වියුණු සටහන හෙවත් බ්ලොග් (Blog) යනු බොහෝ විට තනි පුද්ගලයකු විසින් පවත්වාගෙන යන විශේෂිත වෙබ් අඩවි වර්ගයකි. බ්ලොග් යන වදන නිර්මාණය වී ඇත්තේ web log යන ඉංග්‍රීසි වදන කටහුරු ආකාරයට සකස් වීමෙනි. තමන්ගේ පුද්ගලික අදහස් මෙන්ම එදිනෙදා පුවත්, ඡායාරූප, වීඩියෝ දර්ශන සහ ශ්‍රවණ ගොනු ද පවත්වාගෙන යන පුද්ගලයා හෝ පිරිස විසින් මෙම වෙබ් අඩවි තුළ පළකරනු ලැබේ. බහුතරයක් දෙනා තම බ්ලොග් අඩවි, රුචිකත්වය අනුව ඒ වටා රොක් වූ පාඨක පිරිසක් සමඟ තම පෞද්ගලික අත්දැකීම් හා මතිමතාන්තර බෙදා ගැනීම සඳහා භාවිතා කරන අතර තවත් පිරිසක් විසින් තම බ්ලොග් අඩවි කිසියම් විෂයක් හෝ ක්ෂේත්‍රයක් පිළිබඳව තමා සතු දැනුම අන් අය සමඟ හුවමාරු කරගැනීමට යොදාගනු ලබති. කුමන ආකාරයකින් භාවිතා කළ ද බ්ලොග් අඩවියක් යනු ඕනෑම පුද්ගලයකුට පවත්වාගෙන යා හැකි එම පුද්ගලයාට අනන්‍ය වූ වෙබ් අවකාශයකි. විශේෂ අවස්ථා වලදී හැරුනුකොට එහි අන්තර්තගය සඳහා සීමාවන් බල නොපැවැත්වෙන බැවින් තමාගේ අදහස් තමාට රිසි අයුරින් බ්ලොග් අඩවිය තුළ පළ කළ හැකිය. බ්ලොග්කරණයේ (Blogging) සීඝ්‍ර ජනප්‍රියත්වය සඳහා මෙම සාධකය බොහෝ සෙයින් බලපා ඇත.

බොහෝ අවස්ථා වලදී බ්ලොග් අඩවියක ව්‍යුහය සකස් වී ඇත්තේ දින වකවානු අනුපිළිවෙලටය. බ්ලොග් අඩවිය පවත්වාගෙන යන පුද්ගලයා විසින් බ්ලොග් සටහන් (Blog Posts) එක් කරනු ලබන්නේ ද එවන් අනුපිළිවෙලකට බැවින් පෙරකී ව්‍යුහය බ්ලොග් අඩවියකට වඩාත් උචිත වේ. මේ වන විට බ්ලොග් අඩවියක් තැනීම සඳහා වෙබ් අවකාශ පහසුකම් සලසන වෙබ් අඩවි ගණනාවක් අන්තර්ජාලය තුළ දැකිය හැක. Blogger හා Wordpress.com යනු එයින් ජනප්‍රියතම වෙබ් අඩවි වේ [1]. මෙම ඕනෑම වෙබ් අඩවියකින් තමාට කැමති ආකාරයකින් බ්ලොග් අඩවියක් තැනීම අපහසු කරුණක් නොවන අතර, සිංහල යුනිකෝඩ් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ සිංහල හාෂාවෙන් ලියැවෙන බ්ලොග් අඩවි විශාල සංඛ්‍යාවක් ද අන්තර්ජාලයට එක්වී ඇත.

මූලාශ්‍ර සංස්කරණය

  1. http://www.tekkaus.com/2008/03/top-10-most-popular-blog-host.html

සිංහල භාෂාවෙන් ලියවෙන වියුනු සටහන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වියුණු_සටහන&oldid=461359" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි