අමෙන්හොටෙප් II (ඇතැම්විට අමෙනෝෆිස් II ලෙස ද කියවනු ලබයි; අරුත අමුන් ප්‍රීතියට පත්වන) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ 18වන රාජවංශයේ හත්වන පාරාවෝවරයායි. අමෙන්හොටෙප් සිහසුනට පත්වූයේ ඔහුගේ පියා වූ IIIවන තුත්මෝස්ගෙනි. මෙම විශාල අධිරාජ්‍යය පවත්වා ගැනීමට ඔහුට සිරියාවේ යුධ ව්‍යාපාර කිහිපයක් මෙහෙයවීමට සිදු විය; කෙසේනමුත්, ඔහු සිය පියා මෙන් සටන් වැදුණේ නැත. ඔහුගේ සමයේ සිරියාවේ බලය සඳහා තරග වැදුණු ප්‍රධාන රාජධානි ද්විත්වය වූ ඊජිප්තුව සහ මිටැනිය අතර එදිරිවාදිකම් පහ වන ස්වරූපයක් පෙනිණි. සාමාන්‍යයෙන් ඔහුගේ රාජ්‍ය සමය ලෙස ක්‍රි.පූ. 1427 සිට 1401 දක්වා කාලය පිළිගැනේ.

පවුල සහ මුල්කාලීන දිවිය

සංස්කරණය

IIවන අමෙන්හොටෙප් උපත ලැබූයේ IIIවන තුත්මෝස් රජුට දාව රජුගේ සුළු භාර්යාවක වූ මෙරිට්‍රේ-හට්ෂෙප්සුට් හට ය. ඔහු මෙම පාරාවෝවරයාගේ පළමු පුත්‍රයා නොවී ය. ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ අමනෙම්හාට් රජුගේ මහා රාජකීය භාර්යාව වූ සාටියාගේ පුත්‍රයායි. මුලින් සිහසුනේ උරුමකරු ලෙස නම් කිරීමට යෝජිතව තිබූයේ අමනෙම්හාට් බව තුත්මෝස්ගේ 24වන වර්ෂයේ ඔහුව රජුගේ වැඩිමහල්ම පුත්‍රයා" සහ අමුන්ගේ ගව රැළ බලාගන්නා යන තනතුරුවලට පත්කොට තිබීමෙන් පෙනේ.[2] කෙසේනමුත්, IIIවන තුත්මෝස්ගේ 24වන සහ 15වන වර්ෂ අතර කාලයේ සාටියා රැජින සහ අමනෙම්හාට් කුමරු මියගිය හෙයින්, පාරාවෝවරයා රාජකීය-නොවන මෙරිට්‍රේ-හට්ෂෙප්සුට්ව විහා කරගැනීමට පෙළඹිණි.[3] ඇය IIIවන තුත්මෝස්ට දාව දරුවන් ගණනාවක් බිහිකළ අතර, ඒ අතර අනාගත IIවන අමෙන්හොටෙප් ද විය. IIවන අමෙන්හොටෙප් උපත ලබා හැදී වැඩුණේ සම්ප්‍රදායික අගනුවර වූ තීබ්ස්හි නොව උතුරේ මෙම්ෆිස් හි ය.[4] කුමරකු වුවත්, මෙම්ෆිස්හි පෙරු-නූෆේ නාවික තටාකාංගනය වෙත යැවුණු දැව සැපයුම් බලාගන්නා ලද්දේ ඔහු විසිනි. ඔහුව පහළ ඊජිප්තුවේ ප්‍රධාන පූජක සෙටෙම් ධුරයට පත්කෙරිණි.[4] සිංහාසනාරූඪයට පෙර හමුදාවේ ප්‍රධානීත්වය ඉසිලූ අමෙන්හොටෙප් ඔහුගේ මලල ක්‍රීඩා හැකියා පිළිබඳ ශිලාලේඛන කිහිපයක්ම පිහිටුවා තිබේ. නමුත් අමෙන්හොටෙප් ඔහුගේ බලවත් පියාමෙන් දක්ෂයකු නොවී ය. ඔහුට තඹ ඉලක්කයක් වෙත අත්ලක ගැඹුරට හී විදීමට හැකියාවක් තිබූ බව පැවසේ. එසේම නාවික හමුදාවේ දෙසිය දෙනකු පදින වේගයට වඩා වැඩි වේගයෙන් ඔහුට නැව් පැදවිය හැකි බව ද පැවසේ.[4] නමුත් ඊජිප්තුවේදීන් ඇතර මෙම ප්‍රකාශවල සත්‍යතාව සම්බන්ධයෙන් ඇත්තේ සැකයකි.[4]

අමෙන්හොටෙප් සිහසුනට පත්වූයේ අඛෙට් ඍතුවේ සිව්වන මාසයේ පළමු දිනයේ ය. නමුත් ඔහුගේ පියා මියගියේ පෙර‍ට් ඍතුවේ තෙවන මාසයේ තිස්වන දිනයේ ය.[5] ඊජිප්තු කිරුළහිමි කුමරකු රජු ලෙස ප්‍රකාශ කෙරුණත්, ඔහු සිය පියාගේ මරණයට පසු දින සිහසුනට පත් නොවූයේ නම් ඉන් හැඟවෙන්නේ ඔහු සිය පියාගේ රාජ්‍ය සමයේ කනිෂ්ඨ හවුල් පාලනයක් ගෙනගොස් ඇති බවයි. මේ අනුව IIIවන තුත්මෝස් සහ IIවන අමෙන්හොටෙප්ගේ හවුල් පාලනය වර්ෂ දෙනන් සහ මාස හතරක් පැවති බව විශ්වාස කෙරේ.[6]

 
තරුණ IIවන අමෙන්හොටෙප්ගේ ස්ෆින්ක්ස් ප්‍රතිමා හිසක්, ලූවර් කෞතුකාගාරය.

ඔහුගේ මහා ස්ෆින්ක්ස් ශිලාව අනුව පෙනී යන්නේ IIවන අමෙන්හොටෙප් සිහසුනට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 18ක් බව ය:

"දැන් එතුමාණන් හිරිමල් යෞවනයකු ලෙස රජු ලෙස දෘශ්‍යමාන වේ. ඔහු 'හොඳීන් වැඩී', සිය ශක්තියේ සහ එඩිතරභාවයේ දහඅටවන වර්ෂය සම්පූර්ණ කොට ඇත."[7]

පාරාවෝ බවට පත්වීමෙන් පසු, අමෙන්හොටෙප් ටියා නැමැත්තියක සමග විවාහ වී ඇත. ඇගේ දෙමව්පියන් මෙතෙක් හඳුනාගෙන නැත.[8] ඔහුට පුතුන් දස දෙනකු සහ එක් දියණියක සිටි බවට යෝජනා වී ඇත. ඒ අතුරින් ඔහුගේ වඩාත් වැදගත්ම පුත්‍රයා IVවන තුත්මෝස් විය. ඔහු අමෙන්හොටෙප්ගෙන් පසු සිහසුනට පත් විය. නමුත් ඔහුට තවත් දරුවන් විශාල සංඛ්‍යාවක් සිටි බවට සාක්ෂි ඇත. අමෙන්හොටෙප්, වෙබෙ‍න්සෙනු, අමෙනෙමෝපෙට් සහ නෙඩ්ජෙම් යන කුමාරවුන් පැහැදිළිව ඔහුගේ පුත්‍රයින් ලෙස හඳුනාගෙන ඇත. අ‍මනෙම්හාට්, ඛාඑම්වැසෙට් සහ ආඛෙපෙරුරේ යන පුත්‍රයින් සහ ඉයාරෙට් නැමැති දියණිය ද ඔවුන්ගේ දරුවන් යැයි යෝජනා වී ඇත.

ඇතැම්විට IIවන අමෙන්හොටෙප්ගේ දසවන වර්ෂයට පසුව ලියැවුණේ යැයි සැලකෙන B.M. 10056 නැමැති පැපිරසයේ රජුගේ පුත්‍රයකු වූ සෙටෙම්-පූජක අමමෙන්හොටෙප් නැමැත්තකු පිළිබඳ දැක් වේ.[9] ගිසාහි IIවන අමෙන්හොටෙප්ගේ දේවස්ථානයේ ඇති ශිලාවෙහි දැක්වෙන්නේ මෙම අමෙන්හොටෙප් පිළිබඳ විය හැක.[10] කෙසේනමුත් ශිලාවෙහි නාමය විකෘති වී ඇති බැවින් එය පැහැදිළිව හඳුනාගත නොහැකි ය.[11] B ශිලාව වෙනත් පුත්‍රයකු වූ වෙබෙන්සෙනුට අයත් වූවක් විය හැක.[11] වෙබෙන්සෙනුගේ නාමය අමෙන්හොටෙප්ගේ ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පී මින්මෝස්ගේ ප්‍රතිමාවක දැක්වෙන අතර, IIවන අමෙන්හොටෙප්ගේ සොහොන්ගැබේ තිබී ඔහුගේ කැනපික් බඳුන් සහ අවමංගල ප්‍රතිමාවක් ද හමු විය.[12] තවත් ගිසා ශිලාවක් වූ C ශිලාව වාර්තා කරන්නේ සනාථ නොකළ අමෙනෙමෝපෙට් නැමැති කුමරකුගේ නාමයයි.[11] වෙබෙන්සෙනුගේ නාමය සහිත එම ප්‍රතිමාවේම නෙඩ්ජෙම් කුමරුගේ නාමය ද කැටයම් කොට ඇත. මේ කුමරුන්ව ද තවමත් සනාථ කරගෙන නැත.[12]

මේ යුගයට අයත් රජුගේ පුත්‍රයින් පිළිබඳ වාර්තාව හමුවුවත්, ඔවුන් ඇතැම්විට IIවන අමෙන්හොටෙප්ගේ පුත්‍රයින් නොවිය හැක. සහෙල්වලින් හමු වූ කුරුටු ලිපි ද්විත්වයක රජුගේ පුත්‍රයකු වූ ඉස්තාල අධිපති ඛාඑම්වැසෙට්ගේ නාමය දැක්වේ. නමුත් ඔහුගේ පියා කුමන රජු ද යන්න හඳුනාගෙන නැත.[11] අමෙන්හොටෙප් නම් කුමරකුගේ ප්‍රතිමාව පිටුපස අ‍මනෙම්හාට් යන නාමය සටහන් කළ ප්‍රතිමාවක් තීබානු සොහොන්ගැබ 64න් හමුවූ අතර, B.M. 10056 අනුව අමෙන්හොටෙප් රජුගේ පුත්‍රයා ලෙස සැලකෙයි. ඒ අනුව අ‍මනෙම්හාට් ද IIවන අමෙන්හොටෙප්ගේ පුත්‍රයකු යැයි සැලකීමට සිදු වේ.[13] මීට අමතරව කොනොසෝ කුරුටු ලිපියෙහි අමෙන්හොටෙප් නැමැති කුමරකුගේ නාමය සමග ආඛෙපෙරුරේ කුමරුගේ නාමය සටහන් කොට ඇත. මෙම අමෙන්හොටෙප් B.M. 10056 ශිලාවෙහි සඳහන් තැනැත්තාම නම්, ආඛෙපෙරුරේ ද IIවන අමෙන්හොටෙප්ගේ පුත්‍රයකු වනු ඇත. නමුත් බොහෝ අවස්ථාවල මෙම අමෙන්හොටෙප්, පසුකාලීන රජකු වූ IIIවන අමෙන්හොටෙප් යැයි සලකනු ලැබේ. එසේ වී නම්, මෙම කුමාරවරුන් දෙදෙනා IVවන තුත්මෝස්ගේ පුත්‍රයින් ලෙස සැලකීමට සිදු වේ.[10] පුත්‍රයින්ට අමතරව IIවන අමෙන්හොටෙප්ට ඉයාරෙට් නැමැති දියණියක් සිටින්නට ඇත. නමුත් ඇතැම්විට ඇය IVවන තුත්මෝස්ගේ දියණියක වන්නට ද පුළුවන.[11]

අතීතයේ තවත් පුත්‍රයින් දෙදෙනකුගේ නම් IIවන අමෙන්හොටෙප්ගේ යැයි යෝජනා වී තිබිණි. නමුත් ඔවුන්ගේ දෙමව්පියන් වෙනත් අය බව සනාථ විය. ගෝතියර් විසින් "කුෂ්හි රජුගේ පුත්‍ර" (හෙවත් නුබියාවේ ප්‍රතිරාජ) උසර්සැටෙට් නැමැති කුමරකු සහ රේ‍ නැමැත්තකු IIවන අමෙන්හොටෙප්ගේ පුත්‍රයින් යැයි යෝජනා කොට තිබිණි. නමුත් වර්තමානයේ ඔවුන් රාජකීය පවුලට අයත් නොවන බව පිළිගැනේ.[14] උසර්සැටෙට් යනු නුබියාවේ අමෙන්හොටෙප්ගේ ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කළ රජුගේ ලේ ඥාතියකු නොවන පුද්ගලයෙකි.

දින සහ රාජ්‍ය සමයේ දිග

සංස්කරණය
 
පසුකාලීනව හානියට පත්ව ඇති ඔහුගේ දෙවන නාමයේ ප්‍රභේදයක් අන්තර්ගත IIවන අමෙන්හොටෙප්ගේ කාර්ටුෂය (කාර්නැක් වලිනි).

අමෙන්හොටෙප්ගේ සිංහාසනාරූඪ දිනය අපහසුවකින් තොරව නිර්ණය කළ හැක්කේ ඔහුගේ පියා වූ IIIවන තුත්මෝස් සමයේ චන්ද්‍ර දින ගණනාවක්ම කොට ඇති බැවිනි. මෙම දර්ශනයන් හේතුවෙන් තුත්මෝස්ගේ සිංහාසනාරූඪය ක්‍රි.පූ. 1504 හෝ 1479ට සීමා කළ හැක.[15] තුත්මෝස් මියගියේ ඔහුගේ 54වන රාජ්‍ය වර්ෂයේ ය.[16] මේ කාලයේ අමෙන්හොටෙප් සිහසුනට පත්වන්නට ඇත. අමෙන්හොටෙප් සිය පියා සමග ගෙනගිය කෙටි හවුල් පාලනය හේතුවෙන් ඔහුගේ අනුප්‍රාප්තිය මීට වර්ෂ දෙකකට සහ මාස හතරකට පෙර සිදු වූ බව පෙනේ.[6] ඒ අනුව පහළ කාලානුක්‍රම ක්‍රමවේදය අනුව ඔහුගේ අනුප්‍රාප්තිය ක්‍රි.පූ. 1427[17] හෝ ඉහළ කාලානුක්‍රමය අනුව ක්‍රි.පූ. 1454 යන වර්ෂ දෙකෙන් එකක් ලෙස ගැනීමට සිදු වේ. ඔහුගේ රාජ්‍ය සමයේ දිග තීබ්ස්හි IIවන අමෙන්හොටෙප්ගේ අවමංගල දේවස්ථානයේ තිබී හමුවූ රජුගේ පුද්ගල නාමය ඇතුළත් වයින් බඳුන මගින් නිර්ණය කළ හැක. මෙය රජුගේ වාර්තාගත ඉහළම දිනය වන වර්ෂය 26ට අයත් ය. මෙහි රජුගේ වයින් භාරකරු වූ පැනෙහ්සිගේ නාමය ද දක්වා ඇත.[18] සාමාන්‍යයෙන් මතකාගාර දේවස්ථාන රජුගේ මරණය හෝ මරණාසන්න අවස්ථාව තෙක් ඇසුරුම් කටයුතු සිදුනොකරන හෙයින්, අමෙන්හොටෙප් ඔහුගේ 26වන රාජ්‍ය වර්ෂයෙන් පසු ජීවත් නොවූ බව පෙනේ.[19] නමුත් ඔහුට වර්ෂ 35 රාජ්‍ය සමයක් යෝජනා කෙරෙන විකල්ප මතයන් ද ඇත. මෙය ඔහුට පැවතිය හැකි යැයි අනුමාන කළ හැකි උපරිමා රාජ්‍ය සමය වේ. මෙම කාලානුක්‍රම කමවේදය අනුව ඔහු ක්‍රි.පූ. 1454 සිට 1419 දක්වා රාජ්‍ය පාලනය කළේ යැයි උපකල්පනය කොට ඇත.[6] කෙසේනමුත්, මෙම මතවාද සම්බන්ධයෙන් ඇති ගැටලු මෙතෙක් විසඳී නැත.[20] එම මතය අනුව අමෙන්හොටෙප් මියයන විට ඔහුගේ වයස 52ක් යැයි සිතීමට සිදු වේ. නමුත් ඔහුගේ මමියේ X-කිරණ විශ්ලේෂණයක් අනුව පෙණීගියේ ඔහු මියයන විට වයස අවුරුදු 40ක් පමණ වූ බවයි.[21] මේ කරුණු සැලකිල්ලට ගෙන IIවන අමෙන්හොටෙප්ට සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 1427 සිට 1401 දක්වා වූ වර්ෂ 26ක රාජ්‍ය පාලන සමයයක් ලබා දී ඇත.[17]

විදේශ සම්බන්ධතා

සංස්කරණය
 
එලිෆන්ටයින්වලින් හමු වී දැනය වියානාවේ කුන්ස්ට්හිස්ටොරිස්කස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ශිලා ස්තම්භයක්; මෙහි සිරියා‍ව වෙත IIවන අමෙන්හොටෙප් දියත් කළ සාර්ථක ආක්‍රමණයකින් උපයාගත් ධනය සහ සිරකරුවන් ඛ්නුම්‍දෙවොලට පූජා කළ බව වාර්තා කොට ඇත.

අමෙන්හොටෙප්ගේ පළමු ආක්‍රමණය සිදුවූයේ ඔහුගේ තෙවන රාජ්‍ය වර්ෂයේ ය.[22] පාරාවෝවරයා ඔරොන්ටස් ගඟ තරණය කිරීමේ දී ඔහුට කාට්නා සේනාවගේ ආක්‍රමණයකට මුහුණ පාන්නට සිදු වූ බවත්, එහිදී ඔහු ජයගෙන විශාල ධනයක් උපයාගත් බවත්, ඒ අතර මිටැනි යුධරිය ධාවකයාගේ භාණ්ඩ පවා වූ බවත් සඳහන් වේ. මෙම රජු ඔහුගේ භෞතික වීර පරාක්‍රමය හේතුවෙන් ප්‍රකට විය. ඔහු කඩේෂ්හි දී කැරලිකාර කුමාරවරුන් 7 දෙනකු තනිව මරා දැමූ බව පැවසේ. ඉන් පසු එශුගේ පළමු සිරියානු ආක්‍රමණය සාර්ථකව අවසන් විය.[23] මෙම ආක්‍රමණයෙන් පසු, රජු මෙම කුමාරවරුන් සත්දෙනාගේ සිරුරු යටිකුරු අතට සිය නැවේ ඇණියෙහි එල්ලා තබන්නට අණ කොට තිබේ.[24] තීබ්ස් වෙත පැමිණි පසු එක් අයකු හැර සෙසු කුමාරවරුන්ගේ සිරුරු ප්‍රාකාරයේ බැඳතබන ලදී.‍[25] ‍අනෙක් සිරුර නිරන්තර කැරලි සහිත ප්‍රදේශයක් වූ නුබියාව වෙත රැගෙන ගොස්, නැපාටාහි ප්‍රාකාරයේ එල්ලා තබන ලදී. මෙමගින් පාරාවෝවරයාට එරෙහිව නැගී සිටින්නන්ගේ ඉරණම පෙන්වීමට සහ ප්‍රතිවිරුද්ධ නුබියානුවන් අධෛර්යයට පත් කිරීමට අපේක්ෂා කෙරිණි.[25] අමෙන්හොටෙප් මෙම පළමු ආක්‍රමණය අමාඩාහි ශිලා ස්තම්භයක සටහන් කොට ඇත. නමුත් ඔහු සිය දෙවන ආක්‍රමණය ද සිය පළමු ආක්‍රමණය ලෙස ඔහු දක්වා ඇති බැවින්, මේ පිළිබඳ විවිධ මතයන් ඉදිරිපත් වී ඇත.[22] මේ සඳහා වඩාත්ම උචිත පැහැදිළි කිරීම ලෙස, මෙම පළමු සටන ඔහුගේ ඔහුගේ පියා මියයාමට පෙර පියා සමග මෙහෙයවූවක් බැවින්, ඔහු ඊජිප්තුවේ තනි පාලකයා බවට පත් වූ පසු තමන් පෞද්ගලිකව මෙහෙයවූ සිය දෙවන ආක්‍රමණය සිය පළමු ආක්‍රමණය ලෙස සලකන්නට ඇත.[26]

ඔහුගේ සත්වන වර්ෂයේ අප්‍රේල් මස අමෙන්හොටෙප්ට සිරියාවේ නහාරින්හි යටත් රාජ්‍යවල මහා කැරැල්ලකට මුහුණ දීමට සිදු විය. මෙය මර්දනය කිරීමට ඔහු සිය හමුදාව ලෙවැන්තය වෙත පිටත් කරහැරී ය. මෙම කැරැල්ලට අනුබල දෙන ලද්දේ ඊජිප්තුවේ ප්‍රධාන මෑත පෙරදිග සතුරා වූ මිටැනි රාජ්‍යය යැයි සැලකේ.[27] මෙම ජයග්‍රහණයෙන් පසු ඉදිකළ ඔහුගේ විජයග්‍රහණ ශිලාවෙහි විශාල සටනක් නොපැවති බව දැක්වේ. මෙය විවිධ අයුරින් අර්ථ නිරූපණය කොට ඇත‍. ඇතැම්විට මෙම ආක්‍රමණය සිය පියා සටන් යෙදුණු සිරියානු ආක්‍රමණයට සමාන වන්නට ඇත. ඔහු කුඩා ආරක්ෂකභට පිරිසක් සමග ගොස් යුධ වැදී, ඔහුගේ පිටත්ව යෑමෙන් පසු බිඳවැටුණු ඔවුන්ගේ රාජපාක්ෂිකභාවය තමන්ට නැවත ලබාදෙන ලෙස එම නගරවාසීන්ට බලකළේ ය.[28] මීට අමතරව අමෙන්හොටෙප් මිටැනිය සමීපයට පැමිණි පසු සති දෙකක කාලය පිළිබඳ තොරතුරු මෙහි සඳහන් කොට නොමැති බව පෙනේ. මේ නිසා ඇතැම්විට ඔහුගේ හමුදාව මෙම ආක්‍රමණයේ දී පරාජය වන්නට ඇත.[29] අමෙන්හොටෙප්ගේ අවසන් ආක්‍රමණය ඔහුගේ නවවන වර්ෂයේ සිදු විය. කෙසේනමුත් එය ගලීල මුහුදෙන් උතුරට මෙහෙයවීමට අපොහොසත් විණි.[30] මෙම ආක්‍රමණයේ දී කොල්ලකෑ වස්තූන් ලැයිස්තුව අනුව, අමෙන්හොටෙප් විසින් වහලුන් 101,128ක් අල්ලා ගත්තේ ය යන තොරතුර අතිශයෝක්තියක් ලෙස සැලකේ.[31] මින් ඇතැම් වහලුන් 7වන වර්ෂයේ ආක්‍රමණයේ දී යටත් කරගත් නුඛාෂ්හි වැසියන් 15,070 දෙනා ද ඇතුළත්ව සඳහන් කෙරුණක් බව සිතිය හැක. එයට හේතුව අමෙන්හොටෙප් සිය 9වන වර්ෂයේ නුඛාෂ් හෝ ඒ අවට කිසිදු ආක්‍රමණයක් මෙහෙයවා නොතිබීමයි.[32] කෙසේනමුත්, ඔහුගේ පෙර වහල් සංඛ්‍යා ද ඇතුළත් කොට බැලීමේ දී මෙම සංඛ්‍යා සත්‍ය විය නොහැකි බව පෙනේ. ඒ නිසා මෙය හුදු අතිශයෝක්තියකැයි සිතිය හැක.[33]

අමෙන්හොටෙප්ගේ නවවන වර්ෂයේ ආක්‍රමණයෙන් පසුව, ඊජිප්තුව සහ මිටැනියානු හමුදාව යළ කිසිදින සටන්වැදුණේ නැත. ඔවුන් දෙපාර්ශ්වයම සාමය අපේක්ෂා කළ බැව් පෙනේ. අමෙන්හොටෙප් දක්වා ඇත්තේ සිය නවවන වර්ෂයෙන් පසු බැබිලෝනියානු, හිටයිට් සහ මිටැනි රජවරුන් තමන් සමග සමාදාන වී තමන්ට පඬුරුකප්පම් ගෙවීමට කැමති වූ බවයි. මෙය ද ඔහුගේ අතිශයෝක්තියක් බව පෙනේ.[34] කෙසේනමුත්, කාර්නැක්හි බිත්තිවල ඇති දෙවන සටහනක දක්වෙන්නේ මිටැනියෙහි කුමාරවරුන් අමෙන්හොටෙප් සමග සමාදාන වීමට පැමිණි බවයි. මෙය පහසුවෙන් ඉවතලිය හැකි නොවේ.[34] හිටයිට්වරුන් බලවත් වෙමින් සිටි හෙයින්, මිටැනියට මිත්‍රශීලී රාජ්‍යයක් අවශ්‍යව තිබිණි. අමෙන්හොටෙප්ගේ අනුප්‍රාප්තිකයාගේ සමයේ මිටැනිය සහ ඊජිප්තුව අතර නිසැකවම යම් ආකාරයක ගිවිසුමක් පැවතී ඇත. මෙය අමෙන්හොටෙප්ගේ ආක්‍රමණවලින් පසුව සිදුවූවක් විය හැක.[34] මෙලෙස රූපිකව සාමය ප්‍රකාශ කෙරුණ ද, අමෙන්හොටෙප් සහ මිටැනියෙහි රජු අතර අවිධිමත් අයුරින් සාම සබඳතා පැවති බව පෙනේ. ඉන් පසුව අමෙන්හොටෙප් අභ්‍යන්තර අර්බුද කෙරෙහි අවධානය යොමුකළ අතර, අමෙන්හොටෙප්ගේ නුබියානු ප්‍රතිරාජයාගේ දෙවස්ථානය මගින් අමෙන්හොටෙප් නුබියානු ආක්‍රමණයෙන් පසු පඬුරු කප්පම් ලබාගත් බවට සාක්ෂි සපයයි. නමුත් මෙය සිදු වූයේ කුමන කාලයේ දැයි නිර්ණය කිරීම අපහසු ය.[35]

ඉදිකිරීම් ව්‍යාපෘති

සංස්කරණය
 
ඊජිප්තුවේ නසර් විලේ, අමාඩා දේවස්ථානයේ දැක්වෙන IIවන අමෙන්හොටෙප්ගේ රුව.

IIIවන තුත්මෝස් රජු විශාල වශයෙන් කාර්නැක් දෙවොල පුළුල් කිරීම කෙරෙහි සිය අවධානය යොමුකළ නිසා, අමෙන්හොටෙප්ලේ ඉදිකිරීම් ව්‍යාපෘති ප්‍රධාන වශයෙන්ම ඊජිප්තුව පුරා පැවති කුඩා දේවස්ථාව පුළුල් කිරීමේ අරමුණින් සිදුකෙරිණි. ඩෙල්ටා‍වේ, ඔහුගේ පියාගේ වැඩ පරීක්ෂකවරයා වූ මින්මෝස් විසින් බොහෝ දේවස්ථාන ඉදිකිරීම අධීක්ෂණය කළ බව ටුරාහි ශිලා ලිපියකින් පැහැදිළි වේ.[4] ඉහළ ඊජිප්තුවේ, කුඩා දේවස්ථාන මෙඩාමුඩ්, එල්-ටොඩ් සහ ආර්මන්ට් යන ස්ථානවල පැවතිණි. සිය පියා විශාල වශයෙන් කාර්නැක් දෙවොල කෙරෙහි අවධානය යොමු කළ ද, අමෙන්හොටෙප් ද එය සම්පූර්ණයෙන් නොසලකා හැරියේ නැත.[36] ඔහු මිටැනියෙහි පඬුරු කප්පම් පිළිගැනීම අනුස්මරණයට එහි අංගණයේ සිව්වන සහ පස්වන අටලු අතර ස්තම්භයක් පිහිටුවී ය. නුබියාව තුළ, අමෙ‍න්හොටෙප් විසින් කාසර් ඉබ්‍රිම් සහ සෙම්නා ප්‍රදේශවල ඉදිකිරීම් සිදුකළ අතර, කලබ්ෂාහි දෙවොල අලංකරණයට කටයුතු යොදන ලදී.[37] කෙසේනමුත්, ඔහුගේ වඩාත් ප්‍රකට නූබියානු දේවස්ථානය පිහිටුවූයේ අමාඩා හි ය.[38] එම ස්ථානයේ IIIවන තුත්මෝස් රජු විසින් හොරස් දෙවිඳුන් වෙනුවෙන් දෙවොලක් ඉදිකිරීම අරඹා තිබිණි. නමුත් එහි රේ-හරාඛ්ති සහ අමුන්-රේ දෙවිවරුන්ගේ රූ ද දැකගත හැක.[38] අමෙන්හොටෙප් විසින් එය නිමාව අවසන් කළ අතර, එය සිය 3වන වර්ෂයේ ආක්‍රම්‍ණය පිළිබඳ සඳහන් ශිලාවෙහි සටහන් කරවා ඇත. 1942 වනතෙක්ම අමෙන්හොටෙප්ගේ යුද්ධ පිළිබඳ තොරතුරු ලබාදුන් ප්‍රධාන මූලාශ්‍රය ලෙස එය සැලකිණි.[26]

සොහොන්ගැබ

සංස්කරණය

1898 මාර්තු මස දී වික්ටර් ලොරෙට් විසින් රජුන්ගේ නිම්නයේ ඔහු‍ගේ KV35 සොහොන්ගැබේ තිබී අමෙන්හොටෙප්ගේ මමිය සොයාගන්නා ලදී. මෙය ඔහුගේ මුල් මීනීපෙට්ටිය තුළම පැවතිණි. ඔහුගේ මතකාගාර දේවස්ථානය පිහිටා තිබූයයේ තීබානු සුසානභූමියේ වගාබිම් කෙළවර පසුකාලීන රැම්සසියම ඉදිවූ ස්ථානයේ ය. නමුත් එය පුරාතන කාලයේම විනාශ වී තිබිණි. IIවන අමෙන්හොටෙප්ගේ KV35 සොහොන්ගැබ මගින් නව රාජධානි පාරාවෝවරුන් ගණනාවකගේ සිරුරු අන්තර්ගත ගබඩාවක් ඇති බව සාක්ෂි හමු විය. මෙම පාරාවෝවරුන් අතර IVවන තුත්මෝස්, IIවන සෙටි, IIIවන රැම්සෙස්, IVවන රැම්සෙස් සහ VIවන රැම්සෙස් යන පාරාවෝවරුන්ගේ සිරුරු ද විය. මෙම සිරුරු 21වන රාජවංශ සමයේ සියාමුන් රජ සමයේ IIවන පිනෙඩ්ජෙම් නැමති අමුන් ප්‍රධාන පූජකවරයා විසින් IIවන අමෙන්හොටෙප්ගේ සොහොන්ගැබේ යළි භූමදානය කොට ඇත. ඒ එම සිරුරු සොහොන් මංකොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහායි. IIවන අමෙන්හොටෙප් රජසමය පිළිබඳ සවිස්තර සහ කාලානුක්‍රමය, සිදුවීම් හා බලපෑම පිළිබඳ සමබර වාර්තාවක් පීටර් ඩර් මැනුවලියන් විසින් 1987දී මෙම රජු පිළිබඳ ග්‍රන්ථයේ ඇතුළත් කොට ඇත.

පෞරුෂත්වය සහ පසුකාලීන දිවිය

සංස්කරණය

මෙම පාරාවෝවරයාගේ අවසන් වර්ෂවලට අයත් ශිලාස්තම්භයකින් ඔහු විවෘතව ඊජිප්තුවරුන් නොවන අය කෙරෙහි දැක්වූ අපහාසාත්මක ආකල්පය නිරූපණය වේ. මෙම ලේඛනය "වර්ෂය 23 IV අඛෙට් [දිනය] 1, උත්සව දිනය" ලෙස දින දක්වා ඇත. මෙම උත්සවය IIවන අමේනහොටෙප්ගේ අනුප්‍රාප්තිය සැමරීම සඳහා විය. මෙය රජු විසින්ම කුෂ් (නූබියාවේ) ප්‍රදේශයේ ඔහුගේ ප්‍රතිරාජයා ‍වූ උසර්සැටෙට් වෙනුවන් ලියූ පෞද්ගලික ලිපියක පිටපතකි.[39] එහි IIවන අමෙන්හොටෙප් උසර්සැටෙට් හට සිය සිරියාවේ යුධ ජයග්‍රහණ පිළිබඳ සිහිපත් කොට ඇති අතර, ප්‍රතිරාජයා ලෙස එම නිලධාරියා ධුරය හෙබවූ ආකාරය විවේචනය කොට ඇත.[40] අමෙන්හොටෙප් මෙසේ ලියා ඇත:

රා‍ජෝත්තමයාණන් වහන්සේ, සියතින්ම ප්‍රතිරාජ උසර්සැටෙට් වෙත ලියූ ආඥාවේ පිටපතයි මේ. රාජෝත්තමයාණන් වහන්සේ [රාජකීය] නිවහනේ සිටියේ ය...ඔහු අසුන්ගෙන පානය කරමින් නිවාඩු දිනයක් ගතකළේ ය. බලන්න, මේ රජුගේ ආඥාව ගෙන ආවේ ඔබටයි...දුරබැහැර නුබියාවේ සිටින, සියලු විදේශ රටවලින් ධනය රැගෙන ආ වීරයා, යුධරිය ධාවකයා...ඔබ බැබිලෝනියාවේ භාර්යාවකගේ ස්වාමියායි. එසේම බිබ්ලෝසයෙන් ආ සේවිකාවකගේ, අලාලඛ්හි තරුණ දැරියකගේ සහ අරාප්ඛාහි වියපත් ස්ත්‍රියකගේ අධිපතියායි. දැන් මේ ටෙක්ෂි (සිරියාවේ) ජනයා වැදගැම්මකට නැත--ඔවුන් හොඳ කුමකට ද? ප්‍රතිරාජයා වෙත තවත් පණිවිඩයක්: නුබියානුවන් විශ්වාස නොකරන්න. නමුත් ඔවුන්ගේ ජනයා සහ මායාකර්මවලින් ප්‍රවේසම් වන්න...[41]

අමෙන්හොටෙප්ගේ පණිවිඩයෙන් විස්මයට (හෝ භීතියට) පත් උසර්සැටෙට් එහි පිටපතක් "වරක් [නුබියාවේ] දෙවන ඇල්ල අසල [පිහිටා] තිබූ, වර්තමානයේ බොස්ටන්හි ඇති ශිලා ස්තම්භයේ එය කැටයම් කරවී ය."[42]

IIවන අමෙන්හොටෙප් සිය රැජිනියන්ගේ නම් විවෘතව වාර්තා කොට නැත. ඇතැම් ඊජිප්තුවේදීන් විශ්වාස කරන්නේ අමුන්ගේ දෙවියන්ගේ බිරිඳ වැනි පදවි ලබාදීමෙන් කාන්තාවන් බලවත් වන බව ඔහු සිතූ නිසා විය හැකි බවයි. ඔවුන් පවසන්නේ ඔහු සිය පියා විසින් සිදු කළ හට්ෂෙප්සුට් රැජිනගේ නාමය ඇගේ ස්මාරකවලින් ඉවත් කොට, ඇගේ රූප විනාශ කරවීමට දායක වන්නට ඇති බවයි.

හට්ෂෙප්සුට් රැජිනියගේ රූප විනාශ කිරීම අමෙන්හොටෙප් සහ ඔහුගේ පියා අතිශයින් මහලුව සිටි කාලයේ හවුල් පාලන සමයේ සිදුවන්නට ඇතැයි සැලකේ. නමුත් ඔහුගේ ස්වාධීන රාජ්‍ය සමයේ දී එය නවතා තිබේ. කෙසේනමුත්, තවත් කාන්තාවක සිහසුනේ හිඳගැනීම වැළැක්වීමට ඔහුගේ පියා තුළ වූ අපේක්ෂාව ඉටු කරන්නට ඔහු උත්සාහ දැරී ය. ඔහු එවන් උත්සාහ දරුව ද, ඔවුන්ගේම 18වන රාජවංශයේ අවසන් කාලයේ තවත් අක්නාටන්ගේ සම -රාජ්‍යාධිකාරිණියක් පාරාවෝවරිය ලෙස රාජ්‍ය පාලනය ගෙනගොස් තිබේ. ඔහුගේ මරණයට හේතුව නොදනී.

මේවාත් බලන්න

සංස්කරණය

පාදක සටහන්

සංස්කරණය
  1. ^ ක්ලේටන්, පීටර්. ක්රෝනිකල් ඔෆ් ද ෆේරෝස්, තේම්ස් ඇන්ඩ් හඩ්සන් ලිමිටඩ්., 1994. පි. 112
  2. ^ එරික් ක්ලයින් සහ ඩේවිඩ් ඕ'කොනර්, තුත්මෝස් III: අ නිව් ‍බයෝග්‍රැෆි, යුනිවර්සිටි ඔෆ් මිචිගන් ප්‍රෙස්, ඈන් ආබර්, 2006. පි. 415
  3. ^ ක්ලයින් ඕ'කොනර්, පි. 415
  4. ^ a b c d e ගාඩිනර්, ඇලන්. ඊජිප්ට් ඔෆ් ද ෆේරෝස්. පි. 198. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 1964.
  5. ^ පීටර් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රිලිජන් ඔෆ් අමෙනෝෆිස් II, පි. 21. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටෙන්බෙග් වර්ලැග්, හිල්ඩ්ෂයිම්, 1987.
  6. ^ a b c චාල්ස් සී. වැන් සික්ලන්. "අමෙන්හොටෙප් II," ද ඔක‍්ස්ෆර්ඩ් එන්සයික්ලොපීඩියා ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. සංස්. ඩොනල්ඩ් රෙඩ්ෆෝර්ඩ්. වෙළු. 1, පි. 71. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 2001.
  7. ^ Urk. IV. 1279.8-10
  8. ^ පීටර් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙනෝෆිස් II, පි. 171. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටන්බෙග් වර්ලැග්, හිල්ඩෙෂයිම්, 1987.
  9. ^ පීටර් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙනෝෆිස් II, පි. 174. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටන්බර්ග් වර්ලැග්, හිල්ඩෙෂයිම්, 1987.
  10. ^ a b පීටර් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙනෝෆිස් II, පි. 175. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටන්බෙග් වර්ලැග්, හිල්ඩෙෂයිම්, 1987.
  11. ^ a b c d e පීටර් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙනෝෆිස් II, පි. 176. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටන්බෙග් වර්ලැග්, හිල්ඩෙෂයිම්, 1987.
  12. ^ a b පීටර් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙනෝෆිස් II, පි. 177. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටන්බෙග් වර්ලැග්, හිල්ඩෙෂයිම්, 1987.
  13. ^ පීටැ් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙනෝෆිස් II, පි.178. Hildesheimer Ägyptologische Beiträge 26, ගැස්ටන්බෙග් වර්ලැග්, හිල්ඩෙෂයිම්, 1987.
  14. ^ පීටර් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙනෝෆිස් II, පි. 181. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටන්බෙග් වර්ලැග්, හිල්ඩෙෂයිම්, 1987.
  15. ^ එඩ්වඩ් එෆ්. වෙන්ට්, තුත්මෝස් III'ස් ඇක්සෙෂන් ඇන්ඩ් ද බිගිනිං ඔෆ් ද නිව් කිංඩම් පි.267. ජර්නල් ඔෆ් නියර් ඊස්ටර්න් ස්ටඩීස්, ද යුනිවර්සිටි එෆ් චිකාගෝ ප්‍රෙස්, 1975.
  16. ^ බ්‍රෙස්ටඩ්, ජේම්ස් හෙන්රි. ඒන්ෂන්ට් රෙකෝඩ්ස් ඔෆ් ඊජිප්ට්, වෙළු. II පි. 234. යුනිවර්සිටි ඔෆ් චිකාගෝ ප්‍රෙස්, චිකාගෝ, 1906.
  17. ^ a b ෂෝව්, ඉයන්; සහ නිකල්සන් පෝල්. ද ඩික්ෂනරි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි. 28. ද බ්‍රිටිෂ් මියුසියම් ප්‍රෙස්, 1995.
  18. ^ ඩෙර් මැනුවලියන්, op. cit., පිටු. 42-43
  19. ^ රෙඩ්ෆෝර්ඩ්, JNES ක්රෝනොලොජි, පි.119
  20. ^ පීටර් ජර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔ‍ෆ් අමෙනෝෆිස් II, පි. 43. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටන්බෙග් වර්ලැග්, හිල්ඩෙෂයිම්, 1987.
  21. ^ පීටර් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙන්හොටෙප් II, පි. 44. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටන්බෙග් වර්ලැග්, හිල්ඩෙෂයිම්, 1987.
  22. ^ a b ගාඩිනර්, ඇලන්. ඊජිප්ට් ඔෆ් ද ෆේරෝස්. පි. 200. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 1964.
  23. ^ ග්‍රිමල්, අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, පි. 218
  24. ^ ග්‍රිමල්, නිකොලස්. අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි. 218. ලයිබ්‍රරී අර්තීම් ‍ෆෙයාර්ඩ්, 1988.
  25. ^ a b ග්‍රිමල්, පි. 218
  26. ^ a b ගාඩිනර්, පි. 200
  27. ^ රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී. ඊජිප්ට්, කනාන්, ඇන්ඩ් ඊශ්‍රායල් ඉන් ඒන්ෂන්ට් ටයිම්ස්. පි. 162. ප්‍රින්ස්ටන් යුනිවර්සිටි ප්‍රෙස්, ප්‍රින්ස්ටන් NJ, 1992.
  28. ^ රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී. ඊජිපට්, කනාන්, ඇන්ඩ් ඊශ්‍රායල් ඉන් ඒන්ෂන්ට් ටයිම්ස් පි. 163. ප්‍රින්ස්ටන් යුනිවර්සිටි ප්‍රෙස්, ප්‍රින්ස්ටන් NJ, 1992.
  29. ^ පීටර් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙනෝෆිස් II, පි. 62. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටන්බෙග් වර්ලැග්, හිල්ඩෙෂයිම්, 1987.
  30. ^ ගාඩිවනර්, ඇලන්. ඊජිප්ට් ඔෆ් ද ෆේරෝස්. පි. 202. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 1964.
  31. ^ පීටර් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙනෝෆිස් II, පි.76. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටන්බෙග් වර්ලැග්, හිල්ඩෙෂයිම්, 1987.
  32. ^ ගාඩිනර්, ඇලන්. op. cit., පි. 203. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්, 1964.
  33. ^ පීටර් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙනෝෆිස් II, පි. 77. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටන්බෙග් වර්ලැග්, හිල්ඩෙෂයිම්, 1987.
  34. ^ a b c රෙඩ්ෆෝර්ඩ්, ඩොනල්ඩ් බී. ඊජිප්ට්, කනාන්, ඇන්ඩ් ඊශ්‍රායල් ඉන් ඒන්ෂන්ට් ටයිම්ස්. පි. 164. ප්‍රින්ස්ටන් යුනිවර්සිටි ප්‍රෙස්, ප්‍රින්ස්ටන් NJ, 1992.
  35. ^ පී‍ටර් ඩර් මැනුවලියන්, ස්ටඩීස් ඉන් ද රීන් ඔෆ් අමෙනෝෆිස් II, පි. 92. Hildesheimer Ägyptologische Beiträge 26, ගර්ස්ටන්බෙග් වර්ලැග්, හිල්ඩෙෂයිම්, 1987.
  36. ^ ග්‍රිමල්, නිකොලස්. අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි. 220. ලයිබ්‍රරී අර්තීම් ෆෙයාර්ඩ්, 1988.
  37. ^ ග්‍රිමල්, නිකොලස්. අ හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්. පි. 219. ලයිබ්‍රරී අර්තීම් ෆෙයාර්ඩ්, 1988.
  38. ^ a b ගාඩිනර්, පි. 199
  39. ^ උර්ක් IV, 1343:10
  40. ^ එරික් හෝර්නන්ග් 'ද ෆේරෝ' ඉන් සර්ජියෝ ඩොනැඩනි, ද ඊජිප්ටියන්ස්, ද යුනිවර්සිටි ඔ‍ෆ් චිකාගෝ ප්‍රෙස්, 1997. පි. 291
  41. ^ හෝර්නන්ග්, පි. 291
  42. ^ හෝර්නන්ග්, පිටු. 290-291

මූලාශ්‍ර

සංස්කරණය
  • නිකොලස් ග්‍රිමල්; A History of Ancient Egypt, බ්ලැක්වෙල් බුක්ස්: 1992, පිටු. 218–220
  • රයිසිංගර්, මැග්නස්; Entwicklung der ägyptischen Königsplastik in der frühen und hohen 18. Dynastie, ඇග්නස්-වර්ලැග්, මූන්ස්ටර් 2005, ISBN 3-00-015864-2
  • පීටර් ඩර් මැනුවලියන්, Studies in the Reign of Amenophis II, Hildesheimer Ägyptologische Beiträge (HÄB) වර්ලැග්: 1987

බාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=අමෙන්හොටෙප්_II&oldid=591273" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි