සුජාතා අත්තනායක

ගායන හා වාද්‍ය විශාරද කලාශූරී ආචාර්‍ය සුජාතා අත්තනායක යනු ශ්‍රී ලාංකික ගායිකාවක් සහ චිත්‍රපට පසුබිම් ගායිකාවක් වේ. සිංහල චිත්‍රපට 352කට පමණ පසුබිම් ගී ගැයූ ඇය ඉන්දියානු - ශ්‍රී ලාංකීය දමිල චිත්‍රපට 20කට පසුබිම් ගී ගයා ඇත. ගැයූ මුළු ගීත එකතුව 5000 ඉක්මවන අතර විවිධ භාශා 9කින් ගීත 1000කට වඩා ගයා ඇත. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරිය වන අතර 2020 වර්ශයේදී ඇයගේ සංගීත දිවියට දශක 7 ක් සපිරුණි. කැසට් පට 82කට අධික ප්‍රමාණයක ගී ගැයූ ශ්‍රී ලංකාවේ වැඩිම කැසට් පට සංඛ්‍යාවක් නිකුත් කළ ගායිකාව ඇයයි. තම රණවිරු පුතුගේ වියෝව නිසා 1992 වර්ශයේ දී එතුමිය සංගීත ක්ශේත්‍රයෙන් සමුගන්නා ලදී.

Dr. Sujatha Attanayake
ආචාර්ය සුජාතා අත්තනායක
Nadeshwarisujathaattanayake.jpg
උපතමැයි 12, 1942(1942-05-12)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රි ලාංකික
වෙනත් නම්හෙළ ගී අඹරේ රන් ස්වරය
අධ්‍යාපනයවෙදමුල්ල මහා විද්‍යාලය,රජයේ සෞන්දර්ය විද්‍යා පීඨය,රජයේ සංගීත විද්‍යාලය,ඉන්දියානු ලක්නව් සංගීත විද්‍යාලය.
රැකියාවගායනය, කථිකාචාර්ය,අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක
කලත්‍රයා(යන්)නවරත්න අත්තනායක
දරුවන්
  • හේලි අත්තනායක
  • චානක අත්තනායක
  • සමින් අත්තනායක
සම්මානආචාර්ය ගෞරව උපාධිය - සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය [උපුටාදැක්වීම අවශ්‍යයි]
වෙබ් අඩවියhttp://sujatha-attanayake.wikia.com/wiki/Main_Page
ආගමබෞද්ධ

