ජාතක කතා පොත් වහන්සේ පිළිබද කෙටි හැඳින්වීමක්

සංස්කරණය

මිනිසුන් වනාහී කතන්දර ඇසීමට රුසියෝ ය. පැරණි බෞද්ධ ආචාර්යවරු විවිධාකාරයෙන් ජීවත් වූ මිනිසුන්ට ධර්මය කියා දීමට හා අවබෝධ කර වීමට අවශ්‍ය විවිධ ක්‍රම උපයෝගී කරගත්හ. ඒ ඒ පුද්ගලයාට ප්‍රිය වූ විවිධ මාධ්‍ය හා ක්‍රම ශිල්පයන් ඒ සඳහා උපයෝගී කරගැනීම එකල සිරිතකි. සිංහල සාහිත්‍ය වංශයේ ප්‍රබෝදයට හේතු වූවේ නිර්මල බුදුදහමේ හරයන් ඔස්සේ පෝෂණය වීමයි. ගද්‍ය,පද්‍ය, නාට්‍ය, කලාවන් තුළ සිංහල කලාකරුවා දැක්වු පරිනතභාවය අති විශාල ය. මෙම විෂයයන් අතර ලේඛන කලාව ප්‍රගුණ කළ ශ්‍රී ලාංකික කලාකරුවා ස්වභාෂා ඥාණය, ධර්ම ගුණය දියුණු වීමට ඉවහල් වන පරිදි බොහෝ ග්‍රන්ථ සම්පාදන කළහ. එහි අග්‍රගණ්‍ය ප්‍රතිඵලයකි ‘ජාතක කතා පොත'. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් දක්වන පරිදි ලෝක සාහිත්‍යයට සිංහල දේශයෙන් යම් සාහිත්‍ය කෘතියක් එක් කරන්නේ නම් ඒ වනාහී වඩාත් සුදුසු ම ජාතක කතා පොත් වහන්සේ බවයි බවයි. “ජාතං භූතං පුරාවුත්තං භගවතෝ පුබ්බ චරිතං කායති කථෙති පකාසෙති ජාතකා”[1] යනුවෙන්, ජාතක කතාවක් යනු කුමක් ද, යන්න පරමත්ථ දීපනී නමැති පාලි ටීකා ග්‍රන්ථ යේදී “ජාතක සංඛ්‍යාත පුරාවෘත්තය හෙවත් භාග්‍යවතුන් වහන්සේ පෙර බෝසත් කල්හි ඒ ඒ ජාතීන් හි පැවති ආශ්චර්යය චරිත විශේෂය ප්‍රකාශ කරන්නාවූ ශ්‍රි මුඛ දේශනා ජාතක නම් වේ” යනුවෙන් අර්ථකථනය කරයි.බුදුරජාණන් වහන්සේ යම් යම් සන්දර්භයන් වඩාත් පැහැදිලි කරදීම උදෙසා සිය ධර්මදේශනා වලදී තමන් වහන්සේගේ පෙර බෝසත් චරිතය ඇසුරු කොටගත් ජාතක කතා දේශනා කොට ඇත. ජාතක කතා පොතෙහි කතුවරයා පිළිබඳ මහාවංසයේ (90) වැනි පරිච්ඡේදයේ සඳහන්ව ඇති අන්දමට කුරුණෑගල රාජධානිය කොට ගත් හතරවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ ආරාධනයෙන්... වීරසිංහ ප්‍රතිරාජ නම් ඇමති කෙනෙකි.[2] කෙසේ වුවත් බොහෝ සම්භාවනීය විචාරකයන්ගේ ඉගැන්වීම් අනුව ජාතක කතා පොත වනාහි ඒක කතෘක කෘතියක් නොවන බවත්, ඒය බහු කතෘක කෘතියක් වන බවත් පැහැදිලි වේ. අට්ඨකතා පාළිය පද්‍යයෙන් පමණක් විරචිත ය. ක්‍රි.ව. 05 වන සියවසේ ලක්දිවට වැඩි බුද්ධඝෝෂ අටුවාචාරීන් විසින් එම ගාථා විස්තරාර්ථ සහිත ව ජාතක අටුවාව ඉදිරිපත් කරන ලදී. එය සිංහලයට පරිවර්තනය කිරීමෙන් වර්තමානයේ අපට දක්නට ලැබෙන ජාතක කතා පොත නිර්මාණය වී තිබේ. ජාතක කතා පොත තුලින් සිදු වූ සමාජ සංරක්ෂණයෙහි අගය වචන වලට හැරවිය නොහැක. සිංහල සාහිත්‍ය මෙන් ම ලෝක සාහිත්‍ය පෝෂණයෙහිලා ජාතක කතාවන්හි උපයෝගීතාවය අපමණය. ගද්‍ය පද්‍ය නාට්‍ය වැනි විවිධ සාහිත්‍ය කෘතීන්, චිත්‍ර, කලා ශිල්ප දියුණුවීමට ජාතක කතා පොත සුවිශාල මෙහෙවරක් සිදුකොට ඇත. ජාතක කතා පොතෙහි ජාතක කථාවන් 547 ක් අපට දැකගත හැකිය. මේ පිළිබඳ බොහෝ විවේචනයන් විචාරයන් සිදුකොට ඇතත්, සාමාන්‍ය පිළිගැනීම වනුයේ ව්‍යවහාරයෙහි පහසුව සඳහා පන්සිය පනස් ජාතක පොත යනුවෙන් භාවිතා කර ඇති බවයි. ජාතක කථාවන් ලෝකය විවිධ දේශයන්හි ජනජීවිතය හැසිර වීමට අවැසි ජීවනෝපදේශ, ධර්මෝපදේශ සම්පාදනයෙහි ලා භාවිතා කොට ඇත. අරාබි නිසොල්ලාසය, ඊසොප්ගේ උපමා කතා ආදිය ඒ අතර කිහිපයකි. එසේම මහා භාරතයෙහි පොදු කතා මූලයකින් විවිධ පිරිස් තම අභිමතාර්ථ සාධනයට උපකාරී කරගත හැකි පරිදි කතා යොදාගෙන ඇතැයි සමහර විචාරකයෝ දක්වති. ජාතක කතා පොතෙහි අරමුණ අති ශ්‍රේෂ්ඨත ම චරිතයක් වන බෝසත් චරිතය තුළින් ජනතාවට යහපත් සදූපදේශයන් සම්පාදනය ප්‍රධාන අරමුණ කොටගෙන ජාතක කතා පොත රචනා වී ඇත. මෙහි දී පුද්ගල ප්‍රශ්න හමුවේ නොසැලී ක්‍රියා කරන ආකාරය තැනට සුදුසු නුවණ භාවිත කිරීම පැහැදිලි කර ඇති ආකාරය සිත් ගන්නා සුළුය. ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වය පතා පෙරුම්පුරනා අවධියේ බෝසතුන් ගත කළ දිවි පෙවත අලලා දේශීය ජාතක කතා උපයෝගී කර වත්මන් සමාජයේ විවිධ වූ දුර්වලතා පෙන්වා දෙමින් සංකීර්ණ ගැටුලු හමුවේ පෙළෙන සමාජ ප්‍රජාව නිවැරදි මඟකට ගැනීම සඳහා ජාතක භානකයන් වහන්සේලා කරන ලද උත්සාහය අති විශාලය. රජුන්, සොරුන්, වෙළදුන්, ගණිකාවන්, කපටින්, කාමක්ෂිත පුරුෂයන් මෙන් ම සත්ව ලෝකයේ විවිධාකාර වූ සත්ව සමුහය ද මෙම කතාවන්ට ඇතුළත්ව ඇත. සිංහ, නාග, කොටි, මුව, සා, නාග, වටු, රිලා, සහ පක්‍ෂි වර්ග ද මෙම චරිත වලට පණ පොවා ඇත. එම චරිත තුලින් මිනිස් දිවිය තුළ පරමාදර්ශී වූ යහගුණ වගාකරවීම පමණක් නොව දුර්වල මිනිස් චරිතවල අයහපත් ලක්‍ෂණ හා එහි ප්‍රතිඵල පෙන්වා දීමෙන් විශේෂිත ය. සෑම කතාවකට ම ධර්මාවවාදය අඩංගු වන අතර, යහපත් මිනිස් සමාජයක් ගොඩ නංවා ගුණ සම්පන්න සමාජයක් බිහිකිරීම පරමාර්ථය වූ බව පෙනේ. ජාතක කතා පොතට ම ආවේණික වූ ආකෘතියක් මෙහි දී අපට දැක ගත හැකි ය. එනම්, වර්තමාන කතාව, අතීත කතාව හා පූර්වාපර සන්ධි ගැළපීමයි. මේ ජාතක කතා, උපමා කතා, අත්භූත ජනක කතා, විනෝදාත්මක කතා, මිත්‍යාමය කතා ආදී ලෙසින් වර්ග කළ හැකි ය.[3] සමාජයේ ඇති වූ, ඇතිවන හා ඇතිවන්නා වූ විවිධ විශේෂ චරිත පිළිබඳ ජාතක කතාවලින් ලැබෙන්නේ විශේෂ ජීවිත පරිඥානය කි. ඒ තරමට ම විවිධ චරිත ඉතා සියුම් ලෙස විග්‍රහ කර ඇත. පාඨක මනස තුළ චිත්ත රූප ජනනය වන පරිදි නිර්මාණය කොට ඇති ජාතක කතා පොත ලෝක සාහිත්‍යයෙහි ලබනුයේ අද්විතීය ස්ථානයකි. නන්දිවිසාල ජාතකයෙහි උපකාරයට උපකාර කිරීමත්, ප්‍රිය වචනයට සමාජයේ ඕනෑම දුෂ්කර දෙයක් ජයග්‍රහණය කළ හැකි බවත් පෙන්වා දෙයි. වණ්ණුපථ ජාතකය තුළින් උත්සාහයෙන් යුතු වන්නේ නම් ජයග්‍රහණය කළ නොහැකි දෙයක් නොමැති බව ප්‍රායෝගිකව දක්වයි. චුල්ල හංස ජාතකයෙන් චරිත නිරූපණය ඉතා වැදගත් බව දක්වන අතර, නායකයා සතු වගකීම හා කැපවීම ඉන් පිළිබිඹු කරයි. චුල්ලසෙට්ඨි ජාතකයෙන් ඉතා සුළු දෙයකින් වුවත් කාරුණිකව උත්සාහය හා බුද්ධිය යොදවා ධනය උපයාගත හැකි බවත්, ගුරුවරයකු විසින් ශිෂ්‍ය මනස අවබෝධ කොට ගැනීමේ අතිශය වැදගත්කමත් පෙන්වා දෙයි. උම්මග්ග ජාතකය තුළින් සදාතනික අගයකින් යුත් බුද්ධි වර්ධනය හා චරිත වර්ධනයට උපකාරී වන ජීවිතාවබෝධය ලබා දෙයි. එහි එන සිරි කාලකන්නියාගේ මිනිස් සිත තුළ සැඟවුණු මනෝභාවයන් විවරණය කරන්නේ මනෝ විද්‍යාත්මක වටිනාකමක් එකතු කරමිනි. අපණ්ණක ජාතකයෙන් මිනිසුන් වාසිය බලන ආකාරයත්, ඒ සඳහා තර්ක ඉදිරිපත් කරන ආකාරයත් මනාව පෙන්නුම් කරයි. තණ්ඩුල සනාලි ජාතකයෙන් නතුරු, වරප්‍රසාද තණ්හාව නිසා ආත්මාර්ථය මෙන් ම පරාර්ථය ද පරිහානියට පත් වන බව පෙන්වයි. චුල්ලසෙට්ඨි ජාතකය තුළින් ධනවාදී ආර්ථික ක්‍රමය ගැන සදාතනික අගයක් එකතු කරයි. මේ අනුව බලන කල ජාතක කතා පොත මානවීය අංශයන් මැනවින් හා විනිවිධ භාවයෙන් සිත්තම් කරන සමස්ත සාමාජීය අංශයන් සැකෙවින් නිරූපණය කරන සදාතනික අගයකින් හා මානව අගයකින් යුත් සදූපදේශයන් රැගත් මහා ඖෂධයකි.


[1] පේමානන්ද ස්ථවිර, වතුවත්තේ. බුද්ධවංශය සහිත පන්සිය පනස් ජාතක පොත් වහන්සේ. 1959. රත්නාකර පොත් වෙළඳසැල හි මුද්‍රණාලය. 01 පිටුව.

[2] එම

[3] විමලවංසසූර්ය අයි. බී. පිරිවෙන් අධ්‍යාපනය ලිපි. 2001. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ. 79 පිටුව.