8.396500; 81.313778
අනුබැඳියාවBuddhism
දිස්ත්‍රික්කයTrincomalee
පළාතEastern Province
උරුම නාමකරණයArchaeological protected monument[1]
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයBuddhist Temple
ආදිකර්තෘKing Giriabhaya State king of Somapura - King Kavantissa Period 2 century BC

සේරුවිල නයින්ගේ විල්ගම්වෙහෙර-දකුණු දළදා ස්තූපය

සංස්කරණය

ශ්‍රීමත් දකුණු දලදා වහන්සේ,සර්වඥ ධාතූන් වහන්සේල සහ අංගුලිමාල අරහත් ධාතූන් වහන්සේල වැඩසිටින බවටත්,දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ නමක් වැඩසිටි බවටත් සැලකෙන මහමෙව්නාව භාවනා අසපු සංචිතයට අනුබද්ධිත ඓතිහාසික විල්ගම්වෙහෙර මහ සෑය - පුරාණ සෝමාවතිය ස්ථූපය

තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී නාමය උදෙසා පුරාණ කොට්ඨසාර ජනපදයෙහි ගිරිඅභය මහ රහතුමන් විසින් ඉදි කරන ලද විල්ගම් වෙහෙර මහා සෑ රජුන් 800 වසරකට පමණ පසු බෞද්ධ ලෝකයාගේ වන්දනමානනයට පාත්‍ර වන අවධියක් යළි උදාවූයේ ය. එබැවින් ඒ මහා චෛත්‍යරාජයාට පූජෝපහාර පිණිස මෙම ලිපිය සපයනු ලැබේ.

දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ

සංස්කරණය

මුලාශ්‍ර අනුව සේරුවිල නයින්ගේ විල්ගම්වෙහෙරේ වැඩසිටි දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ පිළිබදව මෙසේ කරුණු දැක්විය හැක.

"රථ පදාත්‍යාදී වූ සිව්රඟ සෙනඟින් ගැවසුණේ ය. ශංඛ, භේරි, මෘදංගවෙණු, වීනාදී ශබ්දයෙන් ඒකකෝලාහල වූයේ ය. එනුවර අමරවතී නම් රාජධානිය සේ ඉතා සිත්කළු වූයේ ය.” (38)

බෝධින් වහන්සේනමක් රෝපණය කරනුයේ, ජනශුන්‍ය නොවැදගත් ස්ථානයක නො වේ. බොහෝ දෙනෙකුට වැඳ පුදා පින් රැස්කර ගත හැකි, ප්‍රශස්ත ආගමික වටපිටාවක් ඇති පෙදෙසක ම බෝධි රෝපණයක් සිදු කරනු ලැබේ. එබැවින් විල්ගම් වෙහෙර පිහිටි භූමිය දෙවනපෑතිස් රාජ සමයේ සිට ම නැගෙනහිර පළාතේ වැදගත් ස්ථානයක් වූ බව සිතාගත හැක. එමෙන් ම එම පුණ්‍ය භූමිය භාග්‍යවතුන් වහන්සේගේ ද මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු රහතුන්ගේ ද අවධානයට ලක් වූ පින්බිමක් බව බෝධිවංශයට අනුව ගම්‍ය වේ.

දෙතිස් ඵලරුහ බෝධි රෝපණයට වූ තැන් පටන් ශතවර්ෂ ගණනක් විල්ගම් වෙහෙර සිංහල බෞද්ධ ජනතාවගේ ගෞරව බහුමානයට පාත්‍ර වෙමින් පැවැතුනේ ය. බෞද්ධයකු විසින් දත යුතු ලක්දිව ප්‍රධාන විහාරස්ථාන නාම මාලාවට ද විල්ගම් වෙහෙර ඇතුළත් ව තිබීමෙන් ඒ බව පැහැදිලි වේ. නම් පොත නමින් ද හඳුන්වනු ලබන විහාර අස්න නම් කෘතියෙහි 130 වන ස්ථානයෙහි සඳහන් වන්නේ 'විල්ගම් වෙහෙර' යි. එහි විහාරස්ථාන නාමයන් සඳහන් වන්නේ ප්‍රදේශයන්ගේ අනුපිළිවෙළ රැකගනිමිනි. 129 ස්ථානයෙහි ‘ත්‍රිකුණාමලය’ යනුවෙන් ද 131 ස්ථානයෙහි ‘තිස්ස මහ වෙහෙර’ (සේරුවිල මංගලරාජ මහා විහාරය) යනුවෙන් ද සඳහන් වන හෙයින් ඒ දෙක අතර ප්‍රදේශයෙහි ම විල්ගම් වෙහෙර පිහිටා තිබිය යුතු ය. එබැවින් පුරාණ විල්ගම් වෙහෙර වෙනත් ප්‍රදේශයක පිහිටි බව සිතීමට ඉඩක් නැත. මෙම නම් පොත කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රජ සමයේ රචිත බව, නම් පොත සංශෝධනය කළ අති පූජනීය අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක මාහිමියන්ගේ අදහස යි. ඒ අනුව විල්ගම් වෙහෙර යන නාමය කෝට්ටේ යුගය වන විටත් බොදු ජනයාගේ සිත් සතන් තුළ නො මැකී තිබූ බව සිතිය යුතු වේ.

කෙසේ නමුත් මෙම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ සේරුවිල නයිනාගේ විල්ගම්වෙහෙර ප්‍රදේශයේ වැඩ සිට බවට සනාථ වුවත් එම බෝධීන් වහන්සේට එම විහාරයේ ම වැඩ සිටි බවට කරුණු සනාථ කරගෙන නොමැත. මන්දයත් එම භූමියේ කැණීම් සිදුකර ඇත්තේ සෑ මලුව පමණක් වීම හේතුවෙනි.

සැලකිය යුතුයි:- මෙම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර නම් විහාරයේ වැඩ වසන බවට සමහරු සැලකුවද විද්වතුන්ගේ මතයනම් බෝධිවංශය තුල පැහැදිලිවම සේරුවිල නයින්ගේ විල්ගම්වෙහෙර ලෙස සදහන්ව තිබීම මගින් එය කිසි ලෙසකවත් වෙල්ගම් වෙහෙර විය නොහැකි බවයි.එසේම තවත් මතයක් නම් සේරුවාවිල කිලවෙඩ්ඩි ප්‍රදේශය වැඩ සිටි "ශ්‍රී වර්ධන බෝධිය"මෙම දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ බවටද විද්වතුන් විශ්වාස කරනු ලබයි.නමුත් එම බෝධීන් වහන්සේ වර්ෂ 1970 ගණනක් වලදී අන්තවාදීන් විසින් කපා විනාශ කොට අපවත් කර තිබේ.

සේරුවිල විල්ගම්වෙහෙර පුදබිම ඉදිවීම

සංස්කරණය

ඒ අනුව,දෙවනපෑතිස් රජ සමයෙහි දී දෙතිස් ඵලරුහ බෝධින් වහන්සේලා විහාරස්ථානවල ම රෝපණය කළා නොවේ. එහෙත් පසු කාලය වන විට ඒ බෝධීන් වහන්සේලා කේන්ද්‍ර කොටගෙන විහාරස්ථානයන් බිහි විය. විල්ගම්වෙහෙර ද එබඳු පුණ්‍ය භූමියක් බව සිතිය හැක. සිංහල ධාතුවංශයේද විල්ගම්වෙහෙර නම් විහාරයක් කාවන්තිස්ස රජු කරවූ බව සදහන් වුවත් එය සේරුවිල විල්ගම්වෙහෙර කල විහාරය බවට කරුණු සනාථ නොවේ.මන්ද යත් කාවන්තිස්ස රජු රාජ්‍ය කල මාගම රාජධානියේ අම්බලන්තොට ප්‍රදේශයේ ද කාවන්තිස්ස රජු කල බවට සැලකෙන විල්ගම්වෙහෙර විහාරයක් පවතින බැවිනි.

“කාවන්තිස්ස රජහු විසින් කරවූ විහාර මෙසේ දත යුතු. විහාර මහා දේවි විහාරය, තුලාකර පබ්බත විහාරය… විල්ගම් වෙහෙරය… ආදි කොට ඇති එකසිය අටතිසක් විහාර කරවූයේ ය.” (67)

සිංහල ධාතුවංශය ලියැවී ඇත්තේ පාලි ධාතුවංශය අනුව ය. එහෙත් පාලි ධාතුවංශයේ කිසිදු පිටපතක කාවන්තිස්ස රජු කරවූ විහාර නාමාවලියට විල්ගම් වෙහෙර ඇතුළත් ව නැත. එමෙන් ම ඇතැම් සිංහල ධාතුවංශ පිටපත්වල ද එම නාමාවලියට විල්ගම් වෙහෙර ඇතුළත් ව නැත. වරදවෙල පුෂ්පාරාම විහාරය සතු සිංහල ධාතුවංශ පුස්කොළ පිටපත් එවැන්නකි.

සිංහල ධාතුවංශය ලියැවී ඇත්තේ මහනුවර යුගයේ මුල් භාගයේ දී කකුසන්ධ නම් ස්වාමීන් වහන්සේ අතින් බව මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගලයන්ගේ අදහස යි.නමුත් සිංහල ධාතුවංශය කුරුණෑගල යුගයේ දී රචනා වූ බවට සමහරු පිළිගනු ලබයි.එහෙත් පාලි ධාතුවංශය ලියැවී ඇත්තේ කාවන්තිස්ස හෝ දුටුගැමුණු රජ සමයෙහි බව අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහානායක මාහිමියන්ගේ මතය යි. පාලි ධාතුවංශය ලියැවුණු අවධිය පිළිබඳ විවිධ මතවාදයන් ඇතත්, සිංහල ධාතුවංශය රචනා කිරීමට සියවස් ගණනාවකට පෙර එය රචනා වූ බව අවිවාදයෙන් පිළිගත හැක. එබැවින් විල්ගම් වෙහෙර කාවන්තිස් නිරිඳුන් විසින් කරවන ලද්දකැයි සඳහන් කිරීම සංශය හෙවත් සැක සහිත ය.

එසේ නම් සේරුවිල විල්ගම්වෙහෙර කරවූයේ කවුරුන්ද???

සංස්කරණය

සේරුනුවර සේරුවිල කෙළවර පිහිටි සෝම නම් නගරයෙහි ගිරි අභය රජතුමන් විසින් කරවන ලද විහාරය මෙම විල්ගම්වෙහෙර යැයි සඳහන් වන මතයක් ද තිබේ. වංශ කථාවට අනුව ගිරි අබා රජු තම අගබිසව වූ සෝමා දේවියගේ නමින් සැටක් පමණ ප්‍රාසාදයන්ගෙන් යුත්, කූටාගාර පැන් පොකුණු ආදි නොයෙක් විහාරංගයන්ගෙන් හෙබි විහාරයක් සෝම නුවරට නුදුරු තැනක සල් වනයක් ද සමඟින් ඉදි කරවා තිබේ. ගිරිඅබා රජු දිනකට තුන්වරක් ධාතු උපස්ථානය සඳහා එම විහාරයට ගිය බව සඳහන් වන හෙයින්, එය සෝම නුවරට බොහෝ දුර ස්ථානයක නොව ළඟ ම පිහිටා තිබිය යුතු ය. ක්‍රි.ව. 1516 සියමේ රතනපඤ්ඤ නම් තෙරුන් විසින් රචිත ජිනකාලමාලී නම් එෛතිහාසික කෘතියේ එම සෝම නුවර පිළිබඳ සඳහන් වන්නේ මෙසේ ය.

“සේරුරාජා පන සරකෝටියං රමණීයේ භූමිභාගේ ඒකං නගරං මාපෙත්වා අභයරාජස්ස අදාසි. සෝපි අභයරාජා තස්ස නගරස්ස දේවියා නාමේන සදිසං සෝම නගරංති නාමං අකාසි”

“සේරු රජ විල් කෙළවර රම්‍ය භූමි භාගයක නුවරක් මවා අභය රජුට දුනි. අභය රජ ඒ නුවරට දේවියගේ නම අනුව සෝම නුවර යයි නම් තැබී.” (45)

සිංහල – පාලි ධාතුවංශවල ද මේ පුවත මෙයට සමාන ව ම සඳහන් වේ. එම කෘතිවලට අනුව සෝමනුවර පිහිටිය යුත්තේ සේරුනුවරට අයත් භූමි භාගයෙහි සේරුවිල කෙළවර ය. සෝම නුවර ගිරිඅභය රජු විසින් ඉදි කළ සෑ රජුන් පිළිබඳ පවා පාලි ධාතුවංශයෙහි සඳහන් ව ඇත්තේ ‘ගිරි අභයස්ස සේරුනගර පබ්බතන්තරේ චේතියං’ (ගිරිඅබා රජුගේ සේරුනුවර පර්වත අතරෙහි චෛත්‍යය) යනුවෙනි. එමෙන් ම මහින්ද මහරහතන් වහන්සේ විසින් දකුණු දළදා වහන්සේ වැඩමවාගෙනවුත් ඇත්තේ ද සේරුනුවරට ම ය. ඒ බව ‘දක්ඛිණදාඨං ගහෙත්වා තම්බපණ්ණි – යං සේරුනගරං පරිහරිත්වා’ (දළදා වහන්සේ ගෙන තම්බපණ්නියෙහි සේරුනුවරට වැඩමවා) යන පාඨයෙන් හෙළිදරව් වේ. එමෙන් ම සේරුවිල මංගල මහා සෑ ප්‍රතිෂ්ඨාපනයට වැඩම කළ භික්ෂුන් හට ආගන්තුක වත සිදුකර ඇත්තේ ද ලලාට ධාතු උපස්ථානයට නිතර වැඩම කොට ඇත්තේ ද ගිරිඅබා රජුගේ විහාරයේ වැඩ විසූ මහින්ද රහතන් වහන්සේ ය. මංගල මහා සෑය පූජා කිරීමේ මහා පෙරහර ඇරඹී ඇත්තේ සෝම නුවරින් වන අතර, කාවන්තිස් නිරිඳුන් ‘දරුව, තෙපි මෙහි ම නිතර වසව්’ යැයි පවසා මංගල මහා සෑය පිළිබඳ සියලු කටයුතු සොයා බැලීමට පවරා ඇත්තේ ද සෝම නුවර ගිරිඅබා රජුට ය. සෝම නුවර සේරු නුවරට ආසන්නව නො පිහිටියේ නම්, මේ කිසිවක් සිදුවිය නො හැක.

වංශකතාවට අනුව ගිරිඅබා රජු විසින් කරවූ විහාරය මහවැලි නදියට නැගෙනහිරින් වූ රුහුණු ප්‍රදේශයෙහි පිහිටිය යුතු ය. එබැවින් දෙතිස් ඵලරුහ බෝධිරාජයන් වහන්සේ කේන්ද්‍ර කොටගෙන කරවූ විල්ගම් වෙහෙර, ගිරිඅභය රජු විසින් සෝමනුවර ඉදිකළ දකුණු දළදා නිධන් කළ සෝමාවතියෑ මහා සෑය සහිත විහාරය විය හැක. කවුරුන් විසින් ඉදි කරනු ලැබුයේ වී නමුත් මෙම පුණ්‍ය භුමිය අති පෞරාණික ශුද්ධභූමියක් බව පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ගේ අදහස යි.

“විල්ගම් විහාරය – තෝප්පුර් අසල මේ නමින් හැඳින්වෙන ස්ථානයක් තිබේ. එය ද පැරණි පුදබිමක් බව එහි ගඩොලුවලින් පෙනේ.” (නැගෙනහිර හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය 331)

මූලසෝම විහාරය හෙවත් සෝමාවතී විහාරය(විල්ගම්වෙහෙර සෝමාවතී රජ මහා විහාරය)

සංස්කරණය

ඉඳින් විල්ගම්වෙහෙර ගිරිඅභය රජු කළ විහාරය වූයේ නම්, එය ලක්දිව අති සම්භාවනීය පූජ්‍ය ස්ථානයකි.

අනුරාධපුර යුගයේ අවසාන භාගයෙහි දී ආචාර්ය අනුරුද්ධ මහා ස්වාමීන් වහන්සේ විසින් රචිත අභිධම්මත්ථ සංග්‍රහයේ අවසානයේ දී කතුරයාණෝ තමන් වහන්සේ වාසය කළ විහාරයෙහි අභිවෘද්ධිය මෙසේ ප්‍රාර්ථනා කරති.

"පුඤ්ඤේන තේන විපුලේන තුමූලසොමං ධඤ්ඤාධිවාස මුදිතෝදිත මායුගන්තං පඤ්ඤාවදාත ගුණ සෝභිත ලජ්ජි භික්ඛු මඤ්ඤන්තු පුඤ්ඤ විභවෝදය මංගලාය."

"මහත් වූ ඒ පිනෙන්, පිනැතියන්ට වාසස්ථාන වූ අතිශයින් උසස් වූ මූලසෝම නම් වූ හෝ තුමූලසෝම නම් වූ හෝ විහාරය ප්‍රඥාවෙන් අවදාන වූ ගුණයෙන් හෙබියා වූ ලජ්ජි භික්‍ෂුහු මහත් වූ පුණ්‍යයන්ගේ වැඩීම නමැති මංගලය පිණිස කල්පාන්තය දක්වා සිතත්වා! (144)"

මෙම මූලසෝම විහාරය පිළිබඳ විවිධ මත ඇත්තේ ය. අභිධම්මත්‍ථ සංග්‍රහයට පරමත්‍ථදීපනී නමැති අභිනව මහා ටීකාව රචනා කළ ත්‍රිපිටකධර අග්ගමහා පණ්ඩිත ලේතීෂයාඩෝ නමැති ඥානධජ මාහිමියන් වහන්සේ ඒ පිළිබඳ දක්වන අදහස මෙසේ ය.

“එසේ කිර විහාරෝ ආදිතෝ අභයගිරි රඤ්ඤෝ අග්ගමහේසීභූතාය සෝම දේවියා කාරාපිතත්තා යාවජ්ජතනා සෝමවිහාරෝත්වේව පඤ්ඤයිත්ථ. තුමුල සද්දෝ පන විපුල සද්ද පරියායෝ… සෝච විහාරෝ සට්ඨිමත්තේහි මහා පරිවේණේහි සණ්ඨිතේ හෝතීති අතිවිය විපුලෝ මහන්තෝ විත්ථිණ්ණෝ හෝති තස්මා සෝ…. තුමුලසෝමෝති වුච්චති මහාසෝම විහාරාති වුත්තං හෝති.”

"මේ විහාරය මුල දී අභයගිරි රජුගේ අගමෙහෙසිය වූ සෝම දේවිය විසින් කරවූ බැවින් අද දක්වා සෝම විහාරය යැයි ප්‍රකට ව පවතී. තුමුල ශබ්දය විපුල (මහත්) යන අර්ථ ඇත්තේ ය. ඒ විහාරය සැටක් පමණ පිරිවෙන්වලින් යුක්ත බැවින් අතිශයින් මහත් ද විස්තීර්ණ ද වේ. එබැවින් තුමුලසෝම යයි කියනු ලැබේ. මහා සෝම විහාරය යන අර්ථ ඇත්තේ ය."

මෙම ටීකා පාඨයේ දැක්වෙන අභයගිරි රජු, ගිරිඅබා රජු විය හැකි බව පොල්වත්තේ බුද්ධදත්ත මාහිමියන්ගේ අදහස යි. ගිරිඅබා රජුගේ නාමය අභය වන අතර, ඔහු ගිරිරාජ වංශයට අයත් වූ බැවින් ගිරිඅභය නමින් හඳුන්වන ලදී.

එමෙන් ම මේ මූලසෝම වෙහෙර පිරිවෙන් 60කින් යුතු බව සඳහන් වන හෙයින්, ගිරිඅබා රජු ප්‍රාසාද 60කින් යුතුව සෝම නුවර ඉදි කළ වෙහෙර එය ම බව සිතා ගැනීම අපහසු නැත. මෙම වෙහෙර පිළිබඳ පුරාණ කුදුසික ටීකාවේ ඇතුළත් වූ අගනා විස්තරයක් ද ඥානධජ මාහිමියන් තම කෘතියේ උපුටා දක්වා ඇත.

“වුත්තංහි ඛුද්දසික්ඛා ටීකායං සීහලදීපේ තුමුලසෝම විහාරේ සංඝස්ස පාකවත්තම්පි තාලපණ්ණං වික්කිණිත්වා කරීයති නහි තත්ථ පණ්ණේණ අත්ථෝ අත්ථි සබ්බේපි ඉට්ඨකච්ඡන්තා පාසාදාදයෝති.”

කුදුසික ටීකාවේ ඒ විහාරය ගැන මෙසේ කියන ලදී :- “සිංහලද්වීපයෙහි තුමුලසෝම විහාරයෙහි සංඝයාගේ දන්වැට තල් කොළ විකුණා කරනු ලැබේ. එහි සියලු ප්‍රාසාදාදීන් උළුවලින් සෙවිලි කරන ලද බැවින් එතැනට ඒ කොළවලින් වැඩක් නැත.”

මෙම කුදුසික ටීකා පාඨය වර්තමානයේ දක්නට ලැබෙන, පොළොන්නරුපුර ශාරිපුත්‍ර සංඝරාජයන් වහන්සේගේ ශිෂ්‍ය වූ ශ්‍රී සංඝරක්ඛිත මාහිමියන් විසින් රචිත ඛුද්ද සික්ඛා ටීකාවේ ඇතුළත් වන පාඨයක් නො වේ. ‘ඛුද්ද සික්ඛා ටීකා යා-පුරාතන සමීරිතා’ (පුරාතනයන් විසින් සම්පාදිත වූ යම් කුදුසික ටීකාවක් වේ ද) යනුවෙන් පුරාණ ටීකාවක් තිබූ බව එහි ම සඳහන් වන හෙයින්, මෙම පාඨය එම පුරාණ ටීකාවේ තිබුවක් බව සිතිය යුතු වේ.

කෙසේ නමුත් විල්ගම්වෙහෙර පුණ්‍ය භූමිය ගිරි අබා රජු විසින් සෝමනුවර ඉදි කළ විහාරය නම්, එය ආචාර්ය අනුරුද්ධ මහා ස්වාමින් වහන්සේ බඳු මහා වියතුන් පවා වාසය කළ අධිසම්භාව්‍ය පුජනිය ස්ථානයකි.

සේරුවිල විල්ගම්වෙහෙර විහාරය පැරණි සෝමනුවර සෝමාවතිය ස්ථූපය බව මත පළ වීම හා පොලොන්නරුව සෝමාවතිය රජ මහා විහාරය

සංස්කරණය

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ පිළිබඳ විස්තර වශයෙන් කරුණු සඳහන්ව ඇත්තේ ඓතිහාසික පාළි ධාතුවංශය, සිංහල ධාතුවංශය සහ ජිනකාලමාලි යන ග‍්‍රන්ථ ත‍්‍රිත්වයෙහි ය. ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවසයේ කාවන්තිස්ස රජ සමයේ දී සේරුවිල සමීපයෙහි පිහිටි සෝම නුවර පාලනය කළ ගිරි අභය (ගිරි අබා) නම් රජෙකු විසින් සෝම නුවරට සමීපයේ මහින්ද නම් තෙර කෙනෙකුන් සැටක් පමණ වූ භික්ෂු පිරිසක් සමඟින් වාසය කළ භූමියේ දකුණු දළදා නිදන් කරමින් සෝමවතී ස්තූපය තැනවූ බව එම ග‍්‍රන්ථයන්හි පැහැදිලිව සදහන් වී තිබෙන බව අප ඉහත සදහන් කරනු ලැබිණි.

එකී දකුණු දළදා වහන්සේ නිදන් කළ ස්ථූපය පිළිබඳව කරුණු විමසන පුරාවිද්‍යාඥයෝ සහ ඉතිහාසඥයෝ වර්තමානයේ සෝමවතී මහා සෑය ලෙස නම් කර ඇති පොළොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් චෛත්‍යය දකුණු දළදා නිදන් වූ සෝමවතී ස්තූපය නොවන බව පැහැදිලිවම ප‍්‍රකාශ කරති.

01. පුරාවිද්‍යා විෂය පිළිබඳ කෘතහස්ත ප‍්‍රාමාණික උගතෙකු මෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයද හොබවනු ලැබූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ 1954 වර්ෂය සඳහා වන පාලන වාර්තාවේ මෙසේ සඳහන් වේ.

තමන්කඩු දිසාවේ සෝමවතී චේතිය අසල පසින් යට වී පිහිටි තුන්වැනි සියවසට අයත් ලිපියක් සහිත ගල් පුවරුවක් සොයා ගන්නා ලද්දේ ය. මේ දාගැබෙහි දළදා නමක් තුන්වෙනි සියවසින් පෙර කාලයක දී නිදන් කරන ලද බැව් බොහෝ අය විශ්වාස කරති. එහෙත් ලේඛන විද්‍යාවෙන් ඒ විශ්වාසය තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නැත්තේය.” (1954 වර්ෂය පිළිබඳ පුරාවිදු අධිකාරි තැන ගේ පාලන වාර්තාව IV කොටස - අගෝස්තු 1955 ආණ්ඩුවේ නියමයෙන් මුද්‍රණය කරන ලදි. A.S.C.A.R 1954

02. පුරාවිද්‍යා චක‍්‍රවර්තී පර්යේෂණසූරී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ ද පොළොන්නරුවේ වර්තමාන සෝමවතී විහාරය දකුණු දළදා නිදන් කළ ඓතිහාසික සෝමවතී විහාරය නොවන බවට මෙසේ කරුණු දක්වති.

"දැනට පොළොන්නරු දිසාවේ සුංගාවිලට සැතපුම් හයක් පමණ දුරින් මීන්විල විල්ලූවේ කෙළවරට වනසේ වනයේ පිහිටි ස්ථූපයක් සහිත නටඹුන් පුදබිමක් ද කාලයක සිට සෝමාවතිය ලෙස සලකා ඇති බව මුලින් සඳහන් කර ඇත. මෙහි ගරා වැටී තිබූ සෑය පසුගිය කාලයේ ප‍්‍රතිසංස්කරණය කරන ලදි. මෙහි ද විවිධ ආරාම ගොඩනැගිලි දක්නට ලැබේ. මේ ස්ථානයෙන් හා මීන්විල විල්ලූව මැද පිහිටි මිටි ගල් තලයෙන් ද (එරික් ස්වෝන්) ලැබුණු සෙල්ලිපි පහක් තිබේ. මේ ලිපිවල මහා චූලික මහා තිස්ස රජුගේ පරපුරේ සාමාජිකයන් ගැන සඳහන් කෙරෙයි. ඉන් එක් ලිපියක ස්ථානයේ නාමය පජින නකල අරබ” (ප‍්‍රාචීන නාගාරාමය) වශයෙන්ද තවත් ලිපියක මණි අගිය රජමහ විහර” (මණිඅග්ගික රාජ මහා විහාරය) වශයෙන් ද සඳහන් වේ. මෙයින් පැරණිම ලිපිය ක‍්‍රි.ව. 9 - 21 අතර රජ කළ මහාදාඨික මහා නාග රජුගේ යුගයට අයත් ලිපියයි. ඒ ලිපිය අනුව මේ ආරාමය කරවා ඇත්තේ එතුමාගේ පුත‍්‍රයකු වූ එහෙත් වංශකතාවේ නොදැක්වෙන නකල නම් කුමාරයෙකු විසිනි. සෝමා දේවිය නමින් කර වූ සෝමවතී විහාරය මෙය නම් එය කරවා ශත වර්ෂ දෙකක් පමණ යාමට පෙර එය අමතක වීමට හෝ නම වෙනස් වීමට හෝ හේතුවක් තිබිය යුතුය. එබඳු හේතුවක් ද නොපෙනෙන බැවින් හා ගෙඟ් ද ගමන් මඟ වෙනස් වීම පිළිගතද නියම සෝමාවතිය මෙය නොවන බව පැහැදිලි වේ.” (සැඟවුනු ඓතිහාසික පුදබිම්-2014, පුරාවිද්‍යා චක‍්‍රවර්තී පුරාවිද්‍යා පර්යේෂණසූරී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි - පිටු අංක 34)

03. C. W. Nicholas සූරීන්ගේ ‘පුරාතන සහ මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය’ ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් වේ. —At the neighbouring Somavati Cetiya there is an inscription recording the foundation of the Vihara, which is named Pajini-Nakala-araba-vihara, by the prince Nakala, son of king Mahallaka Naga (136-143) : another, later inscription of the Kanittha Tissa at the site names the Cetiya, Mani- agaya-cetiya. The present name and so-called traditions about this site are therefore spurious.˜ (Nicholas, C. W; J. R.A.S. (C. B.) NS. SPN. Vol. VI, p. VI. p. 42)

ඒ අනුව C. W. Nicholas සූරීන් මෙම ස්ථානයට වර්තමානයේ දී ‘සෝමාවති’ යන නම භාවිතා කිරීම වැරදි සහගත බව (Spurious) ඍජුව ම ප‍්‍රකාශ කරයි.

04. මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ ලංකා ශිලා ලේඛන සංග‍්‍රහයේ, II වෙළුමේ, II කොටසේ මෙසේ සඳහන් කොට ඇත.

—The inscription found on the pavement of the Somavati, when it refers to the foundation of a Vihara, must mean establishment of which that stupa is the centre. When it is admitted that the religous establishment at the place was founded by the son of a king who ascended the throune in 9 A.C., the bliefs held by many Buddhists of ceylon that this Dagaba was built in the second century B.C. by a contemporary of Kakavanna Tissa, have to be regarded, as C.W. Nicholas has done, as having no historical basis.apart from the efidence furnished by this inscription against the credibility of this belief, the account in the Dhatuwamsą, on which the belief is based, is concerned with a Stupa in Rahana and the Stupa now called Somavati is not in Rohana, but in the Rajarattha.˜ (Inscriptions of Ceylon, Vol. II, Part II, By S.Paranavitana, Editor: Malini Dias, 2001, Published by C2 the Archaological Survey Department, Sri Lanka. p. 39)

ඒ අනුව කිස්තු පූර්ව දෙවන සියවසයේ කාවන්තිස්ස රජ සමයේ දකුණු දළදා නිදන්කොට තැනූ සෝමවතී චේතිය මෙය නොවන බවට C. W. Nicholas මහතාගේ කරුණු දැක්වීම නිවැරදි බව පෙන්වාදෙන මහාචාර්ය සෙනරත් පරණවිතානයන්, ධාතුවංශයට අනුව සෝමවතිය රුහුණු රට පිහිටි චෛත්‍යයක් බව ද එනමුදු දැන් එනමින් හඳුන්වන චෛත්‍යය රජරට පිහිටා ඇති බව ද කරුණු සහිතව දක්වමින් එකී චෛත්‍ය ධාතුවංශයේ සඳහන් දකුණු දළදා නිදන් කළ සෝමවතී චෛත්‍යය නොවන බව පෙන්වා දේ.

එසේම පහත දැක්වෙන කරුණු නිසා ද වර්තමානයේ සෝමාවතිය ලෙස හැඳින්වෙන චෛත්‍ය දකුණු දළදා නිදන් වූ සෝමාවතිය නොවන බව පැහැදිලි වේ.

01. වත්මන් සෝමවතී චෛත්‍ය යැයි සලකන පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පිහිටි විහාරය අසලින් හමු වූ සෙල් ලිපියෙන් එම විහාරය නකල කුමරු තැන වූ ප‍්‍රාචීන නාගාරාම විහාරය මිස සෝමවතී විහාරය නොවන බව පැහැදිලිව ම පුරාවිද්‍යාත්මකව සනාථ වේ.

සිධ නක මහ රජ රජ අඩි පිටිය තුමහ පුත අය නකලයහ කරිත පජිඤ[න] නකෙල අරබ විහරට දිනෙ.

සිංහල අනුවාදය - යහපතක් වේවා මහා නාග රජ තෙමේ (මහාදාඨික මහානාග ක‍්‍රි.ව. 07-19) සිය පුත් වූ නකල කුමරු විසින් සෑදූ පාචීන නාගාරාම විහාරයට රජ අළි පිටිය ගම පිරිනැමීය

02. එසේම වර්තමාන සෝමවතී විහාරයේ දාගැබ් මළුවෙන් හමු වූ සෙල්ලිපියෙන් ද (ක‍්‍රිස්තු වර්ෂ පළමු සියවස) මෙය ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී දකුණු දළදා පිහිට වු සෝමවතී විහාරය නොව, නකල කුමරු තැන වූ ප‍්‍රාචීන නාගාරාම විහාරය බව යළිත් වරක් පුරාවිද්‍යාත්මකව තහවුරු වේ.

1. සිද්ධම් මහ නක රජහ පුත අය නකෙල න- 2. මෙ පජිනි නක අරබ විහර කරිතෙ මහ නක රජ 3. තුමහ පුතහ විහරහි උපධරිණි විහරහ 4. කෙතනහි රජළි කෙතහි කරිහි සතක සග බකි දිනි.

සිංහල අනුවාදය - "යහපතක් වේවා, මහානාග රජු ගේ පුත් වූ නකෙල කුමරු විසින් පාචීන නාගාරාම විහාරය සාදන ලදි. මහානාග රජ තෙමේ තම පුතණුවන් සෑදූ විහාරයෙහි භික්ෂූන්ගේ නඩත්තුව පිණිස විහාරය පේනතෙක් මානයේ වූ රජළි කෙතෙහි කිරිය සියයක කුඹුරු පරිත්‍යාග කළේ ය."

● පාළි ධාතුවංශය, සිංහල ධාතුවංශය, සහ ජිනකාලමාලි වැනි ඓතිහාසික අභිලේඛනයන්හි දකුණු දළදා නිදන් වූ සෝමවතී චෛත්‍යය පිළිබඳ මෙසේ විස්තර වේ.

03.ඒ අනුව ගිරි අභය රජුගේ නුවර සේරුවිල් කෙළවර සමීපයෙහි සාදා ඇති බව සදහන් වීම සහ දකුණු දළදා වහන්සේ නිධාපිත ස්ථූපය සේරු නම් විල කෙලවර ඉදිකෙරූ බව සදහන් වීම.

නමුත් වර්තමාන පොලොන්නරුව සෝමාවතිය සේරු නම් විල සිට සෘජුව ගත්විට පවා 50km කටත් වැඩි දුරකින් පිහිටා තිබේ.ඒ අනුව දකුණු දළදා ස්තූපය ගැන සදහන් ප්‍රධාන මූලාශ්‍රය වන ධාතුවංශයේ සදහන් පිහිටීම අනුව පොලොනවනරුව සෝමාවතිය නොගැළපී යයි.

ගැමුණු කුමරු හා ජාතිය පිළිබඳ ඇති වූ විවාදයෙන් පසු ගිරි අභය රජු (ක‍්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ වාසය කළ ප‍්‍රාදේශීය රජෙකි.) ගිරි නුවර අතහැර සිය පතිනිය වූ සෝමදේවිය සමඟින් සිය මිතුරු සේරු නුවර සිව රජු කරා සේනා සහිතව පැමිණියේ ය. සේරු නුවර සිව රජු විසින් සේරුවිල් කෙළවර සමීපයෙහි වූ බිමක සිය මිතුරු වූ ගිරි අබා රජුට සහ සෝමදේවියට නුවරක් කරවා දුන්නේ ය. එය සෝම නුවර ලෙස නම් විය.

එකී සෝම නුවරට නුදුරු නොළං තැනක භික්ෂූන් සැට නමක් සමඟ වැඩසිටි මහින්ද නම් තෙර කෙනෙකු විසූ ස්ථානයක දකුණු දළදා වහන්සේ නිදන් කොට මහා සෑයක් බැ`ද සංඝාරාමයක් ද ඉදිකරවන ලදි. බුදුරජුන් පිරිනිවි කල්හි ධාතු බෙදූ ද්‍රෝණ නම් බමුණා බුදුන්ගේ දකුණු දළදාව තමන්ට වන්දනා කරණු පිණිස සඟවාගත් කල්හි එය දුටු ජයසේන නම් නාරජු එකී දකුණු දළදා වහන්සේ නා ලොවට රැුගෙන ගිය අතර කාවන්තිස්ස රජ දවස මහින්ද නම් තෙරුන් නා ලොවින් දකුණු දළදා වඩමවා ගිරි අබය රජුගේ ඇරයුමෙන් සෝම නුවර සමීපයේ කර වූ පෙර කී දාගැබේ තැන්පත් කරනා ලදි. එකී දකුණු දළදා නිදන් කල දාගැබ සහිත විහාරය සෝමා දේවියගේ නාමයෙන් සෝමවතී විහාරය ලෙස නම් විය.

04.ගිරි අභය රජු දිනකට තුන්වරක් සෝමනුවර සිට දළදා උපස්ථානයට,වන්දනාවට යෑම.තෙවරක් යාමට තම නුවර අසලම ස්ථූපය පිහිටා තිබිය යුතු වීම.

මෙම නුවර සේරුවාවිල පිහිටා තිබී ඇති බවට මූලාශ්‍ර අනුව තහවුරු වේ.නමුත් පොලොන්නරුව සෝමාවතිය සේරුවාවිල සිට සෘජු දුර ගනු ලැබුවත් 30kmකට අධික වන අතර වර්තමාන සෝමාවතිය-සේරුවාවිල මාර්ගය ද 50km ක් පමණ දුර වේ.

05.සේරුවාවිල මංගල මහා සෑය ඉදිකරන විට සියලු කටයුතු සෝමාවතී පුදබිම කේන්ද්‍ර කොට සිදුවූ බව සදහන් වීම,මංගල මහා සෑය සාදන විට නිරන්තරයෙන් රහතන් වහන්සේල සෝමාවතී විහාරයේ සිට ලලාට ධාතු උපස්ථානයට වැඩම කල බැවින් සේරුවාවිල මංගල මහා සෑය සහ සෝමාවතී විහාරය ඉතා සමීපව පිහිටා තිබිය යුතු වීම.

06.මූලාශ වල ඉතා පැහැදිලිව සේරු නම් විල කෙලවර සෝමාවතී විහාරය ඉදිකල බව සදහන් වීම.

නමුත් වර්තමාන පොලොන්නරුව සෝමාවතිය ස්ථූපය අසල එවන් විලක් නොමැති වීම.

07.එසේ සෑදූ සෝමාවතී විහාරය මහවැලි ගඟෙන් දකුණු පස ඉවුරෙහි පිහිටා තිබිය යුතු බව මූලාශ්‍ර වල සදහන් වුවත් සුංගාවිල සෝමාවතිය මහවැලි ගගෙහි වම් පස ඉවුරේ පිහිටා තිබීම.

08.සේරුවාවිල මංගල මහා සෑයේ ධාතු නිධානෝත්සවය සදහා පැමිණීමට ආරාධනා කිරීම පිණිස සේරු නුවර සහ ලෝන නුවර රජවරුන්ට හසුන්පත් යැවූ බව සදහන් වුවත් සෝමාවතී විහාරය කළ සෝමනුවර ගිරි අභය රජුට එසේ හසුන්පත් යැවූ බවක් සදහන් නොවීම මගින් සෝමනුවර මංගල මහා සෑයට සමීපව පිහිටා ඇති බව තහවුරු වීම හා සේරුවාවිල අසලම පිහිටි සෝමනුවර තුල දකුණු දළදා ස්තූපය පිහිටා තිබිය යුතු වීම.

09.මංගල මහා සෑයේ ධාතු නිධානෝත්සව උත්සවය සදහා සංවිධානය කල පෙරහැරට කාවන්තිස්ස රජු සෝමාවතී විහාරයේ සිට ඇතා පිට නැගී සන්ධ්‍යා භාගයේ(සවස) පිටත්ව ඇදිරි වැටීමට පෙර එනම් රාත්‍රී වීමට පෙර පැමිණි බව සදහන් වීම.එසේ සවස් කාලයේ ආරම්භ වූ පෙරහැර රාත්‍රී වීමට ප්‍රථම පැමිණීමට නම් සෝමාවතිය විහාරය සහ සේරුවාවිල ලාට ධාතු ස්ථූපය ඉතා සමීපව පිහිටා තිබිය යුතු වීම.

නමුත් පොලොන්නරුව සෝමාවතිය සේරුවාවිල සිට සෘජු දුර ද 30km ට වැඩි බැවින් පොලොන්නරුව සැබෑ සෝමාවතිය නම් එසේ සවස ඇරඹී පෙරහැර රාත්‍රී වීමට ප්‍රථම සේරුවාවිලට පැමිණීම කිසි ලෙසවත් සිදු විය නොහැක.

10. එසේ ම පාළි ධාතුවංශයේ, සිංහල ධාතුවංශයේ සහ ජිනකාලමාලියේ මෙසේ ද සඳහන් වේ.

එනම්, කාවන්තිස්ස මහ රජු සේරුවිල් තෙර සමීපයෙහි වරහ සොණ්ඩ ගල්කෙම අසල බුදුන්ගේ ලළාට ධාතුන් වහන්සේ නිදන්කොට සේරුවිල ලළාට ධාතු ස්ථූපය තනවන ලදි. එම විහාරයේ කටයුතු නිමවා පූජා කරනා පින්කමට කාවන්තිස්ස රජු ගමන් කළේ සිය නැගෙනිය වූ සෝමා දේවිය වාසය කළ සෝම නුවර සිට ය.

ඒ අනුව සෝමවතී විහාරය පිහිටා ඇත්තේ සෝම නුවර සමීපයේ ය. සෝම නුවර පිහිටා ඇත්තේ සේරු නම් විලේ කෙළවරක ය. එනමුදු වර්තමානයේ සෝමාවතිය යැයි සැලකෙන විහාරය සේරු නම් විලේ සිට කෙලින් බැලූ විට පවා කි.මී. 35කට අධික දුරකින් පිහිටා තිබේ. සේරුවිල සිට එකී සෝමවතී විහාරයට ඉදි කළ නව මාවතේ දුර කි.මී. 52කි. ඒ අනුව සේරුවිල් කෙළවර පිහිටි සෝම නුවර සමීපයෙහි ඉදි වූ සෝමවතී විහාරය වර්තමානයේ සෝමාවතිය ලෙස සැලකෙන විහාරය නොවන බව එකී දුර ප‍්‍රමාණ සැලකීමෙන්ම තහවුරු වේ.

සන්ධ්‍යාවෙහි සෝම නුවරින් පිටත් වූ හස්තීන් සහ සිව්රඟ සේනා සහිත එම පෙරහැර අඳුර පැතිරීමට පෙර සේරුවිල චෛත්‍ය පිහිටි භූමියට ලඟා වූ බව ඉහත දැක් වූ ඓතිහාසික ග‍්‍රන්ථයන්හි සඳහන් වේ. ඒ අනුව ඇතෙකු පිට නැගී මහ පෙරහරින් සේරුවිල ලළාට ධාතු ස්තූපය වෙත සෝම නුවර සිට පැය කිහිපයක් ඇතුළත ගමන් කල හැකි විය යුතුය. ඒ අනුව සේරුවිල ලළාට ධාතු ස්ථූපය සෝම නුවර සිට කි.මී. හතරක් පහක් හෝ ඊටත් අඩු දුරකින් පිහිටා තිබිය යුතුය. එකී සෝම නුවර සමීපයේ දකුණු දළදා නිදන් වූ සෝමවතී චෛත්‍ය පිහිටියේ ය. වත්මන් සෝමාවතිය යැයි හඳුන්වන විහාරයට සේරුවිල ලළාට ධාතු ස්ථූපයේ සිට පවතින මාවතේ දුර කි.මී. 52ක් වේ.

11. දකුණු දළදා නිදන් කරමින් සෝමවතී චෛත්‍ය ඉදි වූයේ ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ බව ඒ පිළිබඳ දැක්වෙන සියලූ ඓතිහාසික වංශ කථාවන්ගෙන් තහවුරු වෙයි. එනමුදු, වර්තමානයේ සෝමාවතිය ලෙස හඳුන්වන විහාරය ක‍්‍රිස්තු වර්ෂ පළමු සියවසේ නකල නම් කුමරෙකු විසින් කර වූ විහාරයක් බව එකී හමුවූ සෑ මළුවෙන්ම හමු වු සෙල් ලිපියක සහ ඒ ආශ‍්‍රිතව හමු වූ වෙනත් සෙල්ලිපි වලින් ද පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇති නිසා එය කිසිදු අයුරකින් දකුණු දළදා නිදන් කළ පෞරාණික සෝමවතී චෛත්‍ය විය නොහැකිය.

ඉහත කී වංශකතා සාධක හා භූගෝලීය දුර ප‍්‍රමාණ සැලකීමේ දී ද එකී විහාරය කිසිසේත් ම දකුණු දළදා නිදන් කල සෝමවතී විහාරය විය නොහැකිය. මෙම කරුණ තහවුරු කිරීමට තවත් බොහෝ සාධක ඉහත සඳහන් කළ ඓතිහාසික ග‍්‍රන්ථයන්හි සඳහන් වේ. එනමුදු වර්තමානයේ සෝමාවතිය ලෙස හැදින්වෙන ස්තූපයේ එය තැනූ නකල කුමරු විසින් සර්වඥ ධාතූන් වහන්සේලා හෝ අරහන්ත ධාතූන් වහන්සේලා තැන්පත් කරන්නට ඇත. එම ස්තූපය ධාතුන් වහන්සේලා වැඩවසන ස්තූපයක් වන අතර ඉහත කරුණු දැක්වීමෙන් පෙන්වා දෙන ලද්දේ එය දකුණු දළදා නිදන් වුණ ස්තූපය නොවන බවයි.

එසේ නම් දකුණු දළදා වහන්සේ නිදන් වූ දාගැබ සහිත සැබෑ සෝමවතී විහාරය කොතැනක පිහිටා තිබේ ද?

සංස්කරණය

ඒ පිළිබඳව පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍යම මූලාශ්‍රවල අඩංගු කරුණු සලකා බලා මෙසේ පුරාවිදයාඥයන් කරුණු ඉදිරිපත් කර ඇත.

දකුණු දළදා ස්තූපය පිළිබද සියලූ වංශකතා සාධක සැලකූ කල එය පිහිටා තිබිය යුත්තේ සේරුවිල ලළාට ධාතු ස්තූපයේ සිට කි. මී. 05ක පමණ වන වපසරියක් තුළ සේරු නම් විලේ වෙනත් කෙළවරකට වන්නටය. ඒ අනුව එකී වංශකතා සහ භූ විද්‍යාත්මක සාධක සියල්ල සපුරමින් නටබුන් වී ගිය එක් විශාල ස්තූපයක් ඇත්තේ ය. මේ ස්තූපය හැර එකී භූමි වපසරිය තුළ වෙනත් පෞරාණික විශාල ස්තූපයක් නැත්තේ ය. ඒ සේරුවිල ලළාට ධාතු ස්තූපයේ සිට කි.මී. 04ක පමණ දුරකින් සේරු නම් විලේහිම උතුරු කෙළවරට වන්නට, තෝප්පූර් නම් මුස්ලිම් ගම්මානයට මායිම්ව පිහිටි වර්තමානයේ විල්ගම්වෙහෙර නමින් හැඳින්වෙන නටඹුන් වී ගොස් තිබූ පෞරාණික ස්තූපය යි. එකී විල්ගම්වෙහෙර, ඓතිහාසික සෝමවතී චෛත්‍ය ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ.

පාළි ධාතුවංශයේ, සිංහල ධාතුවංශයේ සහ ජිනකාලමාලි ග‍්‍රන්ථයන්හි දකුණු දළදා නිදන් කළ සෝමවතී ස්තූපය පිළිබඳව ඇතුළත් වංශකතා ගත කරුණු සියල්ල හා භූගෝලීය සාධක සියල්ල සමඟින් මෙම ස්තූපය සැසඳි යයි.දකුණු දළදා චෛත්‍යය ඉදි වූයේ කාවන්තිස්ස රජ සමයේ වන ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී ය. විල්ගම්වෙහෙර චෛත්‍යයේ පුරාවිද්‍යා කැධෑම් වලදී ක‍්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් වන පූර්ව බ‍්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් මුල් සෑ ගැබෙන් හමු වූ අතර එම යුගයට අයත් චෛත්‍යයන්හි පවතින ශෛලමය ඡුත‍්‍රය සහ යූප ස්තම්භය ද සොයා ගැනුණි. එම යුගයට අයත් ලක්ෂණ දරනා සිරිපතුල් ගල් සහ ශෛලමය පද්මයන් ද සෑ මළුවේ තිබී සොයා ගන්නා ලදී. මෙම චෛත්‍යය යුග කීපයක දී ප‍්‍රතිසංස්කරණය කරන ලද විශාල සෑයක් වන අතර එහි මුල් ඉදිකිරීම ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවසේ බව තහවුරු වී ඇත.

මෙම විල්ගම්වෙහෙර පිහිටා ඇත්තේ තෝප්පූර් නම් මුස්ලිම් නගරයට ආසන්නයේ ය. එම ප‍්‍රදේශයේ ක‍්‍රිස්තු වර්ෂ 16, 17 ශතක වල සිට වෙසෙනා මුස්ලිම් ජනයාගේ වහර අනුව සෝමපුර > සෝම්පුර් > තෝම්පූර් > තෝප්පූර් ලෙස පරිණාමය වී ඇති බව වාග් විද්‍යාඥයන්ගේ මතයයි.තව මතයක් නම් ථූපපුර > තෝප්පූර් වූ බවයි.නමුත් ඉහත කී සෝමපුර>තෝම්පූර්>තෝප්පූර් වූ බවට මතය වඩා තහවුරු වේ.

මේ පෞරාණික ස්ථූපය මේ වන විට විශ්ව පාරමී පදනමේ මූලිකත්වයෙන් හා ලොව පුරා වෙසෙන බොදු ජනතාවගේ දායකත්වයෙන් මහමෙව්නාව භාවනා අසපු සංචිතය මගින් ප්‍රතිසංස්කරණය කොට කොත් පළඳවා යළි පූජාවන්ට විවර කොට තිබේ.

මෙම විල්ගම්වෙහෙර චෛත්‍යය දකුණු දළදා නිදන් කළ සෝමවතී විහාරය බවට හඳුනා ගනිමින් ජේෂ්ඨ මහාචාර්ය එම්. ඩබ්ලිව්. විමල් විජේරත්න මහතා රචනා කළ ”සේරුවාවිල තිස්ස මහා විහාරවංශය” නම් ශාස්ත‍්‍රීය පර්යේෂණ (Ph.D.) ග‍්‍රන්ථය 2012 වර්ෂයේ දී හොඳම සිංහල ස්වතන්ත‍්‍ර විවිධ විෂය ශාස්ත‍්‍රීය පර්යේෂණ ග‍්‍රන්ථයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. මේ පිළිබඳව වැඩිදුර කරුණු උක්ත මහාචාර්යතුමන් විසින් රචිත ”ශ‍්‍රී දකුණු දළදා නිදන් කළ ඓතිහාසික සෝමනුවර සහ සෝමවතී විහාරය හඳුනාගැනීම” නම් වූ ග‍්‍රන්ථය පරිශීලනයෙන් තහවුරු කරගත හැකිය.

එසේම ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල 2020 වර්ෂයේදී විල්ගම්වෙහෙර මහ සෑ භූමියේදී සිදුකල මාධ්‍ය සාකච්ඡාවකදී පවසන ලද්දේ විල්ගම්වෙහෙර මහා සෑය පුරාණ සෝමාවතී ස්ථූපය විය හැකි බවට කරුණු සනාථ වී ඇති බවයි....

එසේම සේරුවිල විල්ගම්වෙහෙර විහාරය දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ නමක් වැඩ සිටි විහාරයක් බවට ද සමහරු සලකනු ලබයි.ඒ බෝධිවංශය තුල "සේරුවිල නයින්ගේ විල්ගම්වෙහෙර "ලෙස සදහන්ව තිබීම මගිනි.

පොලොන්නරුව සෝමාවතිය සැබෑ සෝමාවතිය නොවන බවට මත පලවන්නේ 1954 වර්ෂයේ සිටයි.විටින් විට පැවති යුධමය වාතාවරණය වැනි කටයුතු නිසා පොලොන්නරුව සෝමාවතිය ස්ථූපය හෝ විල්ගම්වෙහෙර ස්ථූපය පිලිබදව නිසි පර්යේෂණයක් සිදු කරගත නොහැකි වුවත් 2016 වර්ෂයේ සිට නැවතත් විල්ගම්වෙහෙර පරිශයේ කැණීම් සිදු කර ස්ථූපය පාදා ගනු ලැබීය.විල්ගම්වෙහෙර ස්ථූපය නැවත වන්දනාමාන කිරීම සදහා මේ වන විට විවර කර ඇති නමුත් එම භූමියේ කැණීම් නොකළ කැණීම් සිදුකිරීමට නියමිත අක්කර 50 ක භූමි භාගයක් ඇති අතර ඒවා ද කැණීම් කී පසු ඉහත තොරතුරු වඩාත් හොදින් තහවුරු වනු ඇතැයි සිතමු.

ඒ අනුව සේරුවිල විල්ගම්වෙහෙර මහා සෑය හෙවත් විල්ගම්වෙහෙර සෝමාවතී මහා සෑයේ හි දකුණු දළදා වහන්සේ නිධාපිතයැයි සැලකිය හැකි අතර ඊට අමතරව වර්තමාන ප්‍රතිසංස්කරණයේ දී ශ්‍රීමත් සුගත තථාගත සර්වඥ ධාතූන් වහන්සේලා හා ශ්‍රී අංගුලිමාල අරහන්තක ධාතූන් වහන්සේලා ද නිධන් කර වඩා හිඳුවා ඇත.

එසේම පුදුමයට කරුණ නම් විල්ගම්වෙහෙර සෑය සොයා ගන්නා විට එය පැවතුනේ මුස්ලිම් ගම්මානයක වීම ය.ඒ වන විටත් බොහෝ පුරාවස්තු විනාශ වී තිබූ අතර ස්ථූපය පස් කන්දක් ලෙස තිබුණි.එසේ පස් කන්දක් ලෙස පැවතී ස්ථූපය සමහර අන්තවාදීන් පස්ඉ කන්දක් යැයි සිතා ඉවතා කිරීමට සූදානම්න වූ විට විශාල නාගයන් පැමිණ ඔවුන් බිය වැද්දූ බව තවමත් ඒ ප්‍රදේශවල ජනතාව අතර ප්‍රසිද්ධ කරුණකි.

විල්ගම්වෙහෙර පරිශ්‍රයේ නිසි පර්යේෂණයක් සිදු කොට වඩාත් හොදින් කරුණු තහවුරු කරන තුරු දකුණු දලදා වහන්සේ නිධාපිත ස්ථූපය ලෙස පොලොන්නරුව සෝමාවතිය ස්ථූපයටත් සේරුවාවිල විල්ගම්වෙහෙර ස්ථූපයටත් අප දකුණු දලදා වහන්සේ සිහිකර එකසේ වන්දනාමාන සිදු කල යුතුය.නමුත් අප සියලු දෙනා මතක තබා ගත යුතු කරුණ නම් මේ වන විට පොලොන්නරුව සෝමාවතිය සැබෑ සෝමාවතිය විය නොහැකි බවට කරුණු සනාථ කර තිබීමයි.

සේරැවිල විල්ගම් වෙහෙර සහ ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර වරදවා වටහාගැනීම

සංස්කරණය

බොහෝ කලක් මුළුල්ලේ විල්ගම් වෙහෙර යනුවෙන් හඳුන්වාගෙන පැමිණි වෙල්ගම් වෙහෙර නමින් ප්‍රකට පූජ්‍යස්ථානය ත්‍රිකුණාමල දිසාවේ පෙරියකුලම් අසල පිහිටා ඇත. ඇතැම්හු මෙය දෙවනපෑතිස් මහ නිරිඳුන් කරවන ලද විහාරයක් වශයෙන් සලකති. අභිලේඛනයන්හි මෙම ස්ථානයේ නාමය සඳහන් ව ඇත්තේ වෙලගම අබගර විහර (වෙල්ගම අභයගිරි විහාරය), වෙල්කම් වෙරමාන රාජරාජ පෙරුම්පල්ලි (වෙල්ගම් වෙහෙර නමැති ‘රාජරාජ’ විශාල විහාරය) යන නාමයන්ගෙනි. මෙය තානතාර් කෝවිල් යනුවෙන් ද හැඳින්වෙන බවට මතයකි. පෙරියකුලම් වැවෙන් අස්වැද්දෙන විශාල වෙල් යාය මැද උස්බිමෙක පිහිටි හෙයින් මෙය වෙල්ගම් වෙහෙර වී යැයි කියනු ලැබේ. මෙම ස්ථානයේ පාලි නාමය වෙලගාම විහාර නම් වේ.

මෙම වෙල්ගම් වෙහෙර, විල්ගම්වෙහෙර යනුවෙන් හැඳින්වීම සාවද්‍ය බව එල්ලාවල මේධානන්ද හිමියෝ සඳහන් කරති.

“පැරණි පොත්පත්වල විල්ගම්විහාරය නමින් පූජනීය ස්ථානයක් ද සඳහන් වී තිබේ. එය සරෝගාම විහාර වශයෙන් පෙළ බසින් වැටෙයි. සමහරු එය වෙල්ගම වශයෙන් පටලවාගෙන ඇත. තෙල වෙල්ගම් වෙහෙර මෑතක දී හඳුන්වා විස්තර කර ඇත්තේ විල්ගම් වෙහෙර වශයෙනි. එය සාවද්‍ය බව පැහැදිලි ය.”

මෙම සාවද්‍ය ව්‍යවහාරය පිළිබඳ ව වෙල්ගම් වෙහෙරේ කැණීම් කටයුතුවල නියුක්ත ව සිටි මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ද අදහස් දක්වා තිබේ.

“මෙම විහාරස්ථානය ඔවුන් වන්දනාකරුවන්ට හඳුන්වා දෙන්නේ ත්‍රිකුණාමලයට දකුණින් පිහිටි සේරුවාවිලට යොදන නමක් වන විල්ගම්වෙහෙර ය නමින් බවත් මෙහි දී කිව යුතු ය.” (පුරාවිදු පරියේෂණ- 196)

කෙසේ වුවත් මේ විද්වත් මතයනට අනුව, පුරාණ විල්ගම්වෙහෙර සේරුවිල ප්‍රදේශයට ම අයත් ව පිහිටා තිබූ බව පැහැදිලි වේ.

විල්ගම්වෙහෙර පුණ්‍ය භුමියේ අඳුරු යුගය

සංස්කරණය

කාලිංගමාඝ ආක්‍රමණය සමඟ (ක්‍රි. ව. 1215) බෞද්ධ වෙහෙර විහාරවලට සිදු වූ දෙය පූජාවලියෙහි මෙසේ සඳහන් වේ.

“පසුව ලංකාවාසීන්ගේ කිසියම් දරුණු වූ අකුසල කර්මයක් හේතුකොටගෙන, ලක්දිව මහේශාඛ්‍ය ආරක්ෂක දෙවියන්ගේ කිසියම් උපේක්ෂාවක් විද්‍යාමාන වූ කල්හි, අබෞද්ධයන්ගේ උත්සන්න භාවයක් පහළ වූ කල්හි, මාඝරාජ නම් කලිඟු රජ සූවිසි දහසක් මළල සෙනඟ ගෙන ලක්දිව් බැස…. ලෝකසාසනය නසා, රුවන්මැලි මහා සෑය බිඳුවා, සෙසු දහස් ගණන් දාගැබ් බිඳුවා, නොඑක් ශ්‍රද්ධාවන්ත රජුන්ගේ චෛත්‍ය නමැති කීර්ති ශරීරවල, කොත් නමැති වොටුනු හා රුවන් නමැති හෘදමංස ගෙන, ධාතු නමැති ජීවිත අන්තර්ධාන කරවා, සංඝාරාම – ආයතැන් – මහපා දෙමළුන්ට ගෙවල් කරවා…. සිරිලක මිථ්‍යාදෘෂ්ටි ගන්වා…. ලංකාද්වීපය ගිනි ගත් ගෙයක් සේ කරවා, ගම ගම දෙමළුන් ලවා, බලාත්කාරයෙන් එකුන්විසි හවුරුද්දක් රාජ්‍ය්‍ය කළේ ය.” (785)

එකල්හි එහි විසිය නො හැකි වූ ආයතනවාසී භික්ෂුන් හා ජනතාව දකුණු දිගට සංක්‍රමණය වූ බැවින් සියල්ල මහ වනය විසින් ගිලගන්නා ලදී. මෙසේ ඇරඹුණු විනාශය වසර 800ක් මුළුල්ලේ නොයෙක් මුහුණුවරින් සිදු විය. අන්‍යාගමික අන්තවාදීන් විසින් ද තිස් වසරක ත්‍රස්තවාදය විසින් ද පුරාවස්තු පිළිබඳ අවබෝධයක් නොමැති ජනතාව විසින් ද නිදන් හොරුන් විසින් ද කෝටියක් ආරාම පිහිටි රුහුණු සිංහල බෞද්ධ රාජධානියේ උරුමය සහමුලින් ම අතුරුදන් කර දමන ලදී. කිලිවෙඞ්ඩියේ ශ්‍රී වර්ධන බෝධිරාජයා කපා බිම හෙළන ලදී. මහා චෛත්‍යයන්ගේ නටඹුන් මත නිවෙස්, කෝවිල් ද කොටි සම්ප්‍රේෂණ කුළුණු ද තනන ලදී. පැරණි විහාර භූමි පෞද්ගලික ඉඩම් බවට පත් කරගෙන පුරාවස්තු සදහට ම සඟවා දමන ලදී. පැරණි විහාරස්ථානවල ශෛලමය නෂ්ටාවශේෂ සීඝ්‍රයෙන් අතුරුදන් කරවන ලදී.

ඉතා ම සංවේගදායක කාරණය නම් මව්සින් 1966 දී ගවේෂණය කරන ලද පුරාවස්තු 1976 දී ඒ තැන්වල නොමැතිවීම යි. 1976 දී ගවේෂණය කරන ලද පුරාවස්තු 1986 දී ඒ තැන්වල නොමැතිවීම යි. අද වන විට කෙසේ විය හැකි ද? පුරාවස්තු විනාශයේ තත්ත්වය එය යි.” (පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි) විල්ගම් වෙහෙරේ නටඹුන්වලට ද ඒ ඉරණම අත් වී ඇති බව නො අනුමාන ය. කෙසේ වෙතත් යම් ප්‍රමාණයකින් හෝ සේරුවිල ප්‍රදේශය උක්ත කරුණුවලින් ආරක්ෂා වූයේ, 1923 දී මහා යුග පුරුෂ දඹගස්ආරේ මංගල ධර්ම කීර්ති ශ්‍රී සුමේධංකරාභිධාන මහානායක මා හිමියන් වහන්සේගේ වැඩමවීම නිසා ය.

විශේෂයෙන්ම උන්වහන්සේගේ ශිෂ්‍යරත්නයනක් වන අපවත් වී වදාල  අමරපුර ශ්‍රී කලයාණවංශ නිකායේ අනුනායක,නැගෙනහිර තමණ්කඩුව දෙදිසාවේ සංඝනායක,සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති සේරුවාවිල සරණකිත්ති ස්වාමීන් වහන්සේවත් මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනා පෙර දැරිව සිහිපත් කර සිටිමු.

තවද,දඹගස්ආරේ සුමේධංකර මහානායක හිමියන්ගේ ශිෂ්‍යරත්නයක් වන අමරපුර ශ්‍රී කලයාණවංශ නිකායේ ශ්‍රීමත් අනුනායක ධුරන්ධර,මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්,වත්මන් සේරුවාවිල මංගල රාජ මහා විහාරාධිපති ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ අනුශාසක ධුරන්ධර පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි ඇතුලු මහමෙව්නාව අසපුවාසී මහ සඝරැවනටත්,විශ්ව පාරමී පදනම ඇතුලු ලොව පුරා වෙසෙන බෞද්ධ සැදැහැවතුන්ටත් මේ පින්බිම නැවත ගොඩනැගීම පිළිබඳව පුණ්‍යානුමෝදනා කර සිටින්නෙමු.උන්වහන්සේලා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා!මේ ගොයුම් බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට වාසනාව ලබත්වා!!!

අවසාන වශයෙන් පුරාණ විල්ගම් වෙහෙර, අනුරාධපුර යුගයෙහි දී මෙන් බබළවන්නට උන්වහන්සේගේ ආලෝකය ලැබූ සේරුවාවිල සඟ පරපුරටත් මහමෙව්නාව භාවනා අසපුවාසී සගරැවනටත් සියලු පුණ්‍ය වාසනාව උදා වේවා යැයි භක්ත්‍යාදරයෙන් යුතුව ප්‍රාර්ථනා කරම්හ!!!

ඔබ සැමට ශ්‍රීමත් දකුණු දලදා සමිඳු පිහිටයි!!!

විශේෂ කරුණු දැක්වීම

සංස්කරණය

පොලොන්නරුව වර්තමාන සෝමාවතී ස්තූපය ධාතුන් වහන්සේලා වැඩවසන ආශ්චර්යමත් සිදුවීම් වන අසිරිමත් ස්තූපයක් වන අතර ඉහත කරුණු දැක්වීමෙන් පෙන්වා දෙන ලද්දේ එය දකුණු දළදා නිදන් වුණ ස්තූපය නොවිය හැකි බවට සනාථ කල හැකි කරුණු පවතින බවයි.එසේම ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර පුදබිමේ බෝධීන් වහන්සේ බොහෝ අසිරිමත් බෝධීන් වහන්සේ නමකි.වර්තමාන බෝධීන් වහන්සේ ත්‍රස්තවාදීන්එ විනාශ කිරීමට බෝම්බ යෙදුවද විනාශ නොවූ ඉතා අසිරිමත් බෝධීන් වහන්සේ නමකි.බොහෝ දෙනා එම බෝධීන් වහන්සේ ඊට පෙර බොහෝ දෙනා බෝධිවංශයේ සදහන්ති සේරුවිල නයින්ගේ විල්ගම්වෙහෙර දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ ලෙස සලකන බෝධීන් වහන්සේ නමගෙන් පැන නැගුණු බෝධීන් වහන්සේ නමක් ලෙස සැලකූවත් එසේ දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ නමක් ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙරේ රෝපණය නොකල බවට පිළිගත හැකි කරුණු පවතින බවයි.නමුත් එය වන්දනාමාන කිරීමට කිසිදු බාධාවක් නොවන අතර චේතනාවම කර්මය වන බැවින් දකුණු දලදා වහන්සේ සිහිකර පොලොන්නරුව සෝමාවතිය ස්ථූපයට හෝ විල්ගම්වෙහෙර ස්ථූපයට වන්දනා කිරීමෙන් රැස් වන කුසලයේද දෙතිස්ඵලරැහ බෝධීන් වහන්සේ යැයි සිතා ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර බෝධීන් වහන්සේට වන්දනාමාන කිරීමෙන් රැස් වන කුසලයේ ද අඩුවක් නොවන බව අප සිතමි.

ඉහත කරුණු දැක්වීම සිදුකරන ලද්දේ සේරුවිල විල්ගම්වෙහෙර මහා සෑය දකුණු දළදා වහන්සේ නිධාපිත සැබෑ සෝමාවතී ස්ථූපය වන බැවින් එවන් වැදගත් ස්ථූපයක් ජනශුන්‍යව වන්දනාකරුවන්ගේ වැඩි වන්දනාමාන සදහා යොමු නොවී හුදකලාව පැවතීම එතරම් සුදුසු නොවන බැව පසක් කර දීමට මසක් පොලොන්නරුව සුංගාවිල සෝමාවතිය රජ මහා විහාරයට හෝ ත්‍රිකුණාමලය වෙල්ගම් වෙහෙර විහාරයට අගෞරව කිරීමේ අදහසකින් නොවේ.

ශ්‍රීමත් දකුණු දළදා වහන්සේත්,සර්වඥ ධාතූන් වහන්සේලාත්,ශ්‍රී අංගුලිමාල අරහන්තක ධාතූන් වහන්සේලාත් සුවඳවත් ගර්භයේ නිධාපිත සේරුවාවිල විල්ගම්වෙහෙර මහා සෑ රජුන්ට නමස්කාර වේවා!!!

මූලාශ්‍ර

සංස්කරණය

●පාලි ධාතුවංශය,සිංහල ධාතුවංශය,ජිනකාලමාලී ආදී ඓතිහාසික ග්‍රන්ථ

●පුවත්පත්,සඟරා ලිපි

●අන්තර්ජාල කරුණු

●සේරුවාවිල තිස්ස මහා විහාරවංශය නම් ශාස්ත‍්‍රීය පර්යේෂණ ග‍්‍රන්ථය-ජේෂ්ඨ මහාචාර්ය එම්.ඩබ්.විමල් විජේරත්න

●ශ්‍රී දකුණු දලදා නිදන් කළ ඓතිහාසික සෝමනුවර සහ සෝමාවතී ස්ථූපය හදුනාගැනීම නම් පර්යේෂණ ග‍්‍රන්ථය-මහාචාර්ය විමල් විජේරත්න

●වර්ෂ 2020 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් සේරුවිල විල්ගම්වෙහෙර මහ සෑ භූමියේ දී සිදුකළ මාධ්‍ය සාකච්ඡාව

අද දෙරණ පුවත් විකාශය-https://sinhala.adaderana.lk/news.php?nid=140502

හිරු TV පුවත් විකාශය- https://www.hirunews.lk/245888

සිරස News 1st පුවත් විකාශය-https://sinhala.newsfirst.lk/sinhala/2020/07/18

ලංකාදීප පුවත්පත-https://www.lankadeepa.lk/sunday/rasawitha/57-577511

Mahamegha Magazine:https://mahamegha.lk/2016/12/03/seruwila-nayinge-wilgamwehera/

වෙනත් ලිපි

සංස්කරණය
  1. ^ "Seruwila". Department of Archaeology. සම්ප්‍රවේශය 29 March 2016.