රන් කිරුළු සොහොන (ග්‍යුම්ග්වන්චොං) යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන දකුණු කොරියාවේ, ග්යොංජුහි පිහිටි සිල්ලා සොහොන් ගොඩැල්ලකි. ග්යොංජු පුරාතන සිල්ලා රාජධානියේ අගනුවර ද විය. ක්‍රි.ව. පස්වන හෝ සයවන සියවසට අයත් යැයි විශ්වාස කෙරෙන මෙම සොහොන්ගැබේ කැනීම් කටයුතු 1921දී සිදු විය. පළමු වරට සිල්ලා රාජකීයයන්ට අයත් රත්රන් කිරුළක් සොයාගැනුණු පළමු සොහොන්ගැබ මෙය වන අතර, මෙතෙක් සොයාගැනුණු විශාලතම සිල්ලා කිරුළ ද එය වීම විශේෂත්වයකි. සොහොන්ගැබට මෙම නම ලැබී ඇත්තේ ද කිරුළ නිසායි.[1] සොහොන්ගැබේ කැනීම්වලින් 40,000කට අධික පුරාවස්තු සංඛ්‍යාවක් හමු විය. මේ අතරට "රන්, රිදී සහ ලෝකඩ බඳුන්, රන් සහ රිදී ආයුධ, රන් ආ‍ලේපිත ලෝකඩ සන්නාහ, ශෛලමය භාජන, ප්‍රධාන වශයෙන් නිල් පැහැ ඉන්දු-පැසිෆික් පබළු 20,000ක් සහ අශ්ව සන්නාහයන් ඇතුළත් විය."[1][2]

රන් කිරුළු සොහොන
ග්‍යුම්ග්වන්චොං සොහොන්ගැබෙන් හමුවූ රත්රන් කිරුළක්; දකුණු කොරියාවේ ජාතික වස්තුව අං. 87
කොරියානු නම
හංගුල්금관총
හන්ජා金冠塚
ප්‍රතිශෝධිත රෝමානුකරණයGeumgwanchong
මැකූන්–‍රයිෂවර්Kŭmgwanch'ong
ග්‍යුම්ග්වන්චොං සොහොනෙන් හමුවූ ඉසායිජි රජුගේ අසිපත් කොපුව; ‘ඉසායිජි රජ’ යන අරුතැති චීන අක්ෂර සතරක්, 尒斯智王, විශාලක කාචය තුළින් දැකගත හැක.

සොහොන්ගැබෙහි විෂ්කම්භය මීටර 45ක් වන අතර උස මීටර 12කි. මෙවැනි පාෂාණ ගොඩැලි සොහොන් හමුවන්නේ ෂිනාර් යුගයේ පමණි. මෙම සොහොන්ගැබ ඔපදමා තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. සොහොන්ගැබේ ව්‍යූහය බෞද්ධ ආභාසය ලබා ඇති අතර, ඒ අනුව පෙනීයන්නේ මෙය ඉදිවූයේ ජිජ්‍යුං රජ සමයයෙන් පසුව බවයි. මේ අනුව මෙහි දිනය 6වන සියවස අවට කාලයට, එනම් එක්සත් සිල්ලා යුගයට පසු කාලයකට අයත් යැයි සැලකිය හැක. රන් කිරුළු සොහොනෙහි එක් භූමදාන ගොඩැල්ලක් පවතියි. මෙහි ව්‍යූහය සරල අතර, විශේෂ පුරාවස්තු කුටියක් නොපවතියි.

සොහොන්ගැබේ කැනීම් සංස්කරණය

1921දී පෞද්ගලික නිවහනක පසුපස අංගණයේ ඉදිකිරීම් කටයුතුවල දී පුරාවස්තු සොයාගැනිණි. මේ පිළිබඳ සමීක්ෂණ කටයුතු ඉක්මණින් සිදුවූ අතර, මෙහි කැනීම් කටයුතු සමග සිල්ලා සොහොන් ගොඩැලි පිළිබඳ ජපන් අවධානය ඉහළ ගියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ගයුම්ර්යුංචොං සහ සීබොංචොං වැනි විශාල සොහොන්ගැබ් ද අනාවරණය කරගැනිණි.

අනාවරණය වූ පුරාවස්තු සංස්කරණය

රත්රන් කිරුළ හමුවූ කාලයේම රන් සහ රිදී බඳපටි ආභරණ සොයාගැනිණි. මේවා රනින් හෝ රිදියෙන් කළ කුඩා පටියකින් නිමවා තිබූ අතර, විවිධ හැඩැති එල්ලෙන තැලි 17ක් අන්තර්ගත විය. රිදී බඳපටියෙහි ආභරණ බේකජේ රාජකීය සොහොන්වලින් හමුවූ ආභරණවල මෝස්තරවලට සමානත්වයක් දැක්වී ය. මෙමගින් 5වන සියවසේ අගභාගයේ සිල්ලාව සහ බෙක්ජේ අතර පැවති සම්බන්ධතාව පැහැදිළි වේ.

මෙහි දී හමුවූ බඳුන් රන්-රිදී හා රන්-‍ලෝකඩ මිශ්‍ර ලෝහයෙන් මෙන්ම රත්රන් සහ ලෝකඩවලින් ද තනා තිබිණි. මීට අමතරව, කොන් සතරක් ඇති භාජන හා යකඩවලින් තැනූ කොරියානු ලෝකඩ කල්දේරම් ද හමු විය. මේවායේ ඇති සියුම් කැටයම්වලින් එකල ගොගුර්යෝව සමග පැවති සබඳතා හඳුනාගත හැක. ලෝකඩ තෙපා වත්කිරීමේ බඳුන චීනයෙන් ආනයනය කළ එකක් විය හැක.[3] එකල වැඩ කරන පාන්තිකයින් විසින් ලෝහ භාජන භාවිතා කරන්නට ඇතැයි සිතිය නොහැක. මේ නිසා මෙම බඳුන් මගින් සිල්ලා පාලන පන්තිය ගතකළ සුඛෝපභෝගී දිවිය පිළිබඳ සාක්ෂි ලැබේ.

සොහොන්ගැබෙන් හමුවූ ආයුධ අතරට රන් හා රිදී අසිපත්, රන් හා ලෝකඩ හිස්වැසුම්, සන්නාහ ආදිය වේ.

සොහොන්ගැබෙන් සොයාගැනුණු රත්රන් බඳපටිය ද රාජකීය සොහොන්ගැබ් තුළින් පමණක් හමුවන රාජකීයයන්ගේ වැදගත් සංකේතයකි. මෙම බඳපටිය මීටර දෙකක් පමණ දිගින් යුක්ත ය. එය ප්‍රධාන පිටයෙන් එල්ලා වැටෙන දම්වැල් ගණනාවකින් යුතු අතර, ඵලක 39ක් එක්ව සෑදී තිබේ.[3]

සොහොනේ කැනීම් කටයුතුවලින් හමුවූ රත්රන් කිරුළ සුවිශේෂී වන්නේ එහි අන්තර්ගත පක්සි පියාපත්වල රූප සහිත සංකීර්ණ විවෘත, ලෝහමය ඇතුළු හිස්වැස්ම හේතුවෙනි. මෙය ෂාමන්වාදී සංකල්ප නිරූපණය කරයි.[3] කිරුළේ ආභරණ සරල අතර, සමබර ය එහි හදවත්, මත්ස්‍ය කොරපොතු සහ සියමන්ති හැඩැති කැටයම් දැකගත හැක. ශිර්ෂ පළඳනාවේ ආභරණ අතර පියාඹන්නට සැ‍රසෙන පක්ෂි රුවක් වේ. කිරුළේ පියාපත්වල මකර කැටයමක් ද දැකගත හැක.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 Rutt (1999), p.145
  2. Francis. (2002), p.47
  3. 3.0 3.1 3.2 Nelson, (1993) pp.249-257
  • Francis, Peter. (2002), Asia's maritime bead trade: 300 B.C. to the present, University of Hawaii Press, ISBN 0-8248-2332-X
  • Nelson, Sarah M., (1993) The archaeology of Korea, Cambridge world archaeology World Archaeology Series Cambridge University Press, ISBN 0-521-40783-4
  • Rutt, Richard; Hoare, James. (1999) Korea: a historical and cultural dictionary. , Durham East-Asia series. Routledge. ISBN 0-7007-0464-7

"South Korea" යනු සැකිල්ල:ඛණ්ඩාංක නොමැත සඳහා බාරගත නොහැකි ප්‍රවර්ග පරාමිතියකි.
The problem is usually caused either by a spelling mistake or by an-over-precise category.
For a full list of categories, see ප්‍රවර්ගය:වර්ගීකරණය කර නොමැති භූගෝලීය ඛණ්ඩාංක සපයා නොමැති ලිපි and its subcategories.

"https://si.wikipedia.org/w/index.php?title=රන්_කිරුළු_සොහොන&oldid=410764" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි