ක’ආ යනුවෙන් හැඳින්වෙන්නේ ඉස්ලාමික ලෝකයේ ගෘහස්ථ වාස්තු විද්‍යාව තුළ දක්නට ලැබෙන පියස්සක් සහිත පිළිගැනීම් කුටියකි. මධ්‍යතන ඉස්ලාමික ගෘහ වාස්තු විද්‍යාව තුළ වඩාත් සුලබ කුටි ප්‍රභේදය මෙය වේ. ක’ආවේ සැලැස්ම සිව්-ඉවාන් නම් වූ ආගමික ගොඩනැගිලිවල ඇති කුරුස හැඩැති සැලැස්ම මගින් ආභාසය ලබන්නට ඇත. මෙය පිරිමි අමුත්තන් පිළිගැනීම සඳහා භාවිතා වූ අතර, එහි දී ඔවුනට අසුන් ගැනීමට උස් වූ වේදිකාවක් සපයා ඇත.

කයිරෝවේ බයිත් අල්-සුහයිමිහි ඇති මෙම ක’ආව සිසිලන උල්පතක් සහ ලන්තෑරුමකින් යුක්ත ය.

සැකැස්ම

සංස්කරණය

වෙළඳුන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් වැනි ධනවත් ජනයාගේ නිවෙස්වල ක’ආව දක්නට ලැබිණි. මෙය බිම් මහලේ හෝ පළමු මහලේ පිහිටා තිබිය හැක. ක’ආ වෙත වන පිවිසුම සාමාන්‍යයෙන් නිවසේ අර්ධ-පෞද්ගලික අංගණයක් වෙත මුහුණලා පිහිටයි.

ක’ආ නම් අංගය අංගණයේත් ඉවාන් කොටසේත් සංකලනයක් ලෙස හැඳින්විය හැක. ක’ආව සම්පීඩිත මධය ප්‍රදේශයකින් (දුර්ක’ආ) සමන්විත වන අතර, එය අමුත්තන් පළමුව ක’ආව වෙත ඇතුළු වන විවෘත විමකි. උසැති අසුන්ගන්නා ප්‍රදේශයේ (තසාර්) දී අමුත්තන් සිය පාවහන් ඉවත් කොට බිත්තියට එදිරිව බිම මත ඇතිරූ කවිච්චියක් වැනි දිවාන් කොටසේ හිඳගැනීම සිදුකරයි. තසාර් කොටස ඉවාන් ප්‍රභේදයක් ලෙස කටයුතු කරන අතර, ඍජුකෝණාස්‍රාකාර ශාලාවක් වන එය තුන් පැත්තකින් බිත්තියෙන් වටවී ඇත. සාමාන්‍යයෙන් ක’ආවේ මධ්‍ය අක්ෂයේ එකිනෙකට මුහුණලා පිහිටි ඉවාන් දෙකක් දක්නට ලැබේ.[1]

ප්‍රධාන පිවිසුම ඔස්සේ ක’ආවට ඇතුළුවන අමුත්තන් මුලින්ම දුර්ක’ආ (සාහිත්‍යමය "ක’ආව වෙත පිවිසුම") ප්‍රදේශය පසුකොට යා යුතු වේ. මෙය ක’ආවේ මධ්‍ය අවකාශය ද වේ. ක’ආවේ සැලැස්ම ගත් විට, දුර්ක’ආවේ දෙපසින් තසාර් (උස්වූ අසුන්ගන්නා පෙදෙස) දෙකක් හෝ ඇතැම්විට එකක් දක්නට ලැබේ. දුර්ක’ආවේ සිසිලන වතුර මලක් (ෆස්කියා) ඇතැම් විටෙක දක්නට ලැබේ. ‍අවකාශය ශබ්දයෙන් පුරවාලන මෙම අංගය ඉස්ලාමීය ගෘහනිර්මාණ ශිල්පයේ දර්ශීය ලක්ෂණයකි.[2]

තසාර් යනු උස්වූ වේදිකාවකි. ඒවා ඉවාන් කොටස තුළ පිහිටා ඇත. ක’ආවේ සම්පූර්ණ සැකැස්ම සැලකූ විට දුර්ක’ආව දෙපසින් ඉවාන් දෙකක් දක්නට ලැබේ. පිරිමි අමුත්තන් අසුන්ගන්නා තසාර් කොටසේ දී, සේවකයන් විසින් ආහාර හෝ කෝපි පිළිගන්වන ලදී. ඇතැම් නිදසුන්වල තසාරය වෙත ඍජුවම යොමුවන අමතර ප්‍රවේශයක් ඇති අතර, පළතුරු හෝ පාන වර්ග පිරිනැමීමට සේවකයන් ඇතුළු වන්නේ එම ප්‍රවේශයෙනි. තසාර් කොටසේ පැති බිත්තිවල පිහිටි ගිල්ලූ රාක්කවල සෙරමික් භාණ්ඩ, කොතල, කැටයම් කළ ලෝහ නිර්මාණ හෝ පොත් තැබීම සිදු විය.[2] මෙම බිත්ති අරාබි චාරුලේඛන, විශේෂයෙන්ම කාව්‍යයන්ගෙන් සරසා තිබිය හැක. මෙය ඉස්ලාමික ලෝකයේ ප්‍රමුඛ කලා අංගයකි. ඉවාන් දෙකෙහි පැති බිත්තිවල වූ රාක්ක ආවරණය සඳහා මෂ්රාබියා නම් අංග ඇතැම්විට භාවිතා වේ.ඇතැම් අවස්ථාවන්හි දී, අලංකාර නිකේතනයක් (මසාබ්) දක්නට ලැබෙන අතර, මස්ජිදවල වූ නිකේතන සිහිගන්වන මෙහි සිවිලිම ලඝු මුකර්නාස්වලින් අලංකාර කොට තිබිය හැක.[3][2]

ඉවානයේ සිවිලිම දුර්ක’ආවේ සිවිලිමට වඩා හැමවිටම පහත් ය. ආදිතම ක’ආවල ඉවාන් කොටස සාමාන්‍යයෙන් බැරල් හැඩැති ගෝලාර්ධ පියස්සකින් (කයිරෝයේ අල්-දර්දීර් නිවසේ ඇති ක’ආව) යුක්ත විය.[4] මම්ලුක් ක’ආවක ඉවාන් කොටස්වලින් එකක් සුළං අල්ලනයක් (මල්කාෆ් හෙවත් බධාහන්ජ්) සහිත වූ අතර, එමගින් ක’ආව වෙත මඳ සුළං රැගෙන එන ලදී.[2] දුර්ක’ආවේ සිවිලිම සාමාන්‍යයෙන් ක’ආවේ උසින් වැඩිම සිවිලම් කොටස වේ. මෙය බොහෝවිට දැවමය අෂ්ටාස්‍රාකාර පියසි කවුළුවකින් (ෂුඛ්ෂෙයිඛා) සමන්විත ය. මෙමගින් ඇතුළතට ආලෝකය ලැබුණු අතර, ඇතැම් අවස්ථාවන්හි දී ලන්තෑරුමක් රඳවා තිබෙනු ද දැකගත හැක.[4]

අභ්‍යන්තර සැලසුම

සංස්කරණය
 
දමස්කස් කුටියේ ඇති තසාරය (අසුන්ග්නනා වේදිකාව); මෙය දමස්කස්හි මධ්‍යකාලීන යුගයේ නිවාසයක ක’ආවකි. අජාමි ශෛලියෙන් යුත් මෙම ක’ආව වර්තමානයේ නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ තබා ඇත.

විචිත්‍රවත් සහ සංකීර්ණ මෝස්තර භාවිතයෙන් ක’ආව අතිශයින් අලංකාර කොට ඇත. මෙම කුටියේ සැලැස්ම නිවසේ හිමිකරුට අමුත්තන් වෙත පේනවීමට තිබූ අංගය විය. ක’ආව පිහිටි ප්‍රදේශය අනුව මෙහි දී භාවිතා වන මෝස්තරවල විවිධත්වයක් දැකගත හැක.[3]

ක’ආවේ බිත්තිය සාමාන්‍යයෙන් සයිප්‍රස්, පොප්ලර් හෝ මල්බෙරි වැනි දැවමය පනේලවලින් සම්නවිත විය. අජාමි ශෛලියෙන් යුත් ක’ආවක ජිප්සම් මිශ්‍රණයක් සමග රටාවක් වැනි ස්වරූපයෙන් යෙදූ දැව බිත්ති දැකගත හැක. මෙය ලෝහ පත්‍රවලින් (ටින්, රිදී හෝ රත්රන් වැනි) අලංකාර කළ අතර, අනතුරුව වර්ණගැන්වීම සිදු විය. සම්පූර්ණ බිත්තියම අනුතරුව ඔප දැමීම සිදු විය. වර්තමානයේ පැරණි ක’ආ බිත්තිවල වර්ණ සංතෘප්ත බවින් අඩුවුවත්, වර්ණ අතින් අතිශයින් විචිත්‍ර ය. බොහෝ නව නිවාසවල, විශේසයෙන්ම දමස්කස්වල වූ නිවාසවල කොළ, නිල් සහ දම් පැහැ වර්ණ දක්නට ලැබේ.[3]

මෙහි බිම කපන ලද ගිල්ලූ ගල්වලින් සමන්විත ය.[3]

භාවිතය

සංස්කරණය

ඊජිප්තු ඔටෝමාන් සහ සිරියාව වැනි අනෙක් ඉස්ලාමික ලෝකයේ රටවල්වල පිළිගැනීමේ කුටි වර්ග අතුරින් එකක් ලෙස ක’ආ සැලකේ. ක’ආ ඇතුළත් වූයේ වානිජ හෝ ප්‍රාදේශික දේශපාලන නිවාස වැනි ඇති හැකි නිවාසවල ය. නිවසේ ප්‍රධානියා සිය අමුත්තන් හමුවීම හෝ අමුත්තන්ට සුබපැතීම සඳහා මෙම කුටිය භාවිතා කරන්නට ඇත. ක’ආවේ කිසිදු ස්ථාවර ගෘහභාණ්ඩයක් නොතිබූ අතර, කාලානුරූපීව එය වෙනස් විය. දර්ශීයව ක’ආව නිවසේ අංගණය‍ට උතුරු දෙසින් පිහිටා තිබිණි. මේ නිසා ශිශිර ඍතු‍වේ සූර්යාලෝකය හැකි උපරිම වහයෙන් ලබාගැනීමේ අවස්ථාව හිමි විය. ග්‍රීෂ්ම කාලයේ භාවිතා වන විට, කුටිය තුළට මඳ සුළඟ ඇතුළු වාතාශය ලබාගැනීම සඳහා සුළං අල්ලනයක් සවිකෙරෙන්නට ඇත. ක’ආව නිදන කුටිය්ක ලෙස ද භාවිතා වී ඇත. එහි දී නිදන ඇතිරිලි සහ බුමුතුරුණු තැන්පත් කොට තබන අවකාශද එහි වන්නට ඇත.[3]

අතබා යනු පහළ කලාපය හැඟවීමට භාවිතා වන පදයකි. මෙම වදන සම්පීඩිත දුර්ක’ආව සඳහා භාවිතා වන්නට ඇත. නිවෙස් හිමියගේ අමුත්තන් එකරම් වැදගත් අය නොවේ නම්, ඔවුනව අතාබා කොටසේ රඳවනු ලැබිණි. ඔවුන් ගෞරවනීය අමුත්තන් වූයේ නම් ඔවුනට තසාර් වෙත ඇතුළුවීමට පමණක් අවසර හිමි විය. එහි දී ඔවුනට සිය පාවහන් ඉවත්කොට සෝපාවේ වාඩි විය හැකි විය.[3]

තසාර් පෙදෙසේ වැදගත් අමුත්තන් අසුන්ගන්නා බැවින්, ඍතුව අනුව ඔවුනට පලතුරු වර්ග හෝ පාන වර්ග (කෝපි වැනි) පිළිගන්වනු ලැබිණි.[3]

ක’ආ සඳහා නිදසුන්

සංස්කරණය

ඉස්ලාමික ලෝකය පුරාම, විශේෂයෙන්ම ඔටෝමාන් ඊජිප්තුව සහ ඔටෝමාන් සිරියාව තුළ ක’ආ කාමරය දක්නට ලැබේ. වැදගත් ක’ආ කුටි පිහිටි ගොඩනැගිලි කිහිපයක් පහත දැක්වේ:

  • කයිරෝවේ බයිත් අල්-සුහයිමි ගොඩනැගිල්ල තුළ එහි ඇතුළු අංගණයට මුහුණලා පිහිට ක’ආ ගණනාවක් දක්නට ලැබේ.
  • නිව් යෝක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඇති දමස්කස් කාමරය සිරියාවේ පිහිටා තිබූ ශිශිර ක’ආවකි.
  • මුහිබ් අල්-දීන් අල්-මුවාකිහි ක’ආව. ප්‍රතිසංස්කරණය කළ ගොඩනැගිල්ලක් වන මෙය 1730 සිට 1736 තෙක් කයිරෝවේ ප්‍රධාන අමීර්වරයා ලෙස කටයුතු කළ උත්මාන් කත්ඛුඩා අල්-කස්දුඝ්ලිගේ නිවහන ලෙස භාවිතා විය. මෙය මම්ලුක් ගෘහ නිර්මාණ ශිල්පයේ අනර්ඝ නිමැවුමකි. දිගැති, පටු කාමරයක් වන මෙහි උස 16 මීටර (52 ft) පමණ වේ. පිළිගැනීම් කාමරයක් සහ දිවාන් කුටියක් වූ මෙහි දකුණු කොටසේ අමුත්තන් අසුන්ගන්නා උස්වූ ස්ථානය දක්නට ලැබේ.[5]
  • ශාන්ත ජෝර්ජ් කන්‍යාරාමයේ ප්‍රධාන ශාලාවේ වූ ක’ආව. මෙම ක’ආවේ මධ්‍ය කොටස දෙපස කොටස් දෙකට වඩා උසැති ය. මෙම ක’ආව මුල්කාලීන 14වන සියවසේ ධනවක් ‍ව්‍යාපාරිකයකුගේ නිවසක කොටසක් වන්නට ඇත. කන්‍යාරාමයේ දෙව්මැදුර වෙත දිවෙන විශාල දොරටුව, වරත්මානයේ ක’ආවේ එක් කොටසක තැන්පත් කොට ඇත.[6]

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ Ragette 2003, පිටු අංකය: 9.
  2. ^ a b c d Ragette 2003, පිටු අංකය: 145.
  3. ^ a b c d e f g Harris & Zucker 2013.
  4. ^ a b "AGA KHAN PROGRAM FOR ISLAMIC ARCHITECTURE - 7-Palaces, Houses, and Halls types between the 9th and 12th Century". AGA KHAN PROGRAM FOR ISLAMIC ARCHITECTURE. Aga Khan. Department of Architecture, Massachusetts Institute of Technology. 2017. සම්ප්‍රවේශය November 12, 2017.
  5. ^ Williams 2002, පිටු අංකය: 168.
  6. ^ Williams 2002, පිටු අංකය: 39.

උද්ධෘත කෘති

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ක’ආ_(කුටිය)&oldid=411296" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි