බුදශිරි (මොංගෝලියානු: ᠪᠦᠳᠬᠠᠱᠢᠷᠢ, බුදශ්‍රි), හෝ චීනකරණය කළ ස්වරූපයෙන් පුතශලි (卜答失里; උපත 1307 පමණ – මරණය 1340 ප.) ලෙස හැඳින්වෙන්නේ 1332 සහ 1333 අතර කාලයේ යුවාන් රාජවංශයේ විසූ රාජ්‍යාධිකාරිණියකි. ජයාතු ඛාන් ටුඝ් තෙමූර්ගේ භාර්යාව වූ ඇය,[1] ඛොන්ගිරාඩ් වංශයට අයත් වූවා ය.[2] ඇගේ පියා ලූහි කුමාර දිවබාලා වල්ලභ කුමරුන් වූ අතර, මව ලූහි සෙංගේ රාගි ශ්‍රේෂ්ඨ කුමරිය විය.[3]

බුදශිරි

යුවාන්හි අධිරාජිනියසංස්කරණය

බුදශිරි ටුඝ් තෙමූර්ගේ භාර්යාව බවට පත්වූයේ කුමන කාලයේදැයි අවිනිශ්චිත ය. නමුත් 1328දී ඇගේ සැමියා ප්‍රථම වරට සිහසුනට පත්වීමත් සමග ඇය අධිරාජිනිය බවට පත් වූවා ය. 1329 මුල් භාගයේ ඇය අධිරාජ මුද්‍රාව ලැබුවා ය. ඔහුට දාව ඇයට අවම වශයෙන් පුතුන් තිදෙනකුවත් සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ. ඔවුන් මෙසේ ය: ඔහුගේ උරුමකරු ලෙස නම්කළ අරද්නදාරා (මරණය 1332); එල් තෙගූස් (1329 – 1340 පමණ); සහ තයිපිංනා (කුඩා කල මියගියේ ය).[4] ඇයට දියණියන් වූ බවට සාක්ෂ්‍ය හමු නොවේ.

ඇගේ සැමියාගේ රාජ්‍ය සමයේ, ලාබාල තොඝොන් තෙමූර් ගොර්යෝව වෙතත්, අනතුරුව හෙනාන් වෙතත් පිටුවහල් කිරීමට මුල් වූයේ ඇයයි. ඇගේ තර්කය වූයේ ඔහු ටුඝ් තෙමූර්ගේ වැඩිමහල් සොයුරා වූ ඛුටුඝ්ටු ඛාන් කුසලාගේ (මිංෂොං අධිරාජයා) සැබෑ පුත්‍රයා නොවේය යන්නයි. තොඝොන් තෙමූර් පිටුවහල් කළ සමයේම, බුදශිරි විසින් ඔහුගේ සුළු මෑණියන් වූ බාබුෂාට මරණ දඬුවම ලබාදීමට කටයුතු යෙදූයේ ඇගේ සැමියාට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කළ බවට චෝදනා නගමිනි.

රාජ්‍යාධිකාරීත්වයසංස්කරණය

1332දී ටුඝ් තෙමූර් මියයාමත් සමග, බුදශිරි අනුරාජයා ලෙස කටයුතු කළා ය. මෙය සම්ප්‍රදායට අනුකූල වූයේ ටුඝ්‍ තෙමූර් විසින් අනුප්‍රාප්තිකයකු නම් කොට නොතිබීම නිසායි. සිය මරණ මංචකයේ දී ටුඝ් තෙමූර් තමන් සිය වැඩිමහල් සොයුරාට සිදුකළ දෑ පිළිබඳ පසුතැවුණු බවත් සිහසුන සිය සොහොයුරාගේ වැඩිමහල්ම පුත්‍රයා වූ තොඝොන් තෙමූර්ට ලබාදීමට ඔහු අදහස් කළ බවත් පැවසේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස, බුදශිරි සිය පුත්‍රයා වූ එල් තෙගූස් සිහසුනට නම් කළේ නැත. එසේම තොඝොන් තෙමූර්ව ද නම් කළේ නැත. 1332 ඔක්තෝබර් 13 දින, කුසලාගේ දෙවන පුත්‍රයා වූ සය වියැති රින්චින්බාල් අධිරාජයා ලෙස පත්කෙරිණි. අධිරාජිනියට මෙය ඉටු කරන්නට සිදුවූයේ ප්‍රධාන උපදේශක එල් තෙමූර්ගේ පීඩනය හමුවේයි. ඔහු තොඝොන් තෙමූර් සිහසුනට පත්වීමට විරෝධය පෑවේ ඔහු සිය පියාට වස ලබාදුන්නේ යැයි සැක කෙරුණු හෙයිනි. ඇය විසින් රින්චින්බාල්ව පත්කොට මසකට පසු, බුදශිරිට වැන්දඹු අධිරාජිනිය පදවිය පිරිනැමුණු අතර, අනුරාජ පදවියේ කටයුතු ද භාර විය. කෙසේනමුත්, මාස දෙකකට (දින පනස් තුනකට) පසුව මෙම ලාබාල අධිරාජයා මියගියේ ය.[5]

එල් තෙමූර් චෝදනා නගන්නට වූයේ ඇය විසින් එල් තෙගූස් සිහසුනට පත් කරන බවයි. නමුත් අධිරාජිනිය විසින් එය ප්‍රතික්ෂේප කළේ තමන් සිය හිටපු සැමියාගේ අදහස්වලට තවමත් ගරු කරන බවත්, එල් තෙගූස් රාජ්‍ය පාලනය මෙහෙයවීමට ලාබාල වැඩි බවත් ය. ඒ වෙනුවට, ඇය විසින් දහතුන් වියැති තොඝොන් තෙමූර් නැවත කැඳවා 1333දී ඔහුව අධිරාජයා ලෙස පත්කරන ලදී. 1336දී ඇයව මහා වැන්දඹු අධිරාජිනිය ධුරයට උස්ස කෙරිණි.

බුදශිරි අවුරුදු හතකට වැඩි කාලයක් රාජ්‍යාධිකාරිණිය ලෙස කටයුතු කරමින් සැබැවින්ම අධිරාජ්‍යය මෙහෙයවූවා ය. කෙසේනමුත්, 1340දී අධිරාජයා තමන්ට මෙම කටයුතු මෙහෙයවිය හැකි යැයි විශ්වාසයක් ඇතිවූ අවස්ථාවේ ඔහු විසින් සිය මියගිය පියාණන් සහ සුළු මෑණියන්ට සිදුවූ අසාධාරණයන් පිළිබඳ විමර්ශනයක් දියත් කරන ලදී. එසේම ඔහු විසින් මහා වැන්දඹු අධිරාජිනියගේ අයුක්ති සහගත ක්‍රියා ගණනාවක් සොයාගන්නා ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 1340 මැද කාලයේ ඔහු විසින් නියෝග කළේ බුදශිරි ඇගේ සියලු පදවි නාමවලින් ඉවත්කොට දොං’අන් ප්‍රාන්තය (වර්තමාන හෙබෙයි පළාතේ ලැංෆැං) වෙත පිටුවහල් කරන ලදී. එහි දී ඇය මරණයට පත්වූවා ය. තමන් පිටුවහල් කොට සිටි සමයේ මුහුණපෑ දුෂකරතාවන්ට පලිගැනීමක් වශයෙන් තොඝොන් තෙමූර් විසින් එල් තෙගූස්ව ද පිටුවහල් කරන ලදී. ඉන් මඳ කලකට පසු එල් තෙගූස් මරාදැමිණි.

මියයන විට බුදශිරිගේ වයස අවුරුදු තිස් තුනක් පමණ විය.[6]

කලාව තුළසංස්කරණය

බාබුෂා අධිරාජිනිය සමග බුදශිරි අධිරාජිනියගේ ආලේඛය සිතුවමක් යමන්තක-වජ්‍රභෛරව මණ්ඩලවලින් හමුවේ. අධිරාජිනියන් දෙදෙනාට සම්මුඛව ටුඝ් තෙමූර් සහ කුසලා අධිරාජවරුන්ගේ රූ ද දැකගත හැක.

ජනප්‍රිය සංස්කෘතිය තුළසංස්කරණය

ආශ්‍රේයයන්සංස්කරණය

  1. Denis Twitchett, Herbert Franke, John K. Fairbank. The Cambridge History of China.
  2. Heads of State of Mongolia
  3. Lily Xiao Hong Lee, Sue Wiles. Biographical Dictionary of Chinese Women, Volume II: Tang Through Ming 618-1644
  4. Lily Xiao Hong Lee, Sue Wiles. Biographical Dictionary of Chinese Women, Volume II: Tang Through Ming 618-1644
  5. Jeremiah Curtin. The Mongols: A history.
  6. Lily Xiao Hong Lee, Sue Wiles. Biographical Dictionary of Chinese Women, Volume II: Tang Through Ming 618-1644

බාහිර සබැඳිසංස්කරණය

චීන රාජකීයයා
පූර්වප්‍රාප්තිකයා
බාබුඛාන් ඛාටුන්
යුවාන් රාජවංශයේ අධිරාජිනිය
1328–1329
අනුප්‍රාප්තික වූයේ
බාබුෂා
චීන රාජකීයයා
පූර්වප්‍රාප්තිකයා
බාබුෂා
යුවාන් රාජවංශයේ අධිරාජිනිය
1329–1332
අනුප්‍රාප්තික වූයේ
දලියෙටෙමිෂි
"https://si.wikipedia.org/w/index.php?title=බුදශිරි&oldid=403251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි