පංචපාණ්ඩව ලෙන් දේවාලය

පංචපාණ්ඩව ලෙන් දේවාලය (හෙවත් පංච පාණ්ඩව දේවාල සහ පංචපාණ්ඩවයන්ගේ මණ්ඩපය) යනුවෙන් හඳුන්වන්නේ මහාබලිපුරම්හි පිහිටි ස්මාරකයකි. මෙය ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ කාංචීපුරම් දිස්ත්‍රික්කය තුළ බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ පිහිටා ඇත. මෙම මණ්ඩපමහාබලිපුරම් ස්මාරක සමූහයට අයත් කොටසකි.[1] මෙහ මහාබලිපුරම්හි පිහිටි විශාලතම ලෙන් දේවාලය ද වේ.[තහවුරු කර නොමැත] මෙය පසුකාලීන 7වන සියවසට අයත් ඉන්දියානු ගලෙහි නෙළූ ගෘහනිර්මාණ ශිල්පය සඳහා විශිෂ්ට නිදසුනකි. මෙම දෙවොල පුරාතන විශ්වකර්ම ස්ථපතිවරුන්ගේ ශෛලමය ගෘහනිර්මාණ ශිල්පයේ අනර්ඝ නිමැවුමකි. මහාබලිපුරම් ස්මාරක සමූහය අතුරින් එකක් වන මෙය 1984දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස අභිලේඛනය කරන ලද්දේ නිර්ණායක i, ii, iii සහ iv අනුවයි.[2]

පංචපාණ්ඩව ලෙන් දේවාලය
පංචපාණ්ඩව ලෙන් දේවාලය, 1860දී
මූලික තොරතුරු
පිහිටීමමහාබලිපුරම්
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයකාංචිපුරම් දිස්ත්‍රික්කය
ජනපදයතමිල් නාඩු
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයද්‍රවිඩියානු ගෘහනිර්මාණ ශිල්පය
නිර්මාපකනරසිංහවර්මන් I මාමල්ල, පල්ලව රාජවංශය
අභිලේඛන1984 ලෝක උරුම අඩවියක් ලෙස මහාබලිපුරම් ස්මාරක සමූහයේ යුනෙස්කෝ අභිලේඛනය[1]

භූගෝල විද්‍යාව

සංස්කරණය

පංචපාණ්ඩව මණ්ඩපය හෙවත් පංච පාණ්ඩව ලෙන් දේවාලය පිහිටියේ මහාබලිපුරම් නගරයේ අර්ජුනගේ තපස නම් එළිමහන් අල්ප-උන්නත කැටයම අසල ය.[3] මෙය සහ මහාබලිපුරම්හි සෙසු ලෙන් ඉන්දියානු සාගරයේ බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ කඳු සහිත ප්‍රදේශය මුදුනේ ය. වර්තමානයේ කාංචිපුරම් දිස්ත්‍රික්කයට අයත් මෙය චෙන්නායි (පෙර මදුරාසි) නගරයේ සිට කිලෝමීටර 58ක් (සැත. 36) සහ චිංගල්පේට් සිට කිලෝමීටර 32ක (සැත. 20) පමණ දුරින් පිහිටා ඇත.[4]

ඉතිහාසය

සංස්කරණය
 
පංචපාණ්ඩව ලෙන් දේවාලයට පිවිසෙන ස්ථානයේ සාමාන්‍ය දර්ශනය, 1885දී

බරාඳයේ පිහිටි සිංහ පාදම සහිත කුළුණු පල්ලව ගෘහිනර්මාණ ශිල්පයේ දර්ශීය ශෛලියෙන් යුතු ය. ලෙන තුළ කැටයම් කොට ඇති ගෘහනිර්මාණ අංග අනුව අනුමාන කෙරෙන්නේ මෙම ශෛලිය 7වන සියවසේ මැදි කාලයේ Iවන නරසිංහවර්මන් මාමල්ල යුගයට හෝ IIවන නරසිංහරවර්මන් රාජසිංහ යුගයට අයත් බවයි.[3][5] මෙය මහාබලිපුරම්හි පල්ලවයන් විසින් ඉදිකළ වැදගත් ලෙන් දේවාලය දහය අතුරින් එකකි.

සැලැස්ම

සංස්කරණය
 
පංච පාණ්ඩව ලෙන් දේවාලයේ තවත් දසුනක්

මෙම ලෙන් දේවාලය අසම්පූර්ණ ය. පිවිසුම නැගෙනිහරට මුහුණලා නිමකොට ඇත. අඩි 50ක් (මීටර 15) දිගැති මෙම දේවාලයේ පිහිටි බිංගෙය මහාබලිපුරම් ලෙන් දේවාල අතුරින් දිගම ගෘහය වේ. විවරයේ දිග අනුව, ප්‍රධාන දෙවොල වටා පැදකුණු කිරීමට ලෙන තුළ ප්‍රදක්ෂිණා පථයක් තිබූ බැව් පෙනේ.[3]

ගෘහනිර්මාණ ශිල්පය

සංස්කරණය

ලෙනෙහි පිවිසුමෙහි දක්නට ලැබෙන හිඳගත් සිංහ රූ වලින් යුක්ත කුළුණු දර්ශීය පල්ලව ශෛලමය ගෘහනිර්මාණ ශිල්පයේ ලක්ෂණයකි.[5] ලෙනෙහි ප්‍රසාද මුඛයෙහි මෙවැනි සිංහ පාදම සහිත කුළුණු සයක් වේ. මීට අමතරව තවත් කුළුණු දෙකක් ගලටම යාව පවතින සේ නෙළා ඇත. සෙසු ලෙන් හා සැසඳීමේ දී මෙම ලෙනෙහි සැලැස්මේ සහ ගෘහනිර්මාණ අංගවල කිසියම් ප්‍රගමනයක් දැකගත හැක. ඉන් එක් ලක්ෂණයක් නම් දකුණු ඉන්දියාවේ විධිමත් ව්‍යූහමය දේවාල වටා දක්නට ලැබෙන ප්‍රදක්ෂිණා පථයක් මෙහි ද ඇතුළත් වීමයි.අනෙක් ලක්ෂණය නම් ප්‍රාසාද මුඛය තනන කුළුණුමත සිංහ රූ සහිත කුරුපා දක්නට ලැබීමයි. මේ සෑම කුරුපාවක්ම ඉදිරිය සහ දෙපස බලා සිටින සිංහ රූ තුනකින් සමන්විත ය. නමුත් එහි පසුපස සිංහ රුවක් දක්නට නැත.[3] කුළුණු ශීර්ෂවලට ඉහළින් පිහිටි කුරුපාවල සිංහ රූපවලට අමතරව මිත්‍යාමය සත්ත්වයින් මත හිඳගත් මිනිස් රූ දැකගත හැක. ව්‍යාල පාදමක් සහිත කුළුණු සහ නෙරි කුළුණු නිමවා ඇත්තේ සමචතුරස්‍රාකාර පීඨ ඵලකයක් මත ය.[6]

ගුහාව තුළ කුළුණු සතරකින් සහ නෙරි කුළුණු දෙකකින් වුත් දෙවන කුළුණු පේළියක් ද දැකගත හැක. මෙම දෙවන බරාඳයේ පසුපසට වන්නට අෂ්ටාස්‍රාකාර හැඩයෙන් යුතුන තැනූ කුඩා කුටීරයක් වේ. මෙහි දෙපසින් විමාන දෙකක් තනා ඇත. මේ අනුව පෙනීයන්නේ මෙම කුටීරය සමචතුරස්‍ර හැඩයෙන් තැනීමෙන් එයට පසුපසින් ප්‍රදක්ෂිණා පථයක් තැනීමට අදහස් කොට තිබෙන්නට ඇති බවයි. මධ්‍යයේ කුඩා එක් කුටීරයක් පමණක් තනා ඇත. මෙය ප්‍රධාන පාෂාණයට සම්බන්ධව පවතියි. පිවිසුමෙහි, වක්වූ බිත්ති ශීර්ෂ තුළ පිටතට නෙරා ආ කුඩා පූජාස්ථාන හතරකින් යුත් පූජාස්ථාන ගණනාවක් වේ. මෙම පූජාස්ථානවල ගෝලාකාර පියැසි කූඩු අශ්ව ලාඩම්-හැඩැති නෙරුම්වලින් යුක්ත ය. කුඩුවලට පහළින් වූ විමාන තුළ දේවතාවකුගේ රුවක් කැටයම් කොට ඇත. එසේම රෞද්‍ර පෙනුමක් සහිත සිංහ රූ ද කැටයම් කොට ති‍බේ.[3]

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ a b "Group of Monuments at Mahabalipuram". World Heritage Convention. සම්ප්‍රවේශය February 24, 2013.
  2. ^ "UNESCO Site 249 – Group of Monuments at Mahabalipuram" (PDF). UNESCO World Heritage Site. 1983-10-15. සම්ප්‍රවේශය 2009-05-18.
  3. ^ a b c d e "Mahabalipuram – The Workshop of Pallavas – Part II". Pancha-Pandava Mandapa. Puratattva.in. සම්ප්‍රවේශය 23 February 2013.
  4. ^ Ayyar, P. V. Jagadisa (1982). South Indian Shrines: Illustrated. Asian Educational Services. pp. 157–. ISBN 978-81-206-0151-2. සම්ප්‍රවේශය 7 February 2013.
  5. ^ a b "General view of the entrance to the Pancha Pandava Mandapa, Mahabalipuram". British Library. සම්ප්‍රවේශය 25 February 2013.
  6. ^ "World Heritage Sites – Mahabalipuram – Cave Temples". Pandava Caves. Archaeological Survey of India. සම්ප්‍රවේශය 25 February 2013.
"https://si.wikipedia.org/w/index.php?title=පංචපාණ්ඩව_ලෙන්_දේවාලය&oldid=411899" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි