ටෙටිෂෙරි
ටෙටිෂෙරි යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ පසුකාලීන 17වන රාජවංශයේ සහ මුල්කාලීන 18වන රාජවංශයේ රාජකීය පවුලේ මාතෘමූලිකාවියයි.
ටෙටිෂෙරි | |||||
---|---|---|---|---|---|
ඊජිප්තුවේ වල්ලභ රැජින මහා රාජකීය බිරිඳ රජුගේ මව | |||||
භූමදානය | මමිය DB320 සොහොන්ගැබෙන් හමු විය; නමුත් ඇගේ නියම සොහොන්ගැබ නොදනී. බොහෝවිට KV41 විය හැක? | ||||
වල්ලභයා | සෙනඛ්ටෙන්රේ අහ්මෝස් | ||||
දරුවන් | සෙකෙනෙන්රේ ටාඕ Iවන ආහොටෙප් කාමෝස්? | ||||
ඊජිප්තු නම |
| ||||
රාජවංශය | 17වන රාජවංශය | ||||
පියා | ට්ජෙන්නා | ||||
මව | නෙෆරු | ||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම |
පවුල
සංස්කරණයටෙටිෂෙරි යනු ට්ජෙන්නා සහ නෙෆරුගේ දියණියයි. ටෙටිෂෙරිගේ දෙමව්පියන්ගේ නම් අනාවරණය වී ඇත්තේ TT320 සොහොන්ගැබෙන් සොයාගත් මමී වෙලුම් පටිවලිනි.[1] ඇය රාජකීය-නොවන උපතක් ඇති තැනැත්තියක වුවද, සෙන්ඛ්ටෙන්රේ විසින් ඇයව සිය භාර්යාවක ලෙස පමණක් නොව මහා රාජකීය භාර්යාව ලෙස ද පත් කරගන්නා ලදී. ටෙටිෂෙරි සෙකෙනෙන්රේ ටාඕ, Iවන ආහොටෙප් රැජින සහ බොහෝවිට කාමෝස් යන අයගේ මෑණියන් වූවා ය.[1]
Iවන අහ්මෝස් පාරාවෝවරයා විසින් ටෙටිෂෙරි වෙනුවෙන් "ගෘහයක්" සහ පිරමිඩයක් ඉදිකිරීම නිවේදනය කිරීම සඳහා ඇබයිඩොස්හි ශිලා ස්තම්භයක් පිහිටුවන ලදී. අහ්මෝස් මෙම රැජිනව හඳුන්වා ඇත්තේ "මාගේ මෑණියන්ගේ මෑණියන්, සහ මාගේ පියාගේ මෑණියන්, මහා රජුගේ භාර්යාව සහ රජුගේ මව, ටෙටිෂෙරි" යනුවෙනි. (බ්‍රෙස්ටඩ්)[2]
භූමදානය, ස්මාරකය සහ පිරමිඩය
සංස්කරණයටෙටිෂෙරි බොහෝවිට තීබ්ස්හි භූමදානය කොට ඇති බව පෙනේ. ඇතැම්විට පසුව ඇගේ දේහය TT320 කුටිය වෙත ඇතුළත් කරන්නට ඇත.[1] තීබ්ස්හි ඇති කිසිදු සොහොන්ගැබක් ටෙටිෂෙරි රැජිනගේ යැයි සාක්ෂි සහිතව හඳුනාගෙන නොමැති අතර, ඇගේ යැයි සැලකෙන මමිය සහ රාජකීය පවුලේ සාමාජිකයන්ගේ මමී රාජකීය කුටියෙහි (DB320) යළි භූමදානය කෙරිණි.
අහ්මෝස් පාරාවෝවරයා විසින් ඇබයිඩොස්හි ඇය වෙනුවෙන් සමරු ව්‍යූහයක් හෙවත් ස්මාරකයක් ඉදිකරන ලදී. මෙය එම භූමියේ පිහිටි ඔහුගේ මතකාගාර දේවස්ථාන සංකීර්ණය අතර ඉදිකර තිබේ. මෙම මඩ ගඩොල්වලින් තැනි ව්‍යූහය අනාවරණය කරගන්නා ලද්දේ 1902දී ඊජිප්තු ගවේෂණ අරමුදල විසිනි. එහි තිබී Iවන අහ්මෝස් සහ ඔහුගේ සහෝදරි-භාර්යාව අහ්මෝස්-නෙෆටාරි විසින් ටෙටිෂෙරි වෙනුවෙන් පිරමිඩයක් සහ කුටියක් (පූජාසනයක්) ඉදිකළ බව පැවසෙන අනුස්මරණ ශිලා ස්තම්භයක් හමු විය.[3]
මෙය අනාවරණය කරගත් සී. ටී. කියෝලි විශ්වාස කරන්නේ ටෙටිෂෙරිගේ "පිරමිඩය" පිළිබඳ සඳහන මගින් ශිලා ස්තම්භය හමුවූ ගොඩනැගිල්ල විස්තර නොකෙරෙන බවයි. නමුත් එමගින් 1900දී ඒ. සී. මේස් විසින් පාදමේ තිබී සොයාගත් විශාල මතකාගාර දේවස්ථාන සංකීර්ණය අන්තර්ගත විශාල පිරමිඩයක් අදහස් වන බවයි.නූතන අනාවරණ මත පදනම්ව, මෙම මතය තවදුරටත් විශ්වාස කළ නොහැකි බව පෙනී යයි. 1903දී කියෝලි විසින් "පූජාසනයක්" හෝ "මස්ටාබාවක්" ලෙස විස්තර කළ ව්‍යූහයේ පාදම, ගඩොලු පිරමිඩයක පහතම ස්තරයන් බව 2004දී එස්. හාවිගේ අධීක්ෂණය යටතේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ පෙරදිග අධ්‍යයනායතනය මගින් සිදුකළ මෑතකාලීන කැනීම් මගින් සනාථ වි තිබේ. මෙය ඊජිප්තුවේ ඉදිවූ අවසන් රැජිනකගේ පිරමිඩයයි. හුනුගල් පිරමිඩියනයක හෙවත් ප්‍රාවරයක කොටස් ද හමුවී තිබේ. එමනිසා මෙම ව්‍යූහය පිරමිඩාකාර ව්‍යූහයක් බව සනාථ වේ. චුම්බක සමීක්ෂණ මගින් පෙර පුරාවිද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන නොතිබූ මීටර 70 සිට 90 දක්වා පරිමාණයක වූ ගඩොල් ප්‍රාවරයක් ද හඳුනාගැනිණි. මේ අනුව වර්තමානයේ පිළිගැනෙන්නේ මෙම අහ්මෝස්ගේ ශිලා ස්තම්භයේ විස්තරවන පිරමිඩය සහ කුටිය ඉදිවූයේ අහ්මෝස්ගේ මතකාගාර දේවස්ථානය මධ්‍යයේ බවයි.
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති ටෙටිෂෙරි නාමය සහිත කුඩා ප්‍රතිමාව කූට කෘතියක් බව ඩබ්. වී. ඩේවීස් විසින් හඳුනාගෙන ඇත. මේ සඳහා පාදක කරගෙන ඇත්තේ මේ හා සමාන රැජිනගේ කැඩීගිය ප්‍රතිමාවක (වර්තමානයේ දක්නට නැත) පහළ කොටසේ වූ ශිලාලේඛනයකින් උපුටාගත් නිහීන වර්ණනාවකි. කෙසේනමුත්, මෙය ඇතැම් විද්වතුන්ගේ මතභේදයට ලක්ව තිබේ. ඔවුහු ශිලා ලේඛනය නොවන්නට මෙම ප්‍රතිමාවේ සත්‍යතාව පිළිබඳ විවිධ ප්‍රශ්න නගති.
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b c ඩොඩ්සන්, හිල්ටන්; ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, 2004.
- ^ බ්‍රෙස්ටඩ්, 1906. ඒන්ෂන්ට් රෙකෝඩ්ස් ඔෆ් ඊජිප්ට්, අංශය: වෙ. 2. දහඅටවන රාජවංශය, පි. 14-17. ජේම්ස් හෙන්රි බ්‍රෙස්ටඩ්, 1906, චිකාගෝ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය.
- ^ පෝටර් සහ මොස්, ටොපෝ ග්‍රැෆිකල් බිබ්ලියෝග්‍රැෆි ඔෆ් ඒන්ෂන්ට් හයිරොග්ලිෆික් ටෙක්ස්ට්ස්, ස්ටැචියූස්, රිලිෆ්ස් ඇන්ඩ් පේන්ටිංස්, වෙළුම V. අපර් ඊජිප්ට්: සයිට්ස්. (1වන සංස්.) 2004, පිටු 91-92.