ගෝරම්ගේ ගුහාව යනු, ජිබ්‍රෝල්ටා බ්‍රිතාන්‍ය පාරසමුද්‍ර බලප්‍රදේශයෙහි පිහිටි ස්වභාවික මුහුදු ගුහාවක් වන අතර, යුරෝපයේ නියැන්ඩර්තාල්වරුන්ගේ අවසන් ජනාවාස ලෙසින් දන්නා ස්ථාන අතුරින් එකක් වෙයි. එය පිහිටා ඇත්තේ ජිබ්‍රෝල්ටා පාෂාණයේ අග්නිදිග මුහුණතෙහිය. මුලින්ම ජනාවාසව පැවතියදී, එය වෙරළෙහි සිට දළ වශයෙන් කිලෝමීටර් පහක් පමණ ඈතින් පැවතුනා විය හැකි වුවද, මුහුදු මට්ටමෙහි වෙනස්කම් නිසා, එය දැනට මධ්‍යධරණී මුහුදේ සිට මීටර කිහිපයක් පමණක් ඈතින් පවතියි. මහත් වැදගත් කමක් ඇති බැවින් යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙසින් යෝජිත ප්‍රභින්න ගුහා සතරක සංකලනයක් වන ගෝරම්ගේ ගුහා සංකීර්ණයට එම නම ලබා දී ඇත්තේ ගෝරම්ගේ ගුහාව විසිනි. අනෙකුත් ගුහා තුන වන්නේ වෑන්ගාඩ් ගුහාව, හයීනා ගුහාව සහ බෙනට්ස් ගුහාව යන්නන්ය. [1]

ගෝරම්ගේ ගුහාව
ජිබ්‍රෝල්ටාවේ ගෝරම්ගේ ගුහාවෙහි ඇතුලත සිට අල්බෝරන් මුහුදෙහි දසුනක්
Map showing the location of ගෝරම්ගේ ගුහාව
Map showing the location of ගෝරම්ගේ ගුහාව
ජිබ්‍රෝල්ටාවේ ගෝරම්ගේ ගුහාවෙහි පිහිටුම පෙන්වන සිතියම
පිහිටුමජිබ්‍රෝල්ටාවේ ජිබ්‍රෝල්ටා පාෂාණයෙහි, අග්නිදිග මුහුණත
ඛණ්ඩාංක36°07′13″N 5°20′31″W / 36.120397°N 5.342075°W / 36.120397; -5.342075ඛණ්ඩාංක: 36°07′13″N 5°20′31″W / 36.120397°N 5.342075°W / 36.120397; -5.342075
ගැඹුර18 මීටර (59 අඩි)
සොයාගැනුම1907
භූවිද්‍යාවහුණුගල්

සොයාගැනීම සංස්කරණය

 
ජිබ්‍රෝල්ටා පාෂාණයේ නැගෙනහිර මුහුණතේ ගෝරම් ගුහාවේ දසුනක්

මුහුදු බිංගෙයක පසුපස පිහිටි පැලුමක් විවෘත කිරීමේදී, 1907 වසරේදී එය සොයාගත්, රාජකීය මෙන්ස්ටා ෆියුසිලියර්ස් දෙවන බලඇණියේ කපිතාන් ඒ. ගෝරම් අනුව යමින් මෙම ගුහාව නම් කර ඇත. ලාම්පු-දැළි භාවිතා කරමින් ඔහුගේ නම සහ සොයාගත් දිනය ගෝරම් විසින් ගුහා බිත්තියේ අභිලේඛනය කළ අතර, එතැන් පටන් මෙම ගුහාවට ඔහුගේ නම භාවිතා විය. මෙම මුල් සොයාගැනුමෙන් පසුව, බැලූ බැල්මට මෙම ගුහාව—අවම වශයෙන් නිල මට්ටමෙන් හෝ— අමතක වී ඇති සෙයක් පෙනෙන්නේ ජිබ්‍රෝල්ටානු ඉතිහාසඥයෙක් සහ ගල් වන පිරික්සන්නෙක්වූ ජෝර්ජ් පලොව් විසින් ජේ. ජේ. ඩේවිස් 1943 යන්න ගුහා බිත්තියේ කොටා තිබියදී කියවු බවක් මෙනෙහි කළ බැවිනි. [2]

පුරාවිද්‍යාව සංස්කරණය

පුරාවිද්‍යාත්මක උනන්දුවක් ඇති කල අඩවියක් බවට ගෝරම්ගේ ගුහාව පත්වූයේ එහි වැදගත්බව මුලින්ම හඳුනාගත් පසුවය. ඉන් ඉහළ පැවති ප්‍රපාතයෙහි සිට, ගුහාවට පහළින් වූ වෙරළ (ගවනර්ස් වෙරළ) අනාගම්‍යව පැවතුණි; කෙසේවෙතත්, ගල්කුළෙහි උමං කැණීම් ව්‍යාපෘතියක එක් අදියරකින් පසුව නිර්මාණය වූ, වැඩකට ගත නොහැකි ද්‍රව්‍ය ගොඩ නිසා, වෙරළ සහ ගුහාව වෙතට පිවිසිය හැකි විය.[3]

ජිබ්‍රෝල්ටා පුවත්පත් හරහා, ගුහාවේ පුරාවිද්‍යාත්මක උනන්දුවක් ඇතිකරලන මානවකෘති ඇති බවට වාර්තා කල පළමුවැන්නන්[කවදාද?] වූයේ කිහ්ලි සහ වෝඩ් යන රාජකීය ඉංජිනේරුවරුන් දෙදෙනාය. ඔවුන් හට හමුවී තිබුණේ මැටි භාණ්ඩ සහ ශිලා මෙවලම් වෙති. තවදුරටත්, ඔවුන් වාර්තා කළේ, ගෝරම්ගේ ගුහාවේ තිබී මානව සහ සත්ත්ව නෂ්ටාවශේෂ සොයාගෙන ඇති බවයි. ජිබ්‍රෝල්ටා සංගමයේ ගෞර්වාර්භ එෆ්. ඊ. බ්‍රවුන් විසින් මෙම සොයාගැනුම් පිළිබඳව ජිබ්‍රෝල්ටාවේ ආණ්ඩුකාරවරයා වෙත වාර්තා කර සිටි අතර, ඔහු විසින් මෙම අඩවිය වෙත කළ සංචාරයකින් පසුව තවදුරටත් විමර්ශනයන් සිදු කරන ලෙසට ඉල්ලා සිටියේය. ඔවුන්ගේ විචාරණයන් සඳහා, මෙම විමර්ශනයන්, බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත වාර්තා කෙරිණි. [3]

රාජකීය ඉංජිනේරුවෙකු සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි උපාධිධාරී භූවිද්‍යාඥයෙක් වූ ලුතිනන් ජෝර්ජ් බේකර් ඇලෙක්සැන්ඩර්, 1945 වසරෙහිදී ජිබ්‍රෝල්ටාව වෙත ලඟා විය. විස්තරාත්මක භූවිද්‍යාත්මක සිතියමක් නිමැවුම අරමුණු කර ගෙන ජිබ්‍රෝල්ටාවේ භූවිද්‍යාත්මක පිරිමැනුමක් සිදු කිරීමට හේ තීරණය කළේය. ගෝරම්ගේ ගුහාව කැණීම පළමුවෙන් සිදු කළේ ඇලෙක්සැන්ඩර් වන අතර, ජිබ්‍රෝල්ටා කෞතුකාගාරය විසින් ඔහුගේ ක්‍රමවේදයන් අභියෝගයට ලක් කිරීම නිසා, 1948දී ජිබ්‍රෝල්ටාවෙන් පිටව යන තෙක් ඔහු එය සිදු කළේය.[3]

1945දී, ආණ්ඩුකාරවරයා විසින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ලිපි යවමින් එය වෙතින් ඉල්ලා සිටියේ, ගුහාවේ විමර්ශනයන් තවදුරටත් සිදු කර ගෙන යන ලෙසය. මේ සඳහා අවශ්‍ය සම්පත් කෞතුකාගාරය වෙත නොතිබුනද, 1920 ගණන් වලදී ජිබ්‍රෝල්ටාවේදී සිදුකල ඇයගේ පූර්ව කර්තව්‍යයන්හිදී ඩෙවිල්ස් ටවර් ගුහාව වෙතින් නියැන්ඩර්තාල් හිස්කබලක් සොයා ගත්, කේම්බ්‍රිජ් මහාචාර්ය ඩොරති ගැරඩ් වෙත ආණ්ඩුකාරවරයාගේ ආයාචනය ඉදිරිපත් කළහ. ගැරඩ් විසින්, ඇන්කරා හී බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා ආයතනයේ අධිසාමාජිකයෙක් වූ ආචාර්ය ජෝන් ඩාසි වෙෂ්ටර්ගේ උපකාරය පැතිණි. 1948 සැප්තැම්බරයේදී පැමිණි වෙෂ්ටර්, දෙමසත් තිස්සේ පරික්ෂණ වළවල් සෑරුවේ තවදුරටත් කැණීම් යුක්ති සහගතද යන්න නිර්ණය කරගැනුමටය.


ආශ්‍රිත සංස්කරණය

  1. ගෝරම්ස් කේව් කම්ප්ලෙක්ස්, යුනෙස්කෝ ටෙන්ටටිව් සයිට්ස් ලිස්ට්, සම්ප්‍රවේශය 4 අගෝස්තු 2014
  2. ෆින්‍ලේසන්, ක්ලයිව්. "හිස්ට්‍රි ඔෆ් ගෝරම්ස් කේව්". ජිබ්‍රෝල්ටා කෞතුකාගාරය. සම්ප්‍රවේශය 5 දෙසැම්බර් 2010.
  3. 3.0 3.1 3.2 "ද කේව් දැට් ටයිම් ෆොර්ගෙට්". විසිට් ජිබ්‍රෝල්ටා (10): 3. ජූනි 2001. {{cite journal}}: |access-date= requires |url= (help)
"https://si.wikipedia.org/w/index.php?title=ගෝරම්ගේ_ගුහාව&oldid=313980" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි