හම්දී ෆස්ලීන් නොහොත් හම්දි ෆෂ්ලීම් වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට 2023 ජුලි මස 27 දින, අවුරුදු 3 මාස 3ක වයසේදී ජීවිතක්ෂයට පත්විය[1]

හම්දී ෆස්ලීන්
උපත2020 අප්‍රේල්
විපත2023 ජුලි 28
රිජ්වේ ආර්යා ළමා රෝහල
වාසස්ථානයකොටහේන, කොළඹ

එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබූ අතර, වම් වකුගඩුව ඉවත් කළ යුතු බවත් දකුණු වකුගඩුව නීරෝගී තත්ත්වයේ පවතින බවත් වෛද්‍යවරුන් හඳුනාගෙන තිබූ බව වාර්තා වී ඇත.

කෙසේවෙතත් නීරෝගී දකුණු වකුගඩුවත් ශල්‍යකර්මය අතරතුර ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් පසුව ප්‍රකාශ කළ බව මව්පියන් සඳහන් කරයි.

වකුගඩු දෙකම නොමැති වීම හේතුවෙන් වකුගඩුවක් බද්ධ කිරීම සිදුකරන තෙක් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා යොමු කර සිටි දරුවා, විෂබීජයක් ශරීරගත වීමෙන් මියගොස් තිබේ.

සිද්ධිය පිලිබඳ කාලරාමුව සංස්කරණය

දිනය විස්තරය
2022

දෙසැ 22

වෛද්‍ය නිර්දේශ මත රෝහලට ඇතුළත් කිරීම[2][3]
2022

දෙසැ 24

විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් විසින් ශල්‍යකර්මය සිදු කිරීම[4]
2023 මැයි 23
  • වෛද්‍ය පරීක්‍ෂාව සඳහා රෝහල් ගත කිරීම
  • විෂබීජයක් ශරීරගතවී ඇති බවට ලැබුණු උපදෙස් මත එදින සිට නේවාසිකව ප්‍රතිකාර ආරම්භ කිරීම
2023

ජුලි 28

දරුවාගේ මරණය
2023

ජුලි 29

දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේය.
2023

ජුලි 30

පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් වීමෙන් පසු දරුවාගේ දේහය දෙමාපියන් වෙත භාරදුන් අතර පසුව දේහය ඔහු පදිංචිව සිටි කොටහේන නිවස වෙත රැගෙන ආවේය. පැයකට ආසන්න කාලයක් නිවසේ තැන්පත් කර තිබුණු දේහය පසුව මාලිගාවත්ත මුස්ලිම් පොදු සුසාන භූමිය වෙත රැගෙන විත් භූමදාන කෙරුණි.[5]
2023 අගෝස්තු 31
  • වම් වකුගඩුවේ රෝගී තත්ත්වයක් තිබූ නමුත් දකුණු වකුගඩුව කිසිදු අසාමාන්‍යතාවකින් තොරව නියමිත ස්ථානයේ පිහිටා තිබූ බව එම දරුවාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය මලිත් සමරසිංහ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ පැවැසීය.[6]
  • වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් එම දරුවා 2021 වසරේ සිට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විටින් විට ප්‍රතිකාර ලබාගත් බවත් ඊට අදාළව රිජ්වේ රෝහලෙන් හා පෞද්ගලික රෝහල්වලින් අවස්ථා කීපයකදී කළ පරීක්‍ෂණවලදී දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරීත්වයේ අඩුවක් තිබෙන බව එම පරීක්‍ෂණ වාර්තාවලින් හෙළිවී ඇති බවත් වෛද්‍යවරයා පැවැසීය.
  • දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරීත්වය 9% හා දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට 91% වශයෙන් පෙන්නුම් කර ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
  • ශල්‍යකර්මයේදී සිදුවූ වැරැදීමක් හේතුවෙන් එක් වකුගඩුවක් ඉවත්ව ඇති බවට රෝහල් අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කරන නමුත් එක් වකුගඩුවක් පමණක් තිබූ බවට අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන් වීම අපැහැදිලි කාරණයක් බවද අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයකු මෙන්ම වෛද්‍යවරයකුද වන වයි.එල්.එම් යුසුෆ් මහතා අධිකරණය හමුවේ පවසා තිබිණි.

මියගිය දරුවාගේ මව ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් සංස්කරණය

''බයවෙන්න එපා මාස තුනකින් වගේ ඕගොල්ලන්ට අපි වකුගඩුව හොයලා එයාට බද්ධ කරලා එයාව ජීවත් කරවන්නම් කියලා තමා කිවුවේ. ඒකෙ විශ්වාසට තමා ළමයගේ තත්ත්වය අපි බලාපොරොත්තු වෙලා ඉවසගෙන හිටියේ. අන්තිමට මගේ ළමයගේ වකුගඩු දෙකම නෑ කියලා කිවුවා. එන්ඩ එන්ඩ තමා එයා වීක් වුණේ. එයාට බඩ යන්න පටං ගත්තා. එයාට ඉන්ෆ්ලෙක්ෂන් එක වැඩි වුණා. එහෙම එහෙම වෙලා දුර්වල වෙලා කන්නෙ බොන්නෙ නැතිවෙලා වතුර උගුරක් වත් අන්තිමට බිවුවෙ නෑ. අන්තිමට මගේ ළමයා මට නැතිවුණා''

සිය දරුවා රෝගි වූ මුල් අවස්ථාවේ සිටම එක්තරා විශේෂඥ වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය යටතේ ඔහුට ප්‍රතිකාර ලබාදුන් බවත් පෙර කී සැත්කම ඔහු විසින් සිදුකිරීමට නියමිතව තිබුණත් යම්කිසි හේතුවක් නිසා ඔහු වෙනුවට ඔහුගේ සහායක ලෙස කටයුතු කළ වෙනත් වෛද්‍යවරයකු විසින් එම ශල්‍යකර්මය සිදුකර ඇති බවත් එම වෛද්‍යවරයාගේ අත්වැරදීම නිසා සිය දරුවා මියගිය බවටත් දෙමාපියෝ චෝදනා කරති.

සැත්කම සිදුකළ වෛද්‍යවරයා මේ වනවිට සිය පවුල සමඟ විදේශගතවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද මියගිය දරුවාගේ දෙමාපියෝ පවසති.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රකාශය සංස්කරණය

මේ සම්බන්ධයෙන් අද දෙරණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතාගෙන් විමසීමකදී ඔහු පැවසුවේ, දරුවාගේ වකුගඩු අක්‍රමවත්ව පිහිටීම හේතුවෙන් ශල්‍යකර්මයක් සිදුකළ අතර, එම සැත්කම අතරතුර නිරෝගී වකුගඩුවද ඉවත්වී ඇති බවයි.

''මේ දරුවාගේ උප්පත්තියෙන්ම වකුගඩු දෙක යාබද වෙලා පිහිටීම නිසා එම එක වකුගඩුවක් අකර්මන්‍ය වෙලා, විෂබීජ ගිහිල්ලා එය නරක් වීම මත ඒක ඉවත් කිරීමේදී අනිත් වකුගඩුවත් ඉවත් වෙලා තියනවා. ශල්‍යකර්මයේදී ඒක හඳුනාගන්න හැකි වෙලා නෑ. ඒ නිසා වකුගඩුවක් බද්ධ කිරීමට පෙර විෂබීජයක් ආසාදනය වෙලා තමා මේ දරුවා මියගිහිල්ලා තියෙන්නේ''

මුලාශ්‍ර සංස්කරණය

  1. "රිජ්වේ රෝහලේ දරුවා මියගියේ වෛද්‍ය නොසැලකිල්ලෙන් ද?", අද දෙරණ, 2023 ජුලි 28
  2. අක්‍රීය වකුගඩුව සමග නිරෝගී වකුගඩුවත් සැත්කමෙන් ඉවත් කළ වෛද්‍යවරයා පවුල සමග රට ගිහින් (gossiplankanews.com)
  3. අක්‍රීය වකුගඩුව සමග නිරෝගී වකුගඩුවත් සැත්කමෙන් ඉවත් කරලා! | Divaina
  4. වරද ශල්‍යකර්මයේ නම් ජීවිතයට වන්දි ගෙවනු, මවුබිම , 2023 ජුලි 31
  5. ළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවාගේ අවසන් කටයුතු අද (adaderana.lk)
  6. සැත්කමින් ඉවත් කර ඇත්තේ දරුවාගේ නිරෝගී වකුගඩුව - අධිකරණයේදී හෙළිවේ (gossiplankanews.com)
"https://si.wikipedia.org/w/index.php?title=හම්දී_ෆස්ලීන්&oldid=579718" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි