සියම් නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවය

ශ්‍රී රෝහණ පාර්ශවය
ආගමික වර්ගයබෞද්ධ
අනුබද්ධථේරවාද
නිර්මාතෘකඹුරුපිටියේ වනරතනාභිධාන හිමි
ප්‍රධානීන්ගේ ගෞරව නාමයමහානාහිමි
නිකායසියම්
මූලස්ථානයඌරාපොල සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථානයේ
ආරම්භක දිනයදෙසැම්බර් 21, 1984; වසර 39 කට පෙර (1984-12-21)

ඉතිහාසය

සංස්කරණය

මෙලෙස ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරා බිහිකර ගනිමින් ස්‍යාමෝපාලි වංශික මල්වතු විහාර පාර්ශ්වය පහත රට ව්‍යාප්ත කරවීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් පහතරට භික්ෂූන් වහන්සේ විසින් සිදු කළ බව පැහැදිලිය.  ඉහත දැක්වූ අයුරින් රෝහණ දේශීය සංඝයා සමග මල්වතු මහාවිහාරයේ පැවති දැඩි සබැඳියාව බිඳීගියේ මල්වතු මහාවිහාරීය හිමිවරු කිහිපදෙනෙකුගේ අත්තනෝමතික, අදූරදර්ශී ක්‍රියාකලාප හේතුවෙනි. මුල දී ඒකාබද්ධව පැවති උක්ත සබරගමුව ඇතුළු පහතරට නායක ධුරය හා ශ්‍රීපාදස්ථාන නායක පදවිය බෙදා වෙන්කර කිහිප නමකට දීම, ඒ තනතුරු දැරූ රුහුණේ නා හිමිවරුන්ට විරුද්ධව රජුට ගතුකියමින් භේදකිරීම වැනි කූටෝපක්‍රම මගින් එම නායක පදවි රුහුණු සංඝයාගෙන් උදුරාගෙන මල්වතු විහාරීය භික්‍ෂූන්ට ම හිමිකර ගැණුනි. එමෙන් ම උපසම්පදාව දීමේ දී මූලිකව ක්‍රියාකරන, ස්‍යාමෝපාලිවංශික මහානිකායේ ප්‍රධාන තනතුරු හිමිවනුයේ මල්වතු විධායක කාරක සංඝ සභාවේ හිමිවරුන්ට පමණි. එම විධායක සභාවට රුහුණේ භික්‍ෂූන්ට ඉදිරිපත්විය හැකි අවස්ථාව ද ක්‍රමයෙන් අහිමි කෙරුණි. ක්‍රමයෙන් පහතරට භික්‍ෂූන්ට කෙණහිලිකම් කිරීම හා පහත් කර සැලකීම් මල්වත්තෙන් සිදුවිය. උපසම්පදාපේක්‍ෂකයන් පවා මූලස්ථානයේ අපේක්‍ෂකයන් හා පිටපළාත්වල අපේක්‍ෂකයන් ලෙස දෙපිලකට බෙදා උපසම්පදා කිරීම ද සිදුවිය. උපසම්පදාපේක්‍ෂකයන්ට ලැබෙන විශේෂ අවස්ථාවක් වන ‘වාහලනාග’ හිමිකම පිටපළාත්වල අපේක්‍ෂකයන්ට නොදෙන ස්වභාවයක් ද ඇතිවිය. මෙවැනි අගතිගාමී අකටයුතුකම් රැසක් ඇතිවී ඒකාධිකාරයක් මල්වතු මහා විහාරයේ ඇතිවිය. ස්‍යාමෝපාලි මහා නිකායයේ මූලස්ථානය වන මල්වතු විහාරීය විධායක සංඝ සභාවට ඇතුළත් හිමිවරු පිළිබඳවත්, එම සභාවට හිමිවරු පත්කරන ක්‍රමවේදය පිළිබඳවත් තත් නිකායික නාහිමිවරු පවා නොදනිති. රාජනියෝගයක් වරදවා ගැනීමෙන් ලබා දෙන උපසම්පදාව ද එක් කුලයකට පමණක් සීමා විය.

මෙම තත්ත්වයන් නිසා 1753 වර්ෂයෙන් පසුව ලක්දිව වෙනත් නිකාය රැසක් ඇති විය. පසුව ඒවා සමගි සම්පන්න වූ අතර දැනට සියම් නිකාය, අමරපුර නිකාය හා රාමඤ්ඤ නිකාය නමින් ප්‍රධාන නිකාය තුනක් ව පවතියි. ඒ විතරක් නොව 1764 දක්වා ඒකාබද්ධව උපසම්පදාවන් සිදුවූ ස්‍යාමෝපාලි වංශික මහා නිකායයේ වෙන් වෙන් පාර්ශ්ව ඇතිවී පැවිදි උපසම්පදාවන් වෙන් වෙන් ව සිදුකරන තත්ත්වයට පත්විය. සියම් මහා නිකායයේ අස්ගිරි පාර්ශ්වය 1765 දී ත්, කැලණි පාර්ශ්වය 1856 දී ත්, කෝට්ටේ පාර්ශ්වය 1894 දී ත්, ඌව පාර්ශ්වය 1939 දී ත්, වනවාස පාර්ශ්වය 1968 දී ත් මල්වතු විහාරයේ පෝයගෙයින් බැහැරව උපසම්පදා කර්ම කිරීම හා විහාරාධිපති-නායක පදවි පිරිනැමීම සිදුකිරීම ඇරඹූහ. 1986 දී රෝහණ පාර්ශ්වය ආරම්භ වූයේත් උක්ත මල්වතු මහාවිහාරයේ ඒකාධිකාරීත්‍වයේ ප්‍රතිඵලයක් වශයෙනි. එම කර්තව්‍යයේ පුරෝගාමී වූ මහාචාර්ය කඹුරුපිටියේ වනරතනාභිධාන මහානායක හිමි මල්වතු මහා විහාරයේ පැවති අධිකාරීත්‍වයට එරෙහිව තමන් වහන්සේට පෙර සිදු වූ විරෝධතාවන් කිහිපයක් දක්වති.

  1. 1921 දී මල්වතු මහාවිහාර කාරක සංඝ සභික පූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ නා හිමියෝ තත් සංඝ සභාවේ සිටිමින් ම මල්වතු පාර්ශ්වයේ අධිකාරිවාදී අසම්මුතිකභාවය විවේචනයට ලක්කළහ.
  2. 1926 දී මල්වතු විහාරය ඒකාධිකාරීත්‍වයෙන් බේරාගෙන ප්‍රජාතන්ත්‍රවාදී කරගැනීම සහ නොසළකා හැරි රුහුණු සඟපරපුර සංවිධානය කරගැනීම යන සත් අරමුණු පෙරදැරිව මාලිගාකන්ද විදුදය පිරිවෙණට පණ්ඩිත ශිරෝමණී කහවේ රතනසාර, පණ්ඩිත වැලිවිටියේ පුඤ්ඤසාර, සාහිත්‍ය චක්‍රවර්ති බෙන්තර සරණංකර, කරන්ගොඩ නා හිමි ආදී නාහිමිවරු එකතුව සාකච්ඡාවක් පවත්වා මල්වතු භේදකාරී උපසම්පදාව රුහුණේ සංඝයා නොපිළිගන්නා බව සඳහන් ප්‍රකාශයක් පවා එළිදැක්වූහ.
  3. 1942 දී මාතර කිතුලේවල ජයමහාවිහාර පිරිවෙණේ දී මල්වතු පාර්ශ්වයේ පහතරට සංඝයා සංවිධානාත්මකව එකතු කරන මහ සඟ සමුළුවක් පවත්වන ලද්දේ වැලිවිටියේ ශ්‍රී සෝරත, බද්දේගම පියරතන යනාදී නාහිමිවරුන්ගේ මූලිකත්‍වයෙනි. රුහුණේ සංඝයා උභයාංශධාරීන්ට එරෙහිවීම නිසා මෙම උත්සාහය ද ව්‍යර්ථ වූ නමුත් සිළුමිණ පත්‍රයේ ශාස්ත්‍රීය අතිරේකයට වැලිවිටියේ නාහිමි 1959 දී ලියූ ‘සියම් නිකායේ මල්වත්ත පාර්ශ්වය ප්‍රතිසංවිධානය වියයුතු අයුරු’ නම් ලිපිය විශාල ආන්දෝලනයක් ඇතිකළේය.
  4. 1954 දී ගාල්ල විද්‍යාලෝක පිරිවෙණට රැස් වූ අකුරටියේ අමරවංශ නාහිමි ප්‍රමුඛ නාහිමිවරු මල්වතු විහාරයෙන් පිරිනැමූ සියලු නිලතලවලින් ඉල්ලා අස්වීමටත්, රුහුණේ වෙන ම උපසම්පදාවක් සිදුකළ යුතු බවටත් දැඩි තීරණයක් ගත්හ.

මෙම ක්‍රියාදාමයන් ව්‍යර්ථවීමට බලපෑ හේතු විමසා බැලූ අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතන මහ නා හිමියෝ රුහුණේ සියලු විහාරස්ථාන නියෝජනය වන පරිදි ඒවායේ දෙවන, තෙවන තනතුරු දරණ උගත් හිමිවරු තිස් නමක් කැඳවා 1981 අප්‍රේල් 02 දින මල්වතු පාර්ශ්වයේ මාතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සංඝ සභාව පිහිටවූහ. එහි සභාපති වශයෙන් මහාචාර්ය කඹුරුපිටියේ වනරතන නා හිමි පත්වූ අතර සපුගොඩ විද්‍යානිකේත පිරිවෙන් විහාරාධිපති ගතාරේ සුගතපාල හිමියෝ ලේකම් වශයෙන් පත්වූහ. එම ප්‍රදේශීය සංඝ සභාව පිහිටුවීමේ ප්‍රධාන පරමාර්ථ තුනක් විය.

  1. මූලස්ථානය සමඟ සබඳතාවය තරකර ගැනීම
  2. ප්‍රදේශීය සංඝ සභාවල නියෝජිතයන් මල්වතු කාරක සභාවට තෝරා පත්කරවීම
  3. ප්‍රදේශීය සංඝ සභාව මල්වතු විහාර මූලස්ථානයේ ලියාපදිංචි කිරීම

මෙම සංඝ සභාව මගින් මල්වතු විහාරය සමග සාකච්ඡා කිරීමට අවස්ථා ඉල්ලූ නමුත් නොලැබුණි. පසුව බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් අර්ඩ්ලි රත්වත්තේ මහතාගේ මැදිහත්වීමෙන් 1984 නොවැ. 03 දින රුහුණෙන් වැඩි හිමිවරු සමග මල්වතු මහාවිහාරයේ දී මල්වතු මහනාහිමියන් සමග සාකච්ඡාවක් පැවැත්විණි. එහි දී ඉදිරිපත් කළ ඉල්ලීම් පහකි.

  1. මල්වතු කාරක සභාවේ පුරප්පාඩුවලට ප්‍රදේශීය සංඝ සභා නියෝජිතයන් පත්කළ යුතුය.
  2. ප්‍රදේශීය උගත් සංඝයාගෙන් යුතු උපදේශක සභාවක් අතිගරු මහනාහිමි විසින් පත්කළ යුතුය.
  3. ශ්‍රී රෝහණ සංඝ සභාව මූලස්ථානය විසින් පිළිගත් බව ප්‍රකාශ කළ යුතුය.
  4. කතිකාවතෙහි අවශ්‍ය සංශෝධන වහා ඇති කළ යුතුය.
  5. ඈත රුහුණේ සිට උපසම්පදාව සඳහා නුවරට පැමිණෙන්නන්ගේ පහසුව තකා නියෝජිත පිරිසක් මල්වත්තෙන් පැමිණ මාතර දී උපසම්පදා විනය කර්මයක් කළ යුතුය.

මෙසේ ඉල්ලන ලද්දේ මල්වතු විහාරීය ව්‍යවස්ථාවේ ම ඇති අයිතියකි. ‘මහනුවර උභය විහාරවාසී ධර්මධර, විනයධර ස්ථවිරයන් දාහතර නමක් ද පිටිසර රටවල්, දිසාවල්වල සංඝයා ද ඇතුළුව මහනුවර උභය විහාරයේ මහානායක, අනුනායක ආදී තනතුරු පත්කරන්නට ඕනෑය.’ සියමෙන් වැඩි උපාලි තෙරුන් ප්‍රධාන පළමු දූත පිරිස මල්වතු පොහොය සීමාව සම්මත කිරීමෙන් පසුව ශ්‍රී වර්ධනපුරාදී නානා ස්ථානවල සීමා බන්‍ධනය කළ බව ස්‍යාමෝපසම්පදා වතෙහි කියැවේ. අස්ගිරි විහාරයේ ගෙඩිගේ ලඟ මළුවෙහි බද්ධ සීමා බැඳීමේ පටන් ස්ථාන 25 ක සීමා බඳින ලද්දේ ප්‍රදේශීය වශයෙන් උපසම්පදාවන් සිදුකිරීමට පහසුවනු පිණිසයි. එදා පිහිට වූ දකුණේ මුල් ම පොහොය සීමාව මූලගිරි මහා විහාරයේ ඇතැයි කියැවේ. එනිසා ඉහත ඉල්ලීම් මල්වතු ව්‍යවස්ථාවටත්, ස්‍යාමෝපාලි මහා නිකායේ ආදීකර්තෲන්ගේ අභිමතාර්ථයන්ටත් අනුකූල වූ ඒවා ම විය.

මේ ඉල්ලීම් සියල්ල මල්වතු විහාරයෙන් ප්‍රතික්‍ෂේප වූ බැවින් 1984 දෙසැම්බර් 21 දින මාතර කොටුවේ මිගදාය සිරි රතනපාල පිරිවෙණට රැස්වූ රුහුණේ තෙරවරු ‘ශ්‍රී රෝහණ මහා සංඝ සභාව’ පිහිටුවා ගෙන එතෙක් ‘සම්මුති’ නමින් පැවති පුවත්පත ‘ශ්‍රී රෝහණ’ නමින් පළකිරීමට තීරණය විය. වලස්ගල ශ්‍රී සරණංකර පිරිවෙණ හා මිද්දෙණිය පුරාණ විහාරය යන ස්ථානයන්හි පැවති සාකච්ඡාවලින් රුහුණේ වෙන ම උපසම්පදාවක් කළ යුතුයැයි යෝජනා ස්ථීර වූ හෙයින් මල්වතු විහාරීය නායක තනතුරෙන් වනරතන හිමියෝ ඉල්ලා අස්වූහ. ඒ සම්බන්‍ධ සාකච්ඡාවකට සිරිමල්වත්තේ ආනන්දාභිධාන මල්වතු මහනාහිමියන් කළ ආරාධනාවට අනුව කොළඹ චාරිකාරාමයේ දී තත් සාකච්ඡාව පැවැත්වුණි- එහි දී රෝහණ උපසම්පදාවට මල්වත්තේ විරුද්ධත්‍වයක් නැති බව පැවසුණි. ඒ අනුව රෝහණ සංඝ සභාවේ උපසම්පදාවන් ලියාපදිංචි කිරීමට නීතිමය අවසරය 1984 දෙසැ. 30 දිනැති ලිපියෙන් බෞද්ධ කොමසාරිස් විසින් ලබා දෙන ලදී.

රෝහණ සංඝ සභාවේ පළමු උපසම්පදා මහෝත්සවය 1986 අප්‍රේල් 24 දින ඌරාපොල සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වුණි. පූර්ණ සංඝ සභාවකට අවශ්‍ය ව්‍යවස්ථා හා කතිකාවත් සකසා, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර, කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපකාර ලබා කර්මාචාර්යවරු පුහුණුකර, උපාධ්‍යායවරු පත්කර, පළමු හා දෙවන උපසම්පදා උත්සව පැවැත්වීමෙන් අනතුරුව රෝහණයේ ඓතිහාසික උරුමය සහ අනන්‍යතාවය සුරකිනු සඳහා පිහිට වූ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ප්‍රථම මහානායක ධුරයට එවකට ඌරාපොල සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති ධුරය දැරූ, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සාහිත්‍යසූරී, පුරාවිද්‍යා චක්‍රවර්ති, මහාචාර්ය, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කඹුරුපිටියේ වනරතනාභිධාන මහා ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ 1987 අප්‍රේල් 02 දින තේරී පත්වූයේ තත් සංඝ සභාවේ ඒකමතික තීරණයෙනි. අත්තුඩාවේ ශ්‍රී රාහුල හිමි, ගාල්ල කදුරුපොකුණේ ධම්මාවාස හිමි යන මාහිමිවරු අනුනායක පදවි දෙකටත්; ගොම්බද්දල නන්දාරාම මාහිමියෝ ප්‍රධාන අධිකරණ නායක පදවියටත් පත්වූහ. ආරම්භයේ සිට ප්‍රධාන ලේඛකාධිකාරී පදවිය දැරූවෝ මහාචාර්ය පූජ්‍යපාද ගතාරේ ධම්මපාල මා හිමියෝය.

කාලානුරූපව සිදු වූ උන්වහන්සේලාගේ අපවත්වීම්වලින් පසුව ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක පදවියට 1998 නොවැම්බර් මාසයේ දී සාහිත්‍යසූරී, ග්‍රන්‍ථවිසාරද රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අත්තුඩාවේ ශ්‍රී රාහුල මාහිමියෝ ද අනුනායක පදවි දෙකට මහලේඛකාධිකාරී පූජ්‍යපාද ගතාරේ ධම්මපාල, සංස්කෘත කාව්‍ය චක්‍රවර්ති රාජකීය පණ්ඩිත පූජ්‍ය කැකුණේවෙල පියරතන යන මාහිමිවරු ද පත්වූහ. 2011 වසරේ දී  පූජ්‍යපාද ගොම්බද්දල නන්දාරාම මාහිමියෝ සහ ගාල්ල කොට්ටව ශ්‍රී සුමනාරාම පුරාණ විහාරාධිපති, සමස්ත ලංකා සාමවිනිසුරු, විනය කීර්ති ශ්‍රී රතනසාර ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, උපාධ්‍යාය පූජ්‍ය උඩුමලගල ශ්‍රී මහින්ද මා හිමියෝ අනුනායක පදවි දෙකට සමානච්ඡන්දයෙන් තේරී පත්වූහ. 2010 සිට මේ දක්වා මහලේඛකාධිකාරී වශයෙන් විද්‍යානිකේත පිරිවෙන් විහාරාධිකාරී ශාස්ත්‍රපති අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක පූජ්‍යපාද ඕමාරේ කස්සප මාහිමියෝ ක්‍රියාකරති. 2011 වසරේ සිට වසර කිහිපයක් ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය ද උන්වහන්සේ හෙබවූහ. 2011 දෙසැම්බර් 01 දින අත්තුඩාවේ ශ්‍රී රාහුල මහනාහිමිපාණෝ අපවත් වූ හෙයින් ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ තෙවැනි මහානායක ධුරයට ඒ වනවිට අනුනායක ධුරය දැරූ රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, ගෞරව ශාස්ත්‍රවේදී, ගොම්බද්දල ශ්‍රී ශෛලාරාමාධිපති මහෝපාධ්‍යාය අතිපූජ්‍ය ගොම්බද්දල ශ්‍රී නන්දාරාමාභිධාන මහාස්වාමීන්‍ද්‍රයන් වහන්සේ පත්වූහ. (2011 දෙසැම්බර් 16 දින) 2011 වර්ෂයේ දී පුරප්පාඩු වූ අනුනායක ධුරය සඳහා රම්මල වරාපිටිය සිත්තම්ගල්ලෙන රාජමහා විහාරාධිපති හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝ නායක උපාධ්‍යාය විචිත්‍රභාණී සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්මරක්‍ෂිත ශාස්ත්‍රපති පූජ්‍යපාද අගලබඩ පියසිරි මා හිමිපාණෝ පත්වූහ. ඒ අනුව 2012 වර්ෂයේ සිට ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ප්‍රධාන තනතුරු සංඝ සභාව වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනට විමධ්‍යගතව ක්‍රියාත්මක කළ හැකි විය.  2015 වර්ෂයේ අතිපූජ්‍ය ගොම්බද්දල ශ්‍රී නන්දාරාමාභිධාන මහානායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 2015 පෙබරවාරි 21 දින පූජ්‍ය උඩුමලගල ශ්‍රී මහින්දාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක ධුරයට පත් වූ අතර පුරප්පාඩු වූ අනුනායක ධුරයට ප්‍රධාන ලේඛකාධිකාරී, ශාස්ත්‍රපති ඕමාරේ කස්සප මා හිමියෝ තේරී පත්වූහ.

1986 සිට 2002 දක්වා ශ්‍රී රෝහණ පාර්ශ්වයේ උපසම්පදා විනයකර්ම 17 ක් තිහගොඩ ඌරාපොල සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්විණි. ඒ සඳහා ශාස්ත්‍රපති පූජ්‍ය පොලොම්මාරුවේ හේමසිරි මා හිමි ප්‍රමුඛ සංඝරත්නයෙන් ලැබුණේ අමිල සහායකි. 18 වන උපසම්පදා වාරය සියම් නිකාය පිහිටුවා 250 වසරක් පිරීම නිමිත්තෙන් ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරස්ථ සීමා මාලකයේ දී (2003) පැවැත් වූ ශ්‍රී රෝහණ මහා සංඝ සභාව; 2004 සිට 2013 දක්වා පැවැති උපසම්පදෝත්සව පවත්වන ලද්දේ මාතර කොටුවේගොඩ රන්දූපත උපෝසථාගාර රාජමහා විහාරයේ ය. මුහුදින් වට වූ දූපතක පිහිටි මෙම උපෝසථාගාරය අනෙකුත් පාර්ශ්ව නිකායන්හි උපසම්පදා විනය කර්මයන්ට අවශ්‍ය නම් ලබාදීමේ කැමැත්ත ද ඇත. නිලබලයෙන් ම ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ අතිගරු මහානායක මාහිමියෝ රන්දූපත උපෝසථාගාරයේ විහාරාධිපති වශයෙන් පත්වෙති. 2010 වර්ෂයේ දී ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ 25 වන රජත ජයන්ති උපසම්පදා පුණ්‍යෝත්සවය රාජ්‍යානුග්‍රහයෙන් සිදුවිය. 2004 සිට 2010 දක්වා උපසම්පදාපේක්‍ෂකයන්ගේ දැක්වීම්-ප්‍රශ්න ඇසීම් ආදී මූලික කටයුතු මෙන් ම ශ්‍රී රෝහණ සංඝ සභාවේ විධායක සභා රැස්වීම් හා නායකෝත්සව ආදිය ද සිදුකළේ මාතර පහළ පීක්වැල්ල පන්‍ථාරාම පුරාණ විහාරයෙහිය. මහෝපාධ්‍යාය මාතර පළාතේ ප්‍රධාන සංඝනායක විචිත්‍රභාණී පූජ්‍යපාද ඌරුමුත්තේ සෝමරතන නායක මාහිමියෝ ඒ සඳහා සුවිශාල සේවයක් ඉටුකළහ. ශ්‍රී රෝහණ සංඝ සභාවේ මූලස්ථානය වන ඌරාපොල සිරි රතනජෝති විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේ විධායක කාරක සංඝ සභික හිමිවරුන් සඳහා වෙන ම සංඝ සභා ගොඩනැගිල්ලක් ඉදිව පවතියි. තත් විහාරාධිපති සහකාර පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති පූජ්‍යපාද ගෝනදෙණියේ තපස්සි හිමියන් විසින් කරන ලද ආරාධනාව අනුව 2011 වසරේ සිට මේ දක්වා උපසම්පදා වාරයන්හි සිදුකෙරෙන දැක්වීම් ආදී මූලික කටයුතු සහ විධායක සභා රැස්වීම් ආදිය ඌරාපොල සිරි රතනජෝති පිරිවෙන් විහාරස්ථානයේ දී සිදුකෙරේ. ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ‘සංඝ සභා මූලස්ථානය’ වශයෙන් ඌරාපොල පිරිවෙණ සලකනු ලබන අතර උපසම්පදා මූලස්ථානය වශයෙන් මාතර කොටුවේගොඩ රන්දූපත ‘ශ්‍රී රෝහණ මංගල උපෝසථාගාර රාජමහා විහාරය’ සලකනු ලබයි.

2003 වසරේ රන්දූපතේ විනය සීමාව පිහිටුවීමේ දී එවක කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පූජ්‍යපාද විචිත්‍රභාණී මාපලගම බුද්ධසිරි යන නාහිමිවරු සීමාබන්‍ධන විනය වාක්‍ය දේශනා කළහ. උඩපීක්වැල්ල උග්ගල්බැවුල ගංගාතිලක රාජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත පූජ්‍ය මොදරවානේ සිද්ධත්‍ථ ද්විතීය අධිකරණ සංඝනායක නාහිමියන්ගේ මූලිකත්‍වයෙන් රන්දූපත උපෝසථාගාර මහාවිහාරයේ සත්දවසේ පිරිත් දේශනාවක් පවත්වා උපසම්පදා කටයුතු ඇරඹූ 2004 වසරේ ආරම්භක මහෝත්සවයේ මුලසුන හෙබවූවෝ අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මා හිමියෝය.

වනවාස පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක කෙහෙල්පන්නල සුගතවංස නාහිමියන්ගේ මූලිකත්‍වයෙන් 1991 සැප්තැම්බර් 01 දා සිට වනවාස පාර්ශ්වයේ උපසම්පදා කටයුතු ශ්‍රී රෝහණ පාර්ශ්වය යටතේ ලියාපදිංචි කරමින් පැවැත්වීම ඇරඹූ අතර 1992 වසරේ සිට දෙවසරකට වරක් එම උපසම්පදා විනය කර්මය ශ්‍රී රෝහණ විධායක සභාවේ නියෝජිත හිමිවරු හා වනවාස සංඝ සභාවේ හිමිවරු එකතුවී අනුරාධපුර මිහිඳු අරණ්‍ය සේනාසනයේ සහ මහනුවර අඹකොටේ සිරි සුගත තපෝවන සෙනසුනේ සීමාමාලකයන්හි සිදුකෙරේ. වනවාස සංඝ සභාවේ ප්‍රධාන සංඝ නායක ධුරය 1998 සිට 2016 දක්වා අතිපූජ්‍ය කළුගල රතනජෝති නා හිමි හෙබවූහ. 2016 සිට එම ධුරය හොබවනුයේ මහෝපාධ්‍යාය, අරණ්‍යක සිරි සුගත පටිපත්ති සාසන සෝභන, කීර්ති ශ්‍රී සුමංගල, මිහිඳු අරණ්‍ය සේනාසනාධිපති, රාජකීය පණ්ඬිත, ශාස්ත්‍රපති, ත්‍රිපිටකාචාර්ය අතිගෞරවාර්හ ගලපාත ශ්‍රී සුමනාභිධාන මහා ස්ථවිරපාදයන් වහන්සේගේ විසිණි.

පූජ්‍ය කඹුරුපිටියේ වනරතන නාහිමියෝ රුහුණේ සංඝයා එකතු කර ශ්‍රී රෝහණ මහා සංඝ සභාව පිහිටුවන මොහොතේ (1986) පැවතියේ සාමාජික පන්සල් 51 කි. 2013 වර්ෂය වනවිට ශ්‍රී රෝහණ සංඝ සභාවේ සාමාජික විහාරස්ථාන දිස්ත්‍රික්ක දහනවයක විහිද පවතියි.

  1. අම්පාර (01)
  2. ත්‍රීකුණාමලය (04)
  3. නුවරඑළිය (01)
  4. පුත්තලම (01)
  5. ගම්පහ (07)
  6. පොළොන්නරුව (03)
  7. මාතලේ (02)
  8. මාතර (167)
  9. ගාල්ල (73)
  10. හම්බන්තොට (160)
  11. කළුතර (21)
  12. කොළඹ (15)
  13. අනුරාධපුරය (21)
  14. මහනුවර (06)
  15. කෑගල්ල (04)
  16. බදුල්ල (02)
  17. රත්නපුරය (25)
  18. මොණරාගල (29)
  19. කුරුණෑගල (13)

යනුවෙන් 2013 වසරේ සිදුකරන ලද සංගණනය අනුව සියලු සාමාජික විහාරස්ථාන සංඛ්‍යාව 555 කි.

ප්‍රථම මහානායක නිලකාලය තුළ දී (1992 දී) ශ්‍රී රෝහණ මහා සංඝසභායත්ත ශ්‍රී රෝහණ තරුණ භික්‍ෂු සංවිධානය පිහිටුවන ලද්දේ ශාස්ත්‍රපති ඕමාරේ කස්සප මා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙනි. උන්වහන්සේගේ විශේෂ මැදිහත්වීමෙන් දෙවැනි මහානායක නිලකාලය තුළ දී (2010 දී) ශ්‍රී රෝහණ මහා සංඝසභායත්ත උපසම්පදා කාරක සභාව පිහිටුවා සංඝ සභාව වෙනුවෙන් අනේකවිධ කැපකිරීම් කළ හිමිවරුන්ට සංඝ සභාව තුළ ගෞරවණීය බවක් ඇති කළහ.

ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ විධායක කාරක සභාව තිස් නමකගෙන් යුක්තය. එම ත්‍රිංශත්වර්ගික විධායක සභාවට සුදුසු හිමිවරු තෝරාපත් කරගනුයේ ශ්‍රී රෝහණ මහා සංඝ සභායත්ත උපසම්පදා කාරක සභාවෙනි. (එම තනතුරු ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට හිමි නොවේ.) සෑම උපසම්පදාවාරයක දී ම විධායක සභාවේ ඌණපූරණයන් සිදුකරනුයේ ද මේ උපසම්පදා කාරක සභික හිමිවරු මගිනි. 2013 වසරේ දී උපසම්පදා කාරක සභාවට සාමාජික හිමිවරු පනස් (50) නමක් තේරී පත්ව සිටිති. මෙම විධායක සභාව හා උපසම්පදා කාරක සභාව ශක්තිමත් කරනු සඳහා ශ්‍රී රෝහණ මහා සංඝ සභායත්ත තරුණ භික්‍ෂු සංවිධානය 2010 වසරේ සිට ප්‍රතිසංවිධානය වී ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික් තුන මූලිකව ක්‍රියාත්මක කෙරේ. එක් තැනකට සීමා නොවී ප්‍රදේශීය වශයෙන් උපසම්පදා විනය කර්මය විනයානුකූලව හා ගෞරවාන්විතව සිදුකිරීමත්, සෙසු පාර්ශ්ව හා නිකායයන් සමග සුහදතාවෙන් ක්‍රියාකිරීමත්, පැවිදි උපසම්පදාවන්හි දී කුලභේද නොසලකා ගුණදොස් පමණක් විමසීමත්, විධායක සභික තනතුරුවලට පත්වීමට ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදයක් යටතේ සාමාජිකත්‍වය දරණ සියලු හිමිවරුන්ට අවස්ථාව සැලසීමත්, නායකපදවි පිරිනැමීමේ දී සීමා සහිතව සීලතපෝගුණ වෘද්ධභාවයන් අනුව එය සිදුකිරීමත් ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ඇති සුවිශේෂී ලක්‍ෂණ වේ.

සියම් නිකායේ ඉතිහාසය

සංස්කරණය

ශ්‍රී විජය රාජසිංහ රජුගෙන් අනතුරුව එනම් 1746 දී රාජ්‍යශ්‍රීයට පත්වූයේ ඔහුගේ සහෝදර කීර්ති ශ්‍රී රාජසිංහ ය. මහුගේ කාලයේ දී ද වැලිවිට සරණංකර හිමියන් සියම් දේශයට දූතයන් යවා ලක්දිවට උපසම්පදාව රැගෙන ඒමට ක්‍රියා කළ අතර එය සාර්ථකත්වයට පත්විය. ඒ අනුව උපාලි හිමියන් ප්‍රධාන උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා 18 නමක් ද සාමණේරවරු 7 නමක් ද ඇමතිවරු 5 දෙනෙක් ද ඇතු`ඵව සියල්ල ම 74 දෙනෙකුන් ලංකාවට සැපත් වූ බව මධ්‍යකාලීන ලංකාවේ පුරාවෘත්ත නම් ග්‍රන්ථයෙහි සඳහන් වේ. ඒ අනුව ක්‍රි. ව. 1753 ඇසළ මස 14 වන දින උපාලි මහතෙරුන් වහන්සේගේ මූලිකත්වයෙන් මල්වතු විහාර ධර්මශාලාවේ දී පළමු උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කරන ලදී. මෙම උපසම්පදාවත් සමඟ ලංකාවේ ස්‍යාමෝපාලිවංශික මහා නිකාය ආරම්භ විය.

එම උපසම්පදා උත්සවයෙන් අනතුරුව පසුවස් එළඹෙන දින ලංකා ශාසන ඉතිහාසයෙහි වැදගත් පදවි තුනක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලදී. ඒ අනුව සංඝරාජ තනතුරට වැලිවිට සරණංකර හිමියන් ද, පෝයම`ඵ විහාරයේ නායක තනතුරට සරණංකර හිමියන්ගේ ශිෂ්‍ය තිබිබටුවාවේ සිද්ධාර්ථ බුද්ධරක්ඛිත තෙරුන් ද, අස්ගිරි විහාරයේ නායක තනතුරට උරුලෑවත්තේ ධම්මසිද්ධි තෙරුන් ද පත් කරන ලදී. වැලිවිට අසරණසරණ සරණංකර සංඝරාජයන් වහන්සේගෙන් පසු නැවත සංඝරාජ කෙනෙකු පත් නොවූ අතර මල්වතු අස්ගිරි වශයෙන් පාර්ශ්ව දෙකක් බිහිවිය. එම විහාර දෙකට ලංකාව පුරා තිබූ විහාරස්ථාන සමසේ දෙදහස් හාරසිය බැගින් විහාරස්ථාන හාරදහස් අටසීයක් පවරා දෙන ලදී. සඟරජ හිමියන් ප්‍රමුඛ ලාංකික භික්‍ෂූන්ට වස් දොළොසක් පිරුණු 1764 වර්ෂයේ දී ලංකාවේ භික්‍ෂූන් වහන්සේලා විසින් සිදුකළ ප්‍රථම උපසම්පදාව විහාර දෙකෙහි පැවැත් වූ ආකාරය මන්දාරම්පුර පුවතෙහි කියැවේ. 1753 උපසම්පදාව මල්වතු මහාවිහාරීය ධර්මශාලාවේ දී සිදුවුවත් 1764 වර්ෂයේ උපසම්පදාව විහාර දෙකේ වෙන වෙන ම සිදුවූයේ භේදකාරී තත්ත්වයන් වර්ධනය වී තිබූ හෙයිනි. එතැන් පටන් මෙම පාර්ශ්වයන් දෙක මඟින් වෙන වෙන ම මහණ උපසම්පදා විනය කර්මයන් සිදුකරමින් තම පාර්ශ්වයෙහිත්, විහාරස්ථානවලත් අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු සිදු කළ බව පැහැදිලි වේ.