වැලිගම අග්‍රබෝධි රජ මහා විහාරය

ගාලු මාතර අතර මහා මාර්ගයේ 88 - 89 දරණ සැතපුම් කණු අතර සුප්‍රසිද්ධ වැලිගම් නගරයේ රමණීය කඳු ගැටයක් මතම මනෝභාවනීය වූ මෙම ඓතිහාසික රාජමහා විහාරය (වැලිගම මහ වෙහෙර) පිහිටා තිබේ. ශත වර්ෂ විසි දෙකකටත් වඩා පැරණි වූ අග්‍රබෝධි මහා විහාරය නිසා වැලිගම් පටුණ ඉතිහාසගත විය.

ඉතිහාසය

සංස්කරණය

මෙයට අවුරුදු දෙදහස් දෙසිය ගණනකට පෙර ශ්‍රී ලංකාද්වීපයේ බුදු සසුන පිහිටුවා වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකේශ්වර දේවානම් පියතිස්ස මහ රජු විසින් අනුරපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස් බීජයන් පැළකොට ඉන් එක බෝධියක් වැලිගම රෝපණය කරවා මේ ස්ථානය පූජනීයත්වයට පත් කරවනු ලද බව වංශ කතාවල සටහන් වී ඇත.

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේට සිව් කෙලෙසුන් නසා බුදු වීමට උපකාර වූ දඹදිව ගයා ශීර්ෂයෙහි වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ආඥා චක්‍රවර්තී ධර්මාශෝක මහ රජුගේ දියණියන් වූ සංඝමිත්තා රහත් මෙහෙණිය සමඟ ලක්දිවට ගෙන්වා මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනය පරිදි දේවානම් පියතිස්ස මහ රජාණෝ දහස් ගණන් මහ රහතුන්ගේ ද, දස දහස් ගණන් මහජනතාවගේ ද, සාධු නාදය පවතිද්දී මහා පෙළහර මැද අනුරාධපුර මහමෙව්නා උයනේ රෝපණය කළාහුය.

අනුරාධපුරයට අයත් සීගිරි ගී වල  වැලිගම් වැසි අග්බෝයි  හිමියන් ලියන ලද ගී දෙකක් වෙයි.

  • 409. නැගී අළුයම අවුජ් - බලය් සිටියිනි මෙහිමය්

වින්ද්ම් මන්මරු ගස එත - තඹරු වෙනෙහි ස්වන්ද්මෙහි - අග්බෝය් හිමියෙමි මෙගිලිමි ස්වස්ති

  • 410.  පිලි අපුලන තොටි නැත්තෙන් - හව්ගර් නැත්තෙන්

වැද මෙසෙන් දිරියක් -  බෙයන්ද්හි රන්වනුත් අතුරා වැලිගම් වැසි අග්බෝ හිමි ගී ලීමි

මේ ගීත දෙකම වැලිගම අග්‍රබෝධින් වහන්සේගේ ආරක්ෂාවට මිහිදු  මහ රහතන් වහන්සේගේ නියමය පරිදි  වැඩ සිටි භික්ෂු පරපුරේ හිමිනමක් ගේ වියයුතු බවට පිළිගැනේ. එම පරපුරේ හිමි නමක් සීගිරි බැලීමට ගොස් මෙහි ගී ලියූ බව සැලකේ. මේ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මෙන් අග්‍ර බෝධින් වහන්සේගේ රැකවරණයට පාරම්පරිකව භික්ෂු පරපුරක් වැඩසිටි බව පිළිගත හැකිය.

අෂ්ඨ මංගල පුරාවස්තුව

සංස්කරණය

විහාර භූමියේ ධර්ම ශාලා පෙදෙස කැණීමේදී මෙම පුරාවස්තුව හමුවී ඇත. අඟල් 1ක් ඝනකම ඇති අඟල් 8  X අඟල් 8 ක් වූ හුණු ගලින් නිර්මිත මෙහි මංගල ලකුණු අටක් ඇත. උතුරු මැද පළාතේ කිවුලෙකඩින් හමුවූ මෙවැනි පුරාවස්තුවක් හානියට පත් වූ හා අපැහැදිලි සංකේත නිසා හඳුනා ගැනීමට පමණක් නොව වැටහීමක් ලබා ගැනීමට ද නොහැකි තරම්ය. කලා කෘතියක් ලෙස පමණක් නොව අර්ථයෙන් ද,  පරිපූර්ණ සංකේතවලින් ද මේ තරම් අගනා කෘතියක් මෙතෙක් පුරාවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන නොමැත. ශ්‍රීවක්ය, චාමර, අංකුස, මත්ස්‍ය, ස්වස්තික, භද්‍රවිත, සංඛ, පූර්ණඝට මෙම මංගල සංකේත අටයි. ඉතා  සියුම් කැටයමින් යුතු මෙම අලංකාර පුරාවස්තුව අනුරාධපුර යුගයේ එනම් ක්‍රි. ව 850 ට පමණ අයත් වන බව පුරාවිද්‍යාඥ මතයයි. එසේම එය අසාමාන්‍ය ලක්ෂණවලින් හා අපූර්ව නිර්මාණයකින් ද යුක්ත වෙයි. මෙයින් අනව තප්ත විල නිරූපණය කරන බවත් සෞභාග්‍යයේ දේවතාවිය වන ශ්‍රී දේවී කිරි සයුරෙන් ඉපදීම සංකේතවත් කරන බවත් පවසත්, මෙතෙක් ඉන්දියාවේ හෝ ලංකාවේ දී සොයාගනු ලැබූ මෙවැනි පේකඩකින් මෙතරම් අදහස් සමූහයක් නොදක්වන බව ඔවුහු ප්‍රකාශ කරති. මෙය ලංකා හා ඉන්දියා පුරාවිද්‍යා විෂයට අතිශය වැදගත් වන්නකි.  හානි නොවූ මැකී නොගිය ශ්‍රී ලංකාවේ එකම අෂ්ඨමංගල පේකඩ මෙයයි.

ක්‍රි.ව 1202 - 1208 රජ පැමිණි කල්‍යාණවතී රැජිනිය විසින් අග්‍රබෝධි විහාරයට  අයස්මන්ත සෙන්පතිවරයා යවා එහි මනරම් විහාරයක් කරවා සඟ සතු කොට, පූජා කොට රාජකුලවඩන නමින් පිරිවෙනක් ද අරඹා දුෂ්කර කාල වලදී ප්‍රයෝජනය පිණිස ගම් කුඹුරු හා දැසි දසුන් ද දුන් බව සඳහන් වේ.

පසිද්ධං සක නා මෙන සරාජකුල වද්ධනං පරිවෙනංච කරෙත්වා තස්සරක්ඛා විධායකො ආරාමාදි පරික්ඛිත්තේ - දුම්භික්ඛෙ දුරතික්කමෙ ගාති කෙත්තෙ පරික්ඛරෙ දාසි දාසෙ අදාසිසො

මහා වංශයේ 90 වන  පරිච්ඡේදයේ වැලිගම කරවන ලද විහාරයක් ගැන සඳහන් වේ.

වල්ලිගාම විහාරස්මිං අත්තනො නාමධෙය්‍යතො ද්විභූමං දීඝපාසාදං පරක්කම භූජවිහයං කාරාපෙත්වා මහා සංඝ සන්තකං ධරණීපති තස්සා දාසි මහා භොගග්ගාමං සාලිගිරි ච්හයං

මහ රජතුමා වල්ලිගාම විහාරයෙහි පරාක්‍රම නමින් දෙමහල් දිගු ප්‍රාසාදයක් කරවා මහා  සඟ සතු කොට ඒ වෙහෙරට ඇල්ගිරි නම් මහත් භෝග ඇති ගම්වරයක් පූජා කළේය. මේ සිදුවීම ක්‍රි. ව 1302 දී රාජ පැමිණි පොළොන්නරු රාජධානිය කොට ගත්  IV - වන පරාක්‍රමබාහු රජතුමන්ගේ ලෙස සැලකේ.

සතර වන බුවනෙකබාහු රජතුමා විසින් ක්‍රි.ව 1340 - 1353 සමයේ දී සේනාධිලංකාර සෙන්පතිතුමන් ලවා අග්බෝ වෙහෙරෙහි අටළොස් (දහ අට) රියන් පිළිම ගෙයක් කරවා පූජා කළ බව නිකාය සංග්‍රහයේ සඳහන් වෙයි. ගම්පල යුගයේ එම පිළිම ගෙය ජනප්‍රියව පැවති බව තිසර සංදේශයෙන් ද පැහැදිලි වෙයි.

46. සූ සැදි සිරිමහ බෝ - අග්බෝ වෙහෙර මනහර පානා සිව් උපා සිරිලක රැකුම නිසා සේනා ලක දියර අගමැති සිතැති ලෙසා පුරමින් දස පැරුම් පතමින් පසිඳු බුදු සිරි පෙරවූ අයම් විතරින් මඳකුත් නොහැර කරපු පිළිම ගෙට වැඳ ඉන් ගොස් එවර

47. අමා නිවන් පුරයට මාවතක් බඳ සමානයෙන් යුතු බුදුරුව දැක එ සඳ පෙමාබරින් නැමුනා මෙන් නැමී වැඳ සමා සිතින් ලැබ එහි රෑ තැනෙක සොඳ

                  ගම්පොල යුගය - තිසර සංදේශය

තිසර සංදේශය හැරුණුවිට අග්‍රබෝධි විහාරය ගැන සඳහන් වන තවත් සංදේශයක් නම් කෝට්ටේ යුගයේ රචිත කෝකිල සංදේශයයි.

65. අග්බෝ වෙහෙර සැදි - මුනිරූ බලත වෙසෙසින් අග්බෝ පහළ වුව මිසනො පිළිවනි සක් දෙවිදු විලසින්

කෝට්ටේ යුගය වන විට විහාර මාළිගයෙහි බුදු පිළිම රන් ආලේපිතව තිබූ බව මෙයින් පැහැදිලි වෙයි. එම පිළිම ශක්‍ර දේවේන්ද්‍ර විලාශයෙන් බබලමින් දෙව්ලොවින් පහළ වූ දිලිසෙන ස්වභාවයෙන් තිබූ බව එම කවියෙන් පැහැදිලි වෙයි.

අග්‍රබෝධි විහාරය ගැන කෝට්ටේ යුගයේ සවැනි පැරකුම් රජු දවස ලියැවුණු සිරි රහල් හිමියන්ගේ පරෙවි සංදේශයේ මෙසේ සඳහන් වෙයි.

සඳවෙල  වසන් නිලඹර මුහුලසින්      බැඳ   සොද පෙර දිගු දිගු නෙත සැදි නළල්     මැද සඳන් තලාවක සිරිගත  සුපුන්                සඳ රම මිතුර  අග්බෝ වෙහෙර මන             නද

විහාරාංගයක් ගැන වැඩි විස්තරයක් එම සංදේශයේ සඳහන් නොවෙතත් කෝට්ටේ සිට දෙවිනුවරට යන පරවියා සිව්වන දින රාත්‍රියේ නවාතැන් ගන්නේ අග්බෝ වෙහෙරෙහිය. එම වෙහෙර එදා ජනතාවට පමණක් නොව සතුන්ටද ක්ෂේම භූමියක්ව ජනාදරයට පාත්‍රව තිබූ බව එයින් පැහැදිලි වෙයි.

අෂ්ඨ ඵල බෝධි, දෙතිස් ඵල බෝධි පිහිටා ඇති පවිත්‍ර සමසතලිස් මේ පූජනීය ස්ථාන වලට මහා මහින්ද අරිට්ඨ ආදී මහ රහතන් වහන්සේලා ද, සංඝමිත්තා, අනුලා ආදී මහ රහත් භික්ෂුණීන් වහන්සේලා ද පැමිණ වන්දනා මාන පූජෝපහාර කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

මිහිඳු මා හිමියන්ගේ ඉල්ලීම පරිදි දේවානම් පියතිස්ස රජතුමා දෙතිස් ඵල රුඛ බෝධියන්ගෙන් පළමුවන බෝධි අංකුරය රෝපණය කොට වැලිගම් පටුනේ දැනට මෙම විහාරය පිහිටි ස්ථානය රහත් පා පහසින් පවිත්‍ර කොට පූජනීය තත්ත්වයට පත් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. පරම්පරා ගණනක්ම රහත් හිමිවරු මේ ස්ථානයේ විසූහ. මහා වංශය, චූල වංශය, බෝධි වංශය, නිකාය සංග්‍රහය, සද්ධර්මාලංකාරය වැනි කෘතිවලත් තිසර, මයුර, කෝකිල, පරවි සංදේශවලත් අග්‍රබෝධි විහාරය ගැන අලංකාර තොරතුරු ඇතුළත් වෙයි.

රාජ නියමය පරිදි විහාරයට මල් සැපයූ කොටස මල් වත්ත නමින් ද, පහන් දැල්වීමට තෙල් සැපයූ ඉඩම පොල්වත්ත නමින් ද මහ සඟනට දානය සැපයූ කුඹුරුයාය ඇල්ගිරිය නමින් ද වංශ කතාවල සඳහන් වී ඇතත් ඒ එකකුදු දැනට නැත්තේ පෘතුගීසීන්ගේ ආක්‍රමණයෙන් පසුවයි.

ලංකා රාජ්‍යය බටහිර යුරෝපීය ආක්‍රමණ වලට හසුවීමෙන්  විනාශ මුඛයට යොමු වූයේ පහළොස් වැනි සියවසේ සිටයි. වැලිගම නගරය අයත් වන මුහුදු බඩ ප්‍රදේශයත් අග්බෝ වෙහෙරත් ඔවුන් විසින් විනාශ කරනු ලැබ ඇත.

මුහුදු බඩ  ප්‍රදේශයේ යුද ගිනි ඇවිල වූ පෘතුගීසීහු වැලිගම දී මහා සටන ඇරඹූහ. සටන් කරනා අතර විහාරය දුටු සොල්දාදුවෝ මැණික් ආදියෙන් සැදැහැවතුන් සාදවා  පුද කරන ලද ලක්ෂ සංඛ්‍යාත පූජා වස්තු පැහැර ගත්හ. රන් ආලේප කර තිබුණ බුදු පිළිමවල බදාම පවා ගලවා ගත්හ. නගරයට කඩා වැදුණු ම්ලේච්ඡ සටන්කරුවෝ ප්‍රභූන් මරා එහි තිබුණ වස්තුව කොල්ල කෑහ. මිනිසුන් මරා දැමීම රෞද්‍ර ලෙස කළහ. විහාරස්ථානයේදී මැරුම් නොකා පණ ගලවා ගත් භික්ෂූහු කීප නමක් වෙනත් පළාතකට පැන ගත්හ. යුද බිය නිසා විහාරයත් නගරයත් අසරණ තත්ත්වයකට පත් විය.

ක්‍රි. ව 1747 දී රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජු නිසා සසුනට යළිත් නවෝදයක් ඇති විය. සියම් රජුගේ සහ ලක් රජුගේ අනුග්‍රහයෙන් දී ඇති  පවිත්‍ර උපසම්පදා විනය කර්මය යළිත් සිදු කිරීමට හැකිවිය.

ලක්දිව උපසම්පදා භික්ෂූන් නැති වූ නමුත් මිහිඳු මහරහතන් වහන්සේගේ චීවර පරම්පරාව නොනැසී තිබුණේය. වැලිවිට සරණංකර සාමණේරයාණෝ එවකට සිටි සාමණේරවරුන්ගෙන් අග්‍රගණ්‍ය වූහ. සිංහල, පාලි, සංස්කෘත භාෂාවන් ගැන ඒ කාලයේ හැටියට සෑහෙන දැනීමක් උන්වහන්සේට තිබුණේය. ඒ නිසාම භාෂා ආදිය අප්‍රාණිකව තිබෙන විට එහි උන්නතියට උන්වහන්සේ අනල්ප  වෙහෙස දරා කටයුතු කළහ.

සියම් රාජධානියෙන් වැඩම කර වදාළ උපාලි මහා ස්ථවරයන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේ විසින් බෝධිසත්ව ගුණෝපේත වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ පළමු කොට උපසම්පදා කරනු ලැබූහ. අති ශ්‍රේෂ්ඨ උපසම්පදා විනය කර්මය ලක්දිව පිහිටි බව සෑම තැනම පැතිරී ගියේය.

මේ කාලයේ දක්ෂිණ ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ සිල්වතුන් නමින් ප්‍රකට නැණින්, ගුණෙන්, රුවින් සපිරුණ හිටිනා  මළුවේ ධම්ම රතන, වේහැල්ලේ ධම්ම දින්න, වටරක්ගොඩ ධම්මපාල, අගලකඩ ධම්මරක්ඛිත ආදි සිල්වතුන් හිමිවරු ප්‍රකටව සිටියාහුය.

මුන් වහන්සේලා මහනුවරට පැමිණ සඟරජ  හිමියන්ටවත් දක්වා පැමිණි කාරණය සැල කළ පසු සුදුසුකම් විචාරා සඟරජ හිමියන් ගුරු කොට උපසම්පදා කරනු ලැබූහ.

ටික කලක් ගුරු පා සෙවණේ වැඩ සිට ස්වකීය ආරාමවලට පැමිණ ඒ හෑම දෙනා වහන්සේ ලෝ සසුන් වැඩ සැලසීමට පටන් ගත්හ.

අගලකඩ ධම්මරක්ඛිත පහතරට මහා නා හිමියෝ

සංස්කරණය

අගලකඩ  ශ්‍රී ධම්මරක්ඛිත හිමියෝ වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරයට පැමිණියෝය. ඒ අවස්ථාව වන විට විහාරයෙහි එකද භික්ෂූන් වහන්සේ කෙනෙක් වත් නොසිටියහ.

මෙවන් අවධියක වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරයට පැමිණි අගලකඩ ධම්ම රක්ඛිත මා හිමියන්ට දක්නට ලැබුණේ විසිතුරු කැටයමින් විහාරයට නැගෙනහිර පැත්තේ තිබුණු පුරාවිද්‍යාත්මක ශ්‍රේෂ්ඨ වටිනාකමක් ඇති විනාශ කරන ලද විශාල තොරණ ද, ගොඩ මඩ ඉඩම්වල විස්තර ලිඛිත කඩා පොඩි කරන ලද ශිලා ලේඛන වල කැබලිද, අත් පා සිඳ බිඳ දැමුවා වූ බුද්ධ  රූප හා දේව රූප ද වෙයි.

මේ දැක මහත් සංවේගයට පත් උන්වහන්සේ විහාරස්ථානය දියුණු කිරීමට ඉටා ගත්හ. ගම්වාසීහු උන්වහන්සේ වෙත එක් රොක් වූහ. දිළිඳු බවෙන් මිදීමට හැකිවන පරිදි ගොඩ මඩ ඉඩම් වගා කිරීමේ ඇති අගය මහජනයාට පැහැදිලි කර දුන්හ. මහජනයා සදාචාරයෙහි පිහිටුවීමට උත්සුක වූ උන්වහන්සේ ඔවුන්ගේ ආර්ථික සංවර්ධනයට උපදෙස් දෙමින් විහාරය ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත්හ. ගිහියනට ආර්ථික තත්වය දියුණු කිරීමට උපදෙස් දුන් උන්වහන්සේ ජනතාවගේ පූර්ණ සහයෝගය ඇතිව නොබෝ කලකින් විහාරය පිළිසකර කරවා මල් පහන් අසූහාරදාහක පූජාවක්ද කරවූහ.

පහතරට මහා නායක පදවියට පත් කිරීම

අසරණ සරණ අගලකඩ ධම්ම රක්ඛිත මාහිමියන් විසින් කරන ලද ජාතික, ආගමික සේවය ගැන ඇසූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ඉතා ප්‍රසාදයට පත්වීය. මේ කාලය වන විට මුහුදුබඩ ප්‍රදේශයෙන් පෘතුගීසීන් පලවා හැර ඒවා ඕලන්දයෝ පාලනය කළහ.  අග්‍රබෝධි රාජමහා විහාරය ද ඕලන්ද බලය පැවති ප්‍රදේශයට ඇතුල් වී තිබුණේය. එසේ නමුත් බෞද්ධ කටයුතු සිංහල රාජ්‍යය යටතේම පාලනය විය.

ආගමික, ජාතික කටයුතු ඉතා උත්කෘෂ්ඨ ලෙස සිදු කරමින් සිටින අගලකඩ ශ්‍රී ධම්ම රක්ඛිත නා හිමියන් වහන්සේ එවකට පුරප්පාඩුව තිබුණු පාතරට මහනායක පදවියට පත්කොට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාණෝ ඉමහත් බුහුමන් දැක්වූහ.

ඒ රජු ඇවෑමෙන් රාජාධිරාජසිංහ නමින් මහනුවර රජ පැමිණි මහිපාලයන්  විසින් සසුන්කෙත  හොබවමින් වැඩ සිටින වැලිගම අග්‍රබෝධි රජමහා විහාරාධිපති පහතරට මහනායක අගලකඩ ශ්‍රී ධම්ම රක්ඛිත මා හිමියන්ට ඇමතිවරයෙකු මඟින් රන් පිළිමයක්, ඇත් දළ දෙකක්, අගනා වටාපතක්, චාමර යුවලක්, රන් කරඬුවක්, පිත්තල කනප්පුවක් සහ සඳුන් හරයක් යන පූජා භාණ්ඩ ද, ගොඩ මඩ ඉඩම් ද පිරිනමා රාජකීය ගෞරවය දක්වන ලදී. ඒ රජු විසින් පූජා කරන ලද ඉඩම් අතර දැනට ආරාමය අසළ තිබෙන පොකුණේ කුඹුරු ද,  වේරපල්ලේ වෙල නමැති කුඹුරු ද වෙති. දැනට සේනානායක ක්‍රීඩාංගණය හෙවත් ප්‍රසිද්ධ පිට්ටනිය  පිහිටා තිබෙන්නේ වෙහෙරපල්ලේ වෙල නමැති ඒ රජු විසින් පුදන ලද ඉඩම වේ.

දකුණු පළාතේ අදත් විහිදී පැතිරී ඇති විශාලතම සඟ පරපුර නම් අගලකඩ සඟ පුරපුරයි. එහි ආදි කතෘවරයාණෝ උන්වහන්සේ වන අතර එම පරපුරට අයත් විහාරස්ථාන සියයකට වැඩි සංඛ්‍යාවක් ඇති බව සඳහන් කළ යුතුය.

==වැලිගම අග්‍රබෝධි විහාරයේ සෙල්ලිපිය==  

එම ලිපියේ පාඨය මෙසේය :-

ශ්‍රී රාජාධිරාජසිංහ භූපාලෝත්තමයාණන් වහන්සේ බුද්ධත්වය පිණිස පුදකළ  (රණටගත්) විහාරාසන්නවූ පොකුණේ

කුඹුරු අමුනේ වපසරියද විලිපිට අඹේවිල අමු නේද වලගේවිල පෑලෙද

යන ඉඩම් ඇතුළුව හස්ති දන්ත යුගලක් සහ කුඩ කොඩි ආදී පූජාභාණ්ඩ පුදකළ අනතුරුව

සෙනෙවිරත්න කෝරළේ රාලහාමිනේ ලා මා එන නීති නමින් වැලිගම හරියෙන පහළ ගෙදරටත්තද

එඩේරුන්නෙ කොරටුවද කුඩා මීපාවල

පෑලද හියල්ගොඩ කුඹුර අමුනේද විජේසිංහමුද

ළින්ද්‍රයාණන් විසින් පල්ලික්කුඩමෙවත්තද

මෙම සෙල්ලිපියට අනුව මහනුවර යුගයේ රජ කළ රාජාධිරාජසිංහ රජතුමා විසින් කළ පූජා වස්තූන් මොනවා දැයි මැනවින් පැහැදිලි වෙයි.

මහ නා හිමිගේ අභාවය

වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරය, අකුරැස්සේ ගොඩපිටිය රාජමහා විහාරය, කනංකේ රාජමහා විහාරය, මලිදුව යකුදු වත්තේ විජයානන්ද විහාරය, මොරවක ගණේගොඩ රාජමහ විහාරය, සිත්තම්ගල්ලෙන රාජමහා විහාරය ආදී විහාර රාශියක් දියුණු කළ නක්ෂත්‍රය පිළිබඳ විශිෂ්ඨ දැනීමක් තිබුණා වූ ඉමහත් සසුන් සේවාවක් සිදු කළ  මහා මහේන්ද්‍රවංශ භූෂණ අග්‍රබෝධි විහාරාධිපතිව විසූ පහතරට මහනායක අති ගෞරවාර්හ අගලකඩ ශ්‍රී ධම්ම රක්ඛිත මා හිමියෝ ශත වර්ෂ  1724  මැයි 24 දින සියලු සකරදම් අනියතය බව ලොවට ප්‍රකට කරමින් අපවත් වී වදාළ සේක.

අගලකඩ මාහිමියන්ගෙන් පසු කොටොල සීලධර, එරමුදුගොඩ බුද්ධ රක්ඛත, බානගල සුදස්සි, අක්මීමන සෝභිත යන මහ තෙරවරු අග්‍රබෝධි රාජමහා විහාරාධිපති ධූරයට පත් වූහ.

බද්දේගම ශ්‍රී ධම්මරතන නා හිමිපාණෝ

අක්මීමන සෝභිත,  බානගල සුදස්සී යන මහතෙර දෙනමගේ අග්‍රෙශ්වර ශිෂ්‍ය රත්නය වූ බද්දේගම කීර්ති ශ්‍රී ධම්ම රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම ශාස්ත්‍රය අතිශයින්ම දුර්වලව තිබුන අවධියේ උගතුන් සිටිනා තැන් සොයා ගොස් පාලි, සිංහල, සංස්කෘත භාෂාවන් ද ඉතිහාසය, ඡන්දස්  අලංකාර, තර්ක ශාස්ත්‍ර ආදී විෂයයන් ද මැනවින් ඉගෙනීම කොට  තවදුරටත් ඉගෙනීම සාර්ථක කරලීමට කැළණියේ විද්‍යාලංකාර මහ පිරිවෙනට ඇතුළුව තත් පරිවේණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහොපාධ්‍යාය ධූරන්ධර ධර්ම කීර්ති ශ්‍රී ධර්මාරාමාභිධාන මා හිමියන් ඇසුරු කොට ධර්ම ශාස්ත්‍රය ඉගෙන විශාරද තත්ත්වයට පැමිණ එම පිරිවෙන්හිම ගුරුවරයෙකු වශයෙන් පත්ව ඉගැන්වීම කළහ.

ක්‍රි.ව 1893 දී අග්‍රබෝධි රාජමහා විහාර පරිවේණාධිපති ධූරයට පත් වූ උන්වහන්සේ විහාරස්ථානය අතිශය දියුණුවට පත්කළ අතර එම වසරේදීම අග්‍රබෝධි පිරිවෙන ද ආරම්භ කළහ. කැළණියේ විද්‍යාලංකාර  පරිවේණාධිපති රත්මලානේ ධම්මාරාම නාහිමියන්ගේ උපදෙස් පරිදි ඇරඹි එම පිරිවෙන අදත් ප්‍රදේශයට ශාස්ත්‍රාලෝකය පතුරුවමින් ධර්ම ශාස්ත්‍රීය සේවාව ඉටු කරනු ලබයි. එම නාහිමියන්ගේ යුගය මෙම විහාර පිරිවෙනෙහි ස්වර්ණ යුගය  ලෙස සැලකීම යෝග්‍ය වෙයි.

තමන් වහන්සේ වැඩ සිටින අග්‍රබෝධි රාජමහා විහාරයට අයත් විහාරාංගයන් ජරාජීර්ණව දුර්වලව තිබූ නිසා අග්‍රබෝධි විහාරය කාර්ය සංගමය නමින් සංගමයක් ක්‍රි.ව 1940 දී පිහිට වූ උන්වහන්සේ අද අපට දක්නට ඇති අභිනව විහාර මන්දිරය ඉඳිකිරීමේ පුරෝගාමී වූහ. ඒ බව ඇතුල් විහාර බුදු මැදුරට පිවිසෙන අලංකාර කැටයමින් යුතු ශෛලමය උළුවස්සේ බු.ව 2448 දී අග්‍රබෝධි විහාර කාර්ය සංගමය මඟින් කරන ලදී. යන සටහනෙන් පැහැදිලි වෙයි.

පාලි භාෂාවට සුරගුරු වන් උන්වහන්සේ මහා රූප සිද්ධි සන්නය, ජාතක ගාථා සන්නය, ඔකඳපොල සන්නය, ඇණවුම් පිරිත් සන්නය, පාලි ථූපවංශය, සිංහල බෝධි වංශය, මහා බෝධි ජාතකය, රාජ මූණරී ජාතක ගාථා සන්නය, සන්දේශ විසාතනී සන්නය ආදී සිංහල පාලි ආදී ග්‍රන්ථවල දෝෂ ස්ථාන පහ කොට මුද්‍රණ ද්වාරයෙන් ප්‍රසිද්ධියට පත් කළාහුය.

පාලි, සංස්කෘත, සිංහල යන භාෂාවන් පිළිබඳ උගතුන් අඩු අවධියක අතිවිශිෂ්ට ධර්ම ශාස්ත්‍රීය සේවාවක් සිදු කළ  උන්වහන්සේට  ක්‍රි.ව 1924 දී මාතර හා හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය මහනුවර රාජකීය උපෝසථාගාරයේ දී පත් කොට ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලදී.

සාසනෝද්දීප්තියට මා හැඟි සේවයක් සිදු කළ වැලිගම අග්‍රබෝධි රජමහා විහාර පරිවේණාධිපති පණ්ඩිත ශිරෝමණී බද්දේගම කීර්ති ශ්‍රි ධම්ම රතනාභිධාන මාතර, හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන  සංඝනායක මාහිමියෝ සියලු සකරදම් අනියනය යන බුදු වදන සිහි ගන්වමින් ගිහි පැවිදි සියලු දෙන ශෝකයට පත්  කරවමින් ක්‍රි.ව 1948  ජූලි මස 31 වන දින අපවත් වූ සේක. ඉන්පසු අග්‍රබෝධි රාජමහා විහාරාධිපති ධූරයට පත් ගාලු, මාතර දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක වලානේ කීර්ති ශ්‍රී සද්ධාවාස නාහිමිපාණෝ 1973 මැයි 2 වැනි දින අපවත් වූහ.

විහාරයේ අංග

සංස්කරණය
සීමා මාලකය

උපෝස්ථ කර්ම, අබ්බාහන කර්ම, කඨින වස්ත්‍ර ප්‍රතිග්‍රහනය ආදී ගරු විනය කර්ම කිරීමට සීමාවක් තිබිය යුතුය. එය අති බුද්ධිකා, අතිමහති ආදි වශයෙන් එකොළොස් විපත්වලින් අමිශ්‍ර වූ සීමාවක් විය යුතුය.

මේ උසස් විනය කර්ම සිදු කරනු වස් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අනුග්‍රහය ඇතිව, සංඝරාජ මාහිමියන්ගේ උපදෙස් පරිදි අග්‍රබෝධි රාජමහා විහාරාධිපති පාතරට මහානායක අගලකඩ ශ්‍රී ධම්ම රක්ඛිත මාහිමියෝ සුපේශල ශික්ෂාකාමී උපසම්පදා මහ සඟුන් උඩ පාත දෙරටින් රැස් කරවා කප් පෙළහර දක්වා බලමහිම පවත්නා වූ සීමාව තිබුණ පැරණි ගොඩනැගිල්ල ඉවත් කොට නැවත ගොඩනැගිල්ලක් ගොඩනඟා ඇත. එය මෑතකදී එනම් 1986 දී තිබූ බැවින් යළිත් පිළිසකර කිරීම විහාරස්ථ දායක සභාවේ සභාපති දේශබන්දු පාලිත වීරමන් මැතිතුමා විසින් සිදු කරන ලදී.

මහා ඝණ්ඨාව

එංගලන්තයේ වාත්තු කරන ලද හොණ්ඩර දහය හමාරක් බර ඇති (10 1/2)  සැතැපුම් හයක් දුර (06) රාවය පැතිරෙන මෙම මහා ඝණ්ඨාව 1928 දී ගෙන්වන ලදී .

ලංකාවේ තිබෙන විශාලතම ඝන්ඨා අතර මෙය දෙවන ස්ථානයට ගැනේ. දිනපතා උදේ සවස ද, පෝය දිනවල අතිරේකව ද ශබ්ද කරවන අතර ආගමික, ජාතික හා සමාජ සේවය සඳහා උපකාරවන මේ ඝණ්ඨාව අඩි හතලිහකටත් අධික ස්ථම්භ (කණු) මත සවි කොට ඇත්තේය.

විහාර මන්දිරය

ඉපැරණි මැදුර තුළ සර්වඥ ධාතු නිදන් කළ සමවත් සුවයෙන් වැඩ සිටින ඔත් පිළිමය, සිටි පිළිමය, පද්මාසන බුද්ධ ප්‍රතිමාවද, සාරිපුත්ත, මොග්ගල්ලාන, අනුරුද්ධ, ආනන්ද රහතුන්ගේ මූර්ති ද බණ ඇසීමට අහසින් වැඩමවන මහ රහතුන් ද සහ මතු බුදුවන මහානුභාව සම්පන්න ශ්‍රී විෂ්ණු සුරිඳුන්ගේ තේජස්වී රුවද ඇත. බුරුම රටින් වැඩමවන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාව මෑතදී ගෙන එන ලද්දකි.

බුදු මැදුරේ දෙවන මාලය නරඹන විට මූර්ති ද, චිත්‍ර කර්ම ද දැක්ක හැකිය. එනම් විසිතුරු දැකුම්කළු මකර තොරණ (බණ පොතක් අතින් ගත් මහා බ්‍රහ්මයා, සක්දෙවි රජ, කඳසුරිඳු, සතරවරම් දෙවිවරු, මකර තොරණේ දිස් වේ.) ජය කොන්තය අතින් ගත් විජය රජ, එම තොරණ සහ උත්තුංග දේහධාරී කඩුගත් අත් ඇති දොරටු පාලකයෝ දෙදෙනා ද උදාර තේජස්  සිංහ රාජයෝ දෙදෙනා ද එහි වෙති. දේවාරාධනාව, සූවිසි විවර විණය, සත්සතිය, බ්‍රහ්මාරාධනාව, මහින්දාගමනය, ශ්‍රී මහා බෝධි වැඩවීම, උපකාජිවක හමුව, ප්‍රථම ධර්ම දේශනාව, බුද්ධ රාහුල හමුව මේ සියල්ල මූර්ති වශයෙන් ඇත.

සදෙව්ලොව පංචනාරි සෛන්ධවයා, නවනාරි ඝටය, වෘෂභ හස්ති කුණ්ඡරය, පීඨ විමාන දෙව්දුවගේ විමානය,  අෂ්ඨ මහා දමනය, දස පාරමිතාව, බුදුරජුන්ගෙන් තනතුරු ලබා ගත් උපාසකවරු සොළොස් මහා ස්ථානය මනුෂ්‍යයාගේ ස්වාභාවිකත්වය නිරූපිත දශක දහය, වෙනත් මාලාකර්ම සහ ලතාකර්ම යන මේ සියල්ල සිතුවම් වශයෙන් නිරූපිතය. බුදු මැදුරු සතර කොණ විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ යන සතරවරම් දෙවියන්ගේ දෙවි මැදුරු ඇත. මේ සියල්ල ගැන අග්‍රබෝධි ඉතිහාසය නමින් ප්‍රථමයෙන් මුද්‍රණය කරන ලද ග්‍රන්ථයේ රමනීය, කමනීය පද්‍යයන්ගෙන් රචනා කොට ඇත.

ආරාමස්ථ  පැරණි වස්තු අතර විසිතුරු කම්බාවලින් සුරක්ෂිත පුස්කොළ පොත් ද, රාජ දේය වටාපත් ආදිය ද, ලංකාවේ තිබෙන අෂ්ඨ මංගලවලින් උසස්ම අෂ්ඨ මංගල්‍යය ද අගනා කෞතුක භාණ්ඩය ද යන මේ වස්තූහු වෙති.

දෙමහල් ධර්ම ශාලාව

දුර්වලව අවුරුදු සියයක් පැරණිව තිබුණ ශාලව  ඉවත්කොට මෙම දෙමහල් ධර්මශාලාවට මුල්ගල තබන ලද්දේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය ඉසිලූ එස්. ඩබ්ලිව් ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් විසින් 1959 වසරේදීය.

භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටක ධර්ම භාෂා ශාස්ත්‍රය හදාරන අග්‍රබෝධි පිරිවෙන ද, ශ්‍රී ධර්මරාජ දහම් පාසල ද මෙහි කරගෙන  යන අතර පිරිත් දේශනා, ධර්ම දේශනා පැවැත්වීම උපාසකවරු ශීල භාවනාවේ යෙදීම, වන්දනාකරුවන් නවාතැන් ගැනීම විවිධ සමාජ හා ආගමික උත්සව පැවැත්වීම ආදී ඉතා වැඳගත් සේවාවන් සිඳුකරනු ලබන රමණීය මේ දෙමහල් ධර්ම ශාලාව කරවන ලද්දේ  පරලෝ සැපත් මහා දානපති කීර්තිමත් නෝනිස් වණිගසිංහ මුදලාලි මහතාණන් විසිනි.

බෝධි ප්‍රාකාරය

රහත්, නොරහත්, සුරනර ආදීන්ගේ අපමණ පූජෝපහාර ලැබූ අවුරුදු දෙදහස් දෙසිය ගණනක් පැරණි මහේශාක්‍ය බෝධිරාජයා වටා බැඳ තිබුණ බෝධිප්‍රාකාරය ඇතුළු කොට ඉතා ශක්තිමත් ලෙස බෝධි ආරක්ෂක මහා ප්‍රාකාරය සහ මල් ආසනයක් ද කරවන ලද්දේ පරාර්ථකාමී ඇම්. ඒ පියතිස්ස මුදලාලි මහතාණන්  විසින් 1961 දී ය.

ධාතු මන්දිරය  

වර්ෂයක් පාසා වෙසක් පෝය දිනවල ද අවශ්‍ය වෙනත් උත්සව දිනයන්හි ද සර්වඥ ධාතු ප්‍රදර්ශනය කිරීම ඈත අතීතයේ සිට තාවකාලික මඩුවල කරගෙන එන ලද්දේ විවිධ දුෂ්කරතා මැද්දේය. ඒ අඩුව සපුරමින් බුදුරජාණන් වහන්සේට විහාරයක් කිරීමෙන් ලැබෙන මහා පින ලබාගනු පිණිස සාමදාන විනිශ්චයකාර, වෛද්‍යාචාර්ය එච්. ජී ධර්මසේන කෝර්නර් රාලහාමි විසින් දෙමව්පියන්ට සිය භාර්යාවට හා තමන්ට ද සඟමොක් සුව පතා සාදවන ලද දැකුම්කළු ධාතු මන්දිරය විවෘත කරන ලද්දේ රාජ්‍ය පරිපාලන හා වැවිලි කර්මාන්ත ඇමති සෙන්පති මොන්ටේගු ජයවික්‍රම මැතිතුමා හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමතිවර ඊ.ඇල්.බී. හුරුල්ලේ මැතිතුමන් විසින් ක්‍රි.ව 1980 දීය.

මකර තොරණ

පොළොන්නරු යුගයට අයත් ප්‍රතිමා මන්දිරය වරින්වර ප්‍රතිසංස්කරණය කරන ලද නිසා අලුත් ස්වරූපයක් ඇත. ඈත අතීතයේ තිබුණ විවිධ කැටයමින් යුතු තොරණ පරසතුරු උවඳුරුවලින් විනාශ විය. ඉන්පසු එය නවීකරණයට අවස්ථාව සැලසුනේ රාජ්‍ය පරිපාලන හා වැවිලි කර්මාන්ත ඇමති සෙන්පති මොන්ටේගු ජයවික්‍රම මැතිතුමා රජයෙන් ලබා දෙන ලද යුනෙස්කෝ අරමුදලෙනි. විහාර භූමිය  ආරක්ෂාවට පැතිකණු බැඳීම හා ජල සම්පාදනයත් එතුමන්ගේ අනුග්‍රහයෙන් සිදුවිය.

රාජ්‍ය ඉංජිනේරු මහතුන් ලවා ඉපැරණි බෝධි රාජයාගේ ආරක්ෂාව පිණිස ආධාර කණු (මුක්කු) සවි කිරීමෙන් දීර්ඝ කාලයක් පැවැත්වීමට සලස්වන ලදී. 1980  දී අග්‍රබෝධීන් වහන්සේගේ ප්‍රධාන ශාඛාව කඩා වැටීමෙන් පසු බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීම සඳහා එම ආධාර කණු ඉඳිකිරීම ගරු මොන්ටේගු ජයවික්‍රම ඇමතිතුමන්ගේ අනුග්‍රහයෙන් සිදුකළ පුණ්‍ය කර්මයකි.

නවමහා බුද්ධ ප්‍රතිමාව

1980 දී වැඩ ආරම්භ කොට 1985 මාර්තු  5 දින විවෘත කරන ලද අවුකන බුදුරුවේ අනුරුවක් ලෙස ඉදිකළ නවමහා බුද්ධ ප්‍රතිමාව දකුණු සිරිලක ඇති උසම හිටි පිළිම වහන්සේ වෙයි. විහාර මළුවෙහි දකුණු දෙස බලා අභය මුද්‍රාවෙන් වැඩ සිටින එම මහා ප්‍රතිමාව විහාරය වන්දනා කිරීම සඳහා පැමිණෙන වන්දනාකරුවන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ නොමසුරු පරිත්‍යාගයෙන් ඉදිකළ විශාලතම සංවර්ධන කාර්යකි.

සියවස් විසි තුනක පමණ  කාලයක් රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ පමණක් නොව බෞද්ධ මහජනතාවගේ නොමසුරු ආදරයටත්  පුදපූජාවලටත් භාජනය වූ මෙම ඓතිහාසික අග්‍රබෝධි රජමහා විහාරය පුරාවිද්‍යාත්මක අතින් මෙන්ම ආගමික හා ජාතික වටිනාකමකින් යුතු දක්ෂිණ ලංකාවේ ජනනන්දනීය විහාරයකි. එදා මෙන්ම අදත් රජය හා සමාජය විසින් පූජනීයත්වයෙන් සලකනු ලබන මෙම සිද්ධස්ථානය තවත් යුග ගණනාවක් අපේ අනාගතය සෑම ක්ෂේත්‍රයකින්ම සරුසාර සාධු සමාජයකට නිබඳව මඟ පෙන්වනු ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදල මාතර ව්‍යාපෘතිය මගින් පිළිමගෙයි වහලය ,බිත්ති නවීකරණය කිරීම,පිළිමගෙයි පුදක්ෂිණා පථයේ ගෙබිම ටෙරා කොටා බිම්ගල් ඇල්ලීම,විදුලි පද්ධතිය සැකසීම ගෞරව පූර්වකව සිහිපත් කල යුතුය.