සංගීත දිවියේ සුවිශේෂිතාසංස්කරණය

  • ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සහ දමිල අංශයේ විශිෂ්ට ශ්‍රේණියට තේරි පත් වූ එකම ගායිකාව ඇයයි.
  • 1966 වර්ශයේදී ඇය රජයේ සංගීත විද්‍යාලයෙන් ( වර්තමානයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය) සය අවුරුදු ලලිත කලාවේදී උපාධිය නිම කරන ලදී.
  • 1967 වර්ශයේ ඉන්දියානු ලක්නව් සංගීත විද්‍යාලයෙන් ගායනය සහ සිතාර් වාදනය සඳහා විශාරද උපාධිය ලබාගත් අතර සර්පිනාව, තබ්ලාව, වයලීනය සහ ගීටාරය වැනි සංගීත භාණ්ඩ වැයීමට ද ඇය දකෂය.
  • ගැයූ මුලු ගීත සංඛ්‍යාව 5000 ඉක්ම වන අතර දමිල ගීත 1000කට අධික ප්‍රමාණයක් ගයා ඇත.
  • ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩිම ගීත සංඛ්‍යාවක් පටිගත කර ඇති ගායිකාව ලෙස ඇය වාර්තා ගත වේ.
  • සිංහල චිත්‍රපට 352කට අධික ප්‍රමාණයක සහ ශ්‍රී ලාංකීය/ඉන්දියානු දමිල චිත්‍රපට 20ක් සඳහා ඇය පසුබිම් ගීත ගයා ඇත.
  • දකුණු ඉන්දියානු ජනප්‍රිය නිළි රාධිකා සරත්කුමාර් සඳහා පසුබිම් ගී ගැයූ ඇය ඉන්දියාවේ තිරගත වූ චිත්‍රපටයක ගී ගැයූ එකම සිංහල ගායිකාවයි.
  • පරසතු මල් චිත්‍රපටයට ගැයූ පරවුණු මල් වල" ගීතයට ඇයට හිමි වූ පළවෙනි සරසවි සම්මානය ප්‍රතික්ෂේප කළේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා කිසිඳු ඇගයීමකට ලක් නොකරමින් සිදුකළ අසාධාරණයට විරුද්ධවයි. ලංකාවේ තමාට හිමි වූ සම්මානයක් ප්‍රතික්ෂේප කළ එකම ගායිකාව ඇයයි.
  • ලංකාවේ වැඩිම භාශා ගණනකින් ගී ගැයු ගායිකාව ඇයයි. භාශා 9කින් ගී ගයා ඇත.(සිංහල,හින්දි, දමිල, උර්දු, නේපාලි,,බෙංගාලි, මරාති,ඉංග්‍රීසි, සංස්කෘත)
  • ශ්‍රී ලංකාවේ පළමු සංගීත අධ්‍යක්ෂකවරිය ඇයයි. 1975 තිරගත වූ "හරියට හරි"චිත්‍රපටය සහ 1984 තිරගත වූ "සඳ කිඳුරු" චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත.
  • කිසිඳු ශ්‍රී ලාංකික ගායකයෙක් හෝ ගායිකාවක් ඉන්දියාවේ ප්‍රසංග පවත්වා නොමැති අතර ඉන්දියාවේ ප්‍රසංග පැවැත්වූ එකම ගායිකාව ඇයයි.අදටත් ඇගේ ඉන්දියානු ගීත ඉන්දියාවේ ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කෙරේ.
  • ලංකාවේ සෑම නිළියකටම ඇය පසුබිම් ගී ගයා ඇති අතර ලක්ශෙට කොඩිය චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම සඳහාද පසුබිම් ගීතයක් ගැයුවාය. නලුවෙකු සඳහා පසුබිම් ගීත ගැයූ එකම ගායිකාව ඇයයි.
  • 1979 වසරේදී ඉන්දියානු සංගීත මහාචාර්‍ය දීපාල් නාග් මහත්මිය පැවැත්වූ සංගීත පරීක්ෂණයෙන් ලංකාවේ අනෙකුත් සියලුම ගායක ගායිකාවත් අභිභවා ලකුණු 96ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය ලබාගන්නා ලදී.ප්‍රථම ස්ථානය - සුජාතා අත්තනායක/ දෙවන ස්ථානය - ලතා වල්පොල/ තුන්වන ස්ථානය - නන්දා මාලිනි /හතරවන ස්ථානය - ඩබ්.ඩී.අමරදේව /පස්වන ස්ථානය - වික්ටර් රත්නායක
  • ඇය තැබූ වාර්තා අතරින් එක් දිනයක් තුළ චිත්‍රපට හතරක පසුබිම් ගීත පටිගත කිරීම සුවිශේෂයි.
  • ශ්‍රී ලංකා පොලිස් තේමා ගීතයේ සහ විශේශ කාර්‍ය සාධන බලකායේ(STF) තේමා ගීතයේ සංගීත අධ්‍යක්ෂකවරිය ඇයයි.
  • ඇගේ දෙවන පුතු කපිතාන් චානක අත්තනායක රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවෙකි. ඒ හේතුවෙන් ඇය 1992 වර්ශයේදි ගායන ක්ශේත්‍රයෙන් ඉවත් වුණු අතර යුද්ධයෙ අවසානයත් සමග දැඩි රසික ඉල්ලීම නිසා 2012 වර්ෂයේදී ජීවන විල මැද නමින් අතිසාර්ථක ප්‍රසංග මාලාවක් ඉදිරිපත් කරන ලදි.
  • ඇය කතක් නර්ථන ශිල්පිනියකි.
  • ලංකාවේ වැඩිම කැසට්පට ප්‍රමාණයක ගී ගැයූ ගායිකාව ඇයයි. ඇයගෙ මුළු කැසට් පට ප්‍රමාණය 82 ඉක්මවයි.
  • එතුමිය ශ්‍රී ලංකාවේ ගුරු අභ්‍යාස විද්‍යාලයන්හී කථිකාචාර්යධූරය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂක (සංගීතය) තනතුරු හොබවන ලදී.
  • 2019.12.17 දින පැවැති සෞන්දර්‍යය කලා විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී විශාරද සුජාතා අත්තනායක මහත්මිය සම්මාන ආචාර්‍ය ගෞරව උපාධියෙන් පිදුම් ලබන ලදී.

මුල් කාලයසංස්කරණය

1942 වර්ෂයේදී සොයුරු සොයුරියෝ පස්‌ දෙනෙකුගෙන් සමන්විත වූ පවුලක තුන්වැන්නී ලෙස සුජාතා උපත ලැබුවාය. ඇගේ පියා පොලිස්‌ සැරයන් එම්.එම්.ඩී. පෙරේරා වූ අතර මව ටවර් හෝල් නිළියක හා ගායිකාවක වූ විමලාකාන්තා වූවාය. 1947දී සිය මූලික අධ්‍යාපන කටයුතු කැලණිය වෙදමුල්ල මහ විදුහලෙන් හැදෑරීය.[1]

1950 වසරේ ඔක්‌තෝම්බර් 05 දින ඇය ප්‍රථම වතාවට, ගුවන් විදුලිය කොළඹ සේවයේ විචිත්‍රාංගය වැඩසටහනට මල් සේ දිලේවා ගීතය ගායනා කළාය. එම ගීතය ගුවන් විදුලිය ඔස්සේ සජීවීව ප්‍රචාරය වූ බව සඳහන් වෙයි. පසුව 1954 වර්ෂයේදී ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ ආධුනික පැය වැඩ සටහනට ගී ගයා ප්‍රථම ස්‌ථානය ලබා ගැනීමට සමත් වූවාය. අනතුරුව ජයග්‍රාහක පෙළපාලිය වැඩසටහනේ තැටිගත කිරීමක්‌ සඳහා චන්ද්‍රසේන වීරසේකර (ගිල්බට්‌ මාස්‌ටර්) විසින් පද රචනය කරනු ලැබූ සාධු දන්ත දා ගීතය ගායනා කලාය. සිය ළමා වියේදීම ගායනා කල එම සාධු දන්ත දා ගීතයෙන් අතිශය ජනප්‍රිය වූ සුජාතා, එහිදී දක්ෂතම ගායිකාවක ලෙස ගුවන් විදුලියෙහි කිරුල දිනීය.[1]

අධ්‍යාපනයසංස්කරණය

වෙදමුල්ල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයද, රාජ්‍ය සංගීත විද්‍යාලයෙන් ඇය සය අවුරුදු ලලිත කලාවේදී උපාධිය ද නිම කරන ලදී. ඉන්දියාවේ ලක්නව් සංගීත විද්‍යාලයෙන් ගායනය සහ සිතාර් වාදනය සඳහා විශාරද උපාධිය හිමි කරගෙන ඇත.[1]

සංගීත ක්‍රියාන්විතයසංස්කරණය

ළමා වියේ සිටම ගීත ගායනයට පිවිසි සුජාතා ජනප්‍රිය ගායිකාවක ලෙස වයස අවුරුදු 18 වෙද්දී සංගීතය හැදෑරීමට රාජ්‍ය සංගීත විද්‍යාලයට ඇතුළු වූවාය. පසුව ඇය ඉන්දියාවේ ලක්නව් හි සංගීත විද්‍යාලයට ඇතුළු වී ශාස්ත්‍රීය සංගීතය හදාරා සංගීත විශාරද සහතිකය දිනා ගත්තාය. එවකට ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංගීත වැඩසටහන් ඉදිරිපත් කළ එකම ගායිකාව වූයේ සුජාතා අත්තනායකය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සංගීත අධ්‍යක්ෂකවරිය[1] වූයේද ඇයයි.චිත්‍රරපට සංගීත අධ්‍යක්ෂකවරියක් ලෙස හරියට හරි(1975) සහ සඳ කිඳුරු (1984) යන චිත්‍රපට වල සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත.

ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසද, ගුවන් විදුලි නාටක ගීතයන්ද ගැයුවාය. ඇය විසින් හින්දි, දමිළ, වංග, උර්දු මරාඨි නේපාලි වැනි භාෂා ගී ගැයීමේ දක්‍ෂතාවයක් ඇත. ඇය ගායනා කළ ගීත අතර බුදු ගුණ ගී, මව්ගුණ ගී, දේශාභිමානී ගී, විරහ ගී, ප්‍රේම ගී සහ ශාස්‌ත්‍රිය ගී වැනි ගී ඇත.

1980දී නේපාලයේ බිරේන්ද්‍ර රජු හා එමිලා දේවීය ලංකාවට පැමිණි දින ජනාධිපති මන්ධිරයේ පැවැත් වූ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයේදී 'ශුභ කාමිනා' නම් නේපාල ගීතය ගායනා කිරීමට අවස්ථාව ලැබී ඇත.[1] ආසියා හින්දි සේවයෙහි නේපාලි ගීතයක් ගායනා කරන ලද ප‍්‍රථම සිංහල ගායිකාව වූයේය. 'ස්වරම්' නම් ද්‍රවිඩ භාෂාවෙන් ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක්[1] ඇය විසින් බම්බලපිටියෙහි කදිරේෂන් ශාලාවේ පැවැත්වීය. ඉස්ලාම් ගී ප‍්‍රසංගයක්ද මරදාන ටවර් රඟහලේදී 'ඉලම්පිරෙයි ගීතන්ගල්' නමින් පැවත්වා ඇත.[1]

ඇය විසින් කැසට්පට 115 පමණ ඇගේ ගී ඇතුලත් කර ඇත. මේ අතරින් 'කදිර දේව සුරින්දා' කැසට පටය එකල්හි ලංකාවේ වැඩියෙන්ම අලෙවි වූ කැසට් පටයද විය.[1]

1956 දී සොහොයුරෝ චිත‍්‍රපටයෙන් චිත‍්‍රපට පසුබිම ගායනයට එක් වූ ඇය එහිදී ගායනා කළ සුරතල් මගේ පොඩි මුව පැටියා සංගීතවත් කරනු ලැබූයේ ආර්. මුත්තුසාමි නම් දමිළ සංගීත අධ්‍යක්ෂකවරයා විසිනි. එහි පද රචනය ඩබ්ලිව්. බෙනඩික් ප‍්‍රනාන්දුගේයි. යටගිය දවස චිත‍්‍රපටයේ දුක එක එක පෙරළිලා ගීත ගායනයට වසරේ හොඳම ගායන ශිල්පිනිය ලෙස ස්වර්ණ සංඛ සම්මානයෙන් පිදුම් ලැබුවාය. එහිආ සංගීතය ආර්. මුත්තුසාමිගෙනි. මේ වනවිට ඇය විසින් සිංහල චිත‍්‍රපට 400ක[1] පමණ ගයා ඇති අතර ශ්‍රී ලාංකීය සහ ඉන්දියානු දමිළ චිත‍්‍රපට 20 කද ගී ගයා ඇත.[1]

"අහසෙ ගෑවෙන සිතු විමනේ", "ඈත දියඹ වැන්නේ", "ශෝකය ගීතයක්‌", "දෙතැනක පිපුණත් එකමල්", "සූරියවංශේ සිංහල පුතුනේ", "සඳමුතුමල්දම්", "පෙම්වත තරහවෙලා", "මංගල කසී සළු", "පුංචි දවස්‌වල", "දුනුකෙයියා මලක්‌ වගේ", "බොලං පොඩි නංගි", "ආගන්තුක කුරුල්ලා", "අද හවසට මා", "හතර වටින් කළු කරගෙන" "සාධු දන්තදා" වැනි ගීත ඇය ගැයූ දහස්‌ ගණන්වූ සරල ගී අතර ඉතා රසවත් ගී සමුදායෝ වෙති. සියලුම චිත්‍රපට ගීත,සරල ගීත,ශාස්ත්‍රීය ගීත සහ වෙනත් භාශාවලින් ගැයූ ගීතවල එකතුව 6000කට අධිකය. එමෙන්ම ඇය දිඟු නිහැඬියාව බිඳ දමමින් 2016 වර්ශයේ ශ්‍රී ලංකා පොලිස් තේමා ගීතයද සහ පසුව විශේෂ කාර්‍යය සාධන බලකායේ (STF) තේමා ගීතයේද සංගීත අධ්‍යක්ෂණය කරන ලදී.[1]

සම්මානසංස්කරණය

1965 - හොඳම ගායිකාව - ස්වර්ණ සංඛ සම්මානය

1966 - හොඳම ගායිකාව - සරසවිය සම්මානය

1966 - හොඳම ගායිකාව - ස්වර්ණ සංඛ සම්මානය

1972 - හොඳම ගායිකාව - කුමරතුඟු අනුස්මරණ සම්මානය

ජනප්‍රියතම ගායිකාව - දීපශිකා සම්මානය

1974 - හොඳම ගායිකාව - සරසවිය සම්මානය

1974 - ජනප්‍රියතම ගායිකාව - සරසවිය සම්මානය

ජනාධිපති සම්මානය

ශ්‍රී ලංකා මුස්ලිම් කලා පදනම විසින් අචාර්‍ය සුජාත අත්තනායකයන් "පන්මායි කෝකිලම්" ගෞරව නාමයෙන් පිදුම් දෙනු ලැබීය.

1994 - සුධීර මාතා සම්මානය

2009 - විද්‍යාලංකාර උපහාර සම්මානය

2010 - ශ්‍රී ලංකා නාවික හමුදා ගෞරව සම්මානය

2011 - ධීමති සම්මානය

2012 - කල්‍යාණි ප්‍රසාදිනී සම්මානය

2012 - මන්චි ගෞරව උත්තමාචාර සම්මානය

2013 - ශ්‍රී ලංකා යුධ හමුදා ගෞරව ප්‍රසාද සන්නස

2013 - ටවර්හෝල් රඟහල පදනම ගෞරව උපහාර සම්මානය

2014 - සුමති අනුස්මරණ සම්මානය

2014 - සුවඳ පද්ම සම්මානය

2014 - අචාර්‍ය ලයනල් එදිරිසිංහ ගෞරව උපහාර සම්මානය - උත්තර භාරතීය සංගීත අධ්‍යනාංශය - සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලය

2014 - ලංකා බැංකු උපහාර සම්මානය

2014 - විදුලිපුර ගෞරව සම්මානට

2015 - සුසර ප්‍රණාම සම්මානය

2015 - ජනතා ගෞරව සම්මානය

2016 - සරසවිය රණතිසර සම්මානය

2016 - ශ්‍රී ලංකා පොලිස් ගෞරව සම්මානය

2016 - තරුණ ගෞරව උපහාර සම්මානය

2016 - සුනිල් ශාන්ත අනුස්මරණ සම්මානය - රාජ්‍ය සංගීත සම්මාන උළෙල

2017 - ADTF ගෞරව සම්මානය

2017 - ප්‍රතිභා ප්‍රණාම සම්මානය

2017 - OSCAR පූජා ප්‍රණාම සම්මානය

2017 - සුජාතා අත්තනායක අභිනන්දන සම්මානය

2018 - නිදහස් කලාභූෂණ සම්මානය

2019 - ගෞරව ආචාර්‍ය උපාධිය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය

2020 - කලාභිමානි සම්මානය

2020 - ජීවන ප්‍රශංසා ගෞරව සම්මානය

ආශ්‍රිතසංස්කරණය

  1. 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 "සුජාතා අත්තනායක නම් අසාය ගීත කෝකිලාව". සම්ප්‍රවේශය 2016-09-03.

බාහිර සබැඳිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සුජාතා_අත්තනායක&oldid=500447" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි