අන්ඛ්ඛෙපෙරුරේ ස්මෙන්ඛ්කරේ ඩ්ජෙසර් ඛෙපරු (ඇතැම්විට ස්මෙන්ඛරේ, ස්මෙන්කරේ හෝ ස්මෙන්ඛ්කරා යනුවෙන් ද හඳුන්වයි) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ 18වන රාජවංශයේ පසුකාලීනව කෙටි කාලයක් රාජ්‍ය පාලනය කළ පාරාවෝවරයෙකි. ඔහුගේ නාමයේ පරිවර්තනය 'රේගේ සවරූපයන් ජීවමාන ය' සහ 'රේගේ තේජවන්ත ආත්මය – ස්වරූපයන් අතර පූජනීය' යන්නයි.[1] ඔහු රාජ්‍ය පාලනය කළේ අක්නාටන් විසින් නව ආගමික දර්ශනයන් හඳුන්වා දුන් අමර්ණ යුගයේ ය. ඔහු ඔහුගේ ක්ෂණික පූර්වප්‍රාප්තියා වූ අන්ඛ්ඛෙපෙරුරේ නෙෆර්නෙෆරුආටන්ගෙන් (සාමාන්‍යයෙන් නෙෆර්ටිටි වන්නට ඇතැයි විශ්වාස කෙරේ) වෙන්කර හඳුනාගැනේ. නෙෆර්නෙෆරුආටන් මෙන් නොව, ස්මෙන්ඛ්කරේ සිය රාජකීය නාමය හෝ කාර්ටුෂයෙහි විරුදයන් භාවිත කළේ නැත.[2]

ස්මෙන්ඛ්කරේ පිළිබඳ නිශ්චිතවම පැවසිය හැක්කේ තොරතුරු ස්වල්පයක් පමණි. එයට හේතුව හොරෙම්හෙබ්ගෙන් ඇරඹි පසුකාලීන රජවරුන් විසින් සම්පූර්ණ අමර්ණ යුගයම ඉතිහාසයෙන් මකාදැමීමට උත්සාහ ගෙන තිබීමයි.

නමේ පටලැවිල්ල

සංස්කරණය
නාමයන්හි සම්පූර්ණ ඉතිහාසලේඛය සඳහා, බලන්න නෙෆර්නෙෆරුආටන්
 
IIවන මෙරිරේගේ සොහොන්ගැබෙන් හමු වූ කැටයමක රේඛා චිත්‍රයක්. මෙහි නැති වූ නම් පෙර වාර්තා අනුව ස්මෙන්ඛ්කරේ සහ මෙරිටාටන්ට අයත් ය.

ස්මෙන්ඛ්කරේ පිළිබඳ දැනසිටියේ 1845 තරම් ඈතක සිට ය. ඒ IIවන මෙරිරේගේ සොහොන්ගැබේ ඇති කැටයමකිනි. මෙහි ඔහු සහ මහා රාජකීය බිරිඳ පදවිය දරන මෙරිටාටන් විසින් සොහොන්ගැබේ හිමිකරුට ත්‍යාගයක් ලබාදෙන අයුරු නිරූපිත ය. මෙහි රජුගේ නාමය කපා ඉවත් කොට තිබුණත්, 1850 අවට කාලයේ එය ඉවත් ‍කිරීමට පෙර ලෙප්සියස් විසින් එහි නාමය වාර්තා කර ඇත.[3]

පසුව, එකම සිහසුන් නාමය සහිත වෙනස්ම ආකාරයක නම් සමූහයක් ඉදිරිපත් විය: "අන්ඛඛෙපෙරුරේ මෙරි නෙෆර්ඛෙපෙරුරේ [අක්නාටන්] නෙෆර්නෙෆරුආටන් මෙරි වා එන් රේ [අක්නාටන්]". මේ හේතුවෙන් විශාල මතභේදයක් පැනනැගුණේ එකල රජවරුන්ගේ සිහසුන් නාමයන් ඔවුනටම අනන්‍ය ඒවා වූ නිසායි.[4] මෙලෙස එකම සිහසුන් නාමය නැවත නැවත යෙදීම හේතුවෙන් ස්මෙන්ඛ්කරේ, සිය ස්වාධීන පාලන සමය ඇරඹි පසු සිය නාමය නෙෆර්නෙෆරුආටන් ලෙස වෙනස් කරගත් බවට අදහස් පල විය. සැබැවින්ම, පෙට්‍රී විසින් 1894 සිය කැනීම් සටහන්වල මේ නම් අතර ඇති වෙනස නිශ්චිතවම සඳහන් කොට ඇත.

1970 දශකය වන විට, නොයෙකුත් විරුද නාමයන් තුළ මෙම නාමයේ ස්ත්‍රීරූපී ස්වරූපයන් හමුවීම හේතුවෙන් නොයෙකුත් උපකල්පන ඉදිරිපත් විය. ඒ අතුරින් එකක් නම් නෙෆර්ටිටි රැජින සිය නාමය නැවත නෙෆර්නෙෆරුආටන් ලෙස වෙනස් කරගැනීමට පෙර ස්මෙන්ඛ්කරේ යන නාමයෙන් රාජ්‍ය පාලනය කළ බවයි. අක්නාටන් සහ වෙනත් රජකුට සමාන අයකු සමීප අයුරින් ඇතැම් ශිලාස්තම්භවල පෙනී සිටීම හේතුවෙන් අක්නාටන් සහ ස්මෙන්ඛ්කරේ සමලිංගිකයන් යැයි අදහසක් ඉදිරිපත් විය‍.

1978දී, පුද්ගලයන් දෙදෙනකු විසින් එකම නාමය භාවිතා කොට ඇති බව යෝජනා කෙරිණි. එම දෙදෙනා නම් ස්මෙන්ඛ්කරේ රජු සහ නෙෆර්නෙෆරුආටන් රැජිනියයි.[5] වසර දහයකට පසු, ජේම්ස් ඇලන් පෙන්වා දුන්නේ 'අන්ඛ්ඛෙපෙරුරේ' යන නාමය 'නෙෆර්නෙෆරුආටන්' සමග යෙදෙන හැමවිටම පාහේ 'වා එන් රේගේ ප්‍රියයා' වැනි අක්නාටන්ට සම්බන්ධ විරුදයක් යෙදෙන බවයි. එසේම 'ස්මෙන්ඛ්කරේ' යන දෙවන නාමය සමග ‘දිගු’ පුද්ගල නාමයක් යෙදුණු අවස්ථාත්, 'නෙෆර්නෙෆරුආටන්' යන දෙවන නාමයත් සමග ‘කෙටි’ පුද්ගල නාමයක් යෙදුණු අවස්ථාත් හමු වී නොමැත.[6] ජේම්ස් ඇලන් විසින් මාක් ගැබෝල්ඩිගේ සොයාගැනීම් තහවුරු කරමින්, ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබෙන් හමුවූ භාණ්ඩ මුලින් නෙෆර්නෙෆරුආටන් වෙනුවනේ නිර්මාණය වූ ඒවා බව අනාවරණය කරගන්නා ලදී. මේවායේ අන්ගතර්ගත "අක්නාටන්ගේ ප්‍රිය..." යන පාඨය මුලින් කැටයම් කොට තිබුණේ අඛෙට්-එන්-හ්යෙස් හෙවත් "ඇගේ සැමියා කෙරෙහි ක්‍රියාකාරී" යනුවෙනි. මේ හේතුවෙන් නෙෆර්නෙෆරුආටන් යනු කාන්තාවක බව අවසානයේ පිළිගැනිණි.[7][8] 'අක්නාටන්ගේ ප්‍රිය' යන වදන ස්මෙන්ඛ්කරේ හෝ අක්නාටන්ගේ ඥාති පුත්‍රයකු සඳහා ගැලපුණ ද, නව අනාවරණය කරගත් පාඨය ගැළපෙන්නේ කාන්තාවක සඳහා පමණි.

21වන සියවස අරම්භය වන විට මෙම යුගය පිළිබඳ විද්වතුන් විසින්[9] නෙෆර්නෙෆරුආටන් යනු කාන්තා රජකු බවත්, ස්මෙන්ඛ්කරේ යනු වෙනත් පිරිමි රජකු බවටත් "සාධාරණ එකඟත්වයක්"[10] ඇතිකරගන්නා ලදී. (නමුත් මහජනයා සහ අන්තර්ජාලය තවමත් මේ දෙදෙනා පිළිබඳ පැටලිලි සහගත ආකල්ප දරයි) අන්ඛ්ඛෙපෙරුරේ යන නාමය සැලකූ විට අද පිළිගැනෙන්නේ එය විරුද නාමයන් සමග යෙදෙන විට, එමගින් බොහෝවිට නෙෆර්නෙෆරුආටන් පිළිබඳ පැවසෙන බවත්, විරුදා නාමයන් නොයෙදන විට ඉන් ස්මෙන්ඛ්කරේ පිළිබඳ අදහස් වන බවත් ය.[11]

සාක්ෂි

සංස්කරණය

මෙරිරේ සොහොන්ගැබේ නිරූපණය හැරුණු විට ස්මෙන්ඛ්කරේ යනු රජකු බවට පහත සාක්ෂි ඉදිරිපත් කළ හැකි ය.

  • ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබෙන් හමු වූ කැල්සයිට් "ගෝලීය බඳුනක" අක්නාටන්ගේ සම්පූර්ණ ද්විත්ව කාර්ටුෂය සමග, ස්මෙන්ඛ්කරේගේ සම්පූර්ණ ද්විත්ව කාර්ටුෂය ද දක්වා ඇත. මේ නාමයන් දෙකම එකට සඳහන් එකම වස්තුව මෙයයි.[12]
  • තනි වයින් සටහනක 'වර්ෂය 1, ස්මෙන්ඛ්කරේගේ ගෘහයේ වයින්' යනුවෙන් සඳහන්ව ඇත. මෙමගින් ඔහුගේ කෙටි රාජ්‍ය සමය පිළිබඳ සාක්ෂි සපයයි.[13] ස්මෙන්ඛ්කරේගේ 1වන වර්ෂයට දින නිර්ණිත යැයි පැවසෙන 'ස්නේඛ්කරේ (මියගිය) ගේ ගෘහය' නැමැති පාඨය[14] මගින් ඔහු සිය පළමු වසරේ අස්වනු නෙළන සමයේ මියගිය බව හැඟ වේ. නමුත් මෑතක දී යෝජනා වී ඇත්තේ, ඉන් පැවසෙන්නේ ඔහුගේ අනුප්‍රාප්තිකයාගේ පළමුවන වර්ෂයේත්, ඔහුගේ වත්තේ වයින් නිපදවන ලද බව ය.
 
මෙම රුව ටුටන්ඛාමුන් සහ අන්ඛෙසෙන්පාටන් නිරූපණය වේ යැයි විශ්වාස කෙරුණ ද, එමගින් ස්මෙන්ඛ්කරේ සහ මෙරිටාටන් නිරූපණය වනවා වන්නට බොහෝදුරට ඉඩකඩ ඇත.
  • මීට පෙර ස්මෙන්ඛ්කරේ රජුගේ සහ මහා රාජකීය බිරිඳ මෙරිටාටන්ගේ බොහෝදුරට සම්පූර්ණ නාමයන් අන්තර්ගත රේඛා සටහන් සහිත ගල් කුට්ටියක් පිළිබඳ වාර්තා වුවත්, අද එය දක්නට නැත.
  • මාලිගයේ කැනීම්වලින් සොයාගත් 'අන්ඛ්ඛෙපෙරුරේ' නාමය දරන මුදු 5ක් සහ 'ස්මෙන්ඛ්කරේ' නාමය දරන තවත් මුදු 3ක් පිළිබඳ ෆ්ලින්ඩර්ස් පෙට්‍රී වාර්තා කොට ඇත.[15] ඉන් එක් උදාහරණයක් නම් පෙට්‍රී කෞතුකාගාරයේ ඇති අංගය UC23800 නැමැති පුරාවස්තුවයි. මෙහි පැහැදිළිව "ඩ්ජෙසර්" සහ "ඛෙපෙරු" යන අක්ෂර සහ 'කා' රූපාක්ෂරයේ කොටසක් හඳුනාගත හැක. නගරය පිරිසිදු කිරීමේ දී පේන්ඩ්ල්බරි විසින් තවත් වස්තූන් සොයාගන්නා ලදී.[16]
  • ඔහුගේ නාමය අන්තර්ගත මුදුවක් තීබ්ස්හි මැල්කටා ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.
  • ඇතැම්විට වඩාත් විශිෂ්ඨතම සාක්ෂිය වර්ග මීටර 125ට වැඩි භූමි ප්‍රදේශයක පැතිරුණු, කුළුණු 500කට අධික සංඛ්‍යාවක් අන්තර්ගත දැවැන්ත ශාලාව විය හැක. මාලිගයට පසුකලෙක ඇතුළත් කෙරුණු මෙම අංගය අනුමෝදනා ශාලාව, සිංහාසනාරූඪ ශාලාව හෝ සරලව ‍ස්මෙන්ඛ්කරේ ශාලාව නම් විය. එයට හේතුව මෙහි තිබී ආටන්හි අනුමෝදනා ශාලාවේ අන්ඛ්ඛෙපෙරුරේ යන පාඨය අන්තර්ගත ගඩොල් කිහිපයක්ම හමු වී තිබීමයි.[17]
  • ස්මෙන්ඛ්කරේගේ යැයි අවිවාදිතව පිළිගත හැකි රූප විරළ ය. IIවන මෙරිරේගේ සොහොන්ගැබේ පසෙක දකුණට වන්නට පිහිටා ඇති උද්‍යානයක සිටින අමර්ණ රජු සහ රැජිනගේ රුව බොහෝ විට ඔහුගේ යැයි අනුමාන කෙරේ. මෙය සම්පූර්ණයෙන්ම අක්ෂරවලින් තොර ය. නමුත් මෙම රුව ටුටන්ඛාටන් හෝ ඔහුගේ බිසව මෙන් නොපෙනෙන නිසා නිතරම මෙය ස්මෙන්ඛ්කරේ සහ මෙරිටාටන්ගේ යැයි යෝජනා වී ඇත. නමුත් මෙම රූප අක්නාටන් සහ නෙෆර්ටිටිගේ යැයි යෝජනා වූ අවස්ථා ද ඇත.
  • පායිරිගේ සොහොන්ගැබෙන් (TT139) හමුවූ ශිලාලේඛනයක අනෙක් අන්‍ඛ්ඛෙපෙරුරේ (නෙෆර්නෙෆරුආටන්) රැජිනිය පිළිබඳ දැක් වේ. එහි 'අන්ඛ්ඛෙපෙරුරේ දෙවොලේ' පැවති අමෙන් උත්සවයක් පිළිබඳ සඳහන් ය.[18]

ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබෙන් හමුවූ භෘණ්ඩ කිහිපයක ස්මෙන්ඛ්කරේගේ නාමය සඳහන් වේ:

  • රන් ඩේසි 39ක් සමග තවත් සික්වින් 47කින් විසිතුරු කළ ලිනන් වස්ත්‍රයක ස්මෙන්ඛ්කරේ යන පුද්ගල නාමය සමග මෙරිටාටන්ගේ නාමය සටහන් කොට ඇත.
  • කාටර් අංක 101s යනුවෙන් හැඳින්වෙන පුරාවස්තුව අන්ඛ්ඛෙපෙරුරේ නාමය අන්තර්ගත ලිනන් සළුවකි.
  • සංයුක්ත දුන්නක් (කාටර් 48h) සහ මමී පටි (කාටර් 256b) ටුට් රජු සඳහා යළි භාවිත‍යට ගෙන තිබේ.[19]
  • අඩු විශ්වසනීයත්වයක් ඇති මුත්, වඩාත් පුදුම සහගත සිදුවීම වන්නේ ටුටන්ඛාමුන්ගේ මමිය අන්තර්ගත දෙවන මානවරූපී මිනීපෙට්ටියයි. මෙහි මුහුණ වඩාත් සතරැස් ආකාරයෙන් නිරූපණය කොට ඇති අතර, එය රන් වෙස්මුහුණ මෙන්ම ටුටන්ඛාමුන්ගේ වෙනත් නිරූපණයන්ගෙන් ද බොහෝ වෙනස් ස්වරූපයක් ගනියි. මෙම මිනීපෙට්ටිය රිෂි ශෛලියෙන් යුතුව නිමවා ඇති අතර, වර්ණ වීදුරු ඔබ්බවා ඇත. මිනීපෙට්ටියේ ඇති මෙම ලක්ෂණය දැකගත හැකි වන්නේ ස්මෙන්ඛ්කරේගේ මමිය පිහිටියේ යැයි සැලකෙන KV55 සොහොන්ගැබේ මිනීපෙට්ටියෙනි. මෙහි කාර්ටුෂයන් ද්විත්වයම පසුව වෙනස් කරවා ඇති බව පෙනෙන හෙයින්, ඩොඩ්සන් සහ හැරිසන් නිගමනය කරන්නේ මෙය මුලින් ස්මෙන්ඛ්කරේ වෙනුවෙන් නිමකොට පසු ටුටන්ඛාමුන් වෙනුවෙන් භාවිතයට ගත් බවයි.[19][20]

සාධක ඉතා මඳ හෙයින් ස්මෙන්ඛ්‍කරේ ඇතැම්විට සිය ස්වාධීන පාලනය ඇරඹි සමයේ නාමය නෙෆර්නෙෆරුආටන් ලෙස වෙනස් කරගත් බවට මතයක් ද පැනනැගී ඇත. නමුත් මතකාගාර වයින් සටහනක මතුපිට 'ස්මෙන්ඛ්කරේගේ (මියගිය) ගෘහය' යනුවෙන් සඳහන් ව තිබීමෙන් ඔවුනට ඔහු නැවත සිය නම වෙනස් කරගත් බව සිතීමට සිදු වේ.

ඔහුගේ රාජ්‍ය සමය කෙටි හෙයිනුත්, ඔහුට ඇතැම්විට සම-රාජ්‍යාධිකාරි ධුරයකට වැඩි බලයක් හිමිනොවූ හෙයිනුත්, ස්මෙන්ඛ්කරේ පිළිබඳ සාක්ෂි සුලබ නැත. නමුත් එය නිගමනයට පැමිණීමට තරම් ප්‍රමාණවත් නොවේ යැයි පැවසිය නොහැකි ය. නමුත් ඔහු පිළිබඳ 'මුදු කිහිපයක සහ වයින් සටහනක' තොරතුරු සහ 'අක්නාටන්ගේ අවසාන කාලයේ ස්මාරක කිහිපයක'[21] හැරෙන්නට මීට වඩා නිරූපණය කොට තිබෙන්නට ඇත.

සම-රාජ්‍යාධිකාරී

සංස්කරණය

මෙරිරේ කැටයම අනුව, සේමෙන්ඛ්කරේ රජකු මෙන්ම අක්නාටන්ගේ බෑනා ලෙස ද නිරූපණය කොට තිබීමෙ සහ බඳුනක වූ සටහන අනුව සලකා බැලූ විට, අක්නාටන් සහ ස්මෙන්ඛ්කරේ හවුල් පාලනයක් ගෙනගිය බව අදහස් වේ. කෙසේනමුත්, මෙරිරේ සොහොන්ගැබේ දර්ශනය දින නිර්ණය කොට නොමැති අතර, එහි අක්නාටන් පිළිබඳ සඳහනක් හෝ නිරූපණයකුදු හමු නොවේ. බඳුන ඇතැම්විට සරලව, එක් රජකු තම නාමය පෙර සිටි රජු සමග සම්බන්ධ කර දැක්වීමට ගත් උත්සාහයක් විය හැක. මෙවන් එදිනෙදා භාණ්ඩවල නාමයන්ගේ සරල සම්බන්ධ කොට දැක්වීම් හවුල් පාලනයක් පිළිබඳ නිගමනය කිරීමට ප්‍රමාණවත් සාක්ෂියක් නොවේ.[22][23]

මෙම ගැටලුව තවත් උත්සන්න වන්නේ ඔහුට අමතරව අක්නාටන්ගේ සමරාජ්‍යාධිකාරී සහ අනුප්‍රාප්තිකයා ලෙස ඇතැමුන් අන්‍ඛ්ඛෙපෙරුරේ නෙෆර්නෙෆරුආටන් රැජිනියගේ නාමය යෝජනා කොට තිබීම හේතුවෙනි.

නෙෆර්නෙෆරුආටන්

සංස්කරණය

නෙෆර්නෙෆරුආටන් සහ අක්නාටන්ගේ සම්බන්ධය පිළිබඳ සාධක වඩාත් බහුල ය.[24] ඉහත විස්තර කළ පරිදි, ඇගේ කාර්ටුෂයන් ඉතා සුළු සංඛ්‍යාවක් හැරෙන්නට ඉතිරි සියල්ල ඇයව අක්නාටන් සමග සම්බන්ධ කොට දක්වා ඇත. එය "නෙෆර්ඛෙපරුරේගේ ප්‍රිය... [අක්නාටන්ගේ සිහසුන් නාමය 'නෙෆර්ඛෙපරුරේ' යන්නයි]" සහ "වා එන් රේගේ ප්‍රිය... [අක්නාටන්ගේ සිහසුන් නාමයේ විරුද 'වා එන් රේ' යන්නයි]".[25]

ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබේ බොහෝ භාණ්ඩ ඇයට අයත්ව තිබූ අතර, ඒවා මුලින් ඇය වෙනුවෙන් නිර්මාණය වූ අතර පසුව එය වෙනස් කොට ඔහුගේ නාමය සටහන් කෙරිණි. මේ අතර නුට් දෙවඟන නිරූපිත රන් ළහ පළඳනාවක්, ඔහුගේ ශෛලමය මිනීපෙට්ටිය, මමී දැවටුම්, රාජකීය කුඩා රූප, විවිධ වළලු සහ කැනපික භාණඩ් ද වේ. මේ අතරින් වැදගත් භාණ්ඩයක් වන මංජුසාවක (කාටර් 001k) අක්නාටන්, නෙෆර්නෙෆරුආටන් සහ මහා රාජකීය බිරිඳ ලෙස මෙරිටාටන්ගේ නාමයන් කොට ඇත. මෙහි පියනේ ද බ‍ඳෙහි වූ රූපාක්ෂර පෙළම නැවත දක්නට ලැබේ.

අක්නාටන් සහ කිරුළක් පැළඳි කාන්තාවක වැනි රුවක් සහිත ශිලා ස්තම්භ ගණනාවක් හමුවී ඇත. මේවායින් බොහෝමයක් අභිලේඛනය කොට නොමැති අතර, තරමක් හානි වී ඇත. අක්නාටන් සහ සමරාජ්‍යාධිකාරිණියකගේ රුවක් මෙහි සංකේතාත්මකව නිරූපණය කොට තිබුණ ද, ඇගේ නාමය දැනගැනීමට අපොහොසත්ව ඇත.

එවැනි එක් ශිලාවක (බර්ලින් #17813 හෝ ඉහළ විභේදනයෙන් යුත් රූපය සංරක්ෂණය කළ පිටපත 2016-03-04 at the Wayback Machine) රාජකීය රූප ද්විත්වයක් ඇති අතර, ඒ රූ එකිනෙකාට සමීප භාවයකින් තොරව නිර්මාණය කොට ඇත. ඉන් එක් රුවක් ද්විත්ව කිරුළ පැළඳ සිටින අතර, ස්ත්‍රී ස්වරූපයක් ගන්නා අනෙක් රුව ඛෙප්රෙෂ් හෙවත් "නිල් කිරුළක්" පැළඳසිටියි. කෙසේනමුත්, මෙහි ඇති හිස් කාර්ටුෂ ත්‍රිත්වය හේතුවෙන් එමගින් රජකු සහ රැජිනක නිරූපණය වන බව සිතාගත හැක. මෙමගින් අදහස් වන්නේ නෙෆර්ටිටි ඇගේ කිරුළ අනුව සමරාජ්‍යාධිකාරී පදවියක් වැනි ධුරයක් උසුලා ඇති නමුත්, ද්විත්ව කාර්ටුෂය වැනි පූර්ණ පාරාවෝ ගෞරවය ඇයට හිමි නොවූ බවකි.[26]

බර්ලින් 25574 නැමැති තවත් ශිලාස්තම්භයක අක්නාටන් සහ සිය සුපුරුදු පැතලි මුදුනැති කිරුළ පැළඳි නෙෆර්ටිටිගේ රුව පැහැදිළිව දක්නට ලැබේ. එයට ඉහළින් හිස් කාර්ටුෂයන් සතරක් දක්නට ලැබේ. මෙය කාර්ටුෂ සතර රජවරුන් දෙදෙනකුගේ පදවි නාමයන් සටහන් කිරීමට තරම් ප්‍රමාණවත් ය. ඉන් එකක් පසුව ඇතුළු‍ කොට ඇති බව පෙනී යයි. නෙෆර්ටිටි රැජින සමරජ්‍යාධිකාරිණිය ලෙස හඳුනා ගැනීමට මෙය වැදගත් සාක්ෂියක් ලෙස නිකොලස් රීවස් දකියි. මෙම ශිලාව නිර්මාණය කිරීම ආරම්භ කළ සමයේ, ඇය අගබිසව/රැජින ධුරය ඉසිලූ හෙයින් ඇයව පැතලි මුදුනැති ශීර්ෂාවරණයෙන් නිරූපණය කොට ඇත. පසුව ඇය සමරාජ්‍යාධිකාරී ධුරයට ඔසවා තැබුණු හෙයින් රජවරුන් දෙදෙනකුගේ පදවි සටහන් කිරීමට තවත් කාර්ටුෂයක් එතැන නිර්මාණය කෙරිණි.[27]

මේ සම්බන්ධයෙන් වඩාත් වැදගත්ම ශිලා පුවරුව යැයි සැලකිය හැකි ශිලාවක් පවතින අතර, එයට එතරම් හානි වී නොතිබූ‍යේ නම් බොහෝ තොරතුරු හෙළි කරගත හැකිව තිබිණි. 1891දී, පෞද්ගලික එකතුවක තිබී ශිලාවක් සොයගැනුණු අතර එය දරනට පෙට්‍රී කෞතුකාගාරයේ, U.C.410 යන අංකනය යටතේ පවතියි. මෙම ශිලාව සමරාජ්‍යාධිකාරී ශිලාස්තම්භය ලෙස හඳුන්වයි. මෙම ශිලාවෙහි දර්ශ‍නයෙන් බොහෝ ප්‍රමාණයක් අද දක්නට නැත. නමුත් එහි අක්ෂර කියවිය හැකි තත්ත්වයේ පවතියි. එහි අක්නාටන්ගේ ද්විත්ව කාර්ටුෂය සමග අන්ඛ්ඛෙපෙරුරේ මෙරි-වේන්රේ නෙෆර්නෙෆරුආටන් අඛෙට්-එන්-හ්යෙස් ('ඇගේ සැමියා කෙරෙහි ක්‍රියාකාරී') ය්නන සඳහන් ය. මෙම ශිලාලේඛනයෙහි මුලින් නෙෆර්ටිටිගේ තනි කාර්ටුෂය තිබී ඇති අතර, පසුකලෙක එය මකා දමා මෙරිටාටන්ට සම්බන්ධව ද්කාව ඇත්තේ නෙෆර්නෙෆරුආටන් රජුගේ ද්විත්ව කාර්ටුෂය ඇතුළත් කිරීම පිණිසයි.[28]

නෙෆර්නෙෆරුආටන් රජුගේ අනන්‍යතාවය ද මතභේදයට ලක් වූ කරුණකි. ප්‍රධානව නැවත යෙදෙන සිහසුන් නාමය මත පදනම්ව මුල් කාලයේ ස්මෙන්ඛ්කරේ සහ නෙෆර්නෙෆරුආටන් යනු එකම තැනැත්තකු යැයි විශ්වාස කෙරුණ ද, වර්තමානයේ නෙෆර්නෙෆර්ආටන් යනු නෙෆර්ටිටි රැජින හෝ මෙරිටාටන් යැයි විශ්වාස කෙරේ.

අර්ථ කථන

සංස්කරණය

ස්මෙන්ඛ්‍කරේ සමරාජ්‍යාධිකාරිවරයකු සහ අනුප්‍රාප්තික රජකු බවට සැලකිය හැකි සාධක ඇතැයි මතයක් පවතියි. මෙම සංකල්පය ආරම්භ වූයේ දැනට වසර 100කට පමණ පෙර ස්මෙන්ඛ්කරේ සහ නෙෆර්නෙෆරුආටන් යනු එකම තැනැත්තකු යැයි යෝජනා වූ අවස්ථාවේ ය.[29] ස්මෙන්ඛ්කරේ සහ නෙෆර්නෙෆරුආටන් සඳහා වන සාක්ෂි මගින් එකම තැනැත්තකු නිරූපණය වන්නේ නම්, ඔහු/ඇය සමරාජ්‍යාධිකාරී සහ අනුප්‍රාප්තිකයා වූ බවට මධ්‍යස්ථ මතයක් ගොඩනැගෙනු ඇත.

මෙරිරේගේ සොහොන්ගැබෙහි අක්නාටන්ගේ බෑනා ලෙසත්, නිල් කිරුළ පැළඳ සිටින අයුරිනුත් ස්මෙන්ඛ්කරේව නිරූපණය කොට ඇති හෙයින්, ඇතැම් ඊජිප්තුවේදීහු ඔහු සමරාජ්‍යාධිකාරිවරයකු වූ බවට නිගමනය කරති. කෙසේනමුත්, ස්මෙන්ඛ්කරේ යන නාමය දක්නට ලැබෙන්නේ අක්නාටන් රාජ්‍ය සමය තුළ පමණකි.[30] එසේම ස්වාධීන රාජ්‍ය සමයයක් පිළිබඳ කිසිදු නිශ්චිත සාධකයක් හමු නොවේ.

නෙෆර්නෙෆරුආටන් යන නාමය මෙම අදහසය ඇතුළත් කළ වඩාත් නූතන අර්ථ නිරූපණයයි. මෙහි බොහෝ සාක්ෂි ලබාගෙන ඇත්තේ මකාදැමූ ශිලාලේඛනවලින් වන අතර, පසුගිය වසර 20 ඇතුළත ඇය තනි පුද්ගලයකු ලෙස බොහෝ පුරාවිද්‍යාඥයින් විසින් පිළිගනු ලබයි. ඇයව පිළිගැනුණේ මෑතක දී හෙයින් බොහෝ විශ්වකෝෂ, කෞතුකාගාර කාලානුක්‍රමයන් සහ සිතියම් ඇය පිළිබඳව සඳහන් කොට නැත. ඇය පිළිබඳ ගැටලුවේ දී, පායිරි ශිලාලේඛනය මගින් ස්වාධීන රාජ්‍ය සමයයක් සහ හවුල් පාලන යුගයක් පිළිබඳ සාක්ෂි දැරීම හේතුවෙන් මෙම ගැටලුව තවත් සංකීර්ණ වේ.

මේ නිසා අක්නාටන්ගේ සමරාජ්‍යාධිකාරිවරයා සහ අනුප්‍රාප්තිකයා යන කාරණයේ දී නොයෙකුත් අදහස් දරති.

ඒඩන් ඩොඩ්සන්, මෙරිරේ නිරූපණය ආධාර කරගනිමින් පවසන්නේ අක්නාටන්ගේ 13වන වර්ෂයේ සිට ස්මෙන්ඛ්කරේ කටයුතු කර ඇත්තේ සමරාජ්‍යාධිකාරිවරයකු ලෙස පමණක් බවයි. වසර කිහිපයකට පසුත් ඔහුගේ වත්ත තවමත් ක්‍රියාකාරීව පැවති බවට වූ වයින් ස‍ටහන ඔහු මෙයට සාක්ෂි ලෙස දක්වයි. අනතුරුව නෙෆර්ටිටි රැජින නෙෆර්නෙෆරුආටන් යන නාමයෙන් (ඇතැම්විටි කෙටි ගෞරව නාමයක් සහිතව) ඊළඟ සමරාජ්‍යාධිකාරී බවට පත් වේ. අනතුරුව ඇය අක්නාටන්ගෙන් පසු සිහසුනට පත් වේ.[31] මෑතක් වනතුරුම (පහළ බලන්න) මෙම තර්කයට විපක්ෂව වර්ෂය 13හි වාර්තාවෙන් පසු ඇය දක්නට නොලැබීම හේතුවෙන් නෙෆර්ටිටි මියගිය බවට වූ කාරණය ඉදිරිපත් විය.

අනෙක් අතින් විරුද නාමයන් සහ ශිලා ස්තම්භ පාදක කරගනිමින් ජේම්ස් ඇලන් සිතන්නේ අක්නාටන්ගේ අනුප්‍රාප්තික සමරාජ්‍යාධිකාරිවරයා නෙෆර්නෙෆරුආටන් බවයි. ඔහු අනුමාන කරන්නේ මේ වනවිට නෙෆර්ටිටි මියගොස් සිටි බවත්, ඇගේ දියණිය වූ නෙෆර්නෙෆරුආටන්-ටැෂෙරිට් (කුඩා හෙවත් "කනිෂ්ඨ" අරුතැති) රජු බවට පත් වූ බවත් ය. මේ සඳහා ඇගේ නාමයේ සමානත්වය ඔහු පාදක කරගනියි.[24] ඇගේ 2-3වන රාජ්‍ය වර්ෂයෙන් පසු ස්මෙන්ඛ්කරේ සිහසුනට පත් වේ.[24] ඔහු අනුමාන කරන්නේ මේ 'දෙදෙනාම' අක්නාටන්ගේ අනුප්‍රාප්තිකයන් වන්නට ඇති බවයි: නෙෆර්නෙෆරුආටන් යනු අක්නාටන්ගේ "තේරූ" අනුප්‍රාප්තිකයා විය. සතුරු රජකු වූ ස්මේනඛ්කරේ එම පුද්ගල නාමයම යොදාගන්නා ලද්දේ අක්නාටන්ගේ අනුමත කළ නොහැකි තේරීම අවලංගු කිරීමට විය හැක.[32]

තවත් සමහරුන් පවසන්නේ නෙෆර්නෙෆරුආටන් යනු මෙරිටාටන් බවයි. ඇය අරාජික සමයක අක්නාටන්ගෙන් පසු සිහසුනට පත්වන්නට ඇත. මාක් ගැබෝල්ඩි දීර්ඝ කාලයක සිට විශ්වාස කරන්නේ ඇය ස්මෙන්ඛ්කරේගේ මරණින් පසු නෙෆර්නෙෆරුආටන් යන නාමයෙන් රාජ්‍යය පාලනය කරන්නට ඇති බවයි. නමුත් මේ මතයට විරුද්ධව ඇති ප්‍රබලතම සාක්ෂිය නම් ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබෙන් හමුවූ මංජුසාවක අක්නාටන්, නෙෆර්නෙෆරුආටන් සහ මෙරිටාටන් යනු තිදෙනකු ලෙස සඳහන්ව තිබීමයි.[33]

සියලුම සාක්ෂිවලට අනුකූල වන්නේ මේ අතුරින් අනුප්‍රාප්තික මත කිහිපයක් පමණි. ඒ අතුරිනුත් එකම සිහසුන් නාමය භාවිතය පිළිබඳ කාලානුක්‍රමික පැහැදිළි කිරීම් විරළ ය. උදාහරණයක් ලෙස ඩොඩ්සන්, ස්මෙන්ඛ්කරේගේ කෙටි හවුල් පාලන සමය අක්නාටන්ගේ 13/14 වර්ෂයට යෝජනා කරයි. නමුත් ස්මෙන්ඛ්කරේ ශාලාව ඉදිවූයේ යැයි සැලකෙන්නේ 15වන වර්ෂයේ ය. මෙම ශාලාව දැවැන්ත එකක් නිසා එය නිසැකවම අන්ඛ්ඛෙපෙරුරේගේ සුවිශේෂී අවස්ථාවක් සඳහා ඉදිවූවක් වන්නට ඇත.

ස්මෙන්ඛ්කරේහට ඇලන් ලබා දී ඇති ස්ථානය එතරම් සුබදායී නැත. ඔහු විශ්වාස කරන්නේ වර්ෂය 13න් පසු අමර්ණ සොහොන්ගැබ්වල වැඩ නවතා දැමූ බවයි.[34][35] මේ නිසා IIවන මෙරිරේගේ සොහොන්ගැබේ ඇති ස්මෙන්ඛ්කරේ රජු ලෙස කළ නිරූපණය වර්ෂය 13ට අයත් ය. ඔහුගෙන් පසු නෙෆර්නෙෆරුආටන් සිහසුනට පත් වූ බව පෙනීයන්නේ තනි වයින් සටහන අනුව ය.

ගැබෝල්ඩිගේ මෙරිටාටන් කල්පිතය අනුව, පැනනැගෙන ප්‍රධාන ගැටලුව නම් විවිධ පෞද්ගලික ශිලාවන්හි අක්නාටන් සමග සමරාජ්‍යාධිකාරිණියක නිරූපණය කර තිබීමයි. නුම්ත මේ පැවසෙන තැනැත්තිය රාජ්‍ය කරන විට අක්නාටන් ජීවතුන් අතර නොසිටිය යුතු ය. ඔහු පවසන්නේ මේවා පෞද්ගලික වන්දනා ශිලා පුවරු බැවින් ඒවායින් නිරූපණය වන්නේ අතීතාවර්ජනයන් පමණක් බවයි. නමුත් ඇලන් පවසන්නේ මේවායේ ඇති එදිනෙදා අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් එමගින් නිරූපණය වන්නේ ජීවත් වන පුද්ගලයන් දෙදෙනකු බවයි.[23]

අන්ඛ්ඛෙපෙරුරේගේ දේවස්ථානය

සංස්කරණය

අන්ඛ්ඛෙපෙරුරේ යන රජවරුන් දෙදෙනාම පිළිබඳ මතයන් පලවීමට හේතු වූ එක් පුරාවිද්‍යාත්මක සාක්ෂියක් මෙසේ දැක්විය හැක. තීබානු සොහොන්ගැබ 139 (TT139) තුළින් හමු වූ රූපාක්ෂර ලේඛනයක් මෙසේ ඇරඹෙයි:

රාජ්‍ය වර්ෂය 3, ජලගැලුම් ඍතුවේ තෙවන මාසය, දිනය 10.

ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ, භූමි ද්විත්වයෙහි අධිපති අන්ඛ්ඛෙපෙරුරේ ආටන්ගේ ප්‍රියතමයා, රේගේ පුත්‍ර නෙෆර්නෙෆරුආටන්, වේන්රේගේ ප්‍රියයා.
අමුන්ට වන්දනා කිරීමෙන්, තීබ්ස්හි අන්ඛ්ඛෙපෙරුරේගේ මාලිග [දෙවොලේ], යොටෙෆ්සෙනෙබ්ට උපන්, ගිහි පූජක, අමුන්ගේ දිව්‍යමය පූජාවන්ගේ ලේකම් වෙනෙන්නෙෆර් සඳහා භූමිය සිප ගන්නා පාවාහ් විසිනි. ඔහු මෙසේ පවසයි:...[36]

මෙම ශිලාලේඛනය බොහෝවිට අන්ඛ්ඛෙපෙරුරේ නෙෆර්නෙෆරුආටන් රජ සමයට අයත් බව නිශ්චය කළ හැක්කේ එය පාලක රජුට ඍජු සම්බන්ධයක් දක්වා ඇති බැවිනි. ඇගේ තෙවන රාජ්‍ය වර්ෂයේ ඇය අන්ඛ්ඛෙපෙරුරේගේ මතකාගාර දෙවොලේ අමුන් දෙවයන් වෙනුවෙන් පූජාවක් කළ බව සඳහන් වේ. ඇගේ තෙවන රාජ්‍ය වර්ෂය වන විට අක්නාටන්ගේ මරණය සිදු වී වර්ෂ 3–5ක් පමණ ගත වී ඇති බව පැහැදිළි ය. මේ වන විට අමුන් වන්දනාවට පනවා තිබූ තහනම ඉවත් කෙරුණු අතර, අමර්ණ වෙත යළි අමුන් වන්දනාව පිවිසෙමින් පැවතිණි.

නමුත් මෙය කාගේ දෙවොලන් ද යන්න මතභේදාත්මක ය. එය අන්ඛ්ඛෙපෙරුරේ ස්මෙන්ඛ්කරේගේ ද නැතහොත් නෙෆර්නෙෆරුආටන්ගේ ද? "ඇලන් නීතිය" අනුව මෙම නාමය විරුදයන් කිසිවක් නොදරන බැවින් මෙය ස්මෙන්ඛ්කරේගේ දෙවොලක් බව වටහාගත හැක. මේ නිගමනයට එළඹෙන ඩොඩ්සන් පවසන්නේ "අක්නාටන්ගේ පළමු සමරාජ්‍යාධිකාරීවරයා [ස්මෙන්ඛ්කරේ] අමුන් වන්දනාව සමග සබැඳීමක්" බවයි.[37] මෙය සත්‍යයක් වේ නම් ස්මෙන්ඛ්කරේ නෙෆර්නෙෆර්නෙෆරුආටන්ට පෙර රාජ්‍යත්වයට පත් වූ බව පෙනේ. ඒ නිසායි, ඇගේ තෙවන රාජ්‍ය වර්ෂය වනවිටත් ඔහුගේ සිහසුන් නාමය සහිතව දෙවොල ඉදිව තිබූයේ.

අනෙක් අතින්, ඇලන් මෙම දෙවොල "ඇතැම්විට ඇගේ මතකාගාර දෙවොල" (අවධාරණය කොට ඇත) යැයි පවසා ඇත්තේ ඔහු විසින්ම ඉදිරිපත් කළ ඔහු‍ගේ ස්වාධීන "පාලනය" පිළිබඳ තර්කය අමතක කොට ය.[38] මෙය ඇගේ විරුද නාමයන් නොයෙදූ අනන්‍ය අවස්ථාවක් වන්නට ද ඇත. වරද ප්‍රතිශෝධනය කරමින්, අමෙන් දේවස්ථානයක අක්නාටන්ට සම්බන්ධයක් යෙදීම එතරම් උචිත නොවන යෙදුමක් බව පෙනේ. මෙයට සරලම පැහැදිළි කිරීම නම් අමුන් දෙවොලක් හෝ තම නාමයෙන් මතකාගාර දේවස්ථානයක් ඉදි කිරීම අමුන් වන්දනාව නගා සිටුවීමට කළ හැකි හොඳම කර්තව්‍යයක් ලෙස සලකා ඇති බවයි. මෙය ඇගේ දෙවොල වූයේ නම් කාලානුක්‍රම අනුපිළිවෙල වටහා ගැනීමට ඉන් අනුබලයක් නොලැබේ. නමුත් එමගින් අක්නාටන්ගේ රාජය සමයෙන් පසු ස්මෙන්ඛ්කරේගේ අසහාය රාජ්‍ය සමය පිළිබඳ මතය ඉවත් කෙරෙයි.

16වන වර්ෂයට අයත් පුවරු ලිපිය තුළ නෙෆර්ටිටි

සංස්කරණය

2012 දෙසැම්බර් මස, ල්‍යුවන් පුරාවිද්‍යා සභාව නිවේදනය කළේ අමර්ණහි ඉදිකිරීම් ව්‍යාපෘතියක් පිළිබඳ සඳහන් ශිලාලේඛනයක් හුනුගල් වැඩපලකින් සොයාගෙන ඇති බවයි. මෙම පුවරුව දැඩිව හානියට පත්ව තිබුණත් ආචාර්ය උපාධි ශිෂ්‍යාවක වූ ඇතීනා වැන් ඩර් පෙරී විසින් මෙය අක්නාටන්ගේ දහසයවන රාජ්‍ය වර්ෂයට අයත් බවත්, ඒ වන විටත් නෙෆර්ටිටි අගබිසව ලෙස සිටි බව එහි සඳහන් වන බව අනාවරණය කරගත්තා ය. මෙම ශිලාලේඛනය නිල වශයෙන් මුද්‍රණය හෝ අධ්‍යයනය කොට නොමැති අතර, මේ පිළිබඳ තොරතුරු අනාවරණය කෙරුණේ මාධ්‍ය සාකච්ඡාවක දී ය.[39]

මේ වන විට, මෙම ශිලාලේඛනයේ සත්‍යභාවය සනාථ කරගෙන ඇති අතර, අක්නාටන්ගේ 16වන වර්ෂයේත් නෙෆර්ටිටි ජීවත්ව සිට ඇති බව ඉන් පැහැදිළිව වටහාගත හැක. නමුත් ඇය ඒ වන විට සිය සැමියාගේ අගබිසව යන ධුරය පමණක් ඉසිලූ බව පෙනෙන්නට තිබේ.[40] අවම වශයෙන් මෙමගින් අක්නාටන්ගේ 13/14 වර්ෂයේ පමණ ඇය මියගිය බවට වූ මතය මින් බිඳ වැටේ. වර්ෂය 17 අක්නාටන්ගේ අවසන් වර්ෂයයි. සමරාජ්‍යාධිකාරී ශිලාවේ (UC 410) වෙනස්කම් අනුව පෙනෙන්නේ, එයට රාජ්‍යාධිකාරිණියගේ පදවිය පිළිබඳ සටහන ඇතුළත් කළ කාලයේ නෙෆර්ටිටි අක්නාටන් වෙනුවට වැඩබලා ඇති බවයි.

මෙම නව සාක්ෂියත් සමග ඊජිප්තුවේදීන් ගන්නා ඊළඟ පියවර දෙස බලා සිටිය යුතුව ඇත. මෙහි රජු සහ රැජින ලෙස සඳහන්ව තිබුණ ද, සමරාජ්‍යාධිකාරී පදවියක් පිළිබඳ සඳහන්ව නොමැති හෙයින්, හවුල් පාලන සමයක් පිළිබඳ අදහස් ඉදිරිපත් වුවද, එම සමය වසරක් හෝ ඊට අඩු කාලයකට සීමා කිරීමට සිදු වේ.

දඛමුන්සු හිටයිට් සබඳතාව

සංස්කරණය
බලන්න: දඛමුන්සු ලිපිය

සුපිලුලියුමාගේ ක්‍රියා නැමැති කෘතිය සුපිලුලියුමාගේ පුත් IIවන මුර්සිලි විසින් ලියන ලද්දකි. මෙම කෘතිය ඇතැම් අවස්ථාවල ඊජිප්තුවේ අනුප්‍රාප්ති අනුපිළිවෙල ගළපා ගැනීමට භාවිතා කරනු ලැබේ. මෙම කථාපුවත සම්බන්ධයෙන් නොයෙකුත් අනුප්‍රාප්ති වාදයන් ඉදිරිපත් වී ඇත.

මෙම කථාවෙන් කියැවෙන්නේ දඛමුන්සු නැමැති ඊජිප්තු රැජිනක විසින් සුපිලුලියුමාට ලිපියක් යැවූ පුවතකි. ඇය ඔහුට දන්වා එවූයේ සිය සැමියා වූ රජු, නිභුරුරියා මියගොස් ඇති බවයි. මේ නිසා ඇය, ඔහුගෙන් ඔහුගේ පුත්‍රයකු තමන්ට විවාහ කරගැනීම පිණිස එවන මෙන් ඉල්ලා සිටියි. ඇය පවසන්නේ 'ඇයට පුතුන් නැති නිසාත් සහ ඔහුට පුතුන් රැසක් සිටි නිසාත්' ඇය සමග විවාහ වීමෙන් ඔහුගේ පුත්‍රයා 'ඊජිප්තුවේ රජු බවට පත්වන' බවයි. මේ පිළිබඳ විමසිලිමත් වන හිටයිට් රජු සිහසුනට පුරුෂ උරුමකරුවකු නොමැති දැයි සහතික කරගැනීමට දූතයන් පිටත් කර හරියි. නැවත වරක් සුපිලුලියුමා වෙත ලිපියක් එවන රැජින තමන් මුසා පවසන්නේ යැයි සැක කිරීම පිළිබඳ දෝෂාරෝපණය කරන අතර, ඇය පවසන්නේ තමන් "සේවකයකු" හා විවාහ වීම පිළිකුල් කරන බවයි. සුපිලුලියුමා සිය එක් පුත්‍රයකු වන සනන්සා ඊජිප්තුව වෙත පිටත් කරහරියි. නමුත් පිටත් වී මඳ කලෙකින් ඔහු මිය යයි. ඇගේ සැලසුම විනාශ කිරීමේ අරමුණින් යම් පිරිසක් ඔහුව ඊජිප්තු දේශසීමාවේ දී මරාදැමූ බවට උපකල්පන ඉදිරිපත් වී ඇත. නමුත් ඔහු මියගිය දිනය, ස්ථානය හෝ ඔහු ඝාතනය වූයේ ද යන්න පිළිබඳ පවා කිසිදු සාධකයක් හමු නොවේ. ඇතැම්විට ඔහු ගමනේදී සිදු වූ මාරක අනතුරක් හෝ රෝගයක් හේතුවෙන් මරණයට පත්වන්නට ඇත.

සම්ප්‍රදායිකව මෙම දඛමුන්සු (රජුගේ බිරිය යන අරුතැති තා හෙමෙට් නෙසු යන්නෙහි හිටයිට් පරිවර්තනයක් විය හැක) යනු අන්ඛෙසෙනමුන් යැයි පිළිගැනේ. එයට හේතුව ඇයට පුත්‍රයන් නොමැති වීමත්, පසුව ඇයට "සේවක" ආයි සමග විවාහ වන්නට සිදුවීමත් ය. එසේ වී නම් මියගිය රජු නිභුරු‍රියා යන්න ටුටන්ඛාමුන්ගේ සිහසුන් නාමය වූ නෙබ්ඛෙපෙරුරේ යන්න අදහස් කළා විය හැක. ඇතැමුන් පවසන්නේ නිභුරුරියා යන්න නෙෆර්ඛෙපෙරුරේ (අක්නාටන්) යන්නෙන් බිඳීආවක් බවයි. නිශ්චිතවම 18වන රාජවංශ යුගයේ X-ඛෙපෙර්-උ-රේ වැනි ප්‍රභේදන පැවතීම හේතුවෙන් මෙය සිදුවිය හැක්කකි. මේ යුගයේ පිරිමි රජුන් අතුරින්, ස්මෙන්ඛ්කරේ සිය සිහසුන් නාමයෙන් රාජ්‍ය පාලනය කරන්නට ඇති අතර, ඔහුගේ නාමය අනහුරියා වැනි වදනකට පරිවර්තනය වන්නට ඇත.[41]

දඛමුන්සු කතාපුවත පිළිබඳ ජැරඩ් මිලර් පවසන්නේ "‘සේවකයා’ යන යෙදුම සැබැවින්ම එහි අරුතට වඩා අපහාසාත්මක යෙදුමක් ලෙස භාවිතා වී ඇති බවයි. මෙය ඇයව විවාහ කරගන්නට අදහස් කළ සැබෑ පුද්ගලයා (හෝ පුද්ගලයන්ට) යොදන්නට ඇත." මෙම 'සේවකයා' යන යෙදුම මගින් ආයි අදහස් නොවේ නම්, මෙම රැජිනියට උචිත පුද්ගලයන් ලෙස මෙරිටාටන් සහ නෙෆර්ටිටිගේ නම් ද යෝජනා වේ..[42] සිය සැලසුම සාර්ථක කරගන්නට මේ "සේවකයා" සමග විවාහය කල්දැමීම‍ට තරම් රැජිනට විශාල බලයක් පැවතිය යුතු ය. නැතහොත් බලවත් ආධාරකරුවන්ගේ අනුබලය ඇයට හිමිව තිබිය යුතු ය.[43] බැබිලෝනියානුවකුට වඩා හිටයිට් කුමරකුට රැජින ප්‍රිය කිරීමට හිටයිට් රජුන් යටතේ ප්‍රමුඛව පැවති සූර්ය දේව වන්දනාව ද හේතු වන්නට ඇති බව මිලර් පවසයි.[44]

නෙෆර්ටිටි

සංස්කරණය

රීවස් දකින්නේ දඛමුන්සු යනු නෙෆර්ටිටි බවයි. සිය සැමියා සමග වර්ෂ 17ක් රාජ්‍ය පානය කිරීමෙන් පසු, ඇයට ප්‍රමාණවත් බලයක් සහ ආධාරකරුවන් පිරිසක් සිටින්නට ඇත.[45] ඇය ඇතැම්විට නෙෆර්නෙෆරුආටන් ලෙස රාජ්‍ය පාලනය කළා වුවද, ඇය ලිපිය ලියන්නේ රැජිනක ලෙසයි. එයට හේතුව ඇය සිය රූකඩ පාලකයා ආරක්ෂා කරගැනීමට හෝ ඇතැම්විට අක්නාටන් සමග ගෙනගිය ආකාරයේ හවුල් පාලනයක් ගෙන ගිය හෙයින් විය හැකියි.

එසේ වූයේ නම් නෙෆර්ටිටිට තිබූ බලවත්ම අභියෝගය සුපිලුලියුමාගේ දූතයන්ගෙන් සිය පෙළපතේ විසූ පුරුෂ උරුමකරුවා වසන් කර තබා ගැනීමයි. ටුටන්ඛාමුන් සහ ස්මෙන්ඛ්කරේ පිළිබඳ සිපිලුලියුමා දැන සිටියා නම්, ඔහු මේ කුමන්ත්‍රණය උදෙසා සිය පුත්‍රයාගේ දිවිය අනතුරේ හෙළීමට තරම් අනුකම්පා විරහිත පුද්ගලයකු වන්නට ඇතැයි පැවසේ.[46] අනෙක් අතට, සුපිලුලියුමා හිරු දෙවියන් කෙරෙහි දැක්වූ භක්තිය වැනි හිටයිට්වරුන්ගේ සුළු තොරතුරු පිළිබඳ පවා නෙෆර්ටිටි දැඩි අවධානයක් යොමු කළ බව මෙම කල්පිතයෙන් යෝජනා වේ.[44]

මෙරිටාටන්

සංස්කරණය

ටුටන්ඛාමුන්ගේ සොහොන්ගැබෙන් හමුවූ මංජුසාවේ සටහන සලකා අක්නාටන්ගේ අවසන් රාජ්‍ය සමයේ මෙරිටාටන් නෙෆර්ටිටි රැජින ඉසිලූ මහා රාජකීය භාර්යා තනතුරුට පත්වූ බව යෝජනා වී ඇත. මාක් ගැබෝල්ඩි සිය ලිපි ගණනාවකම යෝජනා කරන්නේ මෙරිටාටන් යනු දඛමුන්සු බවත්, මියගිය රජු අක්නාටන් බවත් ය. ඔහු කල්පනා කරන්නේ සනන්සා සිය ගමන සාර්ථකව අවසන් ‍කළ බවත්, ඔහු මියගියේ ස්මෙන්ඛ්කරේ ලෙස සිහසුනට පත්වීමෙන් පසු බවත් ය. ස්මෙන්ඛ්කරේ/සනන්සාගේ මරණින් පසු මෙරිටාටන් නෙෆර්නෙෆරුආටන් ලෙස සිහසුනට පත් වන්නට ඇත.

මෙරිටාටන් මේ සඳහා නොගැළපෙන බව පැවසෙන්නේ අක්නාටන්ගේ මරණය සිදුවන කාලයේ ඇගේ වයස අවුරුදු 20ක් පමණ වූ හෙයිනි. නමුත් ඒ හා සැසඳීමේ දී, අන්ඛෙසෙනමුන් 25වන වියේ පමණ පසු වූ අතර, ඇය අගබිසව ලෙස අවුරුදු 10ක් පමණ සේවය කරන්නට ඇත. යොවුන් මෙරිටාටන් සුපිලුලියුමාව මුලා කිරීමට තරම් සූක්ෂ්ම වූ බව විශ්වාස කළ නොහැකි ය. එසේම ඇය 'සේවකයකු' හා විවාහ වීමට යෝජිතව සිටිය දී, ටුටන්ඛාටන් යන උරුමකරුගේ පැවැත්ම සැඟවීම කළ නොහැක්කක් බව පෙනේ.

අන්ඛෙසෙනමුන්

සංස්කරණය

අන්ඛෙසෙනමුන් මෙම රැජින සඳහා යෝග්‍ය බවට ආධාර ලෙස ටුටන්ඛාමුන් පිළිබඳ සාධක ද ඉදිරිපත් කළ හැක. හිටයිට් මූලාශ්‍ර අනුව පෙනෙන්නේ ඔහු මියගොස් ඇත්තේ වර්ෂා සමයේ බවයි. මෙම හිටයිට් මූලාශ්‍ර ඇතැම්විට අසත්‍ය විය හැක. නමුත් ඔහුගේ සොහොන්ගැබේ ඇති කැටයම් ද හිටයිට් මූලාශ්‍රවල කරුණු සනාථ කරයි. එහෙත් කෝන්ෆ්ලවර් ළය පළඳනාව මගින් පෙනීයන්නේ අප්‍රේල් හෝ මැයි වනතෙක්ම ඔහුව භූමදාන නොකෙරුණු බවයි.[47] එය එසේ වී නම්, ලිපි ලිවීම සහ සංචාරය සඳහා කාලයක් තිබෙන්නට ඇත. අන්ඛෙසෙනමුන්හට ආයි හෝ හොරෙම්හෙබ් හෝ ඒ දෙදෙනාගේම සහාය හිමි වූයේ නම් ඇයගේ කාර්යය පහසු වන්නට ඇත. නමුත් මෙහි භූමදානය ප්‍රමාද වීමට හේතුව ලෙස සරලව, ඔහුගේ අනපේක්ෂිත මරණය සහ සොහොන්ගැබ අසම්පූර්ණ වීම දැක්විය හැක.

දඛමුන්සු/සනන්සා සම්බන්ධය පිළිබඳ තොරතුරු හමුවන්නේ හිටයිට් මූලාශ්‍රවලින් පමණි. එසේම ඒවා ලියැවී ඇත්තේ එම සිදුවීමෙන් වසර ගණනාවකට පසුවයි. නමුත් ඇතැම්විට මෙහි රචක මුර්සුලි ඉතිහාසගත තොරතුරු මඳක් වෙනස් කරමින්, මෙම පවාදයේ සම්පූර්ණ වගකීම ඊජිප්තුවරුන් වෙත පවරන්නට උත්සාහ ගත්තා විය හැක.[48] මේ හේතුවෙන් මෙම තොරතුරු විශ්වාසනීය නොවිය හැක.

රාජ්‍ය සමය

සංස්කරණය

ස්මෙන්ඛ්කරේගේ රාජ්‍ය සමය පිළිබඳ සඳහන් එකම වාර්තාව (වර්ෂය 1) හිමිවන්නේ "ස්මෙන්ඛ්කරේගේ ගෘහයේ" වයින් සටහනෙනි. මෙම දිනය ස්මෙන්ඛ්කරේගේ හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයාගේ විය හැක. නමුත් ඔහු වසරකට වඩා වැඩි කාලයක් රාජ්‍ය පාලනය කළේ ද යන්න සැක සහිත ය.[49] ඉහත සඳහන් කළ පරිදි, ඩොඩ්සන් දකින්නේ අක්නාටන්ගේ 13වන වර්ෂ‍ය ආරම්භයේ ස්මෙන්ඛ්කරේ සමරාජ්‍යාධිකාරී ධුරය ඉසිලූ බවත්, ස්වාධීන පාලන සමයක් නොතිබූ බවත් ය.[50] නමුත් ඇලන්ගේ අදහස වන්නේ ස්මෙන්ඛ්කරේ යනු නෙෆර්නෙෆරුආටන්ගේ අනප්‍රාප්තිකයා බවයි.[24]

ස්මෙන්ඛ්කරේහට වර්ෂ 2හෝ 3ක රාජ්‍ය සමයයක් පැවතිය හැකි යැයි විශ්වාස කරන විද්වත්හු ද වෙති. අමඒණ නගරයෙන් හමු වූ වයින් සටහන් කිහිපයක රාජ්‍ය වර්ෂ 2සහ 3 සඳහන්ව ඇති මුත්, රජුගේ නාමය දක්නට නොලැබේ. ඉතා සුළු ඊජිප්තුවේදීන් පිරිසක්[51] මේවා ස්මෙන්ඛ්කරේට අයත් යැයි සැක කරති. කෙසේනමුත්, මේවා තවමත් විවාදයට විවෘතව පවතින අතර, එය ස්ථිර නැත.[52]

ස්මෙන්ඛ්කරේගේ ස්වාධීන පාලන සමයක් සඳහා පැහැදිළි සාක්ෂි මෙතෙක් හමුව නැත.

මරණය සහ භූමදානය

සංස්කරණය
 
KV55 සොහොන්ගැබෙන් හමු වූ හානි වූ රාජකීය මිනීපෙට්ටිය

1907දී, තියඩෝර් එම්. ඩේවිස් වෙනුවෙන් රජුන්ගේ නිම්නයේ කැනීම් කරමින් සිටිය දී, එඩ්වඩ් ආර්. අයිර්ටන් විසින් නව සොහොන්ගැබක් අනාවරණය කරගන්නා ලදී. මේ තුළින් හමු වූ අවමංගල භාණ්ඩ විවිධ පුද්ගලයන්ට අයත් ඒවා විය. මේ අතර විශේෂයෙන්ම ටියේ රැජින වෙනුවෙන් අක්නාටන් විසින් ඉදිකළ පූජාසනයක් සහ මමියක් ද විය. මේ හේතුවෙන් ඩේවිස් මෙය ටියේ රැජිනගේ සොහොන්ගැබ යැයි ප්‍රකාශ කළ අතර, එයට වඩාත් යෝජනා වූයේ KV55 සොහොන්ගැබයි. මෙම සොහොන්ගැබ ඇතැම් අවස්ථාවල මෙය තිප්පළක් ලෙස හඳුන්වන්නට වූයේ මෙහි විවිධ පුද්ගලයන්ට අයත් භාණ්ඩ අන්තර්ගත වූ නිසාවෙනි. උදාහරණයක් ලෙස මෙහි පූජාසනය ටියේ වෙනුවෙනි. එසේම අක්නාටන්ගේ නාමය සහිත 'මායා ගඩොලු' මෙන්ම, කියා නැමැත්තියට අයත් යැයි සැලකිය හැකි ඇලබැස්ටර් කැනපික් බුජම් ද විය.

මෙහි වූ මමිය සුවිශේෂී වැදගත්කමකින් යුක්ත විය. මෙහි මිනීපෙට්ටිය විනාශ කොට තිබූ අතර, එහි අයිතිකරුගේ නාමය ඉවත් කර තිබිණි. නමුත් එම මිනී පෙට්ටිය 18වන රාජවංශයේ රිෂි සම්ප්‍රදායයෙන් නිමවා තිබිණි. සාමාන්‍යයෙන් පිළිගැනෙන මතය නම් මෙම මිනීපෙට්ටිය මුලින් නිර්මාණය වූයේ කාන්තාවක සඳහා බවයි. බොහෝවිට එය අක්නාටන්ගේ බිරියක වූ කියා සඳහා වන්නට ඇත. පසුව එය පුරුෂයකු සඳහා භාවිතයට ගැනීමට වෙනස් කොට තිබේ.[53] පසුගිය සියවස පුරාවට මෙම මමියේ හිමිකරුවා ලෙස යෝජනා වී ඇත්තේ ප්‍රධානව අක්නාටන් හෝ ස්මෙන්ඛ්කරේගේ නම් ය.[54][55][56]

අක්නාටන් පිළිබඳ තර්කය බොහෝ සෙයින් ගොඩනැගී ඇත්තේ 'මායා ගඩොලු' සහ මිනීපෙට්ටියේ ඇතැම් පාඨයන් වෙනස් කර තිබීම හේතුවෙනි‍. ස්මෙන්ඛ්කරේගේ නාමය යෝජනා වී ඇත්තේ ප්‍රධාන වශයෙන් මමියේ අනුමාන වයස (පහළ බලන්න) වන 18–26 අගය වසර 17ක් රාජ්‍ය පාලනය කළ සහ සිය පළමු රාජ්‍ය වර්ෂයේ දරුවකුට උපත දුන් අක්නාටන්ට නොගැළපෙන හෙයිනි. මෙම මමිය ස්මෙන්ඛ්කරේගේ යැයි හඳුනාගැනීමට සොහොන්ගැබෙන් කිසිදු ධනාත්මක සාක්ෂියක් නොලැබෙන අතර, ඔහුගේ නාමයවත් එහිදී හමු වී නොමැත. මෙම සොහොන්ගැබ නිශ්චිතවම වෙනත් රජකුට නොගැළපෙන අතර, අක්නාටන්ට ද ගැළපේ යැයි සිතිය හැක්කේ මඳ වශයෙනි.

මමිය පිළිබඳ මුල්කාලීන අධ්‍යයන

සංස්කරණය
 
KV55 මමියේ හිස්කබල; මෙය ස්මෙන්ඛ්කරේගේ යැයි විශ්වාස කෙරේ.

වසර ගණනාවක් පුරා මෙම ඇටසැකිල්ලක් බවට පත්ව තිබූ මමිය පිළිබඳ පර්යේෂණ සිදු කරන ලදී. මේ අතර ස්මිත් (1912), ඩෙරී (1931), හැරිසන් (1966), ස්ට්‍රෝහැල් (1998/2010) සහ ෆයිලර් (2001) යන විද්වතුන් වේ. වෙන්ට් විසින් 1995 දී 18න රාජවංශයේ බොහෝ පාරාවෝවරුන්ගේ මමී ගණනාවක කපලවක්ත්‍ර විශ්ලේෂණයක් (එසේම පසුගිය X-කිරණ සටහන් ද අධ්‍යයනය කරමින්) සිදුකළේ ඒවායේ බන්ධුතා හඳුනාගෙන සැබෑ අනන්‍යතාව හඳුනා ගැනීමටයි. KV55 මමියේ ශේෂයන් සහ ටුටන්ඛාමුන්ගේ මමියේ මස්තු විද්‍යාත්මක අධ්‍යයන නේචර් (1974) සඟරාව ඔස්සේ ප්‍රකාශයට පත්කෙරිණි. මෙම KV55 මමිය 1988දී හැරිස් විසින් ද අධ්‍යයනය කළ නමුත් ප්‍රකාශයට පත්කෙරු‍ණේ එහි ප්‍රතිඵලවල සාරාංශයක් පමණි. වඩාත් මෑතකදී එනම් 2010දී හවාස්, ගැඩ් ඇතුළු පිරිස විසින් මෙම මමිය අධ්‍යයනය කරන ලදී.

2010ට පෙර අධ්‍යයනවලින් ෆයිලර්ගේ නිගමන ආදර්ශයට ගෙන තිබේ. ඒ අනුව යෝජනා වූයේ "...මෙම මිනිසා සම්බූර්ණයෙන් පරිණත වැඩිහිටියකු නොවේ. ඔහු මියයන විට 18 සහ 21 අතර වියේ පසුවන්නට ඇත." ඇය මෙසේ නිගමනය කරන ලදී:

55 සොහොන්ගැබේ ඇති මානය ශේෂයන් මා හට ඉදරිපත් කළ ආකාරයටම, දෘශ්‍යමාන අසාමාන්‍යතාවන්ගෙන් තොර තරුණ මිනිසකුගේ ය. ඔහු මියයන විට සිය විසිවන වියෙහි මුල් කාලයට එළඹ නොතිබූ අතර, ඊට වසර කිහිපයක් ලාබාල බව සිතිය හැකියි.[57]

මේවා එකල පැවති ක්‍රමවේද අනුව බොහෝ විට පසුගිය ප්‍රතිඵල සමග සැස‍ඳේ. (වර්ෂ 18–26) උදාහරණයක් ලෙස, ඩෙරී නිගමනය කළේ 23ක පමණ වයසක් වන අතර, ස්ට්‍රෝහැල් ලබා දී තිබුණේ 19 සිට 22 දක්වා වයස් සීමාවකි.[58] වෙන්ට්ගේ අධ්‍යයනය මගින් ටුටන්ඛාමුන්ගේ මමිය, KV55 සහ IVවන තුත්මෝස්ගේ මමී අතර, සමීප කපාල සමානතා අනාවරණය කරගන්නා ලදී.[59] මස්තු විද්‍යාත්මක පරීක්ෂණ මගින් පැහැදිළි වූයේ KV55 සහ ටුටන්ඛාමුන් එකම දුර්ලභ රුධිර ගණය දැරූවන් බවයි.[60] මේ ප්‍රතිඵල සමග KV55 මමිය ටුටන්ඛාමුන්ගේ පියා හෝ සොහොයුරා ලෙස අනුමාන කෙරිණි. මොහු බොහෝ විට සොහොයුරා විය හැකි යැයි උපකල්පනය කෙරුණේ වයස අනුවයි.

2010 ජාන පරීක්ෂා

සංස්කරණය

2010දී, ජාන පරීක්ෂා සහ CT පරිලෝකනයන් සිදුකෙරුණු අතර, ඒවායේ සමහර ප්‍රතිඵල JAMA සහ නැෂනල් ජියෝග්‍රැෆික් සඟරා ඔස්සේ ප්‍රකාශයට පත්කෙරිණි. එසේම විශේෂ රූපවාහිනී වැඩස‍ටහනක් ද විකාශය කෙරිණි.[61] මෙම ජාන පරීක්ෂාවේ ප්‍රධාන ප්‍රතිඵලයක් වූයේ සංඛ්‍යානමය විශ්ලේෂණය අනුව අනාවරණය වූයේ KV55 මමිය ටුටන්ඛාමුන්ගේ පියා වීමට (99.99999981%ක සම්භාවිතාවක්) ‍බොහෝදුරට ඉඩ ඇති බවයි; ‍එසේම KV35 සොහොන් ගැබෙහි ලාබාල යුවතිය මමිය ඔහුගේ මව ලෙස (99.99999997%ක සම්භාවිතාවක්) සැලකිය හැකි බවයි."[62] එසේම මෙම වාර්තාව මගින් KV55 සහ KV35 ලාබාල යුවතිය සහෝදරයා සහ සහෝදරිය බවත්, ඔවුන් IIIවන අමෙන්හොටෙප් රජු සහ ටියේ රැජිනගේ දරුවන් බවත් අනාවරණය කෙරිණි.[63]

CT පරිලෝකන මගින් එම මියයන විට එම මමිය හිමි තැනැත්තාගේ වයස පෙර ඇස්තමේන්තුවලට වඩා බෙහෙවින් ඉහළ බව පෙනී ගියේ ය.

KV55 මමියේ නව CT පරිලෝකන මගින් අනාවරණය වන්නේ කශේරුවේ වයස හා සම්බන්ධ පරිහානි තත්වයක් පැවති බවත්, දණිස් සහ පාදවල අස්ථිපර්වදාහය (ඔස්ටියෝආත්රයිටිස්) පැවතී ඇති බවත් ය. මෙම මිනිසා මුලින් සිතූ පරිදි 25වන වියට වඩා 40ට ආසන්න වයසක දී මියගිය බව පෙනේ. මෙසේ වයස් විසංගතතාව විස‍ඳෙන විට, අපට නිගමනය කළ හැක්කේ මෙම KV55 මමිය IIIවන අමේනහොටෙප් සහ ටියේ රැජිනගේ පුත්‍රයකුගේ බවත්, ටුටන්ඛාමුන්ගේ පියාගේ බවත් ය. එය එසේ වී නම් මෙම මමිය නිශ්චිතවම අක්නාටන්ට අයත් විය යුතු ය. (අප ස්මෙන්ඛ්කරේ පිළිබඳ දන්නේ ඉතා ස්වල්පයක් බැවින්, මෙය ඔහුගේ නොවේය කියා සම්පූර්ණයෙන් පැවසිය නොහැක.)[64]

කශේරුවේ පරිහානි තත්ත්වයෙන් ඔබ්බට පැරණි මතයන් සනාථ කිරීමට සාධක හමු නොවිණි. මමියේ වයස සහ KV55 මමිය අක්නාටන්ගේ යැයි පිළිගැනීම පිළිබඳ පරිණත වෙමින් පැවති සිරුරක් පිළිබඳ අදහස නිසා වාදවිවාද ඇති විය.[58][65][66][67][68][69][70][71] ෆයිලර් සහ ස්ට්‍රෝහැල් (පහළ) ඇට සැකිල්ලේ අඩු වයස නිර්ණයට බහුවිධ සාධක යොදාගෙන තිබුණත්, නව අනාවරණ මගින් එක් සාධකයක් පමණක් දක්වමින් එය වඩා වැඩි වයසකට අයත් බව ප්‍රකාශ කරයි. මේ බව සැක කරමින් JAMA සංස්කාරකවරුන්ට ඇරිසෝනා ප්‍රාන්ත විශ්වද්‍යාලීය ජෛවපුරාවිද්‍යාඥවරියක වූ බ්‍රෙන්ඩා ජේ. බේකර්ගෙන් ලිපියක් ලැබිණි. මෙහි අන්තර්ගතය පුරාවිද්‍යා පුවත් ජාලයේ වෙබ්අඩවිය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙහි ඇගේ අදහසක් පහත දැක් වේ:

මානව අස්ථිවේදය සහ පුරාව්‍යාධිවේදය පිළිබඳ විශේෂඥයකු වන බේකර් KV55 සැකිල්ලක් බවට පත් වූ මමිය ටුටන්ඛාමුන්ගේ පියා වූ අක්නාටන්ගේ යැයි නිර්ණය කිරීම පිළිබඳ වාද කරයි. කතුවරුන් [JAMAහි හවාස් ඇතුළු පිරිස] මෙම පුද්ගලයාගේ වයස 35–45 ලෙස දක්වා ඇත. නමුත් ඔවුන් පෙර පැවති සුප්‍රකට අධ්‍යයන මගින් 18-26 පරාසයේ යැයි නිගමනය ප්‍රතික්ෂේප කරන්නේ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරමිනි‍.

මෙම පැරණි විශ්ලේෂණ – ලිඛිත විස්තර, ඡායාරූප සහ විකිරණ රේඛයන් දක්වමින් විස්තර කරඇත්තේ සැකිල්ල පුරා සංයෝජිත සහ සංයෝජනය නොවූ අපිවර්ධ (වර්ධනය වන අස්ථිවල අග්‍රයේ ඇති කොපු ආකාර ව්‍යූහය) රටාවක් පෙන්වන බවයි. මේ හේතුවෙන් එය මරණයට පත්වන විට අක්නාටන් පසුවූ වයසට වඩා ලාබාල මිනිසකුට අයත් බව විශ්වාස කෙරිණි. මීට අමතරව බේකර් මෙම ඇට සැකිල්ලේ ශ්‍රෝණියේ යුනිකාස්ථියෝගයේ ඡායාරූපයක් ඉදිරිපත් කරමින් පවසන්නේ, වඩාත් නුතනම අස්ථිවේදය වෝහාරික මානවවිද්‍යා ක්‍රමවේද අනුව මෙම KV55 මමියේ වයස 18–23 දක්වා සීමා කිරීමට සිදුවන බවයි.[72]

1998දී චෙකොස්ලොවැකියානු මානවවිද්‍යාඥයකු වූ ඉයුජින් ස්ට්‍රෝහැල් විසින් KV55 මමිය පිළිබඳ පර්යේෂණයක් දියත් කරන ලදී. ඔහු සිය නිගමනයන් 2010දී ප්‍රකාශයට පත්කළ අතර, එමගින් මෙය අක්නාටන්ගේ නොවිය හැකි බවට ඔහු දැඩිව ප්‍රකාශ කරයි:

55වන සොහොන්ගැබෙන් හමුවූ මෙම පැහැදිළි පිරිමි සැකිල්ල එහි ජීව විද්‍යාත්මක වර්ධන ලක්ෂණ පිළිබඳ අන්තර්ගත දිගු ලැයිස්තුවක් අනුව තීරණාත්මකව සනාථ වන්නේ මෙහි මියයන විට වයස 19–22 පරාසයේ වන්නට ඇති බවයි. මෙය පෙර හැරිසන් (1996) ගේ ප්‍රතිඵල සමග වඩාත් හොඳින් ගැළපේ...[73]

අනෙක් විමර්ශන මගින් මෙම ව්‍යාපෘතිය සිදුනොකළ අංග ක්‍රියාත්මක කොට තිබිණි. වෙන්ට් සඳහන් කොට තිබූයේ මමිය පරීක්ෂා කොට නොතිබුණත්, ටුට් සහ KV55 මමී විශාල වශයෙන් IVවන තුත්මෝස්ගේ මමියට කපාලවක්ත්‍ර ස්වරූපය අතින් සමානත්වයක් දක්වන බව ය. ඩිලන් බිකර්ස්ටැෆ් පවසන්නේ KV35 සොහොන්ගැබෙන් හමු වූ අද්භූත "බෝට්ටුවේ දරුවා"ගේ මමිය පරීක්ෂණයට භාජනය නොකිරීම "හිතුවක්කාරකමක්" බව ය. එයට හේතුව එම සොහොන්ගැබේම තිබී "වැඩිමහල් යුවතිය" සහ "ලාබාල යුවතිය" නැමැති මමී ද්විත්වය හමුවී තිබීමයි. KV35න් හමුවූ මෙම කාන්තා මමී ද්විත්වයම ටුටන්ඛාමුන්ට සම්බන්ධ බව අනාවරණය කරගෙන ඇති හෙයින්, එම දරුවාගේ මමිය අක්නාටන්ගේ වැඩිමහල් සොහොයුරු තුත්මෝස් කුමරුගේ හෝ ස්මෙන්ඛ්කරේගේ විය හැකි බව ඔහු පවසයි.[69]

මේ අනුව KV55 මමිය බොහෝදුරට ටුටන්ඛාමුන්ගේ පියාට අයත් බව අනාවරණය කරගත්ත ද, එය අක්නාටන්ගේ යැයි පැවසීම මතභේදාත්මක බව පෙනේ‍.

භූමදානය

සංස්කරණය

සම්ප්‍රදායික පුරාතන ඊජිප්තු භූමදානයක මෙන් ආභරණ, භාණ්ඩ ආදිය අල්ප බැවින් KV55 මමිය එතරම් ක්‍රමානුකූලව භූමදානය කොට නොමැති බව පෙනී යයි. KV55 මමිය නිසැකවම ටුට්ගේ සමීප ඥාතියකු බැවින්, ඔහුගේ පියා ද නොවූයේ නම්, මෙවන් දරිද්‍ර භූමදානයක් ලබාදීමට හේතුව කුමක් ද? බොහෝවිට විට මෙම මමිය සොහොන්ගැබෙන් ඉවත් කරන ලද්දක් විය හැකියි.

රාජකීය පවුල සොහොන්ගැබ් නිර්මාණය සඳහා තීබ්ස් පෙදෙසට වඩා අමර්ණ ප්‍රදේශය කෙරෙහි ප්‍රිය කළේ ය. මෙරිරේගේ ‍සොහොන්ගැබේ සාක්ෂි මෙන් 13වන වර්ෂයෙන් පසු අමර්ණ සොහොන්ගැබ් ඉදිකිරීම නැවතුණු බව පෙනේ. එම කාලයෙන් පසුව, වැදගත් පුද්ගලයන් කිහිප දෙනකුගේ රූ කැටයම් අතර දක්නට නොලැබේ. ඒ අතර අක්නාටන්ගේ දියණියන් තිදෙනකු, ඔහුගේ මව සහ කියා ද වේ. අමර්ණ ලිපිය 35 තුළ, ඇලාෂියාවේ රජු සිය සුළු තඹ අස්වැන්න පිළිබඳ අක්නාටන්ගෙන් සමාව ඉල්ලන්නේ වසංගයක් හේතුවෙන් ඔහුගේ බොහෝ පතල්කරුවන් මියගිය බව පවසමිනි.[74] මීට සමාන සිදුවීම්ක ඇතැම්විට අමර්ණහි ද සිදු වන්නට ඇත.

අමර්ණ සිට අගනුවර යළි තීබ්ස් වෙත රැගෙනයාමෙන් පසු, අක්නාටන්ගේ අනුප්‍රාප්තිකයාහට රාජකීය භූමදානයන් එහි සිදු කිරීමට සොහොන්ගැබ් ප්‍රමාණවත් නොවන්නට ඇත.[75] ස්මෙන්ඛ්කරේ ද අයහපත් තත්ත්වයක පසුවන්නට ඇත. ඔහු අඩු වයසින්ම මියයාම නිසාත්, කෙටි රාජ්‍ය සමය නිසාත් ඔහුට රජකරුට සරිලන අවමංගල භාණ්ඩ නිමවා ගැනීමට නොහැකි වන්නට ඇත. අවසානයේ සොහොන්ගැබ තුළ මමිය සහ අනෙකුත් දෑ තැන්පත් කොට සරලව මුද්‍රා තැබූ බව පෙනේ.[75]

මෙම සොහොන්ගැබ යළි විවෘත කෙරුණු අතර දෙවරක් මුද්‍රා තැබිණි.[76] මෙම මුද්‍රා තැබීම් පසුකාලීන 18වන රාජවංශ යුගයට අයත් යැයි සැලකෙන අතර, බොහෝ විට යළි විවෘත කොට මුද්‍රාතැබීම ටුටන්ඛාමුන් යුගයේ සිදු වන්නට ඇත. නෂ්ටාවශේෂයන්හි ස්වරූපය, සක්ක ගල් පිරවුම සහ බිත්තියේ ඉතිරිව ඇති බදාමය අනුව පෙනීයන්නේ මෙය විනාශ කිරීම සහ ටියේගේ පූජාස්ථානය ඉවත් කිරීමට දැරූ උත්සාහය පසුකලෙක සිදු වූ බවයි.[77]

මෙම සොහොන්ගැබ තවත් වරක් විවෘත කොට තිබේ. මෙය 19වන, 20වන හෝ 21වන රාජවංශ යුගයේ (නොයෙකුත් අදහස් ඇත) සිදුවන්නට ඇත. බෙල් ‍යෝජනා කරන්නේ මේ විවෘත කිරීම මගින් රාජකීය මමී වෙනත් ස්ථානයක භූමදාන කොට ඇති බවයි. ටියේගේ මමිය KV35 සොහොන්ගැබ වෙත ගෙනයන්නට ඇත්තේ මේ අවස්ථාවේ වන්නට ඇත. අනතුරුව අක්නාටන්ගේ නාමය වනසා දැමූ බව පැවසේ.[77] මෙම මමියට එතරම් හානියක් සිදුකොට නොමැති බව පෙනී යයි. දැවටුම් ඉවත් කොට නොමැති අතර, රාජකීය ආභරණ ඉවත් කොට තිබේ. නමුත් මමියේ හිසෙහි පිහිටි රන් ගිජුලිහිණි කරපටිය ඇතුළු රන් ආභරණ ගණනාවක් රැගෙන ගොස් නැත. බෙල් යෝජනා කරන්නේ ම් කාලය වනවිට අක්නාටන් පිළිබඳ මෘදු ආකල්පයක් ඇතිව තිබූ බවත්, ඒ නිසා "නාමය රහිත නමුත් පූජාවට ලක් වූ පාරාවෝවරයකු" ලෙස පවතින්නට ඇති බවයි.[78] වෙනත් පුද්ගලයන් යෝජනා කරන්නේ අක්නාටන්ගේ භූමදානය වැනසීමෙන් පසු, ඇතැම්විට ඔහුගේ මමිය විනාශ කොට ස්මෙන්ඛ්කරේගේ මමිය අක්නාටන්ගේ මිනීපෙට්ටියේ තැන්පත් කරන්නට ඇති බවයි.[79]

සාරාංශය

සංස්කරණය

ඇතැම්විට අමර්ණ යුගයේ කිසිවකු ස්මෙන්ඛ්කරේ තරම් වාදවිෂයයට ලක් නොවන්නට ඇත.[80] ඔහු නෙෆර්නෙෆරුආට්න නොව වෙනත් අයකු බව නිශ්චිතව පවසන්නට සාක්ෂි හමුවුවද, ඔහු හවුල් පාලනයක් හෝ ස්වාධීන පාලනයක් ගෙනගියේ ද යන්න පිළිබඳ සාධක හමු නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඊජිප්තුවේදීහු ඔහුව සිය උපකල්පන වාදයන් සඳහා ඉත්තකු ලෙස භාවිත කරති. ඇතැමුන් ඔහු සනන්සා (ගැබෝල්ඩි) හෝ වෙස්වලාගත් නෙෆර්ටිටි (රීවස්, සැම්සන්) යැයි හඳුන්වන්ට ඇත්සාහ ගෙන ඇත. ඔහුගේ රාජ්‍ය සමය සති ගණනක් හෝ අවුරුදු කිහිපයක් පැවතියා වන්නට පුළුවන. එසේම ඔහු ස්වාධීන පාලනයක් ගෙන නොගිය කෙටිකාලීන සමරාජ්‍යාධිකාරියකු (ඩොඩ්සන්) හෝ අක්නාටන්ගේ අනුප්‍රාප්තිකයා (ඇලන්) ලෙස හඳුන්වන පුද්ගලයෝ ද වෙති.

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ a b c ක්ලේටන්, පී., ක්රෝනිකල් ඔෆ් ද ෆේරෝස් (තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2006) පි.120
  2. ^ ඒඩන් ඩොඩ්සන්, "අමර්ණ සන්සෙට්: ද ලේට්-අමර්ණ සක්සෙෂන් රීවිසිටඩ්" - බියොන්ඩ් ද හොරයිසන්. ස්ටඩීස් ඉන් ඊජිප්ටියන් ආට්, ආකියොලොජි ඇන්ඩ් හිස්ට්‍රි ඇන්ඩ් හිස්ට්‍රි ඉන් ඔනර් ඔෆ් බැරී ජේ. කෙම්ප් තුළ, සංස්. එස්., ඉක්‍රම් සහ ඒ. ඩොඩ්සන්, පිටු.31–32 කයිරෝ, 2009.
  3. ^ ඩි ගැරීස් ඩේවීස්, එන්. 1905. ද රොක් ටූම්බ්ස් ඔෆ් එල් අමර්ණ, II කොටස: ද ටූම්බ්ස් ඔෆ් පැනෙහෙසි ඇන්ඩ් මෙරිරා II. ඊජිප්තුවේ පුරාවිද්‍යා සමීක්ෂණය. එෆ්. එල්. ග්‍රිෆිත්. ලන්ඩන්: ඊජිප්තු ගවේෂණ අරමුදල.
  4. ^ ඩොඩ්සන්, ඒ.; (2009) පි. 34
  5. ^ ක්‍රවුස්, ආර්.; (1978) පි. 43-47
  6. ^ ඇලන්, ජේ.; (1988)
  7. ^ ගැබෝල්ඩි, එම්.; (1998) පිටු. 147–62, 213–219
  8. ^ ඩොඩ්සන්, ඒ. සහ හිල්ටන්, ඩී.; (2004) පි. 285
  9. ^ මිලර්, ජේ.; (2007) පි. 272; ඒ සඳහා: ඇලන් (1994); ගැබෝල්ඩි (1998); ඊටන්-ක්‍රවුස් සහ ක්‍රවුස් (2001); හෝර්නන්ග් (2006); වොන් බෙකරැත් (1997); ඇලන් (2006); ක්‍රවුස් (2007); මර්නේන් (2001)
    මොවුන් අනුප්‍රාප්තිය, කාලානුක්‍රමය සහ නෙෆර්නෙෆරුආටන්ගේ අනන්‍යතාව පිළිබඳ දරන්නේ එකිනෙකට පරස්පර මතයන් ය.
  10. ^ මිලර්, ජේ.; (2007) පි. 272
  11. ^ උදා. මර්නේන, ජී.; ද එන්ඩ් ඔෆ් ද අමර්ණ පීරියඩ් වන්ස් අගේන් (2001); ඇලන්, ජේ.; 1998, 2006; ගැබෝල්ඩි, එම්.; Das Ende der Amarnazeit, (2001); හෝර්නන්ග්, ඊ.; (2006); මිලර්, ජේ.; (2007) පි. 274 n 96, 97, 98; ඩොඩ්සන්, ඒ.; (2009) පි. 36.
  12. ^ ඇලන්, ජේම්ස් පී., "ද අමර්ණ සක්සෙෂන්", "කෝසිං හිස් නේම් ටු ලිව්: ස්ටඩීස් ඉන් ඊජිප්ටියන් එපිග්‍රැෆි ඇන්ඩ් හිස්ට්‍රි ඉන් මෙමරි ඔෆ් විලියම් ජේ. මර්නේන්", පි.2
  13. ^ පෙන්ඩ්ල්බරි, ‍ජේ. ඩී. එස්. ; ද සිටි ඔෆ් අක්නාටන් (1951), කොටස III, පි.164
  14. ^ පෙන්ඩ්ල්බරි, ජේ. ඩී. එස්. ; ද සිටි ඔෆ් අක්නාටන් (1951), කොටස III, pl lxxxvi සහ xcvii
  15. ^ Petrie; 1894 pl xv
  16. ^ පෙන්ඩ්ල්බරි; 1951
  17. ^ ඩොඩ්සන්, ඒ.; (2006) පි. 31-32; එසේම පෙන්ඩ්ල්බරි, 1951 PIs. XIII C; XLIV. 1, 2
  18. ^ ඒ. එච්. ගාඩිනර්, ද ග්‍රැෆිටෝ ෆ්‍රොම් ද ටූම්බ් ඔෆ් පෙරේ; JEA 14 (1928), පිටු. 10–11 සහ pls. 5–6.
  19. ^ a b රීවස්, සී.; 1990b
  20. ^ ඩොඩ්සන්, ඒ.; 1992 සහ 2009 පි. 41
  21. ^ ස්මෙන්ඛ්කරේ සඳහා බ්‍රිටනිකා සටහන; සම්ප්‍රවේෂණය දෙසැ 2012
  22. ^ මර්නේන්, ඩබ්.; (1977) පිටු. 213–15
  23. ^ a b ඇලන්, ජේ.; (2006) පි. 3
  24. ^ a b c d ජේම්ස් පී. ඇලන්, "ද අමර්ණ සක්සෙෂන්" - කෝසිං හිස් නේම් ටු ලිව්: ස්ටඩීස් ඉන් ඊජිප්ටියන් එපිග්‍රැෆි ඇන්ඩ් හිස්ට්‍රි ඉන් මෙමරි ඔෆ් විලියම් ජේ. මර්නේන්, සංස්. පී. බ්‍රෑන්ඩ් සහ එල්. කූපර්, කල්චර් ඇන්ඩ් හිස්ට්‍රි ඔෆ් ද ඒන්ෂන්ට් නියර් ඊස්ට් 37. ලෙයිඩ්න්: ඊ. ජේ. බ්‍රිල් ඇකඩමික් පබ්ලිෂර්ස්, 2006
  25. ^ ඇලන්, ඒ.; (2006) පි. 1-2
  26. ^ ඩොඩ්සන්, ඒ.; (2009); පි. 42
  27. ^ රීවස්, සී.; (2001) පි. 167-168
  28. ^ ඩොඩ්සන්, ඒ.; (2009); පි. 43
  29. ^ පෙට්‍රී, ඩබ්.; (1894) පිටු. 42–44
  30. ^ ඩියුහිග්, කොරින්; ද රිමේන්ස ඔෆ් ෆේරෝ අක්නාටන් ආ නොට් යෙට් අයිඩෙන්ටිෆයිඩ්: කමෙන්ට්ස් ඔන් "බයොලොජිකල් ඒජ් ඔෆ් ද ස්කෙලිටනයිස්ඩ් මමී ෆ්‍රොම් ටූම්බ් KV55 ඇට් තීබ්ස් (ඊජිප්ට්)" ඉයුජීන් ස්ට්‍රෝහාල් විසිනි - ඇන්ත්‍රොපොලොජී: ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් ද සයන්ස් ඔෆ් මෑන්; (2010) වෙළු 48 කලාපය 2, පිටු 113–115.
  31. ^ ඩොඩ්සන්, ඒ.; (2006) පි. 27-29
  32. ^ ඇලන්, ජේම්ස් පී.; (1994). නෙෆර්ටිටි ඇන්ඩ් ස්මෙන්ඛ්-කා-රේ. Göttinger Miszellen 141. පිටු. 7–17
  33. ^ ඇලන්, ජේ.; 2006, පි.14, එසේම n. 61
  34. ^ ගයිල්ස්, එෆ්.; 2001; එසේම ඇල්ඩ්‍රඩ් 1988
  35. ^ ‍ඩොඩ්සන්, ඒ.; 2006, පි. 29
  36. ^ මර්නේන්, ඩබ්.; (1995); සටහන: ගාඩිනර් (1928), රීවස් (2001) සහ මර්නේන් (1995) යන සියලු දෙනා මෙහි දිනය 10වන දිනය, මාසය 3, අඛෙට් ලෙස දේ. ඩොඩ්සන් (2009) පි 45 වාර්තා කරන්නේ "පැහැදිළිවම" මෙහි දිනය 3වන දිනය, මාසය 4, අඛෙට් ලෙසයි. එසේම මෙහි විරුද නාමයන් පැහැදිළිව කියැවිය නොහැකි බව ඩොඩ්සන් පවසයි.
  37. ^ ඩොඩ්සන්, ඒ.; (2009) පි. 44-46
  38. ^ ඇලන්, ජේ.; (2006) පි. 5
  39. ^ ඩේර් අල්-බාර්ෂා ප්‍රොජෙක්ට් ප්‍රෙස් රිලීස්, දෙසැ. 2012
  40. ^ ඒ. වැන ඩර් පෙරී, ද ඉයර් 16 ග්‍රැෆිටෝ ඔෆ් අක්නාටන් ඉන් ඩේර් අබූ හිනිස්. අ කන්ට්‍රිබියුෂන් ටු ද ස්ටඩි ඔෆ් ද ලේටර් ඉයර්ස් ඔෆ් නෙෆර්ටිටි, ඊජිප්තු ඉතිහාස ජර්නලය (JEH) 7 (2014), පිටු.72–73 සහ 76–77
  41. ^ මිලර්, ජේ.; (2007)
  42. ^ මිලර්, ජේ.; (2007) පි. 261
  43. ^ මිලර්, ජේ.;(2007) පි. 275
  44. ^ a b මිලර්, ජේ.; (2007) පි. 273 n92
  45. ^ රීවස්, සී. එන්.; (2001) පිටු. 176–177
  46. ^ මිලර්, ජේ.; (2007) පි. 260-261; මිලර් විශ්වාස කරන්නේ සුපිලුලියුමා සැබැවින්ම "සාහසික [සහ] දුෂ්ට" අයකු වන්නට ඇති බවයි.
  47. ^ මිලර්, ජේ.; (2007) පි. 271
  48. ^ මිලර්, ජේ.; (2007) පි. 262
  49. ^ ඇලන්, ජේ.; 2006 පි. 5
  50. ^ ඩොඩ්සන්, ඒ.; (2009) පි. 39
  51. ^ මිලර්, ජේ.; (2007) පි. 275, එනම්: ක්‍රවුස්, ආර්.; 997:247; 2007 සහ හෝර්නන්ග්, ඊ.; 2006:207
  52. ^ මිලර්, ජේ.; (2007) පි. 275
  53. ^ ඩේවිස්, ටී. එම්.; ද ටූම්බ් ඔෆ් ක්වීන් ටියි, (KMT කමියුනිකේෂන්ස්, 1990) පි. xii
  54. ^ ඩේවිස්, ටී. එම්.; ද ටූම්බ් ඔෆ් ක්වීන් ටියි, (KMT කමියුනිකේෂන්ස්, 1990) පි. viii, පි. xiv
  55. ^ ඇල්ඩ්‍රඩ්, සී.; (1988) පි. 205
  56. ^ ගයිල්ස්, එෆ්. ජේ.; (2001)
  57. ^ ෆයිලර්, ජේ.; 2001 පි. 4
  58. ^ a b ස්ටෝහැල්, ඊ.; බයොලොජිකල් ඒජ් ඔෆ් ස්කෙලිටනයිස්ඩ් මමී ෆ්‍රොම් ටූම්බ් KV 55 ඇට් තීබ්ස් - ඇන්ත්‍රොපොලොජී: ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් ද සයන්ස් ඔෆ් මෑන්; 2010; වෙළු. 48 කලාපය 2, පිටු. 97–112. ආචාර්ය ස්ට්‍රෝහැල් විසින් 1998දී KV55 අධ්‍යයනය කරන ලදී. නමුත් එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද වූ අතර, ඇතැම්විට 200දී ෆයිලර්ගේ පරීක්ෂණයෙන් ඒවා නිෂ්ප්‍රභ වන්නට ඇත. 2010දී ස්ට්‍රෝහැල්ගේ අනාවරණ ප්‍රකාශයට පත්කරන ලද්දේ හවාස් ඇතුළු පිරිසගේ අනාවරණ සමග තර්ක කිරීමට විය හැක.
  59. ^ වෙන්ට්, ඊ.; 1995
  60. ^ නේචර් 224 (1974), 325f.
  61. ^ හවාස්, ඉසෙඩ්., වයි. ඉසෙඩ්. ගැඩ්; ඇතුළු පිරිස.; ඇන්සෙස්ට්‍රි ඇන්ඩ් පැතොලොජි ඉන් කිං ටුටන්ඛාමුන්’ස් ෆැමිලි; 2010. ඇමරිකානු වෛද්‍යවිද්‍යා සංවිධානයේ ජර්නලය
  62. ^ හවාස්, ගැඩ්, 2010; ඊඇපෙන්ඩික්ස්; ඩිටේල්ස් ඔෆ් මෙතඩ්ස්, රිසල්ට්ස්, ඇන්ඩ් කමෙන්ට්
  63. ^ හවාස්, ඉසෙඩ්.; වයි. ඉසෙඩ්. ගැඩ්; ඇතුළු පිරිස. JAMA තුළ, රූපය 2
  64. ^ සාහි හවාස්. "කිං ටුට්'ස් ෆැමිලි සීක්‍රට්ස්". නැෂනල් ජියෝග්‍රැෆික්. p. 6. {{cite web}}: Check |archiveurl= value (help)
  65. ^ "නිව්ස් ෆ්‍රොම් ද වැලී ඔෆ් ද කිංස්: DNA ෂෝස් දැට් KV55 මමී ප්‍රොබබ්ලි නොට් අක්නාටන්". Kv64.info. 2010-03-02. සම්ප්‍රවේශය 2012-08-25.
  66. ^ නේචර් 472, 404–406 (2011); මාර්ගස්ථව ප්‍රකාශිත 27 April 2011; නියම සබැඳිය
  67. ^ NewScientist.com; ජනවාරි, 2011; රෝයල් රම්පස් ඕවර් කිං ටුටන්ඛාමුන්'ස් ඇන්සෙස්ට්‍රි
  68. ^ JAMA; 2010;303(24):2471–2475. කිං ටුටන්කාමුන්’ස් ෆැමිලි ඇන්ඩ් ඩිමයිස් (සබ්ස්ක්‍රිප්ෂන්)
  69. ^ a b බිකර්ස්ටැෆ්, ඩී.; ද කිං ඊස් ඩෙඩ්. හව් ලෝං ලිව්ඩ් ද කිං? Kmt තුළ වෙළුම. 22, අං. 2, ග්‍රීෂ්මය 2010
  70. ^ ඩියුහිග්, කොරින්; ද රිමේන්ස් ඔෆ් ෆේරෝ අක්නාටන් ආ නොට් යෙට් අයිඩෙන්ටිෆයිඩ්: කමෙන්ට්ස් ඔන් "බයොලොජිකල් ඒජ් ඔෆ් ද ස්කෙලිටනයිස්ඩ් මමී ෆ්‍රොම් ටූම්බ් KV55 ඇ‍ට් තීබ්ස් (ඊජිප්ට්)" ඉයුජින් ස්ට්‍රෝහැල් විසිනි ඇන්ත්‍රොපොලොජී: ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් ද සයන්ස් ඔෆ් මෑන්; තුළ (2010) වෙළු. 48 කලාපය. 2, පිටු. 113–115. (සබ්ස්ක්‍රිප්ෂන්) "KV55 සැකිල්ල ස්මෙන්ඛ්කරේ හෝ වෙනත් නොහඳුනන කුමරකුගේ නම්... KV55 අස්ථි අක්නාටන්ගේය යන මතය එය "පිළිගත් ඥානයක්" වීමට පෙර ප්‍රතික්ෂේප කිරීමට සිදු වේ.
  71. ^ හූ’ස් රියල් ටුට්? සම්ප්‍රවේෂණය නොවැ. 2012
  72. ^ බ්‍රෙන්ඩා ජේ. බේකර් (ජූනි 24, 2010). "KV55 මමී නොට් අක්නාටන්". ආකියොලොජි නිව්ස් නෙට්වර්ක්. සම්ප්‍රවේශය දෙසැම්බර් 2012. {{cite web}}: Check date values in: |accessdate= (help)
  73. ^ Strouhal KV55 1998/2010 පි.111 කන්ක්ලූෂනස්
  74. ^ මොරාන්, (1992) 107–119
  75. ^ a b ගයිල්ස්, එෆ්. ජේ.; (1970) පි. 101-105
  76. ^ බෙල්, එම්. ආර්.; ඇන් ආම්චෙයාර් එක්ස්කැවේෂන් ඔෆ් KV 55, JARCE 27 (1990) පි. 133
  77. ^ a b බෙල්, එම්.ආර්.; (1990) පි. 133-135
  78. ^ බෙල්, එම්. ආර්.; (1990) පි. 137
  79. ^ පෙරිපෙල්කින්, වයි.; ද සීක්‍රට් ඔෆ් ද ගෝල්ඩ් කොෆින්; (1978) පි. 163-164
  80. ^ ඩොඩ්සන්, ඒ.; (2009); පි. 30

ගැලරිය

සංස්කරණය

ග්‍රන්ථාවලිය

සංස්කරණය
  • ඇල්ඩ්‍රඩ්, සිරිල්; Akhenaten, King of Egypt (තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 1988)
  • ඇල්ඩ්‍රඩ්, සිරිල්; Akhenaten, Pharoah of Light (තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 1968)
  • ඇලන්, ජේම්ස් පී.; Two Altered Inscriptions of the Late Amarna Period, ඊජිප්තුවේ ඇමරිකානු පර්යේෂණ මධ්‍යස්ථානයේ ජර්නලය 25 (1988)
  • ඇලන්, ජේම්ස් (2006). "The Amarna Succession" (PDF). Archived from the original on ජූලි 1, 2013. සම්ප්‍රවේශය 2008-06-23.{{cite web}}: CS1 maint: unfit URL (link)
  • ඇලන්, ජේම්ස් පී.; Nefertiti and Smenkh-ka-re. Göttinger Miszellen 141; (1994)
  • ඩොඩ්සන්,ඒඩන්; Amarna Sunset: Nefertiti, Tutankhamun, Ay, Horemheb, and the Egyptian Counter-Reformation. ද ඇමරිකන් යුනිවර්සිටි ඉන් කයිරෝ ප්‍රෙස්. 2009, ISBN 978-977-416-304-3
  • ඩොඩ්සන්, ඒ. සහ හිල්ටන්, ඩී.; The Complete Royal Families of Ancient Egypt: A Genealogical Sourcebook of the Pharaohs (තේම්ස් ඇන්ඩ් හඩ්සන්, 2004)
  • ෆයිලර්, ජේ.; Anatomy of a Mummy, (2001) ආකියොලොජි; මාර්/අප්‍රේ 2002, වෙළු. 55 කලාපය 2
  • ගයිල්ස්, ෆ්‍රෙඩ්රික් ජේ.; Ikhnaton Legend and History (1970, ඇසෝෂියේටඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 1972 එජ)
  • ගයිල්ස්, ෆ්‍රෙඩ්රික් ජේ.; The Amarna Age: Egypt (ඊජිප්තුවේදය සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යස්ථානය, 2001)
  • හැබිච්ට්, මයිකල් ඊ.; Semenchkare – Phantom-König(in) von Achet-Aton (ඊපබ්ලි, බර්ලින් 2014). ISBN 978-3844281699
  • ඕ'කොනර්, ඩී. සහ ක්ලයින්, ඊ. (සංස්); Amenhotep III: perspectives on his reign (1998) යුනිවර්සිටි ඔෆ් මිචිගන් ප්‍රෙස්
  • ඩේර් අල්-බාර්ෂා ව්‍යාපෘතිය; පුවත් මුදාහැරීම, දෙසැ. 2012; මාර්ගස්ථ ඉංග්‍රීසි පුවත්
  • ගැබෝල්ඩි, මාක්. D’Akhenaton à Tout-ânkhamon (1998) පැරිස්
  • හවාස්, එසෙඩ්.; වයි. ගැඩ්. ඇතුළ පිරිස; Ancestry and Pathology in King Tutankhamun’s Family (2010) ඇමරිකානු වෛද්‍ය සංවිධානයේ ජර්නලය 303/7.
  • හෝර්නන්ග්, ඊ.; 1999, Akhenaten and the Religion of Light, කෝර්නල් විශ්වවිද්‍යාලය
  • හෝර්නන්ග්, ඊ.; 2006: The New Kingdom, ඊ. හෝර්නන්ග්, ආර්. ක්‍රවුස් සහ ඩී. ඒ. වොබර්ටන් සංස්., Ancient Egyptian Chronology (HdO I/83), ලෙයිඩ්න් - බොස්ටන්.
  • ක්‍රවුස්, රොල්ෆ්; Das Ende der Amarnazeit (අමර්ණ යුගවේ අවසානය); 1978, හිල්ඩ්ෂයිම්
  • පෙට්‍රී, ඩබ්. එම්. ෆ්ලින්ඩර්ස්; Tell el Amarna (1894)
  • පෙන්ඩ්ල්බරි ජේ.; සැම්සන්, ජේ. ඇතුළු පිරිස; City of Akhenaten, Part III (1951)
  • මර්නේන්, ඩබ්.; Ancient Egyptian Coregencies, (1977)
  • මර්නේන්, ඩබ්.; Texts from the Amarna Period, (1995)
  • මිලර්, ජේ.; Amarna Age Chronology and the Identity of Nibhururiya ඕල්ටොරියන්ටල් තුළ. ෆෝෂ්. 34 (2007)
  • රීවස්, සී. එන්.; Akhenaten, Egypt's false Prophet (තේම්ස් ඇන්ඩ් හඩ්සන්; 2001)
  • රීවස් සී. එන්.; The Valley of the Kings (කේගන් පෝල්, 1990)
  • රීවස්, සී. එව්.; The Complete Tutankhamun: The King – The Tomb – The Royal Treasure. ලන්ඩන්: තේම්ස් ඇන්ඩ් හඩ්සන්; 1990.
  • තෙයිස්, ක්‍රිස්ටොෆර්; Der Brief der Königin Daḫamunzu an den hethitischen König Šuppiluliuma I. im Lichte von Reisegeschwindigkeiten und Zeitabläufen, in: තෝමස් ආතර් කැමරර් (Hrsg.): Identities and Societies in the Ancient East-Mediterranean Regions. Comparative Approaches. Henning Graf Reventlow Memorial Volume (= AAMO 1, AOAT 390/1). මුන්ස්ටර් 2011, S. 301–331
  • වෙන්ට්, ඊ.; Who Was Who Among the Royal Mummies?; (1995), ඔරියන්ටල් ඉන්ස්ටිටියුට්, චිකාගෝ
"https://si.wikipedia.org/w/index.php?title=ස්මෙන්ඛ්කරේ&oldid=722837" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි