රන්වන් කුකුළා සහ කිකිළිය

රන්වන් කුකුළා සහ කිකිළිය (චීන භාෂාව: 《金黄公鸡与母鸡》) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 19වන සියවසේ මුල් කාලයට අයත් කොරියාවේ ජොසොන් රාජවංශ සමයේ නිර්මාණය වූ සිතුවමකි. මෙය නොහඳුනන චිත්‍ර ශිල්පියකු විසින් නිර්මාණය කොට ඇත. මෙම සිතුවමේ දිග සෙන්ටිමීටර 114.3 පමණ වන අතර, එහි පළල සෙන්ටිමීටර 45.7 කි. සිතුවමේ වූ සමස්ත සැරසිලි අංග සහ සමග ගත් විට චිත්‍රයේ සම්පූර්ණ උස 200.7 cm වන අතර, පළල 62.9 cm පමණ වේ. මෙම සිතුවම මගින් කොරියානු චිත්‍ර කලාවේ වැදගත් තේමා ද්විත්වයක් වන පක්ෂීන් සහ මල්වල සංකලනයක් නිරූපණය කෙරේ. එසේම දීර්ඝායුෂ ලැබීමේ සංකේත දහය ලෙස සැලකෙන සූර්යයා, කඳු, ජලය, ගල් කුළු, වලාකුළු, පයින් ගස්, කැස්බෑවන්, කොකුන්, මුවන් සහ හතු මෙමගින් සංකේතවත් කොට ඇත. සිතුවමේ ප්‍රධාන දර්ශනයෙහි පෝලොව්නියා වෘක්ෂයක් මත සහ ගිරි කුලක් මත ලැග සිටින කුකුළකුගේ සහ කිකිළියකගේ රුවක් දැකගත හැක. එමගින් වාසනාව සහ අනාගතය සංකේතවත් කෙරේ. වර්තමානයේ මෙම සිතුවම එක්සත් ජනපදයේ නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.[1]

රන්වන් කුකුළා සහ කිකිළිය
චීන: 《金黄公鸡与母鸡》
ශිල්පියානොහඳුනන සිත්තරෙක්
වර්ෂය19වන සියවස (ජොසොන් රාජවංශය)
වර්ගයසිතුවම
මාධ්‍යයඑල්ලෙන ලුළිය, කඩදාසි මත තීන්ත සහ වර්ණ
මාන114.3 cm × 45.7 cm (45.0 in × 18.0 in)
පිහිටීමමෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, නිව් යෝක් නගරය
ප්‍රවේශනය19.103.2

විස්තරය සංස්කරණය

සම්ප්‍රදායික චීන සංස්කෘතිය තුළ කුකුළා හට වැදගත් ස්ථානයක් හිමි වේ. පුරාතන චීන ජනයා විශ්වාස කළේ කුකුළන් යනු "වෙන්, වූ, යොං, රෙන්, සහ විශ්වාසනීයත්වය" යන ගුණාංගවලින් යුත් පූජනීය සත්ත්වයකු ලෙසයි. මෙම සංකල්පය චීනයේ අසල්වැසි ආසියානු රාජ්‍යයන් වෙත ද ව්‍යාප්ත වී ඇත.[2] කොරියානු අර්ධද්වීපයේ ජොසොන් රාජවංශයේ චිත්‍ර කලාව තුළ ද, ව්‍යාඝ්‍රයන්, මකරුන්, කොකුන් සහ මුවන් වැනි ශුභ යැයි සැලකුණු සත්ත්වයින්ගේ රූ සිතුවම්කරණය සඳහා භාවිතා විය. මෙමගින් කොරියානු කලාව සහ සංස්කෘතිය තුළ මෙම සත්ත්වයනට හිමිවූ වැදගත්කම සහ සාර්වත්‍රිකභාවය මෙම නිර්මාණ තුළින් වටහාගත හැක. "රන්වන් කුකුළා සහ කිකිළිය" නම් වූ මෙම සිතුවම කොරියානු අර්ධද්වීපයේ ජොසොන් රාජවංශ සමයේ මුල්කාලීන 19වන සියවසේ දී නිර්මාණය වී ඇත. මෙම සිතුවමේ උස සෙන්ටිමීටර 114.3 පමණ වන අතර පළල සෙන්ටිමීටර 45.7ක් වේ. මෙහි පිටත සැරසිලි අංග ද සමග ගත් විට සිතුවමේ සම්පූර්ණ උස 200.7 cm සහ පළල 62.9 cm ලෙස ලැබේ. සිතුවම පිළිබඳ ලේඛනගත වාර්තා අල්ප හෙයින් සිතුවමේ නිර්මාණ ශිල්පියා හෝ එය නිර්මාණය වූ නිශ්චිත දිනය පිළිබඳ තොරතුරු හෙළි නොවේ.[1]

1919දී මෙම සිතුවම රොජර්ස් පදනම විසින් නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය වෙත ප්‍රදානය කරන ලදී. 1984 සහ 2015 අතර කාලය තුළ මෙම සිතුවම නිව් යෝක්, නිව් ඕර්ලීන්ස්, හොනලුලු, සැන් ‍ෆ්‍රැන්සිස්කෝ, ටුල්සා සහ ලොස් ඇන්ජලීස් යන ස්ථානවල සත් වරක් ප්‍රදර්ශනය කොට තිබේ.[1]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 "Golden Cock and Hen" (ඉංග්‍රීසි බසින්). Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-11-22.
  2. 倪方六 (2017-01-19). ""鸡文化"对古人生活的影响". 北京晚报、网易新闻. සම්ප්‍රවේශය 2017-11-22.

බාහිර සබැඳි සංස්කරණය