පඬුවස්නුවර

(පරාක්‍රමපුර වෙතින් යළි-යොමු කරන ලදි)

පඬුවස්නුවර යනු ශ්‍රී ලංකාවේ කුරුණෑගල පිහිටි නටඹුන් සහිත ඓතිහාසික අගනුවරක් වේ. ප‍්‍රාදේශීය පාලකයෙකු ලෙස 12 වන සියවසේදී පරාක්‍රමබාහු විසින් දක්ෂිණ දේශය පාලනය කල සමයේ එහි පාලන මධ්‍යස්ථානය වශයෙන් යොදාගත් පරාක්‍රමපුර නම් අගනගරය මෙම ස්ථානය වන්නට ඇතැයි සැළකේ.[1] වත්මන් වාරියපොල-හලාවත මාර්ගයේ වාරියපොල නගරයේ සිට සැතපුම් 12 ක් පමණ දුරින් පිහිටි කොටම්පිටිය ප්‍රදේශය ආශ්‍රිතව මෙම පුරාණ නගරයෙහි අවශේෂ දැකගත හැකිවේ.

පඬුවස්නුවර පුරාවිද්‍යා භූමියෙහි දැකගත හැකි ඉපැරණි බෝධිඝරයක නටඹුන්

පළමුවන පරාක්‍රමබාහු රජු ආදිපාද තනතුර දැරූ අවධියේ ඔහු විසින් දක්ඛිණ දේශයේ ඉදිකල අගනුවර වන පරාක්‍රමපුරය, මෙම ස්ථානය ලෙස හඳුනාගෙන තිබෙන අතර වර්ථමානයේ එය පඬුවස්නුවර ලෙස ව්‍යවහාර කෙරේ.[2] මෙහි වූ පුරාවිද්‍යා සාධක අනූව මෙම ස්ථානයේ පවතින නටඹුන් ක්‍රි.ව. 12වන සියවසට පමණ අයත් යැයි තහවුරු කොට තිබේ.

මෙම පුරාවිද්‍යා ස්ථානය පඬුවස්නුවර ලෙස ව්‍යවහාරවීම හේතුවෙන් ප්‍රාදේශීය ජනයා මෙම ස්ථානයේ වූ ගොඩනැගිලි අවශේෂ පඬුවස්දෙව් රජතුමා විසින් ගොඩනැංවූ පුරාණ අගනගරයක සාධක ලෙස වරදවා වටහාගෙන තිබේ. ඒ බැව් සනාථ කිරීමට ඔවුහු මෙම පුරාවිද්‍යා භූමියට නුදුරින් පිහිටා ඇති පඬුවස්නුවර රජ මහා විහාර පරිශ්‍රයෙහි වූ චක්‍රාවාලය, උන්මාද චිත්‍රාව සිරකර තිබූ එක්ටැම් ගෙය ලෙසත්,[3] පඬුවස්නුවරට ආසන්නව පිහිටි දොරබාව නැමැති ග්‍රාමය, පණ්ඩුකාභය කුමරු සඟවා සිටි දොරමඬලාව ග්‍රාමය ලෙසත් හුවාදක්වති.[4] කෙසේනමුදු පඬුවස්නුවර යන නාමය කුරුණෑගල රාජධානි සමයේ තරම් මෑත සමයේදී පැමිනෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. තවත් මතයකට අනූව මෙම ස්ථානය ආසන්නයේ පිහිටි පුරාණ වැවක් වූ පඬා වැව හේතුවෙන් මෙම ස්ථානයට පඬුවස්නුවර යන නාමය ලැබෙන්නට ඇතැයි සැළකේ.[4]

ඉතිහාසය

සංස්කරණය
 
පඬුවස්නුවර පිහිටි පළමු පරාක්‍රමබාහු රජුගේ මාළිග නටඹුන් (12වන සියවස)

වර්ෂ 1140දී පමණ තම මාමා වූ කීර්ති ශ්‍රී ‍මේඝ රජුගේ අනුප්‍රාප්තිකයා ලෙසින් දක්ඛිණදේශයේ පාලකයා බවට පත්වූ පරාක්‍රමබාහු රජු, පරාක්‍රමපුරය සිය පාලන මධ්‍යස්ථානය වශයෙන් යොදාගනිමින් දක්ඛිණදේශයෙහි යටිතල ව්‍යුහය වැඩි දියුණු කිරීමට පියවර ගත් බව සඳහන් වෙයි. එසේම ඉන්දියාවට පැහැරගෙන ගොස් තුබූ දළදා වහන්සේ නැවතත් ලක්දිවට වැඩමවූ පසු පරාක්‍රමබාහු රජු විසින් පරාක්‍රමපුර පිහිටි පඬුවස්නුවර රජ මහා විහාර පරිශ්‍රයේ වූ දළදා මැදුරෙහි කෙටිකලක් තැම්පත්කොට වැඳුම්පිදුම් සිදුකෙරූ බව තොරතුරු ප්‍රකාශ වේ.[5][3] පසුකාලීනව සිදුකල යුද්ධමාලාවකින් අනතුරුව වර්ෂ 1153දී මුළු දිවයිනෙහි රාජ්‍යත්වය හිමිකරගත් පරාක්‍රමබාහු රජු සිය අගනගරය පරාක්‍රමපුරය සිට පොළොන්නරුව (චූල වංශයෙහි සඳහන් පරිදි පුලත්තිනගර) වෙත ගෙනගිය බැව් සඳහන් වේ.

නටඹුන්

සංස්කරණය

මෙහි දැකගත හැකි නටඹුන් ක්‍රි.ව. 12වන සියවසට අයත් වේ. හෙක්ට්යාර 20ක පමණ භූමි ප්‍රමාණයක නටඹුන් ගොඩනැගිලි විසර පවතී. ඒ අතර පංචායතන ගොඩනැගිලි, රජමාළිගයක නටඹුන් හා ශිලා ලේඛන වේ.

පඬුවස්නුවර මාළිගය

සංස්කරණය

ප්‍රාකාර දිය අගල් වලින් වටවූ ඇතුළු පුරයෙහි ඉදිකොට ඇති පඬුවස්නුවර රජමාළිගයෙහි සැළැස්ම පොළොන්නරුව මහා පරාක්‍රමබාහු රජ මාළිගයට තරමක් සමාන වේ. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු (ක්‍රි.ව. 1187-1196) වරක් මෙම මාළිගයට සම්ප්‍රාප්ත වූ බව රජමාළිගයේ පිහිටි ගල් ආසන ලිපියේ සඳහන් කර ඇත.

ගල් ආසන ලිපිය

සංස්කරණය
 
පඬුවස්නුවර බෞද්ධ පංචායතනයක නටඹුන්

පඬුවස්නුවර නිශ්ශංකමල්ල රජුගේ ගල් ආසන ලිපිය මධ්‍යකාලීන සිංහල අක්ෂර හා සිංහල භාෂාව යොදාගනිමින් ක්‍රිස්තු වර්ෂ 12වන සියවසේදී නිමවා තිබේ. නිශ්ශංකමල්ල රජු සිය නව වන රාජ්‍ය වර්ෂයෙහි නවම් මස පුන් පොහෝ දින මෙහි සඳහන් ආසනයෙහි හිඳ නැටුම්, ගැයුම්, වැයුම් නැරඹූ බව ලිපියෙහි විස්කර වේ. තවද රජු කාලිංග, පාණ්ඩ්‍ය හා චෝල යන රටවල් යටත් කර ගත් බව ශිලා ලිපියෙහි සඳහන්කොට ඇත.

පංචායතන

සංස්කරණය

රජමාළිගය පිහිටි ඇතුළු නුවරට දකුණින් සහ උතුරින් පැරණි සංථාරාම කිහිපයක නටඹුන් දැකගත හැකිවේ. එවා එකිනෙක සංඝාරාම, දාගැබ්, ප්‍රථිමා ගෘහ, බෝධිඝර, උපෝසථඝර හා ආවාස ගෘහවලින් පරිපූර්ණ වී තිබේ. නිශ්ශංක මල්ල රාජ සමයට අයත් ද්‍රවිඩ ශිලා ලිපියක්ද එක් සංඝාරාම බිමක දැකගත හැකිවේ.[6]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "පුරාවිද්‍යා දිනය පිළිබඳ..." දැනුම. 13 මැයි 2010. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2016.
  2. ^ "ආදරණීය පඬුවස්නුවර". බුදුසරණ. 11 ඔක්තෝම්බර් 2013. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2016.
  3. ^ a b "හිස්ට්‍රි, ලෙජන්ඩ්, ඇන්ඩ් නෙග්ලෙක්ට් ලයි සයිඩ් බයි සයිඩ්". සන්ඩේටයිම්ස්. 29 නොවැම්බර් 2015. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2016.
  4. ^ a b "අතීත ශ්‍රී විභූතිය අදටත් නොමැකුණ පඬුවස්නුවර ශ්‍රී සුමනාරාම..." දිනමිණ. 29 ජූලි 2016. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2016.
  5. ^ "පඬුවස්නුවර රාජධානිය". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 17 සැප්තැම්බර් 2016.
  6. ^ "පඬුවස්නුවර ටැමිල් ස්ලැබ් ඉන්ස්ක්‍රිප්ෂන්". ලංකාප්‍රදීප. 3 මැයි 2018. සම්ප්‍රවේශය 2 දෙසැම්බර් 2023.

ආශ්‍රේය

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=පඬුවස්නුවර&oldid=608534" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි