ෆැසිස්ට් විරෝධය
ෆැසිස්ට් විරෝධය යනු ෆැසිස්ට්වාදයට එරෙහිව පැන නැගුනු දේශපාලනික ව්‍යාපාරයකි. 1920 දශකයේදී යුරෝපයේ ෆැසිස්ට්වාදී මතවාද වල නැගී ඒමත් සමගම එයට ප්‍රතිරෝධයක් ලෙස ෆැසිස්ට් විරෝධි කණ්ඩායම් ද බිහිවුනි. ෆැසිස්ට් විරෝධි ව්‍යාපාරයෙහි උච්ඡතම අවස්ථාව ලෙස සැළකිය හැක්කේ දෙවන ලෝක යුද්ධයේ ආරම්භය සහ අවසානය අතර කාලයයි. ෆැසිස්ට්වාදී අක්ෂ පාර්ශවයට එරෙහිව රටවල් ගණනාවක් මිත්‍ර පාර්ශවයට එකතු විය. අරාජිකවාදී, කොමියුනිස්ට්වාදී, ශාන්තවාදී, ජනරජවාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී, සම්මේලවාදී මෙන්ම, මධ්‍යස්ථවාදී, සංරක්ෂණවාදී, ලිබරල්වාදී සහ ජාතිකවාදී යනාදී විශාල පරාසයක් පුරා පැතිරුනු දේශපාලනික ව්‍යාපාර තුල ෆැසිස්ට් විරෝධී අදහස් දක්නට ලැබේ.
ෆැසිස්ට්වාදය යනු 1910 දශකයේදී ප්‍රමුඛත්වයට පැමිණි අන්ත-දක්ෂිණාංශික, අන්ත-ජාතිකවාදී මතවාදයකි. ෆැසිස්ට්වාදයට එරෙහිව සංවිධානාත්මක ප්‍රතිවිරෝධයක් ඇරඹුනේ 1920 දශකයේ යි. ෆැසිස්ට්වාදය 1922 දී ඉතාලියේත්, 1933 දී ජර්මනියේත්, රාජ්‍ය දෘෂ්ටිවාදය බවට පත් විය. මෙයට ප්‍රතිචාර ලෙස ජර්මනියේත්, ඉතාලියේත් ෆැසිස්ට් විරෝධී කණ්ඩායම් වල ක්‍රියාකාරකම් වල ඉහල යෑමක් සිදුවිය. 1936-1939 අතර තිබූ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ ප්‍රධාන තේමාවක් වූයේ ෆැසිස්ට් විරෝධයයි.
දෙවන ලෝක යුද්ධයට පෙර, බටහිර ලෝකය ෆැසිස්ට්වාදයෙන් ඇති තර්ජනය බරපතළ ලෙස නොසැළකූ අතර, ෆැසිස්ට් විරෝධය කොමියුනිස්ට්වාදය සමග බැඳී පැවතුනි. නමුත්, දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග ෆැසිස්ට්වාදය පිළිබඳ බටහිර ආකල්ප විශාල ලෙස වෙනස් විය. කොමියුනිස්ට් සෝවියට් සංගමය පමණක් නොව, ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ද ෆැසිස්ට්වාදය සිය පැවැත්මට එරෙහි තර්ජනයක් ලෙස සළකන ලදී. අක්ෂ බලවතුන් විසින් අත්පත් කරගන්නා ලද සෑම රටකම ෆැසිස්ට් විරෝධී ප්‍රතිරෝධී කණ්ඩායම් ඇති විය. දෙවන ලෝක යුද්ධය අවසානයේ අක්ෂ බලවතුන්ගේ පරාජයත් සමග රාජ්‍ය දෘෂ්ටිවාදයක් ලෙස ෆැසිස්ට්වාදට තිබූ පැවැත්ම අවසන් විය.