ලංකා ඉතිහාසය-කෝට්ටේ රාජධානිය

කෝට්ටේ රාජධානිය යනු වර්තමාන කොළඹ නගරයට සැතපුම් කීපයක් ඈතින් තිබුණු ශ්‍රී ලංකාවේ රාජධානියකි. එය 15 වැනි සියවසේ සමෘද්ධිමත් රාජ්‍යයක් විය. මුළු ලංකාද්වීපයම එක ධජයක් යටතේ අන්තිම වරට පාලනය කළේ කෝට්ටේ රජතුමාය.

1450 වන විට යාපනය රාජ්‍යය යටත් කර ගැනීමෙන් 6 වැනි පරාක්‍රමබාහු රජතුමා මුළු ලංකාවම එක් සේසතක් යටතට ගෙනාවේය. පරාක්‍රමබාහුගේ මරණින් අවුරුදු 10 කට පසු 1477 වන විට ප්‍රාදේශීය රාජ්‍යයන් වඩාත් බලවත් විය.

ඔහුගේ පාලන කාලය තුල වඩාත් සමෘද්ධියට පත් වූයේ සාහිත්‍ය කලා ශිල්ප ආදියයි. ඊට එක් හේතුවක් වූයේ රජතුමාද සාහිත්‍යකාමියෙකු වීමයි.

තුන්වැනි වික්‍රමබාහු රජුගේ පාලන සමයේදී ගම්පොල රාජධානියේ අමාත්‍යවරයෙකු වූ අලකේශ්වර (1370 - 1385) විසින් බලකොටුවක් වශයෙන් කෝට්ටේ නගරය පිහිටුවනු ලැබුයේ උතුරෙන් පැමිණෙන ආක්‍රමණයන් වෙතොත් එය බටහිර වෙරළ දිශාවෙන් පැමිණීම බාධා කිරීම සඳහාය. පසුව එය 1412 දී 6 වැනි පරාක්‍රමබාහු විසින් තම අග නගරය ලෙස තෝරා ගන්නා ලදි.