මිනිසාගේ ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කල හැක. එනම්,

  • මධ්‍ය ස්නායු පද්ධතිය
  • පර්යන්ත ස්නායු පද්ධතිය වශයෙනි.
ස්නායු පද්ධතිය
TE-Nervous system diagram.svg
මිනිසාගේ ස්නායු පද්ධතිය
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව
මධ්‍ය ස්නායු පද්ධතියට මොළය සහ සුෂුම්නාව අයත් වෙයි.
පර්යන්ත ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් දෙකකි. ඒවා නම්,
1.දෛහික ස්නායු පද්ධතිය
2.ස්වයං සාධක ස්නායු පද්ධතිය

මධ්‍ය ස්නායු පද්ධතියසංස්කරණය

මධ්‍ය ස්නායු පද්ධතියට මොළය සහ සුෂුම්නාව අයත් වේ. මොළයට අයත් කොටස් පහත දැක්වෙන පරිදි වෙන්කර විස්තර කර ඇත.

  • අතිපුර්ව මස්තිෂ්කය
  • මස්තිෂ්ක අර්ධගෝල

  • තැලමස මස්තිෂ්කය
  • පුර්ව රුධිරග්‍රාහි ප්‍රතානය
  • කේතු දේහය
  • තැලමස
  • හයිපොතැලමස

  • මැද මොළය
  • රතු න්‍යෂ්ටිය
  • සිව්බිඩි දේහ

  • අපර මොළය
  • අනුමස්තිෂ්කය
  • වැරෝලි සේතුව
  • අපර රුධිරග්‍රාහි ප්‍රතානය
  • සුෂුම්නා ශීර්ෂකය

මොළයසංස්කරණය

ප්‍රධාන ලිපිය: මිනිස් මොළය

  • මිනිසාගේ මොළය පිහිටා ඇත්තේ කපාල කුහරය තුළයි.

අති පුර්ව මස්තිෂ්කයසංස්කරණය

කලලයේ අති පූර්ව මස්තිෂ්කයෙන් ව්‍යූත්පන්න වන මස්තිෂ්ක අර්ධගෝල පිළිබඳව මෙහිදී සලකා බලනු ලබයි.

මස්තිෂ්ක අර්ධගෝලසංස්කරණය

මස්තිෂ්ක අර්ධගෝල දෙකක් ඇත. මෙම අර්ධගෝල දෙක ගැඹුරු අන්වායාම පරිඛාවකින් වෙන් වී ඇත. මස්තිෂ්ක අර්ධගෝල ඉදිරියෙන්, පාර්ශ්විකව සහ අධරීයව විශාලනය වී ඇත. මෙය අධර ලෙස අනුමස්තිෂ්කය තෙක්ම වැඩී ඇත. මස්තිෂ්ක අර්ධගෝල වල පිටතින්ම මස්තිෂ්ක බාහිකය ඇත. මෙහි ධුසර ද්‍රව්‍යය ඇත. (ධුසර ද්‍රව්‍ය සෑදී ඇත්තේ නියුරෝන වල සෛල දේහ වලිනි). ධුසර ද්‍රව්‍ය වලට ඇතුලතින් ශ්වේත ද්‍රව්‍ය ඇත. (ශ්වේත ද්‍රව්‍ය සෑදී ඇත්තේ මයලනීභුත ස්නායු තන්තු වලිනි). මස්තිෂ්ක බාහිකයේ ඛාත සහ සංවලිත පිහිටීම නිසා එහි පෘෂ්ට වර්ගඵලය වැඩි වී තිබේ. ඛාතයක් යනු මස්තිෂ්ක බාහිකයේ සංවලිත දෙකක් අතර ඇති ඇතුලට නෙරා යාමකි. සංවලිතයක් යනු ඛාත දෙකක් අතර ඇති පිටතට නෙරා යාමකි. එක් එක් මස්තිෂ්ක අර්ධගෝල ඛණ්ඩිකා 4කට බෙදී ඇත.

  1. ලලාට ඛණ්ඩිකාව
  2. අපර කපාල ඛණ්ඩිකාව
  3. පාර්ශ්වික ඛණ්ඩිකාව
  4. ශංඛක ඛණ්ඩිකාව

ලලාට ඛණ්ඩිකාව සහ පාර්ශ්වික ඛණ්ඩිකාව වෙන් කරමින් මධ්‍ය ඇලිය (මධ්‍ය පරිඛාව) පිහිටයි. අපර කපාල ඛණ්ඩිකාව, පාර්ශ්වික සහ ශංඛක ඛණ්ඩිකාවෙන් වෙන් කරමින් අපර කපාල පාර්ශ්වික ඇලිය ඇත. ලලාට ඛණ්ඩිකාව සහ පාර්ශ්වික ඛණ්ඩිකාව, ශංඛක ඛණ්ඩිකාවෙන් වෙන් කරමින් පාර්ශ්වික පරිඛාව ඇත.

  • එක් එක් මස්තිෂ්ක අර්ධගෝල වල ශ්වේත ද්‍රව්‍යයේ ගිලී පාදස්ථ න්‍යෂ්ටි (පාදස්ථ ගැඞ්ග්ලියම්) එකක් බැගින් ඇත.
  • එක් එක් මස්තිෂ්ක අර්ධගෝල වල පාර්ශ්වික මස්තිෂ්ක කෝෂිකාව බැගින් ඇත. ඒවා තුළ මස්තිෂ්ක සුෂුම්නා තරලය පිරී ඇත. මෙම මස්තිෂ්ක කෝෂිකා දෙක තුන්වන මස්තිෂ්ක කෝෂිකාවට විවෘත වේ.
  • එක් එක් මස්තිෂ්ක අර්ධගෝල දෙක එකිනෙකට සම්බන්ධ කරමින් ගැඹුරු අන්වායාම අලියට පහලින් කැලෝස දේහය ඇත. මෙය හරස් අතට දිවෙන ස්නායු තන්තු පථයකි.
  • මස්තිෂ්ක බාහිකයේ පිහිටන ගැඹුරු ඇලී පරිඛා ලෙසත් නොගැඹුරු ඇලී ඛාත ලෙසත් හඳුන්වයි.

මස්තිෂ්ක අර්ධගෝල වල කෘත්‍යයන්සංස්කරණය

මස්තිෂ්ක අර්ධගෝල වල ප්‍රධාන කෘත්‍යාත්මක ප්‍රදේශ 3ක් ඇත. ඒවා නම්,

  1. චාලක ප්‍රදේශ
  2. සංවේදී ප්‍රදේශ
  3. සංගාමි ප්‍රදේශ

මේවායින් වැඩි වශයෙන් පවතින්නේ සංගාමි ප්‍රදේශයි. සංගාමි ප්‍රදේශ මතකය, ඉගෙනුම, හේතු දැක්වීම, ඥානවන්ත බාවය, පෞරුෂය ආදිය කෙරෙහි බලපායි. එක් එක් මස්තිෂ්ක අර්ධගෝල වල ඇති ඛණ්ඩිකා වල එම කෘත්‍යාත්මක ප්‍රදේශ පිහිටයි.

  • ලලාට ඛණ්ඩිකාව
  • දෛහික චාලක ප්‍රදේශය
  • පූර්ව චාලක ප්‍රදේශය
  • කථන චාලක ප්‍රදේශය
  • ලලාට සංගාමි ප්‍රදේශය

  • පාර්ශ්වික ඛණ්ඩිකාව
  • දෛහික සංවේදක ප්‍රදේශය
  • පාර්ශ්වික ප්‍රදේශය
  • කථන සංගාමි ප්‍රදේශය
  • රස සංවේදී ප්‍රදේශය

  • අපර කපාල ඛණ්ඩිකාව
  • දෘෂ්ටි සංවේදන ප්‍රදේශය
  • දෘෂ්ටි සංගාමි ප්‍රදේශය

  • ශංඛක ඛණ්ඩිකාව
  • ශ්‍රවණ සංවේදක ප්‍රදේශය
  • ශ්‍රවණ සංගාමි ප්‍රදේශය
  • ආඝ්‍රහණ සංවේදක ප්‍රදේශය

ඒවායේ පිහිටීම සහ කෘත්‍යයන් පහත දැක්වෙයි.

ලලාට ඛණ්ඩිකාවසංස්කරණය

ලලාට ඛණ්ඩිකාවෙහි දෛහික චාලක ප්‍රදේශය, පුර්ව චාලක ප්‍රදේශය, කථන චාලක ප්‍රදේශය (බ්‍රොකාත් ප්‍රදේශය) සහ ලලාට සංගාමි ප්‍රදේශය පිහිටයි.

දෛහික චාලක ප්‍රදේශයසංස්කරණය

ඉච්චානුග පේශි සංකෝචනය පාලනය කරයි.

  • දේහයේ පහල සිට ඉහලට ප්‍රදේශ පිලිවෙලින් දෛහික චාලක ප්‍රදේශයේ ඉහළ සිට පහලට ඇති ප්‍රදේශ මගින් පාලනය කරයි.
පුර්ව චාලක ප්‍රදේශයසංස්කරණය

අනුක්‍රමණික ශ්‍රේණියක් ඔස්සේ පේශි ගණනාවක් ඉච්චානුගව සංකෝචනය වී චලනයන් ඇති කිරීමේදී චාලක ප්‍රදේශයට බලපෑම් ඇති කර එය පාලනයට උදව් වේ.

කථන චාලක ප්‍රදේශය (බ්‍රොකාත් ප්‍රදේශය)සංස්කරණය

කථනය හා සම්බන්ධ චලන පාලනය කිරීම.

ලලාට සංගාමි ප්‍රදේශයසංස්කරණය
  1. බුද්ධිය
  2. ඉගෙනීම
  3. තර්කානුකුල චින්තනය
  4. පෞරුෂය
  5. මතකය
  6. තීරණ ගැනීම
  7. විශ්ලේෂණය වැනි උච්ඡ මානසික ක්‍රියාකාරීත්වයන් පාලනය කිරීම.

පාර්ශ්වික ඛණ්ඩිකාවසංස්කරණය

පාර්ශ්වික ඛණ්ඩිකාවෙහි දෛහික සංවේදක ප්‍රදේශය, කථන සංගාමි ප්‍රදේශය, පාර්ශ්වික ප්‍රදේශය සහ රස සංවේදී ප්‍රදේශය පිහිටයි.

දෛහික සංවේදක ප්‍රදේශයසංස්කරණය

උණුසුම, සීතල, ස්ඵර්ශය, පීඩනය, වේදනාව සංවේදනය කරයි.

  • දේහයේ පහල සිට ඉහලට ඇති ප්‍රදේශ සංවේදනය කරන්නේ දෛහික සංවේදක ප්‍රදේශයේ ඉහළ සිට පහලටයි.
කථන සංගාමි ප්‍රදේශයසංස්කරණය

කථනයේදී වචන තෝරා බේරා ගැලපීමකින් යුක්තව සකස් කරයි. (එනම් වචන සංජානනය සිදු කරයි)

පාර්ශ්වික ප්‍රදේශයසංස්කරණය

යමක් ඇල්ලීමේදී දැනෙන ස්ඵර්ශය, පීඩනය, පිහිටීමට අනුව වස්තුව පිලිබඳ නිවැරදි දැනීමක් ඇති කර ගැනීම.

රස සංවේදී ප්‍රදේශයසංස්කරණය

රස සංවේදනය සිදු කරයි.

අපර කපාල ඛණ්ඩිකාවසංස්කරණය

දෘෂ්ටි සංවේදන ප්‍රදේශයසංස්කරණය

දෘෂ්ටි සංවේදනය සිදු කරයි.

දෘෂ්ටි සංගාමි ප්‍රදේශයසංස්කරණය
  1. දකින දේ පිලිබඳ මතකය
  2. තොරතුරු ගබඩා කිරීම
  3. වර්තමානයේ ලැබෙන තොරතුරු, ගබඩා කර ඇති තොරතුරු සමඟ සම්බන්ධීකරණය කර තොරතුරු විශ්ලේෂණය සහ හඳුනා ගැනීම.

ශංඛක ඛණ්ඩිකාවසංස්කරණය

ශ්‍රවණ සංවේදක ප්‍රදේශයසංස්කරණය

ශ්‍රවණ සංවේදනය සිදු කරයි.

ශ්‍රවණ සංගාමි ප්‍රදේශයසංස්කරණය
  1. ඇසෙන තොරතුරු මතකයේ ගබඩා කිරීම.
  2. වර්තමානයේ ලැබෙන තොරතුරු, ගබඩා කර ඇති තොරතුරු සමඟ සම්බන්ධීකරණය කර, විශ්ලේෂණය කර තේරුම් ගැනීම.
ආඝ්‍රහණ සංවේදන ප්‍රදේශයසංස්කරණය

ආඝ්‍රාණ සංවේදනය (ගද සුවද දැනීම) සිදු කරයි.

පාදස්ථ න්‍යෂ්ටි වල කෘත්‍යයන්සංස්කරණය

  1. ඉච්චානුග පේශි තානය පාලනය කරයි.
  2. එමගින් නිවැරදිව සහ ක්‍රමානුකුලව ඉච්චානුග සුමට චලනයන් සමායෝජනය කරයි.
  • පාදස්ථ න්‍යෂ්ටි වලට හානියක් සිදු වූ විට චලන සුමට නොවීම හෝ චලනයන් සිදුකල නොහැකි වේ.

තැලමස මස්තිෂ්කයසංස්කරණය

කලලයේ තැලමස මස්තිෂ්කයෙන් ව්‍යුත්පන්න වන තැලමස, හයිපොතැලමස, කේතු දේහය සහ පූර්ව රුධිරග්‍රාහි ප්‍රතානය යන ඒවා පිළිබඳව මේ යටතේ විස්තර කෙරේ. ඒවායේ පිහිටීම සහ කෘත්‍යයන් පහත විස්තර කර ඇත.

තැලමසසංස්කරණය

තුන්වන මස්තිෂක කෝෂිකාවට දෙපසින් පිහිටන ධුසර ද්‍රව්‍ය වලින් සැදුණු ප්‍රදේශයකි.

තැලමස වල කෘත්‍යයසංස්කරණය

තැලමස මගින් මස්තිෂ්ක බාහිකයට ගමන් කරන බොහෝ අධිසංවේදී ලිංගික ආවේග බාහිකයේ නියමිත ස්ථානයට යොමු කරවන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරයි. සම, අන්තරංග අවයව සහ විශේෂිත සංවේදී අවයව ආදියේ සිට පැමිණෙන ආවේග මස්තිෂ්ක බාහිකයේ අදාළ සංවේදී ප්‍රදේශයට ගමන් කිරීමට ප්‍රථම ඒවා තැලමස වලට යොමු කරයි.

හයිපොතැලමසසංස්කරණය

තැලමස වලට වහාම පහලින් පිහිටා ඇත. ධුසර ද්‍රව්‍ය වලින් සැදුණු ප්‍රදේශ මෙහි ඇත. පිටියුටරිය වෘන්තයක් මගින් මෙයට සම්බන්ධ වී ඇත.

හයිපොතැලමසයෙහි කෘත්‍යයන්සංස්කරණය
  1. දේහ උෂ්ණත්ව යාමනය.
  2. ආසෘති පීඩනය යාමනය.
  3. හැගීම්, චෛතසික ක්‍රියා (කලහකාරීත්වය, කෝපය වැනි ක්‍රියාවන්) පාලනය කරයි.
  4. නින්ද, නින්දෙන් පිබිදීම, ක්‍රමාකුන්චන චලන, පෙනහළු වාතන වේගය පාලනය කරයි.
  5. බඩගින්න, පිපාසය යන ක්‍රියාවලි ඇති කරයි.
  6. හෘදස්පන්ධන වේගය පාලනය කර රුධිර පීඩනය පාලනය කරයි.
  7. අපර පිටියුටරි හෝමෝන සංස්ලේෂණය කරයි. (ADH සහ ඔක්සිටොසින්)
  8. පූර්ව පිටියුටරියෙන් හෝමෝන නිපදවීම උත්තේජනය කරන හෝ නිශේධනය කරන හෝමෝන ශ්‍රාවය කරයි. (TRH, CRH, PRH, PIH, GHRH, GHRIH, GNRH)

පූර්ව රුධිරග්‍රාහි ප්‍රතානයසංස්කරණය

තුන්වන මස්තිෂ්ක කෝෂිකාව තුලට නෙරා පිහිටන කේතුදේහයට ඉහලින්, අපරව පිහිටයි. මෙය අස්නායුක තුනී වාහිනීමත් ප්‍රදේශයකි.

  • මෙමගින් මස්තිෂ්ක සුෂුම්නා තරලය ශ්‍රාවය කරයි.

කේතු දේහයසංස්කරණය

පූර්ව රුධිරග්‍රාහි ප්‍රතානයට පහලින් අපරව පිහිටා තිබේ.

  • මෙමගින් මෙලටොනින් හෝමෝනය ශ්‍රාවය කරයි.

මැද මොළයසංස්කරණය

කලලයේ මැද මොළයෙන් ව්‍යුත්පන්න වන රතු න්‍යෂ්ටිය සහ සිව්බිඩි දේහ පිළිබඳව මේ යටතේ විස්තර කෙරේ.

රතු න්‍යෂ්ටියසංස්කරණය

මැද මොළයේ පූර්වව පිහිටා තිබේ. ධුසර ද්‍රව්‍ය වලින් සෑදුණු කොටසකි.

රතු න්‍යෂ්ටියෙහි කෘත්‍යයන්සංස්කරණය

කංකාල පේශි වල චලනයන් ක්‍රමවත්ව සැලසුම් කිරීම.

  • විශේෂයෙන්ම දේහ ඉරියව්ව හා සම්බන්ධ චලන වලදී වැඩිපුර පේශි සංකෝචනය නිශේධනය කරයි.

සිව්බිඩි දේහසංස්කරණය

මැද මොළයේ අපර ලෙස පිහිටා ඇත.

සිව්බිඩි දේහ වල කෘත්‍යයන්සංස්කරණය
  1. කණීනිකාවේ ප්‍රමාණය පාලනය කිරීම.
  2. අක්ෂි කාචයේ වක්‍රතා අරය පාලනය කිරීම.
  3. දෘෂ්ටිය සහ ශ්‍රවණය සම්බන්ධව ගෙල සහ ඇසෙහි චලනයන් පාලනය කිරීම.

සිල්වියස් මාතිකාවසංස්කරණය

3 වන මස්තිෂ්ක කෝෂිකාව, 4 වන මස්තිෂ්ක කෝෂිකාවට සම්බන්ධ කරමින් මැද මොළය හරහා දිවෙන පටු නාලිකාව සිල්වියස් මාතිකාවයි.

අපර මොළයසංස්කරණය

අනුමස්තිෂ්කයසංස්කරණය

මස්තිෂ්ක අර්ධගෝල දෙකට අධරීයව, වැරෝලි සේතුවට අපර ලෙස පිහිටා ඇත. මෙහිද අර්ධගෝල දෙකක් ඇත. මෙහි පිටතින් ධුසර ද්‍රව්‍යයද ඇතුලතින් ශ්වේත ද්‍රව්‍යයද ඇත. ධුසර ද්‍රව්‍යයේ ඛාත සහ සංවලිත පිහිටා තිබේ. ඒවා සමීපව සහ සමාන්තරව සකස් වී තිබේ.

අනුමස්තිෂ්කයේ කෘත්‍යයන්සංස්කරණය
  1. දේහ තුලනය සහ සමතුලිතතාවය පවත්වාගෙන යාම.
  2. ඉච්චානුග පේශි සංකෝචනය නිවැරදිව පාලනය කර එය සමායෝජනය කිරීම.
  • දේහ තුලනය හා සම්බන්ධ ප්‍රතිග්‍රාහක, සන්ධි, ඛණ්ඩරා සහ පේශි වල ඇති ප්‍රතිග්‍රාහක වලින් ලැබෙන ආවේග අනුමස්තිෂ්කයට ලැබේ. ඒ අනුව ඉහත ක්‍රියාවලි පවත්වා ගනී.

අපර රුධිරග්‍රාහි ප්‍රතානයසංස්කරණය

මස්තිෂ්ක සුෂුම්නා තරලය ශ්‍රාවය කරයි.

වැරෝලි සේතුවසංස්කරණය

මැද මොළයට වහාම පහලින්, සුෂුම්නා ශීර්ෂකයට වහාම ඉහලින්, අනු මස්තිෂ්කයට පුර්ව ලෙස පිහිටා ඇත. මෙය සුෂුම්නාව මොළයේ ඉහල කොටස් වලට සම්බන්ධ කරන ස්නායු තන්තු වැරෝලි සේතුව හරහා ගමන් කරයි. තවද අනුමස්තිෂ්ක අර්ධ ගෝල දෙක එකට සම්බන්ධ කරන හරස් පාලමක් ලෙස ක්‍රියා කරයි. ශ්වසන මධ්‍යස්ථානයට අයත් නියුමොටැක්සික් මධ්‍යස්ථානය සහ එනියුස්ටික් මධ්‍යස්ථානය පිහිටන්නේද වැරෝලි සේතුවෙයි.

සුෂුම්නා ශීර්ෂකයසංස්කරණය

වැරෝලි සේතුවට වහාම පහලින්, සුෂුම්නාවට වහාම ඉහලින් පිහිටයි. මෙහි ශ්වේත ද්‍රව්‍ය පිටතින්ද, ධුසර ද්‍රව්‍ය ඇතුලතින් ද පිහිටයි.

සුෂුම්නා ශීර්ෂකයේ කෘත්‍යයන්සංස්කරණය

මෙහි ප්‍රධාන කෘත්‍යාත්මක මධ්‍යස්ථාන 3කි.

  1. ශ්වසන මධ්‍යස්ථානය
  2. හෘද් වාහිනී පාලක මධ්‍යස්ථානය
  3. කැස්ස, කිවිසුම් යාම, ගිලීම වැනි ප්‍රතීක ඇති කරන මධ්‍යස්ථානය

එම මධ්‍යස්ථාන මගින් පහත කෘත්‍යයන් ඉටු කරයි.

  • ශ්වසනයේ මූලික රිද්මය පාලනය කිරීම.
  • හෘද් ස්පන්දන වේගය සහ බලය පාලනය කිරීම.
  • ධමනිකා වල විෂ්කම්භය පාලනය කිරීම.
  • කැස්ස, කිවිසුම් යාම, ගිලීම වැනි ප්‍රතීක ඇති කිරීම.

හතර වන මස්තිෂ්ක කෝෂිකාවසංස්කරණය

ඉහලින් සිල්වියස් මාතිකාව හරහා 3 වන මස්තිෂ්ක කෝෂිකාවට ද පහලින් සුෂුම්නාවේ මධ්‍ය නාලයට ද සම්බන්ධ වූ කොටසකි.

මෙනින්ජි පටලසංස්කරණය

මොළය සහ සුෂුම්නාව ආවරණය කරමින් පිහිටන පටල මෙනින්ජි පටල ලෙස හඳුන්වයි. මෙවැනි පටල 3ක් ඇත. ඒවා නම්,

  1. වරාශිකාව
  2. ජාලාකාර පටලය
  3. චීනාන්ශුකාව

වරාශිකාව සිස් කබල සහ කශේරුවට සම්බන්ධයි. චීනන්ශුකාව මොළය සහ සුෂුම්නාවේ පටක වලට බැදී තිබේ. වරාශිකාව හා චීනාන්ශුකාව අතරමැද වරාශිකාවට බැඳුනු ජාලාකාර පටලය ඇත. ජාලාකාර පටලයට පහලින් අධඃ ජාලාකාර අවකාශය ඇත. මෙය මස්තිෂ්ක සුෂුම්නා තරලයෙන් පිරී පවතී.

  • රුධිරග්‍රාහී ප්‍රතාන වලින් ශ්‍රාවය කරන මස්තිෂ්ක සුෂුම්නා තරලය, මස්තිෂ්ක කෝෂිකා; අධඃ ජාලාකාර අවකාශය; ශිරා අවකාශ හරහා රුධිර සංසරණයට නැවත ඇතුළු වේ.
  • මෙනිජි පටල වලින් මොළයට සහ සුෂුම්නාවට ආරක්ෂාව ලැබේ.

මස්තිෂ්ක සුෂුම්නා තරලයසංස්කරණය

රුධිර ග්‍රාහී ප්‍රතාන වලින් මස්තිෂ්ක සුෂුම්නා තරලය ශ්‍රාවය කරනු ලබයි. මේවා රුධිරය පෙරීමට ලක්වීමෙන් සෑදේ. මෙම තරලය පිහිටන ස්ථාන වන්නේ,

  1. මොළයේ මස්තිෂ්ක කෝෂිකා
  2. සුෂුම්නාවේ මධ්‍ය නාලය
  3. අධඃ ජාලාකාර අවකාශය

මෙම තරලය නැවත ශිරා රුධිරයට අවශෝෂණය කරයි.

මස්තිෂ්ක සුෂුම්නා තරලයෙහි කෘත්‍යයන්සංස්කරණය

  1. මොළය සහ සුශ්ම්නාවට ආරක්ෂාව සහ සන්ධාරණය ලබා දීම.
  2. මොළය සහ සුෂුම්නාව වටා ඒකාකාරී පීඩනයක් පවත්වා ගෙන යාම.
  3. මොළය සහ කපාලයේ අස්ථි අතරත්, සුෂුම්නාව සහ කශේරුවේ අස්ථි අතරත් තිගැස්සුම් අවශෝෂකයක් ලෙස ක්‍රියා කරයි.
  4. මොළය සහ සුෂුම්නාව තෙත්ව පවත්වා ගැනීම.
  5. අපද්‍රව්‍ය සහ පෝෂක ද්‍රව්‍ය ස්නායු සෛල සහ මස්තිෂ්ක සුෂුම්නා තරලය අතර හුවමාරු කරවීම.
  6. නිවැරදි ස්නායු ආවේග ජනනයට සහ ස්නායු ආවේග සම්ප්‍රේෂණයට අවශ්‍ය ප්‍රශස්ත රසායනික පරිසරයක් ලබා දීම.
  7. ආසාදන වලින් ආරක්ෂාව ලබාදීම. (මේ සඳහා මෙහි ඇති වසා සෛල වැදගත් වේ.)

සුෂුම්නාවසංස්කරණය

දේහයේ ගෙල සහ කඳ කොටසේ අපර මධ්‍ය රේඛාවේ කශේරුක නාලය තුලින් ගමන් කරමින් පිහිටයි. මෙය දෙවන කටී කශේරුකාවේ පහල මට්ටමේදී අවසාන වේ. දෙවන කටී කශේරුකා මට්ටමේදී සුෂුම්නාව අවසන් වීමෙන් පසු කශේරුක නාලය තුලින් පහලට අවසාන සුෂුම්නා ස්නායු යුගල් පමණක් විහිදේ. සුෂුම්නාව ආවරණය කරමින් වරාශිකාව, චීනාන්ශුකාව සහ ජාලාකාර පටලය යන මෙනින්ජි පටල පිහිටයි. මෙහි අධඃ ජාලාකාර අවකාශය මස්තිෂ්ක සුෂුම්නා තරලයෙන් පිරී පවතී.

  • සුෂුම්නාවේ හරස්කඩක් නිරීක්ෂණය කල විට එහි මධ්‍යයේ H හැඩැති ධුසර ද්‍රව්‍ය ප්‍රදේශයක් දිස්වේ. මෙය තද පැහැයක් ගන්නා කොටසකි. මෙහි චාලක නියුරෝන වල සෛල දේහ, සංගාමි නියුරෝන සහ අනුශාඛිකා ඇත. ධුසර ද්‍රව්‍ය මධ්‍යයේ මධ්‍ය නාලය ඇත.
  • ධුසර ද්‍රව්‍ය වලට පිටතින් ශ්වේත ද්‍රව්‍ය ඇත. මෙම ප්‍රදේශය සමන්විත වන්නේ ස්නායු තන්තු වලිනි. බොහෝවිට මෙහි මයලනීභුත ස්නායු තන්තු තිබෙන නිසා සුදු පැහැතිය. ශ්වේත ද්‍රව්‍ය අපර ආවාරයකින් සහ පුර්ව ඇලියකින් කොටස් දෙකකට වෙන් වී තිබේ.
  • සුශුම්නාවෙන්, සුෂුම්නා ස්නායු වල මූලයන් හට ගනී. එක් එක් සුෂුම්නා ස්නායුවට මූල 2ක් ඇත. එනම් පූර්ව මූලය සහ අපර මූලයයි.
  • අපර මූලය හරහා සංවේදක ස්නායු තන්තු සුෂුම්නාවට ඇතුළු වේ. සංවේදක නියුරෝන වල සෛල දේහයන් සුශුම්නාවට සමීපව ඇති මූල ගැන්ග්ලියම් තුල පිහිටයි.
  • පූර්ව මූලය ඔස්සේ චාලක නියුරෝන, සුෂුම්නාවෙන් ඉවතට ගමන් කරයි. නමුත් චාලක නියුරෝන වල සෛල දේහ පිහිටන්නේ සුෂුම්නාව තුල ධුසර ද්‍රව්‍යයේය.
  • සුෂුම්නා ස්නායු යුගල 31ක් ඇත. මේවා හට ගන්නේ සුෂුම්නාවෙන් පැන නගින පූර්ව සහ අපර මූලයන් එකට එකතු වීමෙනි. එබැවින් සියළුම සුෂුම්නා ස්නායු මිශ්‍ර ස්නායු වේ.

පර්යන්ත ස්නායු පද්ධතියසංස්කරණය

දේහයේ මධ්‍ය ස්නායු පද්ධතිය, සංවේදක සහ කාරක අවයව වලට සම්බන්ධ කරමින් පිහිටන ස්නායු පද්ධතිය මෙසේ හඳුන්වයි. මෙය දෛහික ස්නායු පද්ධතිය සහ ස්වයංසාධක ස්නායු පද්ධතිය ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.

දෛහික ස්නායු පද්ධතියසංස්කරණය

මෙයට සංවේදක අවයව මධ්‍ය ස්නායු පද්ධතියට සම්බන්ධ කරන දෛහික සංවේදක ස්නායු තන්තු සහ කන්කාල පේශි මධ්‍ය ස්නායු පද්ධතියට සම්බන්ධ කරන දෛහික චාලක ස්නායු තන්තු අයත් වේ. දෛහික චාලක සහ සංවේදක ස්නායු තන්තු මධ්‍ය ස්නායු පද්ධතියට සම්බන්ධ වන්නේ කපාල ස්නායු යුගල 12 සහ සුෂුම්නා ස්නායු යුගල 31 හරහාය. දෛහික ස්නායු පද්ධතිය මගින් දේහයේ ඉච්ඡනුග ක්‍රියාකාරීත්වයන් පාලනය කරයි.

ස්වයං සාධක ස්නායු පද්ධතියසංස්කරණය

මෙය අන්තරංග සංවේදී ස්නායු තන්තු සහ අන්තරංග චාලක ස්නායු තන්තු වලින් සමන්විතයි. අන්තරංග සංවේදී අවයව, අන්තරංග සංවේදක ස්නායු තන්තු හරහා මධ්‍ය ස්නායු පද්ධතියට සම්බන්ධ වේ. හෘත් පේශි, සිනිඳු පේශි සහ ග්‍රන්ථි අන්තරංග චාලක ස්නායු තන්තු හරහා මධ්‍ය ස්නායු පද්ධතියට සම්බන්ධ වේ.

  • අනුවේගී ස්නායු පද්ධතියේදී අන්තරංග සංවේදක හා චාලක ස්නායු තන්තු මධ්‍ය ස්නායු පද්ධතියට සම්බන්ධ වන්නේ සුෂුම්නා ස්නායු හරහා පමණි. ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධතියේදී අන්තරංග සංවේදක සහ චාලක ස්නායු තන්තු මධ්‍ය ස්නායු පද්ධතියට සම්බන්ධ වන්නේ කපාල ස්නායු යුගල් සහ අවසාන සුෂුම්නා ස්නායු යුගල් හරහා ය. මේ අනුව මිනිසාගේ ස්වයංසාධක ස්නායු පද්ධතිය ප්‍රධාන කොටස් 2කින් සමන්විත වේ. ඒවා නම් අනුවේගී ස්නායු පද්ධතිය සහ ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධතියයි.

අනුවේගී ස්නායු පද්ධතියසංස්කරණය

සුශුම්නාවෙන් පමණක් පැනනගින ස්නායු තන්තු ඇත. කශේරුව දෙපස අනුවේගී ගැන්ග්ලියම් දාමයක් ඇත. මෙම ගැන්ග්ලියම් සුෂුම්නාවට සම්බන්ධ කරමින් සුෂුම්නා ස්නායු වලින් පිටතට විහිදෙන අනුවේගී පූර්ව ගැන්ග්ලියම් තන්තු ඇත.මෙම අනුවේගී පූර්ව ගැන්ග්ලියම් තන්තු සුෂුම්නාවේ උරස් සහ කටී ප්‍රදේශ වලින් ඇති වන අනුවේගී චාලක නියුරෝනයක අක්සනයක් වේ. අනුවේගී ගැන්ග්ලියම් වල සිට කාරක අවයව (උදා: හෘත් පේශි, සිනිඳු පේශි, ග්‍රන්ථි) වලට විහිදෙන පශ්ච ගැන්ග්ලමීය තන්තු ඇත. මේවාද අනුවේගී ගැන්ග්ලියමක ඇති චාලක නියුරෝනයකින් විහිදෙන අක්සන වේ.

ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධතියසංස්කරණය

කාරක අවයව වලට ආසන්නයේ හෝ කාරක අවයව තුළ ප්‍රත්‍යනුවේගීය ගැන්ග්ලියමක් ඇත. මෙම ගැන්ග්ලියම්, සුෂුම්නාවේ අධර කොටසට හෝ මොළයට සම්බන්ධ කරමින් ප්‍රත්‍යනුවේගී පූර්ව ගැන්ග්ලමීය තන්තු ඇත. මේවා කපාල ස්නායු හෝ සුෂුම්නා ස්නායු (ත්‍රිකාස්ථික සුෂුම්නා ස්නායු) ඔස්සේ පිටතට විහිදේ. මෙම ප්‍රත්‍යනුවේගී පුර්ව ගැන්ග්ලියම් ස්නායු තන්තු, සුෂුම්නාවේ අධර කොටසේ හෝ මොළයේ ඇති ප්‍රත්‍යනුවේගී චාලක නියුරෝනයක අක්සනයකි. ප්‍රත්‍යනුවේගී ගැන්ග්ලියම්, කාරක අවයව වලට සම්බන්ධ කරමින් ප්‍රත්‍යනුවේගී පශ්ච ගැන්ග්ලියම් තන්තු විහිදේ. මේවා ප්‍රත්‍යනුවේගී ස්වයංසාධක ගැන්ග්ලියමක ඇති චාලක නියුරෝනයක සෛල දේහයෙන් විහිදෙන අක්සනයකි.

ස්වයංසාධක ගැන්ග්ලියමක් යනු,සංස්කරණය

මධ්‍ය ස්නායු පද්ධතියෙන් පිටත, නියුරෝන වල සෛල දේහ ඒක රාශී වූ ස්ථානයකි.

අනුවේගී සහ ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධති අතර වෙනස්කම්සංස්කරණය

  • ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධතිය
  • ස්වයංසාධක ගැන්ග්ලියම් කාරක අවයව වලට සමීපව හෝ කාරක අවයවය තුළ පිහිටා තිබේ.
  • පුර්ව ගැන්ග්ලියම් ස්නායු තන්තුව සාපේක්ෂව දිගින් වැඩියි.
  • පශ්ච ගැන්ග්ලියම් ස්නායු තන්තුව සාපේක්ෂව දිගින් අඩුයි.
  • පුර්ව ගැන්ග්ලියම් ස්නායු තන්තු කපාල ස්නායු සහ අවසාන සුෂුම්නා ස්නායු හරහා පිටතට පැමිණේ.
  • කාරක අවයව මත ක්‍රියාත්මක වන්නේ ඇසිටයිල් කෝලින් නම් ස්නායු සම්ප්‍රේෂකයයි.

  • අනුවේගී ස්නායු පද්ධතිය
  • ස්වයංසාධක ගැන්ග්ලියම් මධ්‍ය ස්නායු පද්ධතියට සමීපව පිහිටා තිබේ.
  • පුර්ව ගැන්ග්ලියම් ස්නායු තන්තුව සාපේක්ෂව දිගින් අඩුයි.
  • පශ්ච ගැන්ග්ලියම් ස්නායු තන්තුව සාපේක්ෂව දිගින් වැඩියි.
  • පුර්ව ගැන්ග්ලියම් ස්නායු තන්තු සුෂුම්නා ස්නායු හරහා පමණක් පිටතට පැමිණේ.
  • කාරක අවයවය මත ක්‍රියාත්මක වන්නේ නොඇඩ්රිනලින් නම් ස්නායු සම්ප්රෙෂකයයි.

අනුවේගී සහ ප්‍රත්‍යනුවේගී ක්‍රියාකාරීත්වයන්සංස්කරණය

අනුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය, බොහෝ විට ප්‍රත්‍යනුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ප්‍රතිවිරුද්ධ වේ.