සොබෙක්නෙෆරු (ඇතැම්විට "නෙෆරුසොබෙක්" ලෙස ද ලියනු ලබයි) යනු ඊජිප්තු කාන්තාවක් වූ අතර, ඇය සිය සිය සොහොයුරා වූ IVවන අමනෙම්හාට්ගෙන් පසු පාරාවෝ ලෙස රාජ්‍යය පාලනය කළා ය. ඇය 12වන රාජවංශයේ අවසන් පාලකයා වූ අතර, ඇය ක්‍රි.පූ. 1806 සිට 1802 දක්වා වර්ෂ 4ක් පමණ ඊජිප්තුව පාලනය කළා ය.[1] ඇගේ නමේ අරුත "සොබෙක්ගේ රූමතිය" යන්නයි.

ඇය IIIවන අමනෙම්හාට් පාරාවෝවරයාගේ දියණිය වූවා ය. මැනෙතෝ පවසන්නේ ඇය IVවන අමනෙම්හාට්ගේ සොයුරිය ද වූ බවයි. නමුත් මෙම ප්‍රකාශය තහවුරු වී නැත. සොබෙක්නෙෆරුට නෙෆ්රුප්ටා යනුවෙන් වැඩිමහල් සොයුරියක සිට ඇති අතර, ඇය සමහරවිට අනුප්‍රාප්තිකයා වන්නට ඇත. නෙෆ්රුප්ටාගේ නාමය කාර්ටුෂ් මුදුවක සටහන් කොට ඇති අතර, ඇයට හවාරාහි ඇගේම පිරමීඩයක් තිබී ඇත. කෙසේනමුත්, අඩු වයසින්ම නෙෆ්රුප්ටා මියගොස් ඇත.[2]

රාජ්‍ය සමය

සංස්කරණය

කාන්තා පාරාවෝවරයකු ලෙස සාක්ෂි සහිතව සනාථ කරගත් පළමු තැනැත්තිය සොබෙක්නෙෆරු ය. නමුත් හයවන රාජවංශයේ නිටෝක්‍රිස් නැමැත්තිය ද රාජ්‍ය පාලනය කොට ඇතැයි පැවසේ. කෙසේනමුත් පළමු රාජවංශයේ තවත් කාන්තාවන් පස‍්දෙනකු රාජ්‍ය පාලනය කොට ඇතැයි විශ්වාස කෙරේ.

IVවන අමනෙම්හාට් මියගියේ සිහසුනට පිරිමි උරුමකරුවකු රහිත ව ය. ඒ නිසා IIIවන අමනෙම්හාට්ගේ දියණිය සොබෙක්නෙෆරු සිහසුනට පත්වන්නට ඇත. ටියුරින් කැනොන් අනුව, ඇය ක්‍රි.පූ. 19වන සියවස අගභාගයේ අවුරුදු 3කුත්, මාස 10කුත්, දින 24කුත්[3] රාජ්‍යය පාලනය කර ඇත.

සිහසුනට උරුමකරුවකු නොමැතිව ඇය මියගිය අතර, ඇගේ මරණයත් සමග ඊජිප්තුවේ විශිෂ්ට දොලොස්වන රාජවංශයේ අවසානය සහ මධ්‍ය රාජධානියේ ස්වර්ණමය යුගයේ අවසානය සනිටුහන් විය. ඇගේ මරණින් පසු දුර්වල දහතුන්වන රාජවංශය බලයට පත් විය.

ස්මාරක සහ සොහොන්ගැබ

සංස්කරණය
 
සොබෙක්නෙෆරු රැජිනගේ හිස
 
බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති සොබෙක්නෙෆරුගේ සිලින්ඩරාකාර මුද්‍රාවේ සිතුවමක්. ෆ්ලින්ඩර්ස් පෙට්‍රී විසිනි.[4]

ඇයගේ ස්මාරක කිහිපයක්ම හමු වී ඇති අතර, ඇගේ බොහෝ ප්‍රතිමා (හිස රහිත) සංඛ්‍යාවක් හමු වී ඇත. මේ අතරින් ගීසර්හි රජුගේ රාජකීය දියණියගේ ප්‍රතිමාවේ පාදමේ ඇගේ නම සටහන්ව ඇත.[5] ඇගේ හිස සහිත එක් ප්‍රතිමාවක් හඳුනාගෙන ඇත. දෙවන ලෝක යුද්ධයේ දී, අතුරුදන් වූ බර්ලින්හි ඊජිප්තු කෞතුකාගාරයේ (Inv. අංක. 14476) තිබූ ප්‍රතිමාව ඇයගේ යැයි සැලකිය හැක. අද වන විට එම ප්‍රතිමාව දැකගත හැක්කේ ඡායාරූප සහ බදාම අනුරූවලින් පමණකි. එය කෞතුකාගාරයට ලැබුණේ 1899දී ය. එහි හිස සෙම්නාවලින් හමු වූ රාජකීය ප්‍රතිමාවේ කඳට ගැළපෙයි. එහි කඳකොටස රාජකීයයකුගේ බවට තහවුරු වන්නේ එහි සිහසුනේ පසෙකින් රාජකීය සංකේතයක් වන රටවල් දෙකෙහි ඒකාබද්ධ කිරීම සලකුණ දැකගත හැකි නිසායි.[6] ඇය විසින් හවාරාහි IIIවන අමනෙම්හාට්ගේ සොහොන් සංකීර්ණයට (හෙරඩෝටස් විසින් වංකගිරියක් ලෙස හඳුන්වයි) නවඅංග එකතු කළ බව පැවසේ. එසේම ඇය හෙරක්ලියොපොලිස් මැග්නාහි ගොඩනැගිලි ද ඉදිකළා ය.

ඇගේ නාමය සහ රාජකීය තනතුර දැක්වෙන වටිනා මුදුවක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තබා ඇත.[7] කුමාහි නුබියානු බලකොටුවක නයිල් පුවරුලිපියක දැක්වෙන්නේ ඇගේ 3වන රාජ්‍ය වර්ෂයේ දී මීටර 1.83ක උසකින් යුත් නයිල් ජලගැල්මක් ඇති වූ බවයි.[8] නැගෙනහිර කාන්තාරයෙන් හමු වූ වෙනත් ශිලාලේඛනයක දැක්වෙන්නේ වර්ෂය 4, පෙරෙට් සෘතුවේ දෙවන මාසය යනුවෙනි.[9] ඇගේ ස්මාරක නිර්මාණ ඇය සහ IVවන අමනෙම්හාට්ට වඩා IIIවන අමනෙම්හාට් සමග සම්බන්ධව දක්වා ඇත. එමගින් ඇය IIIවන අමනෙම්හාට්ගේ රාජකීය දියණිය සහ IVවන අමනෙම්හාට්ගේ සුළු සොහොයුරියක බවට ඇති මතය පැහැදිළි වේ.[5] ඩෙන්මාක ජාතික ඊජිප්තුවේදියකු වූ කිම් රයිහොල්ට් පවසන්නේ, ඇගේ රාජ්‍ය සමයේ සමකාලීන ප්‍රභව අනුව පැහැදිළි වන්නේ ඇය කිසිදින "රැජින" හෝ "රජුගේ සොයුරිය" යන නාමයන් භාවිත නොකළ බවත්--'රජුගේ දියණිය'--යන නාමය පමණක් භාවිත කිරීම හේතුවෙන් එය මේ උපකල්පනයට පක්ෂව අදහස් පලවන බවත් ය.[5]

ඇගේ සොහොන නිවැරදිව හඳුනාගෙන නොමැත. ඇයව සමහරවිට IVවන අමනෙම්හාට්ගේ යැයි විශ්වාස කෙරෙන පිරමිඩ සංකීර්ණයට වහාම උතුරින් පිහිටි එයට ව්‍යූහයෙන් සමාන ශිලාලේඛන නොමැති මස්ඝුනාහි පිරමිඩ සංකීර්ණයේ භූමදාන කරන්නට ඇත. හැරගෙහ් නැමැති ස්ථානයෙන් හමු වූ පැපිරස් ලේඛනයක සෙඛෙම්-නෙෆරු නම් ස්ථානයක් පිළිබඳ සඳහන් වේ. මෙය ඇතැම්විට ඇගේ පිරමිඩයෙහි නම වන්නට ඇත.

මේවාත් බලන්න

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ a b කිම් එස්. බී. රයිහොල්ට්, ද පොලිටිකල් සිචුවේෂන් ඉන් ඊජිප්ට් ඩියුරිං ද සකන්ඩ් ඉන්ටර්මීඩියේට් පීරියඩ්, ක්‍රි.පූ. 1800-1550, මියුසියම් ටස්කියුලේනම් ප්‍රෙස්, කාස්ටන් නියේබුහ්ර් ආයතන ප්‍රකාශන 20, 1997. පි.185
  2. ^ ඩොඩ්සන්, හිල්ටන්, ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඊජිප්ට්, 2004, පි. 98.
  3. ^ කිම් රයිහොල්ට්, ද පොලිටිකල් සිචුවේෂන් ඉන් ඊජිප්ට් ඩියුරිං ද ‍සකන්ඩ් ඉන්ටර්මීඩියේට් පීරියඩ්, කාස්ටන් නියේබුහ්ර් ආයතනික ප්‍රකාශන, මියුසියම් ටස්කියුලේනම් ප්‍රෙස්, (1997), පි.15 ISBN 87-7289-421-0
  4. ^ ෆ්ලින්ඩර් පෙට්‍රී: සැකැරබ්ස් ඇන්ඩ් සිලින්ඩර්ස් විත් නේම්ස් (1927), නිදහස් ප්‍රකාශන අයිතිය හිමි සංස්කරණය, pl. XIV
  5. ^ a b c රයිහොල්ට්, පි.213
  6. ^ බී. රේ, ආර්. ඊ. ෆ්‍රීඩ්, ටී. ෂෙල්පර්, එෆ්. සෙයිෆ්‍රීඩ්: නෙෆරුසොබෙක් ප්‍රොජෙක්ට්: කොටස I, ඉන්: ජී. මිනියාසි, ඩබ්. ග්‍රැජෙට්ස්කි: ද වර්ල්ඩ් ඔෆ් මිඩ්ල් කිංඩම් ඊජිප්ට් (2000-1550 BC), වෙළුම. I, ලන්ඩන් 2015, ISBN 978-1906137434, පි. 89-91
  7. ^ ගේ කැලෙන්ඩර්, 'ද මිඩ්ල් කිංඩම් රෙනයිසන්ස්' ඉන් ඉයන් ෂෝ, ද ඔක්ස්ෆර්ඩ් හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, (ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්: 2003), කඩදාසි බැම්ම සහිත, පි.159
  8. ^ ගේ කැලෙන්ඩර්, පි.159
  9. ^ ඒ. අල්මාසි, කැටලොග් ඔෆ් ඉන්ස්ක්‍රිප්ෂන්ස්, ඉන්: යූ. ලෆ්ට් (සංස්කාරක), බි’ර් මිනාය්හ්, රිපෝට් ඔන් ද සර්වී 1998-2004, බුඩාපෙස්ට් 2011, ISBN 978-9639911116, පි. 174-175

පුස්තක නාමාවලිය

සංස්කරණය
  • ඩොඩ්සන්, ඒඩන්. හිල්ටන්, ඩියෑන්. 2004. The Complete Royal Families of Ancient Egypt, තේම්ස් සහ හඩ්සන්
  • ඩබ්. ග්‍රැජෙට්ස්කි, The Middle Kingdom of Ancient Egypt: History,Archaeology and Society, ඩන්වර්ත්, ලන්ඩන් 2006 ISBN 0-7156-3435-6, 61-63
  • ෂෝ, ඉයන්. නිකොල්සන්, පෝල්. 1995. The Dictionary of Ancient Egypt. හැරී එන්. ඒබ්‍රම්ස්. ඉන්ක්. ප්‍රකාශකයෝ.
  • ෂෝ, ඉයන්, සංස්කරණය. 2000. The Oxford History of Ancient Egypt, ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ප්‍රෙස්. ග්‍රැෆිටෝ ref. පි. 170.
"https://si.wikipedia.org/w/index.php?title=සොබෙක්නෙෆරු&oldid=542780" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි