වී.කේ. සමරනායක

(මහාචාර්ය වී. කේ. සමරනායක වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාව තුළත් ජාත්‍යන්තරවත් ඉමහත් කීර්තියක් ඉසිලූ මහාචාර්ය වී. කේ. සමරනායක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හා සංවිධාන අතර අධ්‍යාපනඥයකු සහ ශ්‍රී ලංකාවේ නූතන තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනයේ සහ එය ක්‍රියාවට නැංවීමේ පුරෝගාමියකු හා ඒ පිළිබඳ පැහැදිලි අනාගත දැක්මකින් යුතුව කටයුතු කරන්නෙකු ලෙස ගෞරවයට පාත්‍ර වී සිටියේ ය.

වී. කේ. සමරනායක
රැකියාවපරිගණක විද්‍යාව පිළිබඳ මහාචාර්ය
කලත්‍රයා(යන්)ශ්‍රියා සමරනායක
දරුවන්සමිත හා නයන සමරනායක
දෙමව්පියන්(s)Mr. and Mrs. V. W. සමරනායක

වර්ෂ 1974 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන ධුරයට සහ මහාචාර්ය ධුරයට පත් කෙරුණු හෙතෙම වර්ෂ 1961 දී තම ප්‍රථම උපාධිය ලබා ගැනීමත් සමගම ඇරඹි වසර 43ක අඛණ්ඩ විශ්වවිද්‍යාල සේවයෙන් වර්ෂ 2004 සැප්තැම්බර් මස 30 වැනි දා විශ්‍රාම ගිය අතර ඒ වන විටත් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ධුරය හෙබවී ය. මෑතක දී ඔහු කොළඹ විශ්වවිද්‍යාල‍ය විසින් පරිගණක විද්‍යාව පිළිබඳ සේවාර්ජිත මහාචාර්ය ධුරයෙන් ද පිදුම් ලැබී ය. මේ කාලපරිච්ජේදය ඇතුළත අංශ ප්‍රධාන තනතුරේ සිට උපකුලපති තනතුර දක්වා ඇති නොයෙක් මට්ටමේ තනතුරු දරමින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට ඔහු ඉටුකර ඇති සේවය අප්‍රමාණ ය. ගණිතඥ‍යකු හා ශාස්ත්‍රඥයකු ලෙස තම වෘත්තීය ජීවිතය ඇරඹූ මහාචාර්ය සමරනායක ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අධ්‍යාපනය කාර්යක්ෂම කිරීමට ඇප කැප වී කටයුතු කළේ ය. එකිනෙකට වෙනස් වූ විවිධ ක්ෂේත්‍ර පුරා විහිදෙන ඔහුගේ සේවය අතර සංඛ්‍යාන අධ්‍යාපනය, සංවර්ධන අධ්‍යාපනය, සේවක අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණ යන විෂය ක්ෂේත්‍රවල ඔහුගේ පුරෝගාමී දායකත්වය කැපී පෙනෙයි. ‍ මයික්‍රොකොම්පියුටර භාවිතයට පැමිණීමත් සමගම විශ්වවිද්‍යාලවලට, පාසල්වලට සහ අනෙකුත් පුහුණු කිරීමේ/අධ්‍යාපන ආයතනවලට මහ පරිමාණයෙන් පරිගණක අධ්‍යාපනය ලබා දීමට ඔහු තම පරිගණනය පිළිබඳ විශේෂඥ දැනුමත් අද්විතීය කළමණාකරණ හැකියාවත් යෙදවූ බව නොරහසකි. ශ්‍රී ලංකා විද්‍යභිවර්ධන සංගමයේ ස්වර්ණ ජයන්ති වර්ෂයේ දී එනම් 1994 වර්ෂයේ දී එහි ප්‍රධාන සභාපති ධුරයට පත් කෙරුණු මහාචාර්ය සමරනායක 1990-2000 කාලපරිච්ජේදයේ දී ජාතික විද්‍යා ඇකඩමියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය. වර්ෂ 2004 මැයි මස දක්වා ම කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතයේත් (UCSC) සහ ඊට පෙර පැවති පරිගණක තාක්ෂණ ආයතනයේත් (ICT) සමාරම්භක අධ්‍යක්ෂ වූයේ ද මහාචාර්ය සමරනායක යි. මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතය ලෙස වර්ධනය වී ඇති පරිගණක තාක්ෂණ ආයතනය ස්ථාපිත කිරීමේ දී හෙතෙම තම අද්විතීය කළමණාකරණ හා ඒකාබද්ධ ව කටයුතු කිරීමේ දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ අතර බ්‍රිතාන්‍ය ආධාර යටතේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි මයික්‍රොකොම්පියුටර විද්‍යාගාරයක් ලෙස ඇරඹි පරිගණක තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා රජයේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහ අනෙකුත් දායකයන්ගේ ආධාර ඒකාබද්ධ කරමින් පරිගණනය සඳහා වූ සුවිශිෂ්ට කේන්ද්‍රස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගත්තේ ය. අද වන විට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් මෙය තම දකුණු ආසියා සංවර්ධන සහයෝගිතාවේ පරමාදර්ශී සංකේතයක් ලෙස සලකනු ලබයි. පරිගණන විෂය ක්ෂේත්‍රයේ ඔහුගේ සම්ප්‍රදානය අනාගතය අරමුණු කර ගත් දර්ශනයකින් යුක්ත වන අතර යථාර්ථවාදී ද විය.

වෘත්තිය සංස්කරණය

එවකට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉහළ ම රජයේ ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) ආරම්භයේ සිට ම කටයුතු කළ මහාච‍ාර්ය සමරනායක එම ආයතනයේ සභාපතිවරයා ලෙස වසර 12ක් සේවය කර ඇත. ඔහු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමීව කටයුතු කළ දෑ අතරින් තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය, නීතිමය යටිතලපහසුකම් සැකසීම, රාජ්‍ය පාලනයේ දී තොරතුරු තාක්ෂණය යොදා ගැනීම, ඊ-වාණිජ්‍යය, පරිගණක ආරක්ෂාව, අන්තර්ජාල තාක්ෂණය, පරිගණක පිළිබඳ දැනුවත් කිරීම් හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය වැනි අංග සුවිශේෂ වෙයි. ඔහු බහුභාෂා පරිගණනයෙහි සහ වෙබ් අඩවි සංවර්ධනයෙහි අතිශය වැදගත් යුනිකෝඩ් සහ ISO 10646 වැනි ප්‍රමිති සම්පාදනයෙහි ද මූලිකත්වය ගෙන කටයුතු කළ අතර එහිලා ඔහුගේ දායකත්වයක් සුවිශේෂ ය. රාජ්‍ය පාලනයේ නොයෙක් ක්ෂේත්‍රවලට පරිගණක තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කිරීම ඔහු ගත් පියවර අතර වැදගත් තැනක් උසුලයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පරිගණක තාක්ෂණය යොදා ගැනීම මීට කදිම නිදසුනකි. ඔහු මෑතක දී ග්‍රාමීය ජනතාවට තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමේ අරමුණින් බහුකාර්ය ටෙලි-මධ්‍යස්ථාන (“නැණසල”)බිහි කිරීමේ වෑයමක නිරත වූ අතර මේ වන විටත් බහුතරයක් ග්‍රාමීය ජනතාව ඉමහත් ප්‍රතිඵල භුක්ති විඳිනු දැක ගත හැක. වසර 2000 ආරම්භයේ දී අති වීමට ගිය පරිගණක ව්‍යසනයට සාර්ථකව මුහුණ දී එය ජය ගැනීමට ඔහුගේ සභාපතිත්වයෙන් කටයුතු කළ Y2K විශේෂ කාර්ය බලකායට හැකි විය. www.lk ජාතික අන්තර්ජ‍ාල බිහිදොරේ නිර්මාතෘවරයා ඔහු ය. කොත්මලේ ඉදි කෙරුණු ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානය තුළින් ග්‍රාමීය ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් ලබා දීමට ද ඔහු ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ ය. සර්වෝදය මගින් ස්ථාපිත කෙරුණු විවිධ සේවා ප්‍රජා ටෙලි මධ්‍යස්ථ‍ාන වැඩසටහන ද ඔහුගේ සංකල්පයක් මත ගොඩනැගුණකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය මගින් ඇරඹුණු තොරතුරු තාක්ෂණවේදී බාහිර උපාධි පාඨමාලාව ද ඔහුගේ පුරෝගාමීත්වයෙන් සිදු වු තවත් වැදගත් කටයුත්තකි. මෙය කෙතරම් ජනප්‍රිය වූයේ ද ‍කි‍යතොත් ආරම්භයේ දී මෙයට සිසුහු 5000ක් පමණ ලියාපදිංචි වූහ. ඉන්ෆොටෙල් ලංකා සංගමයේ සභාපතිත්වය ද (1998 සිට) දැරූ මහාචාර්ය සමරනායක එම සංවිධානයේ මෙන්ම එමගින් වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමුළුවේ සහ ඉන්ෆොටෙල් ප්‍රදර්ශනයේ ද ගාමක බලවේගය ලෙස කටයුතු කළේ ය. වර්ෂ 2002 දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් සරසවියේ ජාත්‍යන්තර තොරතුරු යටිතලපහසුකම් පිළිබඳ ව්‍යාපෘතියේ ආගන්තුක විද්‍යාර්ථියකු ලෙසත් 2003 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් සරසවියේ රාජ්‍ය පාලනය පිළිබඳ කෙනඩි අධ්‍යයනායතයේ ඩිජිටල් රාජ්‍යපාලනය සඳහා වූ ජාතික කේන්ද්‍රයෙහි ආගන්තුක විද්‍යාර්ථි‍යකු ලෙසත් කටයුතු කර ඇත. එසේම 2004/2005 වසරවල දී ස්ටැන්‍ෆර්ඩ් සරසවියේ ඩිජිටල‍් දර්ශන වැඩසටහනේ ආගන්තුක විද්‍යාර්ථි‍යකු ලෙස ද කටයුතු කර ඇත.

තිළිණය සංස්කරණය

  • වර්ෂ 1995 දී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ සභාපතිගේ ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන සම්මානයෙන් ඔහු පිදුම් ලැබී ය.
  • 1997 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජය විසින් පරිගණක විද්‍යාවේ සංවර්ධනයට කළ සම්ප්‍රදානය සඳහා “විශ්ව ප්‍රසාදිනී” සම්මානයෙන් පුදනු ලැබී ය.
  • ඉන් අනතුරුව ‍1998 වර්ෂයේ දී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට කරනු ලැබූ සම්ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් “විද්‍යා ජෝති” නමැති රාජ්‍ය සම්මානයෙන් ද පුදනු ලැබී ය.

බාහිර සබැදි සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=වී.කේ._සමරනායක&oldid=597717" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි