බංගලාදේශයේ ආසනික් විස වීම – ශිෂ්ටාචාරයක අවසානය

පිටු 336ක් පුරා පරිච්ඡෙද 12ක් ඔස්සේ දිග හැරෙන කතාන්දරය අපූරු එකකි. එය බංගලාදේශයට පමණක් නොව ලෝකයටම අදාළ එකකි.

2010 අවසාන වනවිට බංගලාදේශයේ ජනගහනය මිලියන 143 කි. ඉන් හරි අඩකටත් වඩා එනම් මිලියන 77ක ජනගහනයක් දිගු කාලීන ආසනික් විෂවීමකට ලක්ව ඇත. එපමණම විශාල ජනගහනයක් ඉන්දියාවට අයත් බෙංගාල ජන කලාපයේ ද ආසනික් විෂවීමට ලක්ව ඇත. මේ සම්බන්ධයෙන් පර්යේෂණය කළා යැයි පැවසූ බොහෝ බටහිර විද්‍යාඥයන් මෙන්ම ඔවුන් පිටුපස ගිය ඇතැම් බංගලිදේශ විද්‍යාඥයන්ද තහවුරු කිරීමට උත්සාහ දැරුවේ මීට අවුරු≥18,000 කට පෙර ගසා ගෙන ආ ආසනික් අඩංගු ඛනිජ විශේෂ බෙංගාල කලාපයේ පසේ ගැඹුරෙහි ඇති බවත් භූගත ජලයට ඒවා මිශ‍්‍ර වීම නිසා නල ළිං ඔස්සේ ආසනික් පානීය ජලයට පැමිණ විෂ වීම හටගත් බවය. මේ අදහස ස්ථාපිත කළේ බි‍්‍රතාන්‍ය භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනයයි. මේ සම්බන්ධ පර්යේෂණ කටයුතු සඳහා පමණක් පවුම් මිලියන ගණනක් වැය කර ඇති බව සඳහන්ය. මේ විදේශ විද්‍යාඥයන්ගේ කතාව වූයේ ලෝක බැංකු ආධාර ඇතිව පානීය ජලයෙන් වසංගත රෝග පැතිරයාම වැළැක්වීම අරමුණු ලෙස දක්වා බංගලිදේශය පුරා නල ළිං ඉදිකළ බවත් එම නල ළිංවලින් ලබා ගත් භූගත ජලය පානය කිරීමෙන් බංගලාදේශය ලෙඩවූ බවත් ය. පසුගිය වසර 30 පමණ කාලය තුළ මේ ප‍්‍රශ්නය පැන නැගි අකාරය ඔවුන් සධාරණීකරණය කළේ එලෙස ය.


ජමාල් අන්වර් ඔහුගේ කෘතියෙන් අද මේ සියල්ල අභියෝගයට ලක් කර ඇත. භූගත ජලයේ ආසනික් නිසා මේ තත්වය ඇති වූවා යැයි පවසනවුන්ගෙන් ඔහු අසන ප‍්‍රශ්න කිහිපයකි.

  • ආසනික් තැන්පත් වී ඇත්තේ ගැඹුරු පසේ නම් බංගලාදේශයේ නොගැඹුරු ජල ප‍්‍රභවයන්ගේ පවා ආසනික් අඩංගු වන්නේ කෙසේද?
  • එතරම් ගැඹුරු නැති නල ළිංවල සාපේක්ෂව වැඩි ආසනික් ප‍්‍රමාණයක් අඩංගු වන්නේ කෙසේද?
  • රටේ සමහර ස්ථානවල පමණක් ආසනික් මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යන්නේ කෙසේද?
  • හිමාල බලපෑමට යටත් නොවන ඉන්දු-බුරුම කලාපයට අයත් චිතගොන් ප‍්‍රදේශයේ ඉහළ ආසනික් ප‍්‍රමාණයක් හමුවන්නේ කෙසේද?

මේ ආකාරයෙන් බටහිර විද්‍යාඥයන්ගේ මතය අභියෝගයට ලක් කරන බංගලාදේශ භූ විද්‍යාඥයා සාධක සහිතව පෙන්වා දෙන්නේ මේ තත්වයට හේතුව ආසනික් අඩංගු පළිබෝධනාශක සහ රසායනික පොහොර බවයි. හරිත විප්ලවයේ නාමයෙන් ඉවක් බවක් නැතිව රටට ගලාගෙන ආ බාල පළිබෝධනාශක සහ රසායනික පොහොර කිසි≥ පරීක්‍ෂාවකට ලක් නොකළ බවත් ආසනික්, රසදිය, කැඞ්මියම් හා යුරේනියම් ඒ සමග මදි නොකියන්නට රට තුළට පැමිණි බවත් දීර්ඝ ලෙස කරුණු දක්වමින් ජමාල් අන්වර් පැහැදිලි කරයි. 1973 වසරෙදී සිට ලෝක බැංකුව පොහොර සහනාධාරයක් ලෙස ඝෘජුවම පොහොර නිෂ්පාදකයන්ට ඇමෙරිකන් ඩොලර් බිලියන ගණනක් ලබා දී ඇති බව සඳහන් කරන අන්වර් ඒ ඔස්සේ බටහිර රටවල කාර්මික අපද්‍රව්‍ය සහ න්‍යෂ්ටික අපද්‍රව්‍ය බංගලාදේශයේ ගොඩගැසූ බවද පවසයි. 1992 ඇති වූ සිද්ධියක් මේ පොතේ විස්තර කෙරෙන අතර ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පොහොර නමින් බංගලාදේශයට ගෙන ආ ද්‍රව්‍ය පරීක්‍ෂා කිරීමෙන් හෙළි වී ඇත්තේ ආසනික්, රසදිය, කැඞ්මියම් හා යුරේනියම් සාමාන්‍යයෙන් පැවතිය හැකි උපරිම අගයට වඩා දහස් ගුණයකටත් වඩා වැඩි ප‍්‍රමාණයකින් එහි අඩංගු වූ බවයි. මේ අයුරින් නිතී විරෝධී ලෙස බැර ලෝහ රටට ගෙන ඒම සඳහා අදාළ සමාගම වැරදිකරුවන් වුවද ඒවන විටත් එම ද්‍රව්‍ය මෙට්ටි‍්‍රක් ටොන් 4000ක් රට පුරා බෙදා හැර තිබිණි. මෙවන් සිද්ධි බංගලිදේශයෙන්  ඕනෑ තරම් සොයාගත හැකි බව කතුවරයා පවසයි.