භෛසජ්‍යගුරු බුදුන්ගේ පාරාදීසය

භෛසජ්‍යගුරු බුදුන්ගේ පාරාදීසය (薬師佛) යනුවෙන් හැඳින්වෙන්නේ චීනයේ යුවාන් රාජවංශ යුගයට අයත් බිතු සිතුවමකි. මෙය මුලින් සිතුවම් කොට තිබුණේ ෂාන්සිහි චාඕචෙං ප්‍රාන්තයේ ගුවාංෂෙං විහාරයේ (ගුවාංෂෙං සි) පහළ ආශ්‍රමයේ ය. පහළ ආශ්‍රමයේ ප්‍රධාන ශාලාවේ ගේබල බිත්තියේ පිහිටා තිබූ[2] මෙම සිතුවම ආතර් එම්. සැක්ලර් විසින් මිලදී ගන්නා ලද අතර, පසුව 1954 දී එය එක්සත් ජනපදයේ නිව් යෝක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය වෙත ප්‍රදානය කරන ලදී.[1]

භෛසජ්‍යගුරු බුදුන්ගේ පාරාදීසය
වර්ෂයයුවාන් රාජවංශය (1319 පමණ[1])
වර්ගයවියළි ෆ්‍රෙස්කෝ
මාන751.8 cm × 1511.3 cm (296.0 in × 595.0 in)
පිහිටීමමෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, නිව් යෝක්

මෙම සිතුවම මගින් භෛසජ්‍යගුරු බුදුන් වහන්සේ සහ බෝධිසත්ත්වවරුන් දෙදෙනකු වන අව‍ලෝකිතේශ්වර සහ චින්තාමණීචක්‍ර[2] නිරූපණය වේ. භෛසජ්‍යගුරු බුදුන් වහන්සේ (යඔෂි ෆෝ) වෛද්‍ය විද්‍යාවට (කායිකව මෙන්ම අධ්‍යාත්මිකව ද) අධිපති බුදුන් වහන්සේ යැයි මහායාන බුදුදහමේ සඳහන් වේ.[2]

සංරචනය සංස්කරණය

 
සිතුවමේ සමීප දසුනක්.
 
සිතුවමේ සමීප දසුනක්.

වර්තමානයේ දක්නට ඇති ආකාරයට, මෙම බිතු සිතුවම උසින් 751.8 cm ද, දිගින් 1511.3 cm ද වන අතර, මෙහි සවිස්තරාත්මක සිතුවම් අංග දැකගත හැක.[1] මෙහි මධ්‍යයේ දිව්‍යලෝකයක වැඩහිඳින භෛසජ්‍යගුරු බුදුන් වහන්සේගේ රුව දැකගත හැක. සාමාන්‍යයෙන් භෛසජ්‍යගුරු බුදුන් වහන්සේගේ රුව ඉන්දියානු රුවක් ලෙස නිරූපණය කෙරු‍ණ ද, භෛසජ්‍යගුරු බුදුන්ගේ පාරාදීසය නම් මෙම සිතුවමෙහි සියලු මිනිස් රූ චීන වස්ත්‍ර සහ සළුවලින් සැරසී සිටින අයුරු නිරූපණය කොට ඇත. මෙම සිතුවමෙහි භෛසජ්‍යගුරු බුදුන් වහන්සේ රතු පැහැ චීවරයක් හැඳ දේවතාවුන් විශාල සංඛ්‍යාවක් සහ බෝධිසත්ත්වයින් දෙදෙනකු පිරිවරා සිටිනු නිරූපිත ය. මෙහි හිඳගත් බෝධිසත්ත්වවරුන් දෙදෙනා සූර්යයා සහ චන්ද්‍රයා සංකේතවත් කෙරෙන සංකේත දරා සිටිති. එසේම ද්විතීයික බෝධිසත්ත්ව රූ හතරක් ද දැකගත හැක.[2] දෙපස සය දෙනා බැගින් මෙම සිතුවමේ නිරූපිත සෙබලුන් දොළොස් දෙනා මගින් අන්‍යන්ට උපකාර කිරීමට බුදුන් ප්‍රතිඥා දුන් අයුරු සංකේතවත් කරයි.[1] මින් පෙර මෙම සිතුවම ශාක්‍යමුණි බුදුන් වහන්සේගේ යැයි වරදවා වටහාගෙන තිබිණි.[2]

යි ජිං (635-713) විසින් රචනාකරන ලද සප්තතථාගතපූර්වප්‍රනිධානවිසේස සූත්‍රය අනුව භෛසජ්‍යගුරු බුදුන් වහන්සේට පෙර බුදුන් වහන්සේලා සය දෙනකු වැඩිසිටි අතර, චීන චිත්‍ර කලාව තුළ භෛසජ්‍යගුරු බුදුන් වහන්සේ සහ උන් වහන්සේට පෙර වැඩ විසූ බුදුවරුන් සයදෙනාගේ රූ සමූහයක් ලෙස නිරූපණය කොට තිබෙනු දක්නට ලැබේ. මෙහි ද ඩහළ කුඩා බුද්ධ රූ සයක් දක්නට ලැබේ. බුදුන් වහන්සේ වමතින් පාත්‍රයක් දරා සිටියි. මෙම වෛද්‍ය කර්මයේ සංකේතයකි. භෛසජ්‍යගුරු බුදුන් වහන්සේ මෝක්ෂය ලබාදෙන බුදු කෙනකු ලෙස සැලකෙන අතර, ආපදා වළක්වන බුදු කෙනකු ලෙස ද මහායාන බුදුදහමේ දැක්වේ.[2] මෙම සිතුවමේ ඇති තවත් වැදගත් රූ දෙකක් ලෙස චන්ද්‍රප්‍රභා සහ සූර්යප්‍රභා යන බෝධිසත්ත්ව රූ සැලකේ. බුදු රුව අසල ඉහළ වම්පසින් සූර්ය මඬලක් මධ්‍යයේ ඇති රතු පැහැ පක්ෂියකු දරා සිටින්නේ සූර්යප්‍රභා බෝධිසත්ත්වයන් ය. බුදුරුවේ ඉහළ දකුණු පස චන්ද්‍ර මණ්ඩලය දරා සිටින්නේ චන්ද්‍රප්‍රභා ය.[3]

නිර්මාණය සංස්කරණය

 
භෛසජ්‍යගුරු බුදුන්ගේ රුවේ සමීප දසුනක්.

මෙහි සිතුවම් ශිල්පියා කවුරුන් දැයි මෙතෙක් නිශ්චිතව හඳනාගෙන නැත. පුෂ්ටිමත් ශරීරය සහ පිරුණු මුහුණ සහ නොගැඹුරු අවකාශ නිමැවුම මුල්කාලීන දාහතරවන සියවසේ බෞද්ධ සහ දාඕවාදී සිතුවම් නිර්මාණයේ නියැළුණු චූ හඔගු (朱好古) ගේ සිතුවම්වල ලක්ෂණයකි. ගුවාංෂෙං පහළ ආශ්‍රමයේ ඉදිරි ශාලාවේ තිබූ හමුවූ මෙම සිතුවම චීනයේ යුවාන් රාජවංශ සමයට අයත් අතර, එය ක්‍රි.ව. 1319 අවට කාලයකට අයත් යැයි විශ්වාස කෙරේ.[1] මෙම සිතුවම නිර්මාණය සඳහා විහාරයේ බිත්තිය මැටි සහ පිදුරු මිශ්‍ර මාධ්‍යයකින් ආස්තරණය කොට ඇත. අනතුරුව ජලය භාවිතා කළ සායම් විශේෂයක් ආධාරයෙන් සිතුවම් නිර්මාණය සිදුකොට තිබේ.[1]

ගෙනයාම සංස්කරණය

1920 දශකයේ දී ගුවාංෂෙං පහළ ආශ්‍රමයේ වූ ඉදිරි ශාලවට අයත් වූ ගේබල සිතුවම් භික්ෂූන් විසින් අලෙවි කරන ලද්දේ විහාරයේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහායි. එහි දී මෙම බිතු සිතුවම් එක්සත් ජනපදයඑක්සත් ජනපදයේ කෞතුකාගාර තුනක් විසින් හිමි කරගන්නා ලදී. 1926 සහ 1929 අතර කාලයේ ඉන් දෙකක් පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලීය කෞතුකාගාරයේ තැන්පත් කෙරුණු අතර, තවත් සිතුවමක් 1932දී කැන්සාස් නගරයේ නෙල්සන්-ඇට්කින්ස් කලාගාරයේ තැන්පත් කරන ලදී. තවත් සිතුවමක් ආතර් එම්. සැක්ලර් විසින් මිලයට ගන්නා ලද අතර, 1964දී ඔහු එම සිතුවම මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයට පරිත්‍යාග කළේ ය. භෛසජ්‍යගුරු බුදුන්ගේ පාරාදීසය ලෙස ප්‍රකට වූයේ මෙම සිතුවමයි.[2]

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 Metropolitan Museum of Art, Buddha of Medicine Bhaishajyaguru (Yaoshi fo)
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 Metropolitan Museum of Art, Annin Jing, The Yuan Buddhist Mural of the Paradise of Bhaisajyaguru, Metropolitan Museum Journal, 26, 147-166, 1991
  3. Bhaiṣajyaguru (Medicine Buddha 藥師佛) , mesosyn.com

බාහිර සබැඳි සංස්කරණය