ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමය

අකිත

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය (සිංහල: Sri Lanka බාලදක්ෂ සංගමය Sri Lanka Baladaksha Sangamaya; දෙමළ: இலங்கைச் சாரணர் சங்கம்), යනු ලංකා බාලදක්ෂ කවුන්සිලය මගින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සංවිධානයකි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය 1953 දී ලෝක බාලදක්ෂ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගනු ලැබීය. ලංකා බාලදක්ෂ කවුන්සිලය 1957 අංක 13 දරණ පනත මගින් පිහිටුවන ලද සංගමයකි.[2] පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 1957දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ලංකා බාලදක්ෂ පනත Ceylon Scout Council Act (No. 13 of 1957) [3] පසු කාලීනව යාවත් කාලීන කෙරුණු අතර එහි සඳහන් ආකාරයෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වාර්ෂිකව නව නිලධාරී මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වීම සිදුවේ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය
ශ්‍රී ලංකා බාලදක්ෂ ධජය
Headquartersකොළඹ
Countryශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
Founded1912
Membership75,000
ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයාරනිල් වික්‍රමසිංහ ජනාධිපති
සභාපතිබ්‍රිගේඩියර් (විශ්‍රාමික) ජේ.පී. ඒ ජයවර්ධන [1]
ප්‍රධාන කොමසාරිස්ජනප්‍රිත් ප්‍රනාන්දු
Affiliationලෝක බාලදක්ෂ ව්‍යාපාරය
Website
www.scout.lk
 Scouting portal

ඉතිහාසය

සංස්කරණය

ලෝක බාල දක්‍ෂ ව්‍යාපාරය ආරම්භ වී වසර පහකට පසුව එනම් 1912 වසරේදී ලංකා බාල දක්‍ෂ ව්‍යාපාරය ආරම්භ විය. ඉංග්‍රීසි ජාතික එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් 1912 දී ලංකා බාලදක්‍ෂ කටයුතු මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලයෙන් ආරම්භ විය. ජුනි 02 දිනය ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ආදිකතෘ දිනය ලෙස සලකනු ලැබේ. 1915 වනවිට ආචාර්යවරුන්ද ඇතුළුව ලංකාව පුරා බාලදක්‍ෂයන් ගණන 248කි. 1907 දී  එංගලන්තයේ ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය ඉන් වසර 5කට පසු, 1911 දී එවකට මාතලේට අනියුක්ත ව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (PWD) සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ ඉංගිරීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාට බේඩ්න් පවල් සාමිතුමා විසින් අරඹන ලද ළමා ව්‍යාපාරය ලංකාවේ ස්වදේශික දරුවන් වෙත හදුන්වාදීමේ අදහස ඇති විය. ෆැන්සිස් ජෝන් ස්ටීවන්ස් මහතා විසින් 1912 දී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේදී ශ්‍රී ලංකාවේ මුල් ම බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරන ලදී. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු වූ ඒ මහතා සේවය කළ සෑම පළාතකම බාලදක්ෂ කටයුතු ආරම්භ කළේය. එෆ්.ජී.ස්ටීවන්ස් මහතා විසින් ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරනු ලැබූ ව ද එහි භාරකාරත්වය දැරීමට එතුමාට නො හැකි විය. ඒ් සදහා ක්‍රිස්තුදේව විද්‍යාලයේ එවක විදුහල්පතිතුමාගේ සොයුරු වූ එම විද්‍යාලයේ ම සේවය කල ඩී. චාල්ස් ජයසිංහ මහතා වෙත පවරනු ලැබිණ. ඒ අනුව ලංකාවේ ප්‍රථම බාලදක්ෂ නායකයා වනුයේ චාල්ස් ජයසිංහ මහතා ය. බී. පී. තුමා විසින් එෆ්. ජී. ස්ටීවන්ස් මහතා යටත්විජිත කොමසාරිස් ධුරයට පත්කරනු ලැබීමෙන් අනතුරු ව 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදුවිය.

1914 පැන නැගුණු පළමු ලෝක සංග්‍රාමයත් සමග ම එෆ්.ජී.ස්ටීවන්ස් මහතා නැවත කොළඹට ස්ථාන මාරු කරන ලැබු අතර පසුව මෙසපොතේමියාවේ යුද සේවය කැඳ වූ හෙයින් F.G පියර්ස් මහතා බාලදක්ෂ කටයුතු භාරව ක්‍රියා කළේය. එතුමාද ඉන්දියාවේ සේවයට ගිය අතර සර් එඩ්වඩ් ඩෙන්හැම්, J.H ද සේරම්, වර්නන් ග්‍රේනියර් යන ත්‍රිත්වය බාලදක්ෂ ව්‍යාපාරයේ මූලිකත්වය ගත්හ. එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ වසර 33ක බාලදක්ෂ ව්‍යාපාරයට කරනු ලැබූ විශිෂ්ට සේවය අගයමින් බී. පී. තුමා විසින් පෞද්ගලික ව ඇගයීමට ලක්කරමින් ‘රිදී වෘකයා’ සම්මානය ද ප්‍රදානය කරන ලද්දේ ය.

1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළ වන 2 වන ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය පෝතක රැළෙහි ආරම්භය ද 1918 දී කොළඹ දී අරඹන ලද ලංකාවේ මුහුදු බාලදක්ෂ අංශය ද 1920 දී අරඹන ලද මානවක බාලදක්ෂ අංශය ද ස්ටීවන්ස් යුගයට අයත් වේ. ඒ අනුව එවකට දීප්තිමත් ම බාලදක්ෂ සමූහය වූ 2 වැනි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙහි පෝතක බාලදක්ෂයන් 50 දෙනෙකුගෙන් යුත් රැළක් පිහිටවනු ලැබිණ. එවකට රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්‍ෂ ආචාර්ය ඡේ. වී. මෙන්ඩිස්‌ සහ එහි සහාය බාලදක්‍ෂ ආචාර්ය මෙන්ම වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්ය එස්‌. සී. වික්‍රමරත්න, සහාය වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්යවරුන් වූ ටී. යූ. ද සිල්වා සහ එස්‌. විඡේසූරිය යන මහත්වරු කටයුතු කළහ.

  • 1915 - මුල්ම බාලදක්ෂ සංගණනය. (බාලදක්ෂයින් / නායකයින් 248)
  • 1916 - පෝතක බාලදක්ෂ අංශය ආරම්භ වීම.
  • 1917 - පළමු බාලදක්ෂ රැළිය කොළඹ හැව්ලොක් පිටියේදී පැවැත්වීම.
  • 1917 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල දක්ෂතම බාලදක්ෂ සමූහයට හිමි රජුගේ ධජය දිනා ගැනීම.
  • දෙවන වතාවටත් 1918 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල දක්ෂතම බාලදක්ෂ සමූහයට හිමි රජුගේ ධජය දිනා ගැනීම.
  • 1918 - මුහුදු බාලදක්ෂ අංශය ආරම්භ වීම.
  • 1919 - තෙවන වරටත් රජුගේ ධජය දිනා ගැනීම
  • 1920 - පළමු බාලදක්ෂ ජම්බෝරියට තේනුවර මහතා සහභාගි වීම.
  • 1921- B.P තුමා හා ආර්යාව පළමු වරට ලංකාවට පැමිණීම.
  • 1924 - පළමුවන ලී පදක්කම් පාඨමාලාව මෝදරදි පැවැත්වීම.
  • 1931 - කළුතර ද සේරම් බාලදක්ෂ ජනපදය ඇරඹීම.
  • 1934 - B.P තුමන් දෙවන වර ලංකාවට පැමිණීම.
  • 1945 - රුපියලේ වැඩ ව්‍යාපාරය ආරම්භ වීම.
  • 1952 - පළමු ජාතික ජම්බෝරිය පැවැත්වීම
  • 1955 - ශ්‍රී ලංකාව ලෝක බාලදක්ෂ සම්මේලනයේ සාමාජිකත්වය ලබා ගැනීම.
  • 1957 - ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නීතිගත කිරීම.
  • 1962 - පළමු බාලදක්ෂ මුද්දරය නිකුත් වීම.
  • 1975 - පළමු ජාතික කබෝරිය පැවැත්වීම.
  • 1990 - පළමු සාක් ජම්බෝරිය පැවැත්වීම.
  • 1991 - ප්‍රථම ජාතික ඉන්ඩාබා සමුළුව පැවැත්වීම.
  • 2001 - ශ්‍රී ලංකා රැජිණ හා ජනාධිපති බාලදක්ෂ සංසදය ඇරඹීම.
  • 2022 - ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික කිඩෝරිය සඳහා සිඟිති බාලදක්ෂ දරු දැරියන් 6000කට අධික පිරිසක් සහභාගිත්වයෙන් 2022 නොවැම්බර් 26 වැනිදා කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වීම.
  • 2024 - 02වැනි ජාතික කිඩෝරිය 2024 සැප්තැම්බර් මස 07 සහ 08 යන දිනයන්හි කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී

සමස්ත ලංකා බාලදක්ෂ රැලි

සංස්කරණය
  • 1917 - පළමුවන සමස්ත ලංකා රැලිය, හැව්ලොක් රේස් පිටිය, කොළඹ,
  • 1918 - 2 වන සමස්ත ලංකා රැලිය, බැරැක්ක, මහනුවර,
  • 1919 - 3 වන සමස්ත ලංකා රැලිය, මහනුවර,
  • 1921 - 4 වන සමස්ත ලංකා රැලිය, හැව්ලොක් රේස් පිටිය, කොළඹ, (බී.පී.තුමාගේ පළමු ලංකා සංචාරය)
  • 1922 - 5 වන සමස්ත ලංකා රැලිය, මහනුවර, (වේල්ස් කුමරුගේ නැගෙනහිර සංචාරය 23 මාර්තු 1922)
  • 1924 - 6 වන සමස්ත ලංකා රැලිය, කොළඹ, (බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර විලියම් මැනිංගේ උතුමාණන්ගේ සමුගැනීමේ උත්සවය)
  • 1934 - 7 වන සමස්ත ලංකා රැලිය, බී.පී. තුමා සහ ඔලෙව් මැතිණියගේ දෙවන ලංකා සංචාරය

ජාතික බාලදක්ෂ ජම්බෝරි

සංස්කරණය
  • 1952 - පළමු ජාතික ජම්බෝරිය - කොළඹ
  • 1962 - දෙවන ජාතික ජම්බෝරිය - කොළඹ
  • 1985 - තෙවන ජාතික ජම්බෝරිය - අනුරාධපුරය
  • 1992 - සිව්වන ජාතික ජම්බෝරිය - කුරුණෑගල
  • 1998 - පස්වන ජාතික ජම්බෝරිය - මහනුවර
  • 2002 - සයවන ජාතික ජම්බෝරිය - ගාල්ල
  • 2006 - හත්වන ජාතික ජම්බෝරිය - නුවරඑළිය
  • 2010 - අටවන ජාතික ජම්බෝරිය - හම්බන්තොට
  • 2016 - නමවන ජාතික ජම්බෝරිය - යාපනය
  • 2020 - කොරෝනා හේතුවෙන් අවලංගු කෙරිණ
  • 2024 - දසවන ජාතික ජම්බෝරිය - ත්‍රිකුණාමලය
  • 2028 - එකළොස්වන ජාතික ජම්බෝරිය -

ජාතික බාලදක්ෂ කබෝරි

සංස්කරණය

ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය මගින් වසර 03කට වරක් ජාතික මට්ටමින් පෝතක බාලදක්ෂයන් සඳහා ජාතික කබෝරියක් සංවිධානය කරනු ලැබේ. වයස අවුරුදු හතත්, එකොළහත් අතර වයසේ පසුවන පෝතක බාලදක්ෂයින්ට මේ සඳහා සහභාගී විය හැකිය. දරුවන්ගේ වයසට ඔබින විෂය නිර්දේශ යටතේ පුහුණුවීම් ලබාදීම සිදු කෙරෙන අතර විශේෂාංග රැසකින් සමන්විත විනෝදජනක අවස්ථා මගින් දැනුම ලබා ගැනීමට මෙහිදී අවස්ථාව සලසා දී තිබේ.

  • 1975 - පළමු ජාතික කබෝරිය - ගාල්ල
  • 1984 - දෙවන ජාතික කබෝරිය - කොළඹ
  • 1986 - තෙවන ජාතික කබෝරිය - ගාල්ල
  • 1995 - සිව්වන ජාතික කබෝරිය - කළුතර
  • 1996 - පස්වන ජාතික කබෝරිය - වත්තල / ජා ඇල
  • 2000 - සයවන ජාතික කබෝරිය - මීගමුව
  • 2004 - හත්වන ජාතික කබෝරිය - මහනුවර
  • 2007 - අටවන ජාතික කබෝරිය - ගාල්ල
  • 2010 - නමවන ජාතික කබෝරිය - අඟුණුකොලපැලැස්ස
  • 2013 - දසවන ජාතික කබෝරිය - වත්තල / ජා ඇල
  • 2016 - එකළොස්වන ජාතික කබෝරිය - ගාල්ල
  • 2019 - දොළොස්වන ජාතික කබෝරිය - ගම්පහ
  • 2022 - දහතුන්වන ජාතික කබෝරිය - දිසා මට්ටමින්
  • 2025 - දහහතරවන ජාතික කබෝරිය -

ජාතික බාලදක්ෂ කිඩෝරි

සංස්කරණය

ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ ඵෙතිහාසික පියවරක් තබමින් අලුතින් හඳුන්වා දෙනු ලැබූ සිඟිති බාලදක්ෂ අංශය සිඟිති බාලදක්ෂ දරු දැරියන් වෙනුවෙන්ගේ ජාතික ඒකරාශීවීම කිඩෝරිය ලෙස හදුන්වා දෙනු ලැබීය. වයස අවුරුදු 5-7 අතර පසුවන දරු දැරියන් සහභාගී වූ අතර සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ දී පැවැත්විණ.

  • 2022 - පළමු වන ජාතික කිඩෝරිය - කොළඹ
  • 2024 - දෙවන ජාතික කිඩෝරිය - කොළඹ

ශ්‍රී ලංකාවේ පැවති සාක් ජම්බෝරි

සංස්කරණය

දකුණු ආසියාතික භූගෝලීය කලාපය මුල්කොට ගෙන ඇති වූ කලාපීය සංවිධානය ‘සාක් ’ සංවිධානය යනුවෙන් හැඳින්වේ. SOUTH ASIAN ASSOCIATION FOR REGIONAL CO-OPERATION යන සංවිධාන නාමය සංක්‍ෂිප්ත නාමයක් වශයෙන් සාක් (SAARC) යනුවෙන් භාවිතයේ යෙදේ. සාක් යන අන්වර්ථ නාමයෙන් අදහස් වන දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය නැතහොත් කලාපීය සහයෝගිතා ජම්බෝරි කීපයක් ම මේ වන විට පවත්වා අැත.

  • 1990 - පළමු සාක් ජම්බෝරිය - කොළඹ
  • 2000 - දෙවන සාක් ජම්බෝරිය - නුවරඑළිය

ශ්‍රී ලංකාවේ පැවති ආසියා පැසිපික් කලාපීය ජම්බෝරි

සංස්කරණය

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 100ක් ගත වන 2012 වර්ෂය ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයට සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ් වෙනුවෙන් සියවස ජම්බෝරිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ කණ්ඩලම ඩී.එස්.සේනානායක පිටියේ දී පැවැත් විය. 29 වැනි ආසියා පැසිෆික් කලාපීය ජම්බෝරිය රටවල් 20 බාලදක්ෂයින් සහභාගී වූහ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අයත්වන ආසියා පැසිෆික් කලාපීයරටවල බාලදක්ෂයන් විසින් පවත්වන කලාපීය ජම්බෝරි 30 මේ වන විට පවත්වා ඇත.

  • 2012 - 29වන කලාපීය ජම්බෝරිය - දඹුල්ල

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කටයුතු

සංස්කරණය

මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අවධියෙහි ඉම්පීරියල් මූලස්ථානය යටතේ 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් සාමාජිකත්වය ලබා දෙනු ලැබූ අතර සියලු 'වුඩ් බැජ්' නම් පාඨමාලා ලී පදක්කම් පුහුණු කටයුතු ගිල්වෙල් කදවුර ආශ්‍රිය කොට සිදු කෙරිණ. ලංකාවේ පළමුවන ලී පදක්කම් පුහුණු පාඨමාලාව 1924දී ආරම්භ වන තෙක්ම මෙම පුහුණුව සිදුවිය.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට ලැබෙන මුදල් නිසි මූල්‍ය රෙගුලාසි අනුව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විධායක සභාවේ නිසි අනුමැතිය සහිතව වියදම් කර වාර්ෂිකව මූල්‍ය වාර්තා වරලත් ගණකාධිකාරි ආයතනයක් මඟින් විගණනයකර වාර්ෂික මහා සභාවේ අනුමැතිය මත සිදුකෙරේ. ප්‍රධාන කොමසාරිස් සී.පී.ජයවර්ධන මහතාගේ යුගයේදී රුපියලේ වැඩ සතිය නමින් 1950දී ආරම්භ කල ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන අරමුදල් සම්පාදන වැඩ සටහන ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය ලෙස වර්තමානයේදී ද ක්‍රියාත්මක කරනු ලැබේ. බාලදක්ෂ වැඩ සතියෙන් උපයන මුදලින් 20%ක මුදලක් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට ලැබෙන අතර තව 20%ක ප්‍රමාණයක් දිසා බාලදක්ෂ සංගමයට ලැබෙන අතර ඉතිරි 60%ක මුදල බාලදක්ෂ කටයුතු කරන බාලදක්ෂ කණ්ඩායමට ලැබේ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ විධායක සභාවේ කමිටු සාමාජිකයන්ගේ අනුමැතියකින් තොරව කිසිදු ගෙවීමක් සිදුකල නොහැකි අතර සියලු මූල්‍ය වාර්තා වරලත් ගණකාධිකාරි ආයතනයක් මඟින් විගණනය කර වාර්ෂික මහා සභාවේ අනුමැතිය ට යොමුකරනු ලැබේ.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 110ක් පූර්ණ වී ඇති අතර ලෝකයේ ජාතික බාලදක්ෂ සංගම්‌ 172 ක්‌ නියෝජනය කරමින්‌ සාමාජිකයන්‌ මිලියන 57 කින්‌ සමන්විත ලෝක බාලදක්ෂ සංවිධානයේ සාමාජිකයෙකි. සිඟිති, පෝතක, බාලදක්ෂ භා මානවක බාලදක්ෂයින්‌ භා නායකයින්‌ වාර්ෂිකව ලෝක බාලදක්ෂ සංවිධානයේ ලියාපදිංචි කිරීම එමඟින් සිදුකරනු ලැබේ. අදාල වර්ෂයේ සාමාජිකත්වය අලුත් කරන සියලු දෙනා වෙත සංගණන පදක්කම් නිකුත් කිරීම ඒ අනුව සිදු වේ. සිඟිති, පෝතක, බාලදක්ෂ හා මානවකයින්‌ ඛාලදක්ෂ නායකයින්‌, කොමසාරිස්වරුන්‌ හා ගිහි සාමාජිකයින්‌ සඳහා වාර්ෂික සංගණන ගාස්තුව රු. 50.00 කි. 2023 වාර්ෂික සංගණන සංඛ්‍යා ලේඛන අනුව මුළු බාලදක්ෂ සාමාජික සංඛ්‍යාව 93,639ක් පමණ වේ.

වර්තමානය වන විට දිසා බාලදක්ෂ සංගම්‌ 37ක් යටතේ පරිපාලන කටයුතු සිදුකෙරෙන අතර නිල ඇඳුම් නොඅඳින විධායක කමිටුවක් මඟින් දිසා සංගම් පරිපාලනය කෙරේ.

බෝඹුරු ඇල්ල ජලාශය අසල පිහිටා ඇති පීඩෲ බාලදක්ෂ කඳවුරු භූමිය [1] සහ මීරිගම ලී දසනායක පුහුණු කඳවුරු භූමිය පවත්වාගෙන යාමත් ජාතික බාලදක්ෂ මූලස්ථාන ගොඩනැගිල්ල නඩත්තු කිරීම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සිදු කරනු ලැබේ.

ශ්‍රි ලංකා බාලදක්ෂ ලාංඡනය

සංස්කරණය

1912 වකවානුවේදී ආරම්භක අවධිය වන විට මෙරට බාලදක්ෂයන් සඳහා නිල ඇදුමක් හෝ විශේෂ පදක්කම් බාවිතයක් නොතිබුණු අතර ක්‍රමයෙන් බාලදක්ෂ කටයුතු සංවර්ධනය වීමත් සමග එංගලන්තයේ පවත්වාගෙන ආ ක්‍රියාකාරකම් පොතපත ඇසුරින් අධ්‍යයනය කරමින් ශිල්පීය කොටස් එකතු කිරීමත් නවක පෙළ "Tenderfoot badge" සිට පළමු පෙළ දක්වා පදක්කම් ක්‍රමයට අනුගත කෙරිණ. 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදු වීමෙන් අනතුරුව එංගලන්ත බාලදක්ෂයන් භාවිත කල ලෝකඩ පදක්කම මධ්‍යයෙහි CEYLON නැමති අකුරු සහිත ලෝකබාලදක්ෂ පදක්කම සාමාජික පදක්කම වීමෙන් අනතුරුව හඳුන්වාදෙනු ලැබිණ. මෙම වකවානුවෙහිදී එංගලන්තයෙන් ලෝකඩ පදක්කම්, ඉනපටි, විසිල්, හිස්වැසුම්, කාර්යක්ෂමතා ප්‍රසාදන ගෙන්වීම අධික මිලක් වැයවීම හේතුවෙන් පදක්කම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම තරමක් අසීරු විය.

ලෝක බාලදක්ෂ පදක්කම ඇසුරින් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආරියසේන මහතා විසින් 1962දී ලංකා බාලදක්ෂ 50වෙනි සංවත්සරය සඳහා නිර්මාණය වූ ස්වර්ණ ජයන්ති මුද්දරය සඳහා නිර්මාණය කෙරුණු පදක්කම පසුකාලීනව ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සාමාජික පදක්කම වූ බව ශ්‍රී ලංකා ස්කවුටින් සඟරාව විසින් පළමු වරට වාර්තා කරන ලද්දේය. දේශීයත්වය හා සෞභාග්‍ය නිරූපනය කිරීම සඳහා නෙළුම් පෙති වටයකින් යුක්ත වන අතර ලෝක බාලදක්ෂ සලකුණ මධ්‍යයෙහි රාජ්‍ය ලාංඡනයෙහි සිටින කඩුවක් අතින් ගත් සිංහයා යොදා තිබේ.

ශ්‍රි ලංකා බාලදක්ෂ ලාංඡනයේ අර්ථය

සංස්කරණය

•කඩුවක් සුරතින් ගත් සිංහයා - ශ්‍රී ලංකේය අනන්‍යතාව •තරුකොන් දහය - බාලදක්ෂ නීති දහය •පත්තිරු තුන - පොරොන්දුවේ කරුණු තුන •කොළ පාට - සොබා දහමට ඇති ලැදි බව / එළිමහන් දිවිය •ලා රෝස පාට - නිහතමානී බව / සමානාත්මතාව / උපේක්ෂශීලී බව •පලා පෙති දහසය - දේශීය සංස්කෘතික ලක්ෂණ

ලෝක බාලදක්ෂ නායකතුමාගේ ලංකා සංචාරය

සංස්කරණය
  • 1921 දී පළමු වරට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක බේඩන් පවෙල් සාමිවරයා සහ ඔලේව් සෙන්ට් ක්ලෙයාර් මැතිනියගේ ලංකාවට සැපත් වීම සිදු විය. එම අවස්ථාවේ දී ඔවුන් පිළිගැනීමට කොළඹ ගාලූ මුවදොර පිටියේ රැළියක් පැවැත්විය.
  • 1934 බී.පී. තුමා සහ ඔලෙව් මැතිණියගේ දෙවන ලංකා සංචාරය සිදු විය. 1934 අගෝස්තු මාසයේ පැවකි Our Chalet හි 8 වන ලෝක සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රධානීන් යුවල ඇඩ්‍රියාටික් නෞකාවෙන් ජිබ්‍රෝල්ටාර්, ප්‍රංශය, මෝල්ටා, ඇල්ජියර්ස්, ලිස්බන් නෙදර්ලන්තය නැගෙනහිර ඉන්දීය කොදෙව් (බටාවියා, සමරං, සොරුබයා) වෙත ගමන් කල අතර ඔස්ට්‍රේලියාව දක්වා සංචාරය කරනු ලැබිණ. ඊජිප්තුවේදී බාලදක්ෂිකාවන්, බාලදක්ෂයින්, පෝතකයින්, බ්‍රව්නීස් 1600ක් විසින් පිළිගැනීමක් සිදු කරන ලදී.
  • 1937 ලෝක සංචාරයේ කොටසක් ලෙස ඉන්දියානු ජම්බෝරිය සඳහා සහභාගීවීමට ඔලෙව් මැතිණිය (ජනවාරි සිට අප්රේල් දක්වා) සංචාරය කලේය. (ලංකා සංචාරය පිලිබඳ තොරතුරු සොයා බැලිය යුතුයි) පසුව ලෝක නායක දෙපල 5th World Jamboree, Holland සහභාගී වූහ.
  • 1957දී ලෝක ප්‍රධාන මාර්ගෝපදේශක ඔලවේ බේඩන් පවෙල් ආර්යාව ශ්‍රී ලංකාවට පැමිණි අතර, අපේ රටේ බාලිකා මාර්ගෝපදේශකත්වය භාර ගැනීමට වඩාත්ම දක්ෂ තැනැත්තිය ලෙස සීතා රාජසූරිය මහත්මිය හඳුනා ගත්තේ ඇයයි. ශ්‍රී පාදයට ඉහළින් පියාසර කරන අතරතුර බේඩන් පවෙල් ආර්යාව රාජසූරිය මහත්මියගේ අතින් අල්ලාගෙන වගකීම භාර ගන්නා බවට පොරොන්දු වූවාය. මෙහිදී බ්‍රවුන්සී කඳවුරේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් ලොව පුරා සැමරුම් රැසක් පැවතියේය. මෙම සංචාරයේදී තුන්වන ලෝක මධ්‍යස්ථානය වන අපේ කබානා විවෘත කිරීම සිදුකලේය. ශ්‍රී ලංකාවට අමතරව ඝානාව, ඔස්ට්‍රේලියාව දක්වා සංචාරය කරනු ලැබූ අතර "මට කිසිදා අසනීපයක් නැත" යැයි පවසනු ලැබූ බවත් ඇය පිත්තාශයේ ගල් හේතුවෙන් දැඩි සේ පීඩා විඳි බවත් සංචාරය අවසානයේදී ඕස්ට්‍රේලියාවේ මිතුරන් විසින් ඇයව රෝහල් ගත කලබවත් පැවසේ.
  • 1961දී කෙන්සිංටන් හි බීපී හවුස් විවෘත කරනු ලැබූ අතර පසුව ඔලව් ඉන්දියාව, නැගෙනහිර පකිස්ථානය, බුරුමය, ලංකාව, ඉතාලිය, අයිල් ඔෆ් වයිට් සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල සංචාරය කරනු ලැබීය. කැනඩා දක්වා සංචාරය අතරතුර දී ඔක්තෝම්බර් 13දින ප්‍රයිස් එඩ්වඩ් දූපතේදී ඔලේව්ට හෘදයාබාධයක් ඇති විය.

ලංකා පළමු බාලදක්ෂ කණ්ඩායම්

සංස්කරණය

එෆ්.ජී.ස්ටීවන්ස් මහතා මාරුවීම් ලද දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරමින් බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. 1912 දී 1වන මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය ද, 1913 දී මහනුවර ධර්මරාජයේ ද, 1914 දී ගාල්ල මහින්දයේ ද 1916දී 1st Jaffna කණ්ඩායම ද, බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කළේ ය. බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූ අතර ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා කළේ ය. 1914 දී පළමුවන කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ අරඹන ලදී. ඒය ආණ්ඩුකාරතුමා උතුමන්ගේ කණ්ඩායම ලෙසින් ද හැදින් වේ.

  • 1 වන මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය - 1912
  • 1 වන මහනුවර ධර්මරාජ විද්‍යාලය - 1913
  • 1 වන කොළඹ අග්‍රාණ්ඩුකාරතුමාගේ කණ්ඩායම - 1914
  • 1 වන යාපනය කණ්ඩායම - 1916
  • 1 වන ගාල්ල මහින්ද විද්‍යාලය - 1914

ශ්‍රී ලංකා බාලදක්‍ෂ පදක්කම් ක්‍රමය

සංස්කරණය

සිඟිති අංශය

සංස්කරණය
  1. සාමාජික පදක්කම
  2. සතුට
  3. දිනුම

පෝතක අංශය

සංස්කරණය
  1. සාමාජික පදක්කම්
  2. ලෝකඩතරු පදක්කම්
  3. රිදීතරු පදක්කම්
  4. රන්තරු පදක්කම්

බාලදක්‍ෂ අංශය

සංස්කරණය
  1. ජාතික බාලදක්ෂ සාමාජික පදක්කම.
  2. බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය.
  3. සමූහ බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය.
  4. දිසා කොමසාරිස් ප්‍රදානය.
  5. ප්‍රධාන කොමසාරිස් අභියෝගතා ප්‍රදානය (අනිවාර්ය ප්‍රදානයක් නොවේ

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Sri Lanka Scout Council – SRI LANKA SCOUTS".
  2. ^ "Gazette of Government of Ceylon" (PDF). Gazette of Government of Ceylon. Chapter 498: XV/324. මාර්තු 1957.
  3. ^ "Sri Lanka Consolidated Acts". Ceylon Scout Council Act (No. 13 of 1957).

බාහිර සබැඳි

සංස්කරණය