මකර හිස සහ සුළං සීනුව

මකර හිස් හැඩැති පරාල අග්‍රය සහ සුළං සීනුව (ඉංග්‍රීසි: Rafter finial in the shape of a dragon's head and wind chime; කොරියානු: 금동 용머리 모양 처마 끝 장식과 작은 종; චීන: 金銅龍頭吐首風鐸 高麗) යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 10වන සියවසේ කොරියාවේ මුල්කාලීන ගොර්යෝ රාජවංශ සමයේ නිර්මාණය වූ ලෝහමය සුළං සීනුවකි. මෙය රාජ මාලිගාවක හෝ බෞද්ධ විහාර ගොඩනැගිල්ලක් අලංකාර කිරීම සඳහා භාවිතා වන්නට ඇත. රන් ආලේප කරන ලද ලෝකඩ මාධ්‍යයෙන් නිර්මිත මෙය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත ය. එනම්: සුළං සීනුව සහිත පහළ කොටස සහ මකර හිස සහිත ඉහළ කොටසයි. මකර හිස සහිත ඉහළ කොටසේ වූ ඇස්, මුඛය, අං, කන්, විවෘත මුඛය සහ අනෙක් කොටස්වල අලංකාර මෝස්තර රටාවක් දැකගත හැක. සුළං සීනුවේ ඉහළ කොටසේ ඇති කොක්කක් වැනි ව්‍යූහයෙන් සීනුව සහ මකර හිසෙහි නිකට එකිනෙක සම්බන්ධ කරන ලදී.[1] සුළං සීනුවේ පහළ දෙපස මුහුණත්වල නෙළුම් මල් රටාවකින් ආවරණය වූ වෘත්තාකාර පෘෂ්ඨයක් මධ්‍යයේ ස්වස්තිකයක් දැකගත හැක. මෙය බුදුන් වහන්සේ හා සම්බන්ධ පුරාතන සංකේතයක් යැයි සැලකේ.[2] ආසියානු සංස්කෘතිය තුළ මකරාගේ රුව ආරක්ෂාවේ සහ භයංකාරභාවයේ සංකේතයක් ලෙස සැලකෙන හෙයින්, මෙම ලෝකඩ මකර හිස් හැඩැති පරාල අග්‍රය සහිත සුළං සීනුව රාජ මාලිගයක් හෝ බෞද්ධ විහාරයක තැන්පත් කොට තිබෙන්නට ඇතැයි සිතිය හැක.[1]

මකර හිස් හැඩැති පරාල අග්‍රය සහ සුළං සීනුව
කොරියානු: 금동 용머리 모양 처마 끝 장식과 작은 종 고려
වර්ෂය10වන සියවස (මුල්කාලීන ගොර්යෝ රාජවංශය)
වර්ගයප්‍රතිමාව
මාධ්‍යයරන් ආලේපිත ලෝකඩ
පිහිටීමමෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, නිව් යෝක් නගරය
ප්‍රවේශනය1999.263a, b
මකර හිස් හැඩැති පරාල අග්‍රය සහ සුළං සීනුවේ සීනුව සහිත කොටස, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.
මකර හිස් හැඩැති පරාල අග්‍රය සහ සුළං සීනුවේ මකර හිස සහිත කොටස, මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය.

හැඳින්වීම සංස්කරණය

කොරියානු අර්ධද්වීපයේ කලාව අතිශයින් දියුණුවට පත්වී ය. කොරියාවෙන් හමුවන මැටි බඳුන් ඉතා අනර්ඝ ලක්ෂණවලින් යුත් අතර, ඉතා අලංකාරවත් ආභරණ සොහොන්ගැබ් තුළ භූමදානය කොට තිබී සොයාගෙන තිබේ. ක්‍රි.ව. 7වන සියවසේ සිට 17වන සියවස දක්වා වූ කාලය තුළ කොරියාව තුළ ලෝහ කර්මාන්තය තුළ අගනා නිර්මාණ රැසක්ම බිහි විය. එසේම කොරියානු පෝසිලේන් කර්මාන්තය සහ සිතුවම් කලාව තුළ එයටම අනන්‍ය වූ ලක්ෂණ රැසක් දැකගත හැක. ලෝකඩයෙන් තනා රන් ආලේප කොට ඇති මෙම මකර හිස් හැඩැති පරාල අග්‍රය සහ සුළං සීනුව ද එවැනි නිර්මාණ අතර විශිෂ්ට ගණයෙහි ලා සැලකිය හැක්කකි.[3] කොරියානු කලාව සහ සංස්කෘතිය තුළ මකර රුවට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. එහි දී මිනිසුන්ගේ ආරක්ෂකයකු ලෙස මෙන්ම දුෂ්ට බලවේග වළක්වන්නකු ලෙස ද මකරාට ගෞරව දැක්වේ. මකරාගේ ඇති රෞද්‍රත්වය විදහා දක්වන මෙම නිර්මාණය ගොර්යෝ රාජවංශ සමයේ පැවති විස්මිත කලා කෞශල්‍යයට නිදසුනක් ලෙස සැලකිය හැක.[4] මෙහි ස්වරූපය අනුව මෙම නිර්මාණය රාජ මාලිගයක හෝ විහාරස්ථානයක ආරක්ෂක සංකේතයක් ලෙස සවිකොට තිබෙන්නට ඇතැයි සිතිය හැක.[1] මෙහි ඝණ්ටාරය ලෙස ක්‍රියා කරන සුළං සීනුවෙහි ඇතුළත අතීතයේ ලෝහමය ඝණ්ටා ගෙඩියක් තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම මකර හිස් හැඩය සහිත පරාල අග්‍රය සහ සුළං සීනුවට ආසන්න වශයෙන් සමාන තවත් නිර්මාණයක් සෝල්හි සම්සුං කලා කෞතුකාගාරයේ දැකගත හැක.[2] සුළං හැමීමේ දී මෙම සීනුව නාද වන්නට ඇත.[1]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 "RAFTER FINIAL IN THE SHAPE OF A DRAGON'S HEAD AND WIND CHIME" (ඉංග්‍රීසි බසින්). Beacon Hills Lacrosse. 2015-12-09. සම්ප්‍රවේශය 2017-11-20.
  2. 2.0 2.1 "Rafter finial in the shape of a dragon's head and wind chime" (ඉංග්‍රීසි බසින්). Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-11-20.
  3. "Exposition : "Splendors of Korean Art", The Met" (ඉංග්‍රීසි බසින්). Arts de la Corée. 2016-11-27. සම්ප්‍රවේශය 2017-11-20.
  4. "Traditional Artifacts" (ඉංග්‍රීසි බසින්). Korea Art History. සම්ප්‍රවේශය 2017-11-20.

වැඩිදුර කියවීමට සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මකර_හිස_සහ_සුළං_සීනුව&oldid=412225" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